ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබට පුළුවන්
“ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.”—මතෙව් 18:15.
1, 2. අන්‍යයන්ගේ වැරදි සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් යේසුස් දුන්නේ මොන ප්‍රායෝගික උපදෙස්ද?
යේසුස්ගේ සේවයට තව ඉතිරිව තිබුණේ අවුරුද්දකට වඩා අඩු කාලයක්. ඔහුට තම ගෝලයන්ට වැදගත් පාඩම් කිහිපයක් ඉගැන්වීමට තිබුණා. ඔබට ඒවා මතෙව් 18වන පරිච්ඡේදයෙහි කියවිය හැකියි. ඉන් එකක් දරුවන් මෙන් නිහතමානී වීමේ වැදගත්කම පිළිබඳවයි. ඊළඟට “මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත්” බාධා කිරීමෙන් අප වැළකිය යුතු බවත්, නොමඟ යන “බාලයන්” විනාශ නොවන පිණිස ඔවුන්ව බේරාගැනීමට අප වෙර දැරිය යුතු බවත් ඔහු අවධාරණය කළා. ඉන්පසුව, ක්‍රිස්තියානීන් අතර ගැටලු හටගන්නා විට ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය වටිනා මෙන්ම ප්‍රායෝගික උපදෙස් කිහිපයක් ඔහු සඳහන් කළා.
2 ඔබට ඔහුගේ මෙම වචන මතක් වෙනවා ඇති: “නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න. ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.” (මතෙව් 18:15-17) මෙම උපදෙස් අප අදාළ කරගත යුත්තේ මොන අවස්ථාවලදීද? එමෙන්ම එසේ කරද්දී අප විදහාපෙන්විය යුත්තේ කවර ආකල්පයක්ද?
3. අන්‍යයන්ගේ වැරදි සම්බන්ධයෙන් අප සාමාන්‍යයෙන් ගත යුත්තේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද?
3 අප සියලුදෙනාම අසම්පූර්ණ නිසාත්, වැරදි කිරීමට නැඹුරුවාවක් දක්වන නිසාත්, සමාව දීමට කැමති ස්වභාවයක් වර්ධනය කරගැනීමට අප වෑයම් දැරිය යුතු බව කලින් ලිපියෙහි අවධාරණය කෙරුණා. සෙසු ක්‍රිස්තියානියෙකු කළ කී දෙයකින් යම් සිත් රිදවීමක් හටගත් විට මෙය විශේෂයෙන්ම අදාළ වෙනවා. (1 පේතෘස් 4:8) බොහෝ අවස්ථාවන්හිදී හොඳම දේ තමයි වරද නොසලකා හැරීම. එනම් සමාව දී අමතක කර දැමීම. එසේ කිරීම ක්‍රිස්තියානි සභාවේ සාමය තකා දරන වෙහෙසක් කියා අපට සැලකිය හැකියි. (ගීතාවලිය 133:1; හිතෝපදේශ 19:11) කෙසේවෙතත්, ඔබේ සිත රිදවා ඇති සහෝදරයෙකු හෝ සහෝදරියක සම්බන්ධ ප්‍රශ්නයක් ඔබ කතා කර විසඳාගත යුතුයි කියා ඔබට හැඟෙන අවස්ථාවන් මතු විය හැකියි. මෙවැනි අවස්ථාවකදී, යේසුස්ගේ ඉහත සඳහන් වදන් අපට මඟ පෙන්වීමක් සපයා දෙනවා.
4. මතෙව් 18:15හි ප්‍රතිපත්තිය අන්‍යයන්ගේ වැරදි සම්බන්ධයෙන් අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
4 “ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න” කියා යේසුස් උපදෙස් දුන්නා. එය නුවණට හුරු දෙයක්. ඇතැම් ජර්මානු පරිවර්තන එම වාක්‍ය ඛණ්ඩය පරිවර්තනය කරන්නේ ඔහුගේ වරද “ඇස් සතරක් ඉදිරියෙහි,” එනම් ඔබේ සහ ඔහුගේ ඇස් ඉදිරියෙහි ඉදිරිපත් කරන්න කියායි. ඔබ කාරුණිකව යම් ගැටලුවක් ගැන පෞද්ගලිකව කතා කරනවා නම්, සාමාන්‍යයෙන් එය විසඳාගැනීම පහසුයි. යම් අමනාපයක් ඇති කරවන දෙයක් හෝ අකාරුණික දෙයක් පැවසූ හෝ කළ සහෝදරයෙකුට ඔබ ඉදිරියෙහි පමණක් පෞද්ගලිකව තම වරද පිළිගැනීම වඩා පහසු විය හැකියි. වෙනත් අය අසාගෙන සිටිනවා නම්, අසම්පූර්ණත්වය හේතුවෙන් තම වරද පිළි නොගැනීමට හෝ කළ දෙය ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඔහු පෙලඹිය හැකියි. එනමුත් අදාළ ප්රශ්නය “ඇස් සතරක් ඉදිරියෙහි” අවධානයට ලක් කරද්දී, පාපයකට හෝ හිතාමතා කළ වරදකට වඩා එය යම් වරදවා වටහාගැනීමක් කියා ඔබට පෙනී යා හැකියි. වරදවා වටහාගැනීමක් කියා තේරුම්ගත් වහාම, එය විසඳාගැනීමට ඔබට පුළුවන්. එවිට, කුඩා ප්‍රශ්නයකට වැඩිවර්ධනය වී ඔබේ සම්බන්ධයට විෂ කවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එබැවින්, මතෙව් 18:15හි සඳහන් ප්‍රතිපත්තිය දෛනික ජීවිතයෙහි සුළු සුළු වැරදි සම්බන්ධයෙන් වුණත් අදාළ කරගත හැකියි.
