මගේ සහෝදරයාගෙන් මම ණයක් ඉල්ලීම යෝග්‍යද?
සයිමන්ගේ බාලම දරුවාට අසනීපයි, ඔහුට ඉක්මනින්ම බෙහෙත් අවශ්‍යයි. නමුත් සයිමන් හරිම දුප්පත්, ඔහුට ඒක දරන්න බැහැ. ඔහුට කරන්න පුළුවන් මොනවද? ඔහුගේ සෙසු ක්රිස්තියානිවරයෙකු වන මයිකල්ට නම් මූල්‍යමය අතින් ඔහුට වඩා යමක් කමක් තියෙනවා. ඇතැම්විට, මයිකල් ඔහුට ණයට මුදලක් දෙන්න පුළුවන්. කොහොම වුණත්, සයිමන් දන්නවා තමාට ණය ආපසු ගෙවීමට තිබෙන හැකියාව හරිම අඩු බව.a
සයිමන් ඔහු වෙතට පැමිණෙන විට, මයිකල් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පානවා. මෙහි සැබෑ අවශ්‍යතාවක් තිබෙන බව ඔහු වටහාගත්තත්, සයිමන් තමාගේ පවුලේ අයගේ බඩ කට පුරවන්න පවා සෑහෙන අරගලයක යෙදෙන නිසා සයිමන්ට මුදල ආපසු ගෙවා දමන්න නොහැකි වේයයි ඔහු සැක කරනවා. මයිකල් කුමක් කළ යුතුද?
බොහෝ රටවල්වල මිනිසුන්ගේ ජීවනෝපාය එක රැයකින් නැති වෙන්න පුළුවන්; එනිසා බෙහෙත්වලට යන වියදම් පියවාගන්න මුදල් හෝ රක්ෂණයක් නැති තත්වයකට පත් වෙනවා. බැංකු ණයක් ගැනීමේ හැකියාවක් නොතිබෙන්න පුළුවන්; නැතිනම් ඉහළ පොළියක් අය කරන නිසා ණය ගැනීම අපහසු දෙයක් වෙන්න පුළුවන්. හදිසි අවශ්‍යතාවක් එළඹුණු විට එකම විසඳුම ණයක් ගැනීම බව පෙනී යා හැකියි. එහෙත් ණයක් ඉල්ලීමට ප්‍රථමයෙන් වැදගත් කාරණා සමහරක් සලකා බැලීමට තිබෙනවා.
වියදම ගණන් බලන්න
ණය දෙන්නා සහ ණය ගන්නා යන දෙපාර්ශ්වයටම ශුද්ධ ලියවිලිවල මඟ පෙන්වීම සපයනවා. මෙම උපදෙස්වලට ඇහුම්කන් දීමෙන්, අපට බොහෝ වරදවා වටහාගැනීම් සහ සිත් රිදවීම් මඟහරින්න පුළුවන්.
උදාහරණයකට මුදල් ණයට ගැනීම යන කාරණය අප සැහැල්ලුවෙන් නොතැකිය යුතු බව බයිබලය අපට සිහිගන්වනවා. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ උනන්දු කළා: “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.” (රෝම 13:8) ඇත්තෙන්ම ක්‍රිස්තියානීන් අනිත් අයට ණයගැතිව සිටිය යුත්තේ ප්‍රේමය සම්බන්ධයෙන් පමණි. ඒ නිසා පළමුවෙන්ම, ‘මේ ණය අපට ඇත්තෙන්ම අවශ්‍යද’ කියා අපෙන්ම අසාගැනීමට පුළුවන්.
පිළිතුර එසේය කියා නම්, ඊළඟට ණයක් ගැනීමෙන් ඇති වන ප්‍රතිඵල සලකා බැලීම ඥානවන්තයි. වැදගත් තීරණවලට කල්පනාකාරිව සිතා බැලීම සහ සැලසුම් කිරීම අවශ්‍ය බව යේසුස් ක්‍රිස්තුස් පෙන්නුම් කළා. ඔහු තම ගෝලයන්ගෙන් මෙසේ විමසුවා: “මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) සහෝදරයෙකුගෙන් ණයක් ඉල්ලනවාද, නැද්ද කියා සලකා බැලීමේදී මෙම ප්‍රතිපත්තිය අදාළ වෙනවා. ණයක වියදම ගණන් බලනවාය කියන්නේ, අප එය නැවත ගෙවන්නේ කොහොමද සහ කවදාද කියා ගණනය කිරීමයි.
