ග්‍රීක දර්ශනවාදය එය ක්‍රිස්තියානි ධර්මය පෝෂණය කළාද?
“ක්‍රිස්තියානි ධර්මය මිථ්‍යා දෘෂ්ටික ග්‍රීක සහ රෝම සංස්කෘතියට එරෙහි වුණත්, සම්භාව්‍ය දර්ශනවාදයෙන් වැඩි හරියක් ඊට ඈඳාගත්තා.”—අමෙරිකානා විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්.
“ක්‍රිස්තියානි” චින්තනය මත නියත බලපෑමක් ඇති කළ අය අතර, “ශාන්ත” ඔගස්ටීන් අවිවාදයෙන්ම ප්‍රධාන තැනක් ගන්නවා. නව බ්‍රිටැනිකා විශ්වකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව, “නව ගිවිසුමේ ධර්මය, ග්‍රීක් දර්ශනයට අයත් ප්ලේටෝගේ සම්ප්‍රදායන් සමඟ වාත්තු කරන්නාක් මෙන් මනාව ඒකාබද්ධ කිරීමට ඉවහල් වූ උපකරණය ඔගස්ටීන්ගේ මනසයි; මෙම ඒකාබද්ධයෙන් ජනිත වූ දේ, මධ්‍ය කාලීන රෝමානු කතෝලික ධර්මය තුළට සහ පුනරුදයේ රෙපරමාදු ධර්මය තුළට ගෙන ගියෙත් මේ මාධ්‍යයෙනුයි.”
ඇත්තෙන්ම, ඔගස්ටීන්ගේ උරුමය බොහෝ කාලයක් පැවතුණා. ග්‍රීක් දර්ශනවාදය ක්‍රිස්තියානි ලෝකය මත බලපා තිබූ තරම ගැන කතා කරමින් ඩග්ලස් ටී. හෝල්ඩන් මෙසේ සඳහන් කළා: “ක්‍රිස්තියානි දේවධර්මය ග්‍රීක් දර්ශනවාදය සමඟ කොතරම් සම්මිශ්‍රණය වුණාද කිව්වොත්, එය සියයට 90ක ග්‍රීක චින්තනයෙන්ද සියයට 10ක ක්‍රිස්තියානි චින්තනයෙන්ද සමන්විත පුද්ගලයන්ව බිහි කළා.”
එවැනි දර්ශනවාදී බලපෑමක් ක්‍රිස්තියානි ධර්මය එහි ළදරු අවධියේදී වර්ධනය කළ බවත්, එහි ඉගැන්වීම් පෝෂණය කළ බවත්, එහි ඒත්තුගැන්වීමේ ශක්තිය වැඩිදියුණු කළ බවත්, සමහර විශාරදයන් තදින්ම විශ්වාස කරනවා. සැබෑව එයද? ග්‍රීක් දර්ශනවාදයේ බලපෑම ඇරඹුණේ කවදාද? එමෙන්ම කෙසේද? ඇත්තෙන්ම එය ක්‍රිස්තියානි ධර්මය පෝෂණය කළාද? නැතහොත් එය දූෂණය කළාද?
අමුතු යෙදුම් හතරක් අධ්‍යයනය කිරීම මාර්ගයෙන්, පො.යු.පෙ. තුන්වන සියවසේ සිට පො.යු. පස්වන සියවස දක්වා අතර කාලය තුළ සිදු වූ සිදුවීම් ගණනාවක් සෝදිසි කර බැලීම අවබෝධයක් ලබා දෙනවා: (1) “ග්රීකකරණය වූ යුදෙව් ධර්මය,” (2) “ක්රිස්තියානිකරණය වූ ග්රීකවාදය,” (3) ග්රීකකරණය වූ ක්‍රිස්තියානි ධර්මය” සහ (4) “ක්‍රිස්තියානි දර්ශනවාදය.”
