ජීවිත කතාව
බාල වියේ පටන් අපේ මැවුම්කරුව සිහි කරමින්
ඩේවිඩ් ඉසෙඩ්. හිබ්ෂ්මන් පැවසූ පරිදි
“අද මැරුණත්, මං කරපු සේවය විශ්වාසවන්ත එකක් හැටියට යෙහෝවා පිළිගනියි කියලා මං බලාපොරොත්තු වෙනවා. මගේ ඩේවිඩ්ව බලාගන්න කියලා මම ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලනවා. ඔහුව ලබා දුන්නාටත්, අපේ විවාහයටත් ඔබට ස්තුතියි යෙහෝවා. ඒක මොනතරම් අපූරු, සන්තෝෂවත් එකක්ද!”
වර්ෂ 1992දී මගේ බිරිඳව වැළලුවාට පස්සේ, ඇය අන්තිමට ලිව්ව මේ දේ ඇගේ දිනපොතෙන් මට කියවන්න ලැබුණහම මට මොන වගේ හැඟීම් ඇති වෙන්න ඇද්ද කියලා හිතලා බලන්න. ඊට මාස පහකට ඉස්සෙල්ලා, අපි හෙලන්ගේ පූර්ණකාලීන දේවසේවයේ 60වෙනි සංවත්සරය පැවැත්තුවා.
වර්ෂ 1931, අ.එ.ජ., ඔහයෝ, කලම්බස්හි සමුළුවේදී හෙලනුයි, මමයි එක ළඟ ඉඳගෙන හිටිය දවස මට හොඳට මතකයි. එතකොට හෙලන්ට අවුරුදු 14ක්වත් නැහැ; ඒත් මට වඩා ඇය ඒ අවස්ථාවේ වැදගත්කම අගය කළා. ඊට ටික කලකට පස්සේ හෙලන් හා ඇගේ වැන්දඹු මව පුරෝගාමීන් වූ විට, දේවසේවය සඳහා හෙලන්ගේ උද්යෝගය පැහැදිලිව පෙනුණා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්ව හඳුන්වන්නේ ඒ නමින්. දකුණු එක්සත් ජනපදයේ ගම්බද ප්‍රදේශවලට ගොස් දේශනා කිරීම සඳහා ඔවුන් ඔවුන්ගේ සැපපහසු නිවස අත්හැරියා.
මගේ ක්‍රිස්තියානි උරුමය
වර්ෂ 1910දී මගේ දෙමාපියන්, ඔවුන්ගේ කුඩා දරුවන් දෙන්නාත් රැගෙන, නැඟෙනහිර පෙන්සිල්වේනියාවේ ඉඳලා ජනපදයේ බටහිර කොටසේ පිහිටි ග්‍රෝව් නගරයේ පදිංචියට ගියා. එහෙදී ඔවුන් අත්තිකාරම් මුදලක් ගෙවලා පුංචි නිවසක් අරගත් අතර, ප්‍රතිසංස්කෘත සභාවේ ක්‍රියාශීලී සාමාජිකයන් බවට පත් වුණා. ඊට ටික කාලෙකට පස්සේ, බයිබල් ශිෂ්‍යයෙක් වූ විලියම් ඉවෑන්ස් ඔවුන්ව බැහැදකින්න ගියා; ඒ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. ඒ වෙනකොට විසිගණන්වල මැදභාගයේ හිටිය තාත්තත්, ඊට වඩා අවුරුදු පහක් බාල අම්මත් මේ මිත්‍රශීලී වේල්ස් ජාතිකයාට ඇහුම්කන් දී, කෑම ටිකක් කන්න එන්න කියලා ඔහුට ආරාධනා කළා. වැඩි කල් නොගොස් ඔවුන් තමන් ඉගෙනගනිමින් හිටිය බයිබල් සත්‍යයන් වැලඳගත්තා.
සභාවට කිට්ටුවෙන් ඉන්න ඕන නිසා තාත්තා පවුලේ අයවත් අරගෙන කිලෝමීටර් 40ක් විතර ඈතින් වූ ෂැරොන් නම් නගරයේ පදිංචියට ගියා. ඊට මාස කීපයකට පස්සේ 1911 නැත්නම් 1912දී තාත්තයි අම්මයි බව්තීස්ම වුණා. බව්තීස්ම කතාව දුන්නේ වොච් ටවර් සමිතියේ මුල් සභාපති චාල්ස් ටේස් රසල්. මම ඉපදුණේ 1916 දෙසැම්බර් 4වෙනිදායි; එතකොට මගේ දෙමාපියන්ට දරුවෝ හතරදෙනෙක් හිටියා. මගේ උපතේදී, “ආදරෙන් සැලකීමට තවත් සහෝදරයෙක්” කියා නිවේදනය කරනු ලැබුවා. මගේ නම ඩේවිඩ්; ඒ නමේ තේරුම “ආදරණීය” කියන එකයි.
