දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක්
දේවවචනයට ප්‍රේම කරන සැමදෙනාටම 1998දී සුවිශේෂි මොහොතක් එළඹුණා. එම වසරේදී, “ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයේ” දශලක්ෂ 100වන පිටපත මුද්‍රණය කළා. මේ අනුව, එය මේ සියවසේදී මුද්‍රණය කළ බයිබල් අතරින් වඩාත්ම පුළුල් ලෙස බෙදාහැර තිබෙන එකක් වී තිබෙනවා!
මෙම පරිවර්තනය මුදාහැරීමෙන් පසු, එයට එල්ල වූ දැඩි විවේචන සලකා බැලීමේදී පෙනී යන්නේ, මෙම අත් කරගැනීම ඉතාමත් විශිෂ්ට එකක් බවයි. මෙය දැඩි විවේචන මධ්‍යයෙහි දිගටම පැවතී තිබෙනවා පමණක් නොවෙයි, ලොව පුරා දශලක්ෂ ගණනකගේ නිවෙස් හා හදවත් කරා ළඟා වෙමින් සාර්ථකව ඉදිරියටම ඇදී යනවා. මෙම අද්විතීය පරිවර්තනයේ මූලාරම්භය කුමක්ද? එහි පිටුපස සිටින්නේ කවුද? එය භාවිත කිරීමෙන් ඔබට ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?
ඇයි අලුත් පරිවර්තනයක්?
අවුරුදු සියගණනකට වැඩි කාලයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නීත්‍යනුකූල ආයතනය වන වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් බයිබල් බෙදාහැර තිබෙනවා. දේවවචනයේ තවත් අනුවාදයක් ප්‍රකාශයට පත් කිරීමේ ඇති අවශ්‍යතාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පෙනී ගියේ ඇයි? අනුවාද රැසක්? නමැති පොතේ (ඉංග්‍රීසියෙන්) සම්පාදකයන් වන සාකායි කුබො හා වෝල්ට’ ස්පෙක්ට් මෙසේ අදහස් පළ කරනවා: “කිසිම බයිබල් පරිවර්තනයක් අවසාන එක හැටියට කවදාවත්ම සලකන්න බැහැ. බයිබලය පිළිබඳ විශාරද දැනුමෙහි වර්ධනය හා භාෂාවේ සිදු වන වෙනස්කම්වලට, පරිවර්තන අනුරූප විය යුතුයි.”
මේ සියවස තුළදී, බයිබලය මුලින්ම ලියූ භාෂා වන හෙබ්‍රෙව්, ග්‍රීක් හා ඇරමයික භාෂා පිළිබඳ අවබෝධයෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබෙනවා. ඒ වගේම කලින් සිටි බයිබල් පරිවර්තකයන් භාවිත කළ බයිබල් අත්පිටපත්වලට වඩා පැරණි මෙන්ම වඩාත් නිවැරදි අත්පිටපත් සොයාගෙන තිබෙනවා. මේ නිසා, වෙන කවරදාකටත් වඩා අද දෙවිගේ වචනය වඩාත් නිවැරදිව පරිවර්තනය කළ හැකියි. එසේ නම්, නවීන දින භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය සඳහා නව ලෝක බයිබල් පරිවර්තන කමිටුව පිහිටුවනු ලැබුවේ හොඳ හේතු ඇතුවයි.
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ අනුවාදයක් 1950දී ප්‍රකාශයට පත් කළා. බයිබලය “පරණ” සහ “අලුත්” ගිවිසුම් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කරමින්, සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කිරීමට නව ලෝක පරිවර්තනය එඩිතර වූ බව එහි නමින්ම පැහැදිලියි. ඊළඟ දශකය තුළදී හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පොත් කොටස් වශයෙන් ප්‍රකාශයට පත් කළා. වර්ෂ 1961දී සම්පූර්ණ බයිබලයම ඉංග්‍රීසියෙන් එක කාණ්ඩයක් හැටියට මුදාහැරියා.
