ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 11/15 10-15 පි.
  • දෙවි සමඟ ඇවිදීම—මුල් පියවර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟ ඇවිදීම—මුල් පියවර
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිවැරදි දැනුම අත්‍යවශ්‍යයි
  • වැදගත් පියවර දෙකක්—කැපවීම හා බව්තීස්මය
  • යේසුගේ අඩිපාරේ ඇවිදීම
  • දෙවි ඔබව උසුලන බවට විශ්වාස කරන්න
  • ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සැමදා සේවය කිරීම ඔබේ ඉලක්කය කරගන්න
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • ‘ගොස් මිනිසුන්ව ගෝලයන් කර, බව්තීස්ම කරන්න’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 11/15 10-15 පි.

දෙවි සමඟ ඇවිදීම—මුල් පියවර

‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වෙන්නේය.’—යාකොබ් 4:8.

1, 2. යෙහෝවාට සේවය කිරීම මහඟු වරප්‍රසාදයක් කියා ඔබ පවසන්නේ මන්ද?

මේ මිනිසා වසර ගණනාවක් හිරේ දුක් විඳිමින් සිටියා. එසේ සිටිද්දී, ඔහුව දේශයෙහි පාලකයා ඉදිරියට කැඳවනු ලැබුවා. සිද්ධීන් වේගයෙන් ඉදිරියට දිව ගියා. හදිසියේම, මේ සිරකරුවා මිහිපිට සිටිය බලවත්ම රජුගේ සේවයෙහි නිරත වෙමින් සිටියා. කලින් සිරකරුවෙකුව සිටි මොහුව දැන් විශාල වගකීමක් හා විශිෂ්ට ගෞරවයක් සහිත තනතුරකට පත් කර තිබෙනවා. වතාවක පාදවලට විලංගු ලා සිටි යෝසෙප් දැන් රජෙකු සමඟ ඇවිදිමින් ඉන්නවා!—උත්පත්ති 41:14, 39-43; ගීතාවලිය 105:17, 18.

2 අදදින, මිනිසුන්ට මිසරයේ ඵාරාවෝට වඩා බෙහෙවින් උසස් කෙනෙකුගේ සේවයෙහි නිරත වීමට ප්‍රස්තාව තිබෙනවා. තමාට සේවය කිරීම සඳහා විශ්වයේ ශ්‍රේෂ්ඨතම තැනැත්තා අප සියල්ලන්ට ඇරයුම් කරනවා. එසේ කිරීමට හා සර්ව පරාක්‍රම දෙවි වන යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගැනීමට ලැබීම මොනතරම් ගරුබිය දනවන වරප්‍රසාදයක්ද! ශුද්ධ ලියවිල්ලෙහි, තේජවත් බලය සහ ශ්‍රේෂ්ඨත්වය මෙන්ම ශාන්තභාවය, අලංකාරය හා ප්‍රසන්නභාවය සමඟ ඔහුව සම්බන්ධ කරයි. (එසකියෙල් 1:26-28; එළිදරව් 4:1-3) ඔහුගේ සියලු කටයුතුවලදී ප්‍රේමය පැතිර පවතියි. (1 යොහන් 4:8) ඔහු කවදාවත් බොරු නොකියයි. (ගණන් කථාව 23:19) එමෙන්ම යෙහෝවා තමාට පක්ෂපාත අයගේ බලාපොරොත්තු කෙදිනකවත් බිඳ දමන්නේ නැහැ. (ගීතාවලිය 18:25, NW) ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟ වීමෙන්, අපට සදාකාල ජීවනය දෘෂ්ටියෙහි තබාගෙන සන්තෝෂවත්, අර්ථවත් ජීවිත දැන් ගත කළ හැකියි. (යොහන් 17:3) මිනිස් පාලකයන් ඉදිරිපත් කරන කිසිම දෙයක් එවැනි ආශීර්වාදවලට හා වරප්‍රසාදවලට සම නොවෙයි.

3. නෝවා “සැබෑ දෙවි සමඟ ඇවිද්දේ” කුමන ආකාරයෙන්ද?

