යෙහෝවා මාර්ගය සූදානම් කරයි
‘රාජ්‍යයේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරනු ලබන්නේය.’—මතෙව් 24:14.
1. පළමු ශතවර්ෂය සහ 20වන ශතවර්ෂය යන දෙකේම දේශනා කිරීමේ වැඩය මගින් ඉටු කර තිබෙන්නේ කුමක්ද?
යෙහෝවා ප්‍රේමයේ දෙවි කෙනෙක් නිසා, “සියලු [ආකාර, NW] මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට [පැමිණීම]” ඔහුගේ කැමැත්තයි. (1 තිමෝති 2:3, 4) මේ සඳහා ජාත්‍යන්තර දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ ව්‍යාපෘතියක් අවශ්‍ය කර තිබෙනවා. පළමු ශතවර්ෂයේදී, මෙම දේශනා කිරීම තුළින් ක්‍රිස්තියානි සභාව “සැබෑවේ කනුව සහ අත්තිවාරම” බවට පත් වුණා. (1 තිමෝති 3:15) පසු කාලයකදී මහත් ඇදහිල්ල අතහැර යෑමේ දීර්ඝ කාලපරිච්ඡේදයක් පැමිණි අතර, එමගින් සත්‍යයේ ආලෝකය අඳුරු වුණා. “අන්තිම කාලය” වන වත්මන් කාලවලදී, මිලියන ගණනකට, බයිබලය මත පදනම් සදාකාල ගැළවීම සම්බන්ධයෙන් වූ බලාපොරොත්තුවක් ගෙනෙමින් ‘සැබෑ දැනගැන්ම’ නැවතත් වැඩි වී තිබෙනවා.—දානියෙල් 12:4.
2. දේශනා කිරීමේ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් යෙහෝවා කර තිබෙන්නේ කුමක්ද?
2 දෙවිගේ අරමුණ වැළැක්වීම සඳහා කරන සාතන්ගේ නිරන්තර උත්සාහයන් හමුවේ වුණත්, පළමු ශතවර්ෂයේ සහ 20වන ශතවර්ෂයේ දේශනා කිරීමේ කාර්යයට පුදුමාකාර සාර්ථකත්වයක් ලැබී තිබෙනවා. එය යෙසායාගේ අනාවැකිය මනසට නංවනවා. පොදු යුගයට පෙර හයවන ශතවර්ෂයේදී, යුදයට යළි පැමිණි පිටුවහල් කරන ලද යුදෙව්වන් සම්බන්ධයෙන් යෙසායා මෙහෙම ලිව්වා: “සියලු මිටි තැන් උස්වන්නේය, සියලු කඳු හා හෙල් පහත්කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලාකරනු ලබන්නේය.” (යෙසායා 40:4) පළමු ශතවර්ෂයේදී සහ 20වන ශතවර්ෂයේදීත්, අතිවිශාල දේශනා කිරීමේ ව්‍යාපෘති සඳහා යෙහෝවා මාර්ගය සූදානම් කර, සුමට කර තිබෙනවා.
3. යෙහෝවාට තම අරමුණු ඉටු කරගත හැක්කේ කිනම් ආකාරවලින්ද?
3 ශුභාරංචිය දේශනා කිරීම වැඩිවර්ධනය කිරීම සඳහා පොළොවේ සිදු වන සෑම වර්ධනයක් කෙරෙහිම යෙහෝවා කෙළින්ම බලපෑම් කළ බව මෙයින් අදහස් කරන්නේ නැහැ. එමෙන්ම යෙහෝවා තම දූරදර්ශීභාවය, සිදු වෙන්න යන සෑම කාරණයක්ම නිශ්චිතව දැනගැනීම සඳහා යොදවන බවක් මෙයින් අදහස් වන්නෙත් නැහැ. අනාගතික සිදුවීම් කලින් දැකීමට සහ සකස් කිරීමට ඔහුට හැකි බව පිළිගත යුතුයි. (යෙසායා 46:9-11) නමුත් වර්ධනය වීම් ක්‍රියාත්මක වීමට පටන්ගන්නා විටත් ඊට ප්‍රතිචාරය දැක්වීමට ඔහුට පුළුවන්. තම රැළ මෙහෙයවිය යුත්තේ කෙසේද කියාත්, උන්ව ආරක්ෂා කළ යුත්තේ කෙසේද කියාත් දන්නා පළපුරුදු එඬේරෙක් හා සමානව, යෙහෝවා තම ජනයාට මඟ පෙන්වනවා. ඔවුන්ගේ ආත්මිකත්වය ආරක්ෂා කරමින්, එමෙන්ම ලොව පුරා සාර්ථක දේශනා සේවයකට දිරි දෙන අවස්ථාවන්ගෙන් සහ වර්ධනය වීම්වලින් ප්‍රයෝජන ලබාගැනීම සඳහා ඔවුන්ව පොලඹවමින් ඔහු ඔවුන්ව ගැළවීම කරා මඟ පෙන්වනවා.—ගීතාවලිය 23:1-4.
