“සැබෑ ජීවනය” භුක්ති විඳින්න
සදාකාලය නමැති අදහස වටහාගැනීමේ හැකියාව යෙහෝවා මිනිසාට ලබා දී තිබෙනවා. (දේශනාකාරයා 3:11) මේ හේතුවෙන් මරණය හමුවේ මනුෂ්‍යයන්ට කරකියාගත නොහැකි බවක් දැනුණත්, ඒ අතරවාරයේදීම, ජීවත් වීම සඳහා බලවත් ආශාවක්ද ඔවුන් තුළ ඇති කරයි.
දෙවිගේ ආනුභාව ලත් වචනය වන ශුද්ධ බයිබලය අපට මහත් බලාපොරොත්තුවක් සපයයි. (2 තිමෝති 3:16) සදාකාලය පිළිබඳ සංකල්පය වටහාගැනීමට මිනිසාට හැකියාව සැපයීමෙන් අනතුරුව, අවුරුදු කිහිපයකට පමණක් ඔහුගේ ජීවිතය සීමා කිරීම, ප්‍රේමයේ ප්‍රතිරූපය වන යෙහෝවාට කළ නොහැකි දෙයක්. අපේ උරුම වූ තත්වය හේතුවෙන් පීඩා විඳීමට අපව මැව්වාය යන අදහස සම්පූර්ණයෙන්ම ඔහුගේ පෞද්ගලිකත්වයට පටහැනිව දිවයන දෙයක්. අප මවනු ලැබුවේ “අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්” නොවෙයි.—2 පේතෘස් 2:12.
සදාකාලය සඳහා සහජ නැඹුරුවාවකින් යුතුව ආදම් සහ ඒවව මැවීමේදී, යෙහෝවා දෙවි “යහපත්” වූ යමක් සෑදුවා. ඒ කියන්නේ, සදාකාලයටම ජීවත් වීමේ හැකියාව ඇතුව ඔහු ඔවුන්ව මවනු ලැබුවා. (උත්පත්ති 1:31) නමුත් කනගාටුවට කරුණක් වන්නේ, පළමු යුවළ තම නිදහස් කැමැත්ත වැරදි ආකාරයට පාවිච්චි කිරීමයි. ඔවුන් මැවුම්කරුගේ ඍජු තහංචියකට අකීකරු වෙමින්, ඔවුන් මුලින් භුක්ති වින්ද සම්පූර්ණත්වය නැති කරගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අසම්පූර්ණත්වය හා මරණය තම පැවතෙන්නන්ට උරුම කර දී, ඔවුන් මැරුණා.—උත්පත්ති 2:17; 3:1-24; රෝම 5:12.
ජීවිතයේ අරමුණ හා මරණයේ අරුත සම්බන්ධයෙන් ගත් කල, බයිබලය සැකයට කිසිදු වාසියක් තබන්නේ නැහැ. එහි පවසන ආකාරයට, මරණයේදී, “වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත්” නැති අතර, මළවුන් “කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5, 10) වෙනත් වචනවලින් කියනවා නම්, මැරිච්ච අය මැරිලා. අමරණීය ආත්මයක මූලධර්මය බයිබලයට අයත් එකක් නොවන නිසා, මළවුන්ගේ තත්වය පිළිබඳව විසඳීමට කිසිදු ප්‍රහේලිකාවක් ඉතුරු වී නැහැ.—උත්පත්ති 3:19; ගීතාවලිය 146:4; දේශනාකාරයා 3:19, 20; එසකියෙල් 18:4.a
දෙවිට අරමුණක් ඇත. ඔහු පොළොව “හිස්කමට” මැව්වේ නැහැ. පාරාදීසමය තත්වයන් යටතේ සම්පූර්ණ මනුෂ්‍යයන්ගේ “වාසය පිණිස” ඔහු එය සෑදුවා. තවද දෙවි ඔහුගේ අරමුණ වෙනස් කර නැහැ. (යෙසායා 45:18; මලාකී 3:6) මෙය සාක්ෂාත් කරගැනීම සඳහා ඔහු ඔහුගේ පුත්‍රයාව මේ පොළොවට එව්වා. මරණය දක්වා ඇදහිලිවන්තව සිටීමෙන් යේසුස් ක්‍රිස්තුස් පාපයෙන් හා මරණයෙන් මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීම සඳහා මිදීමේ මිලයක් සපයනු ලැබුවා. ඇත්තෙන්ම කියනවා නම්, යේසුස් මෙසේ පැවසුවා: “[දෙවි] ස්වකීය ඒකජාතක [පුත්‍රයා] දෙන තරම් ලෝකයාට [ප්‍රේම කළේය]. එසේ කළේ [ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.
