දෙවිට එරෙහිව සටන් වදින්නන් ජය නොගනියි!
“ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය.”—යෙරෙමියා 1:19.
1. යෙරෙමියාට ලැබුණු බලපැවරුම කුමක්ද? ඔහුගේ සේවය කොතරම් කාලයක් පුරා පැවතුණාද?
සියවස් ගණනාවකට කලින් ජාතීන් උදෙසා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීම සඳහා යෙහෝවා යෞවන වියේ පසු වූ යෙරෙමියාට බලපැවරුමක් දුන්නා. (යෙරෙමියා 1:5) මෙය සිදු වූයේ යූදාව පාලනය කළ යහපත් රජෙක් වූ යොෂියාගේ පාලන කාලයේදීයි. බබිලෝනිය විසින් යෙරුසලම අත් පත් කරගැනීමට කලින් පැවති කැලඹිලිසහගත කාලයේ සිට දෙවිගේ සෙනඟව වහල්භාවයට රැගෙන ගිය කාලය දක්වා යෙරෙමියා අනාවැකි පැවසීමේ කාර්යය දිගටම කරගෙන ගියා.—යෙරෙමියා 1:1-3.
2. යෙහෝවා යෙරෙමියාව ශක්තිමත් කළේ කෙසේද? මෙම අනාගතවක්තෘට එරෙහිව සටන් කිරීමෙන් අදහස් කළේ කුමක්ද?
2 යෙරෙමියා ප්‍රකාශ කරන්න සිටිය විනිශ්චය පිළිබඳ පණිවිඩ, විරුද්ධවාදිකම් ඇවිස්සීමට හේතු වූ බවට සැකයක් නැහැ. එනිසා දෙවි ඔහුව ධෛර්යවත් කළා. (යෙරෙමියා 1:8-10) උදාහරණයක් හැටියට අනාගතවක්තෘවරයාට ඔහුගේ චිත්ත ධෛර්යය ඉහළ නංවාගැනීමට මෙම වදන් ඉවහල් වුණා: “ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි [යෙහෝවා කියන්නේය].” (යෙරෙමියා 1:19) යෙරෙමියාට එරෙහිව සටන් වදිනවා කියන්නේ යෙහෝවාට එරෙහිව සටන් වදිනවා කියන එකයි. අනාගතවක්තෘවරයෙකු හා සමාන සේවක කණ්ඩායමක් අද යෙහෝවාට සිටිනවා. මොවුන්ගේ වැඩය යෙරෙමියා කළ වැඩයට සමානයි. ඔහු මෙන් මොවුනුත් දෙවිගේ අනාවැකිමය වදන් නිර්භීතව ප්‍රකාශ කරනවා. මොවුන් ප්‍රකාශ කරන්නේ සියලුම පුද්ගලයන්ගේ හා ජාතීන්ගේ හොඳට හෝ නරකට බලපාන පණිවිඩයකි. එය තීරණය වන්නේ ඔවුන් එයට දක්වන ප්‍රතිචාරය අනුවයි. දෙවිගේ සේවකයන්ට හා දෙවි ඔවුන්ට පවරා තිබෙන වැඩවලට විරුද්ධ වීමෙන් ඔහුට එරෙහිව සටන් වදින්නන් යෙරෙමියාගේ කාලයේදී මෙන් අදදිනත් සිටිනවා.
යෙහෝවාගේ සේවකයන්ට ප්‍රහාරයක්
3. යෙහෝවාගේ සේවකයන් ප්‍රහාරයකට ලක් වී තිබෙන්නේ මන්ද?