ණය ආපසු ගෙවන්නේ කොහොමද සහ කවදාද කියා දැනගැනීමට ණය දෙන්නාට අයිතියක් තිබෙනවා. කාරණා පරෙස්සෙමින් කිරා මැන බැලීමෙන් ඔහුට නිශ්චිත පිළිතුරු දීමට අපට හැකි වෙනවා. සාධාරණ කාලපරිච්ඡේදයක් තුළදී, ණය ආපසු ගෙවා දැමීමට යන වියදම අප ගණන් බලා තිබෙනවාද? ඇත්තටම අපේ සහෝදරයාට මෙහෙම කියන එක වඩාත් පහසුයි: “පුළුවන් ඉක්මනින්ම මම ඔයාට ආපහු ගෙවනවා. ඔයා දන්නවනේ මාව ඔයාට විශ්වාස කරන්න පුළුවන් කියලා.” නමුත් අප එවැනි කාරණා මීට වඩා වගකීමකින් යුතු ආකාරයකට හැසිරවිය යුතු නොවේද? අප මුල පටන්ම ණය ආපසු ගෙවන්න තීරණය කළ යුතුයි; මන්දයත් යෙහෝවා අපෙන් අපේක්ෂා කරන්නේ එයයි. “දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි” කියා ගීතාවලිය 37:21හි පැවසෙනවා.
අප ණය ආපසු ගෙවන්නේ කොහොමද සහ කවදාද කියා ගණන් බැලීමෙන්, අප කරපිටට ගෙන ඇති වගකීම ගැන අප අපටම මතක් කරවාගන්නවා. මෙය අප අනවශ්‍ය ලෙස ණය වීමට තිබෙන ප්‍රවණතාව අඩු කරන්න යනවා. අපට ණය වීමෙන් වළකින්න පුළුවන් නම්, එහි වාසි තිබෙනවා. හිතෝපදේශ 22:7හි අපට මෙසේ අනතුරු අඟවනවා: “ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.” ණය දෙන්නා සහ ණය ගන්නා යන දෙදෙනාම ආත්මික සහෝදරයන් වුණත්, ණයක් නිසා ඔවුන්ගේ තිබෙන සබඳතාව යම් දුරකට හෝ හානි වෙන්න පුළුවන්. ණය සම්බන්ධයෙන් වරදවා වටහාගැනීම්, සමහර සභාවන්වල සාමය පවා පලුදු කරවා තිබෙනවා.
මුදල් අවශ්‍ය මන්දැයි පැහැදිලි කරන්න
අප ණයට ගත් මුදල් භාවිත කරන්න යන්නේ කොහොමද කියා මූලික වශයෙන් දැනගැනීමට ණයට දෙන්නාට අයිතියක් තිබෙනවා. මෙම ණය හැරුණු විට, අප වෙනත් අයගෙනුත් ණය ගනිමින් සිටිනවාද? එසේනම්, ණය ආපසු ගෙවීමට ඇති හැකියාවට එය බලපාන නිසා, අප මෙය පැහැදිලි කළ යුතුයි.
ව්‍යාපාරික ණයක් සහ කෙනෙකුට යම් හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ණයක් අතර තිබෙන වෙනස හඳුනාගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ණයට මුදල් දීමට කිසිම ආකාරයකින් ශුද්ධ ලියවිලිමය ලෙස සහෝදරයෙකු බැඳී නොසිටියත්, ආහාර, ඇඳුම් පැළඳුම් හෝ අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වැනි මූලික අවශ්‍යතාවන්වලට ගෙවීමට තරම්වත් වෙනත් සහෝදරයෙකුට හැකියාවක් නැතිනම්, එමෙන්ම එය ඔහුගේ වරදක් නෙවෙයි නම්, සමහරවිට ඒ සඳහා උපකාර කිරීමට ණයට දෙන සහෝදරයා තුළ පෙලඹවීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙවැනි කාරණාවලදී අවංකභාවය සහ සත්‍යවාදිකම, වරදවා වටහාගැනීම් වළක්වාගැනීමට උපකාරි වෙනවා.—එපීස 4:25.
ලිඛිතව තබාගන්න
අනාගතයේ ඇති විය හැකි වරදවා වටහාගැනීම් මඟහැරීමට නම්, ගිවිසුමේ ලිඛිත වාර්තාවක් තබාගැනීම ඉතා වැදගත් පියවරක් වෙනවා. ගිවිසුමේ තිබෙන නිශ්චිත තොරතුරු ලිඛිතව තබාගත්තේ නැති නම්, එය පහසුවෙන් අමතක වී යෑමට පුළුවන්. ණයට ලබාගත් ප්‍රමාණය සහ එය නැවත ආපසු ගෙවිය යුත්තේ කවදාද කියා අප සටහන් කරගැනීම අවශ්‍යයි. ණය දෙන්නා සහ ණය ගන්නා යන දෙපාර්ශ්වයම ගිවිසුමට අත්සන් කිරීම හා තමන්ට පෞද්ගලික පිටපතක් තබාගැනීම, ඔවුන් දෙදෙනාටම නුවණට හුරුයි. මූල්‍යමය ගනු දෙනු ලිඛිතව තබාගත යුතු බව බයිබලය අඟවනවා. බබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කිරීමට කෙටි කාලයකට ප්‍රථමයෙන්, යෙරෙමියාට ඔහුගේ ඥාතියෙක්ගෙන් ඉඩමක් මිල දී ගන්නා ලෙස යෙහෝවා පැවසුවා. එම ක්‍රියාමාර්ගය නැවත මතක් කරගැනීමෙන් අපට ප්‍රයෝජන ලබාගැනීමට පුළුවන්.
“මම වනාහි අනාතෝත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල්ගෙන් මිලේට” ගත්තායයි යෙරෙමියා පැවසුවා. පසුව ඔහු මෙසේ සඳහන් කළා: “එහි මිල වන රිදී ෂෙකෙල් දහහතක් ඔහුට කිරාදුනිමි. මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන, මිල ඔහුට තරාදියෙන් කිරාදුනිමි. මම ව්‍යවස්ථාව සහ සිරිත ලෙස මුද්‍රාකර තිබුණු විකුණුම්-ඔප්පුවත් නොවසා තිබුණු එකත් රැගෙන, මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.” (යෙරෙමියා 32:9-12) ඉහත සඳහන් කළ උදාහරණය, ණයක් සම්බන්ධයෙන් අදාළ වෙනවාට වඩා මිලයට ගැනීමකට සම්බන්ධ වුණත්, මූල්‍යමය ගනුදෙනු පැහැදිලි, නිශ්චිත ආකාරයකින් හැසිරවීමේ ඇති වැදගත්කම එය පෙන්වනවා.—1973 මැයි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්), 287-8 පිටු බලන්න.
ගැටලු මතු වුණහොත් ක්‍රිස්තියානීන් මතෙව් 18:15-17හි වාර්තා කර ඇති යේසුගේ උපදෙස්වලට අනුකූලව ඒවා නිරාකරණය කරගැනීමට උත්සාහ කළ යුතුයි. එවැනි කාරණාවලදී උපකාර කිරීමට වෑයම් කර තිබූ එක් වැඩිමහල්ලෙක් මෙසේ විස්තර කරනවා: “සෑම අවස්ථාවකදීම වගේ ලිඛිත ගිවිසුමක් තිබුණේ නැහැ. ප්‍රතිඵලයක් හැටියට, ණය ආපසු ගෙවන්නේ කොහොමද කියන එක ගැන දෙපාර්ශ්වය අතරේ පැහැදිලි වැටහීමක් තිබුණේ නැහැ. මෙම කාරණා ලිඛිතව කිරීම ප්‍රේමයේ සංකේතයක් මිසක් අවිශ්වාස කිරීමක් නෙවෙයි කියන එක මට සහතිකයි.”
වරක් අප ගිවිසුමක් ඇති කරගත් විට, අපේ වචනය ඒ විදියටම තබාගන්න වෑයම් කළ යුතුයි. යේසු මෙසේ අවවාද කළා: “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.” (මතෙව් 5:37, ඇල අකුරු අපේය.) සමහර අනපේක්ෂිත ගැටලු හේතුවෙන් නියමිත දිනයට ණය ආපසු ගෙවීමට නොහැකි වුණොත්, අප ඉක්මනින්ම ණය දුන් පුද්ගලයාට තත්වය පැහැදිලි කළ යුතුයි. ඇතැම්විට, ඔහු දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා ණය ටිකෙන් ටික ගෙවීමට අපට අවසර දෙන්න පුළුවන්.
එහෙත් අසතුටුදායක තත්වයන් අපේ වගකීම් කර අරින්න නිදහසට කරුණක් නොවෙයි. යෙහෝවාට භයැති පුද්ගලයෙක් තමාගේ වචන එයාකාරයෙන්ම පවත්වාගන්න තමාට හැකි උපරිමය කරනවා. (ගීතාවලිය 15:4) කාරණා අප බලාපොරොත්තු වූ අයුරින්ම සිදු නොවුණත්, අපේ ණය ගෙවීම සම්බන්ධයෙන් කැප කිරීම් කරන්න අප සූදානම්ව සිටිය යුතුයි. මන්දයත් එය අපේ ක්‍රිස්තියානි වගකීමක් වන නිසයි.
මුදල් ණයට දීම ගැන පරෙස්සම් වන්න
ඇත්තෙන්ම කාරණා පරෙස්සමින් කිරා මැන බැලිය යුත්තේ ණයට ගන්නා පමණක් නොවෙයි. ණයක් දෙන සහෝදරයත් වියදම් ගණන් බැලිය යුතුයි. ණයක් දීමට ප්‍රථමයෙන් කාරණා පරෙස්සමින් සහ යථාර්ථවාදීව සලකා බැලීමට අප කාලය ගන්නවා නම් එය ඥානවන්ත දෙයක් වෙනවා. බයිබලය අපට අනතුරු අඟවමින් මෙසේ උදක්ම ඉල්ලා සිටිනවා: “නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවෙන්න.”—හිතෝපදේශ 22:26.
ඔබ වචනයක් දීමට ප්‍රථමයෙන්, ආපසු ඔබට ගෙවන්න සහෝදරයාට නොහැකි වුණොත් ඇති වන තත්වය ගැන සලකා බලන්න. එවිට ඔබටත් බරපතළ මූල්‍යමය ගැටලු පැනනඟීද? සහෝදරයාට අවංකව ඕනෑකමක් තිබුණත් තත්වයන් වෙනස් වෙන්න පුළුවන්, නැතිනම් ඔහු ගණන් බැලූ ආකාරය වැරදි වෙන්න පුළුවන්. යාකොබ් 4:14හි අප සියලුදෙනාටම මෙසේ සිහිගන්වනවා: “මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.”—දේශනාකාරයා 9:11 සසඳන්න.
විශේෂයෙන්ම ව්‍යාපාරික ණයක් දීමේදී, ණය ගන්න පුද්ගලයා මුදල් සම්බන්ධයෙන් දරා තිබෙන නාමය සැලකිල්ලට ගැනීම ඥානවන්තයි. ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධද, නැතිනම් මූල්‍යමය කටයුතු හැසිරවීමට හැකියාවක් නැති තැනැත්තෙක්ද? එක් එක්කෙනාගෙන් මුදල් ඉල්ලමින් සභාව වටේ යන නැඹුරුවාවක් ඔහුට තිබෙනවාද? මෙම වචන මනසේ තබාගැනීම ඥානවන්ත වෙනවා: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.”—හිතෝපදේශ 14:15.
ණයක් ගැනීම ඇතැම් අවස්ථාවලදී ණයට ගන්නාටත් යහපතක් නොවෙන්න ඉඩ තියෙනවා. එය පහසුවෙන්ම ඔහුට බරක් විය හැකි අතර, ඔහුගෙන් සතුට සොරාගන්න ඉඩ තියෙනවා. එවැනි සහෝදරයෙකු අපේ “මෙහෙකරුවෙක්” වෙනවා දකින්න අපට ඕනෑද? ණය ගෙවීමට නොහැකි වුණොත් ඔහුව යම් අපහසුතාවකට හෝ ලජ්ජාවකට පවා පත් කරවමින් එය අපේ සබඳතාව පලුදු කරන්නේ නැද්ද?
ඇත්තටම අවශ්‍යතාවක් තිබෙනවා නම්, සමහරවිට එය සුළු මුදලක් වුණත්, ණයක් හැටියට දෙනවා වෙනුවට තෑග්ගක් හැටියට දෙන්න පුළුවන්ද? අපේ සහෝදරයාට උපකාරයක් අවශ්‍ය බව පෙනෙන විට, ශුද්ධ ලියවිලි අපට දිරිගන්වන්නේ අනුකම්පාසහගත වන ලෙසයි. ගීතිකාකරු මෙයාකාරයෙන් ගායනා කළා: “ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.” (ගීතාවලිය 37:21) අවශ්‍යතාව තිබෙන සහෝදරයන්ට අපට පුළුවන් ආකාරයෙන් ප්‍රයෝගික උපකාරය දීමට ප්‍රේමය අපව පෙලඹවිය යුතුයි.—යාකොබ් 2:15, 16.
ඔබේ පියවර පරෙස්සමින් සලකා බලන්න
ණයට ගැනීම් මතභේදවලට ලක් විය හැකි හේතුකාරකයක් නිසා, අප ඒවා සැලකිය යුත්තේ අන්තිම විසඳුම ලෙස විනා පහසු විකල්පයක් හැටියට නොවෙයි. ඉහත සඳහන් කළ ආකාරයට, ණය ආපසු ගෙවන්නේ කොහොමද සහ කවදාද කියා ලිඛිතව සඳහන් කරගැනීමට ණයට ගන්නා, ණයට දෙන්නාත් සමඟ නොවළහා කතා කරගත යුතුයි. ඒ වගේම, ඇත්තටම අපහසුතාවකට පත්ව සිටිනවා නම් හොඳම විසඳුම තෑග්ගක් විය හැකියි.
සයිමන් ඉල්ලා සිටි මුදල, මයිකල් ඔහුට ණයට දුන්නේ නැහැ. ඒ වෙනුවට මයිකල් ඔහුට ඊට වඩා අඩු මුදලක් තෑග්ගක් හැටියට දුන්නා. ඔහුගේ දරුවාගේ බෙහෙත්වලට ගෙවීම සඳහා දුන් එම උපකාරයට සයිමන් ස්තුතිවන්ත වුණා. ඒ වගේම, තම සහෝදර ප්‍රේමය ප්‍රායෝගික ආකාරයකින් පෙන්වීමට හැකිවීම ගැන මයිකලුත් සන්තෝෂ වුණා. (හිතෝපදේශ 14:21; ක්‍රියා 20:35) මයිකල් සහ සයිමන් යන දෙදෙනාම, රාජ්‍ය පාලනය යටතේ ක්‍රිස්තුස් “සහන පතා මොරගසන අසරණයන් [මුදාගන්නා]” සහ “තමා ලෙඩින්” යයි කිසි කෙනෙක් නොකියන කාලයක් එන තෙක් බලා සිටිනවා. (ගීතාවලිය 72:12 නව අනුවාදය; යෙසායා 33:24) ඒ වන තෙක්, අපට කවදාහරි සහෝදරයෙකුගෙන් ණයක් ඉල්ලීමට පෙලඹීමක් ඇති වුණොත්, අපේ පියවර අපි පරෙස්සමින් සලකා බලමු.
[පාදසටහන]
a මෙහි යොදා තිබෙන්නේ ආදේශක නම්ය.
[25වන පිටුවේ පින්තූරය]
ණය සම්බන්ධව කරන ගිවිසුම් ලිඛිතව දැක්වීම ප්‍රේමයේ සංකේතයක් මිසක් අවිශ්වාස කිරීමක් නොවෙයි