ඔහු කුමක්ද අදහස් කළේ?
5, 6. අවට පාඨ සම්බන්ධය ගත් කල, මතෙව් 18:15හි යොමු දැක්වූයේ කෙබඳු ආකාරයේ පාපවලටද? ඒ බව පැහැදිලි වන්නේ කෙසේද?
5 යේසුස් දුන් උපදෙස් ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ වඩාත් බැරෑරුම් කාරණාවලටයි. යේසුස් පැවසුවේ මෙසේයි: ‘නුඹේ සහෝදරයා වරදක් [පව්, NW] කළොත්.’ එහි පුළුල් අර්ථය ගත් කල, ‘වරදක්’ නැතහොත් ‘පාපයක්,’ අතපසු වීමකට හෝ යම් අඩු පාඩුවකට යොමු දැක්විය හැකියි. (යෝබ් 2:10; හිතෝපදේශ 21:4; යාකොබ් 4:17) කෙසේවෙතත්, මෙහි අවට පාඨ සම්බන්ධයෙන් පෙනී යන්නේ යේසුස් අදහස් කළ පාපය බැරෑරුම් එකක් වන්න ඇති බවයි. එය කොතරම් බරපතළ එකක්ද කිවහොත්, වරදකරුව ‘අන්‍යජාතිකයෙක් හැටියට, සුංගම් අයකරන්නෙක් හැටියට’ වුණත් සලකන්න එය මඟ පෑදිය හැකියි. එම වාක්‍ය ඛණ්ඩයෙන් අඟවන්නේ කුමක්ද?
6 යුදෙව් වැසියන් අන්‍යජාතිකයන් සමඟ සමාගම් නොපවත්වන බව එම වදන්වලට සවන් දුන් යේසුස්ගේ ගෝලයන් දැනසිටියා. (යොහන් 4:9; 18:28; ක්‍රියා 10:28) තවද යුදෙව්වන් වශයෙන් ඉපදුණත් ජනතාවගෙන් අයුතු ප්‍රයෝජන ලබාගත් සුංගම් අයකරන්නන්ව ඔවුන් මඟහැරියා. එමනිසා හරියටම කියනවා නම්, මතෙව් 18:15-17 යොමු දැක්වූයේ ඔබට නිකම්ම සමාව දී අමතක කර දැමිය හැකි පෞද්ගලික අමනාප වීම් හෝ සිත් රිදවීම්වලට නොව බරපතළ පාපවලටයි.—මතෙව් 18:21, 22.a
7, 8. (අ) වැඩිමහල්ලන් හැසිරවිය යුත්තේ මොන වගේ පාපද? (ආ) මතෙව් 18:15-17ට එකඟව, ක්‍රිස්තියානීන් දෙදෙනෙකු අතර සමථයකට පත් කළ හැක්කේ කුමන ගණයට වැටෙන පාපද?
