දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් උගන්වන්නේ කුමක්ද?
“ප්‍රිය දරුවන් මෙන් දෙවිව අනුකරණය කරන්නන් වන්න. . . . ඔබත් ප්‍රේමයෙන් ගමන් කරමින් සිටින්න.”—එපීස 5:1, 2, NW.
1. යෙහෝවා මුල් මනුෂ්‍ය යුවළට සැපයුවේ කුමනාකාර මඟ පෙන්වීම්ද?
පවුල් විධිවිධානයේ මූලාරම්භකයා යෙහෝවාය. ප්‍රථම පවුල පිහිටුවා මුල්ම මිනිස් යුවළට දරුවන් බිහි කිරීමේ හැකියාව දුන්නේ ඔහුයි. එමනිසා, සෑම පවුලක්ම ඔහුට ණයගැතියි. (එපීස 3:14, 15, NW) දෙවි ආදම් සහ ඒවට ඔවුන්ගේ වගකීම් සම්බන්ධයෙන් මූලික උපදෙස් දුන් අතර, ඒවා ඉටු කිරීමට තම සහජ හැකියාවන් යොදාගැනීමට ඕනෑ තරම් ඉඩ කඩ ලබා දුන්නා. (උත්පත්ති 1:28-30; 2:6, 15-22) ආදම් සහ ඒව පව් කළායින් පසු, පවුල්වලට මුහුණ දෙන්න සිදු වුණ තත්වයන් සංකීර්ණත්වයෙන් වැඩි වුණා. කෙසේවෙතත්, එවැනි තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කරන්න තම සේවකයන්ට ඉවහල් වන මඟ පෙන්වීම් යෙහෝවා ප්‍රේමනීයව සැපයුවා.
2. (අ) ලිඛිත උපදෙස්වලට රුකුලක් වශයෙන් යෙහෝවා වාචික උපදෙස් සපයා ඇත්තේ කුමන මාධ්යයන්වලින්ද? (ආ) දෙමාපියන් තමන්ගෙන් ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නයද?
2 යෙහෝවා අපේ ශ්‍රේෂ්ඨ උපදේශකයාය. එබැවින් ඔහු දෙන උපකාරය අප කළ යුතු සහ නොකළ යුතු දේ අඩංගු ලිඛිත මඟ පෙන්වීම්වලට පමණක් කොහෙත්ම සීමා වී නැහැ. පුරාණ කාලවල ලිඛිත උපදෙස්වලට අමතරව, පූජකයන්, අනාගතවක්තෲන් සහ ගෘහ මූලිකයන් මාර්ගයෙන් වාචික උපදෙස් සැපයීමට ඔහු වගබලා ගත්තා. අදදින අපේ කාලයේ එවැනි වාචික ඉගැන්වීම් සැපයීමට දෙවි යොදාගන්නේ කාවද? ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව සහ දෙමාපියන්වයි. ඔබ දෙමාපියෙකු නම්, යෙහෝවාගේ මාර්ගයන් සම්බන්ධයෙන් ඔබේ පවුල දැනුවත් කිරීමට ඔබ ඔබේ කොටස ඉටු කරමින් සිටිනවාද?—හිතෝපදේශ 6:20-22, 24.
3. බලපෑමෙන් යුක්තව ඉගැන්වීම ගත් කල, ගෘහ මූලිකයන්ට යෙහෝවාගෙන් කුමක් උගත හැකිද?
3 පවුල තුළ එවැනි උපදෙස් පිරිනැමිය යුත්තේ කෙසේද? අපහට ආදර්ශය සපයන්නේ යෙහෝවාය. යහපත සහ නපුර ඔහු පැහැදිලිව සඳහන් කරන අතර, නැවත නැවත කීම නොමදව ප්‍රයෝජනයට ගන්නවා. (නික්මයාම 20:4-6; ද්විතීය කථාව 4:23, 24; 5:8-10; 6:14, 15; යෝෂුවා 24:19, 20) සිතීමට උපකාර වන ප්‍රශ්න ඔහු යොදාගන්නා තවත් ක්‍රමයක්. (යෝබ් 38:4, 8, 31) උපහැරණ සහ සැබෑ ජීවිත ආදර්ශවලින්, ඔහු අපේ හැඟීම් අවදි කරමින් අපේ හෘදයන් අඹනවා. (උත්පත්ති 15:5; දානියෙල් 3:1-29) දෙමාපියෙනි, ඔබේ දරුවන්ට උගන්වන විට, එම ආදර්ශය අනුගමනය කිරීමට ඔබ උත්සාහ කරමින් සිටිනවාද?
