පාවුල්ගේ හවුල් සේවකයන් ඔවුන් කවුරුන් වූවාද?
බයිබලයේ ක්‍රියා පොතේ හා පාවුල්ගේ ලිපිවල පුද්ගලයන් සියදෙනෙකුව පමණ සඳහන් කර තිබෙනවා; ඔවුන්, “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව” සිටි පාවුල් සමඟ පෞද්ගලිකව ඇසුරු කළ පළමු-සියවසේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්. (රෝම 11:13) ඔවුන්ගෙන් හුඟදෙනෙක් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු තිබෙනවා. ඔබ අපොල්ලොස්, බාර්ණබස් හා සීලස්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හොඳින් දැන සිටිනවා විය හැකියි. අනික් අතට, අර්කිපස්, ක්ලෞදියා, දමරිස්, පර්සිස්, පුදෙන්ස්, ලීනස් සහ සෝපතර් ගැන වැඩි යමක් පවසන්න ඔබට සමහරවිට නොහැකි විය හැකියි.
විවිධ කාලපරිච්ඡේදවලදී හා වෙනස් වන තත්වයන් යටතේදී බොහෝ පුද්ගලයන් පාවුල්ගේ දේවසේවයට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාශීලී වැඩ කොටසක් ඉටු කළා. අරිස්තාර්කස්, තිමෝති හා ලූක් වැනි ඇතැම් අය ප්‍රේරිත පාවුල් ළඟ බොහෝ වසර ගණනක් සේවය කළා. ඔහු සිරගෙයි සිටිද්දී හෝ ඔහු සංචාරය කරද්දී සංචාරක මිත්‍රයන් වශයෙන් හෝ සත්කාර කරන්නන් හා කරන්නියන් වශයෙන් සමහරු ඔහු සමඟ සිටියා. කනගාටුවට කරුණක් නම්, අලෙක්ෂන්දර්, දේමස්, හර්මොගෙනිස්, පිගෙලස් වැනි අනික් අය ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ අඛණ්ඩව නොසිටීමයි.
අසින්ක්‍රිතස්, ජූලියා, පිලොලොගස්, හෙර්මස් වැනි පාවුල්ගේ වෙනත් මිත්‍රයන් ටිකදෙනෙක් ගැන සලකා බලන විට, ඔවුන්ගේ නම් දන්නවාට අමතරව වැඩි යමක් අපි ඔවුන් ගැන දන්නේ නැති තරම්. නේරියස්ගේ සහෝදරිය හෝ රූපස්ගේ මව හෝ ක්ලොයිගේ පවුලේ අය ගැන සලකා බලන කල, අපි ඒ තරම්වත් දන්නේ නැහැ. (රෝම 16:13-15; 1 කොරින්ති 1:11) කෙසේනමුත්, මෙවැනි සියගණන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපි දන්න තොරතුරු ටික පරීක්ෂා කර බැලීමෙන් ප්‍රේරිත පාවුල් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් අපට යම් අවබෝධයක් ලැබෙනවා. ඇදහිලිවන්ත සෙසු සාමාජිකයන් විශාල පිරිසක් මැද සිටීමේ හා ඔවුන් සමඟ කිට්ටුවෙන් වැඩ කිරීමේ ප්‍රයෝජන ගැනත් එය අපට යමක් උගන්වනවා.
සංචාරක මිත්‍රයන්, සත්කාර කරන්නන් හා කරන්නියන්
ප්‍රේරිත පාවුල්ගේ දේවසේවයට, සෑහෙන දුරක් සංචාරය කිරීම ඇතුළත්ව තිබුණා. ක්‍රියා පොතේ පමණක් වාර්තා කර ඇති අන්දමට, ඔහු ගොඩබිමෙන් හා මුහුදෙන් ගමන් කළ දුර ප්‍රමාණය කිලෝමීටර් 16,000කට කිට්ටු වූ බවට එක් ලේඛකයෙක් ගණන් බලා තිබෙනවා. ඒ කාලයේ සංචාරය කිරීම අධික වෙහෙසකර දෙයක් පමණක් නොව නමුත් අනතුරුදායක දෙයක්ද වුණා. ඔහු මුහුණ දුන් විවිධ උපද්‍රවවලට නැව් බිඳී යෑම්, ගංගා උපද්‍රව, සොර උපද්‍රව, වනයේ උපද්‍රව හා මුහුදේ උපද්‍රව ඇතුළත් වුණා. (2 කොරින්ති 11:25, 26) යෝග්‍ය ලෙස, පාවුල් එක තැනකින් තවත් තැනකට තනිවම ගමන් කළේ කලාතුරකින්.