දෙවි “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” මවන බවට අතීතයේදී පොරොන්දු වුණා. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13) ස්වර්ගික ජීවිතයක් සඳහා ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් සීමිත කණ්ඩායමක් තෝරාගැනීම එයට අයත් වුණා. යේසුස් ක්‍රිස්තුස් සමඟ, ඔවුන් ආණ්ඩුමය කේන්ද්‍රස්ථානයක් බිහි කරන්න යනවා. බයිබලය මෙය හඳුන්වන්නේ “පොළොවෙහි දේවල්” බලාකියා ගැනීමට යන “ස්වර්ගරාජ්‍යය” නැතිනම් ‘දේවරාජ්‍යය’ හැටියටයි. (එපීස 1:9; මතෙව් 4:17; 12:28; එළිදරව් 5:9, 10; 14:1, 3) අපේ ලෝකයේ ඇති සෑම අභක්තිකකමක්ම විනාශ කර එය පිරිසිදු කිරීමෙන් අනතුරුව, දෙවි ධර්මිෂ්ඨ නව මනුෂ්‍ය සමාජයක් නැතිනම් “අලුත් පොළොවක්” ගෙනෙන්න යනවා. මේ දේවල පිළිවෙළේ අත ළඟම ඇති විනාශයෙන් දෙවි ආරක්ෂා කරන අය මෙයට ඇතුළත් වන්න යනවා. (මතෙව් 24:3, 7-14, 21; එළිදරව් 7:9, 13, 14) පොරොන්දු වී ඇති නැවත නැඟිටීමෙන් ජීවනයට පමුණුවන අයද මොවුන්ට එකතු වන්න යනවා.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.
එකල තිබෙන “සැබෑ ජීවනය”
අනාගතික පාරාදීසමය පොළොව ගැන කරන චමත්කාරජනක විස්තරයේ තහවුරුවක් හැටියට දෙවි මෙසේ පවසයි: “බලව, [මම] සියල්ල අලුත්කරමි.” (එළිදරව් 21:5) දෙවි මනුෂ්‍යවර්ගයා සඳහා කිරීමට යන පුදුමාකාර වූ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වටහාගැනීමට මනුෂ්‍ය මොළයට නොහැකියි. ඒදන් උයන වැනි වූ ලෝක ව්‍යාප්ත පාරාදීසයක් දෙවි මවන්න යනවා. (ලූක් 23:43) ඒදන් උයනෙහි මෙන්, වර්ණවල සුන්දරත්වය හා මනහරබව, ශබ්දය හා රසය බහුලව තිබෙන්න යනවා. දුගීකම හා ආහාර හිඟකම් තවත් තිබෙන්න යන්නේ නැහැ. මන්දයත් බයිබලය මෙසේ පවසයි: “පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4; ගීතාවලිය 72:16) ලෙඩ රෝග සදහටම තුරන් කිරීමට යන හෙයින්, කිසිම කෙනෙක් නැවත “තමා ලෙඩින්යයි” පවසන්න යන්නේ නැහැ. (යෙසායා 33:24) ඔව්, වේදනාවේ සෑම හේතුකාරකයක්ම නැති වෙන්න යනවා. මනුෂ්‍යවර්ගයාගේ එදා සිට පැවති සතුරා වන මරණයත් මීට අයත් වන්න යනවා. (1 කොරින්ති 15:26) ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින්න යන නව මනුෂ්‍ය සමාජය නමැති “අලුත් පොළොව” සම්බන්ධ පුදුමාකාර වූ දර්ශනයකදී, “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” කියනවා යොහන්ට ඇසුණා. මෙම දිව්‍ය පොරොන්දුව ඉටුවීමේදී ඇතිවීමට යන ප්‍රීතියට වඩා වැඩි ප්‍රීතියක් තවත් ඇද්ද?
