ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 9/1 25-29 පි.
  • යෙහෝවා මගේ පර්වතය වී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා මගේ පර්වතය වී
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආත්මික පවුලක් සොයාගැනීම
  • තනි පුරෝගාමියෙක්
  • පීඩා හා පිටුවහල් කිරීම විඳදරාගැනීම
  • විරුද්ධවාදිකම් මැද වර්ධනය
  • යෙහෝවා, ‘මාගේ මිදුම්කාරයාය’
  • ගිනි උදුනක් වන් පීඩාවලින් පරීක්ෂා කරනු ලැබ
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වසර 50කටත් වැඩි කාලයකට ‘ගොඩ වැදීම’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාථ දරුවෙකුට ප්‍රේමණීය පියෙක් සම්බ වෙයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට දිය යුතු දේ දීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 9/1 25-29 පි.

යෙහෝවා මගේ පර්වතය වී

ඉමාන්වෙල් ලිඕනූඩාකිස්ගේ කතාව

මගේ අම්මා ඔරවගෙන මට මෙහෙම කිව්වා: “ඔයාගේ තීරණය වෙනස් කරන්නේ නැත්නම්, ඔයාට මේ ගෙදරින් යන්න වෙනවා.” මම තීරණය කරලා තිබුණේ පූර්ණ කාලීනව දේවරාජ්‍යය දේශනා කරන්නයි. කොහොමනමුත්, මාව නිතරම අත්අඩංගුවට ගැනීමෙන් ඇති වුණ ලැජ්ජාව, මගේ පවුලේ අයට දරාගැනීමට අපහසු වුණා.

මගේ දෙමාපියන් යටහත් පහත්, දේවභයැති අයව සිටියා. ඔවුන් ජීවත් වුණේ ග්‍රීසියට අයත් දූපතක් වන ක්‍රීට්වලට බටහිරින් පිහිටි ඩූලිආනා කියන ගමෙයි; මම 1908දී ඉපදුණේ එහිදීයි. මගේ යෞවන කාලයේ පටන්ම, දෙවිට භය වෙන්නත්, ගෞරව කරන්නත් ඔවුන් මට ඉගැන්නුවා. ගුරුවරුන් හෝ ග්‍රීක් ඕතඩොක්ස් පූජකයන් ළඟ බයිබලයක් තිබෙනවා මම කිසිදාක දැකලා තිබුණේ නැතත් මම දෙවිගේ වචනයට ඇලුම් කළා.

එක් අසල්වැසියෙක්, සී. ටී. රසල් ලියූ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) වෙළුම් හයක් මෙන්ම දෙවිගේ වීණාව (ඉංග්‍රීසියෙන්) නම් පොත කියවීමෙන් පසු, ඔහු ඒවායෙහි අඩංගු නෙත් පහදන ශුද්ධ ලියවිලිමය තොරතුරු මට උද්‍යෝගයෙන් පැවසුවා. ඒ පොත් ප්‍රකාශයට පත් කළේ බයිබල් ශිෂ්‍යයන්; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඒ කාලයේ හැඳින්නුවේ ඒ විදිහටයි. මම ඇතන්ස්හි වොච් ටවර් සමිතියේ කාර්යාලයෙන් බයිබලයක් හා පොත් ඉතා සතුටින් ලබාගත්තා. ඒ අසල්වැසියා එක්ක මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉඳලා යෙහෝවාට යාච්ඤා කළ හැටිත්, ඒ ප්‍රකාශනවල උපකාරයෙන් ශුද්ධ ලියවිලිවල ගැඹුරු කාරණා, ඉටිපන්දම් එළියෙන් ඉගෙනගත්ත හැටිත් මට අද වගේ මතකයි.

