‘යෙහෝවාද’ ‘යාහ්වේද?’
“අස්වාභාවිකයි,” “අසාමාන්‍යයි,” “විකාරයි.” හෙබ්‍රෙව් බයිබල් විශාරදයන් මෙතරම් බලවත් හැඟීමකින් යුතුව කතා කිරීමට හේතු වී තිබෙන්නේ කුමක්ද? ප්‍රශ්නයට භාජන වී ඇත්තේ, “යෙහෝවා” යන්න සිංහල බසින් දෙවිගේ නාමය සඳහා නිවැරදි උච්චාරණයද කියන එකයි. වසර සියයකටත් වඩා වැඩි කාලයක් පුරා මෙම මතභේදය දිගින් දිගටම පැවතී ඇත. පෙනෙන ආකාරයට, අදදින බොහෝ විශාරදයන් වැඩි මනාපයක් දක්වන්නේ, ශබ්ද ඛණ්ඩ දෙකකින් යුත් “යාහ්වේ” යන උච්චාරණයටයි. නමුත් “යෙහෝවා” කියා උච්චාරණය කිරීම ඇත්තටම ‘විකාරයක්’ වගේද?
මතභේදයේ සුල මුල
මනුෂ්‍යවර්ගයාට දෙවිගේ නාමය එළිදරව් කළේ දෙවි විසින්මයි කියා බයිබලය අපට පවසනවා. (නික්මයාම 3:15) අතීතයේ සිටි දෙවිගේ සේවකයන් එම නාමය පැකිලීමකින් තොරව පාවිච්චි කළ බවට ශුද්ධ ලියවිලිමය සාක්ෂි තිබෙනවා. (උත්පත්ති 12:8; රූත් 2:4) අන්‍ය ජාතිකයන් පවා දෙවිගේ නාමය දැනගෙන සිටියා. (යෝෂුවා 2:9) මෙය විශේෂයෙන්ම දැකගන්න ලැබුණේ, බබිලෝනීය වහල්භාවයේ සිට නැවත පැමිණි යුදෙව්වන් විවිධ ජාතීන්ට අයත් ජනයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ කාලය තුළදියි. (ගීතාවලිය 96:2-10; යෙසායා 12:4; මලාකී 1:11) බයිබලය පිළිබඳ අර්ථකථිකයාගේ ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි: “වහල්භාවයට පසුව පැමිණි කාලපරිච්ඡේදය තුළදී, යුදෙව්වරුන්ගේ නමස්කාරයට විදේශිකයන් බොහෝදෙනෙක් ආකර්ෂණය වූ බවට බොහෝ සාක්ෂි තිබේ.” කෙසේවෙතත්, පො.යු. පළවන සියවස වන විට දෙවිගේ නාමය පිළිබඳ මිථ්‍යා මතයක් හටගෙන තිබුණා. කාලයාගේ ඇවෑමෙන්, යුදෙව් ජාතිකයන් විසින් දෙවිගේ නාමය ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීම නතර කළා පමණක් නොව, එය උච්චාරණය කිරීම පවා ඇතැම් අය විසින් තහනම් කර තිබුණා. මේ හේතුවෙන්, එහි නිවැරදි උච්චාරණය නැති වී ගොස් තිබුණා. එහෙත් ඇත්තටම නැති වුණාද?
නාමයක් තුළ ගැබ් වී ඇත්තේ කුමක්ද?
හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නාමය ලියනු ලබන්නේ, יהוה වශයෙනි. දකුණේ සිට වමට කියවනු ලබන මෙම අකුරු සතර සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ටෙට්‍රාග්‍රැමටනය (අක්ෂර සතර) ලෙසයි. බයිබල් කාලවලදී පුද්ගලයෙකුට හෝ ස්ථානයකට නමක් දැමීමේදී, එහි සාමාන්‍යයෙන් දිව්‍ය නාමයේ කෙටි කිරීමක් ගැබ් වී තිබුණා. මෙවැනි උදාහරණ බොහොමයක් බයිබලයෙහි දක්නට ලැබෙනවා. මෙවැනි සංඥා නාම තුළින්, දෙවිගේ නාමය උච්චාරණය වූ ආකාරය පිළිබඳව යම් ඉඟි සොයාගත හැකිද?
