ඔබේ ජීවිතය සාර්ථක කරගන්න!
“දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ . . . [මනුෂ්‍යයා සන්තෝෂවත්ය, NW]. ඔහු කරන සියල්ල සඵලවෙයි [සාර්ථක වෙයි, NW].”—ගීතාවලිය 1:1-3.
1. (අ) ලෝකයේ සිටින යෞවනයන් වැඩිදෙනෙක් සාර්ථකත්වය සලකන්නේ කොහොමද? (ආ) බයිබලය සාර්ථක පුද්ගලයෙකුව විස්තර කරන්නේ කොහොමද?
සාර්ථකත්වය—මින් ඔබට අදහස් කරන්නේ කුමක්ද? එක් යෞවනයෙක් පැවසුවේ “මගේ එකම ඉලක්කය වන්නේ ව්‍යාපාරිකයෙක් හැටියට සාර්ථක වීමයි.” “සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කිරීම තමයි මගේ එකම සිහිනය” කියා යෞවනියක් පැවසුවා. නමුත් තවත් යෞවනියක් මෙසේ පැවසුවා: “මගේ එකම පැතුම මටම කියල තැනක් මටම කියල වාහනයක් ලබාගැනීමයි. . . . මම උනන්දු වෙන්නෙ මං ගැන විතරයි.” නමුත් ගැටලුව වන්නේ, මුදල්, පවුලක් හෝ ලාභදායී වෘත්තියක් යන දේවල් සැබෑ සාර්ථකත්වයේ මිම්ම නොවීමයි. ගීතාවලිය 1:1-3 අපට මෙසේ කියවීමට තිබෙනවා: “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ . . . [යෙහෝවාගේ] ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නාවූ, . . . මනුෂ්‍යයා [සන්තෝෂවත්ය, NW]. ඔහු කරන සියල්ල සඵලවෙයි [සාර්ථක වෙයි, NW].”
2. සැබෑ සාර්ථකත්වය සොයාගත හැක්කේ කොතැනින්ද? තවද එය ලබාගැනීමට ඇති එකම මඟ කුමක්ද?
2 මෙහිදී, කොයියම් මනුෂ්‍යයෙකුට හෝ ඉදිරිපත් කළ නොහැකි දෙයක් බයිබලය පොරොන්දු කරයි. එනම් සැබෑ සාර්ථකත්වය! නමුත් එය කතා කරන්නේ ආර්ථික ප්‍රතිලාභ ගැන නෙවෙයි. බයිබලයම මෙසේ අනතුරු අඟවයි: “වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය.” (1 තිමෝති 6:10) යෙහෝවාගේ ව්‍යවස්ථාව අනුගමනය කිරීම ඇතුළුව, දෙවිව සතුටු කිරීමෙන් පමණයි නියම සාර්ථකත්වය නෙළාගත හැක්කේ! සැබෑ සන්තෝෂයත් තෘප්තියත් ලැබිය හැක්කේ මෙයින් පමණයි. සමහරක් විට, යෙහෝවාගේ ව්‍යවස්ථාවට යටත්ව සිටීම හා කළ යුතු වන්නේ කුමක්ද යන්න සිහිගැන්වීම එතරම් ආකර්ෂණීය යමක් සේ දිස් නොවන්ට ඉඩ තිබෙනවා. එහෙත්, යේසුස් මෙසේ පැවසුවා: “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්ය.” (මතෙව් 5:3, NW) ඔබ වටහාගත්තත් නැතත් ඔබව මවා ඇත්තේ ආත්මික අවශ්‍යතා මෙන්ම දෙවි හා ඔහුගේ අරමුණු ගැන වටහාගැනීමට තිබෙන මුල්බැසගත් අවශ්‍යතාව ඇතුවයි. එහෙයින්, එම අවශ්‍යතා සපුරාගෙන ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව’ අනුගමනය කළොත් පමණයි ඔබට සැබෑ සන්තෝෂය අද්දැකිය හැක්කේ.
