ජීවිත කතාව
අපි දෙන්නා සහයෝගයෙන් වැඩ කළා
පැවසුවේ මෙල්බා බැරි
මමයි මගේ ස්වාමිපුරුෂයයි 1999 ජූලි 2වෙනිදා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශාල එක්රැස්වීමකට සහභාගි වුණා. අපේ අවුරුදු 57ක විවාහ ජීවිතය තුළ අපි මේ වගේ සමුළුවලට ඕනෑතරම් සහභාගි වෙලා තියෙනවා. හවායිවල තිබුණ එම සිකුරාදා දින දිස්ත්‍රික් සමුළුවේ අවසන් කතාව මගේ ස්වාමිපුරුෂයා වන ලොයිඩ් ඉදිරිපත් කරමින් ඉන්නකොට එකපාරටම ඔහුව ඇදගෙන වැටුණා. ඔහුගේ පණ රැකගන්න කොච්චර උත්සාහ දැරුවත් ඒ සියල්ල සිහිනයක් කරවමින් ඔහු සමුගත්තා.a
මගේ ජීවිතයේ ඒ දුක්බර අවස්ථාවේ මාව සනසමින් මාව ශක්තිමත් කළ හවායිවල ඉන්න සහෝදර සහෝදරියන්ගේ වටිනාකම කියන්න මට වචන නැහැ! ලොයිඩ් එතැන හිටිය ගොඩක් අයගේ ජීවිතවලට වගේම ලෝකය පුරා ඉන්න වෙනත් බොහෝදෙනෙකුගේ ජීවිතවලට බලපෑමක් ඇති කළ කෙනෙක්.
ඔහුගේ මරණය සිදු වෙලා දැන් අවුරුදු දෙකකටත් කිට්ටු වෙනවා. ඔහුත් සමඟ විදේශ රටවල්වල මිෂනාරි සේවය කළ කාලයත් බෘක්ලින් නියූ යෝක්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කළ කාලයත් කොයිතරම් සන්තෝෂවත්ද! මගේ තරුණ කාලය ගැන හිතද්දි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල සිදු වෙච්ච දේවල් වගේම දෙවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයේදී ලොයිඩුයි මමයි විවාහ වෙන්න කරපු සටන මට මතක් වෙනවා. ඉස්සෙල්ලාම මම කොහොමද සාක්ෂිකාරියක් වුණේ කියලත්, 1939දී ලොයිඩ්ව මුණගැසුණේ කොහොමද කියලත් කියන්නම්.
මම කොහොමද සාක්ෂිකාරියක් වුණේ?
ජේම්ස් සහ හෙන්රීටා ජොන්ස් තමයි මගේ ආදරණීය දෙමාපියන්. මම 1932 පාසැල් ගමන අවසන් කරනකොට මට අවුරුදු දාහතරයි. ඒ කාලයේ ලෝකය මහා ආර්ථික පරිහානියකට ලක් වෙලා තිබුණා. නංගිලා දෙන්නෙක් හිටිය මගේ පවුලේ ඕනෑ එපාකම් පිරිමහන්න මම රස්සාවක් කරන්න පටන්ගත්තා. අවුරුදු කිහිපයක් ගත වන විට හොඳ වැටුපක් ලබන රැකියාවක් මට තිබුණ අතර, මගේ යටතේ ගැහැනු ළමයි කිහිපදෙනෙක්ද වැඩ කළා.
මේ අතරතුර 1935දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් අපේ අම්මා බයිබල් ප්‍රකාශන ලබාගත් අතර වැඩි කල් නොගොස් එහි සත්‍යය ගැබ් වී තිබෙන බව ඇයට තේරුම්ගියා. මමයි ගෙදර අනෙක් උදවියයි හිතුවේ අම්මාට පිස්සු හැදීගෙන එනවා කියලයි. එක දවසක් “මළ අය කොහේද?” (ඉංග්‍රීසියෙන්) කියන පොත් පිංචය මම දැක්කා. ඒ මාතෘකාව ටිකක් මගේ කුතුහලය ඇවිස්සුවා. පස්සේ මම හොරෙන් ඒ පොත් පිංචය කියෙව්වා. ඒක තමයි පටන්ගැන්ම! එදා ඉඳන් මම සතිය මැද පවත්වපු මොඩල් ස්ටඩි කියන රැස්වීමට ගියා. මොඩල් ස්ටඩි යන මාතෘකාවෙන් පොත් පිංචයකුත් තිබුණා. ප්‍රශ්න සහ පිළිතුරු වගේම පිළිතුරුවලට අදාළ බයිබල් පදත් එහි සඳහන් වුණ අතර, ඒ වගේ පොත් පිංච තුනක් තිබුණා.