3 විසිවන සියවසේ මුල්භාගයේ සිට යෙහෝවාගේ සෙනඟ ප්‍රහාරවලට ගොදුරු වී සිටිනවා. බොහෝ රටවල සිටින දුෂ්ට චේතනා තිබෙන මිනිසුන් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩයට බාධා කරන්න, ඇත්තෙන්ම එය සම්පූර්ණයෙන්ම නතර කරන්න උත්සාහ කර තිබෙනවා. මොවුන්ව උසිගන්වන්නේ, “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ [ඇවිදින]” අපේ ප්‍රධාන සතුරා වන යක්ෂයායි. (1 පේතෘස් 5:8) වර්ෂ 1914දී “ජාතීන්ගේ නියම කරන ලද කාලවල්” අවසන් වීමෙන් පසුව, දෙවි ඔහුගේ පුත්‍රයාව පොළොවේ නව රජ හැටියට පත් කර, ඔහුගේ ‘සතුරන් මැද ආණ්ඩු කිරීමේ’ බලතල ඔහුට දී තිබෙනවා. (ලූක් 21:24, NW; ගීතාවලිය 110:2) ක්‍රිස්තුස් ඔහුගේ රාජ්‍ය බලතල පාවිච්චි කරමින් සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දමා පොළොවට සීමා කර තිබෙනවා. තමාට තිබෙන්නේ ටික කාලයක් බව දන්න නිසා යක්ෂයා ආලේප ලත් ක්‍රිස්තියානීන්ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ට එරෙහිව ඔහුගේ උදහස පිට කරනවා. (එළිදරව් 12:9, 16ආ) දෙවිට එරෙහිව සටන්වදින්නන් විසින් නැවත නැවත එල්ල කරනු ලබන ප්‍රහාරවල ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?
4. පළමු ලෝක මහා යුධ සමයේදී යෙහෝවාගේ සෙනඟ අද්දුටු පීඩා මොනවාද? එහෙත් 1919දී හා 1922දී සිදු වූයේ කුමක්ද?
4 පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී යෙහෝවාගේ අභිෂේක ලත් සේවකයන් ඇදහිල්ල පරීක්ෂාවට ලක් කෙරෙන පරීක්ෂණ බොහොමයකට මුහුණ දුන්නා. ඔවුන්ට සරදම් කළා; නින්දා කළා; කලහකාරි පිරිස් ඔවුන්ව ලුහුබැන්දා; ඔවුන්ට පහර දුන්නා. යේසුස් පුරෝකථනය කළාක් මෙන් ඔවුන් ‘සියලු ජාතීන්ගේ වෛරයට’ පාත්‍ර වුණා. (මතෙව් 24:9) යුධ උමතුව මැද දෙවිගේ රාජ්‍යයේ සතුරන්, යේසුස් ක්‍රිස්තුස්ට විරුද්ධව යොදාගත් උපාය මාර්ගයම ඔහුගේ අනුගාමිකයන්ට එරෙහිවද යොදාගත්තා. ඔවුන් කිසිම පදනමක් නැතුව සාක්ෂිකරුවන්ව රාජද්‍රෝහීන් හැටියට හංවඩු ගසා, දෙවිගේ දෘශ්‍යමාන සංවිධානයේ හදවත බඳු මූලස්ථානයට පහර දුන්නා. වර්ෂ 1918 මැයි මාසයේදී, වොච් ටවර් සමිතියේ සභාපති වූ ජේ. එෆ්. රදෆ’ඩ්ව හා ඔහුගේ කිට්ටුම ආශ්‍රිතයන් සත්දෙනෙකුව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරනු ලැබුවා. අනතුරුව මේ මිනිසුන් අටදෙනාට දැඩි සිර දඬුවමක් නියම කරමින් ජෝර්ජියාහි ඇට්ලන්ටාවල පිහිටි රැඳවුම් කඳවුරට යැව්වා. මාස නවයකට පසුව ඔවුන්ව නිදහස් කළා. විත්තිකරුවන්ව අපක්ෂපාති ලෙස විභාග කර නොමැති බව 1919 මැයි මාසයේදී අභියාචනාධිකරණය තීන්දු කරමින් නඩුව නැවත විභාග කිරීමට නියෝග කළා. මෙම නඩුව නැවත අලුතෙන් විභාග කළ නමුත්, පසුව ආණ්ඩුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉවත් කරගත්තා. මේ අනුව, සහෝදර රදෆ’ඩ් සහ ඔහුගේ ආශ්‍රිතයන් රාජද්‍රෝහීන් යන චෝදනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඔවුන් නැවතත් තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කළ අතර, 1919දී සහ 1922දී ඔහයෝ සීඩා පොයින්ට්හි පවත්වන ලද සමුළු මගින් රාජ්‍ය දේශනා කිරීමේ වැඩයට නව ජීවයක් ලැබුණා.
5. නාට්සි ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කල් ගෙව්වේ කෙසේද?
