අධෛර්යයට ප්‍රතිකාරය කුමක්ද?
අධෛර්යයට එරෙහිව සටන් කරන්නේ කොහොමද? මෙය, නිතිපතා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා බැහැදැකීමට යන සංචාරක අවේක්ෂකයන් කිහිපදෙනෙකුගෙන් ඇසූ ප්‍රශ්නයක්. අධෛර්යයට හේතුව මොකක්ද කියාත්, සෑම ක්‍රිස්තියානියෙකුටම බලපෑ හැකි එයට, පිළියම මොකක්ද කියාත් වටහාගැනීමට ඔවුන්ගේ පිළිතුරු අපට උපකාරයක් විය හැකියි.
අධෛර්යය පිළිබඳ විග්‍රහයක් කිරීම එයට පිළියම නොවුණත්, එහි ලක්ෂණ කිහිපයක් සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. යාච්ඤාව හා පෞද්ගලික පාඩම කෙරෙහි උනන්දුව නැති වී යෑම, රැස්වීම් අතපසු කිරීම හා ක්‍රිස්තියානි ආශ්‍රිතයන් සමඟ උදාසීනව, සමහරවිට අකමැත්තෙන් පවා කටයුතු කිරීම මේ ලක්ෂණ අතුරින් කිහිපයක් වේ. නමුත් අධෛර්යට පත් වී ඇති බව අඟවන ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ, එවැන්ජලිස්ත සේවයට තිබෙන ජ්වලිතය අඩු වී යෑමයි. අපි දැන් අධෛර්යයේ රෝග ලක්ෂණ කිහිපයක් හා ඒවාට යොදාගත හැකි පිළියම් කිහිපයක් පරීක්ෂා කර බලමු.
එවැන්ජලිස්ත සේවයේදී ඇති වන අධෛර්යය
තම අනුගාමිකයන්ට ගෝලයන් සෑදීමේ වගකීම දුන් අවස්ථාවේදී ඒත් සමඟම එන දුෂ්කරතා ගැන යේසුස් හොඳින් දැන සිටියා. (මතෙව් 28:19, 20) තම ගෝලයන් දේශනා කරද්දී පීඩා විඳින්න සිද්ධ වන බව දැනගත් ඔහු, “වෘකයන් මැදට බැටළුවන්” මෙන් ඔවුන්ව යැව්වා. (මතෙව් 10:16-23) නමුත් මෙය අධෛර්යයට පත්වීම සඳහා ඔවුන්ට හේතුවක් වුණේ නැහැ. ඇත්තෙන්ම, යෙහෝවා කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිට ඇති ඔහුගේ සේවකයන් බොහෝවිට පීඩා විඳීම තුළින් ශක්තිය උපදවාගෙන තිබෙනවා.—ක්‍රියා 4:29-31; 5:41, 42.
ක්‍රිස්තුස්ගේ ගෝලයන් දරුණු පීඩා වින්දේ නැති අවස්ථාවලදී පවා ඔවුන්ව සැමවිටම සුහදව පිළිගත්තේ නැති බව අප මතක තබාගත යුතුයි. (මතෙව් 10:11-15) ඒ හා සමානව, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩය සැමවිටම පහසුවෙන් කරගෙන යන එකක් නොවෙයි.a දෙවියන් පිළිබඳ තමන්ට තිබෙන විශ්වාසය බොහෝදෙනෙක් සලකන්නේ පෞද්ගලික කාරණයක් මිස සාකච්ඡාවට භාජනය කළ යුතු යමක් හැටියට නොවේ. තවත් සමහරු ආගමික සංවිධාන සමඟ සම්බන්ධ වන්න පොඩ්ඩක්වත් කැමති නොවන්නේ, ඒවා දෙස ඔවුන් යම් දුරකට වපර ඇසින් බලන නිසයි. ඇත්තවශයෙන්ම උදාසීනකම, ප්‍රතිඵල නොලැබීම හා වෙනත් ප්‍රශ්න රාශියක් අපව අධෛර්යයට පත් කරන්න පුළුවන්. මෙම බාධකයන් ජයගන්නේ කොහොමද?