3 පුරාණයෙහි, කුලදෙටු නෝවා දෙවිගේ කැමැත්ත හා අරමුණට එකඟව විසීමට අදිටන් කරගත්තා. ඔහු සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසනවා: “නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා [සැබෑ දෙවි, NW] සමඟ හැසුරුණේය [ඇවිද්දේය, NW].” (උත්පත්ති 6:9) සැබවින්ම, කිසි මනුෂ්‍යයෙක් ‘කිසිකලක දෙවිව දැකලාවත් නැති’ නිසා, නෝවා යෙහෝවා සමඟ වචනානුසාරයෙන්ම ඇවිද්දේ නැහැ. (යොහන් 1:18) ඒ වෙනුවට, දෙවි තමාට පැවසූ දේවල් කිරීමෙන් නෝවා දෙවි සමඟ ඇවිද්දා. යෙහෝවාගේ කැමැත්ත කිරීමට නෝවා තම ජීවිතය කැප කළ නිසා, ඔහු සර්වපරාක්‍රම දෙවි සමඟ උණුසුම්, සමීප සබඳතාවක් භුක්ති වින්දා. නෝවා මෙන් අදදින මිලියන සංඛ්‍යාත අයත්, යෙහෝවාගේ අවවාද හා උපදෙස්වලට එකඟව ජීවත් වෙමින් ‘දෙවි සමඟ ඇවිදිනවා.’ එවැනි ක්‍රියා මාර්ගයක් ඇරඹීමට පුද්ගලයෙකුට හැක්කේ කෙසේද?

නිවැරදි දැනුම අත්‍යවශ්‍යයි

4. යෙහෝවා තම සෙනඟට උපදෙස් දෙන්නේ කෙසේද?

4 යෙහෝවා සමඟ ඇවිදීම සඳහා අපි මුලින්ම ඔහුව දැන හඳුනාගත යුතුයි. අනාගතවක්තෘ යෙසායා මෙසේ පුරෝකථනය කළා: ‘මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල්වලට වඩා උස් වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කතා කොට: එන්න, යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු; ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වන්නේය, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද යෙහෝවාගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.’ (යෙසායා 2:2, 3) ඔව්, යෙහෝවාගේ මාර්ගවල ඇවිදීමට සොයන සෑමදෙනාටම ඔහු උපදෙස් දෙන බවට නිසැකකමක් තබාගන්න අපට හැකියි. යෙහෝවා තම වචනය වන බයිබලය සපයා දී ඇති අතර, එය තේරුම්ගැනීමට ඔහු අපට උපකාර කරනවා. ඔහු මෙය කරන එක් ආකාරයක් වන්නේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙනි. (මතෙව් 24:45-47) බයිබලය මත පදනම් ප්‍රකාශන, ක්‍රිස්තියානි රැස්වීම් හා නොමිලේ සපයන බයිබල් පාඩම් වැඩසටහන මගින් ආත්මික උපදෙස් සැපයීමට යෙහෝවා ‘විශ්වාසවන්ත දාසයාව’ යොදාගන්නවා.—1 කොරින්ති 2:10-16.

5. ශුද්ධ ලියවිලිමය සත්‍යය මෙතරම් අනර්ඝ මන්ද?

5 බයිබල් සත්‍යය සඳහා අපි මුදල් නොගෙව්වත්, එය අනර්ඝ දෙයක්. අපි දේවවචනය අධ්‍යයනය කරද්දී දෙවි ගැන, එනම් ඔහුගේ නම, ඔහුගේ පෞද්ගලිකත්වය, ඔහුගේ අරමුණ හා මිනිසුන් සමඟ ඔහු කටයුතු කරන ආකාරය ගැන ඉගෙනගන්නවා. ජීවිතයේ මෙම මූලික ප්‍රශ්නවලටත් අපි නිදහස ගෙන දෙන උත්තර දැනගන්නවා: අපි මෙහි සිටින්නේ මන්ද? දෙවි දුක් වේදනාවලට ඉඩ දෙන්නේ මන්ද? අනාගතයෙහි ඇත්තේ කුමක්ද? ඇයි අපි මහලු වී මියයන්නේ? මරණින් පසු ජීවිතයක් තිබේද? එපමණක් නොව, අප සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා එනම්, ඔහුව සම්පූර්ණයෙන්ම සතුටු කරනු වස් අප ඇවිදිය යුත්තේ කෙසේද කියා අපි ඉගෙනගන්නවා. ඔහුට අපෙන් ඕනෑ කරන දේවල් සාධාරණ බවත්, එමෙන්ම ඒවාට එකඟව අප ජීවත් වන විට පුදුමාකාර ලෙස ප්‍රයෝජන ලැබෙන බවත් අපි ඉගෙනගන්නවා. දෙවිගේ උපදෙස් නොමැතිව අපට කවදාවත් එවැනි දේවල් තේරුම්ගත නොහැකියි.

