තුල්‍ය පීඩනය එය ඔබේ වාසියට හරවාගත හැකිද?
අප සියලුදෙනාම ඉපද සිටින්නේ අපේ තුල්‍යයන් විසින් අපව පිළිගනු ලබනවා දැකීමේ මූලික ආශාව ඇතුවයි. අනිත් අය තමන්ව අප්‍රසාදයට ලක් කරනවාට හෝ ප්‍රතික්ෂේප කරනවාට කිසි කෙනෙක් කැමති නැහැ. මෙලෙස, යම් යම් ආකාරවලින් අපේ තුල්‍යයන් අපව පාලනය කරනවා.
තුල්යයෙක් ලෙස අර්ථ දක්වන්නේ, “තවත් කෙනෙක් සමඟ සම සමව සිටින කෙනෙක්; . . . විශේෂයෙන්ම වයස, තරාතිරම හෝ තත්වය එකම සමාජීය තලයක තිබෙන කෙනෙකුටයි.” මේ අනුව තුල්‍ය පීඩනය කියන්නේ, ඉහත කරුණුවල ප්‍රතිඵලයක් හැටියට, දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ තුල්‍යයන් හිතන පතන හෝ ක්‍රියා කරන ආකාරයට එකඟ වීමට අප මත ඇති කරන බලපෑමටයි. තුල්‍ය පීඩනය බොහෝවිට පෙනෙන්ට තිබෙන්නේ නිෂේධාත්මක දෙයක් ලෙසයි. එහෙත්, අප දැන් බලන්න යන ආකාරයට, එය අපේ වාසියට හරවාගත හැකියි.
සෑම වයස් මට්ටමක් මතම ඇති කරන බලපෑම
තුල්‍ය පීඩනය යෞවනයන්ට පමණක් සීමා වෙලා නැහැ. එය සෑම වයස් කණ්ඩායමකටම බලපානවා. “අනිත් අය කරනවා නම් ඇයි මට කරන්න බැරි?” “මම කොයිවෙලේත් අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනෙ මොකටද?” “අනිත් අය මොනවා හිතයිද? මොනවා කියයිද?” “මගේ යාළුවෝ ඔක්කොමල්ලටම පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා, ඒගොල්ලෝ විවාහ වෙනවා. ඒත් මම තවමත් නැහැ. මගේ මොකක් හරි අඩු පාඩුවක්වත් තියෙනවාද?” අප මෙවැනි ප්‍රශ්න අසාගැනීමෙන් තුල්‍ය පීඩනයේ බලපෑමට අප ලක්ව තිබෙන බව පිළිබිඹු වෙනවා.
අනිත් අය මෙන් කටයුතු කිරීමට තිබෙන බලපෑම සෑම වයස් කණ්ඩායමකටම බලපානවා වුණත්, නහඹර වියේදී එය වඩා තීව්රවීමට නැඹුරුවාවක් තිබෙනවා. ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසනවා: “බොහෝ නහඹරයන් ඔවුන්ගේ තුල්‍ය කණ්ඩායම නැත්නම් ඔවුන්ගේ මිතුරු වළල්ල සහ දැනහඳුනන අය සමඟ සම්බන්ධකම් පවත්වනවා. මෙම නහඹරයන්, පිළිගැනීම ලබාගැනීම සඳහා තම දෙමව්පියන් වෙත යොමු වෙනවාට වඩා ඔවුන් යොමු වන්නේ තම තුල්‍ය කණ්ඩායම වෙතයි. එමෙන්ම එම පිළිගැනීම දිනාගැනීම සඳහා ඔවුන් තම හැසිරීම් රටාව වෙනස් කිරීමට ඉඩ තිබෙනවා.” එහි තවදුරටත් මෙසේ පැවසෙනවා: “ඔවුන්ගේ තුල්‍යයන් විසින් ඔවුන්ව පිළිගත්තොත් [නහඹරයන්] සිතනවා තමන් වැඩෙන්නේ සාමාන්‍ය අය ලෙසයි කියලා.” එම අරමුණ පෙරදැරි කරගෙන, ඔවුන් “තම ජනප්‍රියත්වයට බලපානවායයි සිතන දේවල් එනම්, තමන් අඳින පළඳින විලාසය, නායකත්වය දැරීමේ හැකියාව සහ විරුද්ධ ලිංගයේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීම වැනි කාරණා මතම අවධානය යොමු කරමින් සිටිනවා.”