5 වර්ෂ 1930 ගණන්වලදී ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙන්න පටන්ගත් අතර, ජර්මනිය, ඉතාලිය හා ජපානය යන රටවල් ඒකාබද්ධ බලවේගයක් පිහිටුවාගත්තා. එම දශකයේ මුල්භාගයේදී, දෙවිගේ සෙනඟට එරෙහිව ඉතාමත් කුරිරු වධ හිංසා ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. විශේෂයෙන්ම මෙය සිදු වූයේ නාට්සි ජර්මනියේයි. තහනම් නියෝග නිකුත් කළා. නිවෙස්, සෝදිසි කිරීම්වලට ලක් කර, නිවැසියන්ව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ ඇදහිල්ල පාවා දීම හෝ අත්හැරීම ප්‍රතික්ෂේප කළ නිසා දහස් ගණනක්ව ගාල් කඳවුරුවලට යැව්වා. දෙවිට සහ ඔහුගේ සෙනඟට එරෙහිව දියත් කළ එම සටනේ අරමුණ වුණේ ඒකාධිපතිවාදී බල ප්‍රදේශවලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අතුගා දැමීමයි.a යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජර්මනියේ අධිකරණවලට ගිය අවස්ථාවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නිදහස ලබා නොදිය යුතු බවට කරුණු දක්වමින්, රයික් නොහොත් ජර්මානු අධිකරණ අමාත්‍යාංශය දිගු ප්‍රකාශයක් සකස් කළා. එහි මෙසේ සඳහන් වුණා: “යම් නීතික ක්‍රියාමාර්ගයන් බාධාවන් ලෙස ඉස්මතු වුවත්, අධිකරණය තම කාර්යය ඉටු කිරීමට පසුබට නොවිය යුතුයි; යම් නීතික දුෂ්කරතාවන් තිබුණත්, තමන්ගේ භාරදූර රාජකාරිය ඉටු කිරීමට ක්‍රම සහ විධි සෙවිය යුතුයි.” මෙයින් අදහස් වූයේ සැබෑ යුක්තිය පෙරළා දැමීමයි. නාට්සි පාලනය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් සැලකුවේ, සතුරුකමක් මෙන්ම ‘ජාතියේ සමාජවාදී වැඩපිළිවෙළට බාධාවක් හැටියටයි.’
6. දෙවන ලෝක මහා යුධ සමයේදී හා ඉන්පසු අපේ වැඩය නැවැත්වීමට කුමන ආකාරයේ ප්රයත්නයක් ගනු ලැබුවාද?
6 දෙවන ලෝක මහා යුධ සමයේදී ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් අප්‍රිකා හා ආසියා මහාද්වීපවලද, කැරිබියන් හා පැසිෆික් දූපත්වලද විසූ යෙහෝවාගේ සෙනඟට තහංචි හා සීමා පනවනු ලැබුවා. එක්සත් ජනපදයේ බලපුළුවන්කාර සතුරන් හා වැරදි තොරතුරුවලින් නොමඟ ගිය මිනිසුන් “පනතෙන් නපුර යොදන්න” මං සෙව්වා. (ගීතාවලිය 94:20) නමුත් කොඩියට ආචාර කිරීම හා සම්බන්ධ ප්රශ්නය ගැනද, ප්‍රජා නීති යොදාගනිමින් ගෙයින් ගෙට දේශනා කිරීම තහනම් කළ නීතිවලට එරෙහිවද එක්සත් ජනපදයේ අධිකරණවල සටන් කර, සාක්ෂිකරුවන් හිතකර තීන්දු ලබාගත්තා. මෙම තීන්දු නමස්කාරයේ නිදහස රැකගැනීමට මහත් පිටුවහලක් වුණා. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න සතුරන්ට ජයගත නොහැකි වුණා. යුරෝපයේ යුද්ධය අවසානය කරා පැමිණි විට තහංචි ඉවත් කරනු ලැබුවා. ජර්මනියේ ගාල් කඳවුරුවල රඳවාගෙන සිටිය සාක්ෂිකරුවන් දහස් ගණනක්ව නිදහස් කළත් සටන එතැනින් අවසන් වුණේ නැහැ. දෙවන ලෝක මහා යුද්ධය අවසන් වීමත් සමඟම වගේ, ශීත නොහොත් නිරවි යුද්ධය පටන්ගත්තා. නැඟෙනහිර යුරෝපීය ජාතීන් යෙහෝවාගේ සෙනඟව දැඩි පීඩනයකට ලක් කළා. අපේ සාක්ෂි දැරීමේ කටයුතුවලට බාධා පමුණුවා නතර කර දමන්නත්, පොත් පත් ලැබීම නතර කරන්නත්, ප්‍රසිද්ධ එක්රැස්වීම් අත්හිටුවන්නත්, නිල මට්ටමින් පියවර ගත්තා. බොහෝදෙනෙකුව සිරගත කළා; නැත්නම් බර වැඩ ගන්න කඳවුරුවලට යැව්වා.