4. හික්වීමක් දීම සම්බන්ධයෙන් අපට යෙහෝවාගෙන් උගත හැක්කේ කුමක්ද? හික්මවීම වැදගත් වන්නේ මන්ද?
4 යෙහෝවා හරි දෙයට ස්ථිරව සිටියත්, අසම්පූර්ණකමේ බලපෑම ඔහුට තේරෙනවා. එමනිසා, දඬුවම් කිරීමට කලින්, ඔහු අසම්පූර්ණ මනුෂ්‍යයන්ට උගන්වමින්, නැවත නැවතත් අවවාද සහ සිහිගැන්වීම් සපයනවා. (උත්පත්ති 19:15, 16; යෙරෙමියා 7:23-26) හික්මවීමක් දෙද්දී ඔහු අන්තයටම නොගොස්, ප්‍රමාණවත් වන ආකාරයකින් එය ලබා දෙනවා. (ගීතාවලිය 103:10, 11; යෙසායා 28:26-29) අපේ දරුවන් සමඟ අප මෙලෙස කටයුතු කරනවා නම්, අප යෙහෝවාව දන්නා බවට එය සාක්ෂියක් වන අතර, ඔවුන්ටත් ඔහුව දැන හඳුනාගැනීම වඩාත් පහසු වෙයි.—යෙරෙමියා 22:16; 1 යොහන් 4:8.
5. සවන් දීම සම්බන්ධයෙන් දෙමාපියන්ට යෙහෝවාගෙන් උගත හැක්කේ කුමක්ද?
5 යෙහෝවා, ප්‍රේමනීය ස්වර්ගික පියෙකු මෙන් සවන් දීම කොතරම් කදිමද! ඔහු නිකම්ම අණ නිකුත් කරන්නේ නැහැ. අපේ හෘදයන් ඔහු ඉදිරියෙහි වගුරුවන්න කියා ඔහු අපට දිරිගන්වනවා. (ගීතාවලිය 62:8) තවද අප ඉදිරිපත් කරන අදහස් නිවැරදි නොවුවත්, ඔහු ස්වර්ගයේ සිට ගර්ජනා කරමින් තරවටුවක් ඉදිරිපත් කරන්නේද නැහැ. ඔහු අපට ඉවසිලිවන්තව උගන්වයි. එසේ නම්, “ප්‍රිය දරුවන් මෙන් දෙවිව අනුකරණය කරන්නන් වන්න” යන ප්‍රේරිත පාවුල්ගේ උපදෙස් කොතරම් උචිතද! (එපීස 4:31–5:1) තම දරුවන්ට උගන්වන්න උත්සාහ දරන දෙමාපියන් ඉදිරියෙහි යෙහෝවා තබන්නේ මොනතරම් කදිම ආදර්ශයක්ද! ඒ ආදර්ශය අපේ හෘදයට තට්ටු කරනවා. එමෙන්ම ජීවිතය සඳහා ඔහුගේ මඟෙහි ගමන් කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරනවා.
ආදර්ශයෙන් කළ හැකි බලපෑම
6. දෙමාපියන්ගේ ආකල්පය සහ ආදර්ශය ඔවුන්ගේ දරුවන්ට බලපාන්නේ කෙසේද?
6 මුවින් දිය හැකි උපදෙස්වලට අමතරව, තුරුණු සිත්වලට ආදර්ශය බෙහෙවින් බලපායි. දෙමාපියන් කැමති වුණත් නැතත්, ඔවුන්ගේ දරුවන් ඔවුන්ව අනුකරණය කරන්න යනවා. තම දරුවන් තමන් පැවසූ දේම කියන විට, දෙමාපියන් සතුටට නැතහොත් කම්පනයට පත් විය හැකියි. දෙමාපියන්ගේ හැසිරීමෙන් සහ ආදර්ශයෙන් ආත්මික දේවල් සඳහා ගැඹුරු අගයක් පිළිබිඹු වන විට, එය දරුවන් කෙරෙහි ඒකාන්ත ලෙස බලපානවා.—හිතෝපදේශ 20:7.
7. දෙමාපියෙකු වශයෙන් යෙප්තා තම දුවට තැබුවේ කුමනාකාර ආදර්ශයක්ද? කුමන ප්‍රතිඵලය ඇතුවද?