දුෂ්කර පැවරුමක්
4, 5. ශුභාරංචිය දේශනා කිරීම අභියෝගාත්මක පැවරුමක් වී තිබෙන්නේ මන්ද?
4 නෝවාගේ දවසේදී සිදු වූ නැව ගොඩනැඟීම හා සමානව, පළමු ශතවර්ෂයේදී සහ නූතන කාලවලදී රාජ්‍යය දේශනා කිරීමේ කාර්යය අතිවිශාල ව්‍යාපෘතියක් වී තිබෙනවා. ඕනෑම මනුෂ්‍යයෙක් වෙත මොනයම් හෝ පණිවුඩයක් සමඟින් ළඟාවීමේ කාර්යය ඉතාමත් අසීරු කටයුත්තක් වන අතර, මෙම කාර්යය විශේෂයෙන්ම අභියෝගාත්මක දෙයකුත් වුණා. පළමු ශතවර්ෂයේදී, ගෝලයන් සාපේක්ෂ වශයෙන් සුළු පිරිසකුයි සිටියේ. ඔවුන්ගේ නායකයා වූ යේසුව රාජ ද්‍රෝහියෙක් ලෙස හඳුන්වා මරණයට පත් කර තිබුණා. එමෙන්ම යුදෙව් ආගම හොඳින් ස්ථාපිත වෙලයි තිබුණේ. යෙරුසලමෙහි විශිෂ්ට දේවමාළිගාවක්ද පිහිටා තිබුණා. මධ්‍යධරණි ප්‍රදේශයෙහි තිබුණු යුදෙව් නොවන ආගම් පවා දේවමාළිගා සහ පූජකයන්ගෙන් සමන්විතව හොඳින් ස්ථාපිත වෙලයි තිබුණේ. ඒ හා සමානව 1914දී, “අන්තිම කාලය” පටන්ගත් විට, ආලේප ලත් ක්‍රිස්තියානීන් සුළු පිරිසක් සිටි අතර, දෙවිට සේවය කරනවායයි පවසමින් වෙනත් ආගම්වලට ඇලී සිටින්නන් විශාල පිරිසක් සිටියා.—දානියෙල් 12:9.
5 ඔවුන් පීඩා ලබන්න යන බව යේසු තම අනුගාමිකයන්ට අනතුරු අඟවා තිබුණා. ඔහු මෙසේ පැවසුවා: “එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.” (මතෙව් 24:9) එවැනි ගැටලුවලට අමතරව, විශේෂයෙන්ම “අන්තිම දවස්වලදී” තමන්, “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” මධ්‍යයෙහි සිටින බව ක්‍රිස්තියානීන්ට අවබෝධ වෙන්න යනවා. (2 තිමෝති 3:1, NW) කාර්යයේ විශාලත්වය, නිශ්චිත වශයෙන්ම පීඩා විඳීමට සිදුවීම සහ කාලයේ අසීරුතාව යනාදිය දේශනා කිරීමේ කාර්යය අභියෝගයක් සහ අපහසු කාර්යයක් බවට පත් කර තිබෙනවා. එනිසා මහත් ඇදහිල්ලක් අවශ්‍ය වී තිබෙනවා.
6. සාර්ථකත්වය සම්බන්ධයෙන් යෙහෝවා තම ජනයාට දුන්නේ කිනම් සහතිකයද?
6 දුෂ්කරතා පැනනඟින බව යෙහෝවා දැන සිටි අතරම, කිසිම දෙයකට එම වැඩය නතර කිරීමට නොහැකි බවත් ඔහු දැන සිටියා. පළමු ශතවර්ෂයේ සහ 20වන ශතවර්ෂයෙහි කැපීපෙනෙන ඉටුවීමක් තිබෙන සුප්‍රකට අනාවැකියක සාර්ථකත්වය මෙසේ පුරෝකථනය කර තිබුණා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . .ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය.”—මතෙව් 24:14, ඇල අකුරු අපගේය.
