ඔබට රැකවල් දේවදූතයෙක් සිටිනවාද?
ඔබට රැකවල් දේවදූතයෙක් සිටිනවාය කියා ඔබ විශ්වාස කරනවාද? බොහෝ මිනිසුන් එසේ සිතනවා. ඒ සම්බන්ධයෙන් බලන විට, බටහිර කැනඩාවේ සිටින එක්තරා ස්ත්‍රියකට දේවදූතයන් සම්බන්ධ විශේෂ වරමක් තිබෙන බව පැවසෙනවා. ඔබ ඇයට කැනේඩියානු ඩොලර් 200ක් සමඟ ඔබගේ සම්පූර්ණ නම දුන්නොත් ඔබේ රැකවල් දේවදූතයා සමඟ සම්බන්ධ වීමට ඔබට සලස්වන බව ඇය පවසනවා. පළමුවෙන්ම ඇය ඉටි පන්දම් දැල්ලක් දෙස එක එල්ලේම බලාගෙන භාවනා කරනවා. ඊළඟට, ඔබේ දේවදූතයා ඇය තුළින් ඔබට දෙන පණිවුඩයක් ඇතුළත් දර්ශනයක් ඇය දකිනවා. අමතර දෙයක් හැටියට ඔබේ දේවදූතයා කොයි ආකාරයේද කියා දක්වන පින්තූරයක් ස්ත්‍රිය සපයනවා.
සමහර අයට මෙය ප්‍රංශයේ IXවන ලුවී රජු ගැන තිබෙන කතන්දරයට සමාන දෙයක් හැටියට පෙනෙන්න ඉඩ තියෙනවා. අග්‍ර දේවදූත මිකායෙල්ගේ පියාපත්වලින් වැටුණායයි කියන ඉතා වටිනා පිහාටු ඔහු විසින් මිල දී ගත් බව විශ්වාස කරනවා. එම කතන්දරය පිළිබඳව සැක කළත්, බොහෝදෙනෙක් කැනේඩියානු ස්ත්‍රිය පවසන දේ ගැන බිඳක්වත් සැක කරන එකක් නැහැ.
දේවදූතයන් පිළිබඳව තිබෙන ඉමහත් උනන්දුව
මෑත කාලවලදී දේවදූතයන් පිළිබඳව අතිමහත් උනන්දුවක් ඇති වී තිබෙනවා. දරුණු අසනීපවලින් පෙළෙන්නන්ට සහනය ගෙන දෙන, වියෝ දුකට පත්වූවන්ට සැනසීම ගෙනෙන, ප්‍රඥාව ලබා දෙන සහ පුද්ගලයන්ව මරණින් මුදාගන්න දේවදූතයන් ගැන, රූපවාහිනියෙන් සහ චිත්‍රපටවලින්, ඒ වගේම පොත්, සඟරා සහ පත්තර ආදියෙන් අපට පැවසෙනවා. එක්සත් ජනපදයේ ප්‍රේක්ෂකයන් මිලියන 20ක් පමණ, මිනිස් ජීවිතය හා බැඳි දේවදූත මැදිහත් වීම් විස්තර කරන සතිපතා රූපවාහිනී වැඩසටහන් මාලාවක් බලනවා. එක් පොත් සාප්පුවක, දේවදූතයන් පිළිබඳව යොමු දක්වන පොත් 400කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලැයිස්තුගත කර තිබෙනවා.
රැකවල් දේවදූතයන් විසින් සටන් බිමේ සිටින සෙබළුන්ගේ ජීවිත බේරාගෙන තිබෙන ආකාරය පිළිබඳව ඇති අද්දැකීම් මෑතකදී පළ වූ පොතක විස්තර කෙරෙනවා. මෝටර් රථවල අලවන ස්ටිකර්වල, රැකවල් දේවදූතයන් රියැදුරන්ව ආරක්ෂා කරනවාය කියා සඳහන් වෙනවා. සංවිධාන, සම්මේලන සහ සම්මන්ත්රණ මගින් දේවදූතයන් පිළිබඳව කරන අධ්‍යයනවලට දිරි දෙන අතර, ඔවුන් සමඟ මිනිසුන්ට පණිවුඩ හුවමාරු කරගැනීමට උපකාර කරන බව පැවසෙනවා.
අයිලින් ෆ්රීමන්, දේවදූතයන් ගැන තිබෙන පොත් තුනක කර්තෘ වන අතරම, විශේෂයෙන්ම දේවදූතයන් සඳහාම වෙන් වූ සඟරාවක ප්‍රකාශිකාවද වෙනවා. ඇය මෙසේ දැඩි ලෙස ප්‍රකාශ කරනවා: “ස්වර්ගයේ ඉන්න දේවදූතයන් ප්‍රමාණයේ තරමටම, රැකවල් දේවදූතයන් ප්‍රමාණයක් පොළොවේත් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එම දේවදූතයන්ට තියෙන රාජකාරි නම්, නිකම්ම ස්වර්ගික විෂයේ ඉන්න දෙවිට ප්‍රශංසා කිරීම විතරක්ම නෙමෙයි, නමුත් පොළොවේ සිටින මනුෂ්යවර්ගයාවත් අනිකුත් ආකාරයේ ජීවීන්වත් නියම විදිහට රැකබලා ගැනීමයි. අපව පිළිසිඳ ගන්නා විට අප සෑම කෙනෙකුටම රැකවල් දේවදූතයෙක්ව නියම කරන අතර, අප මව් කුස තුළ වැඩෙන තුරුත්, අපගේ උපතේදීත්, මේ ලෝකය තුළ අප ගත කරන ජීවිතයේදීත්, ඒ වගේම මේ පොළොවේ සිට ස්වර්ගික මහිමය කරා මඟ පෙන්වන තෙක්ද අපව අධීක්ෂණ කරනවා.” මෙය, රැකවල් දේවදූතයන් පිළිබඳව තිබෙන ජනප්‍රිය මතය මනාව විස්තර කරනවා.
මෙම පීඩා සහිත අසීරු කාලවලදී, අපව ආරක්ෂා කිරීම තම වගකීම කරගත් රැකවල් දේවදූතයෙක් අප එක් එක්කෙනාට සිටිනවාය කියන දේ විශ්වාස කිරීම ඇත්තෙන්ම සැනසීමක්. මේ සම්බන්ධව දෙවිගේ වචනය වන බයිබලය පවසන්නේ කුමක්ද? අප දේවදූතයන් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළ යුතුද? ඔවුන් අපේ සදාචාර ප්රමිතීන් සහ ආගමික විශ්වාසයන් ගැන සැලකිලිමත් වෙනවාද? අපට ඔවුන්ගෙන් කුමන උපකාර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මෙම ප්‍රශ්නවලට ඊළඟ ලිපියෙන් උත්තර සපයන්න යනවා.