අපට දෙවිගේ ව්‍යවස්ථාව අවශ්‍ය වන හේතුව
3. ‘අපේ පියවර මඟ පෙන්වීමට’ අප යෙහෝවාට ඉඩ දීමට සතුටු විය යුත්තේ ඇයි?
3 ප්‍රොපේත යෙරෙමියා මෙසේ ලීවා: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම [පියවර මඟ පෙන්වාගැනීමට, NW] අයිති නැත.” (යෙරෙමියා 10:23) මෙය බාල මහලු සියලුදෙනා සම්බන්ධයෙන්ම සැබෑවක් වෙයි. අප අපේම පියවර මඟ පෙන්වාගැනීමට අවශ්‍ය ප්‍රඥාව, අද්දැකීම හා දැනුම නොමැතිව සිටිනවා පමණක් නොව, එසේ කිරීමට අයිතියද අපට නැහැ. එළිදරව් 4:11හි බයිබලයේ මෙසේ පවසයි: “අපගේ [ස්වාමි], අපගේ [දෙවි], ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින [තැනැත්තාය]. මක්නිසාද ඔබ සියලු දේ [මැවුවේය], ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.” අපේ මැවුම්කරු හැටියට යෙහෝවා, “ජීවනයේ උල්පත” වේ. (ගීතාවලිය 36:9) ඒ නිසා, අපේ ජීවිතය අප පාවිච්චි කළ යුතු අන්දම ගැන වෙන කිසිම කෙනෙකුට වඩා ඔහු හොඳින් දන්නවා. එබැවින් අපෙන් සන්තෝෂය සොරාගැනීමට නොව, නමුත් අපටම ප්‍රයෝජන අත් කර දීමටයි ඔහු නීති පැනවූයේ. (යෙසායා 48:17) ඔබ දෙවිගේ නීති ප්‍රතික්ෂේප කළොතින්, ඔබ ඔබේම අසාර්ථකත්වය නියම කරගන්නවා.
4. යෞවනයන් විශාල ප්‍රමාණයක් තම ජීවිත නැති කරගන්නේ ඇයි?
4 උදාහරණයක් හැටියට, මත්ද්‍රව්‍ය, සල්ලාලකම හා වෙනත් දුෂ්ට දේවල් නිසා, යෞවනයන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිත නැති කරගෙන ඇත්තේ මන්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ගීතාවලිය 36:1, 2 [නව අනුවාදය] මෙසේ පැහැදිලි කරයි: “දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත. ඔහු තමා ම පාරට්ටු කරගනියි; සිය අයුතුකම් හෙළි වුව ද වැරදි මඟින් ඉවත් නොවෙයි.” බොහෝ යෞවනයන්ට ‘දෙවි කෙරෙහි ගරුබියක්’ නොමැති බැවින්, අවදානම් සහිත හැසිරීමට කිසිම ප්‍රතිවිපාකයක් නැහැයි කියා විශ්වාස කරන තරමටම තමන්වම රවටාගනියි. නමුත්, අන්තිමේදී, මෙම නොවෙනස් වන ප්‍රතිපත්තියට ඔවුන්ට මුහුණ දීමට සිදු වෙයි. එනම්, “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; [ආත්මය] සඳහා වපුරන්නා [ආත්මයෙන්] සදාකාල ජීවනය කපාගන්නේය.”—ගලාති 6:7, 8.
