විශාල පවුල් දෙවිගේ සේවයෙහි එක්සත්ව
‘දරුවෝ යෙහෝවා දෙන උරුමයක්ය’ කියා ගීතිකාකරු ලිව්වා. ‘කුසේ ඵලයද ඔහුගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම් සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය. එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.’—ගීතාවලිය 127:3-5.
ඔව්, දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදයක් විය හැකියි. එමෙන්ම තමාගේ ඊකොපුවේ තිබෙන ඊතල යවන ආකාරය දැන සිටීමෙන් දුනුවායෙකු සෑහීමකට පත්වන්නාක් මෙන්ම, තම දරුවන්ව සදාකාල ජීවනයට මඟ පෙන්වන මාර්ගය ඔස්සේ යවන විට දෙමාපියන් සන්තෝෂය ලබාගනියි.—මතෙව් 7:14.
ඈත අතීතයේදී, දෙවිගේ සෙනඟ අතරේ “පිරුණු ඊකොපු” හා සමානව බොහෝ දරුවන්ගෙන් යුත් පවුල් දක්නට තිබුණා. උදාහරණයක් වශයෙන්, ඔවුන් මිසරයේ වහල්ව සිටි අවුරුදු ගණනාව ගැන සිතා බලන්න: “ඉශ්රායෙල් පුත්‍රයෝ සඵලව බොහෝසේ වැඩි වෙමින් බෝවී අතිශයින් බලවත්වූවෝය; දේශය ඔවුන්ගෙන් පිරුණේය.” (නික්මයාම 1:7) මිසරයට ඇතුල් වුණු ඉශ්‍රායෙලිතයන්ගේ සංඛ්‍යාව හා එයින් පිට වූ සංඛ්‍යාව සන්සන්දනය කළ විට, දරුවන් දහදෙනෙකු සිටි පවුල් සාමාන්යයක්ව තිබුණු බව අඟවනවා.
පසු කලෙක, යේසු හැදී වැඩුණේ අදදින බොහෝදෙනෙකුට විශාලයයි පෙනිය හැකි පවුලකයි. යේසු කුලුඳුලා වූ නමුත්, යෝසෙප් හා මරියාට තවත් පුතුන් හතරදෙනෙක් හා දියණියන් කීපදෙනෙක්ද සිටියා. (මතෙව් 13:54-56) මරියා හා යෝසෙප් යෙරුසලමෙන් යළි පිට වී යද්දී ඔවුන්ගේ කණ්ඩායම අතරේ යේසු නොසිටි බව දැනීමක් නැතුවම ඔවුන් ගමනේ යෙදීමෙන් පැහැදිලි වන්නේ සමහරවිට ඔවුන්ට බොහෝ දරුවන් සිටි බවයි.—ලූක් 2:42-46.
අදදින විශාල පවුල්
ආත්මික, ආර්ථික, සමාජීය හා වෙනත් හේතු නිසා අදදින බොහෝ ක්‍රිස්තියානීන් තමන්ගේ පවුල්වල ප්‍රමාණය සීමා කිරීමට තීරණය කරනවා. කෙසේනමුත්, විශාල පවුල් තිබීම බොහෝ සමාජවලට ආවේණික වූ ලක්ෂණයකි. එක්දාස් නවසිය අනූහතේ ජගත් දරුවන්ගේ තත්වය (ඉංග්‍රීසියෙන්) පවසන පරිදි, දරුවන් බිහි කිරීමේ ඉහළම සංඛ්‍යාව ඇති ප්‍රදේශය වන්නේ අප්‍රිකාවේ දකුණු-සහරාවයි. එහි සාමාන්‍ය ස්ත්‍රියක් දරුවන් හයදෙනෙකු බිහි කරනවා.
