ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 12/1 8-13 පි.
  • ඇදහිල්ල නිසා වෛරයට ලක්ව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇදහිල්ල නිසා වෛරයට ලක්ව
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගෝලත්වයේ “වියදම”
  • වෛරයෙන් පිරී හා වෛර කරනු ලැබ
  • මුල් ක්‍රිස්තියානීන්—ඔවුන්ට වෛර කළේ කවුද?
  • මුල් ක්‍රිස්තියානීන් —රෝම ලෝකයා විසින් ඔවුන්ට වෛර කරනු ලැබූ හේතුව
  • ඇදහිල්ල පාවා දීමට කිසිඳු අදහසක් නැත!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ ඇදහිල්ලට පක්ෂව කතා කිරීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුල් ක්‍රිස්තියානිහු සහ ලෝකය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 12/1 8-13 පි.

ඇදහිල්ල නිසා වෛරයට ලක්ව

“නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය.”—මතෙව් 10:22.

1, 2. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ආගමික විශ්වාසයන් ක්‍රියාවට නැංවීම නිසා විඳදරාගැනීමට සිදුව ඇති සැබෑ ජීවිත අද්දැකීම් කිහිපයක් ගැන කියන්න.

ක්‍රීතය නම් දූපතේ එක් අවංක සාප්පු හිමියෙක්ව බොහෝ වතාවක් අත්අඩංගුවට ගෙන, නැවත නැවත ග්‍රීක අධිකරණය ඉදිරිපිටට ගෙන එයි. තම බිරිඳ හා දරුවන් පස්දෙනාගෙන් ඈත්ව, අවුරුදු හයක් ඔහු සිර කුටියේ ගත කරයි. ජපානයේ, 17 හැවිරිදි එක් ශිෂ්‍යයෙක්ව පාසැලෙන් අස් කරන අතර, මෙසේ කරන්නේ ඔහුගේ හොඳ හැසිරීම මෙන්ම 42දෙනෙකුගෙන් යුත් පන්තියක ඉහළම ලකුණු මට්ටම් ලබාගනිමින් තිබියදීයි. ප්‍රංශයේ, මිනිසුන් හුඟදෙනෙකුට හිටි හැටියේම රැකියා අහිමි වෙයි; මෙම තත්වය උද්ගත වූයේ ඔවුන් කාර්යක්ෂමව හා තම වැඩය බැරෑරුම් කොට තකනවා කියා ප්‍රසිද්ධියක් උසුලා සිටියදීයි. මෙම සත්‍ය ජීවිත අද්දැකීම්වලට මුල් වී ඇති පොදු දෙය කුමක්ද?

2 මෙයට සම්බන්ධව ඇති සියලුමදෙනා යෙහෝවාගේ සාක්ෂිකාරයෝ වෙත්. ඔවුන් සිදු කළ “අපරාධය”? මූලික හරය ගතහොත්, ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ක්‍රියාවට නැංවීමයි. යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට කීකරු වීමක් වශයෙන්, සාප්පු හිමියා තම විශ්වාසයන් අන්‍යයන් සමඟ බෙදාගනිමින් සිටියා. (මතෙව් 28:19, 20) අන්‍ය ආගමකට හරවාගැනීම සාපරාධී ක්‍රියාවක් හැටියට සැලකෙන පෞරාණික ග්‍රීක පනතක් මගිනුයි ඔහුව වරදරකරුවෙක් බවට පත් කළේ. ශිෂ්‍යයාව අස් කරනු ලැබුවේ අනිවාර්ය වූ කෙන්ඩෝ (ජපන් කඩු හරඹ) පුහුණු සැසිවාරවලට සහභාගි වීමට ඔහුගේ බයිබලය මගින් පුහුණු කළ හෘදය සාක්ෂිය ඔහුට ඉඩ නොදුන් නිසායි. (යෙසායා 2:4) තවද ප්‍රංශයේ රැකියාව අහිමිවූවන්ට, එවන් දෙයක් සිදුවීමට එකම හේතුව වූයේ ඔවුන් තමන්වම යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට හඳුන්වා දීමයි.

3. වෙනත් මනුෂ්‍යයන්ගෙන් මහත් පීඩාවක් එල්ල වීම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙකුට කලාතුරකින් සිදු වන දෙයක් වන්නේ ඇයි?