“ග්රීකකරණය වූ යුදෙව් ධර්මය”
මූලිකවම, “ග්රීකකරණය වූ යුදෙව් ධර්මය” ඇත්තෙන්ම පරස්පර විරෝධීතාවක්. හෙබ්‍රෙව්වන්ගේ මුල්ම ආගම සැබෑ දෙවි වූ යෙහෝවා පිහිටෙව්වේ, බොරු ආගමික අදහස්වලින් දූෂ්‍ය නොවන පිණිසයි. (ද්විතීය කථාව 12:32; හිතෝපදේශ 30:5, 6) කෙසේවෙතත්, මුල සිටම, නිර්මල නමස්කාරය මිසර, කානානීය සහ බබිලෝනීය මාධ්‍යයන්වල බලපෑම වැනි තමන් වටා තිබූ බොරු ආගමික සිරිත් විරිත්වල සහ සිතුවිලිවල දූෂ්‍ය බලපෑමේ තර්ජනයට ලක් වුණා. ඉශ්රායෙල්වරුන් තම සැබෑ නමස්කාරය අතිශයින්ම දූෂණයට ලක්වීමට ඉඩහැරීම කනගාටුවට කරුණක්.—විනිශ්චයකාරයන් 2:11-13.
සියවස් ගණනාවකට පසු, එනම් පො.යු.පෙ. හතරවන සියවසේදී පුරාණ පලස්තීනය මහ ඇලෙක්සැන්ඩර් යටතේ ග්‍රීක අධිරාජ්‍යයේ කොටසක් බවට පත් වූ විට, මේ දූෂ්‍ය වීම මීට පෙර කිසිදාකට වඩා පහත් අඩියකට බැස දිගු කාලීන, විනාශකාරි උරුමයක් තබා ගියා. ඇලෙක්සැන්ඩර් යුදෙව්වන්ව තම හමුදාවට බඳවාගත්තා. යුදෙව්වන් සහ ඔවුන්ව යටත් කළ අලුත් විජයග්‍රාහී රජ අතර ඇති වූ සම්බන්ධය යුදෙව් ආගමික චින්තනයට ගැඹුරින් බලපෑවා. යුදෙව් අධ්‍යාපනය තුළට ග්‍රීක සිතුවිලි රිංගන්න පටන්ගත්තා. හෝමර්ගේ ඉගැන්වීම් පැතිරවීමට පො.යු.පෙ. 175දී ග්‍රීක විද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් උත්තම පූජක ජේසන් නම් දරා තිබෙනවා.
බයිබල් ඉතිහාසය ග්‍රීක බලපෑමට ලක් වූ ඉතිහාස වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන්න පො.යු.පෙ. දෙවන සියවසේ අග භාගයේ සිටි සමරිතානුවෙක් වෑයම් කිරීම සිත්ගන්නා කරුණක්. ජූදිත් සහ තෝබිත් වැනි යුදෙව් සම්මත නොවූ ග්රන්ථ, ඇත්තෙන්ම ග්‍රීක ප්‍රේම කතා හා සම්බන්ධයි. යුදෙව් දාර්ශනිකයන් කිහිපදෙනෙක් ග්‍රීක් චින්තනය, යුදෙව් ආගමට සහ බයිබලයට ඈඳගන්න වෑයම් කළා.
මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා බහට ලක් වන්නේ, පො.යු. පළමුවන සියවසේ විසූ ෆීලෝ නමැති යුදෙව්වාවයි. ඔහු ප්ලේටෝගේ (පො.යු.පෙ. හතරවන සියවසේ), පයිතගරස්වරුන්ගේ සහ ස්ටොයික්වරුන්ගේ මූලධර්ම බලෙන් ඈඳාගත්තා. ෆීලෝගේ අදහස් උදහස් යුදෙව්වන් තුළ ගැඹුරට මුල් බැසගත්තා. යුදෙව් සංස්කෘතිය තුළට පාණ්ඩිත්‍ය ග්‍රීක් චින්තනය මෙලෙස රිංගීම ගැන කරුණු දක්වමින් යුදෙව් කර්තෘ මැක්ස් ඩිමන්ට් මෙසේ කියනවා: “ප්ලේටෝගේ චින්තනයෙන්ද, ඇරිස්ටෝටල්ගේ තර්කවලින්ද, යුක්ලිඩියානු විද්‍යාවෙන්ද පෝෂණය වූ යුදෙව් විශාරදයන්, ටෝරා වෙත එළඹුණේ අලුත් මෙවලම් අතැතිවයි . . . ඔවුන් යුදෙව් එළිදරව් කිරීම්වලට ග්‍රීක චින්තනය මුසු කරන්න පටන්ගත්තා.”