වඩා සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීම
සේවයෙන් අප අත් කරගන්නා ප්‍රීතිය, යම් තාක් දුරට එයින් ලබාගන්නා ප්‍රතිඵලවලට සම්බන්ධයි. එසේ නම්, අපේ සේවය වඩාත් ඵලදායී එකක් කරගන්නේ කොහොමද? අප “මනුෂ්‍යයන් අල්ලන්නන්” යන කාරණය සැලකිල්ලට ගන්න. (මාර්ක් 1:16-18) පුරාණ ඉශ්‍රායෙලයේ විසූ ධීවරයන් මසුන් ඇල්ලුවේ මසුන් උපරිම ප්‍රමාණයක් අල්ලාගත හැකි රාත්‍රි කාලයේදීයි. ඊට සමානව, අපත් අපේ බල ප්‍රදේශය ගවේෂණය කළ යුතුයි. එසේ කිරීමෙන් අපට බහුතරයක් ගෙදර සිටින, පණිවිඩයට ඇහුම්කන් දීමට වැඩි නැඹුරුවාවක් දක්වන කාලයේදී ‘මනුෂ්‍යයන් අල්ලාගන්න’ පුළුවන්. සන්ධ්‍යා වරුවේ, සති අන්තයේ හෝ වෙනත් ඕනෑම වේලාවකදී මෙය කළ හැකියි. දවස පුරාම තම රැකියාවල නියැලෙන මිනිසුන් සිටින ප්‍රදේශවලට මෙය හුඟක් ප්‍රායෝගිකයි කියා එක් සංචාරක අවේක්ෂකයෙක් පෙන්වා දුන්නා. සන්ධ්‍යා වරුවේ සාක්ෂිදැරීමෙන් අගනා ප්‍රතිඵල නෙළාගත හැකි බවත් ඔහු පවසනවා. අවිධිමත් ලෙස හෝ දූරකථනය මාර්ගයෙන් සාක්ෂිදැරීම පවා අපට වැඩිදෙනෙක් වෙත එළඹීමට ප්‍රස්තා උදා කර දෙනවා.
අඛණ්ඩ උත්සාහයක් ඇතුව සේවයේ නිරත වීමෙන් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකියි. නැඟෙනහිර යුරෝපයේ හා අප්‍රිකාවේ ඇතැම් රටවල රාජ්‍ය දේශනා වැඩය සාර්ථක ලෙස කරගෙන යන අතර, මෙයින් හොඳ වර්ධනයක් අද්දැක තිබෙනවා. ඒවගේම, කාලයක් තිස්සේ ඵලදායී නැහැයි කියා සිතූ ඇතැම් ප්‍රදේශ මෙන්ම නිතරම වැඩ කරන බල ප්‍රදේශවල පවා සභා කිහිපයක්ම පිහිටා තිබෙනවා. කොහොමවුණත්, ඔබේ බල ප්‍රදේශයේ මෙවැනි වර්ධනයක් නැත්නම් කුමක් කළ හැකිද?
ඒකාන්ත ආකල්පයක් පවත්වාගැනීම
යේසුස් අපට දුන් ඉලක්කය මනසේ පැහැදිලිව තබාගනිමින් සේවයේ නිරත වීම, අපට උදාසීනත්වය හමුවේ අධෛර්යය නොවී සිටීමට උපකාර වේවි. ක්‍රිස්තුස් තම ගෝලයන්ගෙන් ඉල්ලා සිටියේ සුදුසු තැනැත්තන්ව සොයාගන්න මිසක් මහා පරිමාණයෙන් මිනිසුන්ව හරවන්න නොවෙයි. පුරාණයේ විසූ ඉශ්‍රායෙලිතයන්ගෙන් වැඩි පිරිසක් අනාගතවක්තෲන්ගේ හඬට අකීකරු වුණාක් මෙන්, බහුතරයක් ශුභාරංචිය ප්‍රතික්ෂේප කරයි කියා ඔහු කිහිප වතාවක්ම පෙන්වා දුන්නා.—එසකියෙල් 9:4; මතෙව් 10:11-15; මාර්ක් 4:13ආ-20.
