පවුල් සාමාජිකයෙනි, දෙවිගේ සභාවේ කොටසක් වශයෙන් ඔහුට ප්‍රශංසා කරන්න
‘සභාවලදී යෙහෝවාට ප්‍රශංසා කරන්නෙමි.’—ගීතාවලිය 26:12.
1. නිවසේදී කරන අධ්‍යයනයට සහ යාච්ඤාවට අමතරව සැබෑ නමස්කාරයෙහි තවත් වැදගත් අංගයක් නම් කරන්න.
යෙහෝවාට නමස්කාර කිරීමට ඇතුළත් වන්නේ නිවසේදී යාච්ඤා කිරීම සහ බයිබලය පාඩම් කිරීම පමණක් නොව, නමුත් දෙවිගේ සභාවේ කොටසක් වශයෙන් ක්‍රියාකාරකම්වල නිරත වීමයි. දෙවිගේ මාර්ගයන්වල ගමන් කිරීම සඳහා ඔහුගේ නීති ඉගෙනීමට “පුරුෂයන්ද, ස්ත්‍රීන්ද බාලයන්ද” ඇතුළු “සෙනඟ රැස්කරන්නැයි” පුරාණ ඉශ්රායෙල් ජනතාවට ආඥා කළා. (ද්විතීය කථාව 31:12, 13ආ; යෝෂුවා 8:35) යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කිරීමෙහි හවුල් වීමට වැඩිමහල් අයට මෙන්ම ‘තරුණ තරුණියන්ට’ දිරිගන්වා තිබුණා. (ගීතාවලිය 148:12, 13) ක්‍රිස්තියානි සභාව තුළ ඒ හා සමාන විධිවිධාන අදාළ වෙනවා. ලොව පුරා රාජ්‍ය ශාලාවල, සබය හවුල් වන රැස්වීම්වලදී පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් නිදහසේ සහභාගි වන අතර, එසේ හවුල් වීමෙන් බොහෝදෙනෙක් ඉමහත් ආස්වාදයක් ලබනවා.—හෙබ්‍රෙව් 10:23-25.
2. (අ) යෞවනයන්ට රැස්වීම්වලින් ආස්වාදයක් ලබාගැනීමට උපකාර කිරීමේදී සූදානම වැදගත් සාධකයක් වන්නේ මන්ද? (ආ) වැදගත් වන්නේ කාගේ ආදර්ශයද?
2 යෞවනයන්ව සභා ක්‍රියාකාරකම්වල නිසි පිළිවෙළකට සහභාගි කරවාගැනීම සෑහෙන අභියෝගයක් විය හැකි බව ඇත්තයි. තම දෙමාපියන් සමඟ රැස්වීම්වලට යන ඇතැම් දරුවන් ඒවායින් ආස්වාදයක් ලබන්නේ නැත්නම්, ගැටලුව කුමක් විය හැකිද? දරුවන් වැඩිදෙනෙකුට අවධානයක් දිය හැක්කේ කෙටි කාලයකට පමණක් බව අප තේරුම්ගත යුතුයි. තවද ඔවුන්ට ඉක්මනින් දේවල් එපා වෙනවා. මෙම ගැටලුවට පිළියම විය හැක්කේ කල්තියා සූදානම් වීමයි. සූදානම් වීමක් නැතුව, දරුවන්ට අර්ථවත් ලෙස රැස්වීම්වලට සහභාගි විය නොහැකියි. (හිතෝපදේශ 15:23) සූදානමක් නැතුව, සෑහීමක් ගෙන දෙන ආත්මික දියුණුවක් ලැබීම ඔවුන්ට අසීරු කාර්යයක් වෙයි. (1 තිමෝති 4:12, 15) කුමක් කළ හැකිද? පළමුව, දෙමාපියන් රැස්වීම්වලට සූදානම් වනවාද කියා තමන්ගෙන්ම ඇසිය යුතුයි. ඔවුන්ගේ ආදර්ශය ප්‍රබල ලෙස බලපායි. (ලූක් 6:40) පවුලේ පාඩම හොඳින් සැලසුම් කිරීමද බෙහෙවින් බලපාන සාධකයක් විය හැකියි.
