කිසිවකින් “ලැජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” වීමට වෙර දැරීම
ආන්ඩ්‍රේ සෝප්පා පැවසූ පරිදි
රුදුරු IIවන ලෝක සංග්‍රාමය අවසානයක් දුටුවේ, වචනයෙන් විස්තර කළ නොහැකි මිනිස් ඝාතන මෙන්ම බලාපොරොත්තු සුන්බවකින් පීඩා වින්දාට පසුවයි. නෝර්වේහි, නාවික් අසල කඳවුරු බැඳ සිටි ජර්මන් නාවික හමුදාවේ පැවරුම් ලැබූ සංඥා නිලධාරියෙකු හැටියට කටයුතු කරද්දී, මිනිසුන් තවත් මිනිසුන්ට කරන අමානුෂික ක්‍රියා මගේ ඇස් පනාපිටම දැකගන්න මට පුළුවන් වුණා. හිසට සෙවණක් මෙන් වූ පියෝඩයේ රැය ගත කරමින් සිටි විට, උත්තරාලෝකයේ ඉතා අලංකාර වූ සුන්දර අහස් ගැබ දැකීමෙන්, ජීවිතය ගැන ගැඹුරින් සිතා බැලීමට මාව පෙලඹෙව්වා. මෙවැනි දෑ මැවූ දෙවියන් යුද්ධයේ වියරුවට වගකිව යුතු නැති බව මට ඒත්තුගොස් තිබුණා.
මම 1923දී චෙක් දේශ සීමාව අසල වූ (දැන් පෝලන්තයේ) ලසොත් නම් කුඩා ගම්මානයේදී ඉපදුණ අතර, ගොවිතැන් කරන දිළිඳු පවුලකයි මම හැදී වැඩුණේ. මගේ දෙමාපියන් කතෝලික ධර්මයේ ක්‍රියාශීලී භක්තිකයන් වූ අතර, ආගම අපේ ජීවිතයේ වැදගත් තැනක් ගත්තා. කොහොම වුණත්, මුල සිටම මට මගේ ආගම ගැන සැක ඇති වෙන්න පටන්ගත්තා. අපේ ගම්මානයේ රෙපරමාදු පවුල් තුනක් හිටියා; හැබැයි ඒගොල්ලන්ව කතෝලික ප්‍රජාවෙන් අහක් කරලයි තිබුණේ. මේ වගේ පියවරක් ගන්න අවශ්‍ය වුණේ ඇයි කියලා මට තේරුණේ නැහැ. අපිට පාසලේදී කතෝලික ධර්මය ඉගැන්නුවා. හැබැයි, එක දවසක් මම පූජකයාට කිව්වහම ත්‍රිත්වය පැහැදිලි කර දෙන්න කියල, මට ලැබුණ එකම පැහැදිලි කිරීම වුණේ, වේවැල් පහරවල් දහයක් විතරයි. ඒ වුණත්, පල්ලිය ගැන තිබුණ හැම බලාපොරොත්තුවක්ම හරියටම බිඳ වැටුණේ, මට අවුරුදු 17දී වුණ සිද්ධියකිනුයි. මාස දෙකක් ඇතුළත මගේ අම්මාගේ දෙමාපියන් මැරුණා. ඉතින් පල්ලියේ අවමඟුල් පූජා දෙකක් පවත්වන්න අම්මට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා අම්මා පූජකයාගෙන් ඇහුවා, එයාට පස්සේ ගෙවන්නද කියල. “ඔයාගේ අම්මටයි තාත්තටයි යමක් කමක් තිබුණේ නැතුව නෙවෙයිනේ, ඉතින් ඒවා විකුණල, අවමඟුලට ඒ සල්ලි පාවිච්චි කරන්න” යන්නයි ඔහුගේ පිළිතුර වුණේ.
