වසර 40කට වඩා කොමියුනිස්ට්වාදීන්ගේ තහනම යටතේ
මිහයිල් වසිලිවිච් සවිට්ස්කිගේ කතාව
වර්ෂ 1951 අප්‍රියෙල් 1, 7 සහ 8 දිනවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව “විශාල වශයෙන් පලවාහැරීමක්” ගැන 1956 අප්‍රියෙල් 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ වාර්තා වුණා. “මේවා රුසියාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අමතක නොවන දිනයන් වෙනවා” කියා මුරටැඹ පැහැදිලි කළා. “මේ දවස් තුනේදී බටහිර යුක්රේන්, සුදු රුසියාව [බෙලරස්], බෙසරබියා, මොල්ඩාවියා, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්ටෝනියාවෙහි සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාවම, ඒ කියන්නේ පිරිමින් හා ගැහැනුන් හත්දාහකට වැඩිදෙනෙකුව . . . කරත්තවල පටවලා, දුම්රිය ස්ථානයට ගෙනිහින්, එතැනින් දුම්රිය සත්ව මැදිරිවලට නග්ගවලා, හුඟාක් ඈතකට යැව්වා.”
වර්ෂ 1951 අප්‍රියෙල් 8වෙනිදා මගේ භාර්යාවව, මගේ අට මාසයක් වයසැති පුතාව, මගේ දෙමාපියන්ව, මගේ මල්ලිව සහ වෙනත් සාක්ෂිකරුවන් හුඟදෙනෙකුව, යුක්රේන්හි ට’නෝපල්වල හා ඒ අවට තිබුණු ඔවුන්ගේ ගෙවල්වලින් අරගෙන ගියා. දුම්රිය සත්ව මැදිරිවලට පැටෙව්වාට පස්සේ ඔවුන් සති දෙකක් විතර ගමන් කළා. අන්තිමේදී, ඔවුන්ව බයිකල් විලෙන් බටහිරෙහි පිහිටි සයිබීරියානු ටයිගාවේ (අර්ධ-ආක්ටික් වනභූමිය) බැස්සුවා.
මේ පලවාහැරීමට මාව ඇතුළත් නොවුණේ ඇයි? ඒ කාලේ මම කොහෙද හිටියේ, ඊට පස්සේ අපි හැමෝටම මොකක්ද සිද්ධ වුණේ කියා විස්තර කරන්න ඉස්සෙල්ලා, මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූ ආකාරය ඕගොල්ලන්ට පවසන්න මට ඉඩ දෙන්න.
බයිබල් සත්‍යය අප කරා පැමිණේ
වර්ෂ 1947 සැප්තැම්බර්වල මට වයස 15වේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් ට’නෝපල්වලින් කිලෝමීටර් 50ක් පමණ ඈතින් පිහිටි ස්ලව්යාටින් නම් කුඩා ගමේ පිහිටි අපේ නිවසට ආවා. අම්මයි, මමයි මේ තරුණියන් දෙන්නාට සවන් දීගෙන ඉන්නකොට, මේ නිකම්ම තවත් ආගමක් නොවන බව මම දැනගත්තා. ඔවුන් දෙන්නාගෙන් එක්කෙනෙක් මරියායි. ඔවුන්, ඔවුන්ගේ ඇදහිල්ල ගැන පැහැදිලි කරලා, අපේ බයිබල් ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු දුන්නා.
බයිබලය දෙවිගේ වචනය බව මම විශ්වාස කළත්, මම පල්ලිය ගැන කලකිරිලයි හිටියේ. සීයා මෙහෙම කියනවා මට මතකයි: “නිරාගින්නේ වධ විඳිනවා කියලා පූජකයෝ මිනිස්සුන්ව භය කරනවා; ඒත් පූජකයෝ භය නැහැ. ඒගොල්ලෝ මිනිස්සුන්ට දෙන්න ඕන දේ නොදී, ඒ අසරණයන්ව මුළා කරනවා.” දෙවන ලෝක යුද්ධය පටන්ගනිද්දී අපේ ගමේ පෝලන්ත වැසියන්ට සිද්ධ කළ සාහසිකකම් සහ ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තැබුව හැටි මට මතකයි. පුදුමයට කරුණක් නම්, මේ පහර දීම් සංවිධානය කළේ ග්‍රීක් කතෝලික පූජකයෙක්. ඊට පස්සේ ගොඩක් අයව මරා දාලා තියෙනවා මම දැක්කා. එවැනි කෲරකමකට හේතු දැනගන්නත් මම උනන්දුවෙන් හිටියා.
