විෂමතාව දෙවි එය අරමුණු කළාද?
පිළිතුර තනි වචනයකින් පවසනවා නම් නැහැ. එයට හේතුව කුමක්ද කියා අපි දැන් බලමු.
දෙවිගේ අරමුණ වූයේ, සියලුම මනුෂ්‍යයන්ට ජීවිතය සහ සන්තෝෂය භුක්ති විඳීම සඳහා එක සමාන ප්‍රස්තාවන් ලබා දීමයි. මනුෂ්‍යයාව මැවීම සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබෙනවා: “[දෙවි]: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි [කීවේය].” පොළොවේ මැවීම නිම කිරීමෙන් පසු, “[දෙවි] තමන් සෑදූ සියල්ලම [දුටුවේය], බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.”—උත්පත්ති 1:26, 31.
දෙවිට අදදින පවතින විෂමතාවේ දුක්ඛිත තත්වයට “ඉතා යහපත්” කියා පැවසිය හැකිද? ‘දෙවි ප්‍රේමය’ වන බැවින් මෙය කොහෙත්ම විය නොහැක්කකි. (1 යොහන් 4:8) ඔහු ‘තරාතිරම් බලන්නේ නැති’ අතර, ‘ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තිසහගතය, NW]. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවි කෙනෙකි, ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය’ කියා ඔහු සම්බන්ධයෙන් පවසනු ලබනවා. (ද්විතීය කථාව 10:17; 32:4; සසඳන්න යෝබ් 34:19.) එමෙන්ම ප්‍රේරිත පේතෘස් මෙසේ නිගමනය කළා: “සැබවින් [දෙවි] මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට] ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.”—ක්‍රියා 10:34, 35.
දෙවි ප්‍රේමනීය, අපක්ෂපාති, යුක්තිසහගත, නිර්දෝෂ සහ ධර්මිෂ්ඨ කෙනෙක් බැවින්, සන්තෝෂය භුක්ති විඳීමට තිබෙන මනුෂ්‍යයන්ගේ අයිතිය සම්බන්ධයෙන් ගත් කල, උරුම වූ විෂමතාවක් සහිතව ඔවුන්ව මවා තිබිය හැක්කේ කෙසේද? මනුෂ්‍යයන් අතරේ වෙනස්කම් ඇතිවීමට ඉඩහැර තිබීම සහ විෂමතාවේ ලෝකයක් තුළ ඔවුන්ව තබා තිබීම, ඔහුගේ පෞද්ගලිකත්වයට කෙළින්ම පරස්පර විරෝධී දෙයක් වෙනවා. ඔවුන් සියල්ලන්ම “ගෞරවය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිදහස්ව හා එක සමානව ඉපද [සිටීම]” ඔහු අදහස් කළා. නමුත් පැහැදිලිවම, අදදින දේවල් එයාකාරයට සිදු වන්නේ නැහැ. එසේ නොවීමට හේතුව කුමක්ද?
විෂමතාවට මූලික හේතුව
දෙවි මනුෂ්‍යයන්ව සමාන ආකාරයකින් මැව්වා කියද්දී, ඔවුන් සියලුදෙනාම සෑම අංගයකින්ම එක සමාන විය යුතු බවක් ඔහු අරමුණු කළ බව ඉන් අදහස් වන්නේ නැහැ. හැකියාවන්ගෙන්, කැමති දේවලින් සහ පෞද්ගලිකත්වයෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් වීමට ඉඩ තිබුණා. ඒ වගේම, තත්වයෙන් හෝ අධිකාරිත්වයෙන්ද ඔවුන් වෙනස් විය හැකියි. උදාහරණයක් වශයෙන්, මනුෂ්‍යයා සහ ස්ත්‍රිය සෑම ආකාරයකින්ම එක සමාන නැහැ. මන්දයත් දෙවි ස්ත්රියව මැව්වේ පුරුෂයාගේ “අනුපූරකයක්” වශයෙන්. (උත්පත්ති 2:18, NW) දෙමව්පියන්ට සහ දරුවන්ට ඇති අධිකාරිය සම්බන්ධයෙන් පැහැදිලිවම වෙනසක් දක්නට තිබෙනවා. කොහොමවුණත්, මෙම අසමානකම් තිබියදීත්, පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් යන සියල්ලන්ටම, දෙවිගෙන් ලද අයිතියක් වශයෙන් සන්තෝෂය නමැති මූලික අවශ්‍යතාව භුක්ති විඳීමට එක හා සමාන ප්‍රස්තාවන් ලබාගැනීමට තිබුණා. ඔවුන් සියල්ලන්ම දෙවි ඉදිරියේ සමාන ගෞරවයක් සහ ස්ථාවරයක් භුක්ති විඳීමට නියමිතව තිබුණා.