මට සති හතරක් වුණහම, මාව මගේ මුල්ම සමුළුවට අරං ගියා. ඒ මුල් කාලයේදී, අම්මා මගේ අක්කවත් මාවත් වීදිරථයකින් අරගෙන ගිය අතරේදී මගේ තාත්තා සහ අයියලා සභා රැස්වීම්වලට කිලෝමීටර් කීපයක දුරක් ඇවිදගෙන ගියා. රැස්වීම පැවැත්තුවේ උදේ වරුවේ හා දවල් වරුවෙයි. නිවසේදී, හුඟක් වෙලාවට කතාබහට ලක් වුණේ මුරටැඹ සහ රන් යුගය (ඉංග්‍රීසියෙන්) යන ලිපිවල කරුණුයි. පිබිදෙව්! කලින් හැඳින්නුවේ ඒ නමින්.
කදිම ආදර්ශවලින් ප්‍රයෝජන ලැබීම
වන්දනාකරුවන් වශයෙන් හැඳින්වූ බොහෝදෙනෙක් අපේ සභාව බලන්න ආවා; සංචාරක කථිකයන්ව ඒ කාලයේ හැඳින්නුවේ ඒ නමින්. ඔවුන් සාමාන්‍යයෙන් අපි එක්ක දවසක් හෝ දෙකක් ගත කළා. මගේ මතකයේ රැඳුණු එක කථිකයෙක් තමයි වෝල්ට ජේ. තෝන්. ඔහු ‘ඔහුගේ යෞවන දවස්වලදී’ ඔහුගේ උතුම් මැවුම්කරුව සිහි කරලා තිබුණා. (දේශනාකාරයා 12:1) මම පොඩි කාලෙ, මනුෂ්‍යවර්ගයාගේ ඉතිහාසය ගැන පටිගත කරපු, කොටස් හතරකින් යුත් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” (ඉංග්‍රීසියෙන්) පෙන්වන්න තාත්තට උදව් වුණා.
සහෝදර ඉවෑන්ස් හා ඔහුගේ බිරිඳ වූ මීරියම්ට දරුවන් හිටියේ නැතත්, ඔවුන් අපේ දෙමාපියන්ට ආත්මික දෙමාපියන් මෙන්ම අපිට ආච්චි කෙනෙක් හා සීයා කෙනෙක් වගේ වුණා. විලියම් හැම වෙලාවෙම තාත්තට කතා කළේ “පුතා” කියලයි; ඔහු සහ මීරියම් අපේ පවුල තුළට එවැන්ජලිස්ත ස්වභාවය පැළපදියම් කළා. විසිවෙනි සියවසේ මුල්භාගයේදී, ස්වාංසියාහි අවට ප්‍රදේශයට බයිබල් සත්‍යය හඳුන්වලා දෙන්න සහෝදර ඉවෑන්ස් ආපහු වේල්සයට ගියා. එහෙ ඔහුව ප්‍රසිද්ධ වෙලා තිබුණේ අමෙරිකාවෙන් පැමිණි දේශනාකරුවෙක් හැටියටයි.
වර්ෂ 1928දී, සහෝදර ඉවෑන්ස් ඔහුගේ රැකියාවෙන් අස් වෙලා, බටහිර වර්ජිනියාවේ කඳුකර ප්‍රදේශයේ දේශනා සේවය කරන්න පටන්ගත්තා. මගේ අයියලා දෙන්නා වූ 21-හැවිරිදි ක්ලැරන්ස් හා 19-හැවිරිදි කාල් ඔහු එක්ක ගියා. කොල්ලො හතරදෙනා පොඩි කාලෙ ඉඳලම අවුරුදු ගණනාවක්ම පූර්ණ කාලීන දේවසේවයේ යෙදුණා. ඇත්තවශයෙන්ම, අපේ යෞවන කාලයේ පටන් අපි හැමෝම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයන් හැටියට සේවය කළා. දැන් 90ගණන්වල පසු වෙන මේරි පුංචි අම්මා මෑතකදී මට මෙහෙම ලියලා එව්වා: “සහෝදර ඉවෑන්ස්ට දේවසේවය කරන්න තිබුණු ජ්වලිතය ගැනත්, ග්‍රෝව් නගරයට ආව එක ගැනත් අපි මොනතරම් කෘතඥ වෙන්න ඕනෙද!” තමන්ගේ යෞවන කාලයේ පටන් තම මැවුම්කරුව සිහි කළ තවත් කෙනෙක් තමයි මේරි පුංචි අම්මා.