ඊට අවුරුදු කිහිපයකට පෙර, එනම් 1933දී හිට්ලර් බලයට පැමිණීමෙන් පසු, අපට පෝලන්ත බසින් කතා කිරීමට ඉඩ දුන්නේ නැහැ; අපිට ජර්මන් බසින් කතා කරන්න කියලයි කිව්වේ. එහෙම කරන්න ප්‍රතික්ෂේප කළ අය, නැත්නම් ජර්මන් බස ඉගෙනීමට අසමත් වුණ අය ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වුණා; අපිට පස්සේ කිව්ව, ඒගොල්ලන් අතුරුදහන් වුණේ වධක කඳවුරුවලටයි කියල. අපේ ගමේ නමත්, ජර්මන් නමක් වන ගෲවින්ෆ්ලීස් කියලා වෙනස් කළා. මම අවුරුදු 14දී පාසැල් යන එක නතර කළා; හැබැයි මම හිට්ලර් යොවුන් සංවිධානයේ සාමාජිකයෙක් නොවුණ නිසා, රැකියාවක් හොයාගන්න එක එතරම් ලේසි වුණේ නැහැ. කොහොම වුණත්, මම ආධුනික කම්මල්කරුවෙක් හැටියට වැඩ පටන්ගත්තා. යුද්ධය ආරම්භ වීමත් සමඟම, හිට්ලර් හා ජර්මන් භට පිරිස් වෙනුවෙන් යාච්ඤා මෙහෙයවල් පැවැත්වුවා. එතකොට මම කල්පනා කළා, අනික් පැත්තෙත් ජයග්‍රහණය සඳහා එවැනිම යාච්ඤාවන් කරනවද කියල.
ජර්මානු නාවික හමුදාවේ සේවය
වර්ෂ 1941 දෙසැම්බරයේ, මම ජර්මානු නාවික හමුදාවේ වැඩ පටන්ගත් අතර, 1942 මුල වන විට, නෝර්වීජියානු වෙරළේ ඔත්තු සේවා යාත්‍රාවක වැඩ කිරීම සඳහා මාව යැව්වා. භට පිරිස්, අවි ආයුධ හෝ බහලුම්ගත ද්‍රව්‍ය ගෙනයන නැව්වලට ආරක්ෂාව සපයමින් මුර සේවයේ යෙදීමට අපට පවරනු ලැබුවා. නැවේ ඉන්න කොට මට ඇහුණා, නාවිකයන් දෙන්නෙක් බයිබලයේ කියන ලෝකාන්තිමය ගැන කතා කරනවා. එළිපිට කතා කිරීමට අදිමදි කළ ඔවුන්, තම දෙමාපියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කළත්, මොවුන් දෙදෙනා ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කර නැති බව මට කිව්වා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මුල් වතාවට මම ඇසුවේ ඒ අවස්ථාවේදීයි.
යුද්ධය අවසන් වීමත් සමඟම, අපව බ්‍රිතාන්‍යයන් විසින් සිරකරුවන් හැටියට භාරගෙන, ආපසු ජර්මනියට ගෙනයාම සඳහා අමෙරිකානුවන්ට භාර දෙනු ලැබුවා. යුද්ධයෙන් පසු සෝවියට් කලාපයට අයත්ව තිබූ නිවෙස් හිමියන්ව, උතුරු ප්‍රංශයේ ලීඒවැංහි සිර කඳවුරුවලට යැව්වේ අඟුරු ආකරවල වැඩ කිරීම සඳහායි. මෙය 1945 අගෝස්තු මාසයේදීයි සිදු වුණේ. මට මතකයි එක ප්‍රංශ මුරකාරයෙක්ගෙන් මම ඔහුගේ ආගම විමසනවා. “මම කතෝලික” කියල ඔහු කිව්වා. ඉතින් මමත් කතෝලිකයෙක් නිසා, මම ඇහුවා, හතුරො වෙන්න අපි දෙන්න කරල තියෙන වරද මොකද්ද කියල. “ඒක ගැන හිතන්ඩ යන එක බොරු වැඩක්; ලෝකෙ කැරකෙන්නේ ඔහොම තමයි” යන්න ඔහුගේ පිළිතුර වුණා. එකම ආගමකට අයිති මිනිස්සු එකිනෙකා සමඟ ඇන කොටාගන්නවා කියන එක මම නං දැක්කේ මහ විකාරයක් හැටියටයි.