6. නිවැරදි බයිබල් දැනුම කුමන මාර්ගයක් ලුහුබැඳීමට අපට හැකි කරවනවාද?

6 බයිබල් සත්‍යය බලවත් මෙන්ම අපේ ජීවිත වෙනස් කිරීමට අපව පොලඹවනවා. (හෙබ්‍රෙව් 4:12) ශුද්ධලියවිල්ලේ දැනුම ලබාගැනීමට පෙර, අපට හැකි වුණේ “මේ ලෝකයේ දේවල පිළිවෙළට අනුව” ඇවිදීම පමණයි. (එපීස 2:2, NW) කෙසේවෙතත්, ‘යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරීමට [ඇවිදීමට, NW]’ හැකි කරවන පිණිස, දේවවචනය පිළිබඳ නිවැරදි දැනුම අපට වෙනස් මාර්ගයක් සකස් කර දෙනවා. (කොලොස්සි 1:12) මුළු විශ්වයෙහිම මහානුභාව සම්පන්න පුද්ගලයා වූ යෙහෝවා සමඟ ඇවිදීමට මුල් පියවර ගැනීම මොනතරම් ප්‍රීතියක්ද!—ලූක් 11:28.

වැදගත් පියවර දෙකක්—කැපවීම හා බව්තීස්මය

7. අපි දේවවචනය අධ්‍යයනය කරද්දී පැහැදිලි වන්නේ මිනිස් පාලනය පිළිබඳ කුමන සත්‍යයද?

7 බයිබලය පිළිබඳ අපේ තේරුම්ගැනීමෙහි අප වර්ධනය වන විට, දේවවචනයේ ආත්මික ආලෝකය තුළින් මිනිස් කටයුතු හා අපේම ජීවිත සෝදිසි කිරීමට අපි පටන්ගන්නෙමු. එමගින් වැදගත් සත්‍යයක් පැහැදිලි වෙයි. අනාගතවක්තෘ යෙරෙමියා මගින් බොහෝ කලකට පෙර එම සත්‍යය ප්‍රකාශ කරනු ලැබුවා; ඔහු මෙසේ ලිව්වා: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) මිනිසුන් වන අප සියල්ලන්ටම දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍යයි.

8. (අ) දෙවිට කැපවීමක් කිරීම සඳහා ජනයාව පොලඹවන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානි කැපවීම යනු කුමක්ද?

8 මෙම වටිනා කාරණය තේරුම්ගැනීම යෙහෝවාගෙන් මඟ පෙන්වීම සෙවීමට අපව පොලඹවනවා. එමෙන්ම දෙවිට ඇති ප්‍රේමය අපේ ජීවිත ඔහුට කැප කිරීමට අපව පොලඹවනවා. දෙවිට කැපවීමක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ යාච්ඤාවෙන් ඔහු වෙත ළඟාවීම හා ඔහුට සේවය කිරීම සඳහා අපේ ජීවිත යෙදවීමටත්, ඔහුගේ මාර්ගවල ඇදහිලිවන්තව ඇවිදීමටත් බැරෑරුම් ලෙස පොරොන්දු වීමයි. මෙසේ කිරීමෙන්, දිව්‍යමය කැමැත්ත ඉටු කිරීමට තිර අධිෂ්ඨානයකින් යෙහෝවාට තමාවම ඉදිරිපත් කළ යේසුගේ ආදර්ශය අපි අනුගමනය කරන්නෙමු.—හෙබ්‍රෙව් 10:7.