හෘදයන් ගොඩනැංවීම
3. පවුලේ පාඩමේදී, හෘදයන් ගොඩනැංවීමට විශේෂ ප්රයත්නයක් දැරිය යුත්තේ මන්ද? මේ සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
3 මොළය දැනුමෙන් පිරවීමට පවුලේ පාඩම සීමා නොවිය යුතුයි. හෘදයන්ද ගොඩනැංවිය යුතුයි. ඒ සඳහා පවුලේ සාමාජිකයන්ට මුහුණ දෙන්න සිදු වන ගැටලුවලට සාවධානව සිටිය යුතු අතර, එකිනෙකා කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමද අවශ්‍යයි. යෙහෝවා “හෘදයන් සෝදිසිකරන්නෙක්.”—1 ලේකම් 29:17, NW.
4. (අ) “හෘදයේ අඩුවක්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) “නිසි හෘදයක් ලබාගැනීම” සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
4 යෙහෝවා අපේ දරුවන්ගේ හෘදයන් සෝදිසි කරන විට ඔහු කුමක්ද දකින්නේ? වැඩිදෙනෙක් තමන් දෙවිට ප්‍රේම කරන බව පවසන අතර, මෙයද ප්‍රශංසනීය දෙයක්. කෙසේවෙතත්, යෞවන කෙනෙකුට එසේ නැතහොත් යෙහෝවා ගැන අලුතින් ඉගෙනගන්නා කෙනෙකුට යෙහෝවාගේ මාර්ගයන් ගැන ඇත්තේ සීමිත අද්දැකීම්. ඔහු අද්දැකීම් අඩු කෙනෙක් නිසා, බයිබලයට අනුව ඔහුට “හෘදයේ අඩුවක්” තිබෙන්න පුළුවන්. ඇතැම්විට, ඔහුගේ සියලුම චේතනා නපුරු නොවුණත්, දෙවිට ඇත්තෙන්ම සතුට ගෙන දෙන තත්වයකට තම හෘදය ගෙන ඒමට සෑහෙන කාලයක් වැය වෙනවා. අසම්පූර්ණ මනුෂ්‍යයන්ට කළ හැකි තරමට යමෙකුගේ සිතුවිලි, ආශාවන්, හැඟීම්, චිත්තවේගයන් සහ ජීවිතයේ ඉලක්කයන් දෙවිගේ අනුමැතියට සරිලන පරිද්දෙන් සකස් කිරීම මීට ඇතුළත් වෙනවා. යමෙකුගේ අභ්‍යන්තර පෞරුෂත්වය දේවභක්තික ආකාරයකින් එලෙස අඹද්දී, ඔහු ‘නිසි හෘදයක් ලබාගනිමින්’ සිටියි.—හිතෝපදේශ 9:3, 4; 19:8; NW.
5, 6. තම දරුවන්ට ‘නිසි හෘදයක් ලබාගන්න’ දෙමාපියන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
5 තම දරුවන්ට ‘නිසි හෘදයක් ලබාගැනීමට’ දෙමාපියන්ට උපකාර කළ හැක්කේ කෙසේද? යහපත් හෘද තත්වයක් වෙනත් පුද්ගලයෙකු තුළට දැමීම කිසිම මනුෂ්‍යයෙකුට කළ නොහැක්කක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. අප සැමට නිදහස් කැමැත්ත නමැති දීමනාව ඇති අතර, අප අපේ සිතුවිලි හසුරුවාගන්නා ආකාරය මත බොහෝ දෑ රඳා පවතියි. කෙසේවෙතත්, විචාර බුද්ධිය යොදාගනිමින්, තම දරුවන්ගේ ඇතුළාන්ත හැඟීම් මතු කිරීමට සලස්වමින්, හෘදයෙහි ඇති දේ සහ උපකාර අවශ්‍ය ක්ෂේත්‍ර මොනවාද යන්න දැනගැනීමට දෙමාපියන්ට බොහෝවිට පුළුවන්. ‘ඔයාට මේ ගැන කොහොමද හැඟෙන්නේ?’ ‘ඇත්තටම ඔයාට මොකක්ද කරන්න ඕනෙ?’ වැනි ප්‍රශ්න භාවිත කරන්න. ඉන්පසුව, ඉවසිලිවන්තව සවන් දෙන්න. කලබල වී ප්‍රතික්‍රියා කරන්න එපා. (හිතෝපදේශ 20:5) හෘදයට තට්ටු කරන්න ඔබට ඕනෑ නම්, කරුණාව, තේරුම්ගැනීම සහ ප්‍රේමයෙන් යුත් වාතාවරණයක් තිබීම වැදගත්.