පාවුල් සමඟ ගිය අය දේවසේවයේදී ඔහුට මිත්‍රත්වයේ, දිරිගැන්වීමේ හා ප්‍රායෝගික උපකාරයේ උල්පතක් වුණා. යම් අවස්ථාවලදී, පාවුල් ඔවුන්ව යම් යම් ස්ථානවල නවත්වා ගියේ, අලුත් ඇදහිලිවන්තයන්ගේ ආත්මික අවශ්‍යතාවන් සඳහා සැලකිල්ලක් දැක්වීමට ඔවුන්ට හැකි වන පිණිසයි. (ක්‍රියා 17:14; තීතස් 1:5) නමුත් ආරක්ෂාව සඳහා මෙන්ම සංචාරයේ උපද්‍රව සම්බන්ධයෙන් කටයුතු කිරීමට උපකාරයක් වශයෙන් මිත්‍රයන් ළඟ සිටීම අත්‍යවශ්‍ය වුණා විය හැකියි. එබැවින් පාවුල්ගේ සංචාරක මිත්‍රයන් අතර සිටි බවට අප දන්නා සෝපතර්, සෙකුන්දස්, ගායස් සහ ත්රොපීමස් වැනි පුද්ගලයන් ඔහුගේ දේවසේවයේ සාර්ථකත්වය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළා විය හැකියි.—ක්‍රියා 20:4.
සත්කාර කරන්නන් හා කරන්නියන් සැපයූ උපකාරයද ඒ හා සමානව අගය කළ යුතු වුණා. දේශනා වැඩය කිරීමට හෝ එක රැයක් පමණක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් නගරයකට පැමිණි විට පාවුල් මුලින්ම කළේ නැවතීමට තැනක් සෙවීමයි. පාවුල් වගේ පුළුල් සංචාරයක යෙදුණු ඕනෑම කෙනෙකුට විවිධ ඇඳන් ගණනකම නිදාගන්න සිදු වන්න ඇති. ඔහුට හැමවිටම තානායමක ඉන්න හැකියාව තිබුණා; නමුත්, ඉතිහාසඥයන් මේවා විස්තර කර තිබෙන්නේ “අනතුරුදායක හා අප්‍රසන්න ස්ථාන” හැටියට බැවින්, හැකි අවස්ථාවලදී පාවුල් සමහරවිට නවතින්න ඇත්තේ සෙසු ඇදහිලිවන්තයන් සමඟයි.
පාවුල්ගේ සත්කාර කරන්නන් හා කරන්නියන්ගෙන් සමහරෙකුගේ නම් අපි දන්නවා—අකිලා හා ප්‍රිස්කා, ගායස්, පිලිප්, පිලෙමොන්, මිනාසොන්, යාසොන්, ලිදියා. (ක්‍රියා 16:14, 15; 17:7; 18:2, 3; 21:8, 16; රෝම 16:23; පිලෙමොන් 1, 22) පිලිප්පියේ, තෙසලෝනිකයේ හා කොරින්තියේ එවැනි පහසුකම් ලැබීම හේතුවෙන් පාවුල්ට එක ස්ථානයක සිට ඔහුගේ මිෂනාරි ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට හැකි වුණා. කොරින්තියේදී, ප්‍රේරිතවරයාට තම දේශනා සේවය කරගෙන යෑමට හැකිවීම සඳහා තීතස් යුස්තස්ද ඔහුගේ නිවස විවෘත කළා.—ක්‍රියා 18:7.