අලුත ලැබුණු මගේ බයිබල් දැනුම අන්‍යයන් එක්ක බෙදාගන්න පටන්ගන්න කොට මට වයස 20ක් වූ අතර, මම ළඟපාත ගමක පාසැල් ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. වැඩි කල් යන්න මත්තෙන්, අපි හතරදෙනෙක් ඩූලිආනාවල බයිබලය පාඩම් කිරීම සඳහා නිතිපතා රැස් වුණා. මනුෂ්‍යවර්ගයා සඳහා එකම බලාපොරොත්තුව වන දේවරාජ්‍යය ගැන අනික් ජනයාට ඉගෙනීමට උපකාර කිරීම සඳහා අපි පත්‍රිකාත්, පොත්පිංචත්, පොතුත්, බයිබලුත් බෙදාහැරියා.

බයිබලය මත පදනම් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නම 1931දී ලබාගනිද්දී ලොව පුරා සිටි දහස් සංඛ්‍යාතදෙනා අතර අපත් සිටියා. (යෙසායා 43:10) ඊළඟ වසරේදී, අපි අපේ අලුත් නම හා එහි වැදගත්කම අධිකාරීන්ට පැහැදිලි කරමින්, ප්‍රචාරක වැඩසටහනක හවුල් වුණා. ඊට සම්බන්ධ පොත්පිංචයක්, අපේ ප්‍රදේශයේ හිටිය හැම පූජකයෙකුටම, විනිශ්චයකාරයෙකුටම, පොලිස් නිලධාරියෙකුටම සහ ව්‍යාපාරිකයෙකුටම බෙදාහැරීම මෙයට ඇතුළත් වුණා.

බලාපොරොත්තු වුණ විදිහටම, පූජකයන් පීඩා රැල්ලක් දියත් කළා. මාව අත්අඩංගුවට ගත්ත මුල් අවස්ථාවේදී, දවස් 20කට හිරේ දැම්මා. නිදහස් කරලා වැඩි දවසක් යන්න කලින් ආපහු මාව අත්අඩංගුවට අරං, මාසයක සිර දඬුවමක් නියම කළා. අපි දේශනා කරන එක නැවැත්විය යුතුයි කියා විනිශ්චයකාරයෙක් බල කර සිටිය විට, ක්‍රියා 5:29 වචනවලින් අපි මෙහෙම පිළිතුරු දුන්නා: ‘මනුෂ්‍යයන්ට වඩා දෙවිට අප විසින් කීකරු විය යුතුයි.’ පසුව, 1932දී, වොච් ටවර් නියෝජිතයෙක් ඩූලිආනාහි අපේ කුඩා කණ්ඩායම බැහැදකින්න ආවා; අපි හතරදෙනාම බව්තීස්ම වුණා.

ආත්මික පවුලක් සොයාගැනීම

දේශනා සේවයෙහි වැඩියෙන් නිරත වීමට මට තිබූ ආශාව නිසා, මම මගේ ගුරු පදවියෙන් ඉල්ලා අස් වුණා. ඒක මගේ අම්මාට දරාගන්න බැරි දෙයක් වුණා. මට ගෙදරින් යන්න කියලා ඇය බල කළා. ඇතන්ස්වල වොච් ටවර් ශාඛා කාර්යාලයේ අනුමැතිය ඇතුව, ක්‍රීට්හි ඉරාක්ලියොන් නගරයේ ත්‍යාගශීලී ක්‍රිස්තියානි සහෝදරයෙක් මාව සතුටින් ඔහුගේ නිවසට භාරගත්තා. ඉතින් 1933 අගෝස්තුවලදී, උනන්දුව දැක්වූ කීපදෙනෙකුත් එක්ක මගේ ගමේ සහෝදරයන් බස් නැවතුම්පොළට ආවා මගෙන් සමුගන්න. ඒක හරිම දුක්බර අවස්ථාවක් වුණ අතර, අපි එකිනෙකාව ආයේ කවදා මුණගැහේවිද කියා දන්නේ නැති නිසා අපි හැමෝම ඇඬුවා.