7. පළමු ශතවර්ෂයේ දේශනා කිරීමේ කාර්යය කොතෙක් ව්‍යාප්ත වී තිබුණාද?
7 පළමු ශතවර්ෂයේ සිටි දෙවිගේ සේවකයන් ඇදහිල්ලෙන් සහ ශුද්ධාත්මයෙන් පූර්ණව තම පැවරුම කරගෙන යෑම සඳහා ඉදිරියට ගියා. යෙහෝවා ඔවුන් සමඟ සිටි බව ඔප්පු වූ නිසා, ඇතැම්විට ඔවුන් සිතුවාටත් වඩා බොහෝ වැඩියෙන් ඔවුන් සාර්ථක වුණා. යේසුගේ මරණයෙන් අවුරුදු 27කට පමණ පසුව, පාවුල් කොලොස්සිවරුන්ට ලියන විට, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි [ප්‍රකාශ වූ බව]” ඔහුට පැවසීමට හැකි වුණා. (කොලොස්සි 1:23) ඒ හා සමානව, විසිවන ශතවර්ෂයේ අවසානයට පැමිණෙන විට ශුභාරංචිය රටවල් 233ක දේශනා කරමින් තිබෙනවා.
8. බොහෝදෙනෙක් සත්‍යය වැලඳගෙන තිබෙන්නේ කිනම් ආකාරයේ තත්වයන් යටතේදීද? උදාහරණ දෙන්න.
8 මෑත දශකවලදී ශුභාරංචිය මිලියන ගණනක් වැලඳගෙන තිබෙන අතර, බොහෝදෙනෙක් එසේ කර තිබෙන්නේ අසතුටුදායක වාතාවරණයන් මධ්‍යයේයි. එනම් යුද්ධ, තහනම් කිරීම් සහ කෲර ලෙස වද හිංසා කළ කාලයන් තුළයි. පළමු ශතවර්ෂයේදීත් තත්වය ඒ හා සමාන වුණා. එක් අවස්ථාවක පාවුල්ට සහ සීලස්ට වේවැල්වලින් දරුණු ලෙස පහර දී හිර ගෙයි දැම්මා. එවැනි තත්වයකදී ගෝලයන් සාදයි කියා සිතන්නවත් පුළුවන්ද! නමුත් යෙහෝවා එය කිරීමට එම අවස්ථාව උපයෝගි කරගත්තා. පාවුල්ව සහ සීලස්ව මුදනු ලැබූ අතර, හිර ගෙයි මුලාදෑනියාත් ඔහුගේ පවුලේ අයත් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. (ක්‍රියා 16:19-33) ශුභාරංචියට විරුද්ධ වන අයට, එය ප්‍රකාශ කිරීම නතර කළ නොහැකි බව එවැනි අද්දැකීම්වලින් පෙනෙනවා. (යෙසායා 54:17) නමුත් ක්‍රිස්තියානි ධර්මයේ ඉතිහාසය, නොනැවතී පැමිණි විපත්ති සහ වද හිංසාවලින් පිරුණු යුගයක්ව තිබුණේ නැහැ. පළමු ශතවර්ෂයේදී සහ 20වන ශතවර්ෂයේදී, සාර්ථකව ශුභාරංචිය දේශනා කිරීම සඳහා මාර්ගය සකස් කිරීමට උපකාර වී තිබෙන ඇතැම් හිතකර වර්ධනය වීම් කෙරෙහි දැන් අපි අවධානය යොමු කරමු.
ආගමික වාතාවරණය
9, 10. පළමු ශතවර්ෂයේදී සහ 20වන ශතවර්ෂයේදී, ශුභාරංචිය දේශනා කිරීම සඳහා යෙහෝවා බලාපොරොත්තුව ජනිත කළේ කෙසේද?