යෙහෝවාට ප්‍රේම කිරීමට තම දරුවන්ව ඇති දැඩි කිරීම, විශාල පවුල්වල ක්‍රිස්තියානි දෙමාපියන්ට පහසු දෙයක් නොවන නමුත්, බොහෝදෙනෙක් සාර්ථකව එය කරගෙන යනවා. සාර්ථකත්වය රඳාපවතින්නේ පවුල් එක්සත්ව පවිත්‍ර නමස්කාරය තුළ රැඳී සිටීම මතයි. කොරින්තියේ සභාවට දුන් ප්‍රේරිත පාවුල්ගේ වචන අදදින ක්‍රිස්තියානි පවුල්වලටත් ඒ හා සමාන ආකාරයකින් අදාළ වෙනවා. ඔහු මෙසේ පැවසුවා: “ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.” (1 කොරින්ති 1:10) එවැනි එක්සත්කමක් අත් කරගත හැක්කේ කෙසේද?
දෙමාපියන් ආත්මික පුද්ගලයන් විය යුතුයි
ප්‍රධාන සාධකයක් වන්නේ, දෙමව්පියන් සම්පූර්ණයෙන්ම දෙවිට කැප විය යුතුවීමයි. මෝසෙස් ඉශ්‍රායෙලිතයන්ට පැවසූ මේ දේ සලකා බලන්න: ‘එම්බා, ඉශ්රායෙල්, අසන්න. අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය. නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. මා විසින් අද නුඹට අණ කරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මඟ යන කලද නුඹ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.’—ද්විතීය කථාව 6:4-7.
දෙවිගේ ආඥා දෙමාපියන්ගේ ‘සිත්වල’ තිබීම අවශ්‍යයි කියා මෝසෙස් පෙන්වූ බව සැලකිල්ලට ගන්න. තම දරුවන් තුළ නිතිපතා ආත්මික උපදෙස් පැලපදියම් කිරීමට දෙමාපියන් පෙලඹෙන්නේ එවිට පමණයි. ඇත්තවශයෙන්ම, දෙමාපියන් ආත්මිකව ශක්තිමත්ව සිටින විට, තම දරුවන්ට ආත්මික කාරණාවලදී උපදෙස් දීමට ඔවුන් උනන්දුවක් දක්වනවා.
කෙනෙක් ආත්මික පුද්ගලයෙකු වීමට හා මුළු හෘදයෙන්ම යෙහෝවාට ප්‍රේම කිරීමට නම්, දේවවචනය කියවීම, මෙනෙහි කිරීම හා නිතිපතා අදාළ කරගැනීම අත්‍යවශ්‍යයි. යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන මෙන්ම “රෑ දාවල්” කියවන තැනැත්තා, “දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි” කියා ගීතිකාකරු ලිව්වා.—ගීතාවලිය 1:2, 3.
ගසකට නොකඩවාම වතුර දැම්මොත් එය හොඳ ඵල දරන්නාක් මෙන්, ආත්මිකව පෝෂ්‍යය වූ පවුල් යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙමින් භක්තිවන්ත ඵලදාවක් දරනවා. බටහිර අප්‍රිකාවේ වෙසෙන ඌවාමේග්වූ පවුල මෙයට හොඳ උදාහරණයක්. ඌවාමේග්වූ හා ඔහුගේ භාර්යාවට දරුවන් අටදෙනෙකු සිටියත්, දෙදෙනාම ස්ථාවර පුරෝගාමීන් හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයන් හැටියට සේවය කරනවා. ඔහු මෙසේ පවසනවා: “අපේ පවුල දැන් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ස්ථාවර බයිබල් පාඩමක් පවත්වා තිබෙනවා. අපි දරුවන්ට කුඩා කාලයේ ඉඳන් දේවවචනය උගන්වලා තියෙන්නේ අපේ පවුල් පාඩමේදී විතරක් නෙවෙයි. දේශනා සේවයේ යනකොටත්, වෙන අවස්ථාවලදීත් අපි එහෙම කළා. අපේ දරුවෝ හැමෝම රාජ්‍ය ශුභාරංචිය ප්‍රකාශකරන්නන් වන අතර, වයස අවුරුදු හයක් වන බාලම දරුවා විතරයි බව්තීස්ම වෙලා නැත්තේ.”
කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම
“ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු [ලබයි]” කියා බයිබලය පවසනවා. (හිතෝපදේශ 24:3) පවුල තුළ එවැනි ප්‍රඥාවක් තිබීම කණ්ඩායමක් වශයෙන් සහයෝගයෙන් වැඩ කිරීමට සලස්වයි. පවුල් කණ්ඩායමේ “නායකයා” පියායි; දෙවි ඔහුව පවුලේ මූලිකයා කර තිබෙනවා. (1 කොරින්ති 11:3) ආනුභාව ලත් ප්‍රේරිත පාවුල් මෙසේ පැවසූ විට ඔහු මූලිකත්වය දැරීම පිළිබඳ වගකීමේ බැරෑරුම්කම අවධාරණය කළා: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.
දේවවචනයෙන් වූ මෙම උපදෙසට අනුව, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ගේ ආත්මිකත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. ඔළුව උස්සගන්නවත් බැරි තරමටම භාර්යාවන්ට ගෙදර දොරේ වැඩ කටයුතු අධික නම්, ඔවුන්ගේ ආත්මිකත්වයට පහර වදිනවා. එක අප්‍රිකානු රටක, අලුත බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක් තම භාර්යාව ආත්මික කාරණා සම්බන්ධයෙන් දැක්වූ උදාසීනභාවය ගැන ඔහුගේ සභාවේ වැඩිමහල්ලන්ට පැමිණිලි කළා. ඔහුගේ භාර්යාවට ප්‍රායෝගික උපකාරය දෙන්න කියා වැඩිමහල්ලන් යෝජනා කළා. එබැවින් ස්වාමිපුරුෂයා ගෙදර දොරේ වැඩ කටයුතුවලට ඇයට උපකාර කරන්න පටන්ගත්තා. ඇගේ කියවීම හා බයිබලය පිළිබඳ ඇගේ දැනගැන්ම වැඩි කරගැනීමට උපකාර කිරීමටද ඔහු කාලය ගත කළා. ඇය හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අතර, දැන් දෙවිගේ සේවයෙහි මුළු පවුලම එක්සත්ව සිටිනවා.
පියවරුන් තම දරුවන්ගේ ආත්මිකත්වය ගැනත් සැලකිලිමත් විය යුතුයි. පාවුල් මෙසේ ලිව්වා: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) දරුවන්ව කෝප නොකරන්න යන උපදෙසටත්, ඔවුන්ව පුහුණු කිරීම සඳහා දී ඇති මඟ පෙන්වීමටත් දෙමාපියන් අවනත වන විට, තමන් පවුල් කණ්ඩායමක කොටසක් බව දරුවන්ට හැඟෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ආත්මික ඉලක්ක අත් කරගැනීම සඳහා දරුවන්, එකිනෙකාට උපකාර කිරීමට හා දිරිගැන්වීමට ඉඩ කඩ තිබෙනවා.
දරුවන්ගේ සුදුසු වයසේදී ඔවුන්ට ආත්මික වගකීම් දීම කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමට ඇතුළත් වෙනවා. දරුවන් 11දෙනෙක් සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, පාන්දරින්ම නැඟිට, ඔවුන්ගෙන් කීපදෙනෙකු සමඟ පාඩම් පවත්වනවා රැකියාවට යන්න පෙර. වැඩිමල් අය, තමන්ගේ බව්තීස්මයෙන් පසු, බාල සහෝදර සහෝදරියන්ට මාරුවෙන් මාරුවට උපකාර කරනවා; ඔවුන්ට බයිබලය ඉගැන්වීමේ හවුල් වීමත් එයට ඇතුළත් වෙනවා. පියා ඔවුන්ගේ වෑයම්වලට ප්‍රශංසා කරමින් අධීක්ෂණය කරනවා. දරුවන්ගෙන් හයදෙනෙක් බව්තීස්ම වී සිටින අතර, අනිත් අය එම ඉලක්කය අත් කරගැනීමට වැඩ කරමින් ඉන්නවා.
