උඩඟුකමේ ප්‍රතිඵල—එය කොතරම් භයානකද?
ඔබ කවදාහරි ඕනෑකමින්ම ඔබේ ආත්ම-ගරුත්වය නැති කර දැමීමට උත්සාහ කරන පුද්ගලයෙකු සමඟ කටයුතු කර තිබෙනවාද? ඒ සමහරවිට ඔබව තඹ සතයකටවත් මායිම් කරන්නේ නැති, ඔබව තුච්ච කොට සලකන කළමනාකරුවෙක්, හාම්පුතෙක්, අවේක්ෂකයෙක් එසේත් නැතිනම් ඥාතියෙක් පවා වෙන්න බැරිද? එම පුද්ගලයා සම්බන්ධයෙන් ඔබට හැඟුණේ කොයි ආකාරයෙන්ද? ඔහුගේ පෞද්ගලිකත්වයට ඔබේ සිත ඇදී ගියාද? නිසැකවම එසේ නොවෙයි! ඒ ඇයි? උඩඟුකම පුද්ගලයන් අතර බාධකයක් ඇති කරන අතර, එතුළින් අදහස් හුවමාරුව සම්පූර්ණයෙන්ම අවහිර කළ හැකියි.
උඩඟු පුද්ගලයෙක්, අනිත් සෑම කෙනෙකුටම වඩා තමා උසස් කියා පෙන්වීමේ අරමුණින් අනිත් අයව පහත් කොට සලකනවා. එවැනි ආකල්පයක් තිබෙන පුද්ගලයෙක් අනිත් අය ගැන හොඳක් කියන්නේ හරිම කලාතුරකින්. හොඳක් කිව්වත් නිතරම එහි නිෂේධාත්මක පැත්තකුත් පෙන්වනවා: “ඔව්, ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි එයාගේ තියෙන වැරැද්ද තමයි . . .
රිදී වන් වචන තුළ රන්වන් අදහස් (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ උඩඟුකම මෙසේ විස්තර කරනවා: එය “නිරතුරුවම බිඳ දමන දුෂ්චරිතයක්. එය පුද්ගලයෙක්ව නාස්ති කර දමන නිසා ඔහු ගැන අගය කරන්න කිසිවක් ඉතුරු වන්නේ නැහැ.” ඉතින් උඩඟු පුද්ගලයෙක්ව ඇසුරු කරන ඕනෑම කෙනෙකුට පහසුබවක් නොදැනෙන එක පුදුමයක්ද? ඇත්තෙන්ම උඩඟුකමේ ප්‍රතිඵලය වන්නේ නිතරම සැබෑ මිත්‍රයන් අහිමි වීමයි. එම පොතේම තවදුරටත් මෙසේ සඳහන් වෙනවා: “ඊට වෙනස්ව, ලෝකය නිහතමානී අයට ප්‍රිය කරනවා. හැබැයි නිහතමානීකම ගැන ආඩම්බර වන අයට නොවෙයි, නමුත් අව්‍යාජව නිහතමානීකම පෙන්වන අයටයි.” යෝග්‍ය ලෙස බයිබලයේ මෙසේ සඳහන් වෙනවා: “අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.”—හිතෝපදේශ 29:23, නව අනුවාදය.
කොහොමවුණත්, මිත්‍රත්වයට හෝ මනුෂ්‍යයන්ගෙන් ගෞරවය ලැබීම සම්බන්ධයෙන් ඇති වන බලපෑමට වඩා උඩඟුකම, කෙනෙකුට දෙවිත් සමඟ තිබෙන සබඳතාවට බලපාන්නේ කුමන ආකාරයෙන්ද? උඩඟුකම, උද්දච්චකම සහ අහංකාරකම දෙවි සලකන්නේ කෙසේද? උඩඟුකම හෝ නිහතමානීකම ගැන දෙවි සැලකිලිමත් වෙනවාද?
නිහතමානීකම සම්බන්ධව පාඩමක්
හිතෝපදේශ පොත ලියූ දේවානුභාව ලත් ලේඛකයා මෙසේ ප්‍රකාශ කරනවා: “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි. උදාරම් අය සමග කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමග යටත් සිතක් ඇතුව සිටීම හොඳය.” (හිතෝපදේශ 16:18, 19) මෙම වචනවල තිබෙන ප්රඥාවන්තභාවය, ඉශ්‍රායෙලිතයෙක් වූ ප්‍රොපේත එලිෂාගේ කාලයේ විසූ සිරියේ සෙන්පති නාමන්ගේ සිද්ධියෙන් හොඳින් පැහැදිලි වෙනවා.
