කෝපය ඔබට බාධාවට හේතුවක් කර නොගන්න
“හොඳ හුස්මක් ගන්න!” “දහයට ගණන් කරන්න!” “දිව හපාගෙනම ඉන්න!” ඔබ මෙවැනි කියමන් අසා තිබෙනවාද? සමහරවිට, ඔබ තුළ ඇති වන කෝපය නිවාගැනීමට ඔබ ඔබටම ඒවා කියාගන්නවා ඇති. කෝපය පිට කිරීම වළක්වාගැනීමට ඇතැම් අය, ඇවිදින්න යනවා. කෝපය පාලනය කිරීමට සහ අනිත් අය සමඟ ඔබගේ සම්බන්ධය ආරක්ෂා කරගැනීමට මේවා සරල ක්රමයන්.
කෙසේවෙතත්, මෑත වර්ෂවලදී, කෝපය පාලනය කළ යුතුද හෝ මර්දනය කළ යුතුද යන්න සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් ලැබී ඇති පරස්පරවිරෝධී උපදෙස්වලින් බොහෝදෙනෙක් ව්‍යාකූලව සිටිනවා. නිදසුනක් ලෙස, “ඔබට පහසුවක් දැනෙන්න සලස්වනවා නම්” ඔබගේ කෝපය පිට කරන්න යන අදහස ඇතැම් මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් කර තිබෙනවා. අනික් අතට, “දුම්පානය, අධික රුධිර පීඩනය සහ කොලස්ටරෝල් ප්‍රමාණය අධික වීම වැනි අවදානම්වලට වඩා” අකල් මරණයකට වඩාත් ප්‍රබල ලෙස බලපාන්නේ කෝපය නිතරම පාහේ පිට කිරීම බව පවසමින් වෙනත් අය අනතුරු අඟවනවා. දෙවිගේ වචනයෙහි මෙම පැහැදිලි උපදේශය අඩංගුයි: “තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.” (ගීතාවලිය 37:8) බයිබලය මෙතරම් පැහැදිලි උපදේශයක් දෙන්නේ මන්ද?
හැඟීම් පාලනය කරන්නේ නැත්නම්, ඒවා පාලනය කළ නොහැකි ක්‍රියාවලට මඟ පාදනවා. මිනිස් ඉතිහාසයේ මුලදීම මෙම කාරණය පැහැදිලි වුණා. අපට මෙසේ කියවීමට තිබෙනවා: “කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය.” එය ඔහුව කුමක් කිරීමටද පෙලඹුවේ? ඔහුගේ කෝපය ඔහුව වෙළාගෙන කොතරම් පාලනය කළාද කිවහොත්, යහපත කිරීම සඳහා යෙහෝවා ඔහුට දුන් උපදේශයට විරුද්ධව ඔහුගේ හෘදය දැඩි වුණා. කායින් තම කෝපය පාලනය නොකළ නිසා, ඔහු ඉතා බරපතළ පාපයකට, එනම් තමාගේ සහෝදරයා ඝාතනය කිරීමට යොමු වුණා.—උත්පත්ති 4:3-8.
ඉශ්රායෙල්හි පළමු රජ වූ සාවුල්, දාවිත්ව ඉමහත් පැසසුමකට ලක් කරනවා ඇසුවාම ඒ හා සමානව කෝපයට පත් වුණා. “කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්න [වූයේය].” සාවුල්ගේ කල්පනාව කෝපයෙන් කොතරම් පාලනය වූවාද කිවහොත්, දාවිත්ව ඝාතනය කරන්න ඔහු අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. දාවිත් සාවුල් සමඟ මිත්‍රකමක් ඇති කරගැනීමට කොතරම් උත්සාහ කළත්, සාමයේ මඟට බැස, සමඟි වෙන්න සාවුල් කැමති වුණේ නැහැ. අන්තිමේදී, ඔහුට යෙහෝවාගේ අනුග්‍රහය සම්පූර්ණයෙන්ම නැති වී ගියා.—1 සාමුවෙල් 18:6-11; 19:9, 10; 24:1-21; හිතෝපදේශ 6:34, 35.