සමුළුවලට යෑම
වර්ෂ 1922දී ඔහායෝ සීඩා පොයින්ට්හි පැවැත්වූ ඉතිහාසගත සමුළුවට සහභාගි වෙන්න ලැබුණේ තාත්තටයි, ක්ලැරන්ස්ටයි විතරයි. කොහොමනමුත්, 1924 වෙනකොට, අපිට වාහනයක් තිබුණා; ඔහායෝ, කලම්බස්හි සමුළුවට අපේ මුළු පවුලටම යන්න පුළුවන් වුණා. දවස් අටේ සමුළුවේදී අපේ කෑමවලට යන වියදම දරුවන් වන අපිම සොයාගත යුතුව තිබුණා. අපේ දෙමාපියන්ගේ අදහස වුණේ පවුලේ හැම සාමාජිකයෙක්ම තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න ඉගෙනගන්න ඕනෙ කියන එකයි. ඒ නිසා අපි කුකුළන්ව සහ හාවුන්ව ඇති කළා; ඒ අතර මීවදත් බලා කියාගත්තා; තවත් අපි හතරදෙනාම පත්තර බෙදාහැරීමෙනුත් මුදලක් හොයාගත්තා.
වර්ෂ 1927දී, කැනඩාවේ ටොරොන්ටෝහි සමුළුව පැවැත්වෙන කාලය වෙනකොට අපිට මාස හයක පෝල් කියලා පුංචි මල්ලියෙක් හිටියා. මගේ දෙමාපියන් අනිත් දරුවන් එක්ක ටොරොන්ටෝවලට ගිය අතරවාරෙ, විවාහ වෙලා හිටිය පුංචි අම්මගේ උපකාරයත් ඇතුව මට ගෙදර ඉඳලා පෝල්ව බලාගන්න පවරලා තිබුණා. මට තෑග්ගක් හැටියට ඩොලර් දහයක් ලැබුණු අතර, මම ඒකෙන් අලුත් ඇඳුම් කට්ටලයක් අරගත්තා. රැස්වීම්වලට හොඳින් අඳින්නත්, අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්නත් අපිව පුහුණු කරලයි තිබුණෙ.
වර්ෂ 1931දී ඔහායෝ, කලම්බස්හි අමතක නොවන සමුළුව පැවැත්වූ කාලයේ පටන් ක්ලැරන්සුයි, කාලුයි විවාහ වෙලා ඔවුන්ගේ භාර්යාවන් එක්ක පුරෝගාමී සේවයේ යෙදුණා. ඔවුන් ජීවත් වුණේ ගෙවල් හැටියට සකස් කරගත්ත වාහනවලයි. කාල් බටහිර වර්ජිනියාවේ, වීලිංහි ක්ලෙයා හූස්ටන් එක්ක විවාහ වෙලා හිටිය නිසයි කලම්බස්හි සමුළුවේදී මම ක්ලෙයාගේ නංගි කෙනෙක් වූ හෙලන් ළඟ වාඩි වෙලා හිටියේ.
පූර්ණ කාලීන දේවසේවය
වර්ෂ 1932දී මම උසස් පාසැලෙන් සමත් වුණා; එතකොට මට වයස අවුරුදු 15යි. දකුණු කැරොලිනාවල පුරෝගාමී සේවයේ යෙදුණු මගේ ක්ලැරන්ස් අයියට ඊළඟ අවුරුද්දේ පරණ කාර් එකක් ලැබුණා. මම පුරෝගාමී සේවය සඳහා ඉල්ලුම් කරලා ක්ලැරන්සුයි එයාගේ බිරිඳයි එක්ක සේවයේ යෙදෙන්න පටන්ගත්තා. හෙලන් එතකොට කෙන්ටකි, හොප්කින්ස්විලෙවල පුරෝගාමී සේවයේ යෙදුණු අතර, මුල් වතාවට මම ඇයට ලිව්වා. ඇය උත්තර ලියද්දී ඇය මෙහෙම අහලා තිබුණා: “ඔයා පුරෝගාමියෙක්ද?”
මගේ ලිපියේ මම මෙහෙම පිළිතුරු දුන්නා: “ඔව්, ඒ වගේම දිගටම එහෙම කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.” ඊට අවුරුදු 60කට පස්සේ ඇය මැරෙනකොටත් ඒ ලිපිය ඈ ළඟ තිබුණා. මගේ දේශනා පැවරුමේදී පූජකයන්ට හා විනිශ්චකාර නිලධාරීන්ට රාජ්‍යය—ලෝකයේ බලාපොරොත්තුවයි (ඉංග්‍රීසියෙන්) යන පොත් පිංචය බෙදාහැරීම ගැන මම ඒ ලිපියේ හෙලන්ට කිව්වා.