9 ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කර්තව්‍යයන් සිදු කළ කාලය සැලකිල්ලට ගන්න. දානියෙල් 9:24-27හි දක්නට ලැබෙන වර්ෂ සති සැත්තෑව පිළිබඳ අනාවැකිය, මෙසියස්ව එළිදරව් වීමට තිබූ වර්ෂය වන පො.යු. 29ට හරියටම යොමු දැක්වුවා. පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන්, දේවල් සිදු වන කාලය හරියටම තේරුම් නොගත්තත් ඔවුන් මෙසියස් එන තෙක් බලාපොරොත්තුසහගතව සිටියා. (ලූක් 3:15) ප්‍රංශ මනුඑල් බිබ්ලික් නමැති පොත මෙසේ පවසනවා: “දානියෙල් විසින් නිශ්චය කළ වර්ෂ සති සැත්තෑව ළඟා වෙමින් තිබුණු බව ජනයා දැන සිටියා. යොහන් බව්තීස්ත විසින් දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබෙන බව ප්‍රකාශ කළ විට කිසිවෙක් පුදුමයට පත් වූයේ නැහැ.”
10 නූතන කාලය ගැන කුමක් කියන්න පුළුවන්ද? අතිවැදගත් සිදුවීමක් වූයේ, රාජ්‍ය බලයෙන් යුක්තව තම පැමිණ සිටීම සනිටුහන් කරමින් යේසු ස්වර්ගයේ රජ බවට පත්වීමයි. මෙය සිදු වූයේ 1914දී බව බයිබල් අනාවැකි පෙන්වනවා. (දානියෙල් 4:13-17) මෙම සිද්ධිය බලාපොරොත්තුවෙන් සිටීම, නූතන දින භක්තිවන්ත මිනිසුන් අපේක්ෂාසහගතව සිටීමට මඟ පාදා තිබෙනවා. සියොන්හි මුරටැඹ ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම පිළිබඳ දැනුම් දීම (ඉංග්‍රීසියෙන්) නමින් වර්ෂ 1879දී මෙම සඟරාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ අවංක බයිබල් ශිෂ්‍යයන් අතරෙත් මෙම බලාපොරොත්තුව පැහැදිලිව දිස් වුණා. එනිසා ආගමික අපේක්ෂාවන් මගින් පළමු ශතවර්ෂයේදී සහ නූතන කාලවලදී ශුභාරංචිය දේශනා කිරීම සඳහා වාතාවරණය සකස් වුණා.a
11. ශුභාරංචිය දේශනා කිරීම සඳහා මඟ සකස් කිරීමට දායක වූ ආගමික අත්තිවාරම කුමක්ද?
11 මෙම යුගයන් දෙකේදීම ක්‍රිස්තියානීන්ට උපකාර කළ තවත් සාධකයක් වූයේ, බොහෝදෙනෙක් ශුද්ධ ලියවිලි ගැන අවබෝධයක් ඇතුව සිටීමයි. පළමු ශතවර්ෂයේදී යුදෙව් ප්‍රජාව විසිර සිටියේ අවට තිබූ අන්‍ය ජාතීන්ගෙන් යුත් ප්‍රදේශවලයි. ජනයා ශුද්ධ ලියවිලි කියවීමට සහ සාකච්ඡා කිරීමට නිතිපතා මුණගැසුණු සිනගෝගයන් එම ප්‍රජාවන්ට තිබුණා. එනිසා, ජනයාට එවිටමත් තිබුණු ආගමික දැනුම මත ඇදහිල්ල ගොඩනඟන්න මුල් ක්‍රිස්තියානීන්ට හැකි වුණා. (ක්‍රියා 8:28-36; 17:1, 2) යෙහෝවාගේ ජනයා අපේ යුගයේ මුල් කාලයේදී, බොහෝ රටවල ඒ හා සමාන වාතාවරණයක් අද්දැක තිබෙනවා. ක්‍රිස්තියානි ලෝකය පුරාම, විශේෂයෙන්ම රෙපරමාදු රටවල්වල බයිබලය විශාල ලෙස බෙදාහැර තිබුණා. එය බොහෝ පල්ලිවල කියවනු ලැබූ අතර, මිලියන ගණනකට එහි පිටපතක් තිබුණා. බයිබලය දැනටමත් ඔවුන් සතුව තිබෙන නමුත් ජනයාට එහි තිබෙන දේ තේරුම්ගැනීමට උපකාරය අවශ්‍යයි.
නීතියෙන් ලැබෙන ප්‍රයෝජන
12. පළමු ශතවර්ෂයේදී, රෝම නීතිය බොහෝවිට ආරක්ෂාවක් වුණේ කොහොමද?