‘රාජ්‍යයේ ශුභාරංචිය’ පිළිගන්නේ “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව” සිටින කෘතඥපූර්වක හදවත් ඇති මනුෂ්‍යයන් විසිනුයි. (මතෙව් 5:3, NW; 24:14) ඔවුන්ගේ කැමැත්ත වන්නේ දෙවි විසින් නියම කර තිබෙන ආකාරයට ඔහුට සේවය කිරීමයි. එමනිසා, අපගේ සේවයෙන් අප අත් කරගන්නා ප්‍රතිඵල සෑහෙන දුරට රඳාපවතින්නේ මිනිසුන්ගේ හදවත් මත මිසක් පණිවිඩය ඉදිරිපත් කිරීමට අපට තිබෙන දක්ෂතාව මත නොවෙයි. ශුභාරංචිය රසවත් ආකාරයට ඉදිරිපත් කිරීමට අප උපරිම වෑයමක් දරන්න ඕනෑ නැහැයි කියා අප කියනවා නොවෙයි. නමුත්, “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය” කියා යේසුස් පැවසූ බැවින්, එයින් අත් කරගන්නා ප්‍රතිඵල රඳාපවතින්නේ දෙවි මතයි.—යොහන් 6:44.
අපේ එවැන්ජලිස්ත වැඩය යෙහෝවාගේ නාමය ප්‍රසිද්ධියට පත් කරනවා. මිනිසුන් ඇහුම්කන් දුන්නත් නැතත්, අපේ දේශනා කිරීම යෙහෝවාගේ ශුද්ධ නාමය විශුද්ධවත් කිරීමට දායක වෙනවා. තවදුරටත්, එවැන්ජලිස්ත සේවයේ යෙදෙන විට අප ක්‍රිස්තුස්ගේ ගෝලයන් බව ඔප්පු වන අතර, අපේ කාලයේ ඉටු කරන වැදගත්ම වැඩයේ නිරත වීමේ වරප්‍රසාදය අපට හිමි වෙනවා.—මතෙව් 6:9; යොහන් 15:8.
අධෛර්යය හා අපගේ ඇසුර අතර සම්බන්ධය
ඇතැම් විට, පවුලේ හෝ සභාවේ අය නිසා අපි අධෛර්යයට පත් විය හැකියි. මෙයට එක් නිදසුනක් වන්නේ, කවුරුත් අපව තේරුම්ගන්නේ නැහැයි කියන හැඟීමයි. සෙසු ඇදහිලිවන්තයන්ගේ අසම්පූර්ණකම්ද අපව අධෛර්යයට පත් කරන්න පුළුවන්. නැවතත් උපකාරය සඳහා අපි ශුද්ධ ලියවිල්ල වෙතට හැරෙමු.
ලෝක ව්‍යාප්තව සිටින මුළු “සහෝදර සමාගම” විශාල ආත්මික පවුලක් සාදයි. (1 පේතෘස් 2:17) නමුත් පුද්ගලයන් සමඟ ඇති වන ගැටුම් නිසා අප එක්සත් පවුලකට අයත් බව අමතක වී යන්න පුළුවන්. පෙනෙන ආකාරයට, පළමුවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ටත් මේ හා සමාන ගැටලු තිබුණා. එකිනෙකා සමඟ සමඟියෙන් සිටීමට ප්‍රේරිත පාවුල් ඔවුන්ට නැවත නැවත මතක් කිරීමෙන් මෙය පැහැදිලියි. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානි සහෝදරියන් දෙදෙනෙක් වූ එවෝදියා හා සින්තිකී අතර තිබූ ප්‍රශ්නය නිරාකරණය කරගන්න කියා ඔවුන්ගෙන් ඔහු ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා.—1 කොරින්ති 1:10; එපීස 4:1-3; පිලිප්පි 4:2, 3.