9. පුද්ගලයන් තම ජීවිත යෙහෝවාට කැප කරන්නේ මන්ද?

9 තමාට කැපවීමක් කරන්න කියා යෙහෝවා දෙවි කෙදිනකවත් කිසිම කෙනෙකුට බලපෑමක් හෝ බල කිරීමක් කරන්නේ නැහැ. (2 කොරින්ති 9:7 සසඳන්න.) එපමණක්ද නොව, හදිසියේ ඇති වූ චිත්තවේගී හැඟීමක් නිසා ඔවුන්ගේ ජීවිත තමාට කැප කිරීම, දෙවි කවරෙකුගෙන්වත් අපේක්ෂා කරන්නේ නැහැ. බව්තීස්ම වීමට පෙර, පුද්ගලයෙක් ගෝලයෙක් වී සිටිය යුතු අතර, ඒ සඳහා අවංක වෑයමකින් යුතුව දැනුම ලබාගැනීම අවශ්‍යයි. (මතෙව් 28:19, 20) ‘තමන්ගේ ශරීර දෙවිට පිළිගත හැකි වූ, ජීවමාන, පරිශුද්ධ යාග හැටියටද තමන්ගේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවයක් හැටියටද ඔප්පු කරන්න’ කියා ඒ වන විටත් බව්තීස්ම වී සිටි අයගෙන් පාවුල් ඕනෑකමින් ඉල්ලා සිටියා. (රෝම 12:1, NW) අප යෙහෝවා දෙවිට කැපවීමක් කරන්නේ අපේ විමර්ශනාත්මක ශක්තිය එලෙසම පාවිච්චි කිරීමෙනුයි. කැපවීමට සම්බන්ධව තිබෙන දේ ඉගෙනීමෙන් හා කාරණය පරෙස්සමින් සලකා බැලීමෙන් පසුව, අපි කැමැත්තෙන්ම හා ප්‍රීතියෙන් දෙවිට අපේ ජීවිත කැප කරනවා.—ගීතාවලිය 110:3.

10. කැපවීම බව්තීස්මයට සම්බන්ධ වන්නේ කෙසේද?

10 ඔහුගේ මාර්ගවල ඇවිදීම සඳහා වූ අපේ අධිෂ්ඨානය ප්‍රකාශ කිරීමට පෞද්ගලිකව යාච්ඤාවෙන් දෙවි වෙත එළඹුණු පසු, අපි ඊළඟ පියවර ගන්නෙමු. අප වතුරෙහි බව්තීස්ම වීම මගින් අප අපගේ කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මෙය දෙවිගේ කැමැත්ත කිරීමට අප පොරොන්දු වී ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමක් වෙනවා. යේසුගේ භූමික දේවසේවය ආරම්භයේදී යොහන්ගෙන් බව්තීස්මය ලැබීමෙන් ඔහු අපට ආදර්ශයක් තැබුවා. (මතෙව් 3:13-17) පසුව, ගෝලයන් සාදා ඔවුන්ව බව්තීස්ම කරන්න කියා යේසු තම අනුගාමිකයන්ට අණ කළා. එබැවින්, යෙහෝවා සමඟ ඇවිදීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට කැපවීම හා බව්තීස්මය අත්‍යවශ්‍ය පියවර වෙනවා.

11, 12. (අ) බව්තීස්මය විවාහයකට සමාන කළ හැක්කේ කෙසේද? (ආ) යෙහෝවා හා අප අතරත්, ස්වාමිපුරුෂයා හා භාර්යාව අතරත් පවතින සම්බන්ධතාවේ තිබෙන සමාන්තරය කුමක්ද?