දේශනා කිරීම ඉදිරියටම ඇදී යයි!
7. මෑත අවුරුදුවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෝලන්තයෙහි, රුසියාවෙහි හා වෙනත් රටවල අද්දැක තිබෙන දේවල් මොනවාද?
7 දශක ගණනක් ගෙවී යද්දි, රාජ්‍ය දේශනා කිරීමේ වැඩයට නිදහස ලැබුණා. ඒ වන විටත් පෝලන්තය කොමියුනිස්ට් පාලනය යටතේ තිබුණත්, 1982දී එක්දින සමුළු පැවැත්වීමට ඉඩ දුන්නා. පසුව, 1985දී ජාත්‍යන්තර සමුළු පැවැත්වුවා. වර්ෂ 1989දී විශාල ජාත්‍යන්තර සමුළුත් එහි පැවැත්වුවා. රුසියාවෙන් හා යුක්රේනයෙන් දහස් ගණනක් ඒවාට පැමිණියා. ඒ අවුරුද්දේදීම හංගේරියාව හා පෝලන්තය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් පිළිගත්තා. වර්ෂ 1989 ශරත් ඍතුවේදී බ’ලින් තාප්පය කඩා දැමුවා. ඉන් මාස කිහිපයකට පසුව, නැඟෙනහිර ජර්මනිය අපව නීතිමය වශයෙන් පිළිගත්තා. ඉන්පසුව, බ’ලින්හිදී ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුවා. විසිවන සියවසේ අවසාන දශකය ආරම්භයේදී, රුසියාවේ සිටින සහෝදරයන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වීමට වෑයම් කරනු ලැබුවා. මොස්කව්හි සිටි සමහර නිලධාරීන්ව මුණගැසීමට සැලසුම් යෙදුණා. වර්ෂ 1991දී එරට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් ලියාපදිංචි කළා. ඒ කාලයේ සිට රුසියාවේ මෙන්ම කලින් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ ජනරජවලත් සාක්ෂි දැරීමේ වැඩය ඉතා වේගයෙන් වර්ධනය වී තිබෙනවා.
8. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ගත වූ වසර 45 තුළ යෙහෝවාගේ සෙනඟ අද්දැක තිබෙන්නේ කුමක්ද?
8 සමහර ප්‍රදේශවල හිංසා පීඩා කිරීම අඩු වේගන යද්දී, තවත් සමහර ප්‍රදේශවල ඒවා වැඩි වුණා. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ගෙවී ගිය අවුරුදු 45 තුළදී, සමහර රටවල් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීතිමය වශයෙන් පිළිගත්තේ නැහැ. මීට අමතරව, අප්‍රිකාවේ රටවල් 23කත්, ආසියාවේ රටවල් 9කත්, යුරෝපයේ රටවල් 8කත්, ලතින් අමෙරිකාවේ රටවල් 3කත්, තවත් දූපත් 4කත් අපේ වැඩකටයුතු තහනම් කරනු ලැබුවා.
9. මලාවිහි සිටින යෙහෝවාගේ සේවකයන් අද්දැක තිබෙන්නේ මොනවාද?