මෙම විශිෂ්ට බයිබලය පරිවර්තනය කළේ කවුද? වර්ෂ 1950 සැප්තැම්බර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ මෙසේ කියා තිබුණා: “පරිවර්තන කමිටුවේ සාමාජිකයන් . . . තම නම් හෙළි නොකර සිටීමට කැමති වූ අතර, ජීවතුන් අතර සිටියදී හෝ මියගිය පසු ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් නොකරන මෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මෙම පරිවර්තනයේ අරමුණ ජීවමාන සැබෑ දෙවිගේ නාමය උසස් කිරීමයි.” අද්දැකීම් නොලත් පරිවර්තකයන් විසින් කළ පරිවර්තනයක් ලෙස සලකා එය වහා ඉවත් කර දැමිය යුතුයි කියා සමහර විවේචකයන් චෝදනා එල්ල කළා; නමුත් පදනම් විරහිත එවැනි අදහස් හැම කෙනෙක්ම පිළිගත්තේ නැහැ. ලේඛක ඇලන් එස්. ඩතී මෙසේ පවසනවා: “යම් බයිබල් පරිවර්තනයක පරිවර්තකයන් හෝ ප්‍රකාශකයන් කවුද කියා අපි දැනසිටිය පමණින්ම පරිවර්තනය හොඳ එකක්ද බාල එකක්ද කියා තීරණය කරන්න එය අපිට උපකාරවත් වෙනවාද? එය කෙළින්ම බලපාන්නේ නැහැ. හොඳම ක්‍රමය එක් එක් පරිවර්තනයේ ගතිලක්ෂණ පරීක්ෂා කර බැලීමයි.”a
අද්විතීය ලක්ෂණ
දශලක්ෂ ගණනක් වූ පාඨකයන් කර තිබෙන්නෙත් ඒ දෙයමයි. නව ලෝක පරිවර්තනය කියවීමට පහසු පරිවර්තනයක් පමණක් නොව, ඉතාමත් නිවැරදි බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා. මෙහි පරිවර්තකයන් ලබාගත හැකි හොඳම ලියවිලි යොදාගනිමින් මුල් හෙබ්‍රෙව්, ඇරමයික හා ග්‍රීක් භාෂා අනුසාරයෙන් පරිවර්තනය කර තිබෙනවා.b හැකි තාක් දුරට පැරණි පාඨයේ වචනාර්ථයම පරිවර්තනය කළත්, පහසුවෙන් තේරුම්ගත හැකි භාෂාවකින් එය ඉදිරිපත් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඇතැම් විද්වතුන් මෙම පරිවර්තනයේ තිබෙන අවංකකම හා නිරවද්‍යතාව සම්බන්ධයෙන් එය ප්‍රශංසාවට ලක් කළා. උදාහරණයක් හැටියට, 1963 ජනවාරි මාසයේ පළ වූ ඇන්ඩොව’ නියූටොන් ත්රෛයිමාසිකයේ (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසා තිබුණා: “බයිබල් පරිවර්තනයේදී මුහුණ දෙන ගැටලු බොහොමයක් බුද්ධිමත්ව හැසිරවිය හැකි සුදුසුකම් ලත් විද්වතුන් පිරිසකගේ කෘතියක් බවට අලුත් ගිවිසුමේ පරිවර්තනය සාක්ෂියකි.”
මෙහි පරිවර්තකයන් බයිබලය අවබෝධ කරගැනීමට මඟ පාදන නව ලෝකයකට මං විවර කළා. කලින් එතරම් පැහැදිලිව තේරුම් නොගත් බයිබල් පාඨ ඉතාමත් පැහැදිලිව තේරුම්ගැනීමට හැකි වී තිබෙනවා. උදාහරණයක් හැටියට, “සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය” යනුවෙන් මතෙව් 5:3හි සඳහන් ව්‍යාකූල කරවන පාඨය, අර්ථය පැහැදිලි වන අයුරින් මෙසේ පරිවර්තනය කර තිබෙනවා: “තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය.” නව ලෝක පරිවර්තනය එහි මූලික යෙදුම් පරිවර්තනය කිරීමේදී එකම වචනය යොදාගනිමින් ඒවායේ සම්පූර්ණ එකඟතාවක් පවත්වාගෙනත් තිබෙනවා. උදාහරණයක් හැටියට, සයි·කෙʹ නමැති ග්‍රීක් වචනය සඳහන් වන සෑම අවස්ථාවකදීම එය පරිවර්තනය කර තිබෙන්නේ, “ප්‍රාණය” හැටියටයි. මේ නිසා ආගමික විශ්වාසයන්ට වෙනස්ව, පුද්ගලයා අමරණීය නොවන බව පාඨකයාට පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්.—මතෙව් 2:20; මාර්ක් 3:4; ලූක් 6:9; 17:33.