නාමන් ලාදුරු රෝගියෙක්ව සිටියා. ඔහු සුවය බලාපොරොත්තුවෙන්, එලිෂාව පෞද්ගලිකව හමු වන්න හැකි වේයයි සිතමින් සමාරියට ගමන්ගත්තා. එහෙත් ප්‍රොපේතවරයා තම සේවකයාව ඔහු වෙතට යවා, නාමන්ට යොර්දාන් ගඟෙන් සත්වරක් ස්නානය කරන ලෙස ඔහු මාර්ගයෙන් උපදෙස් දුන්නා. නාමන්, තමාට සැලකූ ආකාරය සහ දුන් උපදෙස්, තමාට කළ මදිපුංචිකමක් ලෙස සැලකුවා. සේවකයෙකුව එවනවා වෙනුවට ප්‍රොපේතවරයාට පිටතට ඇවිත් ඔහුත් සමඟ පෞද්ගලිකව කතා කරන්න බැරිද? ඇයි සිරියාවේ ගංගාවන් යොර්දානේ ගංගා තරම් හොඳ නැද්ද! ඔහුගේ ගැටලුව වුණේ උඩඟුකමයි. ප්‍රතිඵලය කුමක් වුණාද? සන්තෝෂයට කරුණක් නම් ප්‍රඥාවන්ත උපදෙස්වලට ඔහු අවනත වීමයි. “එවිට ඔහු බැස ගොස් [දෙවිගේ] මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.”—2 රාජාවලිය 5:14.
සමහර අවස්ථාවලදී සුළු වශයෙන් නිහතමානීකම පෙන්වීමෙන් පවා මහත් ප්‍රයෝජන අත් වෙනවා.
අහංකාරකමේ ප්‍රතිඵල
කොහොමවුණත්, අහංකාරකම නිසා, අපට නිකම්ම වාසි ප්‍රයෝජන නැති වී යෑමට වඩා මහත් දෙයක් අද්දකින්න සිදු වෙන්න පුළුවන්. “අන්තයටම ගිය අහංකාරකම හෝ නිතරම අවැඩක් සිදු කිරීමට මඟ පාදන ආත්ම-විශ්වාසය” උඩඟුකමේ තවත් පැත්තක් ලෙස හැඳින්වීමට පුළුවන්. (වෙබ්ස්ට’ස් නයින්ත් නියූ කොලිජියෙට් ඩික්ෂනරි) ග්‍රීක් විශාරද විලියම් බාක්ලේට අනුව එය “උඩඟුකම සහ කෲරත්වය මුසු වූ . . . සෙසු මනුෂ්‍යයන්ගේ හදවත් පාගාදමන තත්වයකට මනුෂ්‍යයෙකුව පත් කරන අවමානයයි.”
මෙයාකාර අන්තයටම ගිය උඩඟුකම සම්බන්ධව පැහැදිලි උදාහරණයක් බයිබලයේ දක්නට ලැබෙනවා. එය නම් අම්මොන්වරුන්ගේ රජ වූ හානුන් සම්බන්ධ සිද්ධියයි. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කරනවා: “නාහෂ් තමාට පෙන්වූ ප්‍රේමනීය කරුණාව නිසා, හානුන්ගේ පියා නැති වූ විට ඔහුව සනසන්න දාවිත් තමාගේ පණිවුඩකරුවන්ව යැව්වා. නමුත් නුවරේ ඔත්තු බලන්න යෙදූ දාවිත්ගේ හුදු උපායක් පමණක්යයි කුමාරවරුන් විසින් ඔහුට ඒත්තුගැන්වීම නිසා, හානුන්, ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූගා දමා, තට්ටම දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා, ඔවුන්ව යන්න හැරීමෙන් දාවිත්ගේ සේවකයන්ව ඔහු නින්දාවට පත් කළා.”a මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාක්ලේ මෙසේ නිරීක්ෂණය කරනවා: “අපහාස කිරීම, කෲරකම, ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීම ආදී සියල්ලම ඊට ගැබ් වී තිබුණා.”—2 සාමුවෙල් 10:1-5.
ඔව්, අහංකාර පුද්ගලයෙක් තුළ ගරු සරු නැතිකම මෙන්ම අන්තයටම ගිය උඩඟුකම තිබෙන අතර, අනිත් අයව අවමන්සහගත ලෙස සැලකීමට ඉඩ තිබෙනවා. ඔහු අනුකම්පා විරහිත, හිතක් පපුවක් නැති ආකාරයකින් කෙනෙකුව රිදවීමෙන් තෘප්තියක් ලබන අතර, පසුව පුද්ගලයාගේ අපහසුතාව සහ අසරණ තත්වය දෙස ප්‍රීතියෙන් බලා සිටිනවා. නමුත් කෙනෙකුගේ ආත්ම-ගරුත්වය නොසලකා හැරීම හරියට දෙපැත්ත කැපෙන කඩුවක් මෙන් දෙයාකාරයකින් බලපානවා. එය මිත්රයෙකුව අහිමි වීමට හේතු වන අතර, ඊටත් වඩා එය සතුරෙකු ඇති කරගැනීමට මඟ පාදනවා.
