ඔබේ පවුලේ අය සමඟ ඔබ කාලය ගත කරනවාද?
“ජපන් පියවරුන් තම දරුවන් සමඟ සෙල්ලම් නොකර වැඩවලම කාර්යබහුලව සිටියත් ආදරය ලබනවා.” වසර කීපයකට පෙර මෙම සිරස්තලය මයිනිචි ෂිම්බූන් පුවත්පතේ පළ වුණා. රජයෙන් පැවැත්වූ සමීක්ෂණයකට සහභාගි වූ ජපන් දරුවන්ගෙන් සියයට 87.8ක් අනාගතයේදී තම පියවරුන්ව රැකබලා ගැනීමට කැමැත්ත පළ කළා. කෙසේවුවත්, එම පුවත්පතේ ඉංග්‍රීසි පිටපතෙහි එම දේම වෙනස් සිරස්තලයක් යටතේ පළ වුණා. එහි “පියවරුන් හා පුතුන්: නොසලකා හැරීමේ තත්වයක්” යයි කියැවුණා. ජපන් පුවත්පත මෙන් නොව, එම ලිපියෙහි එම සමීක්ෂණයම සම්බන්ධයෙන් වෙනත් අංගයක් ඉස්මතු කොට දැක්වුවා: සෑම වැඩ දවසකම, ජපන් පියවරුන් තම දරුවන් සමඟ ගත කළේ විනාඩි 36ක් පමණයි. සසඳා බලද්දී, බටහිර ජර්මනියේ පියවරුන් සතියේ දිනක තම දරුවන් සමඟ විනාඩි 44ක් ගත කරමින් සිටි අතර, එක්සත් ජනපදයෙහි විනාඩි 56ක් ගත කළා.
තම දරුවන් සමඟ සුළු කාලයක් ගත කරන්නේ පියවරුන් පමණක්ම නොවේ. නිවසෙන් පිට රැකියාවන් කරන මව්වරුන්ගේ සංඛ්‍යාවත් එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන්, පවුල නඩත්තු කිරීමට තනිකඩ මව්වරුන් බොහෝදෙනෙකුට බාහිර රැකියාවල යෙදෙන්න සිදු වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, දෙමාපියන්, එනම් පියවරුන් හා මව්වරුන් යන දෙගොල්ලන්ම තම දරුවන් සමඟ ගත කරන කාලය අඩු වී තිබෙනවා.
අමෙරිකානු නහඹරයන් 12,000කට වැඩිදෙනෙකු සම්බන්ධයෙන් 1997දී කළ අධ්‍යයනයකදී, තම දෙමාපියන් සමඟ කිට්ටු සබඳතාවන් පවත්වන යෞවනයන්, පීඩාකාරි හැඟීම්වලින් වේදනා විඳීමට, සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමට, ප්රචණ්ඩ දේවල නිරත වීමට හෝ මත් වෙන ද්‍රව්‍යයන් ගැනීමට තිබෙන ඉඩ කඩ අඩු බව සොයාගත්තා. එමෙන්ම මෙම පුළුල් අධ්‍යයනයට සම්බන්ධ වූ එක් පර්යේෂකයෙක් මෙසේ පැවසුවා: “ඔබ ළමයි වෙනුවෙන් කාලය ගත කරන්නේ නැත්නම් ඔවුන් හා ඔබ අතර කිට්ටු සම්බන්ධකමේ හැඟීමක් ඇති කරගන්න බැහැ.” ඔබේ දරුවන් සමඟ කාලය ගත කිරීම හා ඔවුන් සමඟ අදහස් හුවමාරු කිරීම වැදගත්.