වර්ෂ 1933දී, මීටර් 2.4ක් දිග, මීටර් 2ක් පළල ට්‍රේලර් රථයකින් තාත්තා මට නිවහනක් හදලා දුන්නා. කූඩාරමක හැඩයට සකස් කළ කැන්වස් බිත්තියේ ඉදිරිපසින් හා පිටුපසින් ජනේල දෙකක් දාලා තිබුණා. පුරෝගාමී සේවයේ යෙදුණු ඊළඟ අවුරුදු හතරේදී මගේ පුංචි නිවහන වුණේ ඒකයි.
වර්ෂ 1934 මාර්තුවලදී, අපි අටදෙනෙක්, එනම් ක්ලැරන්ස්, කාල් සහ ඔවුන්ගේ භාර්යාවනුත්, හෙලන් හා ඇගේ මවත්, ක්ලැරන්ස්ගේ නෑනා සහ මමත් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස්හි සමුළුවට සහභාගි වෙන්න බටහිර පැත්තට ගමන් කළා. සමහරු ගමන් කළෙත් නිදාගත්තෙත් මගේ ට්‍රේලර් රථයෙයි. අනිත් අය කුලී නවාතැනක නැවතුණ අතර මම කාර් එකේම නිදාගත්තා. කාර් එක ලෙඩ දුන්න නිසා, අපි දින හයේ සමුළුවේ දෙවන දිනයේදීයි ලොස් ඇන්ජලිස්වලට ආවෙ. එහෙදී, මාර්තු 26වෙනිදා, හෙලන්ටයි, මටයි කොහොමහරි වතුර බව්තීස්මයෙන් යෙහෝවාට අපේ කැපවීම සංකේතවත් කරන්න පුළුවන් වුණා.
ඒ කාලයේදී වොච් ටවර් සමිතියේ සභාපති වෙලා හිටිය ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ් සමුළුවේදී හැම පුරෝගාමියෙකුවම පෞද්ගලිකව මුණගැහුණා. බයිබල් සත්‍යය සම්බන්ධයෙන් අපි වික්‍රමාන්විත සටන්කරුවන් බව පවසමින් ඔහු අපිව දිරිගැන්නුවා. මේ අවස්ථාවේදී, පුරෝගාමීන්ට ඔවුන්ගේ දේවසේවයේ දිගටම නිරත වීමට උපකාරයක් වශයෙන් මුදලක් දෙන්න සැලැස්මක් යෙදුවා.
ජීවිතයට අධ්‍යාපනයක්
ලොස්ඇන්ජලිස්හි සමුළුව ඉවර වෙලා අපි ගෙදර එනකොට, දකුණු කැරොලිනා, වර්ජිනියාව, බටහිර වර්ජිනියාව හා කෙන්ටකිවල මුළු ජනපදවලම ඉන්න ජනයා එක්ක අපි හැමෝම රාජ්‍යයේ පණිවිඩය බෙදාගත්තා. අවුරුදු ගානකට පස්සේ ඒ කාලය ගැන හෙලන් මෙහෙම ලිව්වා: “ඇත්තෙන්ම අපි විදේශ රටක අමුත්තන් වූ නිසා අපිට යන්න එන්න සභාවක්වත්, උපකාර කරන්න යාළුවෝවත් හිටියේ නැහැ. නමුත් මම දැන් දන්නවා මට අධ්‍යාපනයක් ලැබුණ බව. ආත්මික වශයෙන් මම ධනවත් වෙමින් හිටියා.”
ඇය මෙහෙම අහලා තිබුණා: “යාළුවන්ගෙන් හා තමාගේ නෑදෑයන්ගෙන් ඈත් වෙලා ඉන්නකොට යෞවනියක් කරන්නේ මොනවාද? ඇත්තෙන්ම ඒක ඒ තරම් නරක දෙයක් වුණේ නම් නැහැ. මම කම්මැළිකමෙන් හිටිය දවසක් මට මතක නැහැ. මම හුඟක් පොත් පත් කියෙව්වා. අපේ බයිබල් පොත් පත් කියවීමයි පාඩම් කිරීමයි අපි කවදාවත් අතපසු කළේ නැහැ. මම අම්ම එක්කම වගේ ඉඳලා, අපිට තිබුණු මුදල පාලනය කරන්නත්, සාප්පු යන්නත්, කාර් එකේ ටයර් මාරු කරන්නත්, උයන්න පිහන්නත්, මහන්නත්, දේශනා කරන්නත් ඉගෙනගත්තා. පසුතැවෙන්න දෙයක් මට සිද්ධ වෙලා නැහැ; ඒ දේවල්ම ආපහු සන්තෝෂයෙන් කරනවා.”