අපේ ප්‍රශ්නයත් මෙය නම්, අපේ සහෝදර සහෝදරියන් උදෙසා අව්‍යාජ ප්‍රේමයක් යළි පුබුදුවාලීමට අපට හැක්කේ කෙසේද? ක්‍රිස්තුස් ඔවුන් උදෙසා තම ජීවිතය පුද කළ බවත්, ඔවුනුත් අප මෙන් එම මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කර ඇති බවත් මතක් කරගැනීමෙන් අපට මෙය කළ හැකියි. අපේ සහෝදරයන් හුඟදෙනෙක් යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් අප වෙනුවෙන් තම ජීවිතය දෙන්න වුණත් සූදානම් බව අපට මතක තබාගත හැකි තවත් කාරණයක්.
අවුරුදු කිහිපයකට පෙර, ප්‍රංශයේ පැරීසියේ, රාජ්‍ය ශාලාවක් ඉදිරිපිට බෝම්බ සහිත සූට්කේස් එකක් දමා ගිහින් තිබුණා. එය දුටු විගස එක් යෞවන සාක්ෂිකරුවෙක් කිසිම පසුබට වීමකින් තොරව එය ගෙන, පඩිපෙළ කිහිපයක් දිගේ පහළට දුවගෙන ඇවිත් එය පිපිරීමට පෙර වතුර මලක් දෙසට විසි කළා. ජීවිතය පරදුවට තබමින් මෙලෙස ක්‍රියා කිරීමට පෙලඹුණේ ඇයි කියා ඔහුගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රතිචාරය දැක්වුවා: “අපේ ජීවිත අවදානමේ තිබුණා කියා මට තේරුණා. මට හිතුණේ ඔක්කොමලා මැරෙනවාට වඩා මං විතරක් මැරෙන එක හොඳයි කියලයි.”b යේසුස්ගේ ආදර්ශය මේ තරම් හොඳින් අනුගමනය කිරීමට සූදානමින් සිටින මෙවැනි ආශ්‍රිතයන් සිටීම කොයිතරම් අගනා දෙයක්ද!
ඊට අමතරව, IIවන ලෝක සංග්‍රාමයේදී ගාල් කඳවුරුවල සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ගැනත් අපට මෙනෙහි කරන්න පුළුවන්.c ඊට සමානව, වඩා මෑතකදී මලාවිහි අපේ සහෝදර සහෝදරියන්ද තමන් සැබෑ ක්‍රිස්තියානීන් බව ඔප්පු කරමින් තම අඛණ්ඩතාව රැකගත්තා. අපේ ප්‍රදේශයේ සිටින සහෝදරයනුත් දුෂ්කර තත්වයන් යටතේ එලෙසම ක්‍රියා කරයි කියා අප කල්පනා කරන විට ඔවුන්ගේ අසම්පූර්ණකම් නොසලකා හරින්න හෝ අඩුම තරමින් ඒවා බැරෑරුම්ව නොසලකන්න අපව පොලඹවන්නේ නැද්ද? අප ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කරගන්නවා නම්, සෙසු නමස්කාරකයන් අතර තිබෙන අපේ සබඳතා අපව අධෛර්යයට පත් කරනවා වෙනුවට අපව ප්‍රබෝධවත් කරන්න යනවා.
අධෛර්යයට පත් කරවන හැඟීම්
“පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 13:12) යෙහෝවාට සේවය කරන ඇතමෙකුගේ ආකල්පය වී තිබෙන්නේ, මෙම දේවල පිළිවෙළේ අවසානය ප්‍රමාද වැඩියි යන්නයි. බොහෝ නොඇදහිලිකාරයන්ට මෙන්ම ක්‍රිස්තියානීන්ටත් අප ජීවත් වන කාලය ‘කටයුතු කිරීමට අසීරු හා අර්බුදකාරි [NW]’ බව පෙනී යනවා.—2 තිමෝති 3:1-5.