අදහස් හුවමාරු කිරීමේ පරතරය
නිවසෙන් පිටත ඈත පළාතක නැවතී රැකියාවක් කරන දෙමාපියෙක් සිටින පවුල්වල අදහස් හුවමාරුව බිඳවැටීම විශේෂයෙන්ම පහසු දෙයක්. ඇත්තෙන්ම, අදහස් හුවමාරු කිරීමේ පරතරය නිවසෙන් පිට ජීවත් වන දෙමාපියෙක් සිටින පවුල්වලට පමණක් සීමා වී නැහැ. ඇතැම් දෙමාපියන් නිවසේ ජීවත් වුවත්, තම දරුවන් අවදි වීමට පෙර සේවයට යන අතර නිවසට පැමිණෙන්නේ ඔවුන් නින්දට ගිය පසුවයි. මේ හේතුවෙන් ඇති වන සබඳතාව හීනවීම සඳහා හිලව් කිරීමක් වශයෙන් ඇතැම් දෙමාපියන් සති අන්තවල හා නිවාඩු දිනවල පවුලේ අය සමඟ කාලය ගත කරනවා. ඔවුන් තම දරුවන් සමඟ “ගුණාත්මක” කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් කතා කරනවා.
එහෙත්, ගුණාත්මක කාලයෙන් ප්‍රමාණාත්මක කාලයේ අඩුව පිරෙනවාද? පර්යේෂක ලෝරන්ස් ස්ටයින්බර්ග් මෙසේ පිළිතුරු දෙනවා: “සාමාන්‍යයෙන්, තම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ගත කරන දරුවන්, අඩු කාලයක් ගත කරන දරුවන්ට වඩා දියුණු වෙනවා. එම කාලයේ හිඟය පිරවීම සෑහෙන අපහසු කාර්යයක් බව පෙනෙන්න තිබෙනවා. ගුණාත්මක කාලය යන අදහසට වැඩි ප්‍රසිද්ධියක් දී තිබෙනවා.” බුරුම ජාතික ස්ත්‍රියකට හැඟෙන්නේ හරියටම ඒ ආකාරයටමයි. නියම ජපන් ජාතිකයෙක් වන ඇගේ ස්වාමිපුරුෂයා වැඩ ඇරී නිවසට පැමිණෙන්නේ හැමදාම පාන්දර එකට හෝ දෙකටයි. ඔහු සති අන්තවල තම පවුලේ අය සමඟ කාලය ගත කළත්, ඇගේ භාර්යාව මෙසේ පවසනවා: “සෙනසුරාදා හා ඉරිදා දිනවල නිවසේ සිටීමෙන්, සතියේ ඉතිරි දිනවල පවුලේ අය සමඟ සිටීමට නොහැකි වීමේ පරතරය වසා දමන්න බැහැ. . . . සතියේ දිනවලදී එක ආහාර වේලක්වත් නොගෙන, සතියට ගන්න තිබෙන හැම ආහාර වේලක්ම සෙනසුරාදාවල හා ඉරිදාවල ගන්න ඔබට පුළුවන්ද?”
නොමද උත්සාහයක් අවශ්‍යයි
පවුල තුළ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීම ගැන කීම පහසුයි, නමුත් කිරීම අමාරුයි. රැකියාවක් කර පවුල නඩත්තු කිරීමට තිබෙන අවශ්‍යතාව නිසා පියෙකුට හෝ රැකියාවේ නියුතු මවකට තම පවුල සමඟ කාලය ගත කිරීම පහසු නැහැ. යම් යම් තත්වයන් නිසා නිවසෙන් පිට වී සිටීමට සිදු වන බොහෝදෙනා දූරකථන ඇමතුම් දීමෙන් හෝ ලිපි ලිවීමෙන් නිතිපතා අදහස් හුවමාරු කරනවා. නමුත් නිවසේ එකට සිටියත් නැතත්, අවධානයෙන් යුතු වෑයම පවුලේ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීම සඳහා අවශ්‍යයි.
තම පවුලේ අය සමඟ අදහස් හුවමාරු නොකරන දෙමාපියන්ට තම නොසැලකිලිමත්භාවය වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. තම පවුලේ අය එක්ක ආහාරවත් ගන්න වෙලාවක් ගත නොකර, සුළු කාලයක් පමණක් ගත කළ පියෙකුට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වුණා. ඔහුගේ පුතා ප්‍රචණ්ඩකාරි වූ අතර, ඔහුගේ දියණිය සාප්පු සොරකමේ යෙදෙමින් සිටියදී අසු වුණා. ඉරිදා උදෑසනක පියා ගොල්ෆ් පිටියට යෑමට සූදානම් වෙමින් සිටියදී, පුතා කේන්තියෙන් මෙසේ ප්‍රතික්‍රියා කළා: “මේ ගෙදර එකම දෙමව්පියා අම්මා විතරද” කියා කෑගැසුවා. “පවුලේ හැම දෙයක්ම තීරණය කරන්නේ අම්මා. තාත්තා කවදාවත් . . . ” කියා පිරිමි ළමයා ශෝකයෙන් පැවසුවා.