9 වර්ෂ 1967 පටන් මලාවිහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතාමත් දරුණු වධ හිංසා අද්දැක්කා. ඒ රටේ සිටින අපේ සහෝදරයන්, සැබෑ ක්‍රිස්තියානීන් ලෙස තමන්ගේ මධ්‍යස්ථභාවය රැකගැනීම නිසා දේශපාලන පක්ෂ කාඩ්පත් මිල දී ගත්තේ නැහැ. (යොහන් 17:16) මලාවි කොන්ග්රස් පක්ෂය 1972දී පැවැත්වූ රැස්වීමකින් පසුව නැවතත් තිරිසන් යුගය ආරම්භ වුණා. සහෝදරයන්ව ඔවුන්ගේ නිවෙස්වලින් පන්නා දැමූ අතර, ඔවුන්ව රැකියාවලට බඳවාගැනීම ප්‍රතික්ෂේප කළා. දහස් ගණනක් තමන්ගේ ජීවිත බේරාගන්න රටෙන් පලා ගියා. එහෙත් දෙවිට හා ඔහුගේ සෙනඟට එරෙහිව සටන් වැදුණු අය ජයගත්තාද? කොහෙත්ම නැහැ. තත්වය යහපත් අතට හැරීමෙන් පසු ප්‍රචාරකයන් 43,767ක නව උපරිමයක් 1999දී මලාවිවලින් වාර්තා වූ අතර, එහි පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට 1,20,000කට වඩා පැමිණ සිටියා. අලුත් ශාඛා කාර්යාලයක් අගනුවරෙහි ඉදි කර තිබෙනවා.
අපව හසු කරගන්න තැත් කරයි
10. දානියෙල්ට කළාක් මෙන්, නවීන කාලවලදී දෙවිගේ සෙනඟගේ විරුද්ධවාදීන් කර තිබෙන්නේ කුමක්ද?
10 ඇදහිල්ල අත්හැර යන්නන්ට, පූජක පක්ෂයට හා තවත් අයට දෙවිගේ වචනය මත පදනම් අපේ පණිවිඩයට සවන් දිය නොහැකියි. එය ඔවුන්ගේ සිතට වදයක්. ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් කණ්ඩායම්වල බලපෑමට ලක් වී සිටින විරුද්ධවාදීන්, අපට එරෙහිව දියත් කරන සටනේදී නීතිය අතකොළුවක් කරගැනීමට උත්සාහ කරයි. මේ සඳහා සමහර අවස්ථාවලදී භාවිත කරන උපක්‍රම මොනවාද? දානියෙල්ට විරුද්ධව තමන්ගේ ප්‍රහාරය සැලසුම් කිරීමේදී කුමන්ත්රණකරුවන් තෝරාගත්තේ කුමන ක්‍රියාමාර්ගයද? දානියෙල් 6:4, 5හි අපට මෙසේ කියවීමට තිබෙනවා: “එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය. එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ [දෙවිගේ] ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය.” ඒ හා සමානව අදදිනත්, විරුද්ධවාදීන් චෝදනා කිරීම සඳහා කාරණයක් අල්ලාගන්ට සොයනවා. “භයානක නිකායන්” ගැන ඔවුන් මහත් ආන්දෝලනයක් ඇති කර, එවැනි නිකායන්ගෙන් එකක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හංවඩු ගැසීමට ඔවුන් වෑයම් කරනවා. වරදවා දැක්වීම, වක්‍රාකාරව දෝෂාරෝපණය කිරීම හා අමූලික බොරු ප්‍රකාශ වැනි දේවල් යොදාගනිමින්, ඔවුන් අපේ නමස්කාරයට හා දෙවිගේ ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වීමට අප දරන වෑයමට එරෙහි වෙයි.
11. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමහර විරුද්ධවාදීන් කර තිබෙන බොරු ප්‍රකාශයන් මොනවාද?