සාක්ෂිකරුවන් එක්ක මම බයිබලය පාඩම් කරද්දී, මට තේරෙන්න පටන්ගත්තා. දැවෙන නිරයක් නැහැ; මම, යුද්ධය හා ලේ හැලීම තවත් වැඩි කිරීමට යක්ෂයා වන සාතන් බොරු ආගම යොදාගන්නවා යන සත්‍යයන් ඇතුළුව මූලික බයිබල් සත්‍යයන් ඉගෙනගත්තා. මම පුද්ගලික පාඩම කරන අතරතුරේදී සැරෙන් සැරේ ඒක නවත්වලා ඉගෙනගනිමින් හිටිය දේ සම්බන්ධයෙන්, යාච්ඤාව තුළින් යෙහෝවාට මුළු හෘදයෙන්ම ස්තුති කරනවා. මගේ මල්ලි, ස්ටේඛ්ට මේ බයිබල් සත්‍යයන් කියන්න මම පටන්ගත්තා; ඔහු ඒවා පිළිගත්ත එක මට ලොකු සතුටක්.
මම ඉගෙනගත් දේ ක්‍රියාවට නැංවීම
පෞද්ගලික වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව වටහාගෙන ඒ මොහොතේදීම මම දුම් බොන එක නවත්වලා දැම්මා. සංවිධානය වෙලා බයිබලය පාඩම් කිරීමට අනිත් අය සමඟ නිතිපතා රැස්වීම සඳහා ඇති අවශ්‍යතාවත් මම වටහාගත්තා. එසේ කිරීමට, රැස්වීම් පැවැත්වූ රහස් ස්ථානයකට යන්න මම කැලෑ ප්‍රදේශයක් තුළට කිලෝමීටර් දහයක් පමණ ඇවිද්දා. සමහර අවස්ථාවලදී රැස්වීමට එන්න පුළුවන් වුණේ ස්ත්‍රීන් කීපදෙනෙකුට විතරයි; මම බව්තීස්ම වෙලා හිටියේ නැතත් ඒක මට පවත්වන්න කිව්වා.
බයිබල් පොත් පත් ළඟ තිබීම අවදානම් සහිත එකක් වූ අතර ඒවා ළඟ තිබී අහු වුණොත්, අවුරුදු 25කට හිරේ යන්න සිදු වෙනවා. ඒ වුණත්, මගේම පුස්තකාලයක් තියාගන්න මට ආශාවක් තිබුණා. අපේ අසල්වාසීන්ගෙන් කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරලා තිබුණත්, භය නිසා ඔහු ඔහුගේ වත්තේ පොත් පත් වැළලුවා. ඒවා සැඟවූ තැන හාරා ඔහුගේ පොත් හා සඟරා සියල්ල අරගෙන මට දෙන්න ඔහු එකඟ වුණහම මම යෙහෝවාට මොනතරම් ස්තුතිවන්ත වුණාද! අනිත් අය හොයන්න පෙලඹෙන්නේ නැති තැනක් වූ තාත්තාගේ මීවද පෙට්ටිවල මම ඒවා හැංගුවා.
වර්ෂ 1949 ජූලිවලදී, මම යෙහෝවාට මගේ ජීවිතය කැප කොට, මගේ කැපවීම සංකේතවත් කිරීමට බව්තීස්ම වුණා. මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දවස ඒකයි. සැබෑ ක්‍රිස්තියානියෙකුව සිටීම ලේසි පහසු දෙයක් නොවන බවත්, ඉදිරියේදී බොහෝ පරීක්ෂාවලට මුහුණ දෙන්න සිදු වන බවත්, රහසිගතව බව්තීස්මය පැවැත්වූ සාක්ෂිකරුවා අවධාරණය කළා. ඔහුගේ වචන කොයිතරම් සැබෑද කියන එක වැඩි කල් නොගොස් මම ඉගෙනගත්තා! එහෙත්, බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වශයෙන් මගේ ජීවිතය පටන්ගත්තේ ප්රීතිමත්වයි. මගේ බව්තීස්මයෙන් මාස දෙකකට පස්සේ, අම්මටයි, මටයි සත්‍යය හඳුන්වා දුන් දෙන්නාගෙන් එක්කෙනෙක් වූ මරියාව මම විවාහ කරගත්තා.