3 සමහරක් රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෑතකදී විඳදරා ඇති දුෂ්කර අද්දැකීම්වලට මේවා කදිම නිදසුන් වෙයි. කොහොම වුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙකුට, වෙනත් මනුෂ්‍යයන්ගෙන් මහත් පීඩාවක් එල්ල වන්නේ කලාතුරකිනි. යෙහෝවාගේ සෙනඟ ඔවුන්ගේ කදිම හැසිරීම සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ප්‍රසිද්ධියක් උසුලයි; එම හොඳ නාමය කිසිම කෙනෙකුට ඔවුන්ට හිංසා කිරීම සඳහා වලංගු හේතුවක් සපයන්නේ නැහැ. (1 පේතෘස් 2:11, 12) ඔවුන් කුමන්ත්‍රණ සැලසුම් කරන්නේ නැති අතර, හිංසාකාරි හැසිරීමේ නියුක්ත වන්නේද නැහැ. (1 පේතෘස් 4:15) ඒ වෙනුවට, ඔවුන් පළමුව දෙවිටද අනතුරුව ලෞකික ආණ්ඩුවලටද යටත්ව සිටීමට වූ බයිබල් උපදේශයට එකඟව ජීවත් වීමට යත්න දරයි. නීතියෙන් ඉල්ලා සිටින බදු ඔවුන් ගෙවන අතර, “සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් [සිටීමට]” වෙර දරයි. (රෝම 12:18; 13:6, 7; 1 පේතෘස් 2:13-17) ඔවුන්ගේ බයිබල් අධ්‍යාපන සේවය මගින්, නීතියට, පවුල් සාරධර්මවලට හා සදාචාරයට ගෞරව කිරීමට ඔවුන්ට දිරි දෙයි. ඔවුන් නීතිගරුක මිනිසුන් වීම ගැන ආණ්ඩු බොහොමයක් ඔවුන්ට ප්‍රශංසා කොට තිබෙනවා. (රෝම 13:3) එහෙත්, ආරම්භක වදන්වලින් ගෙනහැර දැක්වුවාක් මෙන් ඔවුන් යම් අවස්ථාවලදී විරුද්ධවාදිකම්වල ඉලක්ක බවට පත්ව තිබෙනවා; සමහරක් රටවල ආණ්ඩුමය තහංචිද පනවා තිබෙනවා. එය අපව පුදුම කරවිය යුතුද?

ගෝලත්වයේ “වියදම”

4. යේසුස්ට අනුව, ඔහුගේ ගෝලයෙක් වීමෙන් යමෙකුට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

4 තමාගේ ගෝලයෙක් වීමට අයත් වන්නේ මොනවද යන්න සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් සැකයකට බිඳක්වත් ඉඩ නොතබා පැහැදිලි කළා. “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි” ඔහු තමාගේ ගෝලයන්ට පැවසුවා. “ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය.” යේසුස්ට “නිෂ්කාරණයේ” වෛර කරනු ලැබුවා. (යොහන් 15:18-20, 25; ගීතාවලිය 69:4; ලූක් 23:22) ඔහුගේ ගෝලයන්ට එම දෙයම, එනම් යුක්තිසහගත පදනමක් නොමැති විරුද්ධවාදිකම් අපේක්ෂා කළ හැකි වුණා. වතාවන් එකකට වැඩියෙන්, ඔහු ඔවුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: ‘නුඹලාට වෛර කරනු ලබන්නෝය.’—මතෙව් 10:22; 24:9.

5, 6. (අ) යේසුස් අනාගතික අනුගාමිකයන්ට ‘වියදම ගණන් බලන්න’ කියා උනන්දු කළේ ඇයි? (ආ) අප හමුවට පීඩා එන විට අප තුෂ්ණීම්භූත නොවිය යුත්තේ ඇයි?

5 එහි ප්‍රතිඵලයක් හැටියට, අනාගතික අනුගාමිකයන්ට ගෝලයෙක් වීමේ ‘වියදම ගණන් බැලීමට’ යේසුස් උනන්දු කළා. (ලූක් 14:28) ඇයි? ඔවුන් ඔහුගේ අනුගාමිකයන් වනවාද නැද්ද යන්න තීරණය කිරීම පිණිස නොව, නමුත් එයට අයත් වන දෑ ඉටු කිරීමට අදිටන් කරගැනීම සඳහායි. මෙම වරප්‍රසාදයත් සමඟ එන ඕනෑම පරීක්ෂාවක් පීඩාවක් විඳදරාගැනීමට අප සූදානම්ව සිටිය යුතුයි. (ලූක් 14:27) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් හැටියට යෙහෝවාට සේවය කිරීමට කවුරුවත් අපට බල කරන්නේ නැහැ. එය ස්වකැමැත්තෙන් ගන්නා තීරණයක්; එය දැනුම් තේරුමකින් යුතුව ගන්නා තීරණයක්ද වෙයි. දෙවි සමඟ කැප වූ සම්බන්ධතාවකට ඇතුල් වීමෙන් අප අද්දකින්න යන ආශීර්වාදවලට අමතරව අපට “වෛරකරනු ලබන්න” යන බවත් අප දන්නවා. එමනිසා අප හමුවට විරුද්ධවාදිකම් පැමිණෙන විට අප තුෂ්ණීම්භූතව සිටින්න යන්නේ නැහැ. අප ‘වියදම ගණන් බලා’ ඇති අතර, එය ගෙවීමට පූර්ණ ලෙස සූදානම්වයි සිටින්නේ.—1 පේතෘස් 4:12-14.

