“සිරියානු වන කතරෙහි නිල්වන් වරලසක් ඇති මහේශිකාව”
ඇගේ සම රන්වන් පැහැතිය, දත් මුතු කැට මෙන්ය. ඇගේ නෙත් බැබළුණේ දීප්තිමත් මාණික්‍යයන් මෙන්ය. ඇය හොඳ අධ්‍යාපනයක් ලද තැනැත්තියක් වූ අතර, දක්ෂ භාෂා වේදිනියක්වද සිටියා. සටන්කාමී ස්වරූපයක් ගත් මෙම රැජින, ක්ලියෝපැට්රාටත් වඩා වැඩි බුද්ධියක්ද ඇතැම්විට ඇයට සමානම රූපශ්රීයක්ද සතුව සිටි බවට පැවසුණා. එවකට බලපැවැත්වූ ලෝක අධිරාජ්‍යයට එදිරිව නැඟී සිටීමට තරම් නිර්භීත වූ නිසා, ඇය ශුද්ධ ලියවිලිමය නාට්‍යයක අනාවැකිමය කාර්යයක් ඉටු කළා. ඇය මියගොස් සෑහෙන කාලයක් ගතවීමෙන් පසුවද, ලේඛකයන් වර්ණනාත්මක බසින් ඇය සම්බන්ධයෙන් ලියූ අතර, කලා ශිල්පීන් ඇයව චිත්‍රයට නැඟුවේ ඇගේ අලංකාරය දෙගුණ තෙගුණ කරමිනි. දහනවවන සියවසේ කාව්‍ය රචකයෙක් ඇයව විස්තර කළේ, “සිරියානු වන කතරෙහි නිල්වන් වරලසක් ඇති මහේශිකාව” ලෙසයි. බොහෝ සේ පැසසුමට ලක් වූ මෙම කාන්තාව වූයේ, පැල්මයිරා නම් සිරියානු නගරයෙහි රැජිනව සිටි සෙනෝබියාය.
සෙනෝබියා ප්‍රසිද්ධ වුණේ කුමක් නිසාද? ඇයව බලයට පත් කිරීමට මඟ පෑදුවේ කුමන දේශපාලනමය වාතාවරණයක්ද? ඇගේ චරිතය ගැන කුමක් කිව හැකිද? එමෙන්ම, මෙම රැජින ඉටු කළේ කුමන අනාවැකිමය කාර්යයක්ද? ප්‍රථමයෙන්, දර්ශනය අනාවරණය වන්නේ කිනම් භූගෝලීය පසුබිමකද කියා සලකා බලන්න.
කාන්තාරයක් අබියස පිහිටි නගරයක්
සෙනෝබියාගේ නගරය වන පැල්මයිරාව, ඩැමැස්කස්හි සිට ඊසාන දිශාවට වෙන්න කිලෝමීටර් 210ක් ඈතින් ඇති සිරියානු කාන්තාරයේ උතුරු කෙළවරෙහි පිහිටා තිබුණා. තැනිතලාවක් දක්වා විහිදෙන ඇන්ටි ලෙබනන් කඳු වැටිය පිහිටා ඇත්තේද මෙතැනය. ක්ෂේම භූමියක් ආශ්රිත වූ මෙම නගරය, බස්නාහිර දිශාවේ ඇති මධ්‍යධරණී මුහුදත් නැඟෙනහිර දිශාවේ ඇති යුප්‍රටීස් ගඟත් අතර පිහිටා තිබුණා. සාලමොන් රජ එය තද්මොර් යන නමින් දැන සිටියා විය හැකි අතර, එය උතුරු දේශ සීමාවේ ආරක්ෂක කඳවුරක් වශයෙන්ද ජංගම නුවරවල් පෙළක අත්‍යවශ්‍ය පුරුකක් වශයෙන්ද තිබීම හේතුවෙන්, ඔහුගේ රාජධානියේ යහපත උදෙසා අතිවැදගත් ස්ථානයක් ගත්තා. ඒ හේතුවෙන් සාලමොන් “කාන්තාරයෙහි තද්මොර් . . . ගොඩනැගුවේය.”—2 ලේකම් 8:4.