7 ව්‍යවස්ථාවට අනුව, අයුතුකම වින්ද තැනැත්තාගෙන් සමාව ලැබීමට වඩා වැඩි යමක් ඇතැම් පාප සම්බන්ධයෙන් අවශ්‍ය වුණා. අපහාසය, ඇදහිල්ල අත්හැරීම, රූප වන්දනාව සහ වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය සහ සමලිංගික සේවනය වැනි ලිංගික පාප වැඩිමහල්ලන්ට (හෝ පූජකයන්ට) වාර්තා කිරීමට සිදු වුණ අතර ඒ කාරණා ඔවුන් විසින් හැසිරවිය යුතුව තිබුණා. මෙය ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන්ද සැබෑවක් වෙනවා. (ලෙවී කථාව 5:1; 20:10-13; ගණන් කථාව 5:30; 35:12; ද්විතීය කථාව 17:9; 19:16-19; හිතෝපදේශ 29:24) කෙසේවෙතත්, යේසුස් මෙහිදී සාකච්ඡා කළේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සමථයකට පත් කළ හැකි ආකාරයේ පාපයන් ගැන බව සැලකිල්ලට ගන්න. අපි නිදර්ශන කිහිපයක් ඉදිරිපත් කරමු: කෝපයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් පෙලඹෙන පුද්ගලයෙක් තම අසල්වාසියාව අපහාසයට ලක් කරයි. ක්‍රිස්තියානියෙක් ඇතැම් ද්‍රව්‍යයන් යොදා යම් වැඩ කටයුත්තක් නිශ්චිත දිනයක් වෙද්දී අවසන් කිරීමට කොන්ත්‍රාත්තුවක් භාරගන්නවා. ඇතමෙක් ණයට ගත් යම් මුදල් ප්‍රමාණයක් වාරික වශයෙන් හෝ යම්කිසි දිනයකට කලින් ආපසු ගෙවන්න එකඟ වෙනවා. තමාගේ ස්වාමියා තමාට පුහුණුවක් ලබා දුන්නොත්, (රැකියාව වෙනස් කරන්න සිදු වුණත්) ඔහුට විරුද්ධව තරඟ නොකරන බවත්, යම් නිශ්චිත කාලයකට හෝ නියම කළ ඇතැම් ප්‍රදේශයක තම ස්වාමියාගෙන් සේවයක් ලබන අය තමාගෙන් සේවය ලබන පිණිස කටයුතු නොකරන බවත් පුද්ගලයෙක් විශ්වාසවන්තව පොරොන්දු වෙනවා.b සහෝදරයෙක් තම පොරොන්දුවට එකඟව විශ්වාසවන්තව ක්‍රියා නොකර, කළ වරද ගැන පසුතැවිල්ලක් දක්වන්නේ නැත්නම් එය බරපතළ කාරණයක් වන බවට සැකයක් නැහැ. (එළිදරව් 21:8) එනමුත් එවැනි වැරදි අදාළ දෙදෙනා අතරම වුණත් විසඳාගත හැකියි.
8 කෙසේවෙතත්, කාරණය විසඳීමට ඔබ ගන්න යන්නේ කෙබඳු ක්‍රියාමාර්ගයක්ද? යේසුස්ගේ වදන්වලට පියවර තුනක් ඇතුළත් වී ඇතැයි සාමාන්‍යයෙන් සලකා තිබෙනවා. අපි ඒ එක් එක් පියවර දැන් සලකා බලමු. මේවා දැඩි, නීතික ක්‍රියා පිළිවෙතක් ලෙස සලකනවා වෙනුවට, ඔබගේ ප්‍රේමනීය ඉලක්කය සැමදා සිහියේ තබාගනිමින් ඒවායෙහි ගැබ්ව ඇති අර්ථය අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න.
ඔබේ සහෝදරයා දිනාගැනීමට උත්සාහ කරන්න
9. මතෙව් 18:15 අදාළ කරගැනීම සම්බන්ධයෙන් අප මනසෙහි තබාගත යුත්තේ කුමක්ද?
9 යේසුස් ආරම්භ කළේ මෙලෙසයි: “නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.” මෙය නිකම්ම යම් සැකයක් පිට ගන්නා පියවරක් නොවන බව නම් පැහැදිලියි. ඔබේ සහෝදරයා වරදක් කර ඇති බවත්, කාරණය සමථයකට පත් කළ යුතු බවත් ඔහුට තේරුම් කරවන්න ඔබට යොදාගත හැකි සාක්ෂි හෝ පැහැදිලි තොරතුරු තිබීම අවශ්‍යයි. මෙම කාරණය තව තවත් බරපතළ වෙන්න කලින් එහෙම නැත්නම් ඔහුගේ ආකල්පය දැඩිවීමට කලින් විගස ක්‍රියා කිරීම යෝග්‍යයි. මෙයද මතක තබාගන්න: මේ ගැන සිත සිතා සිටීමෙන් ඔබටත් හානියක් විය හැකියි. මෙම සාකච්ඡාව ඔබත් ඔහුත් අතර විතරක් සිදු වන නිසා, අන්‍යයන්ව ඔබගේ පැත්තට ඇදගැනීමට හෝ ඔබගේ ආත්ම-ගරුත්වය වැඩි කරගැනීමට හෝ කලින්ම වෙනත් අය සමඟ ඒ ගැන කතා කිරීමෙන් වැළකී සිටින්න. (හිතෝපදේශ 12:25; 17:9) ඇයි? මන්ද ඔබගේ ඉලක්කය නිසයි.