මගේ මුල් පරීක්ෂාව ආවේ හදිසියේමයි
වර්ෂ 1950 අප්‍රියෙල් 16වෙනිදා මම පජිට්සි නම් කුඩා නගරයේ සිට යළිත් ගෙදර එනකොට, සොල්දාදුවන් හදිසියේම මගේ ඉස්සරහට පැනලා, අපේ පාඩම් කණ්ඩායමට මම ගෙනියමින් හිටිය පොත් පත් ටික සොයාගත්තා. මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවේ සිටි මුල් දවස් ටිකේදී, මට පොල්ලකින් ගැහැව්වා; කන්නවත්, නිදාගන්නවත් දුන්නේ නැහැ. ඔළුවේ අත් දෙක තියාගෙන සියපාරක් දණහිස්වලින් නැමි නැමී හිටගන්න කියලත් මට අණ කළා. සීයම කරලා ඉවර කරන්න බැරි තරමට මාව වෙහෙසට පත් වුණා. ඊට පස්සේ, මාව පතුල් මාලයේ සීතල, තෙත කාමරයක පැය 24ක් තැබුවා.
අඩන්තේට්ටම් කිරීමේ අරමුණ වුණේ මගේ ස්ථාවරය බිඳලා, මගෙන් පහසුවෙන්ම තොරතුරු ලබාගැනීමයි. ඔවුන් බලෙන් උත්තර ගන්න බලමින්, “කොහෙන්ද මේ පොත් පත් ලැබෙන්නේ? කාටද මේවා අරගෙන ගියේ?” කියලා ඇහැව්වා. මම මොනම දෙයක්වත් හෙළි කළේ නැහැ. එතකොට මට විරුද්ධව නඩු පවරන්න යොදාගත් නීති සංග්‍රහයෙන් කොටසක් කියෙව්වා. සෝවියට්-විරෝධී පොත් පත් බෙදාහැරීම හා ළඟ තබාගැනීම මරණ දණ්ඩනය හෝ වසර 25ක සිර දඬුවමක් ලැබීමේ වරදක් බව එහි ප්‍රකාශ කළා.
“තමුසේ කැමති මොන දඬුවම ලැබෙනවාටද?” කියා ඔවුන් ඇසුවා.
“එකකටවත් කැමති නැහැ; ඒත් යෙහෝවා කෙරෙහි මගේ විශ්වාසයත්, ඔහුගේ උපකාරයත් ඇතුව, ඔහු ඉඩහරින ඕනෑම දෙයක් පිළිගන්න මම කැමතියි” කියා මම පිළිතුරු දුන්නා.
මාව පුදුමයට පත් කරමින්, දවස් හතකට පස්සේ ඔවුන් මට යන්න ඇරියා. ඒ අද්දැකීම යෙහෝවාගේ පොරොන්දුවේ මෙම සත්‍යතාව අගය කරන්න මට උපකාරවත් වුණා: “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.”—හෙබ්‍රෙව් 13:5.
ආපහු ගෙදර එනකොට මම සෑහෙන්න අසනීපව සිටියත්, තාත්තා මාව වෛද්‍යවරයෙක්ට පෙන්නුව නිසා ඉක්මන් සුවයක් ලැබුණා. පවුලේ අනිත් අයගේ ආගමික විශ්වාසයන් තාත්තාට නොතිබුණත් අපේ නමස්කාරය සඳහා ඔහු අපට සහයෝගය දුන්නා.
සිරගත වීම හා පිටුවහල් කිරීම
මාස කීපයකට පස්සේ මට සෝවියට් හමුදා සේවයට බැඳෙන්න කිව්වා. හෘදය සාක්ෂියට එකඟව මට එකඟ වෙන්න බැරි බව මම පැහැදිලි කළා. (යෙසායා 2:4) කොහොමනමුත්, 1951 පෙබරවාරිවලදී, මට අවුරුදු හතරක සිරදඬුවමක් දී, ට’නෝපල්හි සිරගෙයකට යැව්වා. ඊට පස්සේ මාව කිලෝමීටර් 120ක විතර ඈතකින් පිහිටි විශාල නගරයක් වූ ලව්ෆ්හි සිරගෙයකට මාරු කළා. එහි සිරගෙයි සිටිද්දී, බොහෝ සාක්ෂිකරුවන්ව සයිබීරියාවට පිටුවහල් කර තිබෙන බව මම දැනගත්තා.