6 යහපත් නැඹුරුවාවන් පැලපදියම් කරගැනීමට, ආත්මයේ ඵල, ඒ කියන්නේ ඒවායේ සෑම අංගයක්ම නිතරම සාකච්ඡා කර ඒවා වර්ධනය කරගැනීමට පවුලක් වශයෙන් එකට වැඩ කරන්න. (ගලාති 5:22, 23) යෙහෝවාට සහ යේසුස් ක්‍රිස්තුස්ට ප්‍රේම කළ යුතු බව නිකම්ම වචනයෙන් කීමට සීමා කරන්නේ නැතුව, අප ඔවුන්ට ප්‍රේම කරන්නේ ඇයි යන්න සහ එම ප්‍රේමය අපට ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කිරීමෙන් ඔවුන් සඳහා ප්‍රේමයක් ගොඩනංවන්න. (2 කොරින්ති 5:14, 15) ප්‍රතිඵලයක් වශයෙන් ලැබිය හැකි ප්‍රයෝජන තර්කානුකූලව ඒත්තුගැන්වීමෙන් හරි දෙය කිරීමට ආශාව ශක්තිමත් කරන්න. වැරදි සිතුවිලි, කතා බහ සහ හැසිරීමෙහි නරක ප්‍රතිඵල සාකච්ඡා කිරීමෙන් ඒවායින් වැළකී සිටීමට ආශාවක් ගොඩනංවන්න. (ආමොස් 5:15; 3 යොහන් 11) යහපත් හෝ වේවා නපුරු හෝ වේවා සිතුවිලි, කතා බහ සහ හැසිරීම යෙහෝවා සමඟ යමෙකුගේ සම්බන්ධතාවට බලපෑ හැකි ආකාරය පෙන්නුම් කරන්න.
7. ගැටලු හැසිරවීමටත්, දිගටම දෙවිට සමීපව සිටින්න උපකාරවත් කරන අන්දමින් තීරණ ගැනීමටත් දරුවන්ට උපකාර කිරීම සඳහා කුමක් කළ හැකිද?
7 දරුවෙකුට ගැටලුවක් ඇති විට හෝ වැදගත් තීරණයක් ගැනීමට සිදු වන විට, අපට ඔහුගෙන් මෙසේ ඇසිය හැකියි: ‘ඔයා හිතන විදිහට යෙහෝවා මේක සලකන්නේ කොහොමද? යෙහෝවා ගැන ඔයා දන්න මොන කාරණාද එහෙම කියන්න ඔයාට හේතුවක් වෙන්නේ? මේ ගැන ඔයා එයාට යාච්ඤා කරල තියෙනවාද?’ හැකි තරම් ළාබාල වයසක පටන්, දෙවිගේ කැමැත්ත කුමක්දැයි නිශ්චය කර, එය කිරීමට අවංක ප්රයත්නයක් පිළිබිඹු කරන ජීවන රටාවක් ගොඩනැඟීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. යෙහෝවා සමඟ කිට්ටු පෞද්ගලික සම්බන්ධයක් ඇති කරගනිද්දීම, ඔහුගේ මාර්ගයන්වල ගමන් කිරීමෙන් ප්‍රීතියක් අද්දකින්න ඔවුන්ට පුළුවන් වෙයි. (ගීතාවලිය 119:34, 35) මෙය සැබෑ දෙවිගේ සභාව සමඟ ආශ්‍රය කිරීමේ වරප්‍රසාදය සඳහා අගයක් ඔවුන් තුළ ගොඩනංවන්න යනවා.
සභා රැස්වීම්වලට සූදානම් වීම
8. (අ) අවධානය අවශ්‍ය සෑම දෙයක්ම අපේ පවුලේ පාඩමට ඇතුළත් කරන්න කුමක් උපකාරවත් විය හැකිද? (ආ) මෙම පාඩම කොතරම් වැදගත්ද?