මිල දී ගන්නේ හෝ කුලියට ගන්නේ මොන විදියේ නිවසක්ද, පදවන්නේ මොන මාදිලියේ මෝටර් රථයක්ද, දරුවන් හදනවාද නැද්ද යනාදිය සහ වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් විවාහක යුවළයන් විසින් ගන්නාවූ තීරණ, තුල්‍ය පීඩනය මගින් එනම් ඔවුන්ගේ සමාජය, ඔවුන්ගේ ආශ්‍රිතයන් හෝ වාර්ගික කණ්ඩායම අතරෙහි පිළිගන්නා දේ මගින් බලපෑමට ලක් වෙනවා කියා ඔවුන්ට දැනෙයි. හුදෙක් ද්‍රව්‍යමය වශයෙන් අසල්වාසීන් සහ තුල්‍යයන් සමඟ පෑහී කටයුතු කිරීම සඳහා ඇතැම් පවුල් බොහෝ සෙයින් ණයවීමට පවා පෙලඹෙනවා. ඇත්තෙන්ම, අපේ ඉලක්කවලින්, අප සිතන ආකාරයෙන් සහ අපේ තීරණවලින් තුල්‍ය පීඩනයේ සූක්ෂ්ම බලපෑම බොහෝවිට ඉස්මතු වෙනවා. එහි බලපෑම දෙස බැලීමේදී, අවශ්‍ය ඉලක්කයට යෑම සඳහා අපට උපකාර කිරීමට තුල්‍ය පීඩනය වාසිදායක ආකාරයකට යොදාගන්න අපට හැකිද? ඇත්තවශයෙන්ම අපට පුළුවන්!
හිතකර තුල්‍ය බලපෑමෙන් හොඳින් ප්‍රයෝජන ගැනීම
තම රෝගීන් ඒකාන්ත අදහස් දරන මිනිසුන්ගෙන් සහ වෙනත් හිතකර බලපෑම්වලින් වට වී සිටීමේ ඇති වටිනාකම වෛද්‍යවරුන් සහ අනිකුත් සෞඛ්‍ය විශේෂඥයන් දන්නවා. එවැනි වාතාවරණයක සිටීම යථා තත්වයට පත්වීම සඳහා තල්ලුවක් වෙන්න පුළුවන්. උදාහරණයකට අත් පා අහිමි වූවන්ගේ ශාරීරිකව සහ මානසිකව යථා තත්වයට පත්වීමේ දීර්ඝ ක්‍රියාවලිය තුළදී, හොඳ ආදර්ශය තුළින් සහ ඒ හා සමානව වේදනා විඳ තිබෙන අනිත් අයගේ දිරිගැන්වීම තුළින් ඔවුන් බොහෝවිට ප්‍රයෝජන ලැබෙනවා. කෙනෙක් සුභවාදී, ඒකාන්ත අදහස් දරන අය සමඟ ආශ්‍රය කිරීමට යොමුවීම, පැහැදිලිවම නිවැරදි ආකාරයේ තුල්‍ය පීඩනයෙන් ප්‍රයෝජන ලබාගැනීමේ ක්‍රමයක් වෙනවා.