12 ආණ්ඩු විසින් පනවා ඇති නීති ක්‍රිස්තියානි දේවසේවයට නිතරම පාහේ ප්‍රයෝජනවත් වී තිබෙනවා. පළමු ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය විසින් ලොව පුරා තම අණසක පතුරුවා තිබූ අතර, එහි ලිඛිත නීති එදිනෙදා ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කර තිබුණා. මෙම නීති මගින් ආරක්ෂාව සැපයූ අතර, මුල් ක්‍රිස්තියානීන් එමගින් ප්‍රයෝජන ලැබුවා. උදාහරණයකට, පාවුල් රෝම නීතියට අභියාචන කළ නිසා ඔහු හිර ගෙයින් නිදහස් වූ අතර තැළුම් කෑමෙන්ද ගැළවුණා. (ක්‍රියා 16:37-39; 22:25, 29) රෝම නීති පද්ධතිය ගැන සඳහන් කිරීම, එපීසයේ සිටි කලහකාරි කණ්ඩායමක්ව සන්සුන් කිරීමට උපකාර වුණා. (ක්‍රියා 19:35-41) රෝම පුරවැසියෙක් වූ නිසා වරක් පාවුල් යෙරුසලමේදී සාහසික ක්‍රියාවලට ලක්වීමෙන් ගැළවුණා. (ක්‍රියා 23:27) ඉන්පසු, කායිසර් ඉදිරියේ තම ඇදහිල්ල යුක්තිසහගත කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට රෝම නීතිය ඔහුට ඉඩ සලසා දුන්නා. (ක්‍රියා 25:11) කායිසර්වරු කීපදෙනෙක් කුරිරු ඒකාධිපතීන් ලෙස පාලනය කළත්, පළමු ශතවර්ෂයේ තිබුණු නීති සාමාන්‍යයෙන් ‘ශුභාරංචිය ගැන උත්තර දීමට සහ එය ස්ථිර කිරීමට’ ඉඩ සලසා දුන්නා.—පිලිප්පි 1:7.
13. අපේ කාලයේ දේශනා කිරීමේ කාර්යය නීතිය මගින් නිතරම ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?
13 ඒ හා සමාන දෙයක් අදදින බොහෝ රටවල්වල සිදු වෙමින් පවතිනවා. ‘පනතෙන් නපුර යොදන’ අය සිටියත්, බොහෝ රටවල්වල තිබෙන ලිඛිත නීති මගින්, ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස සැලකීමට ප්‍රස්තාව සලසනවා. (ගීතාවලිය 94:20) යෙහෝවාගේ සාක්ෂිකරුවන්, සමාජ පිළිවෙතට කිසිම තර්ජනයක් එල්ල නොකරන බව වටහාගැනීම නිසා, බොහෝ රජයන් අපට නීත්‍යනුකූල පිළිගැනීමක් ලබා දී තිබෙනවා. සාක්ෂිකරුවන්ගේ මුද්‍රණ කටයුතු විශාල ප්‍රමාණයක් කර තිබෙන එක්සත් ජනපදවල, පවතින නීතිය මගින් අවුරුදු 120ක් පුරා මුරටැඹ සඟරාව නොකඩවා මුද්‍රණය කිරීමට සහ ලෝක ව්‍යාප්තව කියවීමට ඉඩ දී තිබෙනවා.
සාමකාමී හා සන්සුන් කාලපරිච්ඡේදයන්
14, 15. සමාජයේ සාපේක්ෂ වශයෙන් පැවති සාමකාමී වාතාවරණය පළමු ශතවර්ෂයේ දේශනා කිරීමේ කාර්යයට උපකාර වූයේ කෙසේද?
14 සාමය යම් දුරකට පවතින කාලපරිච්ඡේදයන් දේශනා කිරීමේ කාර්යයටත් ප්‍රයෝජනවත් වී තිබෙනවා. අදාළ කාලයේදී ‘ජාතියක් ජාතියකට විරුද්ධව නැඟිටින’ බව යේසු නිවැරදිව පුරෝකථනය කළත්, ඒ අතරතුර දේශනා කිරීමේ කාර්යය පුළුල් ලෙස කරගෙන යෑමට උපකාර කළ සාමකාමී කාලපරිච්ඡේදයනුත් තිබුණා. (මතෙව් 24:7) පළමු ශතවර්ෂයේදී ක්‍රිස්තියානීන් පැක්ස් රොමානා හෙවත් රෝම සාමය යටතේ ජීවත් වුණා. එක් ඉතිහාසඥයෙක් මෙහෙම ලිව්වා: “රෝමවරුන් විසින් කොපමණ දුරකට මධ්‍යධරණි ප්‍රදේශයේ සිටි ජනයාව යටත් කරගෙන සිටියාද කිව්වොත්, ඔවුන් මුළුමනින්ම යුද්ධයෙන් පිරි වකවානුවක් අවසන් කළා.” සාපේක්ෂ වශයෙන් ආරක්ෂාසහගතව රෝම ලෝකය පුරා ගමන් කිරීමට මෙම සාමකාමී වාතාවරණය මුල් ක්‍රිස්තියානීන්ට මාර්ගය විවර කළා.