ඒ හා සමානව, මනුෂ්‍යයන්ට ප්‍රථමයෙන් මවනු ලැබූ දෙවිගේ ආත්ම පුත්‍රයන්ට විවිධ පැවරුම් සහ වගකීම් දෙනු ලැබුවා. (උත්පත්ති 3:24; 16:7-11; යෙසායා 6:6; යූද් 9) කොහොමවුණත්, ඔවුන්ගේ සීමාවන් තුළ, ජීවිතය සහ සන්තෝෂය සඳහා වූ දිව්‍ය සැපයුම් සමාන ආකාරයකින් භුක්ති විඳීමට ඔවුන් සියල්ලන්ටම හැකි වුණා. එමනිසා ඔවුන් දෙවිගේ අපක්ෂපාතිත්වය මවිතාකාර ලෙසකින් විදහාපෙන්නුවා.
කනගාටුවට කරුණක් වන්නේ, එක් ආත්ම මැවිල්ලක් දෙවිගේ අපක්ෂපාති විධිවිධානය සම්බන්ධයෙන් සෑහීමට පත් නොවීමයි. දෙවි ඔහුට දී තිබුණු දේවල්වලට වඩා වැඩියෙන් ඔහුට අවශ්‍ය වූ අතර, වඩා උසස්, ඉහළ තත්වයකට දැඩි ආශාවක් දැක්වුවා. මෙම වැරදි ආශාව පෝෂණය කිරීම නිසා, මැවුම්කරු හැටියට සියල්ලෙහිම ශ්‍රේෂ්ඨතම ස්ථානය හොබවන යෙහෝවාට විරුද්ධව ඔහු නැඟී සිටියා. පසුව, දෙවිගේ මෙම කැරලිකාර ආත්ම පුත්‍රයා දෙවි මනුෂ්‍යයන්ට දී තිබෙන දේවලට වඩා වැඩියෙන් ඉල්ලන්න ඔවුන්ව පෙලඹෙව්වා. (උත්පත්ති 3:1-6; සසඳන්න යෙසායා 14:12-14.) ඒ හේතුවෙන්, මනුෂ්‍යයන් විසින් ජීවිතය සහ සන්තෝෂය භුක්ති විඳීම සඳහා වූ දෙවිගේ අරමුණ, විශාල ලෙස අසමබර වී තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. එළිදරව් 20:2හි ‘යක්ෂයා සහ සාතන්’ ලෙස හඳුන්වා දී තිබෙන මෙම කැරලිකාර ආත්ම මැවිල්ල, මනුෂ්‍ය විෂමතාවට හේතු වූ දුෂ්ට පොලඹවන්නා බවට පත් වුණා.
තත්වය කවදා හෝ වෙනස් වේවිද?
පිළිතුර තනි වචනයකින් පවසනවා නම් ඔව්!