වර්ෂ 1951 ග්‍රීෂ්මයේදී, කණ්ඩායමක් වශයෙන් අපිව සයිබීරියාවෙන් එපිට, ඈත නැඟෙනහිරට යැව්වා. අපි මාසයක් පුරා වේලා කලාප 11ක් හරහා යමින් කිලෝමීටර් 11,000ක් පමණ ගමන් කළා! දුම්රියේ සති දෙකකටත් වඩා හිටියාට පස්සේ එක වතාවක් විතරයි නැවැත්තුවේ; එහිදී අපට නාන්න ඉඩහැරියා. ඒක සයිබීරියාවේ නෝවෝසබ’ස්ක්හි විශාල පොදු නාන ගෙයක්.
එහිදී, සිරකරුවන් විශාල සංඛ්‍යාවක් මැද්දේ එක මනුස්සයෙක් මහ හයියෙන් මෙහෙම කියනවා ඇහුණා: “මෙතැන ඉන්න යෝනාදාබ්ගේ පවුලට අයිති අය කවුද?” ඒ අවස්ථාවේදී “යෝනාදාබ්” යන යෙදුම පාවිච්චි කළේ පොළොවේ සදාජීවනයේ බලාපොරොත්තුව ඇති අයව හඳුනාගන්නයි. (2 රාජාවලිය 10:15-17; ගීතාවලිය 37:11, 29) ඒ මොහොතේදීම සිරකරුවන් කීපදෙනෙක් තමන් සාක්ෂිකරුවන් වශයෙන් හඳුන්වා දුන්නා. අපි එකිනෙකාව පිළිගත්තේ මොනතරම් ප්‍රීතියකින්ද!
සිරගෙදරදී ආත්මික ක්‍රියාකාරකම්
නෝවෝසබ’ස්ක්හි සිටින අතරතුරේදී, අපේ ගමනාන්තයට ගිය විට එකිනෙකාව හඳුනාගත හැකි වන පරිදි රහස් වචනයක් පාවිච්චි කරමු කියා අපි එකඟ වුණා. ව්ලැඩිවොස්ටොක්වලින් වැඩි ඈතක නොවූ, ජපන් මුහුදේ තිබූ සිර කඳවුරට අපි හැමෝවම අරගෙන ගියා. එහිදී අපි බයිබලය පාඩම් කිරීම සඳහා නිතිපතා රැස්වීම් සංවිධානය කළා. දීර්ඝ කාලයක් පුරා සිර දඬුවම් විඳ තිබූ මේ මේරූ, වයසක සහෝදරයන් ඇත්තෙන්ම මාව ආත්මිකව ශක්තිමත් කළා. ඔවුන් මුරටැඹ සඟරාවලින් මතක් කරගත් බයිබල් පද හා සම්බන්ධ කාරණා යොදාගනිමින් මාරුවෙන් මාරුවට අපේ රැස්වීම් පැවැත්තුවා.
ප්‍රශ්න ඇසූ අතර, සහෝදරයන් උත්තර දුන්නා. අපි හුඟදෙනෙක් හිස් සිමෙන්ති උරවලින් කොළ කෑලි කපාගෙන, ඒවාවල කෙටි සටහන් ගත්තා. අපි ඒ කෙටි සටහන් පරෙස්සමෙන් අරන් තියලා, ඒවා ඔක්කොම එකට එකතු කරලා, අපේ පුද්ගලික පුස්තකාලයක් හැටියට පාවිච්චි කළා. මාස කීපයකට පස්සේ, දිගු කාලයකට දඬුවම් ලබා සිටි අයව සයිබීරියාවේ උතුරු කෙළවරේ පිහිටි කඳවුරුවලට යැව්වා. තරුණ සහෝදරයන් වූ අප තිදෙනාව ජපානයෙන් කිලෝමීටර් 650කට වඩා අඩු දුරක, ළඟපාත පිහිටි නකොඩ්කාවලට මාරු කරලා යැව්වා. මම එහි සිරගෙයි අවුරුදු දෙකක් ගත කළා.
අපි සමහර අවස්ථාවලදී මුරටැඹ පිටපතක් ලබාගත්තා. මාස ගණනාවක් එය අප සඳහා ආත්මික ආහාරයව තිබුණා. කල් යත්ම, අපට ලිපිත් ලැබුණා. (ඒ වෙද්දී පිටුවහල් කර සිටි) මගේ පවුලේ අයගෙන් මට මුල්ම ලිපිය ලැබුණු අතර, ඒක කියෙව්වාම මගේ ඇස්වල කඳුළු පිරුණා. මුලදී උපුටා දැක්වූ මුරටැඹ සඟරාවෙහි විස්තර කරලා තිබුණු විදිහට, සාක්ෂිකරුවන්ගේ ගෙවල් බලෙන් අයිති කරගෙන, ඔවුන්ට පිට වී යන්න පැය දෙකක කාලයක් පමණක් දීලා තිබුණු ආකාරය එහි සඳහන්ව තිබුණා.