15 රෝම අධිරාජ්‍යය තම දැවැන්ත හස්තය යටතේ සිටි ජනයාව එක්සත් කිරීමට වෙර දැරුවා. මෙම ප්‍රතිපත්තිය ගමනාගමනය, අන් අය සමඟ පෑහී කටයුතු කිරීම සහ අදහස් හුවමාරු කරගැනීම පමණක් නොවෙයි, නමුත් ජාත්‍යන්තර සහෝදරත්වය නමැති සංකල්පයත් වර්ධනය කළා. ශිෂ්ටාචාරයට යන මාවත (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙලෙස සඳහන් වෙනවා: “[රෝම] අධිරාජ්‍යයේ තිබුණු එක්සත්කම [ක්‍රිස්තියානි දේශනා සේවය සඳහා] හිතකර පසුබිමක් ඇති කළා. ජාතිවාදී බාධක බිඳ දමා තිබුණා. රෝම පුරවැසියාව ලෝකයේ පුරවැසියෙක් ලෙස සැලකුවා. . . . තවදුරටත්, විශ්වනීය පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ අදහස වර්ධනය කර තිබූ අධිරාජ්‍යයක් තුළ මනුෂ්‍යයන්ගේ සහෝදරත්වය ගැන ඉගැන්වූ ආගමක් ඔවුන්ට අසාමාන්‍ය දෙයක් වුණේ නැහැ.—සසඳන්න ක්‍රියා 10:34, 35; 1 පේතෘස් 2:17.
16, 17. නූතන කාලවලදී සාමය ඇතිවීමට පොලඹවා ඇත්තේ කුමක්ද? එමෙන්ම බොහෝ මනුෂ්‍යයන් එළඹ ඇති නිගමනය කුමක්ද?
16 අපගේ කාලය ගැන කුමක් කියන්න පුළුවන්ද? ඉතිහාසය තුළ සිදු වූ වඩාත් විනාශකාරිම යුද්ධ 20වන ශතවර්ෂයේ දැක තිබෙන අතර, ප්‍රාදේශීය යුද්ධ දරුණු ලෙස දිගටම පවතිනවා. (එළිදරව් 6:4) නමුත් සාපේක්ෂ වශයෙන් සාමකාමී කාලපරිච්ඡේදයන්ද තිබී ඇත. අවුරුදු 50කටත් වඩා වැඩි කාලයකට, ලෝකයේ ප්‍රධාන බලවතුන් මහා යුද්ධයකට පැටලැවී නැහැ. මෙම තත්වය එම රටවල්වල ශුභාරංචිය දේශනා කිරීමට මහත් සේ උපකාර වී තිබෙනවා.
17 විසිවන ශතවර්ෂයේ යුද්ධවලට තිබෙන බිය, ලෝක ආණ්ඩුවක් සඳහා ඇති අවශ්‍යතාව අවබෝධ කරගැනීමට බොහෝ ජනයාට මඟ පාදා තිබෙනවා. ලෝක යුද්ධයකට තිබෙන බිය ජාතීන්ගේ සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට දායක වී තිබෙනවා. (එළිදරව් 13:14) මෙම සංවිධාන දෙකේම ප්‍රකාශ කළ ඉලක්කය වී තිබෙන්නේ ජාත්‍යන්තර සහයෝගිතාව සහ සාමය වර්ධනය කිරීමයි. එවැනි දෙයක අවශ්‍යතාව දැනෙන මනුෂ්‍යයන්, සැබෑ මෙන්ම දිගු කල් පවතින සාමය ගෙනෙන ලෝක ආණ්ඩුවක් වන දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට බොහෝවිට හිතකර ලෙස ප්‍රතිචාරය දක්වනවා.
18. ආගම කෙරෙහි තිබූ කිනම් ආකල්පය දේශනා කිරීමේ කාර්යයට හිතකර ලෙස දායක වී තිබෙනවාද?