දෙවිගේ නාමයට හිමිව තිබූ තැන නැවත ලබා දීම
නව ලෝක පරිවර්තනයේ කැපීපෙනෙන අංග අතර, යෙහෝවා යන දෙවිගේ නාමයට හිමිව තිබූ තැන නැවත ලබා දීම දැකගත හැකියි. හෙබ්‍රෙව් බයිබලයේ පැරණි පිටපත්වල YHWH හෝ JHVH ලෙස අක්ෂර පරිවර්තනය කළ හැකි ව්යඤ්ජනාක්ෂර සතර මගින් දෙවිගේ නම නියෝජනය වෙනවා. පරණ ගිවිසුම කියා හඳුන්වන ලියවිල්ලෙහි පමණක් මෙම සුවිශේෂි නාමය 7,000 වාරයකට ආසන්න ගණනක් සඳහන් වෙනවා. (නික්මයාම 3:15; ගීතාවලිය 83:17) තමාට නමස්කාර කරන්නන් එම නාමය දැනසිටීම වගේම එය භාවිත කිරීමත් අපේ මැවුම්කරු අපේක්ෂා කළ බව පැහැදිලියි.
කොහොමවුණත්, මිථ්‍යා විශ්වාසයන්ට තිබූ බිය නිසා යුදෙව්වන් දෙවිගේ නාමය භාවිත කිරීම නතර කළා. යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණින් පසු, ග්‍රීක් ශුද්ධ ලියවිලි පිටපත් කරන්නන් දෙවිගේ පෞද්ගලික නම වෙනුවට කිරියොස් (ස්වාමින්) හෝ තෙඔස්ʹ (දෙවි) යන ග්‍රීක් වචන යොදන්න පටන්ගත්තා. කනගාටුවට කරුණක් වන්නේ, නවීන දින පරිවර්තකයන් බයිබල් බොහොමයකින් දෙවිගේ නාමය ඉවත් කරමින් හා දෙවිට නාමයක් තිබෙන බව පවා සඟවමින් දෙවිට අගෞරවය ගෙනෙන එම සම්ප්රදාය දිගටම අනුගමනය කර තිබීමයි. උදාහරණයක් හැටියට, යොහන් 17:6හි යේසුස් පැවසූවේ මේ වදන්ය: “[මම] ඔබගේ නාමය ප්රකාශකළෙමි.” ඒ වුණත්, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්හි එම වචන පරිවර්තනය කර තිබෙන්නේ මෙසේය: “මම ඔබ ගැන ප්‍රකාශ කළෙමි.”
දෙවිගේ නාමයේ නිවැරදි උච්චාරණය දැනගැනීමට නොහැකි නිසා දෙවිගේ නාමය ඉවත් කිරීමට පක්ෂව ඇතැම් විශාරදයන් කරුණු ගෙනහැර දක්වනවා. කොහොමවුණත්, යෙරෙමියා, යෙසායා හා යේසුස් වැනි හුරු පුරුදු බයිබල් නම් සෙසු භාෂාවලින් දැක්වීමේදී අනුගමනය කර තිබෙන්නේ, එම නම් හෙබ්‍රෙව් භාෂාවෙන් මුලින්ම උච්චාරණය කළ විදිහට සුළු සමානකමක් දක්වන ක්රියාපිළිවෙළක්. යෙහෝවා යන වචනය දෙවිගේ නාමය දැක්වීමේ පිළිගත් ක්‍රමය නිසාත්, එය බොහෝදෙනෙකුට හුරු පුරුදු නිසාත් එය භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල කරන විරෝධයන්වලට කිසිම පදනමක් නැහැ.
නව ලෝක බයිබල් පරිවර්තන කමිටුව යෙහෝවාගේ නාමය ශුද්ධ ලියවිල්ලේ හෙබ්‍රෙව් මෙන්ම ග්‍රීක් යන කොටස් දෙකෙහිම භාවිත කිරීමෙන් එඩිතර පියවරක් තැබුවා. මේ සම්බන්ධයෙන් මධ්‍යම අමෙරිකාවේ හා දකුණු පැසිෆික්වල පිහිටි රටවල මෙන්ම පෙරදිග වෙසෙන ජනයා වෙනුවෙන් මුල් මිෂනාරිවරුන් කළ පරිවර්තනවල පූර්වාදර්ශයක් ඔවුන්ට තිබුණා. කොහොමවුණත්, දෙවිගේ නාමය එසේ යොදාගැනීම නිකම්ම විෂයක් හා සම්බන්ධ දැනුම ලබා දීමේ අරමුණින් සිදු වූවක් නොවෙයි. පුද්ගලයෙකු හැටියට දෙවිව දැනගැනීම සඳහා ඔහුගේ නම දැනසිටීම අත්‍යවශ්‍යයි. (නික්මයාම 34:6, 7) නව ලෝක පරිවර්තනය දෙවිගේ නම භාවිත කිරීමට දශලක්ෂ ගණනක්ව දිරිමත් කර තිබෙනවා.