ඉතිහාසය තුළ, සාලමොන්ගේ පාලනයෙන් පසුව ගත වූ අවුරුදු දහසේදී තද්මොර් ගැන කිසිම සඳහනක් නැහැ. පැල්මයිරා සමඟ එය සසඳන එක නිවැරදි නම්, එය ප්‍රමුඛත්වය කරා ගමන් කරන්න පටන්ගත්තේ පො.යු.පෙ. 64දී සිරියාව රෝම අධිරාජ්‍යයේ මායිමේ පිහිටි පළාතක් බවට පත් වූ අවස්ථාවේදීය. රිචඩ් ස්ටෝන්මන්, පැල්මයිරා සහ එහි අධිරාජ්‍යය—රෝමයට එදිරිව සෙනෝබියාගේ කැරැල්ල (ඉංග්‍රීසියෙන්) නම් තම කෘතියේ මෙසේ පවසයි: “පැල්මයිරාව රෝමයට වැදගත් වූයේ හේතූන් දෙකක් මතයි. එනම් ආර්ථිකමය සහ හමුදාමය හේතූන් මතයි.” තල් ගස්වලින් ගහන වූ මෙම නගරය, මෙසපොතේමියාවත් පෙරදිග ලෝකයත් රෝමය සමඟ සම්බන්ධ කළ ප්‍රධාන වෙළඳ මාර්ගයක් ඔස්සේ පිහිටා තිබුණා; එමනිසා පුරාණ ලෝකයේ වානිජ්‍යමය වස්තූන් ලෙස සැලකූ පෙරදිග ඉන්දීය කුළු බඩු, චීන සේද මෙන්ම ප’සියාව, පහළ මෙසපොතේමියාව සහ මධ්‍යධරණි රටවලින් පැමිණි වෙනත් භාණ්ඩ ඒ මාර්ගය ඔස්සේ ගමන් කළා. රෝමය මෙම භාණ්ඩවල ආනයනය මත රඳා පැවතුණා.
හමුදාමය වශයෙන් ගත් කල, එදිරි බලවතුන්ව සිටි රෝමය සහ ප’සියාව අතර සිරියාව මධ්‍යස්ථ ප්‍රදේශයක් ලෙස පැවතුණා. පොදු යුගයේ මුල් වසර 250 තුළදී, රෝමය සහ ප’සියාව යුප්‍රටීස් ගඟ හේතුවෙන් බෙදී පැවතුණා. පැල්මයිරා පිහිටා තිබුණේ කාන්තාරයට එගොඩින් පිහිටි ඩ්යූරා-යුරෝපාස් නම් නගරයට බටහිරින් සහ යුප්‍රටීස් ගඟට ආසන්නවයි. පැල්මයිරාහි අතිවැදගත් පිහිටීම අවබෝධ කරගත් හේඩ්රියන් සහ වැලේරියන් වැනි රෝම අධිරාජ්‍යයන්, එය බැහැදැකීමට ගියා. හේඩ්රියන් පැල්මයිරාවට බොහෝ දේ පරිත්‍යාග කළ අතර, එහි වාස්තු විද්‍යාවේ තේජවත්භාවයට දායක වුණා. පොදු යුගයේ 258දී, පැල්මයිරාහි වංශාධිපතියෙක්ව සිටි සෙනෝබියාගේ පුරුෂයා වූ ඕඩිනේතස්ව වැලේරියන් විසින් කොන්සල් ධුරයට උසස් කරනු ලැබුවා. මෙසේ කළේ, ඔහු ප’සියාවට විරුද්ධව සාර්ථක යුධ ව්‍යාපාරයක යෙදී රෝම අධිරාජ්‍යයේ සීමාව මෙසපොතේමියාව දක්වා පුළුල් කළ නිසයි. ඇගේ පුරුෂයාව බලයට පත් කිරීම සම්බන්ධයෙන් සෙනෝබියා වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඉතිහාසඥ එඩ්වඩ් ගිබන් මෙසේ ලිව්වා: “ඕඩිනේතස්ගේ සාර්ථකත්වයට විශාල වශයෙන් මඟ පෑදුවායයි සැලකෙන්නේ ඇගේ [සෙනෝබියාගේ] අසමසම වූ ප්‍රඥාව මෙන්ම ධෛර්යයි.”