‘දවස් ගණන් කිරීම’
5, 6. (අ) යෞවනයන් තම ‘දවස් ගණන් කළ’ යුත්තේ ඇයි? තවද එසේ කිරීමෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) ‘අපේ මැවුම්කරුව සිහි කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
5 ඔබේ ජීවිතය සාර්ථක කරගෙන “සදාකාල ජීවනය කපාගන්නේ” කොහොමද? මෝසෙස් මෙසේ ලීවා: “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; . . . එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.” (ගීතාවලිය 90:10) ඔබ මරණය ගැන සිතනවා නම් එසේ කරන්නේ කලාතුරකින් විය හැකියි. ඇත්තෙන්ම, යෞවනයන් වැඩිදෙනෙක් කටයුතු කරන්නේ අපරාජිතයන් හැටියටයි. නමුත් ජීවිතයේ කෙටි-කාලීනබවේ දුක්ඛිත යථාර්ථය වෙතට මෝසෙස් අපේ අවධානය යොමු කරනවා. අවුරුදු 70ක් හෝ 80ක්වත් ජීවත් වෙයිද කියා අපට සහතික විය නොහැකියි. “කාලයත් හදිසි කාරණාත්” නිසා යෞවනව හා නිරෝගීව සිටින අය වුණත් මරණයට පත් විය හැකියි. (දේශනාකාරයා 9:11) එසේ නම්, ඔබ දැන් භුක්ති විඳින ඔබේ අනර්ඝ ජීවිතය ඔබ පාවිච්චි කරන්න යන්නේ කෙසේද? මෝසෙස් මෙසේ යාච්ඤා කළා: “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.”—ගීතාවලිය 90:12.
6 ඔබේ දවස් ගණන් කිරීම යන්නෙහි තේරුම කුමක්ද? ඔබ ජීවත් වන්න යන කාලය ගැන උවමනාවට වැඩියෙන් කරදර වීම ඉන් අදහස් කරන්නේ නැහැ. යෙහෝවාට ගෞරවයක් ගෙන දෙන අයුරින්, මිනිසුන්ට තම ජීවිතයේ ඉතිරි දවස් පාවිච්චි කරන ආකාරය ඉගැන්වීමටයි මෝසෙස් යාච්ඤා කළේ. දෙවිට ප්‍රශංසාව ගෙන ඒම සඳහා තිබෙන අනර්ඝ ප්‍රස්තාවක් හැටියට ජීවිතයේ සෑම දවසක්ම සලකමින්, ඔබ ඔබේ ජීවිතයේ දවස් ගණන් කරනවාද? බයිබලය යෞවනයන්ට මෙම උපදේශය සපයයි: “එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය. තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න.” (දේශනාකාරයා 11:10–12:1) මැවුම්කරුව සිහි කරනවාය කියා කීමෙන් දෙවි පවතින බව මතකයේ තබාගන්නවාට වඩා යමක් අදහස් වෙයි. “ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනව” කියා සොරා යේසුස්ගෙන් උදක්ම ඉල්ලා සිටි විට, ඔහුගේ නම මතක් කරනවාට වඩා වැඩි යමක් ඔහු යේසුස්ගෙන් බලාපොරොත්තු වුණා. ඔහුට වුවමනා වූයේ යේසුස් තමා වෙනුවෙන් යමක් කරනවා දකින්නයි; එනම් තමාව නැවත නැඟිටුවීමයි! (ලූක් 23:42; සසඳන්න උත්පත්ති 40:14, 23; යෝබ් 14:13.) එයාකාරයෙන්ම, යෙහෝවාව සිහි කිරීම යන්නට ක්‍රියාවක් අයත් වෙනවා, එනම් ඔහුව සතුටු කරවන දෙය කිරීමයි. ඔබ යෙහෝවාව සිහි කරනවා කියා කිව හැකිද?
වැරදිකරන්නන් ගැන ඊර්ෂ්‍යා වීමෙන් වළකින්න
7. සමහර යෞවනයන් තමන්ගේ මැවුම්කරුව අමතක කිරීමට තිරණය කරන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.
