‘ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්න’
“ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. . . . එසේ කිරීමෙන් ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්නේය.”—1 තිමෝති 4:16, NW.
1, 2. ජීවිත ගළවන වැඩයෙහි දිගටම නිරත වීමට සැබෑ ක්‍රිස්තියානීන්ව පොලඹවන්නේ කුමක්ද?
උතුරු තායිලන්තයේ පිටිසර ගම්මානයක සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන විවාහක යුවළක්, එම ප්‍රදේශයේ වෙසෙන කඳුකර ගෝත්‍රයක සාමාජිකයන් සමඟ ඔවුන්ගේම භාෂාවෙන් අදහස් හුවමාරු කිරීමට උත්සාහ කරති. ඔවුන් එම ගෝත්‍රිකයන් කතා කරන ලාහු භාෂාව ඉගෙනීමට සෑහෙන වෙහෙසක් දරා ඇත. ඒ මන්ද? දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මෙම ගෝත්‍රිකයන්ට දේශනා කිරීමට ඔවුන්ට තිබෙන ආශාව නිසාය.
2 ඒ සැමියා කරුණු මෙලෙස පැහැදිලි කරයි. “මෙම ගෝත්‍රිකයන් අතරේ වැඩ කරද්දී ලැබෙන තෘප්තිය වචනවලින් කියා නිම කරන්න බැහැ. එළිදරව් 14:6, 7 කියන්නේ ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත්’ ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ කියලයි. ඒ නිසා අපි ඒකේ ඉටුවීමට කෙළින්ම සම්බන්ධ වෙලා තියෙනවා කියලයි අපිට හැඟෙන්නේ. දැන් ශුභාරංචිය ගැන අහලා නැති ප්‍රදේශ තියෙන්නේ බොහොම අතළොස්සයි. අපි ඉන්න ප්‍රදේශයත් ඒ වගේ ප්‍රදේශයක් කියල කියන්න පුළුවන්. අපිට හම්බ වෙන බයිබල් පාඩම් ගණන කොච්චරද කියනවා නම් අපිට ඒවා කරගන්නත් අමාරුයි.” තමාව පමණක් නොව, තමාගේ වචන අසන්නන්වත් ගළවාගැනීමට මෙම යුවළ බලාපොරොත්තු වන බව මෙයින් මනාව පැහැදිලිය. ක්‍රිස්තියානීන් වශයෙන් අප සැමගේ බලාපොරොත්තුවත් එය නොවේද?
‘ඔබ කෙරෙහි නිරතුරු අවධානයක් දෙන්න’
3. අන්‍යයන්ට ගැළවීම ලබා දීමට නම්, අප මුලින්ම කුමක් කළ යුතුද?
3 “ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න” කියා ප්‍රේරිත පාවුල් තිමෝතිට දුන් උපදේශය සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වේ. (1 තිමෝති 4:16) ඇත්තවශයෙන්ම, ගැළවීම ලබාගැනීමට අන්‍යයන්ට උපකාර කරන්න නම්, මුලින්ම අප කෙරෙහි අවධානයක් දිය යුතු වේ. අපට මෙය කළ හැක්කේ කෙසේද? අප ජීවත් වන කාලය සම්බන්ධයෙන් අප අවදිව සිටිය යුතුය. “පවතින ක්රමයේ අවසානය” පැමිණ ඇති බව දැනගැනීමට යේසුස් තම අනුගාමිකයන්ට අංග කිහිපයකින් යුත් ලකුණක් දුන්නේය. එනමුත් අන්තිමය කවදා පැමිණේද කියා කිසිවෙකු නිශ්චිතව නොදන්නා බවද පැවසීය. (මතෙව් 24:3, NW, 36) එම නිසා අපගේ ප්‍රතික්‍රියාව විය යුත්තේ කුමක්ද?
4. (අ) දැන් පවතින ක්‍රමය සඳහා ඉතිරිව ඇති කාලය ගත් කල, අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? (ආ) අප මඟහැරිය යුත්තේ කුමන ආකල්පයද?