ඒ අතරතුර ප’සියාවේ ෂාපූර් රජ, කලින් ප’සියාවේ පළාත් ලෙස පැවති සියලුම ප්‍රදේශ කෙරෙහි සම්පූර්ණ අයිතිවාසිකම් කියාපාමින් රෝමයේ පූර්ණ අධිකාරයට විරුද්ධව නැඟී සිටීමට තීරණය කළා. ඔහු භයංකර සේනාවක් කැටුව බටහිර දිශාවට ගමන් කර, ආරක්ෂක කඳවුරු වශයෙන් පැවතුණු රෝම නගර වන නිසබස් සහ කාරී (හාරාන්) අල්ලාගත් අතර, උතුරු සිරියාව මෙන්ම සිලීසියාවද සම්පූර්ණයෙන්ම කොල්ලකෑමට පටන්ගත්තා. වැලේරියන් අධිරාජ්යයාම ප්‍රහාරකයන්ට විරුද්ධව තම සේනා මෙහෙයවූ නමුත් ඔහුව ප’සියාව විසින් පරාජයට පත් කර අල්ලාගනු ලැබුවා.
ඒ නිසා ඕඩිනේතස් එය කාලෝචිත පියවරක් ලෙස සලකමින්, ප’සියානු අධිපතියාට සාම පණිවිඩයක් සහ වටිනා තෑගි බෝග යැව්වා. උඩඟු ෂාපූර් රජ, තෑගි බෝග යුප්‍රටීස් ගඟට විසි කරන ලෙසත් ඕඩිනේතස්ට තමා ඉදිරියෙහි වහල් අයැදුම්කරුවෙක් හැටියට පෙනී සිටින ලෙසත් අණ කළා. පැල්මයිරාහි වැසියන් එයට පිළිතුරු වශයෙන්, සංචාරක ගෝත්‍රිකයන් සහ රෝම සේනාවේ ඉතිරි වූ අයගෙන් සෑදුණු හමුදාවක් රැස් කර, පසුබසින ප’සියානුවන්ට පහර දෙන්න පටන්ගත්තා. ෂාපූර්ගේ සේනාවන්, කොල්ලකෑ ද්‍රව්‍යයන් රැගෙන යමින් සිටි අතර යුද්ධයෙන් විඩාවට පත්ව සිටියා. කාන්තාර හේවායන් යෙදූ හදිසි ප්‍රහාර එල්ල කිරීමේ උපක්රමයට එරෙහිව සිටීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැති නිසා ඔවුන්ට පලා යෑමට සිදු වුණා.
ෂාපූර්ට එරෙහිව ලැබූ ජයග්‍රහණය නිමිත්තෙන් වැලේරියන්ගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා වූ ගැලීනස්, ඕඩිනේතස්ට කොරෙක්ටෝ ටෝට්යුස් ඕරියෙන්ටිස් (පෙරදිග ලෝකයටම අධිපතියා) යන පදවිය පිරිනැමුවා. කල්යත්ම ඕඩිනේතස්ද, තමාටම “රජවරුන්ගේ රජ” යන පදවි නාමය දමාගත්තා.