හොඳ අදහස් හුවමාරුව එකම ඉලක්ක
එක්සත් පවුල් සඳහා ප්‍රේමනීය අදහස් හුවමාරුව හා එකම ආත්මික ඉලක්ක ඉතා අවශ්‍යයි. නයිජීරියාවේ වෙසෙන ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන ගෝර්ඩන්, 11 සිට 27 දක්වා වයස් මට්ටම්වල සිටින දරුවෝ හත්දෙනෙකුගේ පියෙක්. දෙමාපියන් වාගේම, ඔවුන්ගෙන් හයදෙනෙක් පුරෝගාමීන්. මෑතකදී බව්තීස්ම වූ බාලම දරුවා, පවුලේ ඉතිරි අය සමඟ ගෝලයන් සෑදීමේ වැඩයෙහි නිතිපතා හවුල් වෙනවා. වැඩිහිටි පුතුන් දෙදෙනා සභාවේ උපස්ථායක සේවකයන්.
ගෝර්ඩන් තමන්ගේ දරුවන් සෑමකෙනෙකු සමඟම පෞද්ගලිකව බයිබල් පාඩම් පැවැත්තුවා. ඊට අමතරව, පවුලේ සාමාජිකයන් සඳහා පුළුල් බයිබල් අධ්‍යාපන වැඩසටහනක් තිබෙනවා. බයිබල් පාඨයක් සලකා බැලීමට හා සභා රැස්වීම්වලට සූදානම් වීම සඳහා හැම උදේකම ඔවුන් එකතු වෙනවා.
මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල සෑම ලිපියක්ම කියවීම, සෑම පවුල් සාමාජිකයෙකු සඳහාම තබා තිබෙන ඉලක්කයක්. මෑතකදී, ඔවුන් තම දිනචර්යාවට දිනපතා බයිබලය කියවීමද එකතු කළා. ඔවුන් කියවන දේ ගැන කතා කිරීමෙන් පවුල් සාමාජිකයන් එම පුරුද්ද දිගටම පවත්වාගැනීමට එකිනෙකාට දිරිගන්වනවා.
සතියේ බයිබල් පාඩම කොතරම් හොඳට පවත්වාගෙන යනවාද කිව්වොත්, කිසි කෙනෙකුට මතක් කරන්න ඕනෙ නැහැ; හැමෝම ආශාවෙන් ඒ දවස එන තෙක් බලා සිටිනවා. වසර ගණනාව පුරා, බයිබල් පාඩමේ අඩංගු තොරතුරු, එහි සැකැස්ම හා එය පවත්වන වෙලාව, දරුවන්ගේ වයස් සීමාවන් හා අවශ්‍යතා අනුව වෙනස් කර තිබෙනවා. පවුලේ සාමාජිකයන් දෙවිගේ අනිකුත් ඇදහිලිවන්ත සේවකයන්ට සමීප වී ඇති අතර, මෙය දරුවන්ට ප්‍රයෝජනදායක බලපෑමක් ඇති කර තිබෙනවා.
පවුලක් වශයෙන්, ඔවුන් දේවල් එකට කරන අතර විනෝදය සඳහා වෙලාවක් වෙන් කර තබනවා. සතියකට වතාවක් ඔවුන් ප්‍රශ්නෝත්තර තරඟ, සුදුසු විහිළු කිරීම, පියානෝ වාදනය, කතන්දර කීම හා සාමාන්‍යයෙන් විවේකයක් ගැනීම යන අංගයන් ඇතුළත් “පවුලේ සන්ධ්‍යාවක්” භුක්ති විඳිනවා. ඉඳලා හිටලා, ඔවුන් මුහුදු වෙරළටත්, වෙනත් සිත්ගන්නා තැන්වලටත් යනවා.