හෙලන්ගේ අම්මට ලස්සන නිවසක් තිබුණත් ඒ කාලයේදී පුංචි ට්‍රේලර් රථයක ජීවත් වෙමින් ඔවුන් සෑහීමට පත් වුණා. ඔහායෝ, කලම්බස්හි 1937දී පැවති සමුළුවෙන් පස්සේ, හෙලන්ගේ අම්මගේ සෞඛ්‍යය දුර්වල වෙලා රෝහල්ගත කරන්න සිද්ධ වුණා. වර්ෂ 1937 නොවැම්බර්වලදී, බටහිර වර්ජිනියාවේ පිලිප්පිවලදී ඇගේ පැවරුමෙහි යෙදී සිටිද්දී ඇය මියගියා.
විවාහය හා නොකඩවා සේවය
වර්ෂ 1938 ජූනි 10වෙනිදා, බටහිර වර්ජිනියාවේ වීලිං අසල, එල්ම් ග්‍රෝව්හි ඇය ඉපදුණ නිවසේදී සුළු උත්සවයක් අරගෙන හෙලනුයි මමයි විවාහ වුණා. මම ඉපදෙන්න අවුරුදු කීපයකට කලින් මගේ පවුලේ අයට මුලින්ම සත්‍යය දුන්න අපේ ප්‍රිය සහෝදර ඉවෑන්ස් විවාහ මංගල්‍ය කතාව දුන්නා. විවාහයෙන් පස්සේ හෙලනුයි මමයි නැඟෙනහිර කෙන්ටකිවල පුරෝගාමී සේවයේ ආපහු යෙදෙන්න සැලසුම් කළත්, අපිව පුදුමයට පත් කරවමින්, කලාපීය සේවයේ යෙදෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. මෙම වැඩයට බටහිර කෙන්ටකිවල හා ටෙනසිහි සමහර ප්‍රදේශවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම් බැහැදැක ඔවුන්ගේ දේවසේවයට උපකාර කිරීම ඇතුළත් වුණා. අපි ගිය ඔක්කොම තැන්වල එතකොට හිටියේ ඒ වගේ රාජ්‍ය ප්‍රකාශකයන් 75දෙනෙක් විතරයි.
මේ කාලයේදී, ජාතිවාදය බොහෝදෙනෙකුගේ චින්තනය වෙනස් කළ අතර මගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය නිසා වැඩි කල් යන්න කලින් සිරගත වෙන්න සිද්ධ වෙයි කියලා මම හිතුවා. (යෙසායා 2:4) කොහොමනමුත්, දේශනා වැඩය සම්බන්ධයෙන් මට තිබුණ වාර්තාව නිසා, අනිවාර්ය සේවයට බඳවාගන්නාවූ මණ්ඩලය දිගටම පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙන්න මට අවසර දුන්නා.
අපි සංචාරක දේවසේවය පටන්ගත්ත අවදියේදී, හැමදෙනෙක්ම වගේ අපේ යෞවන ශක්තිය ගැන හුඟක් පුදුම වුණා. කෙන්ටකි, හොප්කින්ස්විල්හි ක්‍රිස්තියානි සහෝදරියක් හෙලන්ව ආදරයෙන් වැලඳගෙන මෙහෙම කිව්වා: “ඔයාට මාව මතකද?” වර්ෂ 1933දී, ඇගේ සැමියාගේ වෙළඳ සැලේ ඉන්නකොට හෙලන් ඇයට සාක්ෂිදරලා තිබුණා. ඇය දහම්-පාසැලේ ගුරුවරියක් වූ නමුත් හෙලන් ඇයට දුන් පොත කියෙව්වට පස්සේ, බයිබලයට පටහැනි දේවල් ඉගැන්වීම ගැන ඇගේ පංතියේ ළමයින්ගෙන් ඇය සමාව ඉල්ලුවා. පල්ලියෙන් අස් වුණාට පස්සේ, ඇගේ සෙනඟ අතරේ බයිබල් සත්‍යය ප්‍රකාශ කරන්න ඇය පටන්ගත්තා. හෙලනුයි, මමයි අවුරුදු තුනක් බටහිර කෙන්ටකිවල සේවය කළ අතර ඒ සහෝදරිය හා ඇගේ සැමියා අපි වෙනුවෙන් ඔවුන්ගේ නිවස විවෘත කරලා තිබුණා.