අඟුරු ආකරයේ දීප්තිමත් ආලෝකයක්
ප්‍රාදේශීය පතල්කරුවන් සමඟ වැඩ කළ මගේ පළමු දවසේදී, එවන්ස් එම්යොට් නම් තැනැත්තෙක් ඔහුගේ කෑම එක මා සමඟ බෙදාගන්නට වුණා. මුලින් එක්සත් ජනපදයේ ඔහායෝහි පදිංචිව සිටි ඔහු, ප්‍රංශයේ වසර ගණනාවක් ජීවත් වී තිබුණා. යුද්ධය තවත් නැති ලොවක් ගැන ඔහු මට කතා කළා. ඔහුගේ කරුණාවන්ත ආකල්පය මාව පුදුමයට පත් කළා. ඔහු අමෙරිකානු ජාතිකයෙක් වුණත්, මම ජර්මන් ජාතිකයෙක් වුණත්, ඔහු මට මොන යම් විදිහකවත් වෛරයක් පෙන්නුවේ නැහැ. වර්ෂ 1948 මුල් භාගයේ ඔහු මට “සමාදානයේ කුමරු” යන පොත් පිංචය දෙන තුරු නැවත අප අතර කතා බහක් සිදු වුණේ නැහැ. යුද්ධයට වෛර කළ යහපත් දෙවිකෙනෙක් ගැන අන්තිමේදී මට එයින් දැනගන්න ලැබුණා; උත්තරාලෝකය දෙස මගේ නෙත් යොමා සිටියදී මම සිහින මැව්වේ ඒ වගේ දෙවිකෙනෙක් ගැනයි. මෙය ඉගැන්වූ ආගම කෙසේ හෝ සොයාගන්න මම අදිටන් කළා. හැබැයි එවන්ස්, ආකරයේ වෙනත් පැත්තක වැඩ කළ නිසා, මට ඔහුව මුණගැහෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිර කඳවුරේ සිටිය හැම ආගමික කණ්ඩායමකින්ම ගිහිල්ලා මම විමසුවා, ඒගොල්ලන් මේ පොත් පිංචය ගැන යමක් දන්නවද කියලා. හැබැයි එයින් කිසිම ඵලක් වුණේ නැහැ.
අන්තිමේදී, 1948 අප්‍රියෙල් මාසයේ, මට කඳවුරෙන් නිදහස ලැබීමත් සමඟ ස්වාධීන වැඩකරුවෙක් හැටියට සේවය කරන්න මට පුළුවන් වුණා. ඊළඟ ඉරිදා, පාර පැත්තෙන් එන කුඩා සීනු නාදයක් ඇහිලා මම පුදුමයට පත් වුණා. එවන්ස්ව මගේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන් වුණ එක ගැන මම කොයිතරං නං සන්තෝෂ වුණාද! ප්‍රසිද්ධ කථාවක තේමාව ප්‍රදර්ශනය කළ පුවරු දෙකක් ඇඟ දෙපැත්තෙන් එල්ලාගෙන සිටි යෙහෝවාගේ සාක්ෂිකාර කණ්ඩායමක් සමඟයි ඔහු සිටියේ. සීනුව නාද කළ තැනැත්තා වූයේ මාර්සෝ ලර්වා; ඔහු දැන් ප්‍රංශයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. තම ඇදහිල්ල නිසා වධක කඳවුරුවල පීඩා විඳි ජර්මන් බස කතා කරන පෝලන්ත ජාතිකයෙකු වන යෝසෙෆ් කුල්චාක්ව මට හඳුන්වා දෙනු ලැබුවා. එදා සවස රැස්වීමට එන්න කියල ඔහු මට ආරාධනා කළා. එතන කිව්ව දේවල් වැඩි හරියක් මට තේරුණේ නැහැ. හැබැයි ඇවිල්ල හිටපු හැමෝම ඒගොල්ලන්ගේ අත් උස්සද්දී, මට එහා පැත්තේ හිටපු කෙනාගෙන් මම ඇහුවා ඒගොල්ලන් එහෙම කරන්නේ ඇයි කියලා. “ලබන සතියේ ඩන්ක’ක්වල දේශනා සේවයේ යන්න පුළුවන් අය තමයි ඒ” කියල ඔහු කිව්වා. “මටත් එන්න පුළුවන්ද?” කියල මම ඇහුවා. “අපොයි ඔව්! කිසිම ප්‍රශ්නයක් නැහැ ආවට” කියායි ඔහු පිළිතුරු දුන්නේ. ඉතින් ඊළඟ ඉරිදා මම ගෙයින් ගෙට සේවයේ යෙදුණා. අපිට හමු වන හැම කෙනෙක්ම හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැති වුණාට, මම සේවයෙන් ලොකු ප්‍රීතියක් අද්දැක්කා. නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන්න වැඩි කලක් ගත වුණේ නැහැ.