8 පවුලේ පාඩම කරන අවස්ථාවේදී අවධානය දිය යුතු කාරණා බොහොමයක් තිබෙනවා. ඒ සියල්ලම ඇතුළත් කළ හැක්කේ කෙසේද? සෑම කාරණයක්ම එකම අවස්ථාවේදී සලකා බැලිය නොහැකියි. හැබැයි, කළ යුතු දේවල ලැයිස්තුවක් සෑදීම ඔබට උපකාරයක් විය හැකියි. (හිතෝපදේශ 21:5) කලින් කලට, එය පරීක්ෂා කර, විශේෂ අවධානයට ලක් විය යුතු දේ සැලකිල්ලට ගන්න. සෑම පවුල් සාමාජිකයෙකුම ලබන දියුණුවට හොඳ අවධානයක් දෙන්න. පවුලේ පාඩම සඳහා තිබෙන විධිවිධානය ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වැදගත් කොටසක් වන අතර, දැන් ජීවිතයට සහ මතු සදා ජීවනයට එය අපව සූදානම් කරවනවා.—1 තිමෝති 4:8.
9. රැස්වීම්වලට සූදානම් වීම හා සම්බන්ධව අපට අපේ පවුලේ පාඩමේදී ක්‍රමානුකූලව අත් කරගැනීමට වෑයම් කළ හැක්කේ කුමන ඉලක්කයන්ද?
9 ඔබේ පවුලේ පාඩමට සභා රැස්වීම්වලට සූදානම් වීම ඇතුළත්ද? එකට පාඩම් කරන අතරතුරේදී, ප්‍රගතිශීලීව දියුණු කිරීමට උත්සාහ කළ හැකි අංගයන් කිහිපයක් තිබෙනවා. මින් සමහරක් නිම කිරීමට සති, මාස හෝ අවුරුදු ගණන් පවා ගත විය හැකියි. මෙම ඉලක්කයන් සලකා බලන්න: (1) සභා රැස්වීම්වලදී පවුලේ හැම සාමාජිකයෙකුම අදහස් දැක්වීමට සූදානම්ව සිටීම; (2) තමාගේම වචනවලින් අදහස් දැක්වීම දියුණු කරගැනීම; (3) අදහස්වලට බයිබල් පද ඇතුළත් කිරීම; (4) පෞද්ගලිකව අදාළ කරගැනීමේ අදහසින් තොරතුරු හොඳින් කිරා මැන බැලීම. මේ සියල්ල පුද්ගලයෙකුට සත්‍යය තමාගේම එකක් කරගැනීමට උපකාරයක් විය හැකියි.—ගීතාවලිය 25:4, 5.
10. (අ) අපේ හැම සභා රැස්වීමකටම වෙන වෙනම අවධානයක් දීමට අපට හැකි වන්නේ කෙසේද? (ආ) මෙය ප්‍රතිඵලදායක වන්නේ මන්ද?
10 ඔබේ පවුලේ පාඩමට සාමාන්‍යයෙන් සතියේ මුරටැඹ පාඩම සාකච්ඡා කළත්, සභා පොත් පාඩම, දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීමට පෞද්ගලිකව හෝ පවුලක් වශයෙන් සූදානම් වීමේ වැදගත්කම නොසලකා හරින්න එපා. යෙහෝවාගේ මාර්ගයෙහි ගමන් කිරීමට අපට උගන්වන වැඩසටහනෙහි මේවාද වැදගත් අංගයන් වෙනවා. පවුලක් වශයෙන් රැස්වීම්වලට කලින් කලට සූදානම් වන්න ඔබට අවස්ථාව උදා විය හැකියි. එකට මේ දේවල් කිරීමෙන්, ඔබේ පාඩම් කිරීමේ පුරුදු වැඩිදියුණු කරගත හැකියි. ප්‍රතිඵලයක් වශයෙන්, රැස්වීම්වලින් ඊටත් වඩා ප්‍රයෝජනයක් නෙළාගත හැකියි. සාකච්ඡාවට ලක් කළ හැකි දේවල් අතර, මෙම රැස්වීම්වලට නිතිපතා සූදානම් වීමේ ප්‍රයෝජන සහ ඒ සඳහා නිශ්චිත වේලාවක් නියම කිරීමේ වැදගත්කම සාකච්ඡා කරන්න.—එපීස 5:15-17.