6 යම් ආණ්ඩුමය අධිකාරීන් ඇතුළු වෙනත් අයට ඇයි සැබෑ ක්‍රිස්තියානීන්ට විරුද්ධ වීමට උවමනා වන්නේ? පිළිතුර සඳහා පො.යු. පළවන ශතවර්ෂයේ සිටි ආගමික කණ්ඩායම් දෙකක් හඳුනාගැනීම වටී. දෙකොට්ඨාසයටම වෛර කරනු ලැබුවත් එසේ කළේ වෙනස් වූ හේතූන් නිසයි.

වෛරයෙන් පිරී හා වෛර කරනු ලැබ

7, 8. අන්‍ය ජාතීන් කෙරෙහි පිළිකුල ප්‍රකාශ කළේ කුමන ඉගැන්වීම්ද? තවද ඒ හේතුවෙන් යුදෙව්වන් අතරේ වර්ධනය වූයේ කුමන ආකල්පයක්ද?

7 පොදු යුගයේ පළවන සියවස වන විට, ඉශ්‍රායෙලය රෝම පාලනය යටතේ තිබූ අතර, යුදෙව් ආගමික පිළිවෙළ වන යුදෙව් ධර්මය බොහෝදුරට ලියන්නන් හා ඵරිසිවරුන් වැනි නායකයන්ගේ පීඩාකාරි ග්‍රහණයට නතු වී තිබුණා. (මතෙව් 23:2-4) ජාතීන්ගෙන් වෙන්ව සිටීමට වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් නීති රීති, මෙම උන්මත්තක වූ ආගමික නායකයන් විසින් යුදෙව් නොවන්නන් කෙරෙහි පිළිකුල් හැඟීමක් ඇති කරන ආකාරයට විකෘති කළා. මෙසේ කිරීමෙන්, අන්‍ය ජාතිකයන් කෙරෙහි වෛරයක් බිහි කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අන්‍ය ජාතීන්ගෙන් වෛරය උපයාගත් ආගමක් ඔවුන් බිහි කළා.

8 අන්‍ය ජාතිකයන් කෙරෙහි පිළිකුල්සහගත බවක් පෙන්වන්න කියා දේශනා කිරීම යුදෙව් නායකයන්ට එතරම් අපහසු කාර්යයක් නොවූයේ, යුදෙව්වන් අන්‍ය ජාතිකයන්ව තුච්ඡ අය ලෙස සැලකූ නිසයි. යුදෙව් ස්ත්‍රියක් කවමදාකවත් අන්‍ය ජාතිකයන් සමඟ තනිවම නොසිටිය යුතුයි; මන්දයත් ඔවුන්ව “සල්ලාලයන් කියා සැක කරන” බව ආගමික නායකයින් ඉගැන්නුවා. යුදෙව් මිනිසෙක් “ඔවුන් සමඟ තනිව නොසිටිය යුතුයි; මන්දයත් ලේ වැගිරීම්වලට ඔවුන්ව සැක කරන නිසයි.” අන්‍ය ජාතිකයෙක් කිරි දොවනවා යුදෙව්වෙක් සියැසින් දැක්කොතින් පමණයි, දොවාගත් එම කිරි පරිහරණය කළ හැක්කේ. තම නායකයන්ගේ බලපෑම හේතුවෙන්, යුදෙව්වන් තමන්වම වෙන් කරවාගත් අතර, තමන්ට විශේෂත්වයක්ද දැඩි ලෙස ආරූඪ කරගත්තා.—යොහන් 4:9 සසඳන්න.

9. යුදෙව් නොවන්නන් සම්බන්ධයෙන් යුදෙව් නායකයන්ගේ ඉගැන්වීම්වලින් ඇති වූ ප්‍රතිඵල මොනවාද?

9 යුදෙව්වන් හා අන්‍ය ජාතිකයන් අතරේ යහපත් සබඳතා ඇති කරගැනීමට, යුදෙව් නොවන්නන් සම්බන්ධයෙන් කළ එවැනි ඉගැන්වීම් උපකාරවත් වූයේ නැහැ. යුදෙව්වන් සියලුම මිනිසුන්ට වෛර කරන පිරිසක් හැටියට අන්‍ය ජාතිකයන් දකින්න පටන්ගත්තා. යුදෙව්වන් “අන් සියලු මනුෂ්‍යවර්ගයාවම සතුරන්ට ඇති වෛරයකින් යුතුව සලකන බව” (පො.යු. 56දී පමණ උපත ලැබූ) රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස් පවසා තිබෙනවා. යුදෙව් ආගමට හැරුණු අන්‍ය ජාතිකයන්ට තම රට පවා අතහැරීමටත්, තම නෑදෑ හිතවතුන්ව කොයිම ආකාරයකින් හෝ උසස් කොට නොතැකීමටත් ඉගැන්වූ බව ඔහු තවදුරටත් පෙන්නුම් කළා. තර්ජනයක් එල්ල කිරීමට හැකි තත්වයක සිටි ගණනින් වැඩි වූ යුදෙව්වන් සමඟ රෝමවරුන් පොදු වශයෙන් ගත් කල, සාමයෙන් සිටියා. නමුත් පො.යු. 66දී ඇති වූ යුදෙව් කැරැල්ලක්, රෝමවරුන් විසින් එල්ල කළ දැඩි ප්‍රතිප්‍රහාරයකට තුඩු දුන් අතර, මෙය පො.යු. 70දී යෙරුසලමේ විනාශයට ඉවහල් වුණා.