මිතුරන් රැසක්
අපේක්ෂා කළ හැකි පරිදි, පාවුල්ට ඔහුගේ ආශ්‍රිතයන්ව විවිධ තත්වයන් යටතේ මුණගැසුණු බැවින් ඔවුන්ව විවිධ ක්‍රමවලින් මතක තබාගත හැකි වුණා. උදාහරණයක් වශයෙන්, තෘපේනා, තෘපෝසා, පර්සිස්, පේබී හා මරියා යන සියලුදෙනාම සෙසු ඇදහිලිවන්ත ස්ත්‍රීන් වූ අතර ඔවුන් වෙහෙස මහන්සි වී කළ වැඩවලට ඔවුන්ට ප්‍රශංසාව ලැබුණා. (රෝම 16:1, 2, 6, 12) ක්රිස්පස්ව, ගායස්ව හා ස්තේපනස්ගේ ගෙයි වැසියන්ව පාවුල් බව්තීස්ම කළා. අතීනසයේදී ඔහුගෙන් දියොනිසියස් හා දමරිස් සත්‍යයේ පණිවිඩය පිළිගත්තා. (ක්‍රියා 17:34; 1 කොරින්ති 1:14-16) “ප්‍රේරිතයන් අතරෙහි ප්රසිද්ධවූ” අන්ද්රෝනිකස් හා යූනියස් පාවුල්ට බොහෝ කලකට පෙර ඇදහිලිවන්තයන් වී සිටි අතර, ඔහුගේ “හවුල් හිරකාරයන්” වශයෙන් ඔවුන්ව හැඳින්නුවා. සමහරවිට යම් අවස්ථාවලදී ඔවුන් ඔහු සමඟ සිරභාරයේ සිටින්න ඇති. හෙරෝදියෝන්, යාසෝන්, ලූකියස් හා සෝසිපාතර් මෙන් මේ දෙදෙනා සම්බන්ධයෙන් පාවුල් කතා කරද්දී ඔවුන්ව හැඳින්වූයෙත් තම “නෑයන්” හැටියටයි. (රෝම 16:7, 11, 21) මෙහි සඳහන් ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ “සෙසු වැසියෙක්” යන්න විය හැකි වුවත්, එහි මූලික අර්ථය “එම පරම්පරාවේම ලේ නෑයන්” යන්නයි.
පාවුල්ගේ මිත්‍රයන්ගෙන් බොහෝදෙනෙක් සංචාරය කළේ ශුභාරංචියේ යහපත උදෙසායි. අපට වඩාත් හොඳින් විස්තර කර ඇති ඔහුගේ මිත්‍රයන්ට අමතරව, තම සභාවල ආත්මික තත්වය ගැන පාවුල් සමඟ සාකච්ඡා කිරීමට කොරින්තියේ සිට එපීසයට ගමන් කළ ආකායිකස්, පොර්තුනාතුස් හා ස්තේපනස් වැනි අයත් සිටිනවා. ක්‍රීත් දූපතේ සේවය කරමින් සිටි තීතස්ව මුණගැසීම සඳහා ගමන් කිරීමට අර්තිමස් හා තුඛීකස් සූදානම්ව සිටි අතර, සේනස්, අපොල්ලොස් සමඟ ගමනක් ඇරඹීමට නියමිතව තිබුණා.—1 කොරින්ති 16:17; තීතස් 3:12, 13.
පාවුල්, යම් කෙටි මෙන්ම සිත්ගන්නා විස්තරයක් දෙන අයත් ඉන්නවා. උදාහරණයක් වශයෙන්, එපීනතස් “ආසියාවේ ප්‍රථම ඵලවූ [ඵලයක් වූ, NW]” බවටත්, එරස්තස් “නුවර භාණ්ඩාගාරික” හැටියට කොරින්තියේ සිටි බවටත්, ලූක් වෛද්‍යවරයෙකු බවටත්, ලිදියා රත්නිල් පිළි විකුණන්නියක් බවටත්, පාවුල් රෝමවරුන්ට ලියූ ලිපිය ලිවීමට යොදාගත්තේ තර්තියස්ව බවටත් අපට තොරතුරු සපයා තිබෙනවා. (රෝම 16:5, 22, 23; ක්‍රියා 16:14; කොලොස්සි 4:14) එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩි යමක් දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට, මේ තොරතුරු ස්වල්පය කෙටි වුණත් සිත්ඇදගන්නාසුලුයි.