11, 12. සභාවේ ගීතිකා ගැයීම සඳහා සූදානම් වීම අපට ප්‍රයෝජනයක් වන්නේ කෙසේද? මෙය සිදු කළ හැක්කේ කෙසේද?
11 “ජීවිතය සඳහා දෙවිගේ මඟ” සමුළුවලදී, අපේ රැස්වීම්වල තවත් අංගයකට, එනම් ගීතිකා ගැයීමට සූදානම් වන්න අපට දිරිගැන්වූවා. ඔබ ඒ සම්බන්ධයෙන් යමක් කර ඇද්ද? එසේ කිරීම බයිබල් සත්‍යයන් අපේ මනස් සහ හෘදයන් තුළ කාවද්දනවා පමණක් නොව, සභා රැස්වීම්වලින් අප ලබන ආස්වාදයටද එය දායක වෙනවා.
12 නියමිත ගීතිකාවලින් සමහරක් කියවීම සහ එහි වචනවල තේරුම සාකච්ඡා කිරීම ඇතුළත් කර සූදානම් වීම, හෘදයෙන්ම ගායනා කිරීමට අපට උපකාර කළ හැකියි. පුරාණ ඉශ්‍රායෙලයෙහි නමස්කාරයේදී සංගීත භාණ්ඩ නොඅඩුව භාවිත කළා. (1 ලේකම් 25:1; ගීතාවලිය 28:7) ඔබේ පවුලේ සාමාජිකයෙක් සංගීත භාණ්ඩයක් වාදනය කරනවාද? සතියට නියමිත රාජ්‍ය ගීතිකාවක් පෙරහුරු කිරීමට එම සංගීත භාණ්ඩය භාවිත කර පවුල සමඟ ගීතිකාව ගායනා නොකරන්නේ ඇයි? ගීතිකාවල පටිගත කිරීමක් භාවිත කිරීම තවත් විකල්පයක්. ඇතැම් රටවල අපේ සහෝදරයන් සංගීතය නැතුව ඉතා මිහිරි ගායනයක නිරත වෙනවා. පාරේ එකට ඇවිදිද්දී, එසේ නැතහොත් කෙතේ වැඩ කරද්දී, සතියේ සභා රැස්වීම්වලට නියමිත ගීතිකා නිතරම පාහේ ගැයීමෙන් ඔවුන් ඉමහත් ආස්වාදයක් ලබනවා.—එපීස 5:19.
පවුලක් වශයෙන් ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම
13, 14. ක්ෂේත්‍ර සේවය සඳහා අපේ හෘදයන් සූදානම් කරන පවුලේ සාකච්ඡාවන් වටින්නේ මන්ද?
13 යෙහෝවා සහ ඔහුගේ අරමුණු ගැන අන්‍යයන්ට සාක්ෂිදැරීම අපේ ජීවිතයට අයත් වැදගත් අංගයකි. (යෙසායා 43:10-12; මතෙව් 24:14) බාල වුණත් මහලු වුණත්, අප සූදානම්ව සිටියොත්, අප මෙම කටයුත්තෙන් වැඩි ආස්වාදයක් ලබන අතර, වැඩි යහපතක්ද ඉටු කරනවා. අපට මෙය පවුල තුළ ඉටු කරගත හැක්කේ කෙසේද?