යමෙක් පාලනයකින් තොරව කෝපය පිට කෙරුවොත්, ඊට සම්බන්ධ සියලුදෙනාවම ඉමහත් වේදනාවකට පත් කරන දේවල් කියන්න හෝ කරන්න ඔහු හෝ ඇය පෙලඹෙනවාට සැකයක් නැහැ. (හිතෝපදේශ 29:22) කායින් සහ සාවුල් යන අය කෝපාවිෂ්ට වුණේ දෙදෙනා තුළම ඊර්ෂ්‍යාවක් සහ කුඩුකේඩුකමක් හටගෙන තිබුණු නිසයි. කෙසේවෙතත්, පුද්ගලයන් කෝපයෙන් ප්‍රතික්‍රියා කිරීමට හේතු කිහිපයක්ම තිබිය හැකියි. යමෙකුව අසාධාරණ ලෙස විවේචනය කිරීම, නින්දාවට ලක් කිරීම, වරදවා තේරුම්ගැනීම හෝ අසාධාරණව සැලකීම කෝපාවිෂ්ට පිපිරීමකට තුඩු දෙන ගිනි පුපුර විය හැකියි.
කායින් සහ සාවුල්ගේ ආදර්ශවලින් පැහැදිලි වන්නේ ඔවුන්ට පොදුවේ බලපෑ බරපතළ ඌනතාවක් තිබුණු බවයි. කායින්ගේ පූජාවට ඇදහිල්ල නමැති පෙලඹීම නොතිබුණු බව පෙනී යනවා. (හෙබ්‍රෙව් 11:4) සාවුල් යෙහෝවාගේ පැහැදිලි ආඥාවලට කීකරු වන්න අපොහොසත් වූ නිසාත්, පසුව තම නිදහසට කරුණු ඉදිරිපත් කරන්න තැත් කළ නිසාත්, ඔහුට දෙවිගේ අනුග්‍රහය සහ ශුද්ධාත්මය අහිමි වුණා. පැහැදිලිවම, මෙම පුරුෂයන් දෙදෙනාම යෙහෝවා සමඟ තිබූ ඔවුන්ගේ සම්බන්ධතාව පලුදු කරගත්තා.
ඊට වෙනස්ව සාවුල් අතින් හිංසාවට ලක් වූ දාවිත් ගැන සලකා බලන්න. සාවුල් කෙරෙහි කෝපවීමට දාවිත්ට හොඳ හේතු තිබුණා. එනමුත් දාවිත් සංයමයෙන් කටයුතු කළා. මන්ද? ඔහු මෙසේ පැවසුවා: “[යෙහෝවාගේ] අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිඟුකිරීමෙන් [යෙහෝවා] මා [වළක්වත්වා].” දාවිත්ගේ මනසෙහි ප්රමුඛව තිබුණේ යෙහෝවා සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවයි. එමනිසා සාවුල් සමඟ ඔහු කටයුතු කළ ආකාරයට එය බලපෑවා. ඔහු නිහතමානීව සියල්ල යෙහෝවාගේ හස්තයට භාර කළා.—1 සාමුවෙල් 24:6, 15.
ඇත්තෙන්ම, පාලනයකින් තොරව කෝපය පිට කිරීම බැරෑරුම් ප්‍රතිඵල ගෙන දිය හැකියි. ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කළා: “කෝපවුණත් පව් නොකරන්න.” (එපීස 4:26) ධර්මිෂ්ඨ කෝපයක් ඇති විය හැකි වුණත්, කෝපය අපව බාධාවට පත් කිරීමේ නිරන්තර අවදානමක්ව පවතිනවා. එසේ නම්, කෝපය පාලනය කිරීමේ අභියෝගය අපි සැමෝම අද්දැකීම පුදුමයක් නොවෙයි. අපට එය කළ හැක්කේ කෙසේද?