මෙම ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙනුත් සැබෑවක් වෙනවා. මන්දයත් යෙහෝවා තම සෙනඟට නිතිපතා එකට එකතු වීමට මඟ පෙන්වා තිබීමට එක් හේතුවක් වන්නේ ඒකාන්ත තුල්‍ය බලපෑමයි. ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පෙලඹවීමට සහ එකිනෙකාව දිරිගැන්වීමට’ දෙවි අපට උනන්දු කරනවා. (හෙබ්‍රෙව් 10:24, 25) අදදින ලෝකයේ තිබෙන අධෛර්යය කරවනසුලු සහ වේදනාකාරි බලපෑම් නිසා එවැනි දිරිගැන්වීමක් ඉතාමත් වටිනවා. මෙම බලපෑම් හේතුවෙන් ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා ක්‍රිස්තියානීන්ට “වීර්යකරන්න” සිදු වෙනවා. (ලූක් 13:24) එනිසා සෙසු ඇදහිලිවන්තයන්ගේ ප්‍රේමනීය උපකාරය අපට අවශ්‍යයි. එමෙන්ම අප එය අගය කරනවා. ඊට අමතරව, ඇතමෙකුට ‘මාංසයේ උලක්’ එනම්, ඇතැම්විට යම් අසනීපයක් හෝ දුබලතාවක් විඳදරාගැනීමට සිදු විය හැකියි. (2 කොරින්ති 12:7) වෙනත් අය, නරක පුරුදුවලින් හෝ විෂාදයෙන් ගොඩ ඒම සඳහා මහත් සටනක් කරනවා විය හැකියි. නැතහොත්, ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීම ඉතා අසීරු බව ඔවුන්ට අවබෝධ විය හැකියි. එනිසා, යෙහෝවා දෙවිට කිට්ටුවෙන් සිටින, එමෙන්ම ඔහුට සේවය කිරීමෙන් සතුට භුක්ති විඳින ජනයාගෙන් අප වට වී සිටීම ඥානවන්ත දෙයක් වෙනවා. එවැනි තුල්‍යයන් අපව නඟාසිටුවන අතර ‘අන්තිමය දක්වා ඇදහිලිවන්තව විඳදරාගැනීමට’ අපට උපකාර කරනවා.—මතෙව් 24:13, NW.
එසේ නම්, හරි තුල්යයන්ව තෝරාගැනීම තුළින් අප මත ඔවුන් ඇති කරන බලපෑම පාලනය කිරීමට අපට පුළුවන්. ඊට අමතරව, ක්‍රිස්තියානි රැස්වීම්වලදී බෙදා දෙන අනගි ආත්මික ආහාර සහ ප්‍රායෝගික මඟ පෙන්වීම, අපේ තුල්‍යයන්ගෙන් අප ලබන පෞද්ගලික දිරිගැන්වීම වඩාත් ශක්තිමත් කරනවා.
නමුත් ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම සැමවිටම පහසු දෙයක් නොවන බව පිළිගත යුතුයි. ඇතමෙකුට තම විවාහක කලත්‍රයාගෙන් එතරම් උපකාරයක් නොලැබෙනවා විය හැකියි. නැතහොත් උපකාරය කොහෙත්ම නොලැබෙනවා විය හැකියි. තවත් අයට දරුවන්ව සූදානම් කිරීමට සිදු විය හැකියි. එමෙන්ම වෙනත් අයට ගමනාගමනය ගැටලුවක් විය හැකියි. නමුත් මෙහෙම සිතන්න: ඔබව නතර කිරීමට මෙම බාධකවලට ඔබ ඉඩ නුදුන්නා නම්, ඒ හා සමාන තත්වයන් සමඟ පොරබදනවා විය හැකි අයට ඔබේ ආදර්ශය දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. වෙනත් වචනවලින් පවසනවා නම්, ඔබත්, ඔබ මෙන් අනිත් අයත් නිකම්ම හොඳ ආදර්ශයක් විතරක් නොවෙයි, නමුත් හිතකර ආකාරයේ තුල්‍ය බලපෑමකුත් වෙනවා. එමෙන්ම එය කිසි බල කිරීමකින් තොර එකක්.
ඇත්තවශයෙන්ම, දුෂ්කරතා සහ බාධක බොහොමයක් සමඟ පොරබදින්න සිදු වුණු ප්‍රේරිත පාවුල්, තමාගේ සහ වෙනත් මේරූ ක්‍රිස්තියානීන්ගේ කදිම ආදර්ශය අනුකරණය කරන මෙන් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. ඔහු මෙසේ පැවසුවා: “සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.” (පිලිප්පි 3:17; 4:9) තෙසලෝනිකයේ සිටි මුල් ක්‍රිස්තියානීන් පාවුල්ගේ කදිම ආදර්ශය දෙස බැලුවා. ඔවුන් ගැන පාවුල් මෙහෙම ලිව්වා: “නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව [ශුද්ධාත්මයේ] ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද [ස්වාමින්ද] අනුවයන්නෝ වූහ. මෙසේ නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය.” (1 තෙසලෝනික 1:6, 7) අපේ ඒකාන්ත ආකල්පයට සහ ආදර්ශයට අප ආශ්‍රය කරන අය මත ඒ හා සමාන බලපෑමක් ඇති කිරීමට හැකියි.