‘තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කරන’ ලෙස තම ස්වාමියා විසින් අණ කර තිබියදීත්, සැබෑ ක්‍රිස්තියානිවරයෙක් එවැනි කෲර උඩඟුකමක් විදහාපෙන්වන්නේ කොහොමද? (මතෙව් 7:12; 22:39) එය දෙවි සහ ක්‍රිස්තුස් තුළින් පිළිබිඹු වන සෑම දෙයකටම සහමුලින්ම පටහැනියි. මේ හේතුවෙන් බාක්ලේ මෙම වැදගත් නිරීක්ෂණයට එළඹෙනවා: “මනුෂ්‍යයෙක්ව දෙවිට අකීකරු වීමට සලස්වන උඩඟුකම” මෙයයි. මෙම උඩඟුකම තමයි ‘යෙහෝවා නැහැයි’ කියා පැවසීමට හේතු වන්නේ. (ගීතාවලිය 14:1, NW) එසේ නැතිනම් ගීතාවලිය 10:4 පෙන්වා තිබෙන ආකාරයට ‘දුෂ්ටයා අහංකාරයෙන් කතා කොට: ඔහු පළි නොගන්නේයයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.’ එවැනි උඩඟුකමක් නැතිනම් අහංකාරකමක් හේතුවෙන් කෙනෙක්ව, මිත්‍රයන්ගෙන් සහ ඥාතීන්ගෙන් පමණක් නොවෙයි, නමුත් දෙවිගෙනුත් ඈත් කරනවා. අද්දකින්න සිදු වන ප්‍රතිඵලය මොනතරම් මහත්ද!
ඔබව කාදමන්න උඩඟුකමට ඉඩ නොදෙන්න
උඩඟුකමට පැති කීපයක් තිබෙන්න පුළුවන්. ජාත්‍යාලය, වර්ගවාදය, පන්ති සහ කුල භේදය, අධ්‍යාපනය, ධනය, කීර්තිය සහ බලය ආදියෙන් උඩඟුකම හටගන්න පුළුවන්. එක් ක්‍රමයකින් නැතිනම් තවත් ක්‍රමයකින් උඩඟුකම පහසුවෙන්ම ඔබව ඩැහැගෙන ඔබේ පෞද්ගලිකත්වය කාදමන්න පුළුවන්.
බොහෝ පුද්ගලයන් තමන්ට වඩා උසස් අය සමඟ හෝ තුල්‍යයන් සමඟ කටයුතු කරද්දී නිහතමානීබව පෙන්වනවා. නමුත් නිහතමානීයයි කියන පුද්ගලයෙකුට අධිකාරීත්වය හොබවන තත්වයක් ලැබුණොත් කුමක් සිදු වෙයිද? ඔහු විගස, තම දෘෂ්ටියට අනුව පහත්යයි සලකන අයගේ ජීවිත තිත්ත කරවන කෲරයෙක් බවට පත් වෙනවා! නිල ඇඳුමක් ඇඳගත් විට හෝ බලය අඟවන ලාංඡනයක් පැළඳගත් විට මෙය සමහරුන්ට සිදු විය හැකියි. තමන් සිටින්නේ මහජනයාට සේවය කරන්නයි කියා සිතනවා වෙනුවට, ඔවුන් සිටින්නේ තමන්ට සේවය කරන්නයි කියා සිතමින් සේවය බලාපොරොත්තු වන මහජනයා සමඟ කටයුතු කරන විට, රජයේ නිලධාරීන් පවා උඩඟු වෙන්න පුළුවන්. උඩඟුකමට ඔබව කර්කශ හා අනුකම්පා විරහිත කෙනෙකු බවට පත් කළ හැකි අතර, නිහතමානීකමට ඔබව කාරුණික කරන්න පුළුවන්.