11 අපි යෙදී සිටින්නේ ‘අපේ දෙවි ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුටු වූ [නමස්කාරයක]’ බව පිළිගන්න, සමහර රටවල සිටින ආගමික හා දේශපාලනික කොටස් කැමති නැහැ. (යාකොබ් 1:27) අපේ ක්‍රිස්තියානි දේවසේවය හා සම්බන්ධ ක්‍රියාකාරකම් රටවල් 234ක කරගෙන ගියත්, විරුද්ධවාදීන් කියා සිටින්නේ අපි “පිළිගත් ආගමක්” නොවන බවයි. “[යෙහෝවාගේ සාක්ෂිකරුවන්] ‘පිළිගත් ආගමක්’ නොවෙයි” කියා ග්‍රීක් ඕතඩොක්ස් පූජකයෙක් කළ ප්‍රකාශය, 1998දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට දවස් කිහිපයකට කලින්, ඇතන්ස්හි පුවත්පතක පළ වුණා. එම පූජකයා එසේ කියා සිටියේ, මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය දුන් නඩු තීන්දුව මගින් ඊට වෙනස් දෙයක් සඳහන් කර තිබියදීයි. “යේසුස් ක්‍රිස්තුස් නමැති පුද්ගලයා කෙරෙහි තිබෙන ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ පොදුවේ දක්නට තිබෙන කිසිවක් [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නොමැති] නිසා ඔවුන් ‘ක්‍රිස්තියානි සභාවක්’ වෙන්න බැහැ” කියා පල්ලි නියෝජිතයෙකු කළ ප්‍රකාශයක් එම නගරයේම තවත් පුවත්පතක් දවස් කිහිපයකට පසුව වාර්තා කළා. ඇත්තෙන්ම එම ප්‍රකාශය හරිම පුදුමාකාරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තරම් යේසුව අනුකරණය කිරීම අවධාරණය කරන වෙනත් කිසිම ආගමික කණ්ඩායමක් නැහැ!
12. අපේ ආත්මික සටනේදී අපි කුමක් කළ යුතුද?
12 නීතිමය ක්‍රියාමාර්ග යොදාගනිමින් ශුභාරංචියට පක්ෂව කතා කරන්නත්, එය නීත්‍යනුකූලව ස්ථාපිත කරන්නත් අපි හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කරනවා. (පිලිප්පි 1:7, NW) එමෙන්ම අපි දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ස්ථිරව ඇලී සිටීම සම්බන්ධයෙන් වූ අපේ ස්ථාවරය පාවා දීමට හෝ ලිහිල් කිරීමට යන්නේ නැහැ. (තීතස් 2:10, 12) යෙරෙමියා වගේ අපිත් කිසිම ආකාරයකින් අපව බියට පත් කරමින් පහර දීමට දෙවිගේ සතුරන්ට ඉඩ නොහරිමින් ‘ඉඟටිය බැඳගෙන යෙහෝවා අණ කරන සියල්ල කියනවා.’ (යෙරෙමියා 1:17, 18) ගත යුතු නිසි ක්‍රියාමාර්ගය කුමක්ද කියා යෙහෝවා ඔහුගේ ශුද්ධ වචනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අපිට කවදාවත් දුර්වල ‘මාංසමය හස්තයේ’ සහය පැතීම හෝ “මිසරයේ සෙවණැල්ලෙහි රැකවරණය” එනම් මේ ලෝකය ඉදිරිපත් කරන දේවල්වල රැකවරණය සොයන්න අවශ්‍ය නැහැ. (2 ලේකම් 32:8; යෙසායා 30:3, NW; 31:1-3) අපේ ආත්මික යුද්ධය කරගෙන යෑමේදී අපි දිගටම අපේ මුළු හදින් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් අපේම වටහාගැනීමේ ශක්තිය මත රඳා නොසිට අපේ පියවර මෙහෙයවීමට ඔහුට ඉඩහැරිය යුතුයි. (හිතෝපදේශ 3:5-7) යෙහෝවාගේ අනුබලය අපිට නැත්නම්, ඔහුගේ රැකවරණය අපිට ලැබෙන්නේ නැත්නම්, අපේ මුළු වැඩයම ‘නිෂ්ඵලයි.’—ගීතාවලිය 127:1.
හිංසා පීඩා කළත් ඇදහිල්ල පාවා නොදෙයි
13. සාතන් යේසුස්ට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වූ බව පැවසිය හැක්කේ මන්ද?