යෙහෝවා මත රඳා සිටීම
ඉහත පැවසූ කිසිවකින් විශාල පවුල් නඩත්තු කිරීමේ අසීරුතාව අඩු කෙරෙන්නේ නැහැ. “දරුවන් අටදෙනෙකුට හොඳ පියෙකු වීම ලොකු අභියෝගයක්” යයි එක් ක්‍රිස්තියානියෙක් පැවසුවා. “ඔවුන්ව පෝෂණය කිරීම සඳහා ශාරීරික හා ආත්මික ආහාර බහුල වශයෙන් අවශ්‍යයි; ඔවුන්ව නඩත්තු කිරීමට ප්‍රමාණවත් මුදලක් උපයන්න මම මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. වැඩිමල් දරුවන් ඉන්නේ ඔවුන්ගේ නහඹර වියෙයි; අටදෙනාම පාසැල් යනවා. ආත්මික පුහුණුව හුඟක් අවශ්‍ය බව මම දන්නවා; ඒත් මගේ සමහර දරුවන් මුරණ්ඩුයි, අකීකරුයි. ඒගොල්ලෝ මට දුක් දෙනවා; නමුත් සමහර අවස්ථාවලදී මමත් යෙහෝවාගේ හෘදයට දුක් දෙන දේවල් කරන බවත්, ඔහු මට සමාව දෙන බවත් මම දන්නවා. එනිසා මගේ දරුවන් ඔවුන්ගේ පියවි සිහියට එන තුරු මම ඉවසිලිවන්තව දිගටම ඔවුන්ව නිවැරදි කළ යුතුයි.
“සියලුදෙනාම පසුතැවිලි වෙනවාට ඔහු කැමති නිසා ඉවසිලිවන්තව සිටීමේ යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කිරීමට මම වෑයම් කරනවා. මම මගේ පවුලේ අය එක්ක පාඩම් කරන අතර, මගේ දරුවන්ගෙන් සමහරෙක් බව්තීස්මයේ ඉලක්කය කරා වැඩ කරමින් සිටිනවා. ප්‍රතිඵල අත් කරගැනීමට මම මගේම ශක්තිය මත රඳාපවතින්නේ නැහැ; මගේ බලයෙන් ඉටු කරන්න පුළුවන් ස්වල්පයයි. මම යාච්ඤාවෙන් යෙහෝවාට වඩ වඩාත් සමීප වෙන්න හා මෙම හිතෝපදේශය අදාළ කරගන්න වෑයම් කරනවා: ‘නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු හෘදයෙන් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න, එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.’ මගේ දරුවන්ව පුහුණු කිරීමේදී සාර්ථක වීමට යෙහෝවා මට උපකාර කරාවි.”—හිතෝපදේශ 3:5, 6.
කිසිදාක අත් නොහරින්න
සමහරවිට දරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔබට කිසිම ස්තුතියක් නොලැබෙන බව හැඟෙන්න ඉඩ තිබෙන නමුත්, කිසිදාක අත් නොහරින්න! වෑයම් කරන්න! ඔබේ දරුවන් ඔබේ වෑයම්වලට දැන් ඒකාන්ත ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් හෝ ඒවා අගය කරන්නේ නැත්නම් ඔවුන් පසු කලක එසේ කළ හැකියි. ආත්මයේ ඵල දරන ක්‍රිස්තියානියෙකු බවට පත්වීම සඳහා දරුවෙකුට කාලයක් ගත වෙයි.—ගලාති 5:22, 23.