මූලිකව, අප යෙහෝවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් වර්ධනය කරගත යුතුයි. ඔහු ඉදිරියෙහි ඔබගේ හෘදය සහ මනස විවෘත කිරීමට ඔහු දිරිගන්වනවා. ඔබගේ කනස්සල්ලට හෝ ශෝකයට හේතු වන දේවල් ඔහුට කියන්න. කෝපය මර්දනය කිරීම සඳහා නිශ්චල හෘදයක් ලබාගැනීමට යාච්ඤා කරන්න. (හිතෝපදේශ 14:30) “[යෙහෝවාගේ] ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් [ඔහුගේ] කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා” තිබෙන බව කිසිදා අමතක නොකරන්න.—1 පේතෘස් 3:12.
ඔබව හැඩගැස්වීමටත්, ඔබට මඟ පෙන්වීමටත් යාච්ඤාව මහෝපකාරි වෙනවා. ඒ කෙසේද? ඔබ අන්‍යයන් සමඟ කටයුතු කරන ආකාරයට එය ගැඹුරින් බලපෑම් කළ හැකියි. යෙහෝවා ඔබ සමඟ කටයුතු කර ඇති ආකාරය මතක් කරගන්න. ශුද්ධ ලියවිල්ලෙහි පවසා ඇති පරිදි, යෙහෝවා “අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා” කිරීමට නැඹුරු වී නැහැ. (ගීතාවලිය 103:10) ඔබ “සාතන්ගේ ග්‍රහණයට හසු නොවන පිණිස” සමාව දීමට කැමති ස්වභාවයක් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. (2 කොරින්ති 2:10, 11, NW) එපමණක්ද නොව, යාච්ඤාව ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට ඔබගේ හෘදය විවෘත කරන අතර, එමඟින් ජීවිතයේ ගැඹුරින් මුල් බැසගත් චින්තන රටාවන් ඉවත් කිරීමටද පුළුවන්. තවද, කෝපයේ දැඩි ග්රහණයෙන් ඔබව මුදවාලිය හැකි “කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය” යෙහෝවා ඉතා සතුටින් සපයනවා.—පිලිප්පි 4:7.
කෙසේවෙතත්, අප විසින් ‘යෙහෝවාගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගැනීමට’ නම්, යාච්ඤාවෙහි පමණක් නොව ශුද්ධ ලියවිලි නිතිපතා අධ්‍යයනය කිරීමෙහිද නිරත විය යුතුයි. (එපීස 5:17; යාකොබ් 3:17) ඔබගේ කෝපය පාලනය කිරීම පෞද්ගලිකව ඔබට අසීරු කාර්යයක් නම්, මෙම කාරණය සම්බන්ධයෙන් යෙහෝවා කල්පනා කරන ආකාරයට සිතන්න උත්සාහ කරන්න. කෝපය පාලනය කිරීම ගැන කෙළින්ම කතා කරන බයිබල් පද නැවත නැවතත් සෝදිසි කර බලන්න.
ප්‍රේරිත පාවුල් මෙම වැදගත් සිහිගැන්වීම ඉදිරිපත් කරයි: “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) අන්‍යයන්ට යහපත කිරීම කෙරෙහි ඔබගේ කල්පනාවන් මෙන්ම ක්‍රියාවන් යොමු කරන්න. අප එලෙස හිතකර මෙන්ම ඒකාන්ත දේවල නිරත වීම, අනුකම්පාව පෙන්වීමට සහ විශ්වාසය ඇති කිරීමට රුකුලක් වන අතර, පහසුවෙන් කෝපය ඇතිවීමට හේතු විය හැකි වරදවා වටහාගැනීම් අවම කරගැනීමට එය දායක වෙනවා.
ගීතිකාකරු මෙසේ පැවසුවා: “ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව. . . . ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.” (ගීතාවලිය 119:133, 165) ඔබ සම්බන්ධයෙන්ද එය සැබෑවක් විය හැකියි.
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
කෝපය පාලනය කිරීමට පියවර
□ යෙහෝවාට යාච්ඤා කරන්න.—ගීතාවලිය 145:18.
□ දිනපතා ශුද්ධ ලියවිලි සෝදිසි කරන්න. —ගීතාවලිය 119:133, 165.
□ යහපත් ක්‍රියාකාරකම්වල කඩිසරව නිරත වන්න.—ගලාති 6:9, 10.