කොහොම වුණත්, ක්‍රිස්තියානීන් නොඇදහිලිකාරයන්ට වඩා වෙනස් ආකල්පයක් දැරිය යුතුයි. මෙම දුෂ්ට පිළිවෙළ දේවරාජ්‍යය මගින් ළඟදීම නැති කර දමන්න යන බව අඟවන යේසුස්ගේ පැමිණ සිටීමේ ‘ලකුණ’ මෙම අසීරු කාලවලින් සනිටුහන් වන බව වටහාගනිමින් ඔවුන් සතුටින් සිටිය යුතුයි. (මතෙව් 24:3-14) ‘මහත් පීඩාවේදී’ අනිවාර්යයෙන්ම සිදු වන්නාක් මෙන් තත්වයන් වඩාත් දරුණු අතට හැරෙද්දී පවා, මෙම සිද්ධීන් අපට ප්‍රීතිය ගෙන දෙන්නේ ඒවා දෙවිගේ නව ලොව උදා වන බවට සාක්ෂියක් වන නිසයි.—මතෙව් 24:21; 2 පේතෘස් 3:13.
වර්තමාන සිද්ධීන්වලට දේවරාජ්‍යය මැදිහත් වන බවට වූ කාරණය මනසින් කල් දැමුවොත්, ද්‍රව්‍යවාදී ලුහුබැඳීම්වල වඩ වඩා නිරත වීමට ක්‍රිස්තියානියෙක් පෙලඹෙන්න පුළුවන්. ඔහුගේ කාලය, ශ්‍රමය සම්පූර්ණයෙන්ම රැකියාවට හා විනෝදාස්වාදයට වැය කරනවා නම්, ආත්මික වගකීම් නියම ආකාරයට ඉටු කිරීම ඔහුට අපහසු විය හැකියි. (මතෙව් 6:24, 33, 34) එවැනි ආකල්පයක් බලාපොරොත්තු සුන් වී යෑමට මඟ පෑදිය හැකි අතර, එයද අධෛර්යයට හේතුවක් විය හැකියි. එක් සංචාරක අවේක්ෂකයෙකු මෙසේ පැවසුවා: “මේ ලෝකයේ පාරාදීසයක් හදන්න යන එක නම් බොරු වැඩක්.”
හොඳම පිළියම් දෙකක්
අධෛර්යයට පත්වීමට හේතුව මොකක්ද කියා හඳුනාගත් පසු එයට යොදාගන්නා පිළියම මොකක්ද? පෞද්ගලික පාඩම යොදාගත හැකි හොඳම පිළියම්වලින් එකක්. ඇයි? එක් සංචාරක අවේක්ෂකයෙක් මෙසේ පිළිතුරු දෙයි: “එය අප කළ යුතු දේ කළ යුත්තේ ඇයි කියා මතක් කර දෙනවා.” තවත් අවේක්ෂකයෙක් මෙසේ පැහැදිලි කරනවා: “නිකම්ම යුතුකමක් හැටියට සේවයේ යෙදෙන විට කාලයක් යන කොට ඒක ලොකු බරක් වගේ දැනෙනවා.” නමුත් අන්තිමය ළඟා වෙත්ම අප සතු කාර්යභාරය ගැන පැහැදිලි දෘෂ්ටියක් යළි ගොඩනැංවීමට, සුදුසු ලෙස කරන පෞද්ගලික පාඩම අපට උපකාර කරනවා. ශුද්ධ ලියවිල්ලෙත් මෙම කාරණය අවධාරණය කරමින් දේවකැමැත්ත කිරීමෙන් ප්‍රීතිය අත් කරගැනීම සඳහා හොඳ ආත්මික පෝෂණයක් ලබාගැනීමේ අවශ්‍යතාව අපට නිතර මතක් කර දෙනවා.—ගීතාවලිය 1:1-3; 19:7-10; 119:1, 2.