13 යෙහෝවා කෙරෙහි වූ තමාගේ භක්තිය බිඳ හෙළීමට කිසිවකට ඉඩ නොදීම පිළිබඳව විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. රජයට ද්‍රෝහි වන බවට හා පිහිටුවා තිබෙන අණ පනත්වලට බාධා ඇති කරවන බවට වූ බොරු චෝදනා ඔහුට එරෙහිව එල්ල කළා. යේසුස්ට විරුද්ධව ඉදිරිපත් කළ නඩුව විභාග කිරීමෙන් පසුව, ඔහුව නිදහස් කරන්න පිලාත් කැමැත්තෙන් සිටියා. යේසුස්ගේ අතේ කිසිම වරදක් තිබුණේ නැහැ. එහෙත් ආගමික නායකයන්ගේ උසිගැන්වීම නිසා ඔහුව වධ කණුවේ එල්ලන්න කියා සෙනඟ මොරගැසුවා. යේසුස් වෙනුවට රාජද්‍රෝහියෙකු හා මිනීමරුවෙකු වූ බරබ්බස්ව නිදහස් කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියා! යුක්ති ගරුක නොවූ මෙම විරුද්ධවාදීන්ව එකඟ කරවාගැනීමට පිලාත් නැවත වතාවක් උත්සාහ කළා. නමුත් අවසානයේදී ඔහු සෙනඟගේ කැමැත්තට ඉඩහැරියා. (ලූක් 23:2, 5, 14, 18-25) යේසුස් වධ කණුවක් මත දිවි පිදුවත්, යෙහෝවා යේසුස්ව නැවත නැඟිටුවා ඔහුගේ දකුණු පැත්තට ඔහුව උසස් කළා. මෙසේ දෙවිගේ නිර්දෝෂි පුත්‍රයා මත සාතන් එල්ල කළ නින්දිත ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. මහිමයට පත් කරන ලද යේසුස් මාර්ගයෙන් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වගුරුවනු ලැබූ අතර, එමගින් “අලුත් මැවිල්ලක්” වන ක්‍රිස්තියානි සභාව පිහිටුවනු ලැබුවා.—2 කොරින්ති 5:17; ක්‍රියා 2:1-4.
14. යුදෙව් ආගමික නායකයන් යේසුස්ගේ අනුගාමිකයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වූයේ කුමක්ද?
14 ඉන් ටික කලකට පසු, ආගමික නායකයන් විසින් ප්‍රේරිතයන්ට තර්ජන එල්ල කළත්, ක්‍රිස්තුස්ගේ මුල් අනුගාමිකයන් ඔවුන් ඇසූ දුටු දේවල් ගැන කතා කිරීම නතර කළේ නැහැ. යේසුස්ගේ අනුගාමිකයන් මෙසේ යාච්ඤා කළා: ‘දැනුදු යෙහෝවා ඔවුන්ගේ තර්ජන බලා, ඔබගේ වචනය නිර්භීතකමින් කතා කරන්න ඔබගේ සේවකයන්ට වරම් දෙන්න.’ (ක්‍රියා 4:29, 30) ඔවුන්ව ශුද්ධාත්මයෙන් පූර්ණ කිරීමෙන් හා ඔවුන් නිර්භීතව කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩය දිගටම කරගෙන යෑමට ශක්තිය ලබා දීමෙන් යෙහෝවා ඔවුන්ගේ අයැදීම්වලට උත්තර දුන්නා. වැඩි කල් යන්න මත්තෙන්, නැවතත් දේශනා කිරීම නතර කර දමන්න කියා ප්‍රේරිතයන්ට අණ කළා. එහෙත් පේතෘස් හා අනිකුත් ප්‍රේරිතයන් මෙසේ පිළිතුරු දුන්නා: ‘මනුෂ්‍යයන්ට වඩා [පාලකයා හැටියට, NW] අපි දෙවිට කීකරු විය යුතුයි.’ (ක්‍රියා 5:29) තර්ජන, අත්අඩංගුවට ගැනීම් හා පහර දීම් මැද ඔවුන් සිදු කළ රාජ්‍ය ක්‍රියාකාරකම් දිගටම ව්‍යාප්ත වුණා.
15. ගමාලියෙල් කියන්නේ කවුද? ඔහු යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධ වූ ආගමික නායකයන්ට දුන් අවවාදය කුමක්ද?
15 ආගමික නායකයන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? “ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් [එනම්, ප්‍රේරිතයන්ව] මරන්ට අදහස්කළෝය.” කෙසේවෙතත්, සියලුම මිනිසුන් විසින් ගරු කරන ලද ව්‍යවස්ථාව උගන්වන්නෙකු වූ ගමාලියෙල් නම් ඵරිසිවරයෙක් ඔවුන් අතර සිටියා. ප්‍රේරිතවරුන්ව ටික වේලාවකට මන්ත්‍රණ සභාවෙන් පිටත් කර, ඔහු එම ආගමික විරුද්ධවාදීන්ට මෙසේ අවවාද කළා. “ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙන්න. . . . මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය. නුමුත් ඒක [දෙවිගෙන්] වී නම්, ඔවුන් පරාජයකරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා [දෙවිට] විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවන.”—ක්‍රියා 5:33-39.