4 අපගෙන් ඇසිය යුතු ප්‍රශ්න සමහරක් සලකා බලමු. ‘පවතින ක්‍රමය සඳහා ඉතිරිව ඇති කාලය මාවත් මට සවන් දෙන අයවත් ගළවාගැනීම සඳහා මම පාවිච්චි කරනවාද? එහෙම නැත්නම්, “අන්තිමය එන දවස අපි හරියටම දන්නේ නැති නිසා, මම ඒ ගැන කරදර වෙන්න යන්නේ නැහැයි” කියලා තර්ක කරනවාද?’ මම ඒ ගැන කරදර වෙන්නේ නැහැයි කියන ආකල්පය අනතුරුදායකය. ඇත්තෙන්ම එවැනි ආකල්පයක්, “නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා [එන්නේය]” යන යේසුස්ගේ දිරිගැන්වීම නොසලකා හැරීමක් වේ. (මතෙව් 24:44) යෙහෝවාගේ සේවය සඳහා ඇති අපගේ උද්යෝගය අඩු කිරීමටවත්, සුරක්ෂිතභාවය හෝ තෘප්තිය සෙවීමට ලෝකය දෙස බැලීමටවත් කාලය මෙය නොවේ.—ලූක් 21:34-36.
5. ක්‍රිස්තුස්ට කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් සේවය කළ අය තැබුවේ කෙබඳු ආදර්ශයක්ද?
5 අප ගැන අවධානයක් යොමු කරන බව අපට පෙන්නුම් කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ, ක්‍රිස්තියානීන් වශයෙන් විශ්වාසවන්තව විඳදරාගැනීමයි. අතීතයේ විසූ දෙවිගේ සේවකයන් ගැළවීමක් ඉක්මනින් පැමිණෙයි කියා අපේක්ෂා කළත් නැතත් විඳදරාගැනීම අත්හැරියේ නැත. ක්‍රිස්තුස්ට කලින් සාක්ෂිකරුවන් වශයෙන් සේවය කළ ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම් සහ සාරා වැනි අයගේ ආදර්ශ සඳහන් කිරීමෙන් පසු පාවුල් මෙම කාරණය ගෙනහැර දැක්වීය. මොවුහු “පොරොන්දු[වල ඉටුවීම] නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියා” දුන්හ. සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටවත්, දුරාචාරයේ යෙදීමට තමන් වටා සිටි අය කළ පෙලඹවීම්වලටවත් ඔවුන් හසු වූයේ නැත. ඒ වෙනුවට, ඔවුහු ‘පොරොන්දුවල ඉටුවීම’ දෙස අපේක්ෂාසහගතව බලා සිටියහ.—හෙබ්‍රෙව් 11:13; 12:1.
6. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට ගැළවීම සම්බන්ධයෙන් තිබූ දෘෂ්ටිය ඔවුන්ගේ ජීවිතයට බලපෑවේ කෙසේද?
6 මුල් සියවසේ ක්‍රිස්තියානීන් පවා තමන්ව සැලකුවේ මෙලොවෙහි වෙසෙන “විදේශීන්” හැටියටයි. (1 පේතෘස් 2:11) පොදු යුගයේ 70දී යෙරුසලමට අත් වූ විනාශයෙන් බේරීමෙන් පසුව පවා, සැබෑ ක්‍රිස්තියානීන් දේශනා කිරීම නතර කළේවත්, ලෞකික ජීවන රටාවකට ඇදීගියේවත් නැත. විශ්වාසවන්තකම දිගටම රැකගන්නා සෑම කෙනෙකුටම ඉතා විශිෂ්ට ගැළවීමක් අත් වන බව ඔවුහු දැන සිටියහ. ප්‍රේරිත යොහන් පො.යු. 98දී පමණ මෙසේ ලීවේය. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17, 28.
7. නවීන කාලවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම විඳදරාගැනීම පෙන්වා ඇත්තේ කෙසේද?
7 නවීන කාලවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරුණු පීඩා මැද පවා තම ක්‍රිස්තියානි සේවය අඛණ්ඩව ඉටු කර ඇත. ඔවුන්ගේ විඳදරාගැනීම නිරර්ථක උත්සාහයක් වී තිබේද? එසේ පැවසිය නොහැක. යේසුස් අපට මෙම සහතිකය දුන්නේය. “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.” ඒ අන්තිමය දැන් පවතින ක්රමයේ අවසානය හෝ අපගේ ජීවිතයේ අවසානය විය හැක. ඒ කෙසේවෙතත්, නැවත-නැඟිටුවීමේදී, යෙහෝවා මියගොස් ඇති තම විශ්වාසවන්ත සේවකයන් සියල්ලන්වම සිහි කොට ඔවුන්ට විපාක දෙනවා ඇත.—මතෙව් 24:13; හෙබ්‍රෙව් 6:10.