ඉරාක්ලියොන්වලදී, මම ප්‍රේමනීය ආත්මික පවුලක සාමාජිකයෙක් බවට පත් වුණා. අධ්‍යයනය හා නමස්කාරය සඳහා නිතිපතා අප හා එක් වුණු තවත් ක්‍රිස්තියානි සහෝදරයන් තුන්දෙනෙකුත් සහෝදරියකුත් හිටියා. යේසුගේ පොරොන්දුව ඉටුවීම මට අද්දකින්න පුළුවන් වුණා: “මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.” (මාර්ක් 10:29, 30) මගේ පැවරුම වුණේ ඒ නගරයේ හා අහල පහළ ගම්වල දේශනා කිරීමයි. නගරයේ දේශනා කරලා ඉවර කළාට පස්සේ මම ලසිතිඕන් හා ඉරාක්ලියොන්හි පළාත්වලට ගියා දේශනා කරන්න.

තනි පුරෝගාමියෙක්

ගමින් ගමට ඇවිදිමින් මම පැය ගණනාවක් ගත කළා. ඒ විතරක් නෙවෙයි, නැව්වලින් පොත් පත් බෙදාහැරීම සිදු කළේ කලාතුරකින් නිසා, මුද්‍රිත පොත් පත් කිලෝ ගණන් මට අරගෙන යන්න සිද්ධ වුණා. මට නිදාගන්න තැනක් තිබුණේ නැති නිසා, ගමේ කෝපි කඩේට ගිහින් එතැනට එන අන්තිම පුද්ගලයාත් ඇවිත් යන තුරු ඉඳලා, සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේදී සෝපාවක නිදාගන්නත්, පහුවදා අයිතිකරු තේ පැන් දෙන්න පටන්ගන්න කලින් පාන්දරින්ම අවදි වෙන්නත් මම පුරුදු වෙලා හිටියා. මම හිටිය සෝපාවල ගණන් කරන්න බැරි තරමටම මැක්කොත් හිටියා.

ජනයා උදාසීන ප්‍රතිචාරයක් දැක්වුවත්, යෙහෝවා වෙනුවෙන් මම මගේ යෞවන ශක්තිය යෙදෙව්වේ ප්‍රීතියෙන්. බයිබල් සත්‍යය කෙරෙහි උනන්දුවක් දැක්වූ කෙනෙක් මට සම්බ වූ විට, මෙම ජීවිත ගළවන සේවයෙහි දිගටම නිරත වී සිටීමට වූ මගේ අධිෂ්ඨානය එමගින් යළි අලුත් වුණා. මගේ ආත්මික සහෝදරයන් සමඟ ඇසුරත් නැවුම්බව ගෙන දෙන්නක් වුණා. මට ඔවුන්ව මුණගැසෙන්න ලැබුණේ දවස් 20ත් 50ත් අතර කාලෙකට පස්සෙයි; දේශනා කරන්න මම ඉරාක්ලියොන් නගරයෙන් ඈතට යන දුර ප්‍රමාණය අනුව කාලය වෙනස් වුණා.

විශේෂයෙන්ම ඉරාක්ලියොන්හි ඉන්න මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් එම සැන්දෑවේ සාමාන්‍ය රැස්වීම පවත්වනවා ඇති කියන සිතුවිල්ල මනසට නැඟෙත්ම, මට දිනක් දවාලක මොනතරම් තනිකමක් දැනුණද කියන එක තවමත් මට හොඳට මතකයි. ඔවුන්ව දැකීමට තිබූ මගේ ආශාව කොතරම් බලවත්ද කිව්වොත්, මගෙන් ඔවුන්ව වෙන් කර තිබෙන කිලෝමීටර් 25ක දුර ප්‍රමාණය ඇවිදීමට මම තීරණය කළා. ඊට කලින් කවදාවත් මම ඒ වගේ වේගයකින් ඇවිදලා නැහැ. ඒ සැන්දෑවේ මගේ සහෝදරයන් එක්ක ඇසුරු කරන්න ලැබීමත්, මගේ ආත්මික ගබඩාව යළි පුරවගන්න ලැබීමත් මොනතරම් සැනසීමක්ද!