අපට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවෙයි
16. යෙහෝවා තම සෙනඟට දී තිබෙන සහතිකය ඔබගේම වචනවලින් විස්තර කරන්න.
16 ගමාලියෙල්ගේ අවවාදය නිවැරදියි. ඔහු මෙන් යමෙක් අපි වෙනුවෙන් කතා කරන විට අපි එය අගය කොට සලකනවා. යුක්තිගරුක විනිසුරුවන් විසින් දී තිබෙන නඩු තීන්දු මගින් නමස්කාරයේ නිදහසට අනුබලයක් ලැබී ඇති බව අපි පිළිගන්නවා. අපි දෙවිගේ වචනයට අනුකූලව ජීවත් වීම, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයට මෙන්ම බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ නායකයන්ට රුස්සන්නේ නැහැ. (එළිදරව් 18:1-3) ඔවුනුත් ඔවුන්ගේ පෙලඹවීම් යටතේ ක්‍රියා කරන අයත් අපිට එරෙහිව සටන් කළත්, අපිට මෙම සහතිකය තිබෙනවා: “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. [යෙහෝවාගේ] මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි [යෙහෝවා කියන්නේය].”—යෙසායා 54:17.
17. විරුද්ධවාදීන් අපිට එරෙහිව සටන් කළත් අපි ධෛර්ය සම්පන්නව සිටින්නේ මන්ද?
17 අපේ සතුරන් කිසිම හේතුවක් නැතුව අපිට විරුද්ධව සටන් කළත්, අපි අධෛර්යයට පත් වෙන්නේ නැහැ. (ගීතාවලිය 109:1-3) අපව බියගන්වා අපේ ඇදහිල්ල පාවා දීමට සලස්වන්න බයිබලය මත පදනම් වන අපේ පණිවිඩයට අප්‍රසාදය පළ කරන්නන්ට කිසිමදාක ඉඩ නොදෙමු. අපේ ආත්මික සටන තව තවත් අසීරු වේවියයි අපි බලාපොරොත්තු වුණත් අවසන් ප්‍රතිඵලය මොකක්ද කියා අපි දන්නවා. යෙරෙමියා මෙන් අපිත් මෙම අනාවැකිමය වදන්වල ඉටුවීම අද්දකින්න යනවා: “ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි [යෙහෝවා කියන්නේය].” (යෙරෙමියා 1:19) ඔව්, දෙවිට එරෙහිව සටන්වදින්නන් ජය නොගන්න බව අපිට නිසැකයි!
[පාදසටහන]
a පිටු 24-8හි සඳහන් “නාට්සි වධ හිංසා හමුවේ නොබියව සහ විශ්වාසවන්තව” නමැති ලිපිය බලන්න.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• යෙහෝවාගේ සේවකයන් ප්‍රහාරයට ලක් වී සිටින්නේ මන්ද?
• විරුද්ධවාදීන් යෙහෝවාගේ සෙනඟට එරෙහිව සටන් කර තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?
• දෙවිට එරෙහිව සටන් වදින්නන් ජය නොලබන බව අපිට නිසැක විය හැක්කේ මන්ද?
[17වන පිටුවේ පින්තූරය]
තමා ඔහු සමඟ සිටින බව යෙහෝවා යෙරෙමියාට සහතික වුණා
[18වන පිටුවේ පින්තූරය]
ගාල් කඳවුරුවලින් බේරුණු අය
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව මැර ප්‍රහාරයක්
[18වන පිටුවේ පින්තූරය]
ජේ. එෆ්. රදෆ’ඩ් සහ ඔහුගේ ආශ්‍රිතයන්
[21වන පිටුවේ පින්තූරය]
යේසුස්ට එරෙහිව කළ සටනේදී දෙවිට විරුද්ධව සටන් වැදුණු අය ජයගත්තේ නැහැ