සෙනෝබියා අධිරාජ්‍යයක් පිහිටුවීමට අදිටන් කරගනී
ඕඩිනේතස්ගේ පාලනයේ උච්චාවස්ථාව වූ පො.යු. 267දී, ඕඩිනේතස්වද ඔහුගේ ඔටුන්න හිමි පුත්‍රයාවද ඝාතනය කරනු ලැබුවා. මෙසේ කළායයි සිතන්නේ, පලිගැනීමේ චේතනාවකින් පෙලඹුණු ඔහුගේ සහෝදරයෙක්ගේ හෝ සහෝදරියකගේ පුත්‍රයෙක් විසිනුයි. සෙනෝබියාගේ පුත්‍රයා ඒ වෙද්දී ළාබාල වයසක සිටි නිසා ඇයට තම පුරුෂයාගේ ස්ථානය හිමි වුණා. රූපසම්පන්න මෙන්ම අභිලාෂකාමීව සිටි ඇය, පාලනය කිරීම සම්බන්ධයෙන් දක්ෂතාවක් පෙන්වූ අතර, තම මියගිය පුරුෂයා සමඟ යුධ ව්‍යාපාරවල යෙදීමට හුරු පුරුදු වී සිටියා. එමෙන්ම, භාෂා කිහිපයක්ම කතා කිරීමේ හැකියාවද ඇයට තිබුණා. සාමාන්‍යයෙන් බෙඩුවින් ගෝත්රිකයන්ගෙන් ගෞරවය අත් කරගැනීම ඉතා දුෂ්කර වූ නමුත් ඔවුන්ගෙන් එය දිනාගැනීමට ඇය සමත් වුණා. සෙනෝබියාට ඉගෙනගැනීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තිබූ අතර, බොහෝ දැන උගත් පුද්ගලයන්ගෙන් තමාවම වට කරගෙන සිටියා. දාර්ශනිකයෙක් සහ කථිකාචාර්යවරයෙක්ව සිටි කැසියස් ලොන්ජීනස් ඇගේ උපදේශකයෙක් ලෙස ක්‍රියා කළ අතර ඔහු, “ජීවමාන පුස්තකාලයක් සහ ඇවිදින කෞතුකාගාරයක්” ලෙස නම් දැරුවා. ස්ටෝන්මන් නම් කර්තෘවරයා මෙසේ පෙන්වා දෙනවා: “ඕඩිනේතස්ගේ මරණයෙන් පසුව ගත වූ මුල් අවුරුදු පහ ඇතුළත . . . සෙනෝබියා පෙරදිග ලෝකයේ මහේශිකාව වශයෙන් ඇගේ තත්වය, තම ජනයාගේ සිත්වල තහවුරු කර තිබුණා.”
සෙනෝබියාත් ඇගේ පුරුෂයාත් බල හීන තත්වයකට පත් කළ ප’සියාව ඇගේ රාජධානියේ එක් පැත්තකින්ද, බිඳ වැටෙමින් පැවති රෝමය අනික් පැත්තෙන්ද විය. රෝම අධිරාජ්‍යය තුළ එදා පැවති තත්වය සම්බන්ධයෙන් ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් මෙසේ පවසනවා: “තුන්වන ශතවර්ෂය තුළදී . . . රෝමයේ නැඟෙනහිර සහ බටහිර දේශසීමාවල ඉතා දරුණු සිදුවීම් ඇති වූ අතර, රෝමය තුළ මතභේදවලට ලක් වූ අනුප්රාප්තිකයන් සිටි, සිවිල් යුද්ධවලින් පිරි නව යුගයක් බිහි වුණා. (හිමිකම් ව්‍යාජ ලෙස මවා පෙන්වූ අයට අමතරව) අධිරාජ්‍යවරුන් විසිදෙදෙනෙක් එක පිට එක පාලනය කළා.” නමුත් ඊට වෙනස්ව, සිරියානු මහේශිකාව ඇගේ රාජධානිය තුළ ස්ථිර ලෙස පදනම් වූ ස්වාධීන රැජිනක්ව සිටියා. “අධිරාජ්‍යයන් දෙකක් [ප’සියාව සහ රෝමය] අතර බල තුලනයට හේතු වෙමින්, ඒ දෙකම කෙරෙහි සෑහෙන බලපෑමක් කළ හැකි තුන්වන එකක් බිහි කිරීමට ඇය තැත් කළා” කියා ස්ටෝන්මන් නිරීක්ෂණය කරනවා.