වැඩි කල් යන්න මත්තෙන්, වෙහෙස මහන්සි වී මා කළ දේශනා සේවයේ ඵල හටගන්න පටන්ගත්තා. ප්‍රේරිතවරුන්ගේ දවස්වලදී මෙන්, ‘යෙහෝවා ගැළවෙන්නාවූ අය දවස්පතා අපට එක් කළා.’ (ක්‍රියා 2:47) ක්‍රීට්හි යෙහෝවාගේ නමස්කාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න පටන්ගත්තා. දේවසේවය සඳහා අනිත් අය මට එකතු වූ විට, මට තවදුරටත් තනිකමක් දැනුණේ නැහැ. අපි ශාරීරික දුෂ්කරතා හා දරුණු විරුද්ධවාදිකම් විඳදරාගත්තා. අපි හැමදාම වගේ කෑවෙ පාන්; අපි දේශනා කළ අය අපෙන් පොත් පත් අරගෙන ඒ වෙනුවට අපට දුන්නු බිත්තර, ඔලිව් හෝ එළවළුත්, පාන් එක්ක කන්න අපි පිළියෙළ කරගත්තා.

ක්‍රීට්හි ගිනිකොනදිග පිහිටි ලෙරැපෙට්‍රා නගරයේ, රෙදි විකුණන්නෙක් වූ මිනොස් කොකිනාකිස්ට මම සාක්ෂි දැරුවා. ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගන්න මම සෑහෙන වෙහෙසක් දැරුවත්, ඔහුගේ කාර්ය බහුල ජීවන රටාව නිසා ඔහුට ගත කළ හැකි වුණේ ටික වෙලාවයි. කොහොමවුණත්, අන්තිමේදී ඔහුගේ පාඩම ගැන බැරෑරුම් විදිහට හිතන්න ඔහු තීරණය කළහම, ඔහු ඔහුගේ ජීවිතයේ පුදුමාකාර වෙනස්කම් කළා. ඔහු ශුභාරංචිය ජ්වලිතව හා ක්‍රියාශීලීව ප්‍රකාශකරන්නෙක් බවටත් පත් වුණා. කොකිනාකිස්ගේ සේවකයෙක් වූ 18 හැවිරිදි එමන්විල් පටෙරකීස් ඒ වෙනස්කම් දැකලා පුදුමයට පත් වුණ අතර ඔහු විගස බයිබල් පොත් පත් ඉල්ලා සිටියා. ඔහු ස්ථිර ආත්මික ප්‍රගතියක් ලබනවාත්, අන්තිමේදී මිෂනාරිවරයෙක් බවට පත් වෙනවාත් දකින්න ලැබීම මට මොනතරම් සතුටක්ද!a

මේ අතරතුර, මගේ ගමේ සභාව වර්ධනය වෙමින් තිබුණු අතර, මේ වන විට ප්‍රචාරකයන් 14දෙනෙක් සිටියා. මගේ අක්කා ඩෙස්පිනා සහ මගේ දෙමාපියන් සත්‍යය වැලඳගෙන තිබෙන බවත්, දැන් ඔවුන් බව්තීස්ම ලත් යෙහෝවාගේ නමස්කාරකයන් බවත් දැනුම් දෙමින් අක්කා මට එවූ ලිපියක් කියෙව්ව දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

පීඩා හා පිටුවහල් කිරීම විඳදරාගැනීම

අපේ දේශනා වැඩය හරියට විනාශකාරි පළඟැටි වසංගතයක් වගේ සලකන්න ග්‍රීක් ඕතඩොක්ස් පල්ලිය පටන්ගත් අතර, අපව සම්පූර්ණයෙන්ම මැඩපවත්වන්න ඔවුන් තීරණය කරලා තිබුණා. ජන අභිචෝදකයා ඉදිරියට 1938 මාර්තුවලදී මාව ගෙනගිය අතර, මම වහාම ප්‍රදේශයෙන් පිට විය යුතුයි කියා ඔහු පැවසුවා. අපේ දේශනා වැඩය ඇත්තෙන්ම ප්‍රයෝජනවත් එකක් කියාත්, අපේ වැඩය නියම කරලා තියෙන්නේ වඩා උසස් අධිකාරියෙකු වූ අපේ යේසුස් ක්‍රිස්තුස් රජ කියාත් මම පිළිතුරු දුන්නා.—මතෙව් 28:19, 20; ක්‍රියා 1:8.