7 දෙමාපියන්ගේ ආදර්ශය බලපාන ආකාරය බයිබලයෙහි මැනවින් පැහැදිලි කර තිබෙනවා. අම්මොන්වරුන්ට එරෙහිව ඉශ්රායෙල්වරුන්ට ජය අත් කර දීමට යෙහෝවා නායකයෙකු සේ පත් කළ යෙප්තා පියෙකුවද සිටියා. බයිබල් වාර්තාවෙහි සඳහන් අම්මොන් පුත්‍රයන්ගේ රජට ඔහු දුන් පිළිතුරෙන් පැහැදිලි වන්නේ යෙහෝවා ඉශ්රායෙල් සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ ඉතිහාසය යෙප්තා නිතරම කියවන්න ඇති බවයි. එම ඉතිහාසයෙන් කරුණු පහසුවෙන් උපුටා දක්වන්න ඔහු සමත් වූ අතර, යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක්ද පෙන්නුවා. ඔහුගේ දියණිය යෙහෝවාට කැප වූ තනිකඩ ස්ත්‍රියක් හැටියට ජීවිතාන්තය දක්වාම සේවය කිරීමට බැඳුණා. එසේ කිරීමට ඇය විදහාපෙන්වූ ඇදහිල්ල සහ ආත්ම-පරිත්‍යාගී ස්ප්‍රීතුව වර්ධනය කරගැනීමට ඇගේ පියාගේ ආදර්ශය කිසිදු සැකයක් නොමැතිව උපකාරවත් වන්න ඇති.—විනිශ්චයකාරයන් 11:14-27, 34-40; සසඳන්න යෝෂුවා 1:8.
8. (අ) සාමුවෙල්ගේ දෙමාපියන් විදහාපෙන්වූයේ කුමන කදිම ආකල්පයද? (ආ) එය සාමුවෙල්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?
8 සාමුවෙල් දරුවෙකු හැටියට ආදර්ශවත් වුණා සේම, තම ජීවිත කාලය පුරාම අනාගතවක්තෘවරයෙකු හැටියට දෙවිට විශ්වාසවන්තව සිටියා. ඔබේ දරුවන් ඔහුට සමාන කෙනෙක් වනවා දකින්න ඔබ කැමති නැද්ද? සාමුවෙල්ගේ දෙමාපියන් වූ එල්කානා සහ හන්නා තැබූ ආදර්ශය සලකා බලන්න. ඔවුන්ගේ පවුලේ තත්වය අංග සම්පූර්ණ එකක් නොවුවද, නමස්කාරය සඳහා ඔවුන් නිතරම පරිශුද්ධ මණ්ඩපය පිහිටෙවූ ෂීලෝ වෙත ගියා. (1 සාමුවෙල් 1:3-8, 21) හන්නා යාච්ඤා කළ විට ඇය කොතරම් ගැඹුරු හැඟීමකින් එය කළාද කියා සැලකිල්ලට ගන්න. (1 සාමුවෙල් 1:9-13) දෙවිට කළ ඕනෑම පොරොන්දුවක් ඉටු කිරීමේ වැදගත්කම ඔවුන් දෙදෙනාට හැඟුණු ආකාරයද සලකා බලන්න. (1 සාමුවෙල් 1:22-28) සාමුවෙල් අවට සිටි උදවිය යෙහෝවාට සේවය කරන බව මවා පෙන්වුවත්, දෙවිගේ මාර්ගයන්වලට කිසිම ගෞරවයක් පෙන්වූයේ නැහැ. කෙසේවෙතත්, නිවැරදි ක්‍රියාමාර්ගයක් අනුව යෑමට ඉවහල් වූ ගුණාංග වර්ධනය කරගැනීමට සාමුවෙල්ගේ දෙමාපියන්ගේ කදිම ආදර්ශය ඔහුට උපකාර කළ බවට සැකයක් නැහැ. කල් යත්ම, යෙහෝවා සාමුවෙල්ට තම අනාගතවක්තෘ වීමේ වගකීම භාර දුන්නා.—1 සාමුවෙල් 2:11, 12; 3:1-21.
9. (අ) තිමෝතිට හිතකර වුණේ නිවසින් ලැබූ කුමන බලපෑමද? (ආ) තිමෝති මොන වගේ පුද්ගලයෙකු බවට පත් වුණාද?