10. අපගේ සහෝදරයාව දිනාගැනීමට අපට කුමක් උපකාර විය හැකිද?
10 ඔබගේ ඉලක්කය විය යුත්තේ ඔබේ සහෝදරයාට දඬුවම් කිරීම, ඔහුට අවමන් කිරීම හෝ ඔහුව විනාශ කර දැමීම හෝ නොව ඔහුව දිනාගැනීමයි. ඔහු ඇත්තටම වරදක් කර ඇත්නම්, යෙහෝවා සමඟ ඇති ඔහුගේ සම්බන්ධය අවදානමෙහියි තිබෙන්නේ. ඔහු ඔබේ ක්‍රිස්තියානි සහෝදරයා ලෙස දිගටම සිටිනවාට ඔබ කැමති වෙනවාට සැකයක් නැහැ. පෞද්ගලිකව කරන මෙම සාකච්ඡාවේදී ඔබ කර්කශ චෝදනාත්මක ස්වරයකින් වැළකී සිට, සන්සුන්ව සිටිනවා නම්, සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට තිබෙන ඉඩ කඩ වැඩි වෙයි. මෙම මුහුණට මුහුණලා කරන ප්‍රේමනීය සාකච්ඡාවේදී, ඔබ දෙදෙනා අසම්පූර්ණ පව්කාර මනුෂ්‍යයන් බව මතක තබාගන්න. (රෝම 3:23, 24) ඔහු ගැන ඕපාදූප පතුරුවා නැති බවත්, ඔහුට යම් උපකාරයක් කරන්න ඔබට අවංක ආශාවක් ඇති බවත් ඔහුට පෙනෙන විට, විසඳුමකට ඉක්මනින් එළඹිය හැකි වෙයි. මේ කාරණය සම්බන්ධයෙන් ඔබ දෙදෙනා අතින් යම් වරදක් සිදු වී ඇති බව හෝ කාරණයෙහි මුල යම් වරදවා තේරුම්ගැනීමක් සිදු වී ඇති බව පැහැදිලි වෙනවා නම්, මෙවැනි කාරුණික පැහැදිලි එළඹීමකින් විශේෂයෙන්ම ප්‍රඥාව පිළිබිඹු වෙයි.—හිතෝපදේශ 25:9, 10; 26:20; යාකොබ් 3:5, 6.
11. වරදකරන්නෙක් අපට සවන් නුදුන්නත්, අපට කුමක් කළ හැකිද?
11 යම් වරදක් සිදු වී ඇතැයි තේරුම්ගන්න ඔබ ඔහුට උපකාර කළොත්, පසුතැවිලි වන්න ඔහු පෙලඹිය හැකියි. හැබැයි, උඩඟුකම බාධාවක් විය හැකි බව පිළිගත යුතුයි. (හිතෝපදේශ 16:18; 17:19) එමනිසා, මුල් අවස්ථාවේදීම ඔහු වරද පිළිගෙන පසුතැවිලි නොවුණත්, ඊළඟ පියවර ගැනීමට කලින් ඔබට ටිකක් බලා සිටිය හැකියි. ‘එක වරක් ගොස් ඔහුගේ වරද පෙන්වා දෙන්නැයි’ යේසුස් පැවසුවේ නැහැ. එය ඔබට විසඳිය හැකි වරදක් නිසා, ගලාති 6:1ට එකඟව ඔහු වෙත නැවත එළඹීම ගැන සලකා බලන්න. තවද නැවතත් “ඇස් සතරක් ඉදිරියෙහි” එය කිරීමට වගබලා ගන්න. ඔබට සාර්ථක ප්‍රතිඵල අත් විය හැකියි. (යූද් 22, 23 සසඳන්න.) එනමුත් පාපයක් කර තිබෙන බව ඔබට ඒත්තුගොස් තිබුණත්, ඔහුගෙන් ප්‍රතිචාරයක් නැති විට කුමක් කළ හැකිද?
මේරූ උපකාරය පැතීම
12, 13. (අ) වැරදි සමඟ කටයුතු කිරීමේදී යේසුස් ඉදිරිපත් කළ දෙවන පියවර කුමක්ද? (ආ) මෙම පියවර ගනිද්දී අප යෝග්‍ය ලෙස මතක තබාගත යුත්තේ කුමක්ද?