පහුවෙනිදා, මට ප්‍රදේශයේ පොලිසියට එන්න කියා නියෝග කළා. පොදු ජනයාට අනතුරු කරන්නෙක් හැටියට මාව ලකුණු කර තිබෙන බවත්, අවුරුද්දකට ඉජියන් දූපතක් වන ආමෝගොස්වලට මාව පිටුවහල් කරන බවත් මට දැනුම් දුන්නා. දවස් කීපයකට පස්සේ, මාව මාංචු දාලා බෝට්ටුවෙන් ඒ දූපතට අරගෙන ගියා. ආමෝගොස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිටියේ නැහැ. මාස හයකට පස්සේ, තවත් සාක්ෂිකරුවෙක්ව දූපතට පිටුවහල් කරලා තියෙන බව මම දැනගත්තහම මම මොනතරම් පුදුම වුණාද! ඔහු කවුද? මිනොස් කොකිනාකිස්, ක්‍රීට්හි මගේ බයිබල් ශිෂ්‍යයායි. ආත්මික මිතුරෙක් සිටීම මට මොනතරම් සතුටක් වුණාද! ටික කාලෙකට පස්සේ, ඔහුව ආමෝගොස් වතුරේ බව්තීස්ම කිරීමට මට වරප්‍රසාද ලැබුණා.b

මම ආපහු ක්‍රීට්වලට ඇවිත් වැඩි කලක් යන්න කලින් මාව නැවතත් අත්අඩංගුවට ගත් අතර, මේ අවස්ථාවේදී මාව ඒ දූපතේම කුඩා නගරයක් වූ නියෝපලිස්වලට මාස හයකට පිටුවහල් කළා. මගේ මාස හයේ පිටුවහල් වී සිටීමේ කාලය ඉවර වුණාට පස්සේ, මාව අත්අඩංගුවට අරං දවස් දහයකට හිරේ දැම්ම අතර, ඉන්පසු කොමියුනිස්ට්වාදීන්ව පිටුවහල් කිරීමට වෙන් කර තිබුණු දූපතකට මාව මාස හතරකට යැව්වා. ප්‍රේරිත පාවුල්ගේ මේ වචන මොනතරම් සැබෑද කියා මට වැටහුණා: “ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.”—2 තිමෝති 3:12.

විරුද්ධවාදිකම් මැද වර්ධනය

ජර්මානුවන් 1940-44 අතර කාලයේදී ග්‍රීසිය තමන්ගේ බලය යටතට ගැනීමත් සමඟම, අපේ දේශනා වැඩය සම්පූර්ණයෙන්ම වගේ නැවතුණා. කෙසේනමුත්, ග්‍රීසියේ යෙහෝවාගේ ජනයා විගස යළි සංවිධානය වූ අතර, අපි අපේ දේශනා වැඩය අලුතෙන් පටන්ගත්තා. දේශනා කරන්න බැරි වුණ කාලය අල්ලගන්නත් එක්ක අපි ක්‍රියාශීලීව හා ජ්වලිතව රාජ්‍යයේ වැඩය කරගෙන ගියා.