11 යේසුස් ක්‍රිස්තුස්ගේ කැප වූ බව්තීස්ම ලත් ගෝලයෙක් වීම තරමක් දුරට, විවාහ වීම හා සමාන දෙයකි. බොහෝ රටවල, විවාහ දිනයට පෙර පියවර කීපයක් ගන්නවා. පුරුෂයෙක් හා ස්ත්‍රියක් මුණගැසී, එකිනෙකාව හඳුනාගන්නා අතර, ප්‍රේමයෙන් බැඳෙනවා. ඊළඟට විවාහ ගිවිස ගැනීමට පොරොන්දු වෙනවා. විවාහ වීමට හා ඉන්පසු ස්වාමිපුරුෂයා හා භාර්යාව හැටියට එකට ජීවත් වීමට පෞද්ගලිකව තීරණය කළ දෙය, විවාහය මගින් ප්‍රසිද්ධ කෙරෙනවා. එම විශේෂ සබඳතාවේ පටන්ගැන්ම ප්‍රසිද්ධියේ සංකේතවත් කරන්නේ විවාහයයි. එම දිනය විවාහයේ ආරම්භය සංකේතවත් කරනවා. සන්සන්දනාත්මකව බලන කල, යෙහෝවා සමඟ කැප වූ සබඳතාවක් ඇතුව ඇවිදීමට කැප කර තිබෙන ජීවිතයක ආරම්භය බව්තීස්මය මගින් සංකේතවත් කරනවා.

12 තවත් සමාන්තරයක් සලකා බලන්න. තම විවාහ දිනයෙන් පසු, ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර ආදරය ගැඹුරට යා යුතු අතර, එය වැඩිවර්ධනය විය යුතුයි. තව තවත් එකිනෙකාට සමීප වීම සඳහා විවාහ කලත්‍රයන් දෙදෙනාම තමන්ගේ විවාහ සබඳතාව පවත්වාගැනීමට හා ශක්තිමත් කිරීමට පරාර්ථකාමී ලෙස වෑයම් කළ යුතුයි. අප දෙවි සමඟ විවාහයකට ඇතුල් නොවුණත්, අපේ බව්තීස්මයෙන් පසු යෙහෝවා සමඟ සමීප සබඳතාවක් පවත්වාගැනීමට අප වැඩ කළ යුතුයි. ඔහුගේ කැමැත්ත කිරීමට අප දරන වෑයම නිරීක්ෂණය කරන හා අගය කරන ඔහු අපට ළං වෙනවා. ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වෙන්නේය’ කියා ශ්‍රාවක යාකොබ් ලිව්වා.—යාකොබ් 4:8.

යේසුගේ අඩිපාරේ ඇවිදීම

13. දෙවි සමඟ ඇවිදීමේදී, අප අනුගමනය කළ යුත්තේ කාගේ ආදර්ශයද?

13 යෙහෝවා සමඟ ඇවිදීමට නම්, යේසුස් ක්‍රිස්තුස් තැබූ ආදර්ශයට අප අනුකූල විය යුතුයි. ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: ‘ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස් නුඹලා නිසා වධ විඳ, නුඹලා ඔහුගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේය.’ (1 පේතෘස් 2:21) යේසු පරිපූර්ණ වූ අතර අප අසම්පූර්ණ බැවින්, ඔහු තැබූ ආදර්ශය අකුරටම අනුගමනය කරන්න අපට නොහැකියි. කෙසේනමුත්, අපට හැකි උපරිමය කිරීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා. කැප වූ ක්‍රිස්තියානීන් අනුකරණය කිරීමට වෑයම් කළ යුතු යේසුගේ ජීවිතයේ හා දේවසේවයේ අංග ලක්ෂණ පහක් අපි සලකා බලමු.

14. දේවවචනය දැන සිටීම යන්නට ඇතුළත් වන්නේ මොනවාද?

14 දේවවචනය පිළිබඳව නිවැරදි හා මනා දැනුමක් යේසුට තිබුණා. ඔහුගේ දේවසේවයේදී, යේසු නිතරම හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දැක්වුවා. (ලූක් 4:4, 8) ඇත්තෙන්ම, එකල දුෂ්ට ආගමික නායකයන්ද ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වුවා. (මතෙව් 22:23, 24) වෙනස වුණේ, ශුද්ධ ලියවිල්ලේ අදහස් කළ දේ යේසු තේරුම්ගෙන, ඔහුගේ ජීවිතයට ඒවා අදාළ කරගැනීමයි. ඔහු ව්‍යවස්ථාවේ වචනය පමණක් නොව එහි සාරයත් දැනගෙන හිටියා. අප ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරද්දී, අපත් දේවවචනය තේරුම්ගැනීමට හා එහි අර්ථය හෝ සාරය ඇදගැනීමට වෑයම් කළ යුතුයි. එසේ කිරීමෙන්, “සැබෑවේ වචනය හරි ආකාර පහදා” දීමට හැකි දිව්‍යමය අනුමැතිය ලත් සේවකයන් බවට පත්වීමට අපට හැකියි.—2 තිමෝති 2:15.