ඒ දවස්වලදී අපිට කුඩා ප්‍රාදේශීය එක්රැස්වීම් තිබුණ අතර, ඒ. එච්. මැක්මිලන් මේ එකක සේවය කළා. හෙලන් කුඩා කාලයේදී ඔහු හෙලන්ගේ දෙමාපියන්ගේ නිවසෙයි නැවතිලා තිබුණේ; ඒ නිසා සමුළුව පැවැත්වෙන කාලයේදී ඔහු අපිත් එක්ක ඉන්න තීරණය කළා; වාහනයෙන් තනාගත්ත මීටර් 5ක් දිග අපේ නිවසේ අපිට වැඩිපුර ඇඳක් තිබුණා. ඔහුත් ඔහුගේ යෞවන කාලයේදීම උතුම් මැවුම්කරුව සිහි කරලා තිබුණ අතර, ඔහුට වයස 23ක් වුණහම 1900දී යෙහෝවාට ඔහුගේ ජීවිතය කැප කරලා තිබුණා.
වර්ෂ 1941 නොවැම්බර්වලදී සංචාරක සහෝදරයන්ගේ වැඩය තාවකාලිකව නවත්වා තිබුණ නිසා මාව කෙන්ටකිවල හැසඩ්හි පුරෝගාමියෙක් හැටියට පත් කළා. ආපහු පාරක් අපි අපේ කාල් අයියා සහ ඔහුගේ බිරිඳ ක්ලෙයා එක්ක වැඩ කළා. මෙහෙදී හෙලන්ගේ බෑනා කෙනෙක් වූ ජෝසෆ් හූස්ටන් අපි එක්ක හවුල් වෙලා පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත්තා. ඔහු අවුරුදු 50කට ආසන්න කාලයක් පූර්ණ කාලීන දේවසේවයේ නිරත වූ අතර, නියූ යෝක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ඇදහිලිවන්තව සේවය කරමින් සිටියදී 1992දී හදිසියේ හෘදයාබාධයකින් මියගියා.
වර්ෂ 1943දී, අපිට කනෙක්ටිකට්හි, රොක්විල්වලට පැවරුම ලැබුණා. අපි පුරුදු වෙලා තිබුණේ දකුණේ දේශනා සේවයේ යෙදෙන්නයි; ඒ නිසා මේක හෙලන්ටයි මටයි හරියට වෙන ලෝකෙකට ආවා වගේ වුණා. රොක්විල්වලදී හෙලන් සතියකට බයිබල් පාඩම් 20කට වඩා නිතිපතා පැවැත්තුවා. අන්තිමේදී, අපි රාජ්‍ය ශාලාවකට පොඩි කාමරයක් කුලියට අරං පුංචි සභාවක් සකස් කරගත්තා.
රොක්විල්වල සේවය කර කර ඉන්නකොට, නියූ යෝක්හි දකුණු ලාංසින්වල පැවැත්වූ ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලේ පස්වෙනි පංතියට අපිට ආරාධනාවක් ලැබුණා. කෙන්ටකිවල අපි පුරෝගාමී සේවයේ යෙදුණ දවස්වල හිටිය මිතුරන් වූ ඔබ්රි සහ බ’තා බිවන්ස් අපේ පංතියේ ඉන්න යන බව දැනගැනීම අපිට සතුටක් වුණා.
පාසැල හා අපේ අලුත් පැවරුම
අපි එතකොට තරුණයන්ව හිටියත් අපේ පංතියේ මිතුරන්ගෙන් වැඩිදෙනෙක් ඊටත් වඩා බාල අයයි. ඔව්, ඔවුන්ගේ යෞවන කාලයේදී ඔවුන් තම උතුම් මැවුම්කරුව සිහි කරමින් හිටියා. දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙන්න ළං වෙලා තිබුණු 1945 ජූලිවලදීයි අපේ උපාධිය ලැබුණේ. අපේ මිෂනාරි පැවරුම් ලැබෙනකම්, අපි නියූ යෝක් බෘක්ලින්හි ෆ්ලැට්බුෂ් සභාව එක්ක වැඩ කළා. අන්තිමේදී, 1946 ඔක්තෝබර් 21වෙනිදා බිවන්ස්ලා ඇතුළු තවත් පංති මිතුරන් හයදෙනෙකුත් එක්ක අපි ග්වාටමාලාහි ග්වාටමාලා නගරයේ අපේ අලුත් නවාතැන බලා ගුවනින් ගියා. ඒ වෙනකොට, ඒ මුළු මධ්‍යම අමෙරිකානු රටේම සාක්ෂිකරුවන් 50කට වඩා හිටියේ නැහැ.