නමුත් අපි කවුරුත් ආශා කරන වෙනස්කම් සිදු කිරීමට හැක්කේ කාටද? ඇතැම් මනුෂ්‍ය නායකයන් ශතවර්ෂ ගණනාවක් පුරා අවංක චේතනාවකින් මෙය කිරීමට මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවාට කිසිම සැකයක් නැහැ. මනුෂ්‍ය විෂමතාව සම්බන්ධ ගැටලු කවදා හෝ අවසන් වේය කියා බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවන දෙයක් බව නිගමනය කිරීමට බොහෝ මනුෂ්‍යයන්ට හේතු කරවමින් ඔවුන්ගේ සාර්ථකත්වය සීමා වී තිබෙනවා. කොහොමවුණත්, දෙවිගේ දෘෂ්ටිය යෙසායා 55:10, 11හි වාර්තා වී තිබෙනවා: “වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.”
සියලුම මනුෂ්‍යයන්ට ජීවිතය සහ සන්තෝෂය භුක්ති විඳීම සඳහා සමාන ප්‍රස්තාවන් සැපයීමට වූ තම මුල් අරමුණ ඉටු කරන්න යන වග යෙහෝවා දෙවි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන බව දැනගැනීම මොනතරම් සැනසීමක්ද! සත්‍යතාවේ දෙවි හැටියට, තමා පොරොන්දු වී තිබෙන දෙය ඉටු කිරීමට ඔහු බැඳී සිටිනවා. සන්තෝෂයට කරුණක් වන්නේ, එසේ කිරීමට කැමැත්ත සහ බලය යන දෙකම ඔහුට තිබීමයි. ඔහු මෙය ඉටු කරන්න යන්නේ කොහොමද?
පිළිතුර තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් විසින් තම සියලුම අනුගාමිකයන්ට යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටි රාජ්‍යය මතයි. ඔහු මෙසේ යාච්ඤා කිරීමට ඉගැන්නුවා: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, . . . ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) ඔව්, යෙහෝවා දෙවි ‘[දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්න’ යොදාගන්නා මාධ්‍යය වන්නේ දෙවිගේ රාජ්‍යයයි. ‘එය සදාකාලේටම පවතින්න යනවා.’—දානියෙල් 2:45.
ස්වර්ගික රාජ්‍යයේ පාලනය යටතේ නව මිනිස් සමාජයක් ඇති වෙන්න යනවා. මේ සම්බන්ධයෙන්, බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතේ ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය.” (එළිදරව් 21:1) විෂමතාවේ සියලුම අමිහිරි මුහුණුවර එනම්, දුගීබව, අසනීප, නොදැනුවත්කම, අසාධාරණය සහ අනිකුත් මනුෂ්‍ය දුඃඛිතකම් පහව යන්න යනවා.a
ශතවර්ෂයකටත් වඩා වැඩි කාලයක සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්, එම රාජ්‍යය වෙතට මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කරවමින් සිටිනවා. (මතෙව් 24:14) ඔවුන්, මුද්‍රිත ප්‍රකාශන සහ පෞද්ගලික උපකාරය සැපයීම තුළින්, බයිබලයේ වාර්තා කර තිබෙන දෙවිගේ අරමුණ ගැන දැනුමක් අත් කරගැනීමට ජනයාට උපකාර කිරීමෙහි වෙහෙසෙනවා. කොහොමවුණත්, ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත අධ්‍යාපනික කාර්යය, අනාගතයේදී සමානාත්මතාවකින් සහ සන්තෝෂයෙන් යුතුව ජීවත් වීමේ බලාපොරොත්තුව දී තිබෙනවා පමණක් නොව, නමුත් දැන් පවා විෂමතාවේ වසංගතය මැඩපැවැත්වීමට උපකාරවත් වී තිබෙනවා. ඒ කෙසේද කියා දැන් අපි බලමු.
[පාදසටහන]
a දෙවිගේ රාජ්‍යය සියල්ලන් සඳහාම සමානාත්මතාව ගෙන දෙන ආකාරය සම්බන්ධව සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා කරුණාකර, Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 10වන සහ 11වන පරිච්ඡේද බලන්න.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සියලුම මනුෂ්‍යයන් ජීවිතය සහ සන්තෝෂය භුක්ති විඳීමට සමාන ප්‍රස්තාවන් ඇතුව සිටීම දෙවි අදහස් කළා