පාවුල්ගේ වෙනත් මිත්‍රයන් පෞද්ගලික පණිවිඩ ලැබූ අතර ඒවා දැන් බයිබලයෙහි වාර්තා වී තිබෙනවා. උදාහරණයක් වශයෙන්, කොලොස්සිවරුන්ට පාවුල් ලියූ ලිපියේ ඔහු අර්කිපස්ට මෙසේ අවවාද කළා: “[ස්වාමීන්] තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්න.” (කොලොස්සි 4:17) එවෝදියා හා සින්තිකීට පැහැදිලිවම විසඳාගැනීමට යම් පෞද්ගලික ගැටලුවක් තිබුණා. මෙබැවින්, පාවුල් පිලිප්පියෙහි නමින් සඳහන් නොකළ “හවුල් වැඩකරන්නෙක්” මාර්ගයෙන් ‘ස්වාමීන් තුළ එක්සිත්’ වෙන්න කියා ඔවුන්ට අවවාද කළා. (පිලිප්පි 4:2, 3) නිසැකවම, මෙය අප සියලුදෙනාටම හොඳ අවවාදයක්.
සිරගතව සිටිද්දී පක්ෂපාත සහයෝගය
පාවුල් කීප වතාවක්ම හිරේ සිටියා. (2 කොරින්ති 11:23) ඒ අවස්ථාවලදී, එම ප්‍රදේශවල ක්‍රිස්තියානීන් සිටියා නම් ඔවුන්, ඔහු අත් විඳි දේ වඩාත් හොඳින් දරාගන්න උපකාර කිරීමට ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරන්න ප්රයත්නයක් දරන්න ඇති. පාවුල් මුලින්ම රෝමයේ සිරගත වී සිටි අවස්ථාවේදී, දෑවුරුද්දකටම ඔහු විසින් කුලියට ගත් නිවසක වාසය කිරීමටත්, ඔහුව බැහැදැකීමට පැමිණි මිත්රයන්ව පිළිගැනීමටත් අවසර ලැබී තිබුණා. (ක්‍රියා 28:30) ඒ කාලපරිච්ඡේදය තුළදී, ඔහු එපීස, පිලිප්පි හා කොලොස්සි සභාවලට මෙන්ම පිලෙමොන්ටද ලිපි ලිව්වා. පාවුල් හිරභාරයේ සිටියදී ඔහුට කිට්ටුවෙන් සිටි අය ගැන මේ ලිපි මගින් අපිට වැඩි යමක් පවසනවා.
උදාහරණයක් වශයෙන්, පිලෙමොන් වෙතින් පලා යමින් සිටි වහලෙක් වූ ඔනේසිමස්ට පාවුල්ව රෝමයේදී මුණගැසුණා; එමෙන්ම ඔනේසිමස් යළි තම ස්වාමියා මුණගැසීමට යන ගමනේදී ඔහු සමඟ යෑමට සිටි තුඛීකස්ටද එහිදී පාවුල්ව මුණගැසුණා. (කොලොස්සි 4:7-9) එහි එපප්රොදිතස්ද සිටියා; තම සභාවෙන් ත්‍යාගයක් රැගෙන ඔහු පිලිප්පියේ සිට පැමිණි අතර එහිදී අසනීප වුණා. (පිලිප්පි 2:25; 4:18) රෝමයේ පාවුල් සමඟ කිට්ටුවෙන් වැඩ කළ අය අතර අරිස්තාර්කස්, මාර්ක් හා යුස්තස් නම් ලත් යේසුස් සිටියා; ඔවුන් ගැන පාවුල් මෙසේ පැවසුවා: “මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු [දෙවිගේ] රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති.” (කොලොස්සි 4:10, 11) මේ ඇදහිලිවන්තයන් සියලුදෙනා අතර වඩාත් හොඳින් දන්නා තිමෝති හා ලූක් මෙන්ම පසු කලෙක ලෝකයට ප්‍රේම වී පාවුල්ව අත්හැරිය දේමස්ද සිටියා.—කොලොස්සි 1:1; 4:14; 2 තිමෝති 4:10; පිලෙමොන් 24.