කෙන්යාවේ වෙසෙන මොනිකා දරුවන් දහදෙනාගෙන් එක්කෙනෙක්. ඇය මෙසේ පවසනවා: “මගේ දෙමාපියන් අපේ කුඩා කාලයේ ඉඳලා අපට බයිබල් සත්‍යය ඉගැන්නුවා. තාත්තා හැම සතියකම අපි එක්ක ක්‍රිස්තියානි ප්‍රකාශන පාඩම් කළා. ඔහුගේ රැකියාව නිසා, පාඩම හැම තිස්සේම එකම දවසේ පවත්වන්න බැරි වුණා. සමහර අවස්ථාවලදී, ඔහු වැඩ ඇරිලා ගෙදර එනකොට අපි එළියේ සෙල්ලම් කරනවා දකින ඔහු, තව මිනිත්තු පහකින් අපේ බයිබල් පාඩම කරන්න ඇතුලට එන්න කියලා අපි ඔක්කොටම කියනවා. අපේ බයිබල් පාඩමෙන් පස්සේ, ප්‍රශ්න අහන්න හෝ මොනව හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන කියන්න අපිව දිරිගන්වනවා.
“අපි භක්තිවන්ත දරුවන් එක්කද ආශ්‍රය කරන්නේ කියලා ඔහු සොයලා බැලුවා. අපේ හැසිරීම ගැන ගුරුවරුන්ගෙන් අහන්න තාත්තා නිතර ඉස්කෝලෙට ආවා. එක පාරක් ඔහු ආවහම මගේ අයියලා තුන්දෙනා අනිත් පිරිමි ළමයි එක්ක ගහගෙන තිබුණු අතර, සමහර අවස්ථාවලදී නොහොබිනා විදිහට කතා කරලා තිබුණු බව ඔහුට ආරංචි වුණා. නරක විදිහට හැසිරුණු එකට තාත්තා ඔවුන්ට දඬුවම් කළා; ඒ විතරක් නෙවෙයි ඔවුන් භක්තිවන්ත ලෙස හැසිරිය යුත්තේ ඇයි කියලා ශුද්ධ ලියවිලිවලින් පැහැදිලි කිරීමට ඔහු කාලයත් ගත කළා.
“අපි එක්ක රැස්වීමේ කොටස් සූදානම් කිරීම මගින් රැස්වීම්වලට යෑමේ ප්‍රයෝජන ගැන අපේ දෙමාපියන් අපට පෙන්නුවා. ගෙදරදී පුහුණු වීමේ සැසිවාරයන් පැවැත්වීමෙන් දේවසේවකයන් වීමට අපව පුහුණු කරනු ලැබුවා. කුඩා කාලයේ පටන් අපේ දෙමාපියන් එක්ක අපි ක්ෂේත්‍ර සේවයේ ගියා.
“අද, මගේ අයියලා දෙන්නෙක් විශේෂ පුරෝගාමීන්, අක්කා කෙනෙක් ස්ථාවර පුරෝගාමියෙක්, තවත් නංගි කෙනෙක් විවාහ වෙලා; එයාට දරුවන් ඉන්නවා; ඇය ජ්වලිත සාක්ෂිකාරියක්. අවුරුදු 18ක් හා 16ක් වන මගේ නංගිලා දෙන්නා බව්තීස්ම ලත් ප්‍රචාරකයන්. මල්ලිලා දෙන්නව පුහුණු කරනවා. මම අවුරුදු තුනක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කෙන්යා ශාඛා කාර්යාලයේ සේවය කරලා තියෙනවා. මගේ දෙමාපියන් ආත්මික අය නිසා මම ඔවුන්ට ආදරෙයි; ඔවුන්ව අගය කරනවා; ඔවුන් අපිට හොඳ ආදර්ශයක් තැබුවා.”
ඔබට කොතරම් දරුවන් සිටියත් කමක් නැහැ, සදාකාල ජීවනයට යන මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ඔවුන්ට උපකාර කිරීම කිසිදාක අත් නොහරින්න. යෙහෝවා ඔබේ වෑයම්වලට උපකාර කරද්දී, ප්‍රේරිත යොහන් ඔහුගේ ආත්මික දරුවන් ගැන ප්‍රකාශ කළ මෙම වචන ඔබත් ප්රතිරාවය කරයි: “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.”—3 යොහන් 4.