පොදු යුගයේ 269දී ඊජිප්තුවේ, ව්‍යාජ හිමිකම් මවා පෙන්වූ පුද්ගලයෙක් රෝම පාලනයට විරුද්ධව නැඟී සිටියා. මෙය තම බලය වැඩි කරගැනීම සඳහා සෙනෝබියාට ප්‍රස්තාවක් ලබා දුන්නා. සෙනෝබියාගේ හමුදා පිරිස විගස ඊජිප්තුවට ඇතුල් වී කැරලිකාරයාව සම්පූර්ණයෙන්ම මර්දනය කළ අතර, ප්‍රදේශයම තම ග්‍රහණයට හසු කරගත්තා. තමා ඊජිප්තුවේ රැජිනයි කියා ප්‍රකාශ කරමින් ඇගේ නමින් ඇය කාසිද තැනුවා. ඇගේ රාජධානියේ සීමා දැන් නයිල් ගඟ පටන් යුප්‍රටීස් ගඟ දක්වා ව්‍යාප්ත වුණා. මේ වන විට දානියෙල්ගේ මව්බිමට දකුණින් පිහිටි ප්‍රදේශය ඇගේ රාජධානිය මගින් පාලනය කළ නිසා, බයිබලයෙහි දානියෙල්ගේ අනාවැකියේ සඳහන් කර ඇති ‘දකුණු දිශාවේ රජුගේ’ තත්වය ඇයට හිමි වුණා. (දානියෙල් 11:25, 26) සුළු ආසියාවේ සෑහෙන ප්‍රදේශයක්ද ඇය විසින් යටත් කරගත්තා.
සෙනෝබියා, පැල්මයිරා වන තම අගනුවර කොතරම් ශක්තිමත් කළාද අලංකාරවත් කළාද කිව්වොත් එය රෝම ලෝකයේ වඩාත්ම විශාල නුවරවල් සමඟ ගණන් ගනු ලැබුවා. දළ වශයෙන් ගත් කල එහි ජනගහනය 1,50,000 ඉක්මවා ගියා. කිලෝමීටර් 21ක වට ප්‍රමාණයකින් යුත් එහි පවුර ඇතුළත, තේජාන්විත වූ ප්‍රසිද්ධ ගොඩනැඟිලි, සිද්ධස්ථාන, උයන්, කුලුනු, ස්මාරක යනාදියෙන් පිරුණු නගරයක් පිහිටා තිබුණා. මීටර් 15කට වඩා උස් වූ කොරින්තීය වර්ගයේ කුලුනු 1,500කින් පමණ සෑදුණු ද්වාරමණ්ඩප එහි ප්‍රධාන මාර්ගය ඔස්සේ දක්නට තිබුණා. රණවිරුවන්ගේ සහ නගරයට යම් පරිත්‍යාගයන් කර තිබූ ධනවතුන්ගේ ප්‍රතිමා මෙන්ම උඩුකය රූප නගරය පුරාම ඉදි කෙරුණා. පොදු යුගයේ 271දී, සෙනෝබියා ඇගේ මෙන්ම ඇගේ මියගිය පුරුෂයාගේ ප්‍රතිමා දෙකක් ඉදි කළා. කාන්තාරයේ කෙළවරෙහි පිහිටි පැල්මයිරා, මාණික්‍යයක් මෙන් දිස් වුණා.