පෙනෙන විදිහට, මොවුන්ගෙන් එක්කෙනෙක්වත් රෝම වැසියන් නොවුණත්, ඔවුන් එහි පාවුල් සමඟ සිටියා. සමහරවිට ඔහු සිරගතව සිටියදී ඔහුට උපකාර කිරීමට ඔවුන්ගෙන් සමහරෙකු විශේෂයෙන්ම එහි ගියා විය හැකියි. සමහරු ඔහු වෙනුවෙන් පණිවිඩ ගෙන ගිය අතර, වෙනත් අයව දුරබැහැර දූත මෙහෙයන් සඳහා පිටත් කර යැවූ බවටත්, තවත් අය ලවා පාවුල් ලිපි ලියූ බවටත් සැකයක් නැහැ. පාවුල් කෙරෙහි මෙන්ම දේවසේවය සඳහා මේ සියලුදෙනාටම තිබුණු අධික ඇල්ම හා පක්ෂපාතකම සම්බන්ධයෙන් මොනතරම් කදිම සාක්ෂියක්ද!
පාවුල්ගේ සමහර ලිපිවල අවසානයෙන් අපිට ඒත්තු යන කාරණයක් නම්, අපි නම්වලින් දන්න කීපදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වූ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ඇසුර ඔහු භුක්ති වින්ද බවයි. විවිධ අවස්ථාවලදී, ඔහු මෙසේ ලිව්වා: “සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාරකරති” සහ “මා සමග සිටින සියල්ලෝම නුඹට ආචාරකරති.”—2 කොරින්ති 13:13; තීතස් 3:15; පිලිප්පි 4:22.
පාවුල් රෝමයේ දෙවන වරට දරුණු සිරගත වීමකට මුහුණ දී සිටි අවස්ථාවේ, ප්‍රාණ පරිත්‍යාගයක් කිරීමට ආසන්නව තිබියදී තම හවුල් සේවකයන්ව ඔහුගේ මනසේ බෙහෙවින් රැඳී තිබුණා. ඔහු ඒ වන විටත් අඩුම තරමින් ඔවුන්ගෙන් කීපදෙනෙකුගේවත් ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ හා සංවිධානය කිරීමේ ක්‍රියාශීලීව සිටියා. තීතස්ව හා තුඛීකස්ව දූත මෙහෙයන් සඳහා යවා තිබුණා; ක්‍රෙස්කෙන්ස් ගලාතියට ගොස් සිටි අතර, එරස්තස් කොරින්තියේ නැවතුණා; ත්රොපීමස් ලෙඩ වූ නිසා මිලේතසෙහි නැවතුණා; නමුත් මාර්ක් හා තිමෝති ඔහු වෙත පැමිණීමට තිබුණා. එහෙත්, ලූක් පාවුල් ළඟ සිටි අතර, ප්‍රේරිතයා ඔහුගේ දෙවන ලිපිය තිමෝතිට ලියද්දී, යුබුලස්, පුදෙන්ස්, ලීනස් හා ක්ලෞදියා ඇතුළු වෙනත් ඇදහිලිවන්තයන් කීපදෙනෙක් තමන්ගේ සුබපැතුම් යැවීමට ඔහු ළඟ සිටියා. නිසැකවම ඔවුන් පාවුල්ට උපකාර කිරීමට හැකි සියල්ල කරමින් සිටියා. ඒත් එක්කම, පාවුල්ම ප්‍රිස්කා හා අකිලාට මෙන්ම ඔනේසිපොරස්ගේ ගෙයි වැසියන්ට සුබපැතුම් යැව්වා. කෙසේවුවත්, කනගාටුවට කරුණක් නම් කරදරකාරි ඒ කාලයේදී දේමස් ඔහුව අත්හැරිය අතර අලෙක්ෂන්දර් ඔහුට බොහෝ නපුරුකම් කළා.—2 තිමෝති 4:9-21.