7 යෞවනයන් වැඩිදෙනෙක් යෙහෝවාව අමතක කර දමන්නේ, සාක්ෂිකරුවෙක් වීම සීමාකාරි වැඩියයි ඔවුන්ට හැඟෙන නිසයි. නහඹරයෙක් වශයෙන් තමාට හැඟුණු ආකාරය ගැන ස්පාඤ්ඤයේ වෙසෙන එක් සහෝදරයෙක් මෙසේ පවසයි: “සත්‍යය අමාරු දෙයක් වගේම හරිම දැඩි එකක් කියල මට හැඟුණු නිසා මම ලෝකයට ආශා කළා. ඒ කියන්නේ, ඉඳගෙන ඉන්න එක, පාඩම් කරන එක, රැස්වීම් යන එක, ටයි එකක් දාන එක වගේ දේවල්වලට මම ඒ තරම්ම කැමති වුණේ නැහැ.” ඔබ දෙවිට සේවය කරන නිසා, යමක් අහිමි වෙනවා කියා ඔබට හැඟෙනවාද? එක් බයිබල් ලේඛකයෙකුටත් එවැනිම හැඟීම් තිබුණාය කියා කිව්වොත් ඔබ සමහරවිට පුදුම වෙයි. කරුණාකර ඔබේ බයිබලය ගීතාවලිය 73ට පෙරළා එය කියවන්න.
8. ආසාප් “අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යා” වූයේ ඇයි?
8 අපි මෙම ගීතිකාව ගැඹුරින් සලකා බලමු. 2වන සහ 3වන ඡේදය මෙසේ පවසයි: “එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය. මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.” ශීර්ෂ පාඨයේ සඳහන් පරිදි මෙය ලියනු ලැබුවේ ආසාප් විසිනි. ඔහු ලෙවී ජාතික සංගීතකරුවෙක් වූ අතර දාවිත් රජුගේ සමාකාලීනයෙක් වුණා. (1 ලේකම් 25:1, 2; 2 ලේකම් 29:30) ඔහුට දේවමාළිගාවේ සේවය කිරීමට කදිම ප්‍රස්තාවක් තිබුණත්, නොපනත්කම ගැන පුරසාරම් දෙඩූ අය ගැන ඔහු ‘ඊර්ෂ්‍යා වුණා.’ ඔවුන් සතුටින් කල් ගත කළ බව පෙනෙන්න තිබුණා. පෙනෙන ප්‍රකාරයට ඔවුන් සාමය හා සුරක්ෂිතභාවය භුක්ති වින්දා. ඇත්තෙන්ම කියනවා නම්, පෙනෙන්න තිබූ ඔවුන්ගේ සාර්ථකත්වය ‘ලබන්ට ආශා වෙනවාටත් වඩා වැඩි යමක් වුණා.’ (5 සහ 7 ඡේද) ඔවුන්ගේ ක්‍රියාවන් ගැන ඔවුන් “උඩඟුලෙස,” එනම් ඉතා අහංකාර ලෙස කතා කළා. (8වන ඡේදය) ස්වර්ගයේ හෝ පොළොවේ සිටින කිසිවෙකු ගැන හැඟීමකින් තොරව “ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.”—9වන ඡේදය.
9. අද සිටින යෞවනයන්ට ආසාප් මෙන් හැඟිය හැක්කේ කොහොමද?
9 සමහරවිට, ඔබේ තුල්‍යයන් ගැන මෙම දෙයම කිව හැකියි. ඔවුන්ගේ නොහික්මුණු ලිංගික හැසිරීම, උමතු සාදයන් හා මත්ද්‍රව්‍ය හා මත්පැන් කෙරෙහි ලොල්වීම ගැන ඔවුන් කිසිදු ලජ්ජ භයකින් තොරව පුරසාරම් දොඩනවා ඔබ අසා ඇති. ඔවුන් භුක්ති විඳිනවායයි කියන ආස්වාදයන් සමඟ ක්‍රිස්තියානියෙකු වශයෙන් ඔබ ගත කළ යුතු පටු මාර්ගය සන්සන්දනය කළ විට, “අහංකාරීන් කෙරෙහි [ඊර්ෂ්‍යාවක්]” ඇති විය හැකියි. (මතෙව් 7:13, 14) ආසාප් පවා මේ තත්වයට පත් වුණා: “සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි.” (13, 14 ඡේද) ඔව්, දෙවිට සේවය කිරීමේ හා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමේ ඇති වටිනාකම ඔහු ප්‍රශ්න කරන්න පටන්ගත්තා.