එම වචන පියාට කල්පනා කරන්න සැලැස්සුවා. අන්තිමේදී, මුල පිරීමක් වශයෙන්, පවුලේ අය සමඟ උදේ ආහාරය ගත යුතුයි කියා ඔහු තීරණය කළා. මුලදී, ඔහුයි, ඔහුගේ භාර්යාවයි පමණයි එසේ ආහාර ගත්තේ. ක්‍රමක්‍රමයෙන්, දරුවන් එයට හවුල් වූ අතර, උදේ කෑම ගන්නා මේසය අදහස් හුවමාරුවේ තෝතැන්නක් බවට පත් වුණා. මෙය පවුලේ රාත්‍රි ආහාර වේල් එකට ගැනීමට මඟ පෑදුවා. මෙලෙස, මේ තැනැත්තා තම පවුලේ අයව සම්පූර්ණ බිඳවැටීමකින් වළක්වාගැනීමට වෑයම් කරමින් සිටියා.
දේවවචනයෙන් උපකාරය
තම දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීමට කාලය ගන්න කියා බයිබලය දෙමාපියන්ට දිරිගන්වනවා. ප්‍රොපේත මෝසෙස්ගේ මාර්ගයෙන්, ඉශ්රායෙල්වරුන්ට මෙසේ උපදෙස් දී තිබුණා: ‘එම්බා, ඉශ්රායෙල්, අසන්න. අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය. නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. මා විසින් අද නුඹට අණ කරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මඟ යන කලද නුඹ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.’ (ද්විතීය කථාව 6:4-7) දරුවන්ගේ මනස්වල හා හෘදවල දේවවචනය පැලපදියම් කිරීමට නම් දෙමාපියන් වන අප අපේ පවුලේ අය සමඟ කාලය ගත කිරීමට මුලපිරිය යුතුයි.
උනන්දුවට කරුණක් නම්, අමෙරිකානු තරුණයන් 12,000කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කලින් සඳහන් කළ 1997 සමීක්ෂණයේදී, “තමන්ට ආගමක් ඇතැයි පැවසූ ජනතාවගෙන් 88%ක්, . . . ආගම සහ යාච්ඤාව වැදගත් සේ තැකුවේ ඉන් තමන්ට ආරක්ෂාවක් ලැබෙන බව හැඟුණු නිසයි” කියා හෙළි කළා. නිවසේදී සුදුසු ආගමික උපදෙස් දීමෙන් යෞවනයන්ව ඇබ්බැහි කරවන මත් වන දේවලින්, චිත්තවේගීය පීඩාවලින්, සියදිවි හානි කරගැනීමෙන්, ප්‍රචණ්ඩත්වයෙන් යනාදි දේවලින් ආරක්ෂා වන බව සැබෑ ක්‍රිස්තියානීන්ට වැටහෙනවා.
තම පවුලේ අය සඳහා කාලය වෙන් කිරීම අසීරුබවක් ඇතැම් දෙමාපියන්ට හැඟෙනවා. තම දරුවන් සමඟ සතුටෙන් කාලය ගත කරන නමුත් බාහිර රැකියාවක නිරත වීමට සිදු වන තනිකඩ මව්වරුන් සම්බන්ධයෙන්ද විශේෂයෙන්ම මෙය සැබෑවක්. තම පවුල සමඟ සිටීම සඳහා ඔවුන්ට අගනා කාලයක් අමාරුවෙන් හෝ ලබාගත හැකි වන්නේ කෙසේද? “ප්‍රායෝගික ප්‍රඥාව හා සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” කියා බයිබලය උදක්ම ඉල්ලා සිටියි. (හිතෝපදේශ 3:21, NW) පවුල වෙනුවෙන් කාලය සොයාගැනීම සඳහා දෙමාපියන්ට “සිතීමේ හැකියාව” යොදාගත හැකියි. කෙසේද?