8. අතීතයේ විසූ ක්‍රිස්තියානීන්ගේ විඳදරාගැනීම අප අගය කරන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
8 අතීතයේ විසූ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් තමන්ගේම ගැළවීම ගැන පමණක් සැලකිලිමත් නොවීම අපගේ සතුටට කරුණකි. “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න” කියා යේසුස් දුන් පැවරුම ඔවුහු විඳදරාගැනීමෙන් යුතුව ඉටු කළෝය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද අපටත් දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීමට ප්‍රස්තාව උදා වී ඇත. (මතෙව් 28:19, 20) එසේ නම්, ඔවුන්ට අපගේ කෘතඥතාව පිරිනැමිය යුතු නැද්ද? අපට එම කෘතඥතාව නිරූපණය කළ හැක්කේ කෙසේද? ප්‍රස්තාව නමැති දොරටුව විවෘතව තිබෙන තාක් කල්, ශුභාරංචිය අසා නැති අයට දේශනා කිරීමෙනි. එහෙත් දේශනා කිරීම කියන්නේ ගෝලයන් සෑදීමට ගන්නා මුල්ම පියවර පමණයි.
‘ඔබේ ඉගැන්වීමට අවධානය දෙන්න’
9. බයිබල් පාඩම් ආරම්භ කිරීමට ඒකාන්ත ආකල්පය උපකාරවත් විය හැක්කේ කෙසේද?
9 අපගේ පැවරුමට දේශනා කිරීම පමණක් නොව ඉගැන්වීමද ඇතුළත් වේ. තමා අණ කළ සියල්ලම පවත්වන්න ජනයාට උගන්වන්න කියා යේසුස් අපට නියෝග කළේය. ඇතැම් ප්‍රදේශවල වැඩිදෙනෙකු යෙහෝවා ගැන ඉගෙනගැනීමට කැමැත්තක් නොදක්වන බව ඇත්තය. එහෙත් වැඩ කිරීමට සිදු වන ප්‍රදේශය දෙස ඒකාන්ත නොවූ ආකල්පයකින් බැලීම බයිබල් පාඩම් පටන්ගැනීමට අප දරන වෑයමට බාධාවක් විය හැක. අප ඉවෙට් නමැති පුරෝගාමියගේ අද්දැකීම සලකා බලමු. ඇය වැඩ කළේ ඇතැම් අය ඵල දැරීමක් නැහැ කියා සිතූ ප්රදේශයකය. එනමුත් එම ප්‍රදේශය බැහැදැකීමට පැමිණි, ඇයට වඩා ඒකාන්ත ආකල්පයකින් කටයුතු කළ අය නිවාස බයිබල් පාඩම් පටන්ගත් බව ඇය දුටුවාය. එමනිසා ඇයද වඩා ඒකාන්ත ආකල්පයක් ඇති කරගැනීමට උත්සාහ කළාය. ඉන්පසුව බයිබලය පාඩම් කිරීමට කැමති අය ඉවෙට්ටද හමු විය.
10. බයිබලය උගන්වන අය හැටියට අපගේ මූලික කාර්යභාරය කුමක්ද?
10 ඇතැම් ක්‍රිස්තියානීන් බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමට මැළි වන්නේ බයිබල් පාඩමක් පවත්වන්න තරම් තමන් දක්ෂ නැතැයි ඔවුන්ට හැඟෙන නිසාය. අප සැමගේ හැකියාවන් එකිනෙකට වෙනස්ය. එනමුත් දෙවිගේ වචනයෙහි ගුරුවරුන් වීමට අපට ගුරු උපාධි අවශ්‍ය නැත. බයිබලයෙහි අන්තර්ගත නිර්මල පණිවිඩය බලගතුය. තවද බැටළුගුණැති මනුෂ්‍යයන් සැබෑ එඬේරාගේ හඬ ඇසෙන විට එය හඳුනාගන්නා බවත් යේසුස් පැවසීය. අපගේ කාර්යය වන්නේ යහපත් එඬේරා වන යේසුස්ගේ පණිවිඩය හැකි තරම් පැහැදිලිව කියා දීම පමණි.—යොහන් 10:4, 14.
11. බයිබල් ශිෂ්‍යයෙකුට වඩාත් බලපෑමෙන් යුක්තව උපකාර කළ හැක්කේ කෙසේද?