බලාපොරොත්තු වුණ විදිහටම, එකපාරටම ආපහු ආගමික විරුද්ධවාදිකම් පටන්ගත්තා. හුඟක් වෙලාවට, ග්‍රීක් ඕතඩොක්ස් පූජකයන් නීතිය තමන්ගේ අතට ගත්තා. එක ගමක, පූජකයෙක් අපට විරුද්ධව කෝලාහලයක් දියත් කළා. පූජකයා මට ගහන්න පටන්ගත්තා; ඔහුගේ පුතාත් පිටිපස්සෙන් ඉඳගෙන මට ගැහුවා. බේරෙන්න හිතාගෙන මම ඒ ළඟ තිබුණු ගේකට දිව්වා; එතකොට දේශනා සේවයේ යෙදුණු මගේ මිත්‍රයාව හන්දියට ඇදගෙන ගියා. එහිදී, මැරවරයන් ඔහුගේ පොත් පත් ඉරා දැම්මා; ස්ත්‍රියක් ඇගේ සඳලුතලයේ ඉඳන්, “එයාව මරන්න” කියලා කෑගැහුවා. අන්තිමේදී වෛද්‍යවරයෙකුයි, ඒ ළඟින් ගිය පොලිස්භටයෙකුයි තමයි අපිව බේරගන්න ආවේ.

පස්සේ, 1952දී, මාව ආපහු අත්අඩංගුවට අරං මාස හතරකට පිටුවහල් කිරීමට නියෝග කළා; මට ක්‍රීට්හි කැස්ටෙලි කිසමෝස්හියි ඒ කාලය ගත කරන්න සිද්ධ වුණේ. නිදහස් වුණ ගමන්ම, සභාවලට ගොස් ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කිරීම සඳහා මට පුහුණුවක් ලැබුණා. මේ ආකාරයට අවුරුදු දෙකක් සංචාරක වැඩයෙහි යෙදුණට පස්සේ, මගේ අක්කාගෙම නම තියෙන, ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරියක් වූ ඩෙස්පිනාව මම විවාහ කරගත්තා; ඇය දිගටම යෙහෝවාට පක්ෂපාතව නමස්කාර කරන්නියක් බව ඔප්පු කර තිබෙනවා. අපේ විවාහ වුණත් එක්කම වගේ ක්‍රීට්හි හානියා නගරයේ විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා; මම තවමත් සේවය කරන්නේ එහියි.

අවුරුදු 70කට ආසන්න කාලයක් පුරා පූර්ණ කාලීන සේවයේ යෙදෙද්දී, ක්‍රීට්හි හැම පළාතකම වගේ මම සේවයේ නිරත වුණා; එය කිලෝමීටර් 250ක් දිග වර්ග කිලෝමීටර් 8,300ක දූපතක්. එක්දාස් නවසිය තිස් ගණන්වල සිටි සාක්ෂිකරුවන් අතලොස්ස, මේ වෙන කොට දේවරාජ්‍යය පිළිබඳව ක්‍රියාශීලී රාජ්‍ය ප්‍රකාශකයන් 1,100කට වඩා වැඩි වී තිබෙනවා දැකීම මගේ ලොකුම සතුට වෙලා තියෙනවා. නිවැරදි දැනුමත්, අනාගතය සඳහා මවිතාකාර බලාපොරොත්තුවකුත් බයිබලයෙන් ලබාගැනීමට මේ අයගෙන් බොහෝදෙනෙකුට උපකාර කිරීමට හවුල් වෙන්න යෙහෝවා මට දී තිබෙන ප්‍රස්තාවට මම ස්තුතිවන්ත වෙනවා.

යෙහෝවා, ‘මාගේ මිදුම්කාරයාය’

සැබෑ දෙවිව දැනගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා විඳදරාගැනීම හා ඉවසීම අවශ්‍ය බව අද්දැකීමෙන් මම ඉගෙනගෙන තියෙනවා. යෙහෝවා ත්‍යාගශීලීව මෙම අත්‍යවශ්‍ය ගුණාංග සපයනවා. මම පූර්ණ කාලීන සේවයේ යෙදුණු අවුරුදු 67 තුළදී, ප්‍රේරිත පාවුල්ගේ වචන නිතර නිතර මෙනෙහි කරලා තියෙනවා: “බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද, පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද . . . යන මේ සියල්ලෙන් අපි [දෙවිගේ] සේවකයන් මෙන් අපම පිළිගන්වමු.” (2 කොරින්ති 6:4, 5, 10) විශේෂයෙන්ම මගේ සේවයේ මුල් කාලයේදී, මට මුදල් හිඟ තත්වයක් තිබුණා. කොහොමවුණත්, යෙහෝවා මාවත්, මගේ පවුලේ අයවත් කිසිදාක අත්හැරියේ නැහැ. ඔහු නිරන්තර මෙන්ම බලවත් උපකාරකයෙක් බව ඔප්පු කරලා තියෙනවා. (හෙබ්‍රෙව් 13:5, 6) ඔහුගේ බැටළුවන්ව එක්රැස් කිරීම හා අපේ අවශ්‍යතා සැපයීම සම්බන්ධ කාරණාවලදී ඔහුගේ ප්‍රේමනීය හස්තය අපි හැමවිටම අද්දැක්කා.