ඒ කාලයේදී, ඒ කියන්නේ 1938 අප්‍රියෙල් මාසයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ නියෝජිතයෙක් වන ජෝසෆ් එෆ්. රදෆඩ් සිඩ්නි නුවරට ආවා. මම මුලින්ම සහභාගි වුණේ ඔහුගේ ප්‍රසිද්ධ කතාවටයි. ඒක තියන්න සැලසුම් කරලා තිබුණේ සිඩ්නි පුරහලේ. නමුත් විරුද්ධකාරයෝ ශාලාව නියමිත දිනයට ගන්න බැරි වෙන්න කටයුතු සූදානම් කෙරුවා. ඒ නිසා කතාව වැඩි ඉඩ කඩක් තියෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වුවා. විරුද්ධකරුවන් නිසා අමතර ප්‍රසිද්ධියකුත් ලැබුණ අතර 10,000ක පමණ සෙනඟක් එම කතාව අහන්න ආවා. ඒ කාලයේ ඕස්ට්‍රේලියාවේ හිටියේ සාක්ෂිකරුවෝ 1,300ක් විතරයි. එම සංඛ්‍යාවත් එක්ක සන්සන්දනය කරලා බලනකොට මෙය ඉතා විශාල සංඛ්‍යාවක්.
එයින් ටික කාලයකට පස්සේ මම පළමු වතාවට කිසිම පුහුණුවක් නැතිව ක්ෂේත්‍ර සේවයේ සහභාගි වුණා. එදා අපේ කණ්ඩායම අපිට අයිති බල ප්‍රදේශයට එකතු වුණාම කණ්ඩායම මෙහෙයවපු සහෝදරයා මට කිව්වා, “අර අතන තියෙන ගෙදරට ඔයා යන්න” කියලා. මම ගිහිල්ලා දොරට තට්ටු කළාම ගෙදර හිටිය ගැහැනු කෙනා දොර ඇරියා. ඒ වෙලාවේ මම කොච්චර භය වුණාද කියනවා නම් “අනේ කරුණාකරලා මට වෙලාව කියනවාද?” කියලා මම ඇයගෙන් ඇසුවා. ඇය ඇතුලට ගිහිල්ලා වෙලාව බලලා මට කිව්වා. අපේ සාකච්ඡාව එතැනින් අවසන් වුණා! ඊට පස්සේ මම ආපහු මගේ කාර් එක ළඟට ගියා. ඒක තමයි මගේ ක්ෂේත්‍ර සේවයේ පටන්ගැන්ම.
ඒත් මම අත්හැරියේ නැහැ. ටික දවසක් යනකොට අනිත් අය සමඟ රාජ්‍ය පණිවිඩය බෙදාගන්න එක ප්‍රශ්නයක් වුණේ නැහැ. (මතෙව් 24:14) යෙහෝවා දෙවිට වුණ මගේ කැපවීම 1939 මාර්තු මාසයේ බව්තීස්මයෙන් සංකේතවත් කළා. මාව බව්තීස්ම කෙරුවේ අපේ අසල්වැසියෙක් වූ ඩොරති හචින්ස්ගේ නාන කාමරයේ තිබුණු නාන ටැංකියේ. ඒ වෙනකොට සහෝදරයෝ හිටියේ නැති නිසා බව්තීස්ම වුණ හැටියෙම වගේ සාමාන්‍යයෙන් සභාවේ සහෝදරයන් දරන වගකීම් මට භාරගන්න සිදු වුණා