කාලයාගේ ඇවෑමෙන්, යෙරුසලම අල්ලාගනිමින් රෝමවරුන් ග්‍රීක අධිරාජ්‍යය අත් පත් කරගත්තා. මෙය ඊටත් වඩා සුවිශේෂ වෙනස්කම් පවා ඇතිවීමට මඟ පෑදුවා. පොදු යුගයේ තුන්වන සියවස වන විට, ප්ලේටෝගේ අදහස් උදහස් වර්ධනය කරන්න සහ සංකලනය කරන්න වෑයම් කළ චින්තකයන්ගේ දාර්ශනික සහ ආගමික මූලධර්ම ස්ථිර ස්වරූපයක් ගත් අතර, අදදින සමස්තයක් වශයෙන් එය නව ප්ලේටෝවාදය ලෙස හඳුන්වනු ලබනවා. මෙම මත දරන්නන්ගේ කණ්ඩායම, ඇදහිල්ල අත්හැර ගිය ක්‍රිස්තියානීන් මත ගැඹුරු බලපෑමක් ඇති කළා.
“ක්රිස්තියානිකරණය වූ ග්රීකවාදය”
පොදු යුගයේ මුල්ම සියවස් පහ තුළදී, ග්‍රීක් දර්ශනවාදය සහ එළිදරව් කර ඇති බයිබල් සත්‍යය අතර සම්බන්ධයක් ඇති බව පෙන්වන්න සමහර පණ්ඩිතයන් වෑයම් කළා. ක්‍රිස්තියානි ධර්මයේ ඉතිහාසයක් (ඉංග්‍රීසියෙන්) යන පොතේ මෙසේ සඳහන් කරනවා: “ක්‍රිස්තුස්ට පෙර දශකවලදී දෙවි පිළිබඳ දැනුමක් ලබාගැනීමට ග්‍රීක්වරුන් උත්සාහවන්ත, නමුත් අන්ධ වෑයමක නිරත වූ බව ක්‍රිස්තියානි පාරභෞතික විද්‍යාඥයන් ඇඟවීමට තැත් කළා. මොවුන්ගේ මතයට අනුව, ඔවුන්ගේ උත්සාහය වූයේ, ඇතීනියානු දර්ශනවාදය නමැති විජ්ජා දුමෙන් යේසුස්ව මතු කරන්නයි. එනම් ඔවුන්ගේ බුද්ධි හීන මනස්වලින් ක්‍රිස්තු ධර්මයක් ප්‍රබන්ධ කරන්නයි.”
එවැනි ප්රමුඛ පෙළේ චින්තකයෙක් වූ ප්ලොටිනස් (පො.යු. 205-270) මූලික වශයෙන් ප්ලේටෝගේ මත වාද පදනම කරගත් ක්‍රමයක් සාදාගත්තා. මරණයේදී ශරීරයෙන් යම්කිසි අමරණීය දෙයක් වෙන් වී යනවා යන සංකල්පය ප්ලොටිනස් විසින් හඳුන්වා දුන්නා. ප්ලොටිනස් ගැන මහාචාර්ය ඊ. ඩබ්. හොප්කින්ස් මෙසේ පැවසුවා: “ඔහුගේ දේවධර්මය ක්‍රිස්තියානි නායකයන් මත සැලකිය යුතු බලපෑමක් ඇති කළා.”
“ග්රීකකරණය වූ ක්‍රිස්තියානි ධර්මය” සහ “ක්‍රිස්තියානි දර්ශනවාදය”
“ක්‍රිස්තියානි” චින්තකයන්, මිථ්‍යා දෘෂ්ටික පණ්ඩිතයන් වෙත ක්‍රිස්තියානි ධර්මය ගෙන යෑමට පො.යු. දෙවන සියවසේ සිට පටන්ගත්තා. “දැනගැන්මයයි බොරුවෙන් කියන . . . අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද” අහක්ව සිටීමට ප්‍රේරිත පාවුල් දුන් පැහැදිලි අවවාදය නොසලකා හරිමින්, එවැනි ගුරුවරුන් අවට තිබූ ග්‍රීක සංස්කෘතියෙන් දාර්ශනික අදහස් උදහස් තම ඉගැන්වීම්වලට මුසු කළා. (1 තිමෝති 6:20) බයිබලය ප්ලේටෝගේ අදහස් සමඟ මුසු විය හැකියි යන්න ෆීලෝගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා.—2 පේතෘස් 1:16 සසඳන්න.