11 ඔබට යේසුස්ගේ පණිවිඩය වඩාත් බලපෑමෙන් යුක්තව ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? සලකා බැලීමට යන විෂය පිළිබඳව බයිබලයෙහි සඳහන් වන්නේ මොනවාද කියා ඔබ පැහැදිලිව දැන සිටිය යුතුය. අන්‍යයන්ට ඒ ගැන උගන්වන්න පෙර, ඒ විෂය ඔබ හොඳින් තේරුම්ගත යුතුය. පාඩම කරන අතරතුරේදී, ගෞරවාන්විත නමුත් සුහදශීලී වාතාවරණයක් පවත්වාගැනීමද වැදගත් වේ. ගුරුවරයෙක් ගෞරවය සහ කරුණාව පෙන්වන විටත්, පහසුබවක් දැනෙන්න සලස්වන විටත්, ඉතා ළාබාල අය ඇතුළුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනගැනීමට වඩාත් හොඳ වාතාවරණයක් සැකසේ.—හිතෝපදේශ 16:21.
12. ඔබ ශිෂ්‍යයාට උගන්වන දේ ඔහු තේරුම්ගන්නා බව ඔබට නිශ්චිතවම දැනගත හැක්කේ කෙසේද?
12 ගුරුවරයෙක් වශයෙන් අපගේ අභිප්‍රාය විය යුත්තේ ශිෂ්‍යයාට කටපාඩමින් මෙන් කීමට කරුණු රැසක් ඉදිරිපත් කිරීම නොවේ. තමා ඉගෙනගන්නා දේ තේරුම්ගැනීමට ඔහුට උපකාර කළ යුතුය. ඔබ කියන දේ ශිෂ්‍යයාට කොතරම් දුරට අවබෝධ වෙනවාද යන්න රඳා පවතින්නේ ඔහුගේ අධ්‍යාපනික පසුබිම, ජීවිතයේ අද්දැකීම් සහ බයිබලයේ තොරතුරු කොතරම් හොඳින් දන්නවාද යන්න මතය. එමනිසා ඔබෙන් මෙසේ ඇසීම යෝග්‍යය. ‘පාඩම් කරන කොටසේ සඳහන් බයිබල් පදවල අදාළ වීම ඔහුට තේරෙනවාද?’ නිකම්ම ඔව් හෝ නැහැ කියා කීමෙන් පිළිතුරු දිය නොහැකි, යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය කරන ප්‍රශ්න ඇසීමෙන් ඔහුගේ සිතේ තිබෙන දේ ඇදගන්න ඔබට පුළුවන. (ලූක් 9:18-20) අනික් අතට, තම ගුරුවරයාගෙන් ප්‍රශ්න ඇසීමට ඇතැම් ශිෂ්‍යයෝ අදි මදි කරති. එමනිසා, ඔවුන් ඉගෙනගන්නා දේ වැටහුණාද නැද්ද කියා ඇත්තටම තේරුම්ගන්නේ නැතුව ඔබ කරුණු පියවනවා විය හැක. ඔබෙන් ප්‍රශ්න ඇසීමටත්, යම් කරුණක් නොතේරෙන විට ඒ බව ඔබට කියන්නත් ශිෂ්‍යයාට දිරිගැන්විය යුතුය.—මාර්ක් 4:10; 9:32, 33.
13. ගුරුවරයෙකු වීමට ශිෂ්‍යයාට උපකාර කළ හැක්කේ කෙසේද?
13 බයිබල් පාඩමක් පැවැත්වීමෙන් ඉටු වන වැදගත් අරමුණක් නම්, ශිෂ්‍යයාට ගුරුවරයෙක් වීමට උපකාර කිරීමයි. (ගලාති 6:6) එම අරමුණ ඉටු කරගැනීමේ අරමුණෙන්, කළ පාඩමේ පුනරීක්ෂණයක් වශයෙන්, යම් කරුණක් සරලව පැහැදිලි කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටිය හැක. මෙම කරුණ ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට එය පැහැදිලි කරනවා කියා සිතින් මවාගැනීමට ඔහුට ආරාධනා කළ හැක. පසුව, දේවසේවයෙහි සහභාගි වීමට ඔහු සුදුසුකම් ලබන විට, ඔබ සමඟ ක්ෂේත්රයෙහි හවුල් වීමට ඔහුට ආරාධනා කරන්න පුළුවන. ඔබත් සමඟ වැඩ කරද්දී ඔහුට නිසැකවම පහසුවක් දැනෙන අතර, ලබන අද්දැකීම් ඔහුගේ ආත්ම විශ්වාසය ගොඩනැංවීමටද රුකුලක් වේ. සේවයෙහි තනිව යෑමට හැකි වන තෙක් මෙය ඔහුට ඉමහත් දිරිගැන්වීමක් වනවාට සැකයක් නැත.