12 ඔබ යම් බරපතළ වරදකට පංගුකාරයෙක් වුණොත්, ඔබ සම්බන්ධයෙන් දරන උත්සාහය ඉක්මනින් අත්හරිනවාට ඔබ කැමති වෙයිද? කැමති නොවන බවට සැකයක් නැහැ. එබැවින්, දෙවිට පිළිගත හැකි නමස්කාරයක් පිරිනැමීමේදී ඔබේ සහෝදරයාව ඔබ සමඟත් අන්‍යයන් සමඟත් එකමුතුව තබාගැනීමේ අටියෙන්, ඔහුව දිනාගැනීමට මුල්ම පියවර ගැනීමෙන් පසු ඔබ වෑයම අත් නොහැරිය යුතු බව යේසුස් පෙන්නුම් කළා. යේසුස් ඊළඟට දෙවන පියවර කුමක්දැයි සඳහන් කළා: “නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.”
13 “තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු” ගෙන යන්න කියා ඔහු කිව්වා. මුල්ම පියවර ගැනීමෙන් පසු, මෙම ගැටලුව ගැන තවත් බොහෝදෙනෙකු සමඟ සාකච්ඡා කරන්නත්, සංචාරක අවේක්ෂකයෙකුව ප්‍රශ්නයට සම්බන්ධ කරගන්නත්, ගැටලුව ගැන සහෝදරයන්ට ලියන්නත් ඔබට නිදහස තිබෙනවා කියා ඔහු කිව්වේ නැහැ. වරදක් සිදු වී ඇතැයි ඔබට තදබල ලෙස හැඟුණත්, එවැනි දෙයක් සිදු වූ බව තවමත් සම්පූර්ණයෙන්ම ඔප්පු වී නැහැ. එමනිසා, වැරදි තොරතුරු පතුරුවන්න ඔබට වුවමනාවක් නැහැ. එසේ කළොත් එය අනික් තැනැත්තාට කරන අපහාසයක් විය හැකියි. (හිතෝපදේශ 16:28; 18:8) එනමුත් තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු හෝ රැගෙන යන්න කියා යේසුස් පැවසුවා. ඇයි? රැගෙන යා හැක්කේ කාවද?
14. දෙවන පියවර ගනිද්දී අපට කවරෙකු රැගෙන යා හැකිද?
14 ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබ උත්සාහ කරන්නේ කෙසේද? පාපයක් කර ඇතැයි ඔහුට ඒත්තුගැන්විය යුතුයි. තවද ඔබත් දෙවිත් සමඟ නැවත සමාදානයෙන් සිටීමට හැකි වන පරිද්දෙන් පසුතැවිලි වන්න ඔහු තුළ පෙලඹීමක්ද ඇති කළ යුතුයි. එමනිසා, ඔබ රැගෙන යන ‘එක්කෙනා හෝ දෙදෙනා’ සිදු වූ වරද දුටු අය නම් වඩාත් යෝග්‍යයි. එය සිදු වූ අවස්ථාවේදී ඔවුන් සිටියා විය හැකියි. නැතහොත්, ව්‍යාපාරික කටයුත්තකදී සිදු වූ (හෝ සිදු නොවූ) දේ සම්බන්ධයෙන් ඔවුන්ට වලංගු තොරතුරු තිබිය හැකියි. සාක්ෂි දිය හැකි එවැනි අය නැත්නම්, ඔබට අදාළ ප්රශ්නය ගැන යම් අද්දැකීමක් තිබෙන හා එනයින් සිදු වූ දේ ඇත්තටම වරදක්ද කියා සනාථ කළ හැකි අය රැගෙන යා හැකියි. තවද, පසුව අවශ්‍යතාවක් හටගත්තොත්, කියූ දේ සම්බන්ධයෙන් සාක්ෂිකාරයන් වශයෙන් ඔවුන්ට කටයුතු කළ හැකියි. එවැනි අවස්ථාවකදී, ඉදිරිපත් කළ කාරණා සහ දැරූ උත්සාහය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන්. (ගණන් කථාව 35:30; ද්විතීය කථාව 17:6) එමනිසා, ඔවුන් නිකම්ම මධ්‍යස්ථ පාර්ශ්වයක් වශයෙන් හෝ තරඟයක තීරකයන් වශයෙන් හෝ කටයුතු කරන්නේ නැහැ. කෙසේවෙතත්, ඔවුන් එයට සම්බන්ධ වී සිටින්නේ ඔබෙත් ඔවුන්ගෙත් සහෝදරයාව දිනාගැනීමට සහය වන පිණිසයි.
15. අපට දෙවන පියවර ගන්න සිදු වෙනවා නම්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අපට උපකාරයක් විය හැක්කේ මන්ද?