නිෂේධාත්මක බලපෑම්වලින් වැළකීම
අපට අහිතකර තුල්‍ය පීඩනයෙන් වැළකීමට අවශ්‍ය නම්, අප ‘මාංසික ලෙස හැසිරෙන අයගේ’ බලපෑමට එරෙහි විය යුතුයි. (රෝම 8:4, 5; 1 යොහන් 2:15-17) නැතිනම් අහිතකර තුල්‍ය පීඩනය, යෙහෝවාගෙනුත්, ඔහුගේ ඥානවන්ත උපදෙස්වලිනුත් අපව ඉවතට යොමු කරන්න යනවා. හිතෝපදේශ 13:20 මෙසේ පවසනවා: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” අහිතකර තුල්‍ය පීඩනය නිසා වේදනා විඳින්න සිදු වූ කෙනෙක් ඔබට මතක් වෙනවාද? උදාහරණයක් වශයෙන්, ඇතැම් ක්‍රිස්තියානීන් තම තුල්‍යයන්ගේ බලපෑම හේතුවෙන් ද්‍රව්‍යවාදයට, දුරාචාරයට හෝ මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහි වී තිබෙනවා.
අපේ කිට්ටු ආශ්‍රිතයන් ලෙස අප ආත්මික වශයෙන් දුර්වල පුද්ගලයන්ව තෝරාගත්තොත් අහිතකර තුල්‍ය පීඩනයේ බලපෑමට අප නතු විය හැකියි. (1 කොරින්ති 15:33; 2 තෙසලෝනික 3:14) බොහෝවිට එවැනි අය ආත්මික කාරණා ගැන කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහරවිට එවැනි කාරණා ගැන කතා කිරීමට කැමැත්තක් දක්වන අයට ඔවුන් සරදම් කරන්න පවා පුළුවන්. අපේ කිට්ටු ආශ්‍රිතයන් හැටියට අප මෙවැනි අයව තෝරාගත්තොත්, අපටත් එලෙස හැඩගැසීමට තුල්‍ය පීඩනයෙන් බලපෑම් ඇති විය හැකි අතර, ඉක්මනින්ම අපේ චින්තනය සහ ආකල්පය ඔවුන්ගේ මෙන් විය හැකියි. තම ඇදහිල්ලට එකඟව ජීවත් වන අය දෙස සහ ආත්මිකව දියුණු වීමට උත්සාහ කරන අය දෙස අප වපර ඇහෙන් බැලීමට පටන්ගන්න පවා ඉඩ තිබෙනවා.—1 තිමෝති 4:15.
එසේ නම්, ආත්මික කාරණාවලින් ඉමහත් සතුටක් ලබන, එමෙන්ම යෙහෝවාව සතුටු කිරීමට වෙර දරන අය සමඟ මිත්‍රත්වයන් ඇති කරගැනීම මොනතරම් ඥානවන්ත දෙයක් වෙනවාද! “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” විදහාපෙන්වන්න එවැනි ආශ්‍රිතයන් අපට උපකාර කරනවා. එය ‘පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, සාධාරණව, කීකරු වීමට සූදානම්ව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, . . . වංචාවකින් තොරව තිබෙනවා.’ (යාකොබ් 3:17, NW) නමුත් ආත්මික මනසක් තිබෙන අයට, ආත්මික කාරණා මිස වෙන කිසිම දෙයක් ගැන කතා කිරීමට නුපුළුවන් බව මෙයින් අදහස් කරන්නේ නැහැ. නමුත් සැබෑ තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්! පිබිදෙව්! සඟරාව වැනි වොච් ටවර් ප්රකාශනවල සලකා බලන විවිධ මාදිලියේ සිත් ඇදගන්නා මාතෘකා ගැන නිකමට සිතා බලන්න. ඇත්තෙන්ම සාකච්ඡා කිරීමට යෝග්‍ය, හිතකර මාතෘකා ඕන තරම් තිබෙනවා. එමෙන්ම, මාතෘකා රැසක් ගැන උනන්දුවක් දැක්වීමෙන් අප අපේ ජීවිතය සහ යෙහෝවාගේ හස්ත කර්මාන්ත සඳහා ප්‍රේමයක් විදහාපෙන්වනවා.
දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක්, වෙනත් දක්ෂ ටෙනිස් ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීම නිසා ඔහුගේ කුසලතා ප්‍රගුණ වෙනවා හා සමානව, හරි ආශ්‍රිතයන් අපව මානසිකව, චිත්තවේගීයව සහ ආත්මිකව ඉහළ නංවනවා. අනිත් අතට, නරක ආශ්‍රිතයන් දෙබිඩි ජීවිතයකට දිරිගන්වමින් වංක ජීවිතයක් ගත කිරීමට අපව යොමු කළ හැකියි. ආත්ම ගරුත්වයත් ඇතුව පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වාගැනීම ඊට වඩා මොනතරම් වටිනවාද!
ප්‍රයෝජන ලැබූ සමහරුන්
බයිබල් මූලධර්ම සහ එහි ඇති සදාචාර සහ ආත්මික අවශ්‍යතා ඉගෙනගැනීම එතරම් අපහසු නැති බව බොහෝදෙනෙකුට අවබෝධ වී තිබෙනවා. නමුත් අපහසු දෙය විය හැක්කේ මෙම දේවල් ක්රියාවේ යෙදවීමයි. පහත සඳහන් උදාහරණවලින් පෙන්නුම් කරන ආකාරයට හිතකර තුල්‍ය බලපෑම, ප්‍රාණ පූර්ණව යෙහෝවාට සේවය පිරිනැමීමට අපට උපකාර කළ හැකියි.
තම බිරිඳත් සමඟ පූර්ණ කාලීන සේවයේ නියුතු සාක්ෂිකරුවෙක් පැවසුවේ, ඔහුගේ ජීවිතයේ ඉලක්කවලට තම තුල්‍යයන්ගේ ආදර්ශ බලපෑ බවයි. ඔහු ඇති දැඩි වෙද්දී අහිතකර බලපෑම් රැසකට ඔහුට මුහුණ දීමට සිදු වුණා. නමුත්, ඔහුට දේවසේවයේ සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණීමට උනන්දු කළ අයව ඔහු තම මිත්‍රයන් වශයෙන් තෝරාගත්තා. මෙම ආශ්‍රිතයන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීම, ඔහුට ආත්මික මේරූභාවය කරා යන මාර්ගයේ දිගටම රැඳී සිටීමට උපකාරවත් වුණා.
තවත් සාක්ෂිකරුවෙක් මෙසේ ලියනවා: “මමයි මගේ බිරිඳයි විවාහ වුණාට පස්සේ, අපේ වයසේ විතර විශේෂ පුරෝගාමී යුවළක් ඉන්න සභාවකට අපි මාරු වුණා. පූර්ණ කාලීන සේවයේ නියැලෙන්න ඔවුන්ගේ ආදර්ශය අපිට උපකාරවත් වුණා. ඉන්පස්සේ අපිත් සභාව තුළ පුරෝගාමි ස්ප්‍රීතුව ගොඩනංවන්න වැඩ කෙරුවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට හුඟදෙනෙක් පුරෝගාමීන් ලෙස අපිට එකතු වුණා.”