නැවතත් මගේ පවුල එක්ක
අවුරුදු හතරක හිරදඬුවමෙන් අවුරුදු දෙකක් ගත කළාට පස්සේ 1952 දෙසැම්බර්වලදී මාව නිදහස් කළා. සයිබීරියාවේ ටුලූන් අසල ගඩලි නම් කුඩා ගමට පිටුවහල් කර සිටි මගේ පවුලේ අයට මම එකතු වුණා. ඇත්තෙන්ම, ඔවුන් එක්ක නැවතත් ඉන්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! මගේ පුතා ඉවන්ට අවුරුදු තුන ළං වෙලා තිබුණා; දුව අනාට අවුරුදු දෙකක් වෙලා තිබුණා. කෙසේවෙතත් මගේ නිදහස සාපේක්ෂ එකක් වුණා. ප්‍රාදේශීය අධිකාරීන් මගේ ගුවන් බලපත්‍රය රාජසන්තක කර තිබූ අතර මං ගැන හුඟක් සෙවිල්ලෙන් හිටියා. මට ගෙදරින් කිලෝමීටර් තුනකට වඩා එහාට ගමන් කිරීම තහනම් කරලා තිබුණා. පසුව, මට ටුලූන්වල වෙළඳසැලට අශ්වයාගේ පිටෙන් යන්න අවසර ලැබුණා. කල්පනාකාරිව කටයුතු කරමින්, එහිදී මම සෙසු සාක්ෂිකරුවන්ව මුණගැසුණා.
ඒ වෙනකොට අපිට, අනා සහ නාඩියා යන දුවලා දෙදෙනාත්, ඉවන් හා කෝලයා යන පුතාලා දෙදෙනාත් හිටියා. වර්ෂ 1958දී අපට තවත් පුතෙක්, එනම් වලෝඩ්යා ලැබුණා. ඊටත් පස්සේ, 1961දී අපිට තවත් දුවෙක් ලැබුණා; ඇය ගල්යායි.
කේජීබී (කලින් රජයේ ආරක්ෂක ආයතනය) වාර ගණනාවක්ම මාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා. මගෙන් සභාව පිළිබඳව තොරතුරු හෙළි කරගැනීම විතරක් නොවෙයි නමුත් මම ඔවුන්ට සහාය දෙනවා කියා සැකයක් හටගැන්වීමත් ඔවුන්ගේ අරමුණ වී තිබුණා. එනිසා ඔවුන් මාව කදිම ආපන ශාලාවකට එක්කගෙන ගිහින්, මම සිනා වෙමින් ඔවුන් එක්ක විනෝදෙන් ඉන්න විදිහට පින්තූර ගන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ චේතනාව අවබෝධ කරගත් මම, සිහිකල්පනාවෙන් යුතුව දිගටම රවාගෙන හිටියා. මාව අත්අඩංගුවට ගත් හැම අවස්ථාවකදීම, සිද්ධ වුණු හැම දෙයක්ම මම ඒ විදිහටම සහෝදරයන්ට කිව්වා. මේ නිසා, ඔවුන් මගේ පක්ෂපාතකම ගැන කොහොමටවත් සැක කළේ නැහැ.
කඳවුරු සමඟ සම්බන්ධතා
වසර ගණනාවක් පුරා, සියගණනක් සාක්ෂිකරුවන්ව හිරේ දාලා තිබුණා. මේ කාලයේදී, හිරේ හිටිය අපේ සහෝදරයන්ව අපි නිතර හමු වෙලා ඔවුන්ට පොත් පත් සැපයුවා. මේක කළේ කොහොමද? සහෝදරයන්ව හෝ සහෝදරියන්ව කඳවුරෙන් නිදහස් කළ විට, දැඩි නීති තිබුණත් රහසින් පොත් පත් එහි ගෙන යා හැකි ක්‍රම අපි ඔවුන්ගෙන් ඉගෙනගත්තා. අවුරුදු දහයක් විතර, මේ කඳවුරුවල ඉන්න අපේ සහෝදරයන්ට, පෝලන්තයෙන් හා වෙනත් රටවලින් ලබාගත් සඟරා හා පොත්වල පිටපත් සපයන්න අපට හැකි වුණා.