10, 11. (අ) විදේශිකයන්ට කුමන ආකාරයෙන් සැලකිය යුතුයි කියාද මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියා සිටියේ? (ආ) යුදෙව් ධර්මයට සිදු වූ දෙයින් අපට උගත හැකි පාඩම කුමක්ද?

10 විදේශිකයන් කෙරෙහි ඇති එම දෘෂ්ටිය මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ දක්වා තිබූ නමස්කාර ක්‍රමය හා සන්සන්දනය වෙන්නේ කොහොමද? ජාතීන්ගෙන් වෙන්ව සිටීම යන කාරණයට ව්‍යවස්ථාව දිරි දුන්නද, මෙසේ කළේ ඉශ්‍රායෙලිතයන්ව, විශේෂයෙන්ම පවිත්‍ර නමස්කාරය ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙනි. (යෝෂුවා 23:6-8) තත්වය එසේ වුණත්, විදේශිකයන් සමඟ යුක්තිගරුකව හා සාධාරණව කටයුතු කරන හැටියටත්, ඔවුන්ට ආගන්තුක සත්කාරය පෙන්වන හැටියටත් ව්‍යවස්ථාවෙන් ඉල්ලා සිටියා; නමුත් ඔවුන් වුවමනාවෙන්ම ඉශ්‍රායෙල්ගේ නීතියට අකීකරු වූවා නම් මෙය අදාළ නොවෙයි. (ලෙවී කථාව 24:22) විදේශිකයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පැහැදිලිවම විදහාපෙන්වූ සාධාරණ ස්ප්‍රීතුවෙන් ඈත්වීම නිසා, විදේශිකයන් කෙරෙහි වෛරයක් බිහි කළ මෙන්ම විදේශිකයන්ගේද වෛරයට පාත්‍ර වූ නමස්කාරයේ ස්වරූපයක් යේසුස්ගේ දවසේ සිටි යුදෙව් ආගමික නායකයන් ඇති කළා. අන්තිමේදී, පළවන ශතවර්ෂයේ යුදෙව් ජාතියට යෙහෝවාගේ අනුමැතිය අහිමිව ගියා.—මතෙව් 23:38.

11 මෙයින් අපට ඉගෙනීමට පාඩමක් ඇද්ද? ඇත්තෙන්ම තිබෙනවා. අපේ ආගමික විශ්වාසයන්ට අනුකූල නොවන අය කෙරෙහි පහත් අයුරින් බලන ආත්ම ධර්මිෂ්ඨ උත්කෘෂ්ට ආකල්පයක් යෙහෝවාගේ පරිශුද්ධ නමස්කාරය නිසි අයුරින් නියෝජනය නොකරන අතර, එවැනි දෙයක් ඔහුව සතුටු කරන්නේද නැහැ. පළවන ශතවර්ෂයේ සිටි ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ව සලකා බලන්න. ඔවුන් ක්‍රිස්තියානි නොවන්නන්ට වෛර කළේවත් රෝමයට විරුද්ධව කැරලි ගැසුවේවත් නැහැ. කොහොම වුණත්, ඔවුන්ට ‘වෛර කරනු ලැබුවා.’ ඇයි? එමෙන්ම කවුරුන් විසින්ද?

මුල් ක්‍රිස්තියානීන්—ඔවුන්ට වෛර කළේ කවුද?

12. ක්‍රිස්තියානි නොවන්නන් කෙරෙහි සමබර ආකල්පයක් තම අනුගාමිකයන් තබාගන්නවාට යේසුස් කැමති බව ශුද්ධ ලියවිලිවලින් පැහැදිලි වන්නේ කොහොමද?

12 යේසුස්ගේ ඉගැන්වීම්වලින් අපට පැහැදිලි වන කරුණක් වන්නේ, ඔහුගේ ගෝලයන් ක්‍රිස්තියානි නොවන්නන් කෙරෙහි සමබර දෘෂ්ටියක් තබාගන්නවාට ඔහු කැමති වූ බවයි. එක් පැත්තකින් ඔහුගේ අනුගාමිකයන් ලෝකයෙන් වෙන්ව සිටියි කියා ඔහු පැවසුවා; ඉන් අදහස් කරන්නේ යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගයන් හා ගැටෙන ආකල්ප මෙන්ම හැසිරීම තුරන් කිරීමයි. ඔවුන් යුද්ධ හා දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ගනියි. (යොහන් 17:14, 16) අනික් අතට, ක්‍රිස්තියානි නොවන්නන්ට වෛර කිරීමට අනුබල දෙනවා වෙනුවට, යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ ‘සතුරන්ට ප්‍රේම කරන’ හැටියටයි. (මතෙව් 5:44) ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කරයි: “නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න.” (රෝම 12:20) තවද ඔහු ක්‍රිස්තියානීන්ට පැවසුවේ ‘සියල්ලන්ටම, . . . යහපත්කම් කරන්න’ කියායි.—ගලාති 6:10.