යෙහෝවාගේ මිතුරෙකු වීමට ශිෂ්‍යයාට උපකාර කරන්න
14. ගුරුවරයෙකු වශයෙන් ඔබේ ප්‍රධානතම ඉලක්කය විය යුත්තේ කුමක්ද? එම ඉලක්කය අත් කරගැනීමට දායක වන්නේ කුමක්ද?
14 සෑම ක්‍රිස්තියානි ගුරුවරයෙකුගේම ප්‍රධානතම ඉලක්කය වන්නේ තම ශිෂ්‍යයාට යෙහෝවාගේ මිතුරෙකු වීමට උපකාර කිරීමය. මෙය වචනයෙන් පමණක් නොව ඔබේ ආදර්ශයෙන් පවා පෙන්වීමට ඔබට හැකිය. ආදර්ශයෙන් ඉගැන්වීම ශිෂ්‍යයන්ගේ හෘදවලට ප්‍රබල අයුරින් බලපායි. විශේෂයෙන්ම ශිෂ්‍යයා තුළ සදාචාරමය ගුණාංග වගා කිරීමට සහ ජ්වලිතයක් ජනිත කිරීමට ඕනෑ නම්, අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන කියමන මතක තබාගත යුතුය. යෙහෝවා සමඟ ඔබට තිබෙන හොඳ සම්බන්ධතාව ඔබේ හැසිරීමට සහ කතාවට බලපාන අන්දම දැකීම, එවැනි සම්බන්ධයක් පෞද්ගලිකව වර්ධනය කරගැනීමට ඔහුට අමතර පෙලඹීමක් විය හැක.
15. (අ) යෙහෝවාට හරි චේතනාවකින් සේවය කිරීමට ශිෂ්‍යයා ඉගෙනගැනීම වැදගත් වන්නේ මන්ද? (ආ) දිගටම ආත්මික ප්‍රගතියක් ලබාගැනීමට ශිෂ්‍යයාට උපකාර කළ හැක්කේ කෙසේද?
15 ඔබේ ආශාව වන්නේ අර්මගෙදොනින් විනාශ වීමට ඇති භය නිසා යෙහෝවාට සේවය කරන කෙනෙකු බිහි කිරීම නොව, නමුත් ඇත්තටම යෙහෝවාට ඇති ප්‍රේමය නිසා ඔහුට සේවය කරන කෙනෙකු බිහි කිරීමය. එවැනි පිරිසිදු චේතනාවක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමෙන්, ඔබ ඔහුව ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ගොඩනඟනවා කියා පැවසිය හැක. එතුළින් ඔහුගේ ඇදහිල්ලට එල්ල වෙන පරීක්ෂා හමුවේ ස්ථිරව සිටීමට කදිම අඩිතාලමක් සැපයේ. (1 කොරින්ති 3:10-15) ඔබව හෝ වෙනත් මනුෂ්‍යයෙකුව අනුකරණය කිරීමට අනවශ්‍ය ආශාවක් වැනි වැරදි චේතනාවක් තිබුණොත්, ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට විරුද්ධව යන බලපෑම්වලට එරෙහිව සිටීම සඳහා අවශ්‍ය මානසික ශක්තියවත්, හරි දේ කිරීමට අවශ්‍ය ධෛර්යයවත් ගොඩනඟා ගැනීමට ඔහුට නොහැකි වේ. ඔබට සැමදාම ඔහුගේ ගුරුවරයා විය නොහැකි බව මතක තබාගන්න. එනමුත් ඒ ප්‍රස්තාව තිබෙන තාක් කල්, දෙවිගේ වචනය දිනපතා කියවන්න කියාත්, ඒ ගැන කල්පනා කිරීමෙන් යෙහෝවාට තව තවත් කිට්ටු වෙන්න කියාත් දිරිගැන්වීමට ඔබට පුළුවන. මෙලෙස, ඔහු සමඟ කරන පාඩම නිම කර තිබුණත්, බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන තුළින් ඔහුට දිගටම “සාර වූ වචනවල රටාවට” අනුව හැඩගැසීමට හැකි වේ.—2 තිමෝති 1:13, NW.
16. ශිෂ්‍යයාට හද පත්ලෙන්ම යාච්ඤා කිරීමට ඉගැන්විය හැක්කේ කෙසේද?