9 තරුණ වයසේදීම ප්‍රේරිත පාවුල්ගේ ආශ්‍රිතයෙකු වූ තිමෝති මෙන් ඔබේ පුතා වැඩෙනවා දකින්න ඔබ කැමතිද? තිමෝතිගේ පියා ඇදහිලිවන්තයෙකු නොවුවද, ආත්මික දේවලට අගය දැක්වීම සම්බන්ධයෙන් ඔහුගේ මව සහ ආච්චි කදිම ආදර්ශයක් තැබුවා. ක්‍රිස්තියානියෙකු ලෙස තිමෝතිගේ ජීවිතයට හොඳ පදනමක් දැමීමට මෙය මහෝපකාරි වූ බවට සැකයක් නැහැ. ඔහුගේ අම්මා වූ එවුනීකි සහ ආච්චි වූ ලොයිස් තුළ ‘අවංක [කුහකකමින් තොර, NW] ඇදහිල්ලක්’ තිබූ බව අපට කියවීමට තිබෙනවා. ක්‍රිස්තියානීන් වශයෙන් ඔවුන් ගත කළ ජීවිතය රඟපෑමක් නොවෙයි. ඔවුන් ඇත්තටම තම විශ්වාසයන්ට එකඟවයි ජීවත් වුණේ. තිමෝතිටත් ඉගැන්වූයේ ඒ ටිකමයි. තිමෝති විශ්වසනීය කෙනෙක් බව ඔප්පු වූ අතර, වෙනත් අයගේ ශුභසිද්ධිය ගැන සැබෑ සැලකිල්ලක්ද දැක්වූවා.—2 තිමෝති 1:4, 5; පිලිප්පි 2:20-22.
10. (අ) නිවසින් පිට කුමන ආදර්ශයන් අපේ දරුවන්ට බලපෑ හැකිද? (ආ) අපේ දරුවන්ගේ කතා බහේ සහ ආකල්පවල මෙවැනි බලපෑම් දක්නට ලැබෙන විට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
10 අපේ දරුවන්ට බලපෑමක් කරන ආදර්ශයන් නිවසට සීමා වී නැහැ. පාසැල් යන විට ඔවුන් සමඟ ඇසුරු කරන ළමුන්, යොවුන් මනස් ඇඹීමට බලන ගුරුවරුන්, මුල් බැසගත් ගෝත්‍රික හෝ සමාජීය චාරිත්‍රවලට සියලුදෙනාම අනුකූල විය යුතු බවට දැඩි මත දරන පුද්ගලයන්, පොදුවේ ප්‍රශංසාවට ලක් වන ක්‍රීඩා තරු සහ නිතර ජනමාධ්‍යයෙහි දක්නට ලැබෙන ප්‍රසිද්ධ නිලධාරීන් උදාහරණයකට ගත හැකියි. දශලක්ෂ ගණන් දරු දැරියන්ව යුද බිමේ කෲරකම්වලටද නිරාවරණය කර තිබෙනවා. අපේ දරුවන්ගේ කතා බහේ සහ ආකල්පවල මින් ලද බලපෑම් දක්නට තිබීම ගැන අප පුදුම විය යුතුද? එසේ සිදු වන විට, අපේ ප්‍රතික්‍රියාව කෙබඳුද? තදින් බැණ වැදීමෙන් හෝ සැර දේශනාවක් දීමෙන් ගැටලුව විසඳෙනවාද? අපේ දරුවන් සමඟ එසේ ක්ෂණිකව ප්‍රතික්‍රියා කරනවා වෙනුවට, අපෙන්ම මෙසේ අසාගැනීම වඩාත් සුදුසුයි: ‘යෙහෝවා අප සමඟ කටයුතු කරන අන්දම තුළින්, මෙම තත්වය හැසිරවිය යුතු ආකාරය තේරුම්ගැනීමට උපකාරවත් විය හැකි යමක් අපට උගත හැකිද?’—රෝම 2:4 සසඳන්න.
11. දෙමාපියන් අතින් වැරදි සිදු වන විට, එය ඔවුන්ගේ දරුවන්ගේ ආකල්පවලට බලපෑ හැක්කේ කෙසේද?