අනාගතික ජීවිතය විස්තර කිරීමේදී, මනුෂ්‍යයාගේ සදාචාරමය මෙන්ම ආත්මික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට යන තත්වයන් ගැන බයිබලය විශේෂයෙන්ම කතා කරනවා. මනුෂ්‍යයා විසින් මෙතෙක් අත් කරගැනීමට නිෂ්ඵල ලෙස මහන්සි වී ඇති යුක්තිසහගත ප්‍රතිපත්තීන් සම්පූර්ණයෙන්ම අත් කරගැනීමට යනවා. (මතෙව් 6:10) දුර්වලයන්ව බොහෝවිට යටත් කරගෙන ඇති කුරිරු පාලකයන් මනුෂ්‍ය ඉතිහාසයට සම්බන්ධ වී ඇති නිසා, අත් කරගැනීමට නොහැකි වී තිබෙන යුක්තිය සඳහා වූ ආශාවද මෙයට ඇතුළත් වෙනවා. (දේශනාකාරයා 8:9) ක්‍රිස්තුස්ගේ පාලනයේදී පැවතීමට යන තත්වයන් ගැන ගීතිකාකරු අනාවැකිමය ලෙස මෙසේ පැවසුවා: “ඔහුගේ දවසේදී ධර්මිෂ්ඨකම සඵල වන්නේය, සමාදානයද බොහෝ වන්නේය.”—ගීතාවලිය 72:7, නව යෙරුසලම් බයිබලය, ඉංග්‍රීසියෙන්.
බොහෝදෙනෙකු අත් කරගැනීමට පරිත්‍යාගයන් කර ඇති තවත් බලවත් ආශාවක් නම් සමානාත්මතාවයි. “අලුත් මැවීමේදී” දෙවි උස් පහත් භේද සම්පූර්ණයෙන්ම තුරන් කරන්න යනවා. (මතෙව් 19:28, NW) සැමෝටම එකම මට්ටමේ ගෞරවයක් ලැබෙන්න යනවා. මෙය යම් දැඩි ආණ්ඩු ක්‍රමයක් විසින් පනවා ඇති සමානාත්මතාවක් වන්න යන්නේ නැහැ. ඊට වෙනස්ව, අන්‍යයන්ව පාලනය කිරීමට මිනිසාව පොලඹවන හෝ වස්තු සම්භාරයක් එක්රැස් කිරීමට හේතු වන තණ්හාව හා උඩඟුකම ඇතුළු උස් පහත් භේදයට හේතු වන සියල්ල නැති කරන්න යනවා. යෙසායා මෙසේ පුරෝකථනය කළා: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත.”—යෙසායා 65:21, 22.
පෞද්ගලික හේතූන් හා සාමූහිකව කරන යුද්ධ නිසා සිදු වී ඇති ලේ වැගිරීම් හේතුවෙන් මිනිසා කොතරම් දුක් විඳ ඇද්ද! ආබෙල්ව මැරීමේ සිට නූතන දින යුද්ධ දක්වාම මෙය පැවත ඇත. සාමය උදා වන තුරු, පෙනෙන ප්‍රකාරයට නිරපරාදේ, මිනිසා කොයිතරම් කාලයක් බලාපොරොත්තුවෙන් සිට ඇද්ද! නැවත පිහිටුවන පාරාදීසයේ, සියලුම මිනිසුන් සාමකාමීව මොළොක් ගුණයෙන් යුතුව ඉන්න යනවා. ඔවුන් “මහත් සමාදානයෙන් ප්‍රීතිමත්” වීමට යනවා.—ගීතාවලිය 37:11.
යෙසායා 11:9 මෙසේ පවසයි: “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” වෙනත් දේවලට අමතරව, උරුම වී ඇති පාපය නිසා, මෙම වචනවල අරුත සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට අපට නොහැකියි. දෙවි පිළිබඳ සම්පූර්ණ දැනුම ඔහු සමඟ අපව එක්සත් කිරීමට යන ආකාරයත්, එය පූර්ණ ප්‍රීතියට දායක වීමට යන ආකාරයත් අපට දැනගැනීමට හැකි වන්නේ අනාගතයේදී විය හැකියි. නමුත් යෙහෝවාව බලයේ, ප්‍රඥාවේ, යුක්තියේ හා ප්‍රේමයේ මහිමාන්විත දෙවියන් හැටියට බයිබලයේ හඳුන්වා ඇති නිසා, ‘අලුත් පොළොවේ’ ජනාවාසීන් ඉදිරිපත් කරන සියලුම යාච්ඤා ඔහුට ඇසේවිය යන්න අපට නිසැකයි.