‘අපි දෙවිගේ හවුල් වැඩකරන්නෝ’
පාවුල් ඔහුගේ දේශනා ක්‍රියාකාරකමේදී තනිවම සිටියේ කලාතුරකින්. “ආශ්‍රිතයන් විශාල සංඛ්‍යාවක් සිටින මිෂනාරිවරයෙක්ගේ පින්තූරයයි මැවෙන්නේ. ඇත්තෙන්ම, මිත්‍රයන් නැතුව පාවුල්ව දකින්න ලැබුණේ කලාතුරකින්” කියා ඊ. අර්ල් එලිස් නම් ටීකාකරුවෙක් පවසයි. දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ, බොහෝදෙනෙකු පුහුණු කිරීමටත්, බලපෑමෙන් යුතු මිෂනාරි ගමන් සංවිධානය කිරීමටත් පාවුල්ට හැකි වුණා. කිට්ටු මිතුරන්, තාවකාලික සහකරුවන්, ස්ථිර විශ්වාසයකින් කටයුතු කරන පුද්ගලයන් හා යටහත් පහත් සේවකයන් ගණනාවක් මැදයි ඔහු සිටියේ. එහෙත්, මොවුන් නිකම් හවුල් වැඩකරුවන් පමණක් වුණේ නැහැ. ඔවුන් පාවුල් සමඟ කොපමණ කාලයක් වැඩ කළත්, ආශ්‍රය කළත්, ඔවුන් අතර තිබූ ක්‍රිස්තියානි ප්‍රේමයේ හා පෞද්ගලික මිත්‍රත්වයේ බැඳීම ඉතා පැහැදිලියි.
ප්‍රේරිත පාවුල්ව “මිත්‍රත්වය ඇති කිරීමෙහි අතිදක්ෂයෙක්” ලෙස හඳුන්වා තිබුණා. අන්‍යජාතීන් වෙත ශුභාරංචිය ගෙන යෑමට ඔහු විශාල වැඩ කොටසක් කළ නමුත් ඔහු එය තනිවම කිරීමට උත්සාහ කළේ නැහැ. ඔහු සහයෝගීව, සංවිධානය වූ ක්‍රිස්තියානි සභාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත්තා. අත් කරගත් ප්‍රතිඵල සඳහා පාවුල් තමන්ටම කොහෙත්ම ප්‍රශංසාවක් ලබාගත්තේ නැති නමුත් ඔහු දාසයෙක් බවත්, වර්ධනය දීමට මුල් වන තැනැත්තා වශයෙන් දෙවිට සියලු ගෞරවය යා යුතු බවත් ඔහු යටහත් පහත්ව පිළිගත්තා.—1 කොරින්ති 3:5-7; 9:16; පිලිප්පි 1:1.
පාවුල්ගේ කාලය අපගේ කාලයට වඩා වෙනස් එකක් වූ නමුත්, අදදින ක්‍රිස්තියානි සභාවේ කිසි කෙනෙක් තමාට ස්වාධීනව සිටිය හැකියි කියා හෝ සිටීමට අවශ්‍යයි කියා හෝ නොසිතිය යුතුයි. ඒ වෙනුවට, දෙවිගේ සංවිධානය සමඟ, අපේ ප්‍රාදේශීය සභාව සමඟ හා අපේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ අපි හැමවිටම වැඩ කළ යුතුයි. යහපත් කාලවලදී මෙන්ම කරදරකාරි කාලවලදීද අපට ඔවුන්ගේ උපකාරය, සහයෝගය හා සැනසීම අවශ්‍යයි. ‘ලෝකයෙහි සිටින මුළු සහෝදර සමාගමේම’ කොටසක් වීමේ අගනා වරප්‍රසාදය අපට තිබෙනවා. (1 පේතෘස් 5:9) අප ඔවුන් සියලුදෙනා සමඟ උරෙන් උර ගැටී ඇදහිලිවන්තව, ප්‍රේමනීයව මෙන්ම සහයෝගයෙන් වැඩ කරනවා නම්, ‘අපි දෙවිගේ හවුල් වැඩකරන්නෝ’ කියා අපටත් පැවසිය හැකියි.—1 කොරින්ති 3:9.
[31වන පිටුවේ පින්තූර]
අපොල්ලොස්
අරිස්තාර්කස්
බාර්ණබස්
ලිදියා
ඔනේසිපොරස්
තර්තියස්
තුඛීකස්