14 අපේ නමස්කාරයට සම්බන්ධ හැම කාරණයකදීම සැබෑවක් වන්නාක් මෙන්, අපේ හෘදයන් සූදානම් කිරීම වැදගත්. අප කරන්න යන්නේ කුමක්ද යන්න පමණක් නොව, එසේ කිරීමට හේතුද සාකච්ඡා කිරීම අවශ්‍යයි. යෙහෝෂාපාට් රජුගේ කාලයේදී, ජනතාවට දිව්‍යමය නීති සම්බන්ධයෙන් උපදෙස් දුන්නත්, ඔවුන් ‘ඒ වෙද්දිත් තම හෘදයන් සූදානම් කර තිබුණේ නැතැයි’ බයිබලය අපට පවසයි. ඒ හේතුවෙන්, සැබෑ නමස්කාරයෙන් ඔවුන්ව ඉවත් කළ හැකි පරීක්ෂාවලට හසු වන්න තිබුණු ඉඩ කඩ වැඩි වුණා. (2 ලේකම් 20:33, NW; 21:11) අපේ ඉලක්කය, ක්ෂේත්‍ර සේවයෙහි වැය කළ පැය ගණන වාර්තා කිරීමටවත්, සඟරා පොත් පත් බෙදා දීමටවත් සීමා වන්නේ නැහැ. අපේ දේවසේවය, යෙහෝවා සඳහා මෙන්ම ජීවනය තෝරාගැනීමට අවස්ථාවක් දිය යුතු ජනයා සඳහා අපේ ප්‍රේමයේ ප්‍රකාශයක් විය යුතුයි. (හෙබ්‍රෙව් 13:15) අප ‘දෙවිගේ හවුල් වැඩකරන්නෝ’ වන්නේ ඒ කටයුත්තෙහි යෙදෙන විටයි. (1 කොරින්ති 3:9) එය මොනතරම් වරප්‍රසාදයක්ද! අප දේවසේවයේ සහභාගි වන අතරතුර, අපට ශුද්ධ දේවදූතයන්ගේ සහයෝගය ලැබෙනවා. (එළිදරව් 14:6, 7) අපේ සතිපතා පාඩමේදී හෝ වේවා, දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත් පිංචයෙන් උචිත දිනපදයක් සාකච්ඡා කරන විටදී හෝ වේවා, පවුලක් වශයෙන් සාකච්ඡා පවත්වද්දී මෙය සඳහා අගයක් ගොඩනැඟීමට අප ප්‍රස්තාවන් අල්ලාගත යුතුයි.
15. ක්ෂේත්‍ර සේවය සඳහා පවුලක් වශයෙන් අපට සූදානම් විය හැක්කේ කුමන අවස්ථාවලදීද?
15 සතියේ ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම සඳහා ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරන්න, ඔබේ පවුලේ පාඩමේදී ඔබ ඉඳ හිට කාලය යොදාගන්නවාද? එසේ කිරීම බෙහෙවින් ප්‍රයෝජනදායක විය හැකියි. (2 තිමෝති 2:15) ඔවුන්ගේ සේවය අර්ථවත් මෙන්ම ඵලදායී එකක් කිරීමට එය දායක විය හැකියි. එලෙස සූදානම් වීම සඳහා පාඩමට නියමිත සම්පූර්ණ කාලයම වුණත් ඉඳ හිට යොදාගන්න පුළුවන්. නිතරම වුණත් කළ හැකි දෙයක් නම්, පවුලේ පාඩම අවසානයේදී හෝ සතියේ වෙනත් අවස්ථාවකදී කෙටි කාලයකට ක්ෂේත්‍ර සේවයේ විවිධ පැති ගැන නිතරම සාකච්ඡා කිරීමයි.
16. ඡේදයෙහි සඳහන් හැම පියවරකම වටිනාකම සාකච්ඡා කරන්න.
16 පවුල සමඟ මෙලෙස කාලය ගත කරද්දී, පියවර කිහිපයක් වෙතට අවධානය යොමු කළ හැකියි. ඉන් සමහරක් මෙසේ දැක්විය හැකියි: (1) හොඳින් පෙරහුරු කළ ඉදිරිපත් කිරීමක් සූදානම් කරන්න. යෝග්‍ය අවස්ථාවලදී බයිබලයෙන් ඡේදයක් කියවීමටද සූදානම් වන්න. (2) හැකි නම්, සෑම කෙනෙකුටම පෞද්ගලික ක්ෂේත්‍ර සේවා බෑගයක්, බයිබලයක්, සටහන් පොතක්, පෑනක් හෝ පැන්සලක්, පත්‍රිකා සහ හොඳ තත්වයක තිබෙන සඟරා පොත් පත් තිබෙන බවට වගබලා ගන්න. සේවා බෑගය මිල අධික එකක් විය යුතු නැහැ. නමුත් එය පිරිසිදු විය යුතුයි. (3) අවිධිමත්ව සාක්ෂිදැරිය හැකි ආකාරය සහ කළ හැකි තැන් සාකච්ඡා කරන්න. උපදෙස් ලබා දෙන සෑම අවස්ථාවකින්ම පසු, ක්ෂේත්‍ර සේවයෙහි එකට වැඩ කරන්න කාලය ගන්න. උපකාරවත් වන යෝජනා ඉදිරිපත් කරන්න. හැබැයි ඕනෑවට වඩා උපදෙස් දෙන්න එපා.