ඇත්තෙන්ම, සැබෑ ගොදුර වූයේ බයිබල් සත්‍යතාවයි. ක්‍රිස්තියානි ධර්මය ග්‍රීක-රෝම මානවවාදය සමඟ එකඟ බව පෙන්වන්න “ක්‍රිස්තියානි” ගුරුවරුන් උත්සාහ දැරුවා. (පොදු යුගයේ දෙවන සහ තුන්වන සියවස්වල විසූ) ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් සහ ඔරිගන් නව ප්ලේටෝවාදය, පසුව හැඳින්වූ “ක්‍රිස්තියානි දර්ශනවාදයේ” අඩිතාලම බවට පත් කළා. මිලාන්හි බිෂොප් වූ ඇම්බ්‍රෝස් (පො.යු. 339-397) ‘ක්‍රිස්තියානි මෙන්ම මිථ්‍යා දෘෂ්ටික වූ වඩාත්ම තත්කාලීන ග්‍රීක් දැනුම ලබාගත්තා. විශේෂයෙන්ම මිථ්‍යා දෘෂ්ටික නව ප්ලේටෝවාදී ප්ලොටිනස්ගේ කෘතීන් ඊට ඇතුළත් වුණා.’ ලතින් භාෂාව කතා කරන උගතුන්ට, ක්‍රිස්තියානි ධර්මයේ සම්භාව්‍ය අනුවාදයක් ලබා දීමට ඔහු වෑයම් කළා. ඔගස්ටීන් ඔහුගේ ආදර්ශය අනුකරණය කළා.
සියවසකට පසුව, ඇතැම්විට සිරියානු පැවිද්දෙක් වූ ඇරියෝපගයේ ඩයනිසීයස් (ව්‍යාජ ඩයනිසීයස් ලෙසද හැඳින්වුවා), නව ප්ලේටෝවාදී දර්ශනවාදය සහ “ක්‍රිස්තියානි” දේවධර්මය එක් කිරීමට උත්සාහ කළා. එක් විශ්වකෝෂයකට අනුව, “ඔහුගේ කෘතීන්, මධ්‍යකාලීන ක්‍රිස්තු ධර්මයේ පාර්ශ්වයන් රාශියක පැහැදිලිව දක්නට ලැබූ නව ප්ලේටෝවාදී ප්‍රවණතාවක් බිහි කිරීමට ඉවහල් වූ අතර, . . . ඒ හේතුවෙන් මේ දක්වා ක්‍රිස්තු ධර්මයේ ආගමික මෙන්ම ධාර්මික අංගයන් තීරණය කිරීමට එය හේතුවක් වී තිබෙනවා.” “මනුෂ්‍යයන්ගේ පරම්පරාගත හිස් වූ රැවටිලිකාරකමට සහ දර්ශනවාදයට” එරෙහිව සිටීමට ප්‍රේරිත පාවුල් දුන් අනතුරු ඇඟවීම මොනතරම් බරපතළ ලෙස නොසලකා හැරීමක්ද!—කොලොස්සි 2:8, NW.
දූෂිත කරවන බලපෑම්
“ක්‍රිස්තියානි ප්ලේටෝවාදීන්, දිව්‍ය එළිදරව් කිරීම්වලට මුල් තැන දුන් බවත්, බයිබලය සහ පල්ලි සම්ප්රදාය තේරුම්ගැනීමට සහ එය රැකගැනීමට ඇති හොඳම මෙවලම වශයෙන් ප්ලේටෝවාදී දර්ශනවාදය සැලකූ” බවත් කියැවෙනවා.
අමරණීය ආත්මයක් පිළිබඳ විශ්වාසය ප්ලේටෝ පවා විශ්වාස කළා. අමරණීය ආත්මය පිළිබඳ විශ්වාසය, “ක්‍රිස්තියානි” දේවධර්මය තුළට රිංගාගත් ඉතා ප්රමුඛ පෙළේ බොරු ඉගැන්වීමක් වීමද සුවිශේෂී දෙයක්. එවැනි ඉගැන්වීමක් පිළිගැනීම, ක්‍රිස්තියානි ධර්මය මිනිසුන්ගේ සිත්ගැනීමට හේතු වන බව කීමෙන් කිසිසේත් යුක්තිසහගත කළ නොහැකියි. ග්‍රීක් සංස්කෘතියේ හදවත වූ අතීනසයේ දේශනා කරද්දී, අමරණීය ආත්මය යන ප්ලේටෝගේ මූලධර්මය ප්‍රේරිත පාවුල් ඉගැන්වූයේ නැහැ. ඔහු කියූ දෙය බොහෝ ග්‍රීක් ජාතිකයන්ට පිළිගත නොහැකි වුණත්, ඔහු දේශනා කළේ නැවත නැඟිටීම පිළිබඳ ක්‍රිස්තියානි මූලධර්මයයි.—ක්‍රියා 17:22-32.