වර්ෂ 1949 අප්‍රියෙල්වලදී, මිෂනාරිවරුන් වූ අපි කීපදෙනෙක්, රටේ ප්‍රමාණයෙන් හා වැදගත්කමින් දෙවෙනි තැන ගත්ත ක්වෙට්සල්ටෙනැන්ගෝවල පදිංචියට ගියා. මේ නගරය තියෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 2,300කට ඉහළින් වන අතර කඳුකරයේ හමන මද නල සුවදායක, පිරිසිදු ඒවායි. මෙහි අප කළ සේවය සම්බන්ධයෙන් හෙලන් කෙටියෙන් ලිව්වේ මෙහෙමයි: “නගර හා ගම්මාන ගණනාවක දේශනා කරන්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! අපි පාන්දර හතරට නැඟිටලා (ජනේල වෙනුවට බොහෝවිට ඇකිලිය හැකි කැන්වස් රෙදි තිබුණ) බස් රථයකින් ඈත නගරයකට ගියා. හවස ආපහු එන තුරු එහිදී අපි පැය අටක් විතර දේශනා සේවයේ යෙදුණා.” අදදින මේ ස්ථානවලින් බොහොමයක සභාවල් තිබෙන අතර ක්වෙට්සල්ටෙනැන්ගෝවල තිබෙන හයත් ඊට ඇතුළත් වෙනවා.
වැඩි කාලයක් යන්න කලින්, ග්වාටමාලාහි තුන්වන විශාල නගරය වන කැරිබියන් මුහුදු තීරයේ ඇති පුවටෝ බාරියොස්හි සේවය සඳහා මිෂනාරිවරුන්ව කැඳවනු ලැබුවා. ග්වාටමාලාහි අපි එක්ක අවුරුදු පහක් සේවයේ නිරත වූ අපේ ආදරණීය මිත්‍රයන් වන බිවන්ස්ලට මේ අලුත් පැවරුම සඳහා පදිංචිය මාරු කරන්න සිද්ධ වුණා. වෙන් වී යෑම වේදනාකාරි දෙයක් වුණා විතරක් නෙවෙයි ලොකු පාළුවකුත් දැනුණා. මිෂනාරි නිවසේ තනි වුණ හෙලනුයි, මමයි පුංචි නවාතැනකට මාරු වුණා. වර්ෂ 1955දී, හෙලනුයි මමයි උෂ්ණාධික නගරයක් වූ මාසාටෙනැන්ගෝවල අලුත් පැවරුමක් භාරගත්තා. වර්ෂ 1953දී ගිලියද් උපාධිය ලබාගත්ත මගේ බාල මල්ලි පෝල් හා ඔහුගේ බිරිඳ ඩලෝරස්, අපි එහෙට යන්න ටික කාලෙකට කලින් එහෙ සේවය කරලා තිබුණා.
වර්ෂ 1958 වෙනකොට අපිට ග්වාටමාලාහි සාක්ෂිකරුවන් 700කට වඩා සිටි අතර සභා 20ක් සහ චාරිකා තුනක් තිබුණා. සාක්ෂිකරුවන් ටිකදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හා ක්වෙට්සල්ටෙනැන්ගෝවල සභාව ඇතුළු සභා කීපයක් බලන්න යමින් හෙලනුයි, මමයි ආපහු සංචාර වැඩයේ යෙදුණා. ඊට පස්සේ, 1959 අගෝස්තුවලදී, ග්වාටමාලා නගරයට ආපහු එන්න කියා අපිට ආරාධනාවක් ලැබුණ අතර අපි එහෙ ශාඛා කාර්යාලයෙයි පදිංචි වුණේ. මට ශාඛා කාර්යාලයේ වැඩ කරන්න පැවරුමක් ලැබුණු අතර ඊළඟ අවුරුදු 16 තුළ හෙලන් මිෂනාරි සේවයේ යෙදුණා. ඊට පස්සේ ඇයත් ශාඛා කාර්යාලයේ වැඩ කරන්න පටන්ගත්තා.
තවත් ආශීර්වාද
අවුරුදු ගණනකට කලින් මට හැමවිටම හැඟුණේ යෙහෝවාට සේවය කරපු අයගෙන් බාලම තැනැත්තා වුණේ මමයි කියලයි. දැන් හුඟවෙලාවට වැඩිමල්ම තැනැත්තා වෙන්නේ මමයි. වර්ෂ 1996දී නියූ යෝක් පැටසන් ශාඛා පාසැලට සහභාගි වුණ අවස්ථාව ඒකට හොඳ උදාහරණයක්. මගේ බාල වියේදී වැඩිමල් අයගෙන් මම ලොකු උපකාරයක් ලැබුවා වගේම, මෑත දශකයන්වලදී තමන්ගේ බාල වියේදී තම මැවුම්කරුව සිහි කිරීමට ආශාවක් දක්වන බාලයන් හුඟදෙනෙකුට උපකාර කරන්න ලැබීම වරප්‍රසාදයක්.