පසුගිය කාලය ගැන කල්පනා කර බලද්දී, ආත්මික අර්ථයකින් කාන්තාරය මල්ඵල ගැන්වී ඇති ආකාරය මට පේනවා; මගේ වැඩ නිෂ්ඵල වෙලා නැහැ කියන එක මට ස්ථිරයි. මම මගේ යෞවන ශක්තිය වැය කරලා තියෙන්නේ ප්‍රයෝජනවත් ආකාරයකින්. මගේ පූර්ණ කාලීන සේවා වෘත්තිය අනික් හැම ලුහුබැඳීමකටම වඩා අර්ථවත් එකක් වී තිබෙනවා. දැන් මහලු වයසේ සිටින මට පුළුවන්, ‘තමන්ගේ යෞවන වියේදී තමන්ගේ උත්තරීතර මැවුම්කරුවාව සිහි කරන්න’ කියා තරුණ අයව මුළු හෘදයෙන්ම දිරිගන්වන්න.—දේශනාකාරයා 12:1, NW.

වයස 91ක් වුණත්, හැම මාසයකම තවමත් පැය 120කට වඩා දේශනා සේවය සඳහා කැප කරන්න මට හැකියාව තිබෙනවා. හැමදාම, මම උදේ 7.30ට නැඟිටින අතර වීදියේ, සාප්පුවල හෝ උද්‍යානවල සිටින ජනයාට සාක්ෂි දරනවා. හැම මාසයකම සඟරා 150ක සාමාන්‍යයක් බෙදාහරිනවා. කන් ඇහීමේ හා මතක තබාගැනීමේ ගැටලු දැන් මගේ ජීවිතය අසීරු එකක් කළත්, මගේ ප්‍රේමනීය ආත්මික සහෝදර සහෝදරියන්, ඒ කියන්නේ මගේ විශාල ආත්මික පවුල වගේම මගේ දූවරුන් දෙන්නාගේ පවුලුත් මට ඇත්තෙන්ම උපකාර කර තිබෙනවා.

සියල්ලටමත් වඩා, මගේ විශ්වාසය යෙහෝවා කෙරෙහි තැබීමට මම ඉගෙනගෙන තියෙනවා. මේ දක්වාම, ඔහු ‘මාගේ පර්වතය, මගේ බලකොටුව, මගේ මිදුම්කාරයා’ බව ඔප්පු කර තිබෙනවා.—ගීතාවලිය 18:2.

[පාදසටහන්වල]

a එමන්විල් පටෙරකීස්ගේ ජීවිත කතාව සඳහා 1996 නොවැම්බර් 1 මුරටැඹ පිටු 22-7 බලන්න.

b මිනොස් කොකිනාකිස් නඩුවෙන් දිනීම සම්බන්ධයෙන් 1993 සැප්තැම්බර් 1 මුරටැඹ පිටු 27-31 බලන්න. මිනොස් කොකිනාකිස් 1999 ජනවාරියේදී මියගියා.

[26, 27වන පිටුවේ පින්තූර]

පහත: මගේ භාර්යාව එක්ක; වමේ: 1927දී; අනික් පිටුවේ: පිටුවහල් කර සිට යළි පැමිණි විගස 1939 ඇක්‍රොපොලිස්හිදී, මිනොස් කොකිනාකිස් (වම) සහ තවත් සාක්ෂිකරුවෙක් සමඟ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න