ග්‍රීක් දර්ශනවාදයට වෙනස්ව, බයිබලය මිනිසාට අමරණීය ආත්මයක් කියන දෙයක් නැති බවත්, ඔහු ප්‍රාණයක් වන බවත් පැහැදිලිව කියනවා. (උත්පත්ති 2:7) මරණයේදී, ඒ ප්‍රාණය නසිනවා. (එසකියෙල් 18:4) දේශනාකාරයා 9:5 අපට මෙසේ කියනවා: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.” ආත්මයේ අමරණීයභාවය පිළිබඳ මූලධර්මය බයිබලයේ උගන්වන්නේ නැහැ.
තවත් රැවටිලිකාර ඉගැන්වීමක් වන්නේ, මනුෂ්‍යත්වය ලැබීමට පෙර, යේසුස් ඔහුගේ පියාට සමාන බව විස්තර කරන යේසුස් පිළිබඳ සංකල්පයයි. මුල් සියවස් තුනේ පල්ලිය (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ පැහැදිලි කරනවා: “ත්‍රිත්වය නමැති මූලධර්මයට ඇත්තේ, . . . යුදෙව් සහ ක්‍රිස්තියානි ලියවිලිවලට සම්පූර්ණයෙන්ම පිටස්තර මූලාරම්භයක්.” ඒ මූලාරම්භය කුමක් වූවාද? එම මූලධර්මය “ප්ලේටෝ පියවරුන්ගේ උකුල පිට ඇති දැඩි වී, ක්‍රිස්තියානි ධර්මය සමඟ ඒකාබද්ධ වුණා.”
ඇත්තෙන්ම, කාලයත් සමඟ පල්ලි පියවරුන් වැඩි වැඩියෙන් නව ප්ලේටෝවාදයෙන් මහත් බලපෑමකට ලක්වීමත් සමඟම, ත්රිත්වවාදීන්ගේ අනුගාමිකයන් සංඛ්‍යාව වැඩි වුණා. තුන්වන සියවසේ තිබූ නව ප්ලේටෝවාදී දර්ශනවාදය, පෙනෙන විදිහට එකඟ වීමට බැරි දේවල් පවා එකඟ වීමට සලස්වන තත්වයක් ඇති කළා. ඒ, දෙවිවරු තිදෙනෙක් එක දෙවියෙකු ලෙස පෙනෙන්න සැලැස්වීමෙනුයි. දෙවිවරුන් තිදෙනා තනි තනිව සිටින අතරේම, තිදෙනා එක්කෙනෙක් විය හැකි බව දර්ශනවාදී තර්ක මගින් ඔවුන් තරයේ කියා සිටියා!
කෙසේවෙතත්, යෙහෝවා සර්වපරාක්‍රම දෙවි බවත්, යේසුස් ක්‍රිස්තුස් ඔහුට වඩා බලයෙන් අඩු ඔහු විසින් මැවූ පුත්‍රයා බවත්, ශුද්ධාත්මය දෙවිගේ ක්‍රියාකාරක බලය බවත් බයිබලය පැහැදිලිවම පෙන්වනවා. (ද්විතීය කථාව 6:4; යෙසායා 45:5; ක්‍රියා 2:4; කොලොස්සි 1:15; එළිදරව් 3:14) ත්‍රිත්ව මූලධර්මය එකම සැබෑ දෙවිව අගෞරවයට පාත්‍ර කරන අතර, මනසට ග්‍රහණය කරගත නොහැකි දෙවිකෙනෙකුගෙන් ඔවුන්ව අහකට හරවමින් මිනිසුන්ව ව්‍යාකූල කරනවා.