අනුන්ට අධෛර්යයෙන් ගොඩ ඒමට උපකාර කිරීමට, වැඩිමහල්ලන්ට දිරිගන්වනසුලු එඬේර බැහැදැකීම් කරන්න පුළුවන්. පෞද්ගලික මට්ටමින් කරන මෙම බැහැදැකීම් තුළින් යෙහෝවාගේ සෙනඟ අතර සිටින අපි සැම කෙනෙකුටම වැදගත් ස්ථානයක් තිබෙන බවත්, අපව බොහෝ සෙයින් අගය කරන බවත් වැඩිමහල්ලන්ට පෙන්වා දෙන්න පුළුවන්. (1 කොරින්ති 12:20-26) සෙසු ඇදහිලිවන්තයන්ට යොමු දක්වමින් එක් වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා: “ඒගොල්ලන් කොච්චර වටිනවාද කියා පෙන්නන්න, ඒගොල්ලන් කලින් කර තිබෙන දේවල් ගැන මම මතක් කර දෙනවා. ඒගොල්ලන් යෙහෝවාගේ ඇස් ඉදිරියේ අනර්ඝයි කියලත්, එයාගේ පුත්‍රයාගේ රුධිරය ඒගොල්ලන් වෙනුවෙන් වැගිරෙව්වා කියලත් මම පෙන්නා දෙනවා. මෙහෙම තර්ක කෙරුවාම නිතරම වාගේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ තර්කයට එකඟ බයිබල් පාඨයන් කිහිපයකුත් පෙන්නුවාට පස්සේ, අධෛර්යයට පත් වුණ අය පෞද්ගලික පාඩම, බයිබල් කියවීම හා පවුලක් වශයෙන් යාච්ඤා කිරීම වැනි අලුත් ඉලක්ක තබාගැනීමට සූදානම්.”—හෙබ්‍රෙව් 6:10.
තම එඬේර බැහැදැකීම්වලදී, දෙවි කොහෙත්ම සතුටු කළ නොහැකි පුද්ගලයෙක් කියා නොඇඟවීමට වැඩිමහල්ලන් පරෙස්සම් විය යුතුයි. ඒ වෙනුවට අධෛර්යයට පත් වූ සෙසු ඇදහිලිවන්තයන්ට, යේසුස්ගේ අනුගාමිකයන් උසුලන වියගහ සැහැල්ලු එකක් කියා පෙන්වා දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. මේ නිසා, අපේ ක්‍රිස්තියානි සේවය ප්‍රීතියට හේතුවක් වන බව ඔවුන්ට වටහාගත හැකියි.—මතෙව් 11:28-30.
අධෛර්යය පලවාහැරීම
අධෛර්යයට හේතුව කුමක් හෝ වේවා එයින් ජයගත යුතුයි. නමුත්, මෙම සටනේදී අප තනි වී නැති බව මතක තබාගන්න. අප අධෛර්යයට පත් වී ඇත්නම්, සෙසු ක්‍රිස්තියානීන්ගෙන්, විශේෂයෙන් වැඩිමහල්ලන්ගෙන් ලැබෙන උපකාරය අප පිළිගත යුතුයි. මෙසේ කිරීමෙන් අධෛර්යයට පත් කරවන හැඟීම් අපට අඩු කරගන්න පුළුවන්.
සියල්ලට වඩා අධෛර්යයෙන් ජයගැනීමට යෙහෝවාගෙන් උපකාර පැතීම අවශ්‍යයි. අපි යාච්ඤාපූර්වකව යෙහෝවා මත රඳා සිටිනවා නම්, සමහරවිට අපේ අධෛර්යය මුළුමනින්ම පවා පලවාහැරීමට උපකාර කරන්න ඔහුට පුළුවන්. (ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7) කොහොම වුණත්, ඔහුගේ සෙනඟ වශයෙන් අපටත් ගීතිකාකරුගේ මෙම වචන ගයන්න පුළුවන්: “ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. [යෙහෝවා], ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති. ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති. ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති. මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.”—ගීතාවලිය 89:15-17.
[පාදසටහන්වල]
a 1982 පෙබරවාරි 1 මුරටැඹෙහි “ගෙයින්-ගෙට යාමේ අභියෝගය” නමැති ලිපිය බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත 1985 පෙබරවාරි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 12-13 පිටු බලන්න.
c 1980 අගෝස්තු 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ “මාරක කඳවුරෙන් මම බේරුණා” හා 1985 ජූනි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ “නාට්සි ජර්මනියේ අඛණ්ඩතාව රැකගැනීම” යන ලිපි බලන්න.
[31වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන්ගේ ගොඩනංවනසුලු එඬේර බැහැදැකීම් ක්‍රිස්තියානීන්ට අධෛර්යයෙන් ගොඩ ඒමට උපකාරයක් විය හැකියි