16 ශිෂ්‍යයෙකුට යෙහෝවාට තවත් කිට්ටු වන්න උපකාර කළ හැකි වෙනත් ක්‍රමයක් නම්, හද පත්ලෙන්ම යාච්ඤා කිරීමට ඔහුට ඉගැන්වීමයි. ඔබට මෙය කළ හැක්කේ කෙසේද? යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව සහ ගීතාවලියේ සඳහන්ව ඇති යාච්ඤා ඇතුළුව, බයිබලයෙහි වාර්තා වී ඇති හෘදයාංගමව කළ යාච්ඤා රාශියෙන් ඉගෙනගත හැකි දේ ඔහුගේ අවධානයට යොමු කළ හැක. (ගීතාවලිය 17, 86, 143; මතෙව් 6:9, 10) ඊට අමතරව, පාඩම පටන්ගැනීමට සහ අවසන් කිරීමට ඔබ යාච්ඤාවක් ඉදිරිපත් කරන විට, යෙහෝවා සමඟ ඔබට ඇත්තේ මොන වගේ සම්බන්ධයක්ද යන්න ඔහුට හොඳ හැටි වැටහෙයි. එමනිසා, ඔබේ යාච්ඤා තුළින් අවංකකම සහ විවෘතභාවය මෙන්ම ආත්මික මෙන්ම චිත්තවේගීය සමබරතාවක් පිළිබිඹු විය යුතුය.
ඔබේ දරුවන්ව ගළවාගැනීමට වෑයම් කිරීම
17. ගැළවීමේ මඟෙහි නොකඩවා රැඳී සිටීමට තම දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?
17 අපට ගළවන්න ඕනෑ අය අතර අපගේ පවුලේ සාමාජිකයන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ක්‍රිස්තියානි දෙමාපියන්ගේ දරුවන්ගෙන් වැඩිදෙනෙක් “ඇදහිල්ලෙහි ස්ථිරව” හා අවංකව සිටිති. කෙසේවෙතත්, තවත් සමහරෙකුගේ හදවත් තුළ සත්‍යය මුල් ඇද පිහිටා නැත. (1 පේතෘස් 5:9; එපීස 3:17; කොලොස්සි 2:6, 7) මෙවැනි යෞවන යෞවනියෝ වැඩිහිටිභාවයට එළඹෙත්ම ක්‍රිස්තියානි මාර්ගය අත්හරිති. ඔබ දෙමාපියෙක් නම්, ඔබේ දරු දැරියන්ට එවැනි ඉරණමක් අත්වීමේ ඉඩ කඩ අඩු කිරීමට කුමක් කළ හැකිද? මුලින්ම, පවුල තුළ කදිම පරිසරයක් ඇති කිරීමට ඔබට වෑයම් කළ හැකිය. පවුල තුළ හොඳ පරිසරයක් තිබෙනවා නම්, අධිකාරයට නිසි ගෞරවයක්, සාරධර්මවලට නිසි අගයක් සහ අන්‍යයන් සමඟ සුහද සබඳතා ඇති කරගැනීමට හොඳ පදනමක් සැපයේ. (හෙබ්‍රෙව් 12:9) මෙලෙස, පවුල තුළ එකිනෙකා අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා නම්, යෙහෝවා සමඟ දරුවෙකුට ඇති මිත්‍රත්වය ගොඩනැංවීමට එය මහෝපකාරි විය හැක. (ගීතාවලිය 22:10) ශක්තිමත් පවුලක් දේවල් කරන්නේ එකටය. පෞද්ගලික දේවල් කිරීමට ගත කළ හැකි කාලය පරිත්‍යාග කිරීමට සිදු වුවත් දෙමාපියෝ ඒ සඳහා මූලික පියවර ගනිති. මෙයාකාරයෙන් ඔබේ ජීවිතයෙහි හරි තීරණ ගැනීමට ඔබේ දරුවන්ට ඔබේ ආදර්ශය තුළින් ඉගැන්විය හැක. දෙමාපියෙනි, ඔබේ දරුවන්ට ඔබෙන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ද්‍රව්‍යමය සැප සම්පත් නොව, ඔබවයි. එනම් ඔබේ කාලය, ඔබේ ශ්‍රමය සහ ඔබේ ප්‍රේමය ඔවුන්ට බෙහෙවින් අවශ්‍ය බව මතක තබාගන්න. ඔබේ දරුවන්ට ඔබ ඒ දේවල් සපයමින් සිටිනවාද?