18 ඇතැම් කාලවලදී ක්‍රිස්තියානීන්ට කුරිරු ලෙස වද හිංසා කර තිබුණත්, පළමු සහ 20වන ශතවර්ෂවල ආගමික වශයෙන් සන්සුන් කාලපරිච්ඡේදයන් දක්නට ලැබී තිබෙනවා. (යොහන් 15:20; ක්‍රියා 9:31) රෝමවරුන්, තමන් යටත් කරගත් ජනතාවගේ දෙවි දේවතාවුන්ව ඉක්මනින්ම භාරගත් අතර, ඒ අනුව සැකසුණා. මහාචාර්ය රොඩ්නි ස්ටාක් මෙසේ ලිව්වා: “අමෙරිකානු විප්ලවය එන තෙක් නැවතත් දකින්න නොලැබුණු ආකාරයේ මහත් ආගමික නිදහසක් බොහෝ පැතිවලින් රෝමවරුන් සැපයුවා.” නූතන කාලවලදී, රටවල් බොහොමයක සිටින ජනයා අනිත් අයගේ අදහස්වලට වඩාත් විවෘත වී සිටින නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙනෙන බයිබල් පණිවුඩයට ඇහුම්කන් දීමට කැමැත්තක් දක්වා තිබෙනවා.
තාක්ෂණයේ කාර්යභාරය
19. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් කෝඩෙක්ස් ප්‍රයෝජනයට ගත්තේ කොහොමද?
19 තාක්ෂණික දියුණු වීම්වලින් ප්‍රයෝජන ගැනීමට යෙහෝවා තම ජනයාට උපකාර කර තිබෙන්නේ කෙසේද කියා අවසාන වශයෙන් සැලකිල්ලට ගන්න. මුල් ක්‍රිස්තියානීන් වේගවත් තාක්ෂණික දියුණුවක් ලැබූ යුගයක ජීවත් නූණත්, ඔවුන් සිදු කළ එක් වැඩිදියුණු කිරීමක් වූයේ කෝඩෙක්ස් නොහොත් පිටු තිබෙන පොත් භාවිතයට ගැනීමයි. හැසිරවීමට අපහසු අත්පිටපත් වෙනුවට කෝඩෙක්ස් භාවිතයට යොදාගත්තා. කෝඩෙක්ස්වල උපත (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ සඳහන් කරනවා: “ලෞකික පොත් පත් සම්බන්ධයෙන් ගත් විට, අත්පිටපත් වෙනුවට කෝඩෙක්ස් භාවිත කිරීම ඉතාමත් මන්දගාමීව සහ ටිකෙන් ටික කෙරීගෙන ගියත්, ක්‍රිස්තියානීන් විසින් කෝඩෙක්ස් යොදාගැනීම ඉතා ඉක්මනින් මෙන්ම සෑම තැනකම සිදු කළ බව පෙනෙන්න තිබුණා.” මෙම යොමු සටහන මෙසේත් පවසනවා: “දෙවන ශතවර්ෂයේදී කොතෙක් පුළුල් ලෙස කෝඩෙක්ස් භාවිත කළාද කියනවා නම්, එය භාවිත කිරීමට පටන්ගත්තේ ක්‍රි.ව. 100ට කලින් බව පැවසිය හැකියි.” අත්පිටපතක් භාවිත කරනවාට වටා කෝඩෙක්ස් පාවිච්චි කිරීම වඩාත් පහසු වුණා. ශුද්ධ ලියවිලි පද ඉක්මනින් සොයාගත හැකි වුණා. ශුද්ධ ලියවිලි නිකම්ම පැහැදිලි කිරීම පමණක් නොකර තමන් උගන්වමින් සිටි දේ ‘යොමු දැක්වීම් තුළින් ඔප්පු කළ’ පාවුල් වැනි මුල් ක්‍රිස්තියානීන්ට නිසැකවම මෙය උපකාරවත් වුණා.—ක්‍රියා 17:2, 3, NW.
20. ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යයේදී දෙවිගේ ජනයා නූතන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ කොහොමද? එමෙන්ම ඒ ඇයි?