ඉංග්‍රීසි කියවන්නේ නැති පාඨකයන් වෙත ළඟාවීම
වර්ෂ 1963 සහ 1989 කාලය අතරතුර නව ලෝක පරිවර්තනය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් අමතර භාෂා දහයකින් ලබාගැනීමට හැකි වුණා. කොහොමවුණත්, පරිවර්තනය කිරීමේ වැඩයට විශාල වෙහෙසක් දැරීම අවශ්‍ය වුණා; සමහර පරිවර්තන ව්‍යාපෘතිවලට අවුරුදු 20ක් හෝ ඊට වැඩි කාලයක් වැය වුණා. එනිසා 1989දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ පරිවර්තන සේවා අංශයක් පිහිටුවනු ලැබුවා. පාලක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මෙම අංශය බයිබල් පරිවර්තනය වේගවත් කර තිබෙනවා. පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන බයිබලයේ වචන අධ්‍යයනය කිරීම හා සම්බන්ධ පරිවර්තන ක්‍රමයක් දියුණු කර තිබෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
බයිබලය අලුත් භාෂාවකට පරිවර්තනය කිරීමට ලේඛන කමිටුව අනුමැතිය දුන් පසු, පරිවර්තන කණ්ඩායමක් හැටියට සේවය කිරීමට ඇප කැප වූ ක්‍රිස්තියානීන්ගෙන් යුත් කණ්ඩායමක් එම කමිටුව මගින් පත් කරනු ලබනවා. තනි පුද්ගලයෙකුට වඩා කණ්ඩායමකට වඩා සාධාරණ පරිවර්තනයක් කළ හැකියි. (හිතෝපදේශ 11:14 සසඳන්න.) සාමාන්‍යයෙන් මෙම කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුටම සමිතියේ ප්‍රකාශන පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් අද්දැකීම් තිබෙනවා. අනතුරුව බයිබලය පරිවර්තනය කිරීමේදී අනුගමනය කෙරෙන ප්‍රතිපත්ති හා විශේෂයෙන් දියුණු කරන ලද පරිගණක වැඩසටහන් ගැන සම්පූර්ණ පුහුණුවක් සපයනු ලබනවා. පරිවර්තනය කිරීමේ කාර්යය පරිගණකයකට කළ නොහැකි වුණත්, වැදගත් තොරතුරු ලබාගැනීමේ හැකියාව හා ඔවුන් ගත් තීරණ වාර්තා කර තැබීමේදී ඔවුන්ට උපකාර කිරීමේ හැකියාව එයට තිබෙනවා.
බයිබල් පරිවර්තන ව්‍යාපෘතියකට අදියර දෙකක් තිබෙනවා. මුල් අදියරේදී පරිවර්තකයන්ට ඉංග්‍රීසි නව ලෝක පරිවර්තනයේ යොදා තිබෙන වචන හා ප්‍රකාශයන්වල ලැයිස්තුවක් සපයනවා. සියුම් වෙනස්කම් ඇති අර්ථවලින් යුත් වචන ගැන පරිවර්තකයන්ව දැනුවත් කරමින් “සමගි කරනවා” “සමගි කිරීම” හා “නැවත අනුග්‍රහය ලබා දීම” වැනි එකිනෙකට සම්බන්ධකමක් දක්වන යෙදුම් එක කාණ්ඩයකට එක් කරනවා. ඔවුන් ස්වභාෂාවෙන් තිබෙන සමාන යෙදුම්වල ලැයිස්තුවක් පිළියෙළ කරනවා. එහෙත් ඇතැම් අවස්ථාවලදී, යම් වගන්තියක් පරිවර්තනය කිරීම පරිවර්තකයාට අසීරු විය හැකියි. එවිට, පරිගණකයේ තිබෙන පර්යේෂණ ක්‍රමය මගින් ග්‍රීක් සහ හෙබ්‍රෙව් යෙදුම් පිළිබඳ විස්තර හා වොච් ටවර් ප්‍රකාශන පරීක්ෂා කර බැලීමේ හැකියාව ලබා දෙනවා.