15 ඔබ අනිවාර්යයෙන්ම රැගෙන යා යුත්තේ සභාවේ වැඩිමහල්ලන් ලෙස කටයුතු කරන පුරුෂයන්ව බව ඔබ සිතිය යුතු නැහැ. කෙසේවෙතත්, වැඩිමහල්ලන් ලෙස කටයුතු කරන පුරුෂයන් ඔවුන්ගේ ආත්මික සුදුසුකම් හේතුවෙන් යම් ආකාරයකින් දායක වෙන්න පුළුවන්. එවැනි වැඩිමහල්ලන්, “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” කටයුතු කරනවා. (යෙසායා 32:1, 2) සහෝදර සහෝදරියන්ට කාරණා තර්කයෙන් ඒත්තුගැන්වීමේදී සහ යළි සකස් කිරීමේදී ඔවුන්ට අද්දැකීම් තිබෙනවා. තවද එවැනි “තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව” විශ්වාස කිරීමට වරදකරුවාට හොඳ හේතු තිබෙනවා.c (එපීස 4:8, 11, 12, NW) එවැනි මේරූ අය ඉදිරියෙහි කාරණය විවෘතව සාකච්ඡා කිරීමෙන් සහ යාච්ඤාවකට සහභාගි වීමෙන් සාකච්ඡාවට නව මුහුණුවරක් දිය හැකි අතර, නිරවුල් කළ නොහැකි වූ යමක් නිරවුල් කරගැනීමට ඉන් මඟ පෑදිය හැකියි.—යාකොබ් 5:14, 15 සසඳන්න.
ඔහුව දිනාගැනීමට අවසාන උත්සාහයක්
16. යේසුස් ඉදිරිපත් කළ තුන්වන පියවර කුමක්ද?
16 දෙවන පියවරෙන් ප්රශ්නය විසඳාගන්න බැරි නම්, තුන්වන පියවරට සභාවේ අවේක්ෂකයන් ස්ථිරවම සම්බන්ධ වෙනවා. “ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.” මෙම පියවරට ඇතුළත් වන්නේ කුමක්ද?
17, 18. (අ) ‘සභාවට කීමෙන්’ අදහස් වන දේ තේරුම්ගැනීමට කුමන ආදර්ශය අපට උපකාරවත් වෙනවාද? (ආ) මෙය අදදින අප අදාළ කරගන්නේ කෙසේද?
17 මෙම පාපය හෝ වරද මුළු සභාව ඉදිරියෙහි සාමාන්‍ය හෝ විශේෂ රැස්වීමකදී ප්‍රසිද්ධ කළ යුතු දෙයක් හැටියට අප මෙම මඟ පෙන්වීම සලකන්නේ නැහැ. උචිත ක්‍රියාමාර්ගය කුමක්දැයි අපට දෙවිගේ වචනයෙන් නිශ්චය කරගත හැකියි. පුරාණ ඉශ්රායෙල්හි කැරලිකාරකම, කෑදරකම සහ බේබදුකම හා සම්බන්ධ ප්‍රශ්නයකදී සිදු කළ දේ සලකා බලන්න: “තමාගේ පියාගේ හඬටත් මවගේ හඬටත් කීකරු නොවෙන්නාවූ, ඔවුන් ඔහුට දඬුවම්කරන නුමුත් ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නාවූ, මුරණ්ඩුවූ, කැරළිකාර පුත්‍රයෙක් යමෙකුට ඇත්නම්, ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්: මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක් ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා. එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා.”—ද්විතීය කථාව 21:18-21, ඇල අකුරු අපගේය.
18 එම මනුෂ්‍යයාගේ පව් මුළු ජාතිය නැතහොත් ඔහුගේ ගෝත්‍රයේ සියල්ලන්ම ඉදිරියෙහි ඇසුවේවත් ඒ සඳහා තීන්දුවක් දුන්නේවත් නැහැ. ඒ වෙනුවට, සභාවේ නියෝජිතයන් වශයෙන් පිළිගත් “වැඩිමහල්ලන්” ඒ කාරණය හැසිරෙව්වා. (‘ඒ දවස්වල සිටි පූජකයන් සහ විනිශ්චයකාරයන්’ විසින් හැසිරෙවූ නඩුවක් සම්බන්ධයෙන් පවසන ද්විතීය කථාව 19:16, 17 සසඳා බලන්න.) ඒ හා සමානව අදදින, තුන්වන පියවර ගැනීමට අවශ්‍යතාව ඉස්මතු වෙද්දී, සභාවේ නියෝජිතයන් වශයෙන් වැඩිමහල්ලන් එම කාරණය හසුරුවනවා. ඔවුන්ටත් තිබෙන්නේ ඒ ඉලක්කයමයි. එනම් හැකි නම් ක්‍රිස්තියානි සහෝදරයාව දිනාගැනීමයි. ඔවුන් මෙම අභිප්‍රාය පෙන්වන්නේ කලින්ම යම් විනිශ්චයකට එළඹෙන්නේ හෝ පැති ගන්නේ හෝ නැතුව සාධාරණ අයුරින් කටයුතු කිරීමෙනුයි.