යෙහෝවා නොකඩවාම ග්වාටමාලාහි සිටින තම ජනයා මත ආශීර්වාද වගුරුවමින් ඉන්නවා. වර්ෂ 1999දී ග්වාටමාලා නගරයේ සභා 60කට වැඩිය තිබුණා. ඒ වගේම උතුරට, දකුණට, නැඟෙනහිරට හා බටහිරට වෙන්න, තවත් සභා බොහෝමයක් මෙන්ම දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන දහස් ගණනක් ඉන්නවා. අවුරුදු 53කට කලින් අපි එනකොට හිටිය 50දෙනෙකුටත් අඩු සංඛ්‍යාව දැන් 19,000ටත් වඩා වැඩි වෙලා තියෙනවා!
කෘතඥ වෙන්න බොහෝ දේවල්
ප්‍රශ්න ගැටලු නැති කිසි කෙනෙක් නැහැ; නමුත් අපිට හැම වෙලාවෙම අපේ ‘බර යෙහෝවා පිට තබන්න’ පුළුවන්. (ගීතාවලිය 55:22) ප්‍රේමනීය මිතුරු මිතුරියන්ගේ උපකාරය දෙමින් ඔහු නිතරම අපව උසුලා දරාගන්නවා. උදාහරණයක් හැටියට, හෙලන්ගේ මරණයට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා, බයිබලයේ හෙබ්‍රෙව් 6:10වෙනි පදය ලියා ඇති පුංචි සිහිවටනයක් ඇය මට තෑගි කළා. එහි ලියා තිබෙන්නේ මෙහෙමයි: “ඔබේ වැඩයත්, ඔහුගේ ජනයාට ඔබ කළ සේවය මෙන්ම තවමත් ඔවුන් වෙනුවෙන් කරන සේවයත්, ඔහුට දැක්වූ ප්‍රේමයත් අමතක කර දැමීමට තරම් දෙවි අසාධාරණ නැත.”—වේමත්.
ඒ සමඟම දුන්න ලිපියේ මෙයත් සඳහන් කර තිබුණා. “මගේ රත්තරං, මගේ ආදරය ඇරෙන්න මට ඔයාට දෙන්න වෙන දෙයක් නැහැ . . . මේ පාඨය ඔයාට හුඟක් සුදුසුයි; ඒ නිසා මේක ඔයාගෙ මේසෙ උඩින් තියාගන්න, මං දුන්න හින්දා නෙවෙයි නමුත් ඔයා අවුරුදු ගානක් සේවය කළ නිසා මේක ඔයාට අදාළ වෙනවා.” අද වෙනකම්ම, ඒ සිහිවටනය ග්වාටමාලා ශාඛාවේ මගේ කාර්යාලයේ ලියන මේසෙ උඩ තියෙනවා.
මගේ බාල වියේ පටන් මම යෙහෝවාට සේවය කරලා තියෙනවා; දැන් මහලු වෙලා ඉන්න මම, මට පවරලා තියෙන වගකීම් ඉටු කරන්න හැකි කරවන මගේ හොඳ සෞඛ්‍යය වෙනුවෙන් යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. මම නිතිපතා බයිබලය කියවන විට, මගේ ආදරණීය හෙලන් ඇගේ බයිබලයේ ඉරි ගහලා ඇතියි කියලා හිතන ශුද්ධ ලියවිලි පද මට නිතර හම්බ වෙනවා. මම ආපහු ගීතාවලිය 48:14 කියවනකොට මේක කියවන්න හම්බ වුණා: ‘දෙවි සදාකල්හිම අපේ දෙවිය. ඔහු මරණය දක්වා අපට මඟ පෙන්වන්නේය.’
සියලුම ජාතිවලට අයත් ජනයා විසින් අලුත් ලොව තුළට තම මළාවූ ප්‍රේමනීයයන්ව සාදරයෙන් පිළිගනු ලබන නැවත නැඟිටීමේ දවස පිළිබඳව අන්‍යයන්ට කියන්න ලැබීම මගේ සතුටයි. මොනතරම් කදිම බලාපොරොත්තුවක්ද! යෙහෝවා ඇත්තෙන්ම “කලකිරුණු අය ධෛර්යවත් කරවන” බව අපි සිහි කරන විට ඇති වන්නේ මොනතරම් සතුටක්ද!—2 කොරින්ති 7:6, නව අනුවාදය.
[25වන පිටුවේ පින්තූරය]
ඉහළ වමේ සිට දකුණට: අම්මා, තාත්තා, ඊවා නැන්දා සහ සහෝදරයන් වන කාල් හා ක්ලැරන්ස්, 1910දී
[26වන පිටුවේ පින්තූර]
1947දී හා 1992දී හෙලන් එක්ක