10, 11. (අ) තම ආකල්පය වෙනස් කරගැනීමට ආසාප්ට තුඩු දුන්නේ කුමක්ද? (ආ) වැරදිකරුවන් “ලිස්සන තැන්වල” සිටින්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.
10 වාසනාවකට, ආසාප් දිගින් දිගටම මෙම බලාපොරොත්තු සුන් වූ තත්වයේ සිටියේ නැහැ. දුෂ්ටයන්ගේ මෙම පෙනෙන්ට තිබෙන සාමය හුදු මායාවක් බව ඔහුට ඉක්මනින්ම වැටහුණා. එය ඇත්තෙන්ම තාවකාලික එකක් වූවා. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල [සිටුවන්නේය]. ඔබ ඔවුන් විනාශයට [හෙළන්නේය]. ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.” (18, 19 ඡේද) එයාකාරයෙන්ම, ඔබේ තුල්‍යයන්ගෙන් වැඩිදෙනෙක්ද සිටින්නේ ‘ලිස්සන තැන්වලයි.’ වැඩි කල් යන්න මත්තෙන්, ඔවුන්ගේ අභක්තික හැසිරීම සම්බන්ධයෙන් ගණන් දීමට ඔවුන්ට සිදු වන අතර නුවමනා ගැබ්ගැනීම්, ලිංගිකව බෝවන රෝග හෝ සිරගත වීම් හෝ මරණය පවා ඉන් අදහස් විය හැකියි! ඊටත් වඩා භයානක දෙය වන්නේ, ඔවුන් දෙවිගේ සතුරන් වීමේ තත්වයකට තමන්වම පත් කරගැනීමයි.—යාකොබ් 4:4.
11 ස්පාඤ්ඤයේ සිටි එක් සාක්ෂිකාරියක් මෙය තම අද්දැකීමෙන්ම ඉගෙනගත්තා. යෞවනියක් වශයෙන් අභක්තික යෞවනයන් කණ්ඩායමකට සම්බන්ධ වූ ඇය දෙබිඩි ජීවිතයක් ගත කළා. වැඩි කලක් යන්න මත්තෙන්, ඇය ඔවුන්ගෙන් කෙනෙකු සමඟ ප්‍රේමයෙන් බැඳුණා. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙක්. ඇය මත්ද්‍රව්‍යවලින් වැළකී සිටියත්, ඇය ඔහු වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිල දී ගත්තා. “මම එයාට කටුව ඇතුල් කරන්නත් උදව් කළා” කියා ඇය පිළිගනියි. වාසනාවකට ඇයව යථා සිහියටත් යහපත් ආත්මික තත්වයකටත් නැවතත් ගෙනාවා. නමුත්, මත්ද්‍රව්‍ය ගත් ඇගේ පෙම්වතා ඒඩ්ස් වැළඳීමෙන් මියගිය බව අවුරුදු කිහිපයකට පසු දැනගැනීමට ලැබුණු විට, ඇය කොතරම් තිගැස්සුණාද! එසේය, ගීතිකාකරු පැවසුවාක් මෙන් අභක්තික මිනිසුන් “ලිස්සන තැන්වල” වසයි. තම නොසංඩාල ජීවන ක්‍රමය නිසා සමහරු අනපේක්ෂිත ලෙස මරණයට පත් විය හැකියි. අනික් අය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තම මාර්ගය වෙනස් කරගත්තේ නැතිනම්, නුදුරු අනාගතයේදී “ස්වාමිවූ [යේසුස්] තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්” වන විට, “[දෙවි] නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ [යේසුස්ගේ] ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල” දෙන කල ඔවුන් එය අද්දකින්න යනවා.—2 තෙසලෝනික 1:6, 7.
12. වැරදිකරන්නන්ට ඊර්ෂ්‍යා වීමේ ඇති නිෂ්ඵලත්වය ජපන් තරුණයෙකුට වැටහුණේ කොහොමද?