මගේ කේන්තිය පාලනය කරගැනීමට ඉගෙනීම
වැඩි කලක් යන්න මත්තෙන්, නිදහස් කළ ජර්මානු සිරකරුවන් ජීවත් වූ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් දේශනා කරන්න පටන්ගත්තා. මේක මට එතරම් පහසු දෙයක් වුණේ නැත්තේ, මට ඉක්මනින් කේන්ති යනවා කියල එහෙ හිටපු හැමෝම දැන සිටි නිසයි. මම දේශනා කරන කොට කවුරු හරි මාව සෙල්ලමට ගත්තොත්, මම ඔවුන්ට මෙහෙම තර්ජනය කරනවා: “පරෙස්සම් වුණේ නැත්තං පස්සට කරදර වෙන්න වෙයි.” ආකරයේ සිටි එක් අවස්ථාවකදී, යෙහෝවාට සරදම් කළ කෙනෙකුට මම හොඳ ගුටි මුරයක් දීල තියෙනවා.
කොහොම වුණත්, යෙහෝවාගේ උපකාරය ඇතුව, මගේ පෞද්ගලිකත්වයේ වෙනස්කම් ඇති කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. එක දවසක්, මෙම හමුදා බැරැක්ක අසල දේශනා කරමින් සිටි විට, සීමාව ඉක්මවා බීල හිටිය මිනිස්සු කීපදෙනෙක් සාක්ෂිකරුවන්ට ටිකක් කරදර කරන්න පටන්ගත්තා. මට ඉක්මනින් තරහ යනවා කියල සහෝදරයෝ දැනගෙන හිටිය නිසා, මම මැදිහත් වෙන එක නවත්තන්න ඒගොල්ලන් උත්සාහ කළත්, එක් තැනැත්තෙක් තර්ජනාත්මක විදිහකට කඩිමුඩියේ මං ගාවට ඇවිදගෙන ඇවිල්ලා, එයාගේ පිට කබාය ගළවන්න පටන්ගත්තා. මම බයිසිකලයෙන් බැහැලා, ඒක එයාට අල්ලගන්න දීල, මගේ අත් දෙක සාක්කු දෙක ඇතුලට දාගත්තා. මෙය දැක පුදුමයට පත් වුණ ඔහු, මම කිව්ව දේවල් හොඳින් අහගෙන හිටියා. මම කිව්වා ගෙදර ගිහිල්ල ටිකක් නිදිය ගත්තට පස්සේ, ප්‍රසිද්ධ කථාවට එන්න කියල. ඒ කිව්ව වගේම, සවස 3 වෙද්දී එයා ඇවිල්ල හිටියා. අන්තිමේදී, කලින් සිරකරුවන්ව සිටි 20දෙනෙක් පමණ පණිවිඩය පිළිගත්තා. මම, 1948 සැප්තැම්බර් මාසයේදී බව්තීස්ම වුණා.
වැඩ බහුල නමුත් විපාකදායී කාලසටහනක්
අප දේශනා කළ ප්‍රදේශ බලාකියා ගැනීමේ හා ප්‍රසිද්ධ කථා පැවැත්වීමට ස්ථාන සොයාගැනීමේ වගකීම මටයි භාර දී තිබුණේ. මේක ඉටු කිරීම සඳහා මම, ආකරවල රෑ වැඩ කරන්න කලින්, මගේ පුංචි මෝටර් සයිකලයෙන් කි.මී. 50ක් පමණ ගියා. ඊට පස්සේ සති අන්තවලදී, අප බසයෙන් නියමිත ප්‍රදේශයට ගොස්, කථිකයා ඇතුළු ප්‍රචාරකයන් දෙන්නෙක්ව නැත්නම් හතරදෙනෙක්ව එතනින් දාල ආවා. වඩා විශාල වූ නගරවල සුදුසු තැනක් සොයාගැනීමෙන් පසු, සූට්කේස් කිහිපයක් එක උඩ එක තැබීමෙන් කථික පුවරුවක් සකස් කළා. අප ඇරයුම් කළ ප්‍රසිද්ධ කථාවේ තේමාව ප්‍රදර්ශනය කළ පුවරු අප බොහෝවිට අපේ ඇඟ දෙපැත්තේ එල්ලාගෙන ගියා.