11 ඇත්තෙන්ම, අසම්පූර්ණ දෙමාපියන් වශයෙන්, පැනනඟින තත්වයන් නිතරම යෝග්‍යම ආකාරයෙන් හසුරුවන්න යන්නේ නැති බව පිළිගත යුතුයි. ඔවුන් අතින් වැරදි සිදු වේවි. දරුවන්ට එය තේරෙන විට, ඔවුන්ගේ දෙමාපියන් සඳහා ගෞරවය බිඳ හෙළීමට එය හේතුවක් වෙයිද? දෙමාපියන් කර්කශ ලෙස තම අධිකාරය පාමින්, තම වැරදි නොතකා හරින්න වෑයම් කළොත් එවැනි දෙයක් සිදු විය හැකියි. එනමුත් දෙමාපියන් නිහතමානීව සහ අදි මදි කිරීමකින් තොරව තම වැරදි පිළිගත්තොත්, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් අද්දැකිය හැකියි. මෙසේ, ඊට සමානව කටයුතු කිරීමට ඉගෙනගත යුතු තම දරුවන්ට වටිනා ආදර්ශයක් තැබීමට ඔවුන්ට පුළුවන්.—යාකොබ් 4:6.
අපේ ආදර්ශයෙන් ඉගැන්විය හැකි දේ
12, 13. (අ) දරුවන් ප්‍රේමය ගැන කුමක් ඉගෙනගත යුතුද? තවද මෙය සාර්ථකව ඉගැන්විය හැක්කේ කෙසේද? (ආ) දරුවන් ප්‍රේමය ගැන ඉගෙනීම වැදගත් වන්නේ මන්ද?
12 යහපත් ආදර්ශය වාචික උපදෙස් සමඟ සම්බන්ධ කරද්දී, ඉතා සාර්ථකව ඉගැන්විය හැකි වටිනා පාඩම් රැසක් තිබෙනවා. ඉන් කිහිපයක් සලකා බලන්න.
13 පරාර්ථකාමී ප්‍රේමය ප්‍රකාශ කිරීම: ආදර්ශයෙන් කාවැද්දිය හැකි වැදගත්ම පාඩම්වලින් එකක් නම්, ප්‍රේමයේ අරුතයි. “අප ප්‍රේමකරන්නේ [දෙවි] පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.” (1 යොහන් 4:19) ප්‍රේමයේ උල්පත මෙන්ම පරමාදර්ශය ඔහුය. ප්‍රතිපත්ති මත පදනම් වූ මෙම අ·ගාʹපේ නමැති ප්‍රේමය, බයිබලයේ සිය වාරයකට වඩා සඳහන්ව තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුන්වා දෙන ගුණාංගයකි එය. (යොහන් 13:35) එවැනි ප්‍රේමයක් දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහිද, අසම්පූර්ණ මනුෂ්‍යයන් විසින් එකිනෙකා කෙරෙහිද දැක්විය යුතුයි. අපට එතරම් ලෙන්ගතුකමක් නොදැනෙන මනුෂ්‍යයන්ට පවා එය පෙන්විය යුතුයි. (මතෙව් 5:44, 45; 1 යොහන් 5:3) මෙම ප්‍රේමය ගැන අපේ දරුවන්ට සාර්ථකව උගන්වන්න කලින්, එය අපේ හෘදයන් තුළ තිබිය යුතු අතර, අපේ ජීවිතය තුළින්ද පැහැදිලිව පිළිබිඹු විය යුතුයි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ප්‍රේමය සහ සෙනෙහස වැනි ඊට නෑකම් කියන ගුණාංග පවුල් කවය තුළ දකින්නත් අද්දකින්නත් දරුවන්ට අවශ්‍යයි. මෙවැනි ගුණාංග නැති කල දරුවෙකුගේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය වර්ධනය ඇහිරෙනවා. පවුල් කවයෙන් පිට සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රේමය සහ සෙනෙහස නිසි ලෙස ප්‍රකාශ කරන ආකාරයද දරුවන් දැකබලා ගත යුතුයි.—රෝම 12:10; 1 පේතෘස් 3:8.
14. (අ) සෑහීම ගෙන දෙන හොඳ වැඩ කිරීමට දරුවන්ට ඉගැන්විය හැක්කේ කෙසේද? (ආ) මෙය ඔබේ පවුලට ආවේණික වූ තත්වය තුළ කළ හැක්කේ කෙසේද?