“සැබෑ ජීවනය” යථාර්ථයක්—එය අල්ලාගන්න!
වඩා හොඳ ලෝකයක සදාකාලික ජීවනයක් ගැන කියද්දී බොහෝදෙනෙකුට එය සිහිනයක් නැතිනම් මායාවක්. කොහොම වුණත්, බයිබලයේ පොරොන්දුව කෙරෙහි සැබෑ ඇදහිල්ලක් ඇති අයට මෙම බලාපොරොත්තුව යථාර්ථයක්. එය හරියට ඔවුන්ගේ ජීවිතවල නැංගුරමක් මෙනි. (හෙබ්‍රෙව් 6:19) නැංගුරමක් යාත්‍රාවක් ස්ථාවරව තබා, එය එහාට මෙහාට වැනීමෙන් වළකන්නා සේ, සදාකාලික ජීවිතයේ බලාපොරොත්තුව මිනිසුන්ව ස්ථාවරව මෙන්ම නිසැකභාවයකින් යුතුව තබයි. තවද ජීවිතයේ තිබෙන බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමටත් ඒවායින් ජයගැනීමටත් එය හැකි කරවයි.
දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරනු ඇති බවට අපට නිසැක විය හැකියි. දිවුරුමක්, එනම් වෙනස් නොකරන ගිවිසුමක් ඇති කිරීමෙන් පවා ඔහු මෙය සහතික කොට තිබෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “ඒ නිසා [දෙවි] පොරොන්දුවේ උරුමක්කාරයන්ට [තමන්ගේ] අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් [මැදහත් වූයේය]. මෙසේ කළේ [දෙවි] විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස . . . අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.” (හෙබ්‍රෙව් 6:17, 18) නිෂ්ප්‍රභ කළ නොහැකි “වෙනස් නොවන කාරණා දෙක” වන්නේ ඔහුගේ පොරොන්දුව හා දිවුරුමයි. අප අපේ බලාපොරොත්තු පදනම් කරන්නේ එමතයි.
දෙවිගේ පොරොන්දු කෙරෙහි වූ ඇදහිල්ල අපට මහත් සහනයක් හා ආත්මික ශක්තියක් ලබා දෙනවා. ඉශ්‍රායෙල් ජාතියේ නායකයෙකු වූ යෝෂුවාට එවැනි ඇදහිල්ලක් තිබුණා. යෝෂුවා තම අවසන් කතාව ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ කළ අවස්ථාවේදී, තමා වයසට ගොස් ඇති බවත් මරණාසන්නව සිටි බවත් දැන සිටියා. එහෙත්, දෙවිගේ පොරොන්දු කෙරෙහි වූ පූර්ණ විශ්වාසයකින් ජනිත වූ ශක්තියක් සහ අචල පක්ෂපාතීත්වයක් ඔහු නිරූපණය කළා. “පොළොවේ සියල්ලන් යන මාර්ගයේ” එනම් මුළු මනුෂ්‍යවර්ගයාම මරණයට මඟ පාදන මාර්ගයේ යන බව පැවසීමෙන් පසු, යෝෂුවා මෙසේ ප්‍රකාශ කළා. “නුඹලාගේ දෙවිවූ [යෙහෝවා] නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.” ඔව්, දෙවි ඔහුගේ සියලුම පොරොන්දු ඉටු කරන බව යෝෂුවා තෙවතාවක් ප්‍රකාශ කළා.—යෝෂුවා 23:14.