රීම්හි සාක්ෂිකාරියක් වූ ෂානෙට් ෂෝෆූව මට මුණගැසුණේ 1951දීයි. අප දෙදෙනා එකිනෙකාව දුටු මොහොතේදීම, අපි ආදරයෙන් බැඳුණා. අවුරුද්දකට පසු, 1952 මැයි 17වනදා අප විවාහ වුණා. ඩූඒ අසල පිහිටි ආකර ගමක් වූ පෙකාකූර්වලට අපි පදිංචිය මාරු කළා. කොහොම වුණත් වැඩි කලක් යන්න කලින්, මට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පටන්ගත්තා. ආකරවල වැඩ කිරීම හේතුවෙන් ඇති වී තිබූ ශ්වසනාබාධයක් වන සිලිකෝසිස් මට තිබුණ බව නිර්ණය කළ නමුත්, වෙනත් කිසිම ආකාරයක රැකියාවක් සොයාගැනීමට මට බැරි වුණා. ඒ හේතුවෙන්, 1955දී, ජර්මනියේ න්යූරම්බ’ග්හි පැවති ජාත්‍යන්තර එක්රැස්වීමකට සහභාගි වූ අවස්ථාවේදී, රයින් නදිය අසබඩ පිහිටි කුඩා කාර්මික නගරයක් වූ කේල්හි කුඩා සභාවකට උපකාර කිරීමට අපෙන් ඉල්ලා සිටි විට, එතැනට යාමට අපට නිදහස තිබුණා. ඒ කාලයේ ඒ සභාවේ හිටියේ ප්‍රචාරකයන් 45දෙනෙක් පමණයි. අපි ඒ සභාව සමඟ වැඩ කළ ඊළඟ අවුරුදු හත ඇතුළත, ප්‍රචාරකයන්ගේ ගණන 95 දක්වා වර්ධනය වුණා.
තවත් සේවාමය වරප්‍රසාද
සභාව ඒ වන විට, ස්ථිරව පිහිටුවා තිබුණු නිසා, විශේෂ පුරෝගාමීන් හැටියට අපිට ප්‍රංශයේ සේවය කළ හැකිදැයි අප සමිතියෙන් ඇසුවා. අපව පුදුමයට පත් කරමින්, අපට පැරීසියට පැවරුමක් ලැබුණා. අප එහි ගත කළ මාස අට ප්‍රීතියෙන් ඉතිරී ගිය කාලයක් වුණා. ෂානෙටුයි මමයි බයිබල් පාඩම් 42ක් කළා. අප එහි සිටි කාලයේදීම අපේ ශිෂ්‍යයන් පස්දෙනෙක් බව්තීස්ම වූ අතර, තවත් 11දෙනෙක් පසු කාලයකදී සත්‍යය පිළිගත්තා.
අප පැරීසියේ ලතින් ප්‍රදේශයේ ජීවත් වූ නිසා, අපට බොහෝවිට සෝර්බෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ව මුණගැසුණා. ඇදහිල්ලෙන් සුව කිරීම් කළ විශ්‍රාම ගිය දාර්ශනිකයෙකු බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර අන්තිමේදී සාක්ෂිකරුවෙක් වුණා. ජෙසුයිට් පූජකයන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගිය සිවිල් ඉන්ජිනේරුවෙකු සමඟ එක් දවසක් මම බයිබල් සාකච්ඡාවක් ආරම්භ කළා. ඔහු අපේ තට්ටු නිවාසයට සවස තුනට ආවාම රෑ දහයටයි ගියේ. අපිව පුදුමයට පත් කරමින් ඔහු පැය එක හමාරකින් නැවත දොරකොඩටම ඇවිත් සිටියා. එසේ පැමිණියේ බයිබල් අනාවැකි පිළිබඳ ඔහුගේ ප්‍රශ්නවලට උත්තර දීමට නොහැකි වූ ජෙසුයිට් පූජකවරයෙක් සමඟ කතා කළායින් පසුවයි. පාන්දර එකට ඔහු තම නිවෙසට ගියත් උදේ හත වන විට ආයෙත් ආවා. කාලයාගේ ඇවෑමෙන් ඔහුද යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බවට පත් වුණා. ඇත්තෙන්ම සත්‍යය සඳහා පෙන්වූ එවැනි පිපාසයක් මටත් මගෙත් භාර්යාවගෙත් ධෛර්යයට හේතුවක් වුණා.