අපේ ක්‍රිස්තියානි සහෝදරියන්ගෙන් බොහෝදෙනෙක් මුළු සඟරාවක්ම ගිනිපෙට්ටියක ප්‍රමාණයේ කුඩා යමක සැඟවිය හැකි වන පරිදි පුංචි අකුරෙන් ලිවීමට වෙහෙසෙමින් පොත් පත් පිටපත් කිරීමෙහි බොහෝ කාලයක් වැය කළා! වර්ෂ 1991දී, අපි තවදුරටත් තහනම යටතේ නොසිටි නිසා, වර්ණ හතරකින් යුත් අලංකාර සඟරා අපට ලැබෙන්න පටන්ගත් විට, එක සහෝදරියක් මෙහෙම කිව්වා: “දැන් අපිව අමතක වෙලා යයි.” ඇය වැරදියි. මිනිසුන්ට අමතක විය හැකි වුණත්, එවැනි පක්ෂපාතී අයගේ වැඩ යෙහෝවාට කවදාවත් අමතක වෙන්නේ නැහැ!—හෙබ්‍රෙව් 6:10.
අලුත් පදිංචියක් සහ ඛේදවාචකයන්
වර්ෂ 1967 අගභාගයේදී ඉර්කුට්ස්ක්හි තිබූ මගේ මල්ලිගේ නිවස සෝදිසි කළා. එහි සේයාපට හා බයිබල් පොත් පත්වල පිටපත් තිබී හම්බ වුණා. ඔහුව අත්අඩංගුවට අරගෙන අවුරුදු තුනකට හිරේ දැම්මා. කොහොමවුණත්, අපේ නිවස සෝදිසි කළාට කිසි දෙයක් සොයාගන්න බැරි වුණා. ඒත් අපේ සම්බන්ධයක් තියෙන බව අධිකාරීන්ට වැටහිලා තිබුණා; ඒ නිසා මගේ පවුලේ අයට ප්‍රදේශය අත්හැරලා යන්න සිද්ධ වුණා. කෝකේසස්හි නෙවින්නොමිස්ක් නගරයෙන් කිලෝමීටර් 5,000ක් පමණ ඈත, බටහිරට වෙන්න අපි පදිංචි වුණා. එහිදී අපි අවිධිමත් සාක්ෂිදැරීමෙහි කාර්යබහුලව සිටියා.
වර්ෂ 1969 ජූනි පාසැල් නිවාඩුවේ මුල්ම දවසේදී ඛේදවාචකයක් සිද්ධ වුණා. අධි වෝල්ටීයතාවක් ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ළඟට ගිහින් තිබුණු බෝලයක් ගන්න ගිය අපේ 12-හැවිරිදි පුතා කෝලයාට දරුණු විදුලි සැරයක් වැදුණා. ඔහුගේ සිරුරෙන් සෑහෙන කොටසක් පිලිස්සී ගියා. රෝහලේදී, ඔහු මගේ පැත්තට හැරිලා මෙහෙම ඇහැව්වා: “අපිට ආයි එකට දූපතට යන්න පුළුවන් වෙයිද?” (අපි ආශාවෙන් බලන්න ගිය දූපතක් ගැනයි ඔහු කියමින් හිටියේ.) “ඔව්, කෝලයා, අපි ආයි ඒ දූපතට යනවා. යේසුස් ක්‍රිස්තුස් ඔයාව නැවත නැඟිට්ටුවහම, අපි ඇත්තටම ඒ දූපතට යනවා” කියා මම පැවසුවා. අඩ සිහියෙන්, ඔහු ඔහුගේ ආසම රාජ්‍ය ගීතිකාවලින් එකක් කිව්වා; ඒ ගීතිකාව, සභාවේ වාදක කණ්ඩායමේදී ඔහු ඔහුගේ ට්‍රම්පට් එකෙන් වාදනය කරන්න කැමතිම ගීතිකාවයි. දවස් තුනකට පස්සේ ඔහු නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි විශ්වාසය ඇතුව මියගියා.