13. යුදෙව් ආගමික නායකයන් ක්‍රිස්තුස්ගේ ගෝලයන්ට එතරම් විරුද්ධ වූයේ ඇයි?

13 එහෙත් තුන් පැත්තකින් තමන්ට ‘වෛර කරන’ බව දැනෙන්න ක්‍රිස්තියානීන්ට වැඩි කලක් ගියේ නැහැ. එසේ කළ පළමු පිරිස වූයේ යුදෙව් ආගමික නායකයන්. එසේ නම්, ක්‍රිස්තියානීන් ඔවුන්ගේ අවධානය ඇදගැනීම සම්බන්ධයෙන් අප පුදුම විය යුතුද! ක්‍රිස්තියානීන්ට සදාචාරය හා අඛණ්ඩතාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උසස් ප්‍රමිති තිබූ අතර, ඔවුන් දැවෙන ජ්වලිතයකින් යුතුව බලාපොරොත්තුව ජනිත කරවන පණිවිඩයක් බෙදාහැරියා. දහස් ගණන් යුදෙව් ධර්මය අතහැර ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්තා. (ක්‍රියා 2:41; 4:4; 6:7) නමුත් යුදෙව් ආගමික නායකයන් යේසුස්ගේ යුදෙව් අනුගාමිකයන්ව දැක්කේ හුදු ඇදහිල්ල අත්හළ අය හැටියට පමණයි! (ක්‍රියා 13:45 සසඳන්න.) මෙම කුපිත වූ නායකයින්ට හැඟුණේ ක්‍රිස්තියානි ධර්මය ඔවුන්ගේ සම්ප්‍රදායන් අහෝසි කළාය කියායි! ඒ විතරක් නෙවෙයි, එමගින් අන්‍ය ජාතීන් සම්බන්ධයෙන් ඔවුන් දැරූ දෘෂ්ටියත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වුණා. පොදු යුගයේ 36 සිට, අන්‍ය ජාතීන්ට ක්‍රිස්තියානීන් විය හැකි වූ අතර, එකම ඇදහිල්ලක කොටසක් වෙමින්ද, යුදෙව් ක්‍රිස්තියානීන් භුක්ති විඳින වරප්‍රසාදම රස විඳින්න හැකි වුණා.—ක්‍රියා 10:34, 35.

14, 15. (අ) ක්‍රිස්තියානීන් මිථ්‍යා නමස්කාරකයන්ගේ වෛරයට පාත්‍ර වූයේ ඇයි? උදාහරණයක් දෙන්න. (ආ) මුල් ක්‍රිස්තියානීන්ට ‘වෛර කරනු ලැබුවේ’ කුමන තෙවන කණ්ඩායම විසින්ද?

14 දෙවනුව, ක්‍රිස්තියානීන් මිථ්‍යා නමස්කාරකයන්ගේ වෛරයට පාත්‍ර වුණා. උදාහරණයක් හැටියට, පෞරාණික එපීසයේ, අර්තෙමිස් දේවතාවියට රිදී පිළිමගෙවල් සෑදීම ලාභදායී වෙළඳාමක් වුණා. නමුත් පාවුල් එහිදී දේශනා කළ විට, සැලකිය යුතු එපීසවරුන් ප්‍රමාණයක් ප්‍රතිචාරය දක්වමින් අර්තෙමිස්ට කරන නමස්කාරය අතහැරියා. තම වෙළඳාමට ඇති තර්ජනය ගැන ඉව වැටී, රිදීකරුවන් කෝලහල කරන්න පටන්ගත්තා. (ක්‍රියා 19:24-41) ක්‍රිස්තියානි ධර්මය බිතිනියට (වර්තමාන වයඹදිග තුර්කියට) පැතිරුණු විට ඊට සමාන දෙයක් සිදු වුණා. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලි සම්පූර්ණ කර වැඩි කලක් යන්න මත්තෙන්, මිථ්‍යා ආගමික ස්ථාන අතහැරිය අතර, පූජා කිරීමට වෙන් කළ සතුන් වෙනුවෙන් රැස් කළ ආහාරවල වෙළඳාම මහත් සේ අඩු වුණ බව නගරාධිපති වූ කනිෂ්ඨ ප්ලිනි වාර්තා කරයි. තම නමස්කාරයෙහි සත්ව පූජා හා රූපවලට ස්ථානයක් නොතිබූ හෙයින් ක්‍රිස්තියානීන්ව දෝෂාරෝපණයට ලක් වූ අතර, ඔවුන්ට පීඩාද කළා. (හෙබ්‍රෙව් 10:1-9; 1 යොහන් 5:21) පැහැදිලිවම ක්‍රිස්තියානි ධර්මය පතළ වීම මිථ්‍යා නමස්කාරය හා බැඳී පැවතුණු ව්‍යාපාරික කටයුතු යනාදියට යම් බලපෑමක් කළ අතර, වෙළඳාම හා මුදල් අහිමිව ගිය සියලුමදෙනා එය ගැන කුපිත වුණා.