14 වැඩ කිරීමට ඉගෙනීම: වැඩ කිරීම යනු ජීවිතයෙහි අනිවාර්ය අංගයක්. ආත්ම ගෞරවය රැකගැනීමට, පුද්ගලයෙක් හොඳින් වැඩ කිරීමට ඉගෙනගත යුතුයි. (දේශනාකාරයා 2:24; 2 තෙසලෝනික 3:10) එතරම් මඟ පෙන්වීමක් දෙන්නේ නැතුව දරුවෙකුට වැඩක් භාර දී, එය හොඳින් නොකළ විට ඔහුට බැණවදිනවා නම්, හොඳින් වැඩ කරන්න ඔහු ඉගෙනගනියි කියා සිතීම උගහටයි. ඒ වෙනුවට, දරුවන් තම දෙමාපියන් එක්කම වැඩ කිරීමෙන් දේවල් ඉගෙනගන්නා විටත්, ඒ සඳහා යෝග්‍ය ප්‍රශංසාවක් ලබන විටත්, කරන වැඩය සෑහීම ගෙන දෙන ආකාරයකින් ඉටු කිරීමට බොහෝ අවස්ථාවන් උදා වෙනවා. දෙමාපියෙකුගේ ආදර්ශයට යම් පැහැදිලි කිරීමක් ඇතුල් කළොත්, යම් කාර්යයක් ඉටු කරන්නේ කෙසේද කියා පමණක් නොව, ප්‍රශ්න විසඳන ආකාරය, යම් කාර්යයක් අවසන් කරන තෙක් එහිම රැඳී සිටින ආකාරය සහ කාරණා කිරා මැන බලා තීරණ ගන්නා ආකාරය ඉගෙනීමට දරුවන්ට පුළුවන්. මෙවැනි පසුබිමක්, යෙහෝවා වැඩ කරන බවත්, ඔහු හොඳින් වැඩ කරන බවත්, යේසුස් තම පියාව අනුකරණය කරන බවත් වටහාගන්න ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. (උත්පත්ති 1:31; හිතෝපදේශ 8:27-31; යොහන් 5:17) පවුලක් ගොවිතැන් කරනවා නම්, නැතහොත් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම්, පවුලේ ඇතැම් සාමාජිකයන්ට එකට වැඩ කළ හැකියි. එසේ නැත්නම්, තම පුතාට හෝ දුවට උයන්න හෝ ආහාර වේලක් ගැනීමෙන් පසුව අස් පස් කරන්න උගන්වන්න මවට පුළුවන්. නිවසින් බැහැරව රැකියාවකට යන්න සිදු වන පියෙකුට, තම දරුවන් සමඟ නිවසේදීම යම් වැඩ කටයුතු කිරීමට සැලසුම් යෙදිය හැකියි. මොහොතේ අවශ්‍යතාවට අනුව වැඩ ඉටු කරගැනීම පමණක් නොව, නමුත් අනාගතය සඳහා දරුවන්ව සූදානම් කිරීමට යෝග්‍ය වන දේවල් දෙමාපියන් මනසේ තබාගැනීම කොයිතරම් ප්‍රයෝජනදායකද!
15. ඇදහිල්ල හා සම්බන්ධ පාඩම් ඉගැන්විය හැක්කේ කවර ක්‍රමවලින්ද? පැහැදිලි කරන්න.
15 අසීරුතා හමුවේ ඇදහිල්ල පවත්වාගැනීම: ඇදහිල්ලත් අපේ ජීවිතයෙහි වැදගත් අංගයක් වෙනවා. පවුලේ පාඩමකදී ඇදහිල්ල ගැන සාකච්ඡා කරනු ලබන විට, එහි අර්ථය දැක්වීමට දරුවන්ට ඉගෙනගත හැකියි. ඇදහිල්ල ඔවුන්ගේ හෘදයන් තුළ වර්ධනය වීමට හේතු වන සාක්ෂි ගැනත් ඔවුන්ට අවබෝධයක් ලැබිය හැකියි. එනමුත් ඉතා දරුණු පීඩා හමුවේ තම දෙමාපියන් නොසැලෙන ඇදහිල්ලක් පෙන්වනවා දකිද්දී, එහි බලපෑම ජීවිතාන්තය දක්වාම පැවතිය හැකියි. පැනමා රටේ බයිබල් ශිෂ්‍යාවකට ඇගේ පුරුෂයාගෙන් එල්ල වූ තර්ජනය වූයේ, යෙහෝවාට සේවය කරන එක නතර නොකළොත්, ඇයව නිවසින් පිටමං කරන බවයි. ඇය ඇගේ කුඩා දරුවන් සිව්දෙනා සමඟ කිලෝමීටර් 16ක් ඇවිද, තවත් කිලෝමීටර් 30ක් දක්වා බසයකින් ගමන් කළේ ළඟම පිහිටි රාජ්‍ය ශාලාවට යෑම සඳහායි. එම ආදර්ශයෙන් දිරිමත් වූ තම පවුලේ සාමාජිකයන් 20දෙනෙකු පමණ, සත්‍ය මාර්ගය වැලඳගෙන තිබෙනවා.