17, 18. (අ) අපේ ක්ෂේත්‍ර සේවය වඩාත් ඵලදායී කිරීමට පවුලක් වශයෙන් කුමනාකාර සූදානමක් උපකාරවත් විය හැකිද? (ආ) මෙසේ සූදානම් වීමේ කවර අංගයද සතිපතා කළ යුත්තේ?
17 යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට පැවරූ කාර්යයෙහි ප්‍රධාන අංගයකි, ගෝලයන් සෑදීම. (මතෙව් 28:19, 20) ගෝලයන් සෑදීම දේශනා කිරීමට සීමා වී නැහැ. ඉගැන්වීම ඊට ඇතුළත් වෙනවා. බලපෑමෙන් යුක්තව ඉගැන්වීමට ඔබේ පවුලේ පාඩම ඔබට උපකාරයක් විය හැක්කේ කෙසේද?
18 පවුලක් වශයෙන්, නැවත බැලීම් කිරීමට සුදුසු කවුදැයි සාකච්ඡා කරන්න. ඉන් සමහරෙක් සඟරා පොත් ලබාගත්තා විය හැකියි; තවත් සමහරෙක් සවන් දුන්නා පමණක් විය හැකියි. ගෙයින් ගෙට සේවයෙහි, වෙළඳ සැලේ හෝ පාසැලේදී අවිධිමත්ව සාක්ෂිදරද්දී ඔවුන්ව මුණගැසුණා විය හැකියි. දෙවිගේ වචනයේ මඟ පෙන්වීමට අවනත වන්න. (ගීතාවලිය 25:9; එසකියෙල් 9:4) අදාළ සතියේ ඔබ එක් එක්කෙනා බැහැදැකීමට කැමති වන්නේ කාවදැයි තීරණය කරන්න. සාකච්ඡා කිරීමට යන විෂය කුමක්ද? පවුලක් වශයෙන් මෙලෙස දේවල් සාකච්ඡා කිරීම සෑම සාමාජිකයෙකුටම සූදානම් වීමට උපකාරවත් විය හැකියි. උනන්දුව දක්වන්නන්ට ඉදිරිපත් කළ හැකි නිශ්චිත බයිබල් පද මෙන්ම දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවෙන් හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතෙන් යෝග්‍ය කරුණු කිහිපයක් සටහන් කරගන්න. එක බැහැදැකීමකදී ඕනෑවට වැඩිය කරුණු සාකච්ඡා කරන්න යන්න එපා. ඊළඟ බැහැදැකීමේදී සාකච්ඡා කළ හැකි ප්‍රශ්නයක් ගේ හිමියා සමඟ තබා එන්න. සෑම කෙනෙකුම කරන්න යන්නේ කුමන නැවත බැලීමද කියා සැලසුම් කිරීමත්, එය කරන්න යන අවස්ථාවත්, ඒ අවස්ථාවේදී ඔහු ඉටු කිරීමට බලාපොරොත්තු වන දේත් පවුලක් වශයෙන් සතිපතා සාකච්ඡා කිරීම පුරුද්දක් කරගැනීම හොඳ දෙයකි. මෙසේ කිරීම මුළු පවුලේ ක්ෂේත්‍ර සේවය වඩාත් ඵලදායී කිරීමට උපකාරවත් විය හැකියි.
යෙහෝවාගේ මාර්ගය ඔවුන්ට අඛණ්ඩව උගන්වන්න
19. පවුලේ සාමාජිකයන් දිගටම යෙහෝවාගේ මාර්ගවල ගමන් කරනවා නම්, ඔවුන් කුමක් අද්දකීද? තවද මෙයට දායක වන්නේ කුමක්ද?