සූර්ය මාළිගාව, පැල්මයිරාහි අලංකාරතම ගොඩනැඟිලිවලින් එකක් වූ අතර, කිසිම සැකයක් නැතුව එය නගරයේ ආගමික කාරණාවලදී ප්‍රධාන තැනක් ගන්න ඇති. තවද සූර්ය දෙවිට සම්බන්ධ දෙවියෙකුට හෝ දේවතාවියකට සෙනෝබියාත් නමස්කාර කළා කියා සිතිය හැකියි. කෙසේවෙතත් තුන්වන ශතවර්ෂයේ, සිරියාවේ ආගම් බොහෝමයක් පැවතුණා. සෙනෝබියාගේ රාජධානිය තුළ නාමික ක්‍රිස්තියානීන්, යුදෙව්වරුන්, තාරකා ශාස්ත්‍රඥයන් සහ සූර්යයාට මෙන්ම සඳට නමස්කාර කළ අයද සිටියා. ඇගේ ප්‍රදේශයේ පැවතුණු විවිධාකාර නමස්කාර ක්‍රම සම්බන්ධයෙන් ඇය දැරූ ආකල්පය කුමක්ද? ස්ටෝන්මන් නම් කර්තෘ මෙසේ නිරීක්ෂණය කරයි: “තම ජනයා යෝග්‍ය සේ සලකන කිසිම සිරිතක් ප්‍රඥාවන්ත පාලකයෙක් විසින් නොසලකා හරින්නේ නැහැ. . . . පැල්මයිරාවට පක්ෂව දෙවිවරුන් . . . එක්රැස් වී සිටියායයි බලාපොරොත්තු වුණා.” පෙනෙන ආකාරයට සෙනෝබියා ආගමික නිදහසට ඉඩ දුන්නා. නමුත් දෙවිවරුන් ඇත්තවශයෙන්ම “පැල්මයිරාවට පක්ෂව . . . එක්රැස් වී” සිටියාද? පැල්මයිරාවට සහ එහි ‘ප්‍රඥාවන්ත පාලිකාවට’ අනාගතයේදී කුමක් සිදු වේවිද?
අධිරාජ්‍යයෙක් සෙනෝබියාට එරෙහිව ‘තමාගේ හෘදය පොලඹවාගන්නේය’
පොදු යුගයේ වර්ෂ 270දී, ඕරීලියන් රෝමයේ අධිරාජ්‍යයා බවට පත් වුණා. ඔහුගේ හමුදා උතුරේ සිටිය ම්ලේච්ඡයන්ට සාර්ථක ලෙස පහර දී ඔවුන්ව යටත් කරගත්තා. පොදු යුගයේ 271දී දානියෙල්ගේ අනාවැකියේ “උතුරේ රජ” නියෝජනය කරමින්, ඕරීලියන් සෙනෝබියාගෙන් නියෝජනය වූ ‘දකුණු දිශාවේ රජුට එරෙහිව තමාගේ බලයත් හෘදයත් පොලඹවාගත්තේය.’ (දානියෙල් 11:25අ, NW) ඕරීලියන් තම සේනාවන්ගෙන් පිරිසක් කෙළින්ම ඊජිප්තුවට යැවූ අතර, සුළු ආසියාව හරහා ඔහුගේ ප්‍රධාන හමුදාව නැඟෙනහිර දිශාවට මෙහෙයවූවා.
සෙනෝබියාගේ මූලිකත්වය යටතේ පැවතුණු පාලනය එනම් දකුණු දිශාවේ රජ, ඕරීලියන්ට විරුද්ධව ‘යුද්ධයට නැඟිටුණේ ඉතා මහත් වූ බලවත් වූ සේනාවක් ඇතුවයි.’ එසේ කළේ, සේනාධිපතිවරුන් දෙදෙනෙක් වූ සබ්ඩාස් සහ සබ්බයි යටතේය. (දානියෙල් 11:25ආ) කෙසේවෙතත්, ඕරීලියන් ඊජිප්තුව අල්ලාගත් අතර, ඔහු සුළු ආසියාව සහ සිරියාවට විරුද්ධව යුධ ව්‍යාපාරයක් දියත් කළා. ඔහු සෙනෝබියාව එමෙසාහිදී (වර්තමාන හෝම්ස්) පරාජයට පත් කළ අතර, ඇය පැල්මයිරාව වෙතට පලා ගියා.