දිනපතා බයිබල් කියවීමේදී ආදර්ශවත් වීම
16. දිනපතා බයිබල් කියවීම නිර්දේශ කර ඇත්තේ මන්ද?
16 ඕනෑම පවුලකට පුරුදු විය හැකි වටිනාම සිරිත් අතුරින් නිතිපතා බයිබල් කියවීම වැදගත් තැනක් ගනියි. එම සිරිත දෙමාපියන්ට ප්‍රයෝජනවත් වනවා වගේම, අනුකරණය කිරීම සඳහා දරුවන්ටද ආදර්ශයක් සපයයි. හැකි නම්, කොහොමහරි බයිබලයෙහි යම් කොටසක්වත් දිනපතා කියවන්න. වඩාත් වැදගත් වන්නේ කියවන ප්‍රමාණය නොව, නමුත් එය නිතිපතා කිරීම සහ කරන ආකාරයයි. දරුවන් සිටී නම්, බයිබල් කියවීමට අමතරව, මගේ බයිබල් කතන්දර පොත ඔබේ භාෂාවේ ශ්‍රව්‍ය කැසට්පටවලින් ලබාගත හැකි නම්, ඒවාට සවන් දිය හැකියි. දිනපතා දෙවිගේ වචනය කියවීම දෙවිගේ සිතුවිලිවලට මුල් තැන දෙන්න අපට උපකාර කරනවා. එවැනි බයිබල් කියවීමක් තනි තනියෙන් පමණක් නොව පවුල් පිටින් කරනු ලබනවා නම්, මුළු පවුලටම යෙහෝවාගේ මාර්ගවල ගමන් කිරීමට උපකාරවත් විය හැකියි. මෑතකදී පැවැත්වූ “ජීවිතය සඳහා දෙවිගේ මඟ” සමුළුවල පවුල් සාමාජිකයෙනි—දිනපතා බයිබල් කියවීම ඔබේ ජීවිතය සඳහා මඟ කරගන්න! යන නාට්‍යයේ දිරිගන්වනු ලැබුවේ මෙම සිරිතයි.—ගීතාවලිය 1:1-3.
17. එපීස 6:4හි උපදෙස් අදාළ කිරීම සඳහා පවුලක් ලෙස බයිබලය කියවීම සහ වැදගත් බයිබල් පද කටපාඩම් කිරීම උපකාරවත් වන්නේ කෙසේද?
17 පවුලක් වශයෙන් බයිබලය කියවීම ප්‍රේරිත පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන්ට දේවානුභාවයෙන් ලියූ හසුනෙහි අඩංගු දෙයට එකඟයි: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන්ද, NW] ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) එයින් අදහස් කරන්නේ කුමක්ද? ‘මානසික ශික්ෂණය’ වචනානුසාරයෙන් අදහස් කරන්නේ “මනස ඇතුල් කිරීම” යන්නයි; ඉතින් ක්‍රිස්තියානි පියවරුන්ට උනන්දු කරන්නේ යෙහෝවා දෙවිගේ මනස තම දරුවන් තුළට ඇතුල් කරන්න කියායි. එනම් දෙවිගේ සිතුවිලි මොනවාදැයි දැනගන්න දරුවන්ට උපකාර කිරීමයි. මෙය ඉටු කරගැනීම සඳහා වැදගත් බයිබල් පද කටපාඩම් කිරීමට දරුවන්ට උනන්දු කිරීම උපකාරවත් විය හැකියි. මෙහි පරමාර්ථය නම්, දරුවන්ගේ සිතුවිලි යෙහෝවාගේ සිතුවිලි මගින් මඟ පෙන්වනු ලැබීමට සැලැස්වීමයි. එවිට දෙමාපියන් දරුවන් සමඟ සිටියත් නැතත්, දරුවන්ගේ ආශාවන් සහ හැසිරීම දිව්‍ය ප්‍රමිතිවලට අනුකූල වන ආකාරය ප්‍රගතිශීලීව දැකගත හැකියි. එවන් සිතුවිලිවල පදනම, බයිබලයයි.—ද්විතීය කථාව 6:6, 7.