15. දෙවි ගැන කතා කිරීමේදී යේසු ආදර්ශයක් තැබුවේ කෙසේද?

15 ක්‍රිස්තුස් යේසුස් තම ස්වර්ගික පියා ගැන අන්‍යයන්ට කතා කළා. යේසු දේවවචනය පිළිබඳ තම දැනුම තමාටම තබාගත්තේ නැහැ. ඔහු ගිය කොතැනකදී වුවත් යෙහෝවා හා ඔහුගේ අරමුණු ගැන අන්‍යයන්ට කතා කළ නිසා, ඔහුගේ සතුරන් පවා ඔහුව ඇමතුවේ “ආචාරිනි” කියායි. (මතෙව් 12:38) යේසු දේවමාළිගා භූමියේදී, සිනගෝගවලදී, නුවරවලදී හා ගම්වලදී ප්‍රසිද්ධියේ දේශනා කළා. (මාර්ක් 1:39; ලූක් 8:1; යොහන් 18:20) තමා උපකාර කළ අයට ප්‍රේමය පෙන්වමින් ඔහු දයානුකම්පාවෙන් හා කරුණාවෙන් ඉගැන්නුවා. (මතෙව් 4:23) යේසුගේ ආදර්ශය අනුගමනය කරන්නන්ද, යෙහෝවා දෙවි හා ඔහුගේ පුදුමාකාර අරමුණු ගැන අන්‍යයන්ට ඉගැන්වීමට බොහෝ ස්ථාන හා මාර්ග සොයාගන්නවා.

16. යෙහෝවාගේ සෙසු නමස්කාරකයන් සමඟ යේසුගේ සබඳතාව කෙතරම් දුරකට සමීපව තිබුණාද?

16 යෙහෝවාට නමස්කාර කළ වෙනත් අය සම්බන්ධයෙන් යේසුට සමීප බැඳීමක හැඟීමක් තිබුණා. යේසු එක් අවස්ථාවක සෙනඟට කතා කරන අතරතුරේදී, ඔහුගේ මව හා ඔහුගේ නොඇදහිලිවන්ත සහෝදරයන් ඔහු හා කතා කිරීමට පැමිණියා. බයිබල් වාර්තාව මෙසේ පවසනවා: ‘එක්කෙනෙක් ඔහුට කතා කොට: බලන්න, ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමඟ කතා කරන්ට සොයමින් පිටත සිටිතියි ඔහුට කීවේය. එහෙත් ඔහු තමන්ට කතා කළ තැනැත්තාට උත්තර දෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා, තමන් ගෝලයන් දෙසට අත දිගු කොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්ය.’ (මතෙව් 12:47-50) යේසු තම පවුල ප්‍රතික්ෂේප කළ බවක් මින් අදහස් කරන්නේ නැහැ; මන්ද ඔහු එසේ නොකළ බව පසු සිද්ධීන් ඔප්පු කරන බැවිනි. (යොහන් 19:25-27) එහෙත්, සෙසු ඇදහිලිවන්තයන් සඳහා යේසු දැක්වූ ප්‍රේමය මෙම වාර්තාවේ අවධාරණය කරනවා. එලෙසම අදදිනත්, දෙවි සමඟ ඇවිදින්නන් යෙහෝවාගේ වෙනත් සේවකයන්ගේ මිත්‍රත්වය සොයන අතර ඔවුන් කෙරෙහි බොහෝ සෙයින් ප්‍රේමය වර්ධනය කරගන්නවා.—1 පේතෘස් 4:8.

17. තම ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීම සම්බන්ධයෙන් යේසුට හැඟුණේ කෙසේද? එමෙන්ම එය අපට බලපෑ යුත්තේ කෙසේද?