ව්‍යාපෘතිය එහි දෙවන අදියරට පැමිණි විට, තෝරාගත් ස්වභාෂා යෙදුම් ස්වයංක්‍රීයව බයිබල් පාඨයට ඇතුළත් කරනු ලබනවා. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයක නිරවද්‍යතාවක් හා එකඟතාවක් පරිවර්තනයෙහි ඇති කරනවා. කොහොමවුණත්, මෙම “ගවේෂණය සහ ආදේශය” යොදාගෙන සකස් කරන පාඨය තේරුම්ගත නොහැකි තරම්ය. බයිබල් පාඨ පහසුවෙන් කියවන්න පුළුවන් වන විදිහට ඒවා සකස් කිරීමටත් වචන නැවත ලිවීමටත් විශාල වැඩ කොටසක් කළ යුතුයි.
මෙම පරිවර්තන ක්‍රමය විශිෂ්ට ආකාරයකින් ඵලදායි බව තහවුරු වී තිබෙනවා. අවුරුදු දෙකක් ඇතුළත මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලම පරිවර්තනය කරන්න එක් කණ්ඩායමකට හැකි වුණා. පරිගණකවල ආධාරය නොමැතිව මෙය කළ කණ්ඩායමක් සමඟ මෙය සසඳා බලන්න. මෙම වැඩය කිරීමට ඔවුන්ට අවුරුදු 16ක් ගත වුණා. වර්ෂ 1989 සිට මේ දක්වා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි භාෂා 18කින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් නව ලෝක පරිවර්තනය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 34කින් ලබාගත හැකියි. මේ අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 80කට වැඩි ගණනක් ළඟ තමන්ගේම භාෂාවෙන් අඩුම තරමින් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවත් තිබෙනවා.
ලෝකයේ තිබෙන භාෂා 6,500න් බයිබලය කොටස් වශයෙන් ලබාගත හැක්කේ භාෂා 2,212කින් පමණක් බව එක්සත් බයිබල් සමිති වාර්තා කරනවා.c මේ නිසා, පරිවර්තකයන් 100දෙනෙක් පමණ හෙබ්‍රෙව් සහ ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය පිළිවෙළින් භාෂා 11කින් සහ භාෂා 8කින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දෙවිගේ කැමැත්ත නම්, “සියලු ආකාර මනුෂ්‍යයන් ගළවනු ලැබ සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමයි.” (1 තිමෝති 2:3, NW) මේ සඳහා නව ලෝක පරිවර්තනය විශාල කාර්යභාරයක් දිගටම ඉටු කරන බවට කිසිම සැකයක් නැහැ.
එනිසා, මෙම පරිවර්තනය එහි දශලක්ෂ 100වන පිටපත මුද්‍රණය කිරීමේ සුවිශේෂ අවස්ථාව ගැන අපි සතුටු වෙන අතර, තවත් දශලක්ෂ ගණනක් මුද්‍රණය කිරීමට හැකි වේවා කියා අපි යාච්ඤා කරනවා. එය පරීක්ෂා කර බලන්න කියා අපි ඔබව දිරිගන්වනවා. පැහැදිලි අකුරු, පිටුවල ශීර්ෂ පාඨ, හුරු පුරුදු වගන්ති සොයාගැනීමට ඔබට උපකාරවත් වන සූචියක්, විස්තරාත්මක සිතියම් හා සිත්ගන්නාසුලු උපග්‍රන්ථයක් ඇතුළත් විශේෂ අංග ගණනාවක ප්‍රයෝජන ලබන්න ඔබට පුළුවන්. වඩාත් වැදගත් දෙය නම්, දෙවිගේ සෑම ප්‍රකාශයක්ම ඔබගේම භාෂාවෙන් නිවැරදිව ඉදිරිපත් කර තිබෙන බවට වූ නිසැකකම ඇතුව මෙම බයිබලය ඔබට කියවන්න හැකිවීමයි.
[පාදසටහන්වල]
a වර්ෂ 1971 නියූ අමෙරිකන් ස්ටෑන්ඩ’ඩ් බයිබල් නමැති බයිබලයේ යොමු සටහන් සහිත සංස්කරණයේ මෙසේ සඳහන් කර තිබීම උනන්දුව දනවන දෙයක් වෙනවා: “එහි සුදුසුකම් ඔප්පු කිරීම සඳහා දෙවිගේ වචනයට පිටතින් යම් උපකාරයක් අවශ්‍ය නැති බව අපි විශ්වාස කරන නිසා, යොමු දැක්වීම සඳහා හෝ නිර්දේශ කිරීම සඳහා අපි කිසිම විද්වතෙකුගේ නමක් සඳහන් කර නැහැ.”