12 එසේනම් “දෙවි නාඳුනන්නන්” කෙරෙහි ඊර්ෂ්‍යා වීම කොතරම් මෝඩකමක්ද! ඇත්තෙන්ම, ඊර්ෂ්‍යා විය යුත්තේ, යෙහෝවා හඳුනන, සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇති අය ගැනයි. ජපානයේ එක් යෞවන සහෝදරයෙකුට එය වැටහුණා. යෞවනයෙක් හැටියට, ඔහුටත් “වැඩි නිදහසක් වුවමනා” වුණා. ඔහු මෙසේ පැහැදිලි කරයි: “මට මොකකින් හරි අඩුවක් තිබුණයි කියල මට හිතුණා. සත්‍යය නැතුව මගේ ජීවිතය මොන වගේ එකක් වෙයිද කියල මට තේරුණේ එතකොටයි. මම අවුරුදු 70කින් නැත්තං 80කින් මැරිලා යයි කියල මට හිතුණා. නමුත් යෙහෝවා සදාකාල ජීවනයේ බලාපොරොත්තුව දීලා තියෙනවා. මා සතුව තිබුණ දේ ඇත්තටම අගය කරන්න මේක මට උපකාර කළා.” ඒ වුණත්, දෙවිගේ පනත් අනුගමනය නොකරන අයගෙන් වට වී සිටින අතරේදී ඇදහිලිවන්තව සිටීම පහසු දෙයක් නම් නෙවෙයි. එම පීඩනයන්ට විරෝධය දැක්වීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද?
ඔබේ ආශ්‍රිතයන් ගැන කල්පනාකාරි වන්න!
13, 14. ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ගත් කල, තේරීමක් කළ යුත්තේ ඇයි?
13 ගීතාවලිය 1:1-3හි වාර්තා කර ඇති සාර්ථක තැනැත්තාගේ විස්තරය අපි නැවතත් බලමු. එහි මෙසේ පවසයි: “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, [යෙහෝවාගේ] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, ඔහුගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ [සිහින් හඬින් කියවන්නාවූ, NW], මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵලවෙයි.”
14 මුලින්ම, ඔබේ ආශ්‍රිතයන්ගෙන් විශාල බලපෑමක් සිදු වන බව මතක තබාගන්න. හිතෝපදේශ 13:20 මෙසේ පවසනවා: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන යෞවනයන්ට මිත්‍රශීලී නැති, සැර පරුෂ ගතියක් පෙන්වීම ඉන් අදහස් කරන්නේ නැහැ. අපේ අසල්වැසියාට ප්‍රේම කිරීමටත්, “සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන්” සිටීමටත් බයිබලය දිරිගන්වනවා. (රෝම 12:18; මතෙව් 22:39) කොහොම වුණත්, බයිබලයේ ප්‍රතිපත්ති අනුගමනය නොකරන අය සමඟ ඔබ වැඩියෙන් කුළුපග වීමට ගියොතින්, ඔවුන්ගේ ‘මන්ත්‍රණය අනුව යන’ බව ඔබට දැනෙයි.
බයිබල් කියවීමේ ඇති ප්‍රයෝජන
15. බයිබල් කියවීම සඳහා යෞවනයන්ට ආශාවක් ඇති කරගත හැක්කේ කොහොමද?