17 දිව්‍ය කැමැත්ත කිරීම මගින්, යේසු තම ස්වර්ගික පියා කෙරෙහි ප්‍රේමය පෙන්නුවා. යේසු සෑම දෙයකදීම යෙහෝවාට කීකරු වුණා. ඔහු මෙසේ පැවසුවා: ‘මාගේ කෑම නම් මා එවූ තැනැත්තාගේ කැමැත්ත කොට ඔහුගේ වැඩ ඉෂ්ට කිරීමය.’ (යොහන් 4:34) ක්‍රිස්තුස් මෙසේද පැවසුවා: “[දෙවිට] ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමි.” (යොහන් 8:29) යේසු තම ස්වර්ගික පියාට කොයිතරම් ප්‍රේම කළාද කියනවා නම්, “ඔහු තමාවම යටහත් පහත් කරගනිමින්, මරණය දක්වා එසේය වධ කණුවේ මරණය දක්වා කීකරු වුණේය.” (පිලිප්පි 2:8, NW) ප්‍රතිඵලයක් වශයෙන්, යේසුව අධිකාරිත්වයේ තනතුරකට උසස් කරමින් හා යෙහෝවාට පමණක් දෙවෙනි වන ගෞරවයකට පාත්‍ර කරමින් යෙහෝවා යේසුට ආශීර්වාද කළා. (පිලිප්පි 2:9-11) යේසු මෙන්, දෙවිගේ ආඥා පැවැත්වීමෙන් හා ඔහුගේ කැමැත්ත කිරීමෙන් අප දෙවි සඳහා අපේ ප්‍රේමය පෙන්වන්නෙමු.—1 යොහන් 5:3.

18. යාච්ඤාව සම්බන්ධ කාරණයේදී යේසු ආදර්ශයක් තැබුවේ කොයි ආකාරයෙන්ද?

18 යේසු යාච්ඤාවේ නියැලුණ මනුෂ්‍යයෙක්. ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදී යාච්ඤා කළා. (ලූක් 3:21) ගෝලයන් 12දෙනා තේරීමට පෙර, ඔහු යාච්ඤා කිරීමට මුළු රාත්‍රියම කැප කළා. (ලූක් 6:12, 13) යේසු ගෝලයන්ට යාච්ඤා කරන අයුරු ඉගැන්නුවා. (ලූක් 11:1-4) ඔහුගේ මරණයට පෙර රාත්‍රියේදී, ඔහුගේ ගෝලයන් වෙනුවෙන් හා ඔවුන් සමඟ යාච්ඤා කළා. (යොහන් 17:1-26) යාච්ඤාව යේසුගේ ජීවිතයේ වැදගත් අංගයක් වූ අතර, අප ඔහුගේ අනුගාමිකයන් බැවින් අපේ ජීවිතවල පවා එය එසේ විය යුතුය. විශ්ව පරමාධිපතිට යාච්ඤාව තුළින් කතා කිරීම මොනතරම් ගෞරවයක්ද! තවදුරටත්, යෙහෝවා යාච්ඤාවලට පිළිතුරු දෙනවා; ඒ ගැන යොහන් මෙසේ ලිව්වා: ‘ඔහු ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප ඔහුගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් ඔහු අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල ඔහු අසන බව අපි දනිමු නම්, අප ඔහුගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමු.’—1 යොහන් 5:14, 15.

19. (අ) අප අනුකරණය කළ යුත්තේ යේසුගේ කුමන ගුණාංගද? (ආ) යේසුගේ ජීවිතය හා දේවසේවය අධ්‍යයනය කිරීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කුමන ආකාරවලින්ද?

19 යේසුස් ක්‍රිස්තුස්ගේ භූමික ජීවිතය හා දේවසේවය කිට්ටුවෙන් සෝදිසි කර බැලීමෙන් ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා! ඔහු විදහා දැක්වූ මෙම ගුණාංග පිළිබඳව මෙනෙහි කරන්න: ප්‍රේමය, දයානුකම්පාව, කරුණාව, ශක්තිය, සමබරතාව, සාධාරණකම, නිහතමානිකම, ධෛර්යය හා පරාර්ථකාමිත්වය. අප යේසු ගැන වැඩියෙන් ඉගෙනගන්න තරමටම, ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් වීමට අපේ ආශාවත් වැඩි වෙනවා. යේසු ගැන දැනගැන්ම අපව යෙහෝවා වෙතටත් සමීප කරවනවා. ඇරත්, යේසු ඔහුගේ ස්වර්ගික පියාගේ පරිපූර්ණ ප්‍රතිබිම්බයද වුණා. ඔහු යෙහෝවා සමඟ කොතරම් කුලුපගව සිටියාද කිවහොත් ඔහුට මෙසේ කියන්න හැකි වුණා: “මා දුටු තැනැත්තේ [පියාව] දුටුවේය.”—යොහන් 14:9.