දිව්‍යාණ්ඩු ඉලක්ක තිබෙන අය සමඟ ඇසුරු කිරීම, යෙහෝවාට කීකරු වීම වඩාත් පහසු කළ හැකියි. මෙය හිතකර තුල්‍ය බලපෑමේ තිබෙන තවත් ප්‍රයෝජනවත් බලපෑමක්. යෞවනයෙක් ලෙස පූර්ණ කාලීන සේවය ආරම්භ කර, පසුව සංචාරක අවේක්ෂකයෙක් බවට පත් වූ සාක්ෂිකරුවෙක් වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක දැන් සේවය කරනවා. ඔහු මෙසේ ලියනවා: “මගේ ළමා කාලය ගැන තිබෙන සමහර මුල්ම සහ ප්‍රියතම මතක සටහන් තමයි පූර්ණ කාලීන සේවකයන් අපව බැහැදකින්න අපේ නිවසට ආපු අවස්ථාවන්. අපේ කෑම මේසයේ හැම වෙලේම අමුත්තෙකුට වැඩිපුර පුටුවක් වෙන් කරලයි තිබුණේ. මට වයස අවුරුදු දහයේදී එක චාරිකා අවේක්ෂකයෙක් දේශනා සේවයේ ගෙන යන බෑග් එකක් මට දුන්නා. ඒක අදත් මම ආසාවෙන් තියාගෙන ඉන්නවා.”
තම යෞවන කාලය මතක් කරමින් මෙම සාක්ෂිකරුවා තවදුරටත් මෙසේ පවසනවා: “සභාවේ හිටිය යෞවනයන් හුඟදෙනෙකුට සභාවේ ක්‍රියාකාරකම්වලට හවුල් වෙන්න අවශ්‍ය වුණු අතර, ඔවුන්ගේ ආදර්ශය අපි කීපදෙනෙකුටම ඒ දේම කරන්න පෙලඹෙව්වා.” ළපටි දල්ලක් වැනි වූ මෙම යෞවනයාට මනා ලෙස වැඩුණු ගසක් මෙන් වූ ක්‍රිස්තියානි පුරුෂයෙක් දක්වා වර්ධනය වීමට යහපත් තුල්‍යයන් උපකාර කළා. දෙමව්පියෙනි, ඔබේ දරුවන් කෙරෙහි ඒකාන්ත, ගොඩනංවනසුලු බලපෑමක් ඇති කළ හැකි අයව ඔබේ නිවසට ඔබ ආරාධනා කරනවාද?—මලාකී 3:16.
ඉහත සඳහන් කළ පුද්ගලයන්ට මෙන් අප සියලුදෙනාටම පූර්ණ කාලීන සේවයේ සහභාගි විය නොහැකි බව ඇත්තයි. නමුත් අප සියලුදෙනාටම ‘අපේ මුළු හෘදයෙන්, අපේ මුළු ප්‍රාණයෙන් සහ අපේ මුළු බුද්ධියෙන්’ යෙහෝවාට ප්‍රේම කළ හැකියි. (මතෙව් 22:37) එම ප්‍රේමය අප තුළ වර්ධනය වීම කෙරෙහි සහ එමගින් සදාකාල ජීවිතය සඳහා අපේ අපේක්ෂාවන් කෙරෙහි, අප තුල්යයන්ව තෝරගන්න ආකාරය බොහෝ සෙයින් බලපානවා.
ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා, ගීතිකාකරු සරල, එහෙත් බලපෑමෙන් යුත් උපදෙස්වල එකතුවක් සැපයුවා. එහි මෙසේ සඳහන් වෙනවා: “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, [යෙහෝවාගේ] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, [ඔහුගේ] ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.”—ගීතාවලිය 1:1-3.
මොනතරම් මවිතකර සහතිකයක්ද! අප අසම්පූර්ණ වූවත්, අප අතින් වැරදි සිදු වුණත්, මඟ පෙන්වීම සඳහා අප යෙහෝවාට ඉඩ දෙනවා නම් සහ දෙවි සපයා තිබෙන හිතකර තුල්‍ය බලපෑම එනම්, ‘ලෝකයෙහි සිටින අපේ සමස්ත සහෝදර සංගමයට’ අප කැමැත්තෙන්ම එකතු වෙනවා නම් අපේ ජීවිතය සාර්ථක වෙන්න යනවා.—1 පේතෘස් 5:9, NW.
[24වන පිටුවේ පින්තූරය]
සභාව තුළින් හිතකර ආකාරයේ තුල්‍ය බලපෑමක් ලැබෙනවා
[25වන පිටුවේ පින්තූරය]
දෙමව්පියෙනි, ගොඩනංවනසුලු තුල්‍යයන් සමඟ එකතු වීමට ඔබේ දරුවන්ට දිරිගන්වන්න