18. බයිබලය කියවද්දී, (අ) එය පැහැදිලිව තේරුම්ගැනීමට, (ආ) එහි අඩංගු උපදෙස්වලින් ප්‍රයෝජන ලබාගැනීමට, (ඇ) යෙහෝවාගේ අරමුණ ගැන ඉන් හෙළි වන දෙයට ප්‍රතිචාරයක් දැක්වීමට (ඈ) පුද්ගලයන්ගේ ආකල්ප සහ ක්‍රියාකලාපයන් ගැන එහි සඳහන් වන දෙයින් ප්‍රයෝජන ලබාගැනීමට කුමක් අවශ්‍ය විය හැකිද?
18 හැබැයි, බයිබලය අපේ ජීවිතයට බලපාන්න යනවා නම්, එහි අඩංගු දෑ තේරුම්ගැනීම අවශ්‍යයි. ඒ සඳහා එහි කොටස් එක වරකට වැඩිය කියවීමට බොහෝදෙනෙකුට සිදු වෙනවා. ඇතැම් යෙදුම්වල නියම තේරුම ග්‍රහණය කරගැනීමට ශබ්දකෝෂයක් නැතහොත් ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) ඇසුරෙන් බලාගැනීමට අපට සිදු විය හැකියි. බයිබල් පදයේ උපදෙස් නැත්නම් ආඥාවක් ඇත්නම්, එයට අදාළ විය හැකි වර්තමාන තත්වයන් ගැන කතා කිරීමට කාලය ගන්න. ‘මෙම උපදෙස් අදාළ කරගැනීම කොහොමද අපිට ප්‍රයෝජනවත් වන්නේ’ කියා ඔබ ඇසිය හැකියි. (යෙසායා 48:17, 18) අදාළ බයිබල් පදයෙහි යෙහෝවාගේ අරමුණේ යම් අංගයක් ගැන සඳහන් වෙනවා නම්, ‘මෙය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද’ කියා අසන්න. ඇතැම්විට, පුද්ගලයන්ගේ ආකල්ප සහ ක්‍රියාකලාපයන් ගැන කියාපාන වාර්තාවක් ගැන ඔබ කියවනවා විය හැකියි. ඔවුන් ජීවිතයේ මොන මොන පීඩනවලටද මුහුණ දෙමින් සිටියේ? ඔවුන් ඒවා සමඟ කටයුතු කළේ කොහොමද? ඔවුන්ගේ ආදර්ශයෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද? එම වාර්තාව අදදින අපේ ජීවිතයට අදාළ වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට හැමවිටම කාලය ගන්න.—රෝම 15:4; 1 කොරින්ති 10:11.
19. දෙවිව අනුකරණය කරන්නන් වීමෙන්, අපේ දරුවන් සඳහා අප සපයන්න යන්නේ කුමක්ද?
19 අපේ මනස් සහ හෘදයන් තුළ දෙවිගේ සිතුවිලි පැලපදියම් කරගැනීමට මෙය මොනතරම් කදිම ක්රමයක්ද! මෙනයින් “ප්‍රිය දරුවන්මෙන් [දෙවි] අනුව යන්නෝ” වීමට අපට සැබෑ උපකාරයක් ලැබෙනවා නොඅනුමානයි. (එපීස 5:1) තවද අපේ දරුවන් සඳහා සැබවින්ම අනුකරණය කිරීමට වටිනා ආදර්ශයක් අප සපයන බවට නිසැකයි.
ඔබට මතකද?
◻ දෙමාපියන්ට යෙහෝවාගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
◻ දෙමාපියන් දරුවන්ට වාචික උපදෙස් දෙනවාට අමතරව, හොඳ ආදර්ශයක් තැබිය යුත්තේ මන්ද?
◻ දෙමාපියන්ගේ ආදර්ශයෙන් වඩාත් හොඳින් ඉගෙනගත හැකි ඇතැම් පාඩම් නම් කරන්න.
◻ පවුලක් ලෙස බයිබලය කියවීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
[10වන පිටුවේ පින්තූර]
බොහෝදෙනෙක් පවුලක් වශයෙන් දිනපතා බයිබලය කියවීමෙන් ආස්වාදයක් ලබනවා