දෙවි ඔබව උසුලන බවට විශ්වාස කරන්න

20. යෙහෝවා සමඟ ඇවිදීමේදී අපට නිසැකකම ඇති කරගත හැක්කේ කෙසේද?

20 දරුවන් ඇවිදීමට ඉගෙනගන්නා විට, ඔවුන් ඇවිදින්නේ වැටි වැටියි. නොවැටී නිසැකකමින් ඇවිදින්න ඔවුන් ඉගෙනගන්නේ කෙසේද? පුහුණුව හා අඛණ්ඩ උත්සාහයෙන් පමණයි. ඇත්තෙන්ම, යෙහෝවා සමඟ ඇවිදින අය නිසැකකමකින්, නොවැටී පියවර තැබීමට වෑයම් කරනවා. මෙයටත් කාලය හා අඛණ්ඩ උත්සාහය අවශ්‍යයි. දෙවි සමඟ ඇවිදීමේදී අඛණ්ඩ උත්සාහයේ ඇති වැදගත්කම ගැන පාවුල් පෙන්නුම් කළා: ඔහු මෙසේ ලිව්වා: ‘ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර [ඇවිද, NW] දෙවිව ප්‍රසන්න කරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන [ඇවිදින, NW] ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමි වූ යේසුස් තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාද කරමු.’—1 තෙසලෝනික 4:1.

21. අප යෙහෝවා සමඟ ඇවිදින විට, අපට භුක්ති විඳිය හැක්කේ කුමන ආශීර්වාදද?

21 අපි මුළුමනින්ම දෙවිට කැප වෙනවා නම්, ඔහු සමඟ දිගටම ඇවිදීමට ඔහු අපට උපකාර කරනු ඇත. (යෙසායා 40:29-31) ඔහුගේ මාර්ගවල ඇවිදින අයට ඔහු ප්‍රදානය කරන ආශීර්වාද, ලෝකයට ඉදිරිපත් කළ හැකි කිසිම දෙයකට සමාන කළ නොහැකියි. ‘ප්‍රයෝජන ලබාගැනීමට අපට උගන්වන්නෙත් අප යා යුතු මාර්ගයෙහි අප ගෙන යන්නෙත් අපේ දෙවි වූ යෙහෝවා වන’ ඔහුය. ‘අපි ඔහුගේ ආඥාවලට ඇත්තටම ඇහුම්කන් දෙනවා නම් අපේ සමාදානය ගංගාවක් මෙන්ද අපේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.’ (යෙසායා 48:17, 18) දෙවි සමඟ ඇවිදීමට කර තිබෙන ඇරයුම පිළිගැනීමෙන් හා විශ්වාසවන්තව එසේ කිරීමෙන්, ඔහු සමඟ සදහටම සාමය භුක්ති විඳින්න අපට හැකියි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

◻ සැබෑ දෙවි සමඟ ඇවිදීම ගෞරවයක් වන්නේ මන්ද?

◻ යෙහෝවා සමඟ ඇවිදීමේදී අධ්‍යයනය, කැපවීම හා බව්තීස්මය මුල් පියවරවල් වන්නේ මන්ද?

◻ අපට යේසුගේ අඩිපාරේ යෑමට හැක්කේ කෙසේද?

◻ අප යෙහෝවා සමඟ ඇවිදින විට ඔහු අපව උසුලන බව අප දන්නේ කෙසේද?

[13වන පිටුවේ පින්තූර]

දෙවි සමඟ ඇවිදීමට අධ්‍යයනය, කැපවීම හා බව්තීස්මය මුල් පියවරවල් වේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න