පැරීසියේ සේවය කිරීමෙන් පසු, ප්‍රංශයේ නැඟෙනහිර ප්‍රදේශයේ සංචාරක අවේක්ෂකයෙකු හැටියට සේවය කිරීමට මට ඇරයුම් කොට තිබුණා. ප්‍රංශ හා ජර්මන් බස කතා කරන සභා බැහැදැකීමට ලැබීමත් සහෝදරයන්ව ශක්තිමත් කරන්න ලැබීමත් ඇත්තෙන්ම අපේ ඉමහත් සතුටට හේතුවක් වුණා. ල’රේන්හි රොම්බාස් සභාව බැහැදකිද්දී, ස්ටානීස්වාස් අම්බ්රෝශාක්ව මට මුණගැසුණා. ඔහු මිත්‍ර පාක්ෂික සබ්මැරීනයක සේවය කළ පෝලන්ත ජාතිකයෙක් වූ අතර, නෝර්වීජියානු සාගරයේ සටන්වල නියැලුණු කෙනෙක්. එකම සමුද්‍රයක යාත්‍රා කරමින් සිටියදී අප දෙදෙනා එකිනෙකට විරුද්ධ වූ දෙපිලකට අයත්ව සිටියා. නමුත් ඒ එක්රැස්වීමේදී අප දෙදෙනා යෙහෝවා දෙවිට එකමුතුව සේවය කරමින්, සහෝදරයන් හැටියට එකට වැඩ කළා. තවත් අවස්ථාවකදී, පැරීසියේ එක්රැස්වීමකදී, මම හොඳට දැකල පුරුදු මුහුණක් දැක්කා. උතුරු ප්‍රංශයේ මම සිරකරුවෙකුව සිටි කඳවුරේ අණ දෙන නිලධාරියාවයි මම දැක්කේ. සමුළුවේදී එකට වැඩ කරන්න ලැබීම ගැන අපි කොතරම් සතුටු වුණාද! දේවවචනයේ බලය කොතරම්ද කිව්වොත්, කලින් සතුරන්ව සිටි අයව පවා සහෝදරයන් හා සමීප මිතුරන් බවට පත් කරන්න එයට පුළුවන්.
අවුරුදු 14ක සංචාරක සේවයෙන් පසු, මගේ දුර්වල වෙමින් පැවති සෞඛ්‍යය නිසා මට එය නවත්වන්න සිද්ධ වීම කනගාටුවට කරුණක්. කොහොම වුණත්, යෙහෝවාට අපිට හැකි උපරිමයෙන් සේවය කිරීමට මමත් මගේ භාර්යාවත් අදිටන් කරගත්තා. එමනිසා අපි නැඟෙනහිර ප්‍රංශයේ, ම’ලූස් නගරයේ, නවාතැනක් හා රැකියාවක් සොයාගෙන, පුරෝගාමීන් (පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්) හැටියට සේවය කළා.