b වෙස්කොට් සහ හො’ට් විසින් සම්පාදනය කරන ලද මුල් ග්‍රීක් ඇසුරෙන් අලුත් ගිවිසුම ග්‍රීක් ලියවිල්ලේ පදනම හැටියට යොදාගෙන තිබුණා. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පදනම හැටියට යොදාගෙන තිබෙන්නේ ආර්. කිටල්ගේ බිබ්ලියා හෙබ්‍රෙයිකා නමැති ලියවිල්ලයි.
c බොහෝදෙනෙකුට භාෂා දෙකක් භාවිත කිරීමට හැකි නිසා, ලෝක ජනගහනයෙන් සියයට 90කට වැඩි පිරිසකට කියවීමට ප්‍රමාණවත් වන භාෂා ගණනකින් බයිබලය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් පරිවර්තනය කර ඇතැයි විශ්වාස කරනවා.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බයිබල් පරිවර්තනයේදී මුහුණ දෙන ගැටලු බොහොමයක් බුද්ධිමත්ව හැසිරවිය හැකි සුදුසුකම් ලත් විද්වතුන් පිරිසකගේ කෘතියක් බවට අලුත් ගිවිසුමේ පරිවර්තනය සාක්ෂියකි.”−ඇන්ඩොව’ නියූටොන් ත්‍රෛයිමාසිකය 1963 ජනවාරි
[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බයිබලය පිළිබඳ විශාරද දැනුමෙහි වර්ධනය හා භාෂාවේ සිදු වන වෙනස්කම්වලට, පරිවර්තන අනුරූප විය යුතුයි”
[31වන පිටුවේ කොටුව⁄පින්තූරය]
විශාරදයන් නව ලෝක පරිවර්තනය පැසසුමට ලක් කරයි
අමෙරිකානු පරිවර්තනයක් නම් බයිබල් පරිවර්තනයේ ග්‍රීක් “නව තෙස්තමේන්තුවේ” පරිවර්තක එඩ්ග’ ජේ. ගුඩ්ස්පීඩ් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය ගැන, 1950 දෙසැම්බර් 8 දිනය යෙදූ ලිපියෙහි මෙසේ සඳහන් කළා: “ඔබ ලොව පුරා සිදු කරන සේවය ගැන මම උනන්දුවක් දක්වන අතර, මම වැඩියෙන්ම සතුටු වන්නේ සීමා නොවූ හා විශ්වාසවන්ත මෙන්ම පැහැදිලි පරිවර්තනය ගැනයි. මට සහතික කොට දැක්විය හැකි ගැඹුරු අධ්‍යයනයකින් සොයාගත් පදනමක් සහිත දැනුම් සම්භාරයක් එහි ඇතුළත් වෙනවා.”
හෙබ්‍රෙව් සහ ග්‍රීක් භාෂාව පිළිබඳ විශාරද ඇලෙක්සැන්ඩර් තොම්සන් මෙසේ ලිව්වා: “මෙම පරිවර්තනය, ඉංග්‍රීසි භාෂාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව යොදාගනිමින් ග්‍රීක් පාඨයෙහි සැබෑ අර්ථය ඉදිරිපත් කරන්න වෑයම් කර තිබෙන, ප්‍රවීණ මෙන්ම දක්ෂ විද්වතුන් විසින් සකස් කරන ලද කෘතියක් බව පැහැදිලියි.”—ද ඩිෆරන්නේෂියෙට’, 1952 අප්‍රියෙල්, පිටු 52-7 (ඉංග්‍රීසියෙන්).
ඉශ්රායෙලයේ සිටින හෙබ්‍රෙව් භාෂාව පිළිබඳ විශාරදයෙකු වන මහාචාර්ය බෙන්ජමින් කාදර් 1989දී මෙසේ පැවසුවා: “හෙබ්‍රෙව් බයිබලය හා පරිවර්තන සම්බන්ධයෙන් මම කරන භාෂා පර්යේෂණවලදී මම නිතරම නව ලෝක පරිවර්තනය කියා ප්‍රසිද්ධ ඉංග්‍රීසි සංස්කරණයට යොමු දක්වනවා. මෙසේ කිරීමේදී, පාඨයක අර්ථය හැකි තාක් දුරට නිවැරදිව වටහාගැනීමට අවංක ප්රයත්නයක් දරා තිබෙන බව පෙනී යන මෙම පරිවර්තනය මගේ අදහස් නැවත තහවුරු කරනවා.”