ක්‍රිස්තියානි චින්තනය මත නව ප්ලේටෝවාදී බලපෑමේ තවත් එක් ගොදුරක් වන්නේ, බයිබලය මත පදනම් දහස් අවුරුදු පාලනය පිළිබඳ බලාපොරොත්තුවයි. (එළිදරව් 20:4-6) දහස් අවුරුදු පාලනය පිළිබඳ මූලධර්මය පිළිගත් අයව හෙළා දැකීම සම්බන්ධයෙන් ඔරිගන් ප්‍රසිද්ධියක් දැරුවා. අවුරුදු දහසක ක්‍රිස්තුස්ගේ පාලනය පිළිබඳ බයිබලය මත ප්‍රබල ලෙස පදනම් මේ මූලධර්මයට ඔහු එතරම් තදින් විරුද්ධ වූයේ ඇයි? කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ උත්තර දෙනවා: “[ඔරිගන්ගේ] මූලධර්ම පදනම් වී තිබුණේ නව ප්ලේටෝවාදය මත නිසා . . . දහස් අවුරුදු පාලනය පිළිගත් අයගේ පැත්ත ගන්න ඔහුට බැරි වුණා.”
සත්‍යය
ඉහත සඳහන් අලුත වර්ධනය වූ එක ඉගැන්වීමකටවත් සත්‍යය සමඟ සම්බන්ධයක් නැහැ. බයිබලයේ ඇති සියලුම ක්‍රිස්තියානි ඉගැන්වීම්වල පදනම මෙම සත්‍යයයි. (2 කොරින්ති 4:2; තීතස් 1:2, 14; 2 යොහන් 1-4) සත්‍යයේ එකම උල්පත බයිබලයයි.—යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16.
කෙසේවෙතත්, යෙහෝවාගේත්, සත්‍යයේත්, මනුෂ්යවර්ගයාගේත්, සදාකාල ජීවනයේත් සතුරා, එනම් ‘මිනීමරන්නා’ සහ “බොරුවේ පියා” වන සාතන් නමැති යක්ෂයා, සත්‍යය දූෂණය කිරීම සඳහා විවිධාකාර කපටි ක්‍රම පාවිච්චි කර තිබෙනවා. (යොහන් 8:44; සසඳන්න 2 කොරින්ති 11:3.) ඔහුට ඇති ප්රබලතම ආයුධ අතුරින්, ඔහු මිථ්‍යා දෘෂ්ටික ග්‍රීක් දර්ශනවාදී ඉගැන්වීම් නමැති ආයුධ පාවිච්චි කර ඇති අතර, ඇත්තෙන්ම එය ක්‍රිස්තියානි ඉගැන්වීම්වල අඩංගු දේවල් සහ ස්වභාවය වෙනස් කිරීමට වෑයමක් වූ ඔහුගේම සිතුවිලි පිළිබිඹු කිරීමක් වෙනවා.
ක්‍රිස්තියානි ඉගැන්වීමේ සහ ග්‍රීක් දර්ශනවාදයේ මේ අස්වාභාවික මුසුව, බයිබල් සත්‍යය බාල කර දමා, මෘදු, අවංක සහ ඉගෙනගැනීමට කැමති සත්‍යය සොයන්නන් ඉදිරියේ එහි ප්‍රබලත්වය සහ ආකර්ෂණීයභාවය නැති කර දැමීමේ වෑයමක් වුණා. (1 කොරින්ති 3:1, 2, 19, 20) එමෙන්ම, සත්‍යය සහ බොරුව අතර ඇති වෙනස බොඳ කරමින් ඉතා පැහැදිලි නිර්මල බයිබල් මූලධර්ම දූෂ්‍ය කිරීමටත් එහි නැඹුරුවාවක් තිබෙනවා.
අදදින, සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම් යළි පිහිටුවමින් තිබෙනවා. එමෙන්ම, සත්‍යය සොයන අවංක අයට, සැබෑ ක්‍රිස්තියානි සභාව එහි ඵල මගින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. (මතෙව් 7:16, 20) එවැනි අයට සත්‍යයේ අමිශ්‍ර වතුර සොයාගැනීමට උපකාර කරන්නත්, අපේ පියා වන යෙහෝවා දෙන සදාකාල ජීවනයේ උරුමය තදින් අල්ලාගැනීමට ඔවුන්ට උපකාර කරන්නත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සහ ඉතා ඕනෑකමින් සිටිනවා.—යොහන් 4:14; 1 තිමෝති 6:19.
[11වන පිටුවේ පින්තූරය]
ඔගස්ටීන්
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ග්‍රීක් පාඨය: Ancient Greek Writers නමැති පොත ඇසුරෙන්: Plato’s Phaedo, 1957, Ioannis N. Zacharopoulos, Athens; ප්ලේටෝ: Musei Capitolini, Roma