ඊළඟ අවුරුද්දේ, අපේ 20-හැවිරිදි පුතා ඉවන්ව හමුදාවට බන්දගන්න හැදුවා. ඔහු එහි සේවය කිරීම ප්‍රතික්ෂේප කළ විට ඔහුව අත්අඩංගුවට ගත් අතර ඔහුට අවුරුදු තුනක් හිරේ ඉන්න සිද්ධ වුණා. වර්ෂ 1971දී, මාව බන්දවාගන්න හැදූ අතර සේවය නොකිරීම නිසා සිරගත කරන බවට යළිත් තර්ජනය කළා. මගේ නඩුව මාස ගණනාවක් ඇදි ඇදි තිබුණා. මේ අතරතුරේදී මගේ භාර්යාව පිළිකාවක් නිසා අසනීප වුණා; ඇයට වැඩි අවධානයක් දෙන්න සිදු වුණා. මේ හේතුව නිසා ඔවුන් මගේ නඩුව අහෝසි කළා. මරියා 1972දී මියගියා. ඇගේ මරණය දක්වාම යෙහෝවාට පක්ෂ වෙමින්, ඇය විශ්වාසවන්ත සහකාරියක්ව සිටියා.
අපේ පවුල පුළුල් වෙයි
වර්ෂ 1973දී මම නිනාව විවාහ කරගත්තා. ඇය සාක්ෂිකාරියක් බවට පත් වූ නිසා ඇගේ පියා 1960දී ඇයව ගෙදරින් එළවා තිබුණා. ඇය, කඳවුරේ සිටි අයට සඟරා පිටපත් කිරීමේදී වෙහෙසී වැඩ කළ සහෝදරියන් අතර සිටි ජ්වලිත දේවසේවිකාවක්. මගේ දරුවනුත් ඇයට ආදරේ වුණා.
නෙවින්නොමිස්ක්හි අපේ ක්‍රියාකාරකම්වලින් අධිකාරීන් කලබලයට පත් වී, අපට වෙනත් තැනකට යන්න බල කළා. ඉතින් 1975දී මගේ භාර්යාව, මගේ දුවලා සහ මම ජෝජියාවල දකුණු කෝකේසස් ප්‍රදේශයේ පදිංචියට ගියා. ඒ කාලයේදීම, මගේ පුතුන් දෙදෙනා වන ඉවන් හා වලෝඩ්යා, කෂාක්ස්තාන්හි දකුණු සීමාවේ තිබෙන ජාම්බූල්වල පදිංචියට ගියා.
ජෝජියාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් පටන්ගෙන තිබුණේ මේ කාලයේදීයි. අපි කළු මුහුදු තීරයේ වූ ගාග්රා සහ සුඛමිවල හා ඒ අවට අවිධිමත්ව සාක්ෂිදැරුවා; ඊට අවුරුද්දකට පස්සේ, කඳුකරයේ ගඟක සාක්ෂිකරුවන් දහදෙනෙක්ව බව්තීස්ම කළා. වැඩි කල් නොගොස්, ප්‍රදේශය අත්හැර යන්න කියා අධිකාරීන් අපට තරයේ කියා සිටි නිසා අපි නැඟෙනහිර ජෝජියාවල පදිංචියට ගියා. එහිදී අපි බැටළුගුණැති ජනයාව සෙවීමේ අපේ වෑයම් වැඩි කළ අතර, යෙහෝවා අපට ආශීර්වාද කළා.
අපි කුඩා කණ්ඩායම් වශයෙන් එකට රැස් වුණා. අපි ජෝජියානු භාෂාව නොදැන සිටි නිසාත්, සමහර ජෝජියානුවන් රුසියානු භාෂාව කතා නොකළ නිසාත් භාෂාව ප්රශ්නයක්ව තිබුණා. මුලදී, අපි පාඩම් කළේ රුසියානු ජාතිකයන් එක්ක විතරයි. ඒත්, වැඩි කල් යන්න ඉස්සෙල්ලා ජෝජියානු භාෂාවෙන් දේශනා කිරීමේ හා ඉගැන්වීමේ ප්‍රගතියක් ලැබූ අතර, දැන් ජෝජියාවේ රාජ්‍ය ප්‍රකාශකයන් දහස්ගණනක් ඉන්නවා.
කේජීබී පීඩනය යටතේ මගේ ලොක්කා කිව්වා තවදුරටත් මාව ඔහුගේ රටට පිළිගන්න බැහැයි කියලා. ඒ කාලයේදීම මගේ දුව නාඩියා සහ ඇගේ චූටි දුව මෝටර් රථ අනතුරකින් මියගියා. නෙවින්නොමිස්ක්හි සිටි මගේ අම්මා ඊට අවුරුද්දකට කලින්, මගේ තාත්තාව හා මගේ සහෝදරයාව තනි කරමින් මියගොස් තිබුණා. එනිසා අපි නැවතත් එහෙට යන්න තීරණය කළා.