18. දෙමාපියන් තම දරුවන්ට උපකාර කළ යුත්තේ කවර අන්දමේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමටද?
18 ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන් ඉබේම ක්‍රිස්තියානීන් බවට පත් වෙයි කියා නොසිතිය යුතුය. වැඩිමහල්ලෙක් මෙන්ම දරුවන් පස්දෙනෙකුගේ පියෙක් වන ඩැනියෙල් මෙසේ අදහස් පළ කළේය. “පාසැලේදී සහ වෙනත් ස්ථානවලදී කරන ආශ්‍රය නිසා දරුවන්ට විවිධ සැක පහළ වෙන්න පුළුවන්. එම සැක දුරු කිරීමට දෙමාපියන් ප්‍රමාණවත් කාලයක් තම දරුවන් සමඟ ගත කළ යුතුයි. ඔවුන්ගේ දරුවන් එක්ක මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට ඉවසිලිවන්තව කාලය ගත කළ යුතුයි. ‘අපි ඇත්තටම ජීවත් වෙන්නේ අන්තිම කාලයේද? ඇත්තටම තියෙන්නේ එකම එක සැබෑ ආගමක් විතරද? පාසැලේ හොඳයි කියල පෙනෙන ශිෂ්‍යයෙක් යහපත් ආශ්‍රිතයෙක් හැටියට සලකන්න බැරි ඇයි? විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හැමවිටම වැරදිද?’” දෙමාපියෙනි, යෙහෝවා ඔබේ දරුවන්ගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන නිසා, ඔබ දරන වෑයමට යෙහෝවා නොඅඩුව ආශීර්වාද වගුරුවන බවට සහතික විය හැක.
19. දෙමාපියන්ම තම දරුවන් සමඟ පාඩම් කිරීම හොඳම ක්‍රමය වන්නේ මන්ද?
19 තම දරුවන් සමඟ පාඩම් කිරීම සමහර දෙමාපියන් සලකන්නේ ඉතා අසීරු කාර්යයක් ලෙසයි. ඔවුන් සිතන්නේ ඔවුන්ට එසේ කිරීමට සුදුසුකම් නැති බවය. කෙසේවෙතත්, එවැනි හැඟීම් ඔබෙන් පහ කිරීම අවශ්‍යය. ඔබේ දරුවන්ට උපදෙස් ලබා දෙන්න යෝග්‍යම තැනැත්තා ඔබය. (එපීස 6:4) ඔබේ දරුවන් සමඟ පාඩම් කිරීමෙන් ඔවුන්ගේ මනස් සහ හදවත්වල තිබෙන දේ ඔබටම දැනගැනීමට ප්‍රස්තාව උදා වෙයි. ඔවුන්ගේ මුඛයෙන් නික්මෙන අදහස් හද පත්ලෙන්මද එන්නේ? එසේ නැතහොත් ඔවුන් ගිරවුන් වගේ උත්තර දෙනවාද? ඔවුන් ඉගෙනගනිමින් සිටින දේ ඔවුන් ඇත්තටම විශ්වාස කරනවාද? ඔවුන් යෙහෝවාව සැබෑ පුද්ගලයෙකු හැටියට සලකනවාද? මෙවැනි වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැක්කේ ඔබ ඔවුන් සමඟ පෞද්ගලිකව පාඩම් කළොත් පමණි.—2 තිමෝති 1:5.
20. දෙමාපියන්ට පවුලේ පාඩම ප්‍රීතිදායක මෙන්ම ප්‍රයෝජනදායක අවස්ථාවක් කරගත හැක්කේ කෙසේද?
20 පවුලේ පාඩම පටන්ගත්තායින් පසු එය දිගටම පවත්වාගෙන යා හැක්කේ කෙසේද? වැඩිමහල්ලෙක් මෙන්ම ළාබාල පුතෙකු සහ දුවක සිටින පියෙක් වන ජෝසෆ් මෙසේ පිළිතුරු දෙයි. “අනිත් බයිබල් පාඩම් වගේම, පවුලේ පාඩමත් හැමදෙනාම ආශාවෙන් බලා සිටින, ප්‍රීතිදායක අවස්ථාවක් විය යුතුයි. එහෙම වෙන්න අපි මොනවද කරන්නේ? අපේ පවුලේ පාඩමට මෙච්චර කාලයක් ගත කළ යුතුයි කියා අපි යම් දැඩි නීති දාලා නැහැ. සමහර දවස්වල අපේ පවුලේ පාඩමට පැයක් විතර ගත වෙනවා. හැබැයි, විනාඩි දහයක් විතර තියෙන දවස්වල වුණත් අපි පාඩම කරනවා. අපේ ළමයින්ට පවුලේ පාඩම සතියේ ඉතා රසවත් අවස්ථාවක් වෙන්නේ අපි මගේ බයිබල් කතන්දර පොතෙන්a ජවනිකා කිහිපයක් රඟපාන නිසයි. ඡේද ගණනාවක්ම නිකම්ම පියවනවාට වඩා මෙහෙම රඟපෑමෙන් කරුණු හොඳින් සිතට කාවදිනවා. ඒවා හොඳට අවබෝධ වෙනවා කියලත් පේනවා.”