15 තෙවනුව, ක්‍රිස්තියානීන්ට ජාතිවාදී රෝමවරුන් ‘වෛර කරනු ලැබුවා.’ මුලින්ම රෝමවරුන් ක්‍රිස්තියානීන්ව දැක්කේ උන්මත්තක වූ කුඩා ආගමික කණ්ඩායමක් හැටියටයි. නමුත්, කාලයත් සමඟ, ක්‍රිස්තියානියෙක් ලෙසට තමන්වම හඳුන්වාදීම පවා මරණය ලැබිය යුතු වරදක් වුණා. ක්‍රිස්තියානි දිවි පෙවෙතක් ගත කරන අවංක පුරවැසියන්ව, පීඩාවට හා මරණයට සුදුසු අය හැටියට දැක්කේ ඇයි?

මුල් ක්‍රිස්තියානීන් —රෝම ලෝකයා විසින් ඔවුන්ට වෛර කරනු ලැබූ හේතුව

16. ක්‍රිස්තියානීන් ලෝකයෙන් වෙන්ව සිටියේ කුමන ආකාරවලින්ද? තවද මෙය ඔවුන්ව රෝම ලෝකයා අතරේ ජනප්‍රිය නොවූවන් බවට පත් කළේ ඇයි?

16 මූලික වශයෙන්, ක්‍රිස්තියානීන්ට රෝම ලෝකයා විසින් වෛර කරනු ලැබුවේ ඔවුන් තම ආගමික විශ්වාසයන් ක්‍රියාවට නැංවීම නිසයි. උදාහරණයක් හැටියට, ඔවුන් ලෝකයෙන් වෙන්ව සිටියා. (යොහන් 15:19) එහෙයින් ඔවුන් දේශපාලනමය තනතුරු හෙබවූයේ නැති අතර, හමුදාමය සේවය ප්‍රතික්ෂේප කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඔවුන්ව “හැඳින්වූයේ ලෝකයට මළ අය හැටියට හා ජීවිතයේ සියලු කාරණාවලට නිෂ්ප්‍රයෝජන අය හැටියටය” කියා ඉතිහාසඥ ඔගස්ටස් නේආන්ඩර් පවසයි. ලෝකයෙන් කොටසක් නොවී සිටිනවා යන්නට දූෂිත රෝම ලෝකයේ දුෂ්ට ක්‍රමවලින් තමන්වම ඈත් කරගැනීමත් ඇතුළත් වුණා. “කුඩා ක්‍රිස්තියානි ලෝකය ඔවුන්ගේ භක්තිවන්තකමෙන් හා විනීතකමෙන්, ආස්වාදයෙන් නැහැවී ගිය මිථ්‍යා ලෝකයාගේ හදවත්වලට වධ දුන්නා” කියා ඉතිහාසඥ විල් ඩුරන්ට් පැහැදිලි කරයි. (1 පේතෘස් 4:3, 4) රෝමවරු ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම හා ඔවුන්ව මරා දැමීම මගින්, කරදරකාරි ක්‍රිස්තියානීන්ව නිහඬ කිරීමට මං සොයන්න ඇති.

17. පළවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ගේ දේශනා වැඩය ඵලදායී එකක් වූ බව පෙන්වන්නේ කුමකින්ද?

17 පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් ප්‍රතිපත්ති පාවා නොදෙන ජ්වලිතයකින් යුතුව දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළා. (මතෙව් 24:14) පොදු යුගයේ 60 පමණ වන විට, ‘අහසින් යට මුළු මැවිල්ලේ’ ශුභාරංචිය දේශනා කළාය කියා ප්‍රේරිත පාවුල්ට කීමට හැකි වුණා. (කොලොස්සි 1:23) පළමු ශතවර්ෂයේ අවසානය වන විට යේසුස්ගේ ගෝලයන් මුළු රෝම අධිරාජ්‍යයේම එනම් ආසියාව, යුරෝපය හා අප්‍රිකාව දක්වාම ගෝලයන් සාදා තිබුණා! “කායිසර්ගේ ගෙදර” සිටි සමහර සාමාජිකයන්ද ක්‍රිස්තියානීන් බවට පත්ව තිබුණා.a (පිලිප්පි 4:22) මෙම ජ්වලිතවත් දේශනා කිරීම ක්‍රෝධය ඇවිස්සුවා. නේආන්ඩර් මෙසේ පවසයි: “සෑම මට්ටමකම මිනිසුන් අතරේ ක්‍රිස්තියානි ධර්මය ක්‍රමක්‍රමයෙන් ප්‍රගතිය ලැබූ අතර, රටේ ආගමත් සිවිල් සමාජය ගත කළ ජීවිතයේ ස්වභාවයත් පෙරළා දැමීමට තර්ජනයක් ඇති කළා.”

18. යෙහෝවාට තනි භක්තිය පිරිනැමීම, රෝම ආණ්ඩුවට ක්‍රිස්තියානීන් කෙරෙහි නරක හැඟීමක් ඇති කරවන්න දායක වූයේ ඇයි?