19. කාරණයට සවන් දෙන්න පත් කර ඇති වැඩිමහල්ලන් වෑයම් දරන්නේ කුමක් කිරීමටද?
19 අවශ්‍ය කාරණා තක්සේරු කර බැලීමට සහ පාපයක් ඇත්තටම කර ඇද්දැයි (හෝ දිගටම කරනවාදැයි) නිශ්චය කරගැනීමට සාක්ෂිකරුවන්ට සවන් දෙන්න ඔවුන් උත්සාහ කරාවි. සභාව දූෂ්‍ය වීමෙන් ආරක්ෂා කරන්නත්, ලෝකයේ ස්වභාවය ඇතුල් වීම වළක්වන්නත් ඔවුන්ට වුවමනායි. (1 කොරින්ති 2:12; 5:7) ඔවුන් සතු ශුද්ධ ලියවිලිමය සුදුසුකම්වලට එකඟව, “සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත්” ඔවුන් වෑයම් දරන්න යනවා. (තීතස් 1:9) වරදකරු ඉශ්‍රායෙලිතයන්ට සමාන නොවෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඔවුන් ගැන යෙහෝවාගේ අනාගතවක්තෘ මෙසේ ලිව්වා: “මා ඇඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමති නැති දේ තෝරාගත්තහුය.”—යෙසායා 65:12.
20. යේසුස්ට අනුව, සවන් දීමට හෝ පසුතැවිලි වන්න හෝ ප්‍රතික්ෂේප කරන පව්කාරයාට කුමක් විය යුතුද?
20 කෙසේවෙතත්, සාපේක්ෂ වශයෙන් අවස්ථා අතළොස්සකදී, පව්කාරයා ඊට සමාන ආකල්පයක් පිළිබිඹු කරනවා. මෙය සැබෑවක් නම්, යේසුස්ගේ මඟ පෙන්වීම පැහැදිලියි: “ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.” ඔහුට අමානුෂික විදිහට සලකන්න හෝ යම් හානියක් කරන්න කියා අපගේ ස්වාමියා නිර්දේශ කළේ නැහැ. කෙසේවෙතත්, පසුතැවිලි නොවන පව්කාරයන් සභාවෙන් බැහැර කිරීමට වූ ප්‍රේරිත පාවුල්ගේ නියෝගය ඉතා පැහැදිලියි. (1 කොරින්ති 5:11-13) කෙසේවෙතත්, මෙවැනි දෙයකින් වුණත් පව්කාරයාව දිනාගැනීමේ ඉලක්කය අත් කරගන්න කල් යත්ම අවකාශ සැලසෙන්න පුළුවන්.
21. සභාවෙන් බැහැර කර ඇති පුද්ගලයෙකුට දිගටම විවෘත වී ඇති ප්‍රස්තාව කුමක්ද?
21 එවැනි දෙයක් සිදු විය හැකි බව අපට නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් තේරුම්ගත හැකියි. උපමාවට අනුව, පියාගේ ගෘහයෙන් ලද ප්‍රේමනීය ආශ්රයෙන් බැහැරව යම් කාලපරිච්ඡේදයක් ජීවත් වීමෙන් පසු, එම පව්කාරයා “පියවි සිහියට පැමිණියා.” (ලූක් 15:11-18, NW) ඇතැම් වරදකරුවන් කල් යත්ම පසුතැවිලි වී තම “මත්කමෙන් පිබිද, [යක්ෂයාගේ] මලපතෙන් මිදෙන” බව පාවුල් තිමෝතිට පැවසුවා. (2 තිමෝති 2:24-26) පසුතැවිලි වන්නේ නැතුව පව් කර ඒ හේතුවෙන් සභාවෙන් බැහැර කළ යුතු අය තමන්ට අත් වන පාඩුව, එනම් දෙවිගේ අනුමැතිය සහ පක්ෂපාත ක්‍රිස්තියානීන්ගේ උණුසුම් ආශ්‍රය සහ සම්බන්ධය නැතිවීමේ පාඩුව තේරුම්ගෙන පියවි සිහියට පැමිණෙයි කියා අප ඇත්තටම බලාපොරොත්තු වෙනවා.
22. මතුවට වුණත් අපගේ සහෝදරයාව දිනාගන්න පුළුවන් වන්නේ කෙසේද?