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී.වල වෙස්ලි දේවධර්ම සෙමිනේරියේ විශ්‍රාම ලත් ගරු මහාචාර්ය ජෝ’ජ් බියුකැනන් ඉඟි සොයාගත හැකියි කියා පවසනවා. මහාචාර්ය බියුකැනන් මෙසේ පැහැදිලි කරනවා: “පුරාණ කාලයේ දෙමව්පියන් තම දෙවිවරුන්ගේ නම් බොහෝවිට තම දරුවන්ට තැබුවා. ඒ කියන්නේ, ඔවුන් තම දරුවන්ගේ නම් උච්චාරණය කරන්න ඇත්තේ තම දෙවිවරුන්ගේ නම් උච්චාරණය කළ අන්දමටමයි. ටෙට්‍රාග්‍රැමටනය මිනිසුන්ගේ නම්වල ගැබ් වෙලා තිබුණු අතර, ඔවුන් සැමවිටම යොදාගත්තේ මධ්‍යම ප්‍රාණාක්ෂරයයි.
බයිබලය තුළ සඳහන් කර ඇති දෙවිගේ නාමයේ කෙටි කිරීමකින් යුත් සංඥා නාම කිහිපයක් සලකා බලන්න. යොහ්·නා·තාන්ʹ නැතහොත් යෙහොහ්·නා·තාන්ʹ වශයෙන් හෙබ්‍රෙව් බයිබලයේ දක්නට ලැබෙන යොනාතාන් යන නමෙහි අර්ථය වන්නේ, “යාහෝ නැතහොත් යාහෝවා දී තිබෙනවා” යයි කියා මහාචාර්ය බියුකැනන් පවසනවා. ප්‍රොපේත එලියාගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් උච්චාරණය වන්නේ ʼඑ·ලි·යාහ්ʹනැතහොත් ʼඑ·ලි·යාʹහු වශයෙනි. මහාචාර්ය බියුකැනන් පැහැදිලි කරන්නේ, “මාගේ දෙවි යාහූ නැතහොත් යාහූ-වා” වශයෙනි. ඊට සමානව, යෙහෝෂාපාට් කියන නමේ හෙබ්‍රෙව් උච්චාරණය යෙහොහ්-ෂා·ෆාට්ʹ වන අතර, එය “යාහෝ විනිශ්චය කර ඇත” යන අර්ථය ගනියි.
ටෙට්‍රාග්‍රැමටනයේ නිවැරදි උච්චාරණය කිරීම ශබ්ද ඛණ්ඩ දෙකක් සහිත “යාහ්වේ” නම්, දෙවිගේ නාමය තුළ ඕ ශබ්දය තිබිය නොහැකියි. නමුත් බයිබලයෙහි සඳහන්ව ඇති දිව්‍ය නාමය සමන්විත නම් ගණනාවකම මෙම මධ්‍යම ප්‍රාණාක්ෂරය දක්නට ලැබෙනවා. නමක් සම්පූර්ණයෙන් සඳහන් වුණත්, කෙටියෙන් සඳහන් වුණත් මෙම ශබ්දය ගැබ් වී තිබෙනවා. යෙහනාතාන් සහ යනාතාන් මේ සඳහා හොඳ නිදසුන් වෙනවා. එමනිසා මහාචාර්ය බියුකැනන් දිව්‍ය නාමය සම්බන්ධයෙන් මෙසේ පවසනවා: “එකම අවස්ථාවකදීවත් උහ් නැතහොත් ඔහ් යන ප්‍රාණාක්ෂරය අයින් කර නැහැ. ඇතැම් අවස්ථාවලදී ‘යා’ වශයෙන් එම නාමය කෙටි කර දක්වා තිබුණත් එය කවදාවත් ‘යාහ්-වේ’ වශයෙන් දැක්වූවේ නැහැ. . . . ටෙට්‍රාග්‍රැමටනය එක ශබ්ද ඛණ්ඩයකින් උච්චාරණය කළ විට එය ‘යාහ්’ නැත්නම් ‘යෝ’ වශයෙන් ශබ්ද කළා. එහි ශබ්ද ඛණ්ඩ තුනක් තිබූ අවස්ථාවේදී ‘යාහෝවාහ්’ නැත්නම් ‘යාහූවාහ්’ වශයෙන් උච්චාරණය කරන්න ඇති. එමෙන්ම, එය ශබ්ද ඛණ්ඩ දෙකකට කෙටි කර දැක්වූවා නම්, එය ‘යාහෝ’ වශයෙන් උච්චාරණය වන්න ඇති.”—බිබ්ලිකල් ආකියොලජි රිව්‍යූ.