15 සාර්ථක තැනැත්තා “සිහින් හඬින්” යුක්තව දෙවිගේ ව්‍යවස්ථාව කියවීමෙන් ආස්වාදයක් ලබන බවත් ගීතිකාකරු නිරීක්ෂණය කළා. (ගීතාවලිය 1:1, 2) ඒ සමඟම, බයිබලය පහසුවෙන් කියවිය නොහැකි බවත් කිව යුතුයි. තවද “එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ.” (2 පේතෘස් 3:16) නමුත් බයිබල් කියවීම නීරස දෙයක් විය යුතු නැහැ. “ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලට මහත් ආශාවක්” වර්ධනය කරගත හැකියි. (1 පේතෘස් 2:3, NW) සෑම දිනකම සුළු ප්‍රමාණයක් කියවීමට උත්සාහ කරන්න. ඔබට තේරුම්ගත නොහැකි කරුණු තිබෙනවා නම්, ගවේෂණය කරන්න. අනතුරුව, ඔබ කියවා ඇති කොටස ගැන කල්පනා කරන්න. (ගීතාවලිය 77:11, 12) එක් දෙයකට මනස යොමු කරගැනීම සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තිබේ නම්, “සිහින් හඬින්” ශබ්ද නඟා කියවීමට උත්සාහ කරන්න. කාලයත් සමඟ, බයිබල් කියවීම කෙරෙහි ඔබට ඇති ආශාව වර්ධනය වන්න යනවා. බ්‍රසීලයේ එක් යෞවන සහෝදරියක් මෙසේ ප්‍රකාශ කළා. “මට හැමතිස්සෙම දැනුණේ යෙහෝවා මට කිට්ටු නැහැ කියල. නමුත් දැන් මාස කීපයක ඉඳන් මම මගේ පෞද්ගලික පාඩමත් බයිබල් කියවීමත් දියුණු කරගෙන තියෙනවා. දැන් යෙහෝවා එක්ක තියෙන මගේ සම්බන්ධතාව ඉස්සරට වඩා ශක්තිමත් කියල මට හිතෙනවා. එයා දැන් මට ඇත්ත කෙනෙක්.”
16. සභා රැස්වීම්වලින් අපිට තවත් ලබාගත හැක්කේ කොහොමද?
16 ඔබේ ආත්මික වර්ධනය සඳහා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමත් වැදගත් වෙයි. “[ඔබ] අසන්නේ කෙසේද” යන්නට අවධානය යොමු කිරීමෙන්, ඔබට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකියි. (ලූක් 8:18) රැස්වීම් ඔබේ සිත්ගන්නේ නැහැයි කියල ඔබට සමහරක් විට සිතෙනවාද? එසේ නම්, ඔබෙන්ම මෙසේ අසන්න, ‘රැස්වීම් උනන්දුව ඇති කරවන එකක් කරගන්න මම මොනවද කරන්නේ? මම අවධානය දෙනවද? මම සූදානම් වෙනවද? මම අදහස් දක්වනවද?’ මන්දයත්, “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ [තබාගෙන . . . එකිනෙකාව දිරිගන්වන්න, NW]” කියා බයිබලය අපට පවසයි. (හෙබ්‍රෙව් 10:24, 25) මේ සඳහා ඔබ සහභාගි විය යුතුයි. නමුත් සහභාගි වීම සඳහා ඔබ කලින් සූදානම් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. එක් යෞවන සහෝදරියක් මෙසේ පිළිගනියි: “රැස්වීම්වලට සූදානම් වෙලා ගියොත් ඒවාට උත්තර දෙන්න ඇත්තෙන්ම ලේසියි.”
දෙවිගේ මාර්ගය අනුගමනය කිරීම සාර්ථකත්වයට දායක වෙයි
17. බයිබලය උනන්දුමත් වෑයමකින් කියවන තැනැත්තෙක් “දිය ඇළවල් ළඟ හිඳුවූ . . . ගසක් හා සමාන” වන්නේ කොහොමද?
17 සාර්ථක මිනිසා “දිය ඇළවල් ළඟ හිඳුවූ . . . ගසක් හා සමාන” බව ගීතිකාකරු තවදුරටත් විස්තර කරයි. පලතුරු වත්තක ඇති ගස්වලට වතුර සැපයීම සඳහා යොදාගත් ඇල මාර්ගවලට දිය ඇළවල් ලෙස යොමු දක්වන්න ඇති. (යෙසායා 44:4) බයිබලය දිනපතාම කියවීම හරියට පෝෂණයේ හා නැවුම්බවේ සිඳී නොයන උල්පතකට සම්බන්ධ වී සිටිනවා වගෙයි. (යෙරෙමියා 17:8) තාඩන පීඩන මැද ඒවා දරාගෙන සිටීමට අවශ්‍ය ශක්තිය ඔබට ඉන් ලැබෙන්න යනවා. යෙහෝවාගේ සිතීම ඉගෙනීම හේතුවෙන්, නැණවත් තීරණ ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඔබට තිබෙන්න යනවා.