ඕරීලියන් පැල්මයිරාව වැටලූ අවස්ථාවේදී, සෙනෝබියා උපකාර අපේක්ෂාවෙන් ඇගේ පුතා සමඟ ප’සියාව දක්වා පලා ගිය නමුත්, එහිදී ඇයව යුප්‍රටීස් ගඟ අසලදී රෝමවරුන්ට හසු වුණා. පැල්මයිරා නගරයෙහි වැසියන් පො.යු. 272දී තම සතුරන්ට යටත් වුණා. ඕරීලියන් වැසියන් සමඟ කරුණාවන්ත ලෙස කටයුතු කළ අතර, සූර්ය මාළිගාවේ තිබූ ප්‍රතිමාව ඇතුළුව කොල්ලකෑ වස්තු සෑහෙන ප්‍රමාණයක් රැගෙන රෝමය බලා පිටත් වුණා. රෝම අධිරාජ්‍යයා සෙනෝබියාගේ ජීවිතයට හානි පැමිණෙව්වේ නැති අතර, තම ජයග්‍රහණය නිමිත්තෙන් පො.යු. 274දී රෝමය පුරා පැවැත්වූ පෙරහැරේ ප්‍රධාන අංගය වශයෙන් ඇයව ප්‍රදර්ශනය කළා. ඇයද ජීවිතාන්තය දක්වාම රෝමයේ ගෞරවයට පාත්‍ර වූ කාන්තාවක් ලෙස දිවි ගෙව්වා.
විනාශයට ලක් වූ කාන්තාර නුවර
ඕරීලියන් පැල්මයිරා අල්ලාගෙන මාස කිහිපයක් ගත වුණායින් පසු එහි වැසියෝ ඔහු තබා ගිය රෝම ආරක්ෂක භට පිරිසව සම්පූර්ණයෙන්ම ඝාතනය කළා. මෙම කැරලිගැසීම ගැන ආරංචි වීමත් සමඟම, ඔහු තම සෙබළුන්ව නැවත කැඳවාගෙන නුවර වැසියන්ගෙන් බිහිසුණු ආකාරයෙන් පළිගත්තා. අනුකම්පාවකින් තොරව කළ එම ඝාතනයෙන් ගැළවුණු අයව වහල්භාවයට පැමිණෙව්වා. අභිමානවත් ලෙස පැවති එම නගරය නැවත ගොඩ ඒමට නොහැකි අන්දමින් විනාශයට පත් වුණා. මේ ආකාරයෙන්, ජනයාගෙන් පිරී පැවති එම අගනුවර නැවතත් එය කලින් තිබූ තත්වයට, එනම් “කාන්තාරයෙහි තද්මොර්” බවට පත් වුණා.
සෙනෝබියා රෝමයට විරුද්ධව නැඟී සිටි අවස්ථාවේදී, ඇයද ඕරීලියන් අධිරාජ්‍යයාද නොදැනුවත්වම “දකුණු දිශාවේ රජු” සහ “උතුරු දිශාවේ රජු” හැටියට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළා. මෙසේ, අවුරුදු 800කට පෙර යෙහෝවාගේ ප්‍රොපේතවරයා මාර්ගයෙන් ඉතා විස්තරාත්මකව පුරෝකථනය කළ අනාවැකියක කොටසක් ඉෂ්ට වුණා. (දානියෙල් 11වන පරිච්ඡේදය) තම සිත් ඇදගන්නා පෞද්ගලිකත්වය මගින් සෙනෝබියාට බොහෝදෙනෙකුගේ සිත් දිනාගැනීමට හැකි වුණා. කෙසේවෙතත්, වඩාත් වැදගත් දෙය වූයේ, දානියෙල්ගේ අනාවැකියේ පුරෝකථනය කළ දේශපාලනික අධිරාජ්‍යය නියෝජනය කරමින් ඇය ඉටු කළ කාර්යභාරයයි. ඇගේ පාලනය අවුරුදු පහකට වඩා පැවතුණේ නැති අතර, අද සෙනෝබියාගේ රාජධානියේ අගනුවර වූ පැල්මයිරා පවතින්නේ නිකම්ම ගම්මානයක් වශයෙනි. තේජවත් ලෙස පැවති රෝම අධිරාජ්‍යය පවා දැන් නැති වී ගොස් තිබෙන අතර, ඒ වෙනුවට නවීන දින රාජ්‍යයන් පාලනය කරමින් සිටිනවා. මෙම බලවතුන්ට කුමනාකාර අනාගතයක් හිමි වේවිද? ඔවුන්ගේ ඉරණමද නිශ්චිතව ඉටු වන බයිබල් අනාවැකි මගින් තීරණය වෙයි.—දානියෙල් 2:44, 45ආ.