ඉහත සඳහන් වූ අදහස්, දහනවවන සියවසට අයත් හෙබ්‍රෙව් විශාරදයෙක් වූ ගේසේනියුස් පැවසූ දේ තේරුම්ගැනීමට අපට උපකාරවත් වෙනවා. පරණ ගිවිසුමෙහි හෙබ්‍රෙව් සහ කල්දීය අක්ෂර විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) යන තම කෘතියේ ඔහු මෙසේ සඳහන් කරනවා: “[දෙවිගේ නාමයේ] නිවැරදි උච්චාරණය කිරීම יְהוָֹה [යෙ-හෝ-වාහ්] කියා පවසන අය, ඔවුන්ගේ තර්කයන් ඉදිරිපත් කරන්නේ කිසිම පදනමක් නැතුව නොවේ. බොහෝ සංඥා නාමවල, יְהוֹ [යේ-හෝ] සහ יוֹ [යෝ] වශයෙන් කෙටි කර දැක්වූ ශබ්ද ඛණ්ඩ දෙක යොදාගන්නවා. මෙවැනි යොදාගැනීමක් කළ හැකි වන්නේ, දෙවිගේ නාමය යෙ-හෝ-වාහ් ලෙස උච්චාරණය කළා නම් පමණයි.”
කෙසේවෙතත්, මෑතකදී තමා පරිවර්තනය කළ මෝසෙස්ගේ පොත් පහ (ඉංග්‍රීසියෙන්) යන කෘතියේ පෙරවදනේ එවරට් ෆොක්ස් මෙසේ පෙන්වා දෙනවා: “[දෙවිගේ] හෙබ්‍රෙව් නාමය සඳහා ‘නිවැරදි’ උච්චාරණය නැවත සොයාගැනීමට මෑතකදී හෝ පුරාණයේදී දරපු වෑයම් අසාර්ථක වී තිබෙනවා; ඇතැම් අවස්ථාවලදී අසන්න ලැබෙන ‘යෙහෝවාවත්,’ සම්මතයක් ලෙස විශාරදයන් පිළිගන්නා ‘යාහ්වේවත්’ නිවැරදියි කියා නිසැකවම ඔප්පු කළ නොහැකියි.”
මෙම මතභේදය විශාරදයන් අතර දිගින් දිගටම පවතී කියන එක ගැන කිසිම සැකයක් නැහැ. ගාත්‍රාක්ෂරවලට ස්වර ලකුණු යෙදීමේ ක්‍රමය මැසරීට්වරු විසින් ආරම්භ කිරීමටත් පෙර, යුදෙව්වන් සැබෑ දෙවිගේ නාමය උච්චාරණය කිරීම නතර කළා. එමනිසා, ය්හ්ව්හ් (יהוה) යන ගාත්‍රාක්ෂර සතර සමඟ එකතු වූයේ කිනම් ප්‍රාණාක්ෂරද කියා නිශ්චිත වශයෙන් දැනගැනීමට ක්‍රමයක් නැහැ. කෙසේවෙතත්, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පුද්ගලයන්ගේ නම්වල නිවැරදි උච්චාරණය කවදාවත් නැති වී ගියේ නැහැ. ඒ තුළින්, පුරාණයේදී දෙවිගේ නාමය උච්චාරණය කළ ආකාරය පිළිබඳව අපට පැහැදිලි ඉඟියක් ලබා දෙනවා. මේ හේතුවෙන්, “යෙහෝවා” යන උච්චාරණය කිරීම එතරම්ම ‘විකාරයක්’ නොවෙයි කියා ඇතැම් විශාරදයන් එකඟ වෙනවා.
[31වන පිටුවේ පින්තූර]
“යෙහෝවා,” දෙවිගේ නාමය සඳහා වැඩියෙන්ම භාවිත වන උච්චාරණයයි