21. දෙමාපියන්ට තම දරුවන්ට උපදෙස් දිය හැක්කේ කුමන අවස්ථාවලදීද?
21 කෙසේවෙතත් ඔබ දරුවන්ට ඉගැන්විය යුත්තේ පවුලේ පාඩම වැනි විධිමත් අවස්ථාවලදී පමණක් නොවේ. (ද්විතීය කථාව 6:5-7) මෙම ලිපියේ මුලදී සඳහන් කළ තායිලන්තයේ සාක්ෂිකරුවා මෙසේ පවසයි. “තාත්තා මාව දේශනා සේවයේ ගෙනිච්ච විදිහ මට තවමත් මතකයි. අපි අපේ සභාවට වැඩ කරන්න තිබූ ප්‍රදේශයේ ගම්බද පැතිවලට ගියේ බයිසිකල්වලින්. අපි පූර්ණ-කාලීන සේවය කරන්න තීරණය කළේ අපේ දෙමාපියන්ගේ කදිම ආදර්ශය සහ හැකි සෑම අවස්ථාවකදීම ඔවුන් අපට උගන්වපු විදිහ නිසයි. ඔවුන් අපට උගන්වපු පාඩම්වලින් ප්‍රතිඵල ලැබෙන්න ඇති. ඇයි, මම තවමත් වැඩ කරන්නේ ගම්බද පැතිවලනේ!”
22. ‘ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් අවධානය දීමේ’ ප්‍රතිඵලය කුමක්ද?
22 නුදුරු අනාගතයේ කවදහරි විශේෂ දවසක, පවතින මෙම ක්‍රමය පිටට දෙවිගේ විනිශ්චය ගෙන ඒමට යේසුස් පැමිණෙනු ඇත. එවිට ඒ මහත් සිද්ධිය ඉතිහාසගත වේ. එනමුත්, යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් සදාකාලික ගැළවීමක් බලාපොරොත්තුවෙන් ඔහුට නොකඩවා සේවය කරනු ඇත. ඔබේ දරුවන් සහ බයිබල් ශිෂ්‍යයන් සමඟ, ඔබත් ඔවුන් අතර සිටීමට බලාපොරොත්තු වෙනවාද? එසේ නම්, මෙය මතක තබාගන්න. “ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. ඒවායේ පවතින්න. මක්නිසාද ඔබ එසේ කිරීමෙන් ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්නේය.”—1 තිමෝති 4:16, NW.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්රකාශිතය.
ඔබට පැහැදිලි කළ හැකිද?
• දෙවිගේ විනිශ්චය පැමිණෙන නිශ්චිත දවස අප නොදන්නා නිසා, අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?
• ‘අපට අපගේ ඉගැන්වීම කෙරෙහි අවධානයක් දිය’ හැක්කේ කෙබඳු ආකාරවලින්ද?
• ශිෂ්‍යයෙකුට යෙහෝවාගේ මිත්‍රයා බවට පත් වන්න උපකාර කළ හැක්කේ කෙසේද?
• දෙමාපියන් තම දරුවන්ට උගන්වන්න කාලය ගැනීම වැදගත් වන්නේ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
ගෞරවාන්විත නමුත් සුහදශීලී වාතාවරණයක්, ඉගෙනගැනීමට පහසු පරිසරයක් සපයයි
[18වන පිටුවේ පින්තූරය]
සාලමොන් වේශ්‍යා ස්ත්‍රීන් දෙදෙනා අතර විනිශ්චයක් කළ අවස්ථාව වැනි බයිබල් කතා රඟපෑමෙන්, පවුලේ පාඩම්වලින් කදිම ආස්වාදයක් ලැබිය හැක