විඳදරාගැනීම සඳහා ආශීර්වාද
නෙවින්නොමිස්ක්හිදී අපි දිගටම රහසිගතව බයිබල් පොත් පත් නිෂ්පාදනය කළා. වතාවක, 1980 ගණන්වල මැදභාගයේදී අධිකාරීන් මට සිතාසි එවූ විට, මම අපේ සඟරා සඟවනවා හීනෙන් දැක්කා කියා මම ඔවුන්ට පැවසුවා. ඔවුන් සිනාසුණා. මම පිටත් වෙන්න හදනකොට, ඔවුන්ගෙන් කෙනෙක් මෙහෙම කිව්වා: “ඔයාට පොත් පත් හංගන විදිහ ගැන ආයෙත් හීන දකින්න අවශ්‍ය වෙන එකක් නැහැ.” ඔහු අවසානයට මෙහෙමත් කිව්වා: “වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔයාගේ පොත් රාක්කයේ පොත් තියෙයි; ඔයාගේ භාර්යාවගේ අත අල්ලගෙන, බයිබලයත් අරං ඔයාට රැස්වීම්වලට යන්න ලැබෙයි.”
මගේ දුව, අනා 1989දී මොළේ ධමනියක ආබාධයක් වූ උපුලුවෙන් මියගිය විට අපි ශෝකයට පත් වුණා. ඇයට එතකොට වයස 38ක් විතරයි. ඒ අවුරුද්දේම, අගෝස්තුවලදී, නෙවින්නොමිස්ක්හි සාක්ෂිකරුවන් කුලියට දුම්රියක් අරගෙන, ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහා පෝලන්තයේ වෝර්සෝවලට ගමන් කළා. සෝවියට් ජනරජයෙන් පැමිණි දහස්ගණන්දෙනා ඇතුළුව 60,366ක් පැමිණ සිටියා. අපි ඇත්තෙන්ම හිතුවේ මේ නම් සිහිනයක් කියලයි! තව අවුරුදු දෙකක්වත් යන්න ඉස්සෙල්ලා, 1991 මාර්තු 27වෙනිදා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයට නීත්‍යනුකූල පිළිගැනීමක් දුන් මොස්කව්හි ඓතිහාසික ලියවිල්ලකට අත්සන් කළ සෝවියට් ජනරජයේ දිගු කලකට සභා වැඩිමහල්ලන්ව සිටි පස්දෙනා අතර සිටීමේ වරප්‍රසාදය මටත් ලැබුණා!
ජීවතුන් අතර සිටින මගේ දරුවන් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරනවා දැකීමෙන් මට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම මට නැවතත් අනා, නාඩියා හා ඇගේ දුව මෙන්ම කෝලයා දකින්න පුළුවන් දෙවිගේ නව ලොව එන තෙක් මම ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඔහුව නැවත නැඟිටෙවූ විට, අපි අවුරුදු ගණනාවකට කලින් එකට හුඟක් ප්‍රීති වුණු ඒ දූපතට ඔහුව ගෙනියනවා කියා වුණු පොරොන්දුව මම ඉෂ්ට කරනවා.
මේ අතරතුරේදී, මේ විශාල රටේ බයිබල් සත්‍යය ශීඝ්‍රයෙන් වැඩිවර්ධනය වෙනවා දැකීම මොනතරම් ප්‍රීතියක්ද! මගේ ජීවිතයේ කළ කී සියල්ල ගැන මම සතුටු වෙන අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට මට ඉඩ දීම ගැන මම යෙහෝවාට ස්තුති කරනවා. ගීතාවලිය 34:8 [NW] සත්‍යතාවක් තිබෙන බව මට ඒත්තුගොස් තිබෙනවා: “යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ සරණ පතන මනුෂ්‍යයා සන්තෝෂවත් වන්නේය.”
[25වන පිටුවේ පින්තූරය]
ටුලූන්හිදී මගේ පවුලේ අය හා එක් වුණ අවුරුද්ද
[26වන පිටුවේ පින්තූර]
ඉහළ: සයිබීරියාවේ ටුලූන්හි අපේ නිවසෙන් පිටතදී මගේ පියා හා මගේ දරුවන්
ඉහළ දකුණේ: මෝටර් රථ අනතුරකින් මියගිය මගේ දුව නාඩියා සහ ඇගේ දියණිය
දකුණේ: 1968දී ගත් පවුලේ පින්තූරයක්