අවුරුදු ගණනාව පුරා මට ප්‍රීතිය ලබා දී ඇති තවත් දෙයක් වී ඇත්තේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ මගේ දායකත්වයයි. වර්ෂ 1985දී, නැඟෙනහිර ප්‍රංශය සඳහා ඉදි කිරීමේ කණ්ඩායමක් සංවිධානය කරන හැටියට මගෙන් ඉල්ලා සිටියා. කුසලතාවෙන් හෙබි පුද්ගලයන්ව යොදාගැනීමෙන් හා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන්ව පුහුණු කිරීමෙන්, යෙහෝවාගේ නමස්කාරයට සුදුසු වන රාජ්‍ය ශාලා 80කට වැඩි ප්‍රමාණයක් ගොඩනැඟීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදාගත් කණ්ඩායමක් අපට සංවිධානය කරගැනීමට හැකි වුණා. දකුණු අමෙරිකාවේ, ප්‍රංශ ගයනාවේ එක්රැස්වීම් ශාලාවක් හා රාජ්‍ය ශාලා පහක් ඉදි කිරීමේ වැඩ කටයුතුවලට 1993දී මට සහභාගි වීමට ලැබීම ගැන මම කොයිතරම් සතුටු වනවාද!
පරීක්ෂා හමුවේ දිගටම යාම
දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලින් පිරි පසුගිය වසර 50 දෙස මම ආපසු හැරී බලද්දී, සේවාමය වරප්‍රසාද හා ප්‍රීතියට දායක වූ කාරණා රාශියකින් මගේ ජීවිතය පිරී පැවති බව මට නිසැක වශයෙන්ම කියන්න පුළුවන්. මා සමඟ අවුරුදු 43ක් එකට ගත කළ, මගේ දයාබර බිරිඳ 1995 දෙසැම්බර් මාසයේ වියෝවීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. ඒ සිදුවීමෙන් මං දැඩි ශෝකයට පත් වුණා, ඒ වගේම තවමත් දුක් වෙනවා; ඒත් යෙහෝවා මට ශක්තිය දෙනවා; ඒ විතරක් නෙවෙයි කාලයත් සමඟ දුක තුනී කරගන්න උපකාර වෙන ප්‍රේමයත් සහයෝගයත් මගේ ආත්මික සහෝදර සහෝදරයන් මට සපයලා තිබෙනවා.
වර්ෂ 1963දී, ජර්මනියේ, ම්යූනිඛ්හි පැවති එක්රැස්වීමකදී, එක ආලේප ලත් සහෝදරයෙක් පැවසූ වචන මට අද වගේ මතකයි. “ආන්ඩ්‍රේ, වමටවත් දකුණටවත් හැරෙන්න එපා. වධක කඳවුරුවල හිටපු සහෝදරයන් පීඩා අද්දැක්කා තමයි. හැබැයි දිගටම ඉදිරියට යන එක තියෙන්නේ අපේ අතේ. අපි අපි ගැනම කවදාවත් දුක් වෙන්න නරකයි. ඒ හින්දා ඉදිරියටම යමු.” මට ඒක කවදාවත් අමතක වෙලා නැහැ. දැන් මගේ රෝගී තත්වය හා වයස නිසා, කලින් කළ තරමටම කරන්න බැහැ; එනිසා හෙබ්‍රෙව් 6:10හි සඳහන් මේ වචන මට නිරන්තර සහනයක් වී තිබෙනවා: “නුඹලාගේ වැඩයද . . . [දෙවිගේ] නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට [ඔහු] අධර්මිෂ්ඨ නැත.” ඇත්තෙන්ම, කෙනෙකුට තිබිය හැකි උතුම්ම වරප්‍රසාදය වන්නේ යෙහෝවාගේ සේවයේ නියැලීමයි. පසුගිය වසර 50 පුරා, මගේ ඉලක්කය වී තිබුණෙත්, ඉලක්කය වන්නෙත් “ලැජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” වීමයි.—2 තිමෝති 2:15.
[22වන පිටුවේ පින්තූරය]
නෝර්වේහි පියෝඩවල මම වැඩ කළ වර්ගයේ යාත්‍රාවක්
[23වන පිටුවේ පින්තූරය]
උතුරු ප්‍රංශයේ බයිසිකලයේ යමින් සාක්ෂිදැරීම
[23වන පිටුවේ පින්තූරය]
ප්‍රසිද්ධ කථාව දීම සඳහා කථික පුවරුව හැටියට එක උඩ එක තැබූ සූට්කේස් යොදාගැනුණා
[24වන පිටුවේ පින්තූර]
වර්ෂ 1952, අපේ විවාහ මංගල්‍යයේදී මගේ බිරිඳ වන ෂානෙට් සමඟ