ඉතාමත් ළඟදී පිහිටුවීමට යන නව ලෝකය පිළිබඳ දෙවිගේ පොරොන්දුව කෙරෙහි එවැනිම ඇදහිල්ලක් ඔබටත් ඇති කරගන්න පුළුවන්. බයිබලය උනන්දුමත් ලෙස පාඩම් කිරීමෙන් යෙහෝවා කවුද කියා තේරුම්ගැනීමටත්, ඔබේ පූර්ණ විශ්වාසය ඔහුට ලැබීමට වටින්නේ මන්ද කියා තේරුම්ගැනීමටත් හැකි වේවි. (එළිදරව් 4:11) සැබෑ දෙවි වන යෙහෝවා ගැන තිබූ සමීප දැනුම මත පදනම් වූ නොකැඩෙන විශ්වාසයක් ආබ්‍රහම්, සාරා, ඊසාක්, යාකොබ් හා පුරාණයේ විසූ වෙනත් ඇදහිලිවන්තයන්ට තිබුණා. තමන් ජීවත්ව සිටියදී, මොවුන් “පොරොන්දු නොලැබ” සිටියත්, ඔවුන් බලාපොරොත්තුවේ ස්ථිරව සිටියා. තවද ඔවුන් “දුරදී ඒවා දැක ප්‍රසන්න” වුණ බව පෙන්නුම් කරනවා.—හෙබ්‍රෙව් 11:13.
බයිබල් අනාවැකි තේරුම්ගැනීම නිසා, මේ පොළොවෙන් දුෂ්ටකම සම්පූර්ණයෙන්ම අයින් කිරීමට යන ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවස’ සඳහා දැන් කාලය ළඟා වන බව අපට පෙනෙනවා. (එළිදරව් 16:14, 16) පුරාණයේ විසූ අයවලුන් මෙන්, අනාගතික සිද්ධීන් සම්බන්ධයෙන් නිසැක බලාපොරොත්තුවකින් යුතුව අප සිටිය යුතුයි. තවද එය දෙවි කෙරෙහිත්, “සැබෑ ජීවනය” කෙරෙහිත් ඇති ඇදහිල්ලකින් හා ප්‍රේමයකින් පෙලඹුණු එකක් විය යුතුයි. යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක් නිරූපණය කරන සහ ඔහුට ප්‍රේම කරන අයට නව ලෝකයේ ඇති ආසන්නබව ගැඹුරින්ම පොලඹවන කාරණයකි. දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත්, අත ළඟම ඇති ඔහුගේ මහත් දවසින් ආරක්ෂාව ලැබීමටත් එවන් ඇදහිල්ලක් හා ප්‍රේමයක් වර්ධනය කරගත යුතු වෙනවා.—ශෙපනියා 2:3; 2 තෙසලෝනික 1:3; හෙබ්‍රෙව් 10:37-39.
එසේනම් ඔබ ජීවිතයට ආදරේද? එමෙන්ම ඔබ ඊටත් වැඩියෙන් දෙවිගේ අනුමැතිය ලත් සේවකයෙකු වශයෙන් සන්තෝෂවත් අනාගතයකින් යුත් “සැබෑ ජීවනය” එනම් සදාකාල ජීවිතයකට ආශා කරනවාද? ඔබ සොයන්නේ එවැන්නක් නම්, ප්‍රේරිත පාවුල්ගේ උනන්දු කිරීම පිළිපදින්න. ඔහු ලිව්වේ ‘වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, දෙවි කෙරෙහි බලාපොරොත්තු වී සිටින ලෙස’ හා “සැබෑ ජීවනය වූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස,” දෙවිට ගෞරවය ගෙන දෙන “උතුම් ක්‍රියාවලින් ධනවත්” වන හැටියටයි.—1 තිමෝති 6:17-19, NW.
යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට කැමති වීමෙන්, “සදාකාල ජීවනය” අදහස් කරන දැනුම අත් කරගැනීමට ඔබට හැකියි. (යොහන් 17:3) පියෙකුගෙන් මෙන් වූ මෙම ආරාධනාව බයිබලය ප්‍රේමනීය ලෙස සැමගේ යහපත සඳහා වාර්තා කර ඇත: “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.”—හිතෝපදේශ 3:1, 2.
[පාදසටහන]
a මේ සම්බන්ධ විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත මරණයේදී අපට සිදු වන්නේ කුමක්ද? (ඉංග්‍රීසියෙන්) යන විවරණිකාව බලන්න.