යේසුට තමා වටා සිටි ගෝලයන්ට උඩඟු සහ කර්කශ අන්දමින් සලකන්න තිබුණා. ඔහු පරිපූර්ණ මනුෂ්‍යයෙක් සහ දෙවිගේ පුත්‍රයා වූ අතර, කටයුතු කරමින් සිටියේ අසම්පූර්ණ, ආවේගාත්මක, දුර දිග නොබලා හදිසියේ ක්‍රියා කරන අනුගාමිකයන් සමඟයි. ඒ වුණත් ඔහුට ඇහුම්කන් දෙන අයට ඔහු දුන්නේ කුමන ආරාධනයද? “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි [කීවේය].”—මතෙව් 11:28-30.
යේසුගේ ආදර්ශය අනුගමනය කරන්න නිතරම අප වෑයම් කරනවාද? එසේ නැතිනම් අප කර්කශ, නම්‍යසුලු නොවන, ඒකාධිපති, දයා විරහිත සහ උඩඟු බව අපට වැටහී තිබෙනවාද? පීඩා කරනවා වෙනුවට, යේසු මෙන් නැවුම්බවක් ගෙන දෙන්න උත්සාහ කරමු. උඩඟුකමේ කාදමන බලපෑමට එරෙහි වන්න.
ඉහත සඳහන් කළ දේවල් දෙස බලන විට, ආත්ම-ගරුත්වය සම්බන්ධයෙන් කුමක් පැවසිය හැකිද?
ආත්ම-ගරුත්වය සහ පුහුමාන්නය අතර වෙනස
ඔබ, ඔබ කෙරෙහි යම් ආකාරයක ආත්ම-ගෞරවයක් ඇතුව සිටීම සාධාරණ සහ යුක්තිසහගත දෙයක් වෙනවා. ආත්ම-ගරුත්වය කීමෙන් අදහස් කරන්නේ තමන් ගැනම යම් ගෞරවයක් ඇතුව සිටීමයි. අනිත් මනුෂ්‍යයන් ඔබ ගැන සිතන දේ සම්බන්ධයෙනුත්, ඔබේ පෙනුම සහ ඔබේ නාමය සම්බන්ධයෙනුත් ඔබ සැලකිලිමත් වන බව එයින් අදහස් වෙනවා. “ඔබ ඇසුරු කරන්නේ කාවද කියා මට කියන්න, එවිට මම කියන්නම් ඔබ මොන වගේ කෙනෙක්ද කියලා” යයි පවසන විට, ස්පාඤ්ඤ ආප්තෝපදේශය සැබෑවක් වන බව පෙනී යනවා. ඔබ අප්‍රසන්න පෙනුමක් ඇති, කම්මැළි, අශිෂ්ට සහ කැත වචන කියන මනුෂ්‍යයන් සමඟ ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා නම්, එවිට ඔබත් ඔවුන් හා සමාන තත්වයකට පත් වෙනවා. ඔවුන්ගේ ආකල්පයන් ඔබටත් බෝවන අතර, ඔවුන්ගේ මෙන් ඔබගේත් ආත්ම ගරුත්වය හීන වෙනවා.
ඇත්තෙන්ම, පුහුමාන්නයට හෝ නිෂ්ඵලකමට මඟ පාදන උඩඟුකමේ තවත් අන්තයක් තිබෙනවා. යේසුගේ කාලයේ සිටි ලියන්නන් සහ ඵරිසිවරුන් ඔවුන්ගේ සම්ප්රදාය සහ අන්තයටම ගිය ශ්රද්ධාවත් පෙනුම සම්බන්ධයෙන් හිස උදුම්මවාගෙන සිටියා. යේසු ඔවුන් ගැන මෙසේ අනතුරු ඇඟෙව්වා: “ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔවුහු [සෙස්සන්ට වඩා භක්තිමත් බව පෙන්වීම සඳහා] තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති, මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද, වෙළදාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.”—මතෙව් 23:5-7.
එසේනම් සාධාරණ ආත්ම-ගරුත්වය ඇතුව සිටීම සමබර දෙයක් වෙනවා. යෙහෝවා නිකම්ම පිටාතර පෙනුම නොවෙයි, නමුත් හෘදය බලන බවත් මතක තබාගන්න. (1 සාමුවෙල් 16:7; යෙරෙමියා 17:10) ආත්ම-ධර්මිෂ්ඨකම දෙවිගේ ධර්මිෂ්ඨකම නොවෙයි. කොහොමවුණත්, දැන් ප්රශ්නය වන්නේ අපි සැබෑ නිහතමානීකම වර්ධනය කරගන්නෙත්, ඒ වගේම උඩඟුකමේ භයානක ප්‍රතිඵලවලින් වළකින්නෙත් කොහොමද යන්නයි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිතයි.
[4වන පිටුවේ පින්තූරය]
සුළුවෙන් හෝ නිහතමානීකම පෙන්වීම නාමන්ට මහත් විපාක ගෙන ආවා