19 මෙම දුෂ්ට ලොවෙහි, ගෘහ මූලිකයෙක් වීම අභියෝගයක්. යෙහෝවාගේ සේවකයන්ගේ ආත්මිකත්වය බිඳ හෙළීමට සාතන් සහ ඔහුගේ භූතයන් වෑයම් කරනවා. (1 පේතෘස් 5:8) එපමණක්ද නොව, අදදින දෙමාපියන් වන ඔබට, විශේෂයෙන් තනි මාපියන් වන ඔබ මත පුදුමාකාර පීඩනයක් එල්ල වී තිබෙනවා. ඔබට කරන්න ආශා සෑම දෙයක්ම කිරීමට කාලය සොයාගැනීම අසීරු දෙයක්. එමනිසා, වරකට එක යෝජනාවක් හරි අදාළ කරගන්න බලන්න. පසුව ක්‍රමානුකූලව තවත් ඒවා අදාළ කරගනිමින් ඔබේ පවුලේ පාඩම් වැඩසටහන දියුණු කරගන්න බලන්න. එවිට ඒ සඳහා දරන වෑයම ප්‍රතිඵලදායක බව පෙනී යයි. ඔබට ඉතා කිට්ටුව සිටින අය යෙහෝවාගේ මාර්ගයෙහි පක්ෂපාතව ගමන් කරනවා දැකීම හද උණුසුම් කරවන විපාකයක් නොවේද? යෙහෝවාගේ මාර්ගයෙහි සාර්ථකව ගමන් කිරීමට නම්, සභා රැස්වීම්වලට යෑම සහ ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වීම පවුලේ සාමාජිකයන්ට ප්‍රීතිමත් අද්දැකීමක් විය යුතුයි. එය සැබෑවක් කරගැනීමට, සූදානම අත්‍යවශ්‍යයි. එනම්, හෘදය ගොඩනංවන සහ සෑම කෙනෙකුටම අර්ථවත් ලෙස සහභාගි වීමට මහෝපකාරි වන සූදානමක් අවශ්‍යයි.
20. තුන්වන යොහන් 4හි සඳහන් ප්‍රීතිය අද්දැකීමට දෙමාපියන් වැඩි පිරිසකට උපකාර කළ හැක්කේ කුමක්ද?
20 තමා ආත්මික උපකාරයක් දුන් අය ගැන ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන [ගමන් කරන, NW] බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.” (3 යොහන් 4) මනසෙහි පැහැදිලි ඉලක්කයන් ඇතුව පවුලේ පාඩම පවත්වන්න. පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් කාරුණික මෙන්ම උපකාරවත් ආකාරයකින් හසුරුවන ගෘහ මූලිකයන් වන්න. එසේ වුණොත්, එවැනි ප්‍රීතියක පංගුකාරයන් වීමට පවුලට උපකාර කරන්න එය බෙහෙවින් දායක විය හැකියි. ජීවිතය සඳහා දෙවිගේ මඟ සඳහා අගයක් වර්ධනය කරගැනීමෙන්, දෙමාපියන් ජීවිතය සඳහා හොඳම මඟ භුක්ති විඳීමට තම පවුලට උපකාර කරන ආකාරය අපි දකින්නෙමු.—ගීතාවලිය 19:7-11.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ රැස්වීම්වලට සූදානම් වීම අපේ දරුවන්ට මෙතරම් වැදගත් වන්නේ මන්ද?
◻ තම දරුවන්ට ‘නිසි හෘදයක් ලබාගන්න’ දෙමාපියන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
◻ සියලුම රැස්වීම්වලට සූදානම් වීම සඳහා අපේ පවුලේ පාඩම උපකාරයක් විය හැක්කේ කෙසේද?
◻ පවුලක් වශයෙන් ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම වඩාත් බලපෑමෙන් යුක්ත වීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද?
[20වන පිටුවේ පින්තූරය]
සභා රැස්වීම්වලට සූදානම් වීම ඔබේ පවුලේ පාඩමට ඇතුළත් විය හැකියි
[21වන පිටුවේ පින්තූරය]
රැස්වීම්වලදී ගායනා කිරීමට පෙරහුරු කිරීම ප්‍රයෝජනදායකයි