22 අන්‍යජාතිකයන් සහ සුංගම් අයකරන්නන් මිදිය නොහැකි පිරිසක් කියා යේසුස් සැලකුවේ නැහැ. සුංගම් අයකරන්නෙක් වූ මතෙව් ලෙවී පසුතැවිලි වී ‘යේසුස් අනුව’ ගිය අතර, ප්‍රේරිතයෙක් හැටියට පවා තෝරාගනු ලැබුවා. (මාර්ක් 2:15; ලූක් 15:1) එමනිසා, අදදින ‘සභාව කී දේත් පිළිනොගැනීම’ හේතුවෙන් පව්කාරයෙක්ව සභාවෙන් බැහැර කළත්, කල් යත්ම ඔහු පසුතැවිලි වී තමාගේ පාදවලට සමතලා පාරවල් සාදාගනීද කියා අපට බලා සිටිය හැකියි. ඔහු එසේ කර, නැවතත් සභාවේ සාමාජිකයෙක් බවට පත් වන විට, සැබෑ නමස්කාරයේ ගාල තුළට අපගේ සහෝදරයාව යළි භාරගැනීම අපගේ සතුටට හේතුවක් වනවා නොඅනුමානයි.
[පාදසටහන්වල]
a ම’ක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියා මෙසේ පවසයි: “අලුත් ගිවිසුමෙහි සඳහන් සුංගම් අයකරන්නන්ව, මිථ්‍යා දෘෂ්ටිකයන් සමඟ නිතරම සමාගම් පැවැත්වීමෙන් දූෂ්‍ය වූ ද්‍රෝහීන් සහ ඇදහිල්ල අතහැර ගිය අය හැටියටද, පීඩා කරන රෝමවරුන්ට පන්දම් අල්ලන, ඔවුන්ගේ අතකොළු හැටියටද සලකනු ලැබුවා. ඔවුන්ව පව්කාරයන් ගණයෙහිලා සැලකුවා. . . . ඔවුන් සමාජයෙහි තනි වූවා. යම් ගරුත්වයක් ඉසිලූ මනුෂ්‍යයන් ඔවුන්ව මඟහැරිය නිසා, ඔවුන්ගේ මිතුරන් හෝ සගයන් වූයේ ඔවුන් වාගේම පිටුවහලුන් සේ සැලකූ අයයි.”
b යම් තරමක වංචාවක්, ප්‍රෝඩාවක් හෝ රැවටීමක් සම්බන්ධ ව්‍යාපාරික හෝ මූල්‍යමය කටයුතු යේසුස් අදහස් කළ පාපයේ ගණයට වැටිය හැකියි. මෙයට සාක්ෂියක් වශයෙන්, මතෙව් 18:15-17හි වාර්තා වී ඇති මඟ පෙන්වීමෙන් පසු, යේසුස් මුදල් ආපසු ගෙවන්න බැඳී සිටින නමුත් ආපසු ගෙවන්න අපොහොසත් වූ දාසයන් (සේවකයන්) පිළිබඳ උපමාවක් ඉදිරිපත් කළා.
c එක් බයිබල් විශාරදයෙක් මෙසේ අදහස් දැක්වූවා: “සමහරවිට, වරදකරුවා එක්කෙනෙකුට වඩා, දෙදෙනෙකු හෝ තිදෙනෙකුට (විශේෂයෙන්ම ඔවුන් ගෞරවයට ලක් වන්න සුදුසු අය නම්) හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා. මෙය විශේෂයෙන්ම සැබෑවක් වන්නේ එම තනි පුද්ගලයා එකඟ නොවීමට සම්බන්ධ වූ තැනැත්තා වන විටයි.”
ඔබට මතකද?
◻ මූලික වශයෙන් මතෙව් 18:15-17 අදාළ වන්නේ කුමන පාපයක් සම්බන්ධයෙන්ද?
◻ අපට මුල්ම පියවර ගන්න සිදු වෙනවා නම්, කුමක් මතක තබාගත යුතුද?
◻ අපට දෙවන පියවර ගන්න සිදු වෙනවා නම්, උපකාරවත් විය හැක්කේ කවුද?
◻ තුන්වන පියවර ගැනීමේදී සම්බන්ධව සිටින්නේ කවුද? තවද මතුවට අපගේ සහෝදරයාව දිනාගත හැකි වන්නේ කෙසේද?
[18වන පිටුවේ පින්තූරය]
යුදෙව්වන් සුංගම් අයකරන්නන්ව මඟහැරියා. මතෙව් තම අතීත ක්‍රියාවලින් ඉවත්ව යේසුස්ව අනුගමනය කළා
[20වන පිටුවේ පින්තූරය]
බොහෝවිට කාරණයක් “ඇස් සතරක් ඉදිරියෙහි” විසඳාගන්න අපට පුළුවන්