20 අපේ ශතවර්ෂයේ ඇති වූ තාක්ෂණික දියුණුව පුදුමසහගත දෙයක් වී තිබෙනවා. අධිවේගී මුද්‍රණාල, භාෂා ගණනාවකින් බයිබල් පොත් පත් සමගාමීව ප්‍රකාශයට පත් කිරීමට මඟ පාදා තිබෙනවා. නූතන තාක්ෂණය බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය වේගවත් කර තිබෙනවා. ට්‍රක් රථ, දුම්රියවල්, නැව් සහ ගුවන් යානා නිසා බයිබල් පොත් පත් ඉක්මනින්ම ලොව පුරා ප්‍රවාහණය කිරීමට හැකි වී තිබෙනවා. දූරකථන සහ ෆැක්ස් යන්ත්‍ර නිසා ශීඝ්‍ර පණිවුඩ හුවමාරුව යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. ශුභාරංචිය ලොව පුරා බෙදාහැරීම වර්ධනය කිරීම සඳහා එවැනි තාක්ෂණයක් ප්‍රායෝගික ලෙස යොදාගැනීමට යෙහෝවා තම ආත්මය තුළින් තම සේවකයන්ව පොලඹවා තිබෙනවා. ඔවුන් එවැනි දියුණු වීම් ප්‍රයෝජනයට ගැනීමේ මූලික චේතනාව වන්නේ එන එන සෑම නවීන නිෂ්පාදනයක්ම දැනගැනීමට හෝ යොදාගැනීමට තිබෙන ආශාව නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ පළමු සහ ප්‍රධානම ආශාව වන්නේ, තම දේශනා කිරීමේ මෙහෙය වඩාත් කාර්යක්ෂමව කරගෙන යෑමට තමන්ට උපකාර වන්නේ කුමක්ද කියා දැනගැනීමයි.
21. අපේ විශ්වාසය විය යුත්තේ කුමක්ද?
21 ‘රාජ්‍යයේ මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන’ බව යේසු පුරෝකථනය කළා. (මතෙව් 24:14) මුල් ක්‍රිස්තියානීන් එම ආනාවැකියේ ඉටුවීමක් දැක්කා හා සමානව, අප අදදින එය විශාල පරිමාණයකින් දකිනවා. මෙම කාර්යය කොතරම් දැවැන්ත සහ දුෂ්කර වුණත්, හිතකර සහ හිතකර නොවන කාලයන් තුළදීත්, වෙනස් වන නීති සහ ආකල්ප හමුවෙත්, යුද්ධය සහ සාමය මධ්‍යයෙත්, එමෙන්ම සෑම ආකාරයකම තාක්ෂණික දියුණු වීම් මධ්‍යයෙත් ශුභාරංචිය දේශනා කර තිබෙනවා, එය කරමින් පවතිනවා. මෙය යෙහෝවාගේ ප්‍රඥාව සහ මවිතකර දූරදර්ශීභාවය කෙරෙහි ගෞරවාන්විත බියක් ඔබ තුළ ජනිත කරන්නේ නැද්ද? දේශනා කිරීමේ කාර්යය යෙහෝවාගේ කාලසටහනට අනුව සම්පූර්ණ වන බවටත්, ඔහුගේ ප්‍රේමනීය අරමුණ තුළින් ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද ගෙනෙන්න යන බවටත් අපට සම්පූර්ණයෙන්ම ස්ථිර විය හැකියි. ඔවුන් පොළොව උරුම කරගන්න යන අතර, එහි සදාකාලයටම වාසය කරන්න යනවා. (ගීතාවලිය 37:29; හබක්කුක් 2:3) අප යෙහෝවාගේ අරමුණට අනුකූලව ජීවත් වෙනවා නම් අප ඔවුන් අතර සිටින්න යනවා.—1 තිමෝති 4:16.
[පාදසටහන]
a මෙම මෙසියානු අනාවැකි දෙක පිළිබඳව වැඩි දුර පැහැදිලි කිරීමක් සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 36, 97 සහ 98-107 පිටු බලන්න.
පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න
◻ ශුභාරංචිය දේශනා කිරීම අභියෝගාත්මක පැවරුමක් වී තිබෙන්නේ ඇයි?
◻ ක්‍රිස්තියානීන්ගේ වැඩයට ආණ්ඩුමය විධිවිධානවලින් සහ සාපේක්ෂ වශයෙන් සමාජයේ පවතින සන්සුන් වාතාවරණයෙන් උපකාර ලැබී ඇත්තේ කිනම් ආකාරවලින්ද?
◻ දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා ආශීර්වාද කර තිබීම නිසා, කිනම් අනාගතික වැඩිවර්ධනයන් ගැන අපට ස්ථිර විය හැකිද?