[29වන පිටුවේ කොටුව]
සෙනෝබියාගේ දායාදය
පැල්මයිරාහි රැජින වූ සෙනෝබියාව පරාජයට පත් කිරීමෙන් පසුව රෝමයට ආපසු පැමිණි ඕරීලියන් අධිරාජ්‍යයා, සූර්යයා වෙනුවෙන් කැප කළ මාළිගාවක් ගොඩනැඟුවා. ඇගේ නුවරින් ඔහු රැගෙන ආ සූර්ය දෙවිගේ ප්‍රතිමා ඒ තුළ තැන්පත් කළා. තවදුරටත් ඇති වූ ප්‍රතිඵල ගැන සඳහන් කරමින් වත්මන් ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) යන සඟරාවේ මෙසේ පවසනවා: “දෙසැම්බර් 25වන දින සූර්යයාගේ දක්ෂිණායනය නිමිත්තෙන් ක්‍රි.ව. 274දී ඕරීලියන් විසින් පිහිටුවන ලද වාර්ෂික සැමරීම, ඔහුගේ සියලුම ක්‍රියාකාරකම් අතුරින් වඩාත්ම කල්පවතින එක වශයෙන් පෙනෙන්ට තිබේ. අධිරාජ්‍යය ක්‍රිස්තියානි ධර්මයට හැරීමෙන් පසුව ක්‍රිස්තුස්ගේ උපන් දිනය මෙම දිනයේදී සැමරීමට පටන්ගත්තා. මෙසේ, කලින් පැවැත්වූ උත්සවයන් තුළින් ආස්වාදයක් ලැබූ අයට නව භක්තිය වඩාත් පිළිගත හැකි එකක් සේ පැවතුණා. [ජනයා] අදදින නත්තල සමරන්නේ . . අන්තිමේදී සෙනෝබියා නම් අග රැජින නිසා යන අදහස ඇත්තටම පුදුමසහගත එකක්.”
[28, 29වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(සඟරාව බලන්න)
මධ්‍යධරණී මුහුද
සිරියාව
අන්තියෝකය
එමෙසා (හෝම්ස්)
පැල්මයිරා
ඩැමැස්කස්
මෙසපොතේමියාව
යුප්‍රටීස් ගඟ
කාරී (හාරාන්)
නිසබස්
ඩ්යූරා-යුරෝපාස්
[හිමිකම් විස්තර]
සිතියම: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.
ද්වාරමණ්ඩපය: Michael Nicholson/Corbis
[29වන පිටුවේ පින්තූරය]
ඇතැම්විට ඕරීලියන්ගේ රූපය දක්වන රෝම කාසියක්
[30වන පිටුවේ පින්තූරය]
පැල්මයිරාවෙහි සූර්ය මාළිගාව
[හිමිකම් විස්තර]
The Complete Encyclopedia of Illustration/J. G. Heck
[31වන පිටුවේ පින්තූරය]
සෙනෝබියා රැජින තම සෙබළුන්ව අමතමින්
[හිමිකම් විස්තර]
Giovanni Battista Tiepolo, Queen Zenobia Addressing Her Soldiers, Samuel H. Kress Collection, Photograph © Board of Trustees, National Gallery of Art, Washington
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Detail of: Giovanni Battista Tiepolo, Queen Zenobia Addressing Her Soldiers, Samuel H. Kress Collection, Photograph © Board of Trustees, National Gallery of Art, Washington