ඔබ දවස පුරා වැඩ කළ පසු වෙහෙසට පත් වන රැකියාවේ නියුතු මවක් නම්, ආහාර වේලක් සූදානම් කිරීම සඳහා ඔබත් සමඟ ඔබේ දරුවන්ට හවුල් වන්න කියා නොකියන්නේ මන්ද? එකට ගත කරන එවැනි කාලයන් එකිනෙකාට තව තවත් කිට්ටු වීමට අවස්ථාවක් සපයයි. මුලදී, ඔබේ දරුවන්ව ඇතුළත් කරගැනීමේදී වැඩි පුර කාලයක් ගත විය හැකියි. ඒත්, වැඩි කල් නොගොස්, එය ප්‍රීතිදායක මෙන්ම කාලය පවා ඉතිරි කරවන්නක් බව ඔබ සොයාගනීවි.
ඔබ සති අන්තයේ ගොඩක් දේවල් කිරීමට සැලසුම් කර සිටින පියෙක් විය හැකියි. මෙම වැඩවලින් සමහරකට ඔබේ දරුවන්වත් හවුල් කර නොගන්නේ මන්ද? එකට වැඩ කරන විට ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඔබට හැකි වන අතර ඒ අතරතුරේදීම වටිනා පුහුණුවක්ද දීමට හැකියි. ඔබේ දරුවන් තුළ දේවවචනය පැලපදියම් කිරීමට දෙන බයිබල් උපදෙස, ‘ඔබ ගෙයි හිඳින කලද මඟ යන කලද,’ එනම්, ඇත්තෙන්ම, සෑම අවස්ථාවකදීම ඒවා ගැන කතා කරන්න කියා ඔබට දිරිගන්වනවා. ඔබ එකට වැඩ කරන විට ඔබේ දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීම “ප්‍රායෝගික ප්‍රඥාව” විදහාපෑමක් වෙනවා.
ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කිරීම දිගුකාලීන විපාකයන් ගෙන දෙයි. “දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ” කියා බයිබල් හිතෝපදේශයක් පවසනවා. (හිතෝපදේශ 13:10) ඔබේ පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමට කාලය ගැනීමෙන්, එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටලුවලදී ඔවුන්ට ඥානවන්ත මඟ පෙන්වීමක් දීමට ඔබ හොඳ තත්වයක සිටිනු ඇත. දැන් දෙනු ලබන එවැනි මඟ පෙන්වීමකට අනාගතයේදී බොහෝ කාලයක් ඉතිරි කරගැනීමට හා හෘද වේදනාව වළක්වාගැනීමට හැකියි. එපමණක් නොව, ඔබේ සන්තෝෂයට හා ඔවුන්ගේ සන්තෝෂයට එය දායක විය හැකියි. එවැනි මඟ පෙන්වීමක් දීම සඳහා, ඔබ දේවවචනය වන බයිබලය තුළ ඇති ප්‍රඥාව නමැති ජලාශයෙන් ප්‍රඥාවේ දිය ඇදගත යුතුයි. ඔබේ දරුවන්ට ඉගැන්වීමටත්, ඔබේ පවුලේ අයට පියවර තබන්න මඟ පෙන්වීමටත් එය යොදාගන්න.—ගීතාවලිය 119:105.
[4වන පිටුවේ පින්තූරය]
තම දෙමාපියන් සමඟ කිට්ටු සබඳතා ඇති යෞවනයන් චිත්තවේගීය පීඩා විඳීමට ඇති ඉඩ කඩ අඩුයි
[5වන පිටුවේ පින්තූරය]
හොඳ අදහස් හුවමාරුව පවුල් ජීවිතය තුළ බහුල ආත්මික විපාක ලබා දෙයි
[6වන පිටුවේ පින්තූරය]
ඔබ ඔබේ දරුවා සමඟ වැඩ කරන විට අදහස් හුවමාරු කිරීමට හා අගනා පුහුණුවක් දීමට ඔබට හැකියි