18 යේසුස්ගේ අනුගාමිකයන් යෙහෝවාට තනි භක්තිය පිරිනැමුවා. (මතෙව් 4:8-10) සමහරවිට, ඔවුන්ගේ නමස්කාරයේ වෙනත් කිසිදු අංගයකට වඩා මෙය, රෝමවරුන්ට මොවුන් කෙරෙහි නරක හැඟීමක් ඇති වෙන්න දායක වූවා විය හැකියි. වෙනත් ආගම්වල බැතිමතුන් අධිරාජ්‍යයාට නමස්කාර කළ තාක් කල් රෝමවරු ඒවා පැවතීමට ඉඩ දුන්නා. නමුත් මුල් ක්‍රිස්තියානීන්ට නම් එවැනි නමස්කාරයක කොහෙත්ම සහභාගි වීමට හැකි වුණේ නැහැ. රෝම ආණ්ඩුවට වඩා ඉහළ අධිකාරියක් දැරූ යෙහෝවා දෙවිට ඔවුන් ගණන් දිය යුතු බවයි ඔවුන්ට හැඟුණේ. (ක්‍රියා 5:29) මෙහි ප්‍රතිඵලයක් හැටියට, ක්‍රිස්තියානි පුරවැසියෙක් වෙනත් ඕනෑම අංශයක් සම්බන්ධයෙන් කොතරම් කදිම ආදර්ශයක් වූවත්, ඔහුව තැකුවේ රාජද්‍රෝහියෙකු හැටියටයි.

19, 20. (අ) ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් ගැන පැතිරෙවූ ද්වේෂසහගත අපහාසාත්මක වදන්වලට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වූයේ කවුද? (ආ) ක්‍රිස්තියානීන්ට විරුද්ධව එල්ල කළ බොරු චෝදනා කවරේද?

19 රෝම ලෝකයා විසින් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට “වෛරකරනු” ලැබීමට තවත් හේතුවක් තිබුණා. එනම් මූලික වශයෙන් ආගමික නායකයන් වගකිව යුතු වූ අපහාසාත්මක වදන්වලට පහසුවෙන්ම කන් දීමයි. (ක්‍රියා 17:5-8) පොදු යුගයේ 60 හෝ 61දී පමණ, නීරෝ නම් අධිරාජ්‍යයා විසින් පාවුල්ව නඩු විභාගයට ලක් කරන තුරු රෝමයේ සිටියදී, ක්‍රිස්තියානීන් ගැන නායක යුදෙව්වන් මෙසේ පැවසුවා: “මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව.” (ක්‍රියා 28:22) කිසිම අනුමානයක් නැහැ, නීරෝගේ කනට මෙම අපහාසාත්මක පුවත් වැටෙන්න ඇති. පොදු යුගයේ 64දී, රෝමයේ ඇවිළුණු ගින්නට ඔහුට දොස් පැවරූ විට, ඒ වන විටත් අසත්‍ය වූ කතාවලට ලක් වී සිටි ක්‍රිස්තියානීන්ව බිල්ල කරගැනීමට නීරෝ ඉටාගත් බවට වාර්තා වෙනවා. ක්‍රිස්තියානීන්ව නැති කිරීමට ගත් උත්සාහයකට නැඹුරුවාවක් දැක්වූ කුරිරු පීඩා රැල්ලකට මෙය ඉවහල් වූ බව පෙනී යනවා.

20 ක්‍රිස්තියානීන්ට විරුද්ධව කළ චෝදනා බොහෝදුරට අමූලික බොරු මෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් නොපිට පෙරළීමක් වුණා. ඔවුන් ඒකදේවවාදී වූ නිසාත් අධිරාජ්‍යයාට නමස්කාර නොකළ නිසාත්, ඔවුන්ව අදේවවාදීන් හැටියට හංවඩු ගැසුවා. සමහරක් ක්‍රිස්තියානි නොවන පවුල් සාමාජිකයන් තමන්ගේ ක්‍රිස්තියානි නෑදෑයන්ට විරුද්ධකම් පෑ නිසා, පවුල් දෙකඩ කරනවාය යන චෝදනාවද ක්‍රිස්තියානීන්ට එල්ල වුණා. (මතෙව් 10:21) ඔවුන්ව හංවඩු ගැසුවේ මිනී මස් කන්නන් හැටියටයි; තවද සමහරුන්ගේ මතයට අනුව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී යේසුස් පැවසූ වචනවලට විකෘති වූ අදහසක් ආරූඨ කිරීමයි මෙම චෝදනාවේ පදනම වූයේ.—මතෙව් 26:26-28.

21. ක්‍රිස්තියානීන්ට ‘වෛර කරනු ලැබුවේ’ කුමන හේතු දෙකක් නිසාද?