18. යෙහෝවාට කරන සේවයේදී යෞවනයෙකුගේ සාර්ථකත්වය සහතික කරන්නේ කුමක්ද?
18 යම් අවස්ථාවලදී, යෙහෝවාට සේවය කිරීම අපහසු යමක් සේ පෙනෙන්න ඉඩ තියෙනවා. නමුත් කවදාවත් එය දරාගත නොහැකියයි සිතන්න එපා. (ද්විතීය කථාව 30:11) යෙහෝවාව සතුටු කිරීමත් ඔහුගේ හෘදය සතුටු කිරීමත් ඔබේ මූලික පරමාර්ථය වන තුරු, දීර්ඝ කාලීනව ගත් කල, ‘ඔබ කරන සියල්ල සඵල වෙයි’ කියා බයිබලය පොරොන්දු වෙයි. (හිතෝපදේශ 27:11) තවද ඔබ මේ සම්බන්ධයෙන් තනි වී නැති බවත් මතක තබාගන්න. ඔබට යෙහෝවාගේත් යේසුස් ක්‍රිස්තුස්ගේත් සහයෝගය තිබෙනවා. (මතෙව් 28:20; හෙබ්‍රෙව් 13:5) ඔබට ඇති පීඩනයන් ගැන ඔවුන් දන්නා අතර, ඔබව කවදාවත් අතහරින්නේ නැහැ. (ගීතාවලිය 55:22) ‘මුළු සහෝදර සමාගමේ’ මෙන්ම ඔබේ දෙමාපියන් දේවභයැති අය නම් ඔවුන්ගේ තල්ලුවත් ඔබට තිබෙනවා. (1 පේතෘස් 2:17) එවැනි තල්ලුවකින් මෙන්ම අධිෂ්ඨානයකින් හා ප්‍රයත්නයකින් යුතුව, දැනට පමණක් නෙවෙයි සදාකාලයටත් සාර්ථක ජීවිතයක් භුක්ති විඳින්න ඔබට හැකියි!
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ සැබෑ සාර්ථකත්වය කියන්නේ කුමක්ද?
◻ අපේ පියවරට මඟ පෙන්වීම සඳහා යෙහෝවාව අපට අවශ්‍ය වන්නේ මන්ද?
◻ යෞවනයන්ට ‘තම දවස් ගණන් කළ හැක්කේ’ කොහොමද?
◻ වැරදිකරන්නන් කෙරෙහි ඊර්ෂ්‍යා වීම අනුවණ දෙයක් වන්නේ ඇයි?
◻ බයිබල් කියවීම හා නිතිපතා රැස්වීම්වලට සහභාගි වීම, සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා යෞවනයන්ට උපකාරයක් විය හැක්කේ කොහොමද?
[20වන පිටුවේ පින්තූරය]
‘දෙවි කෙරෙහි හිතකර බිය’ ඌන වන නිසා, යෞවනයන් වැඩිදෙනෙක් විනාශකාරි හැසීරීම් රටාවක නියැලෙයි
[22වන පිටුවේ පින්තූරය]
තමන්ගේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ඇති බව යෞවනයන්ට බොහෝවිට අමතක වෙනවා
[23වන පිටුවේ පින්තූරය]
බයිබල් කියවීම සඳහා ආශාවක් වර්ධනය කරගන්න
[23වන පිටුවේ පින්තූරය]
ඔබ සහභාගි වුණොතින් ඔබට රැස්වීම් වැඩියෙන් භුක්ති විඳින්න පුළුවන්