21 එහෙයින්, මූලික හේතු දෙකක් නිසයි, ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට ‘වෛර කරනු ලැබුවේ,’ (1) ඔවුන්ගේ බයිබලය මත පදනම් වූ විශ්වාසයන් මෙන්ම පුරුදු හා (2) ඔවුන්ට විරුද්ධව කළ බොරු චෝදනායි. හේතුව කුමක් වුවත්, විරුද්ධවාදීන්ට තිබුණේ එකම අභිමතාර්ථයයි; එනම් ක්‍රිස්තියානි ධර්මය යටපත් කිරීමයි. නමුත් ඇත්තෙන්ම, ක්‍රිස්තියානීන්ගේ පීඩාවට දිරි දුන් අය වූයේ අධිබලැති විරුද්ධවාදීන් වන නොපෙනෙන දුෂ්ට ආත්ම බලවේග බව අමුතුවෙන් කිව යුතු නැහැ.—එපීස 6:12.

22. (අ) ‘සියල්ලන්ගේම යහපත උදෙසා වැඩ කිරීමට’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් යත්න දරන බව පෙන්වන්නේ කුමන උදාහරණයද? (11වන පිටුවේ කොටුව බලන්න.) (ආ) මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත්තේ කුමන කරුණුද?

22 මුල් ක්‍රිස්තියානීන් මෙන්, නවීන දින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද ‘වෛර කරනු ලැබ’ තිබෙනවා. නමුත් ඔවුන් සාක්ෂිකරුවන් නොවන අයට වෛර නොකරන අතර, ඔවුන් ආණ්ඩුවලට එරෙහිව කරන උද්ඝෝෂණවල ප්‍රභවයක් වීද නැහැ. ඒ වෙනුවට, සෑම සමාජීය, ජාතික හා වාර්ගික බාධකයන් අබිබවා යන අව්‍යාජ ප්‍රේමය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධියක් උසුලයි. එසේනම් ඇයි ඔවුන්ට පීඩා කර ඇත්තේ? තවද ඔවුන් විරුද්ධවාදිකම්වලට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කොහොමද? මීළඟ ලිපියේ මෙම ප්‍රශ්න සාකච්ඡා කෙරෙනු ඇති.

[පාදසටහන]

a “කායිසර්ගේ ගෙදර” යන යෙදුමෙන් එවකට පාලනය කරමින් සිටි නීරෝගේ කිට්ටුම පවුලේ සාමාජිකයන්වම අඟවන්නේ නැහැ. ඒ වෙනුවට, රාජකීය පවුල හා සේවකයන් වෙනුවෙන් ඉවුම් පිහුම් හා සුද්ධ පවිත්‍ර කිරීම ආදියේ නියැලුණු ගෘහ සේවකයන් හා සුළු නිලධාරීන් මෙයට අයත් වෙන්න ඇති.

ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කොහොමද?

◻ ක්‍රිස්තුස් තම අනාගතික ගෝලයන්ට ගෝලත්වයේ වියදම ගණන් බැලීමට උනන්දු කළේ ඇයි?

◻ එවකට පැවති යුදෙව් නොවන්නන් පිළිබඳ දෘෂ්ටිය යුදෙව් ධර්මය කෙරෙහි ඇති කර තිබුණේ කෙබඳු බලපෑමක්ද? තවද අප මෙයින් ඉගෙනගන්නේ කුමක්ද?

◻ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් පීඩා එන කුමන පැති තුනටද මුහුණ දුන්නේ?

◻ මුල් ක්‍රිස්තියානීන්ට රෝමවරුන් ‘වෛර කරනු ලැබුවේ’ කුමන මූලික හේතු නිසාද?

[11වන පිටුවේ කොටුව]

‘සියල්ලන්ගේම යහපත උදෙසා වැඩ කිරීම’

‘සියල්ලන්ගේම යහපත උදෙසා වැඩ කිරීමට’ වූ බයිබල් උපදෙස පිළිපැදීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් යත්න දරයි. (ගලාති 6:10, NW) අවශ්‍යතාව පැනනඟින විට, ඔවුන්ගේ ආගමික දෘෂ්ටිය නොදරන අයට පවා උපකාර කිරීමට, අසල්වැසියන්ට ඇති ඔවුන්ගේ ප්‍රේමය ඔවුන්ව පොලඹවයි. උදාහරණයක් හැටියට, 1994 රුවන්ඩාවේ පැවති බිහිසුණු තත්වයේදී, යුරෝපයේ සිට අප්‍රිකාවට ගොස් සහනාධාර කටයුතුවල හවුල් වීමට සාක්ෂිකරුවන් ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ආධාර දීම සඳහා හොඳින් සංවිධානය කරන ලද කඳවුරු හා එළිමහන් ආරෝග්‍ය ශාලා ඉක්මනින් ඉදි කෙරුණා. ආහාර, ඇඳුම් පැළඳුම් හා පොරෝන විශාල ප්‍රමාණයන් ගුවනින් යවා තිබුණා. එම ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් මෙන් තුන්ගුණයකට ආසන්න ප්‍රමාණයක් මෙම සහනාධාර ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා තිබෙනවා.

[9වන පිටුවේ පින්තූරය]

ප්‍රතිපත්ති පාවා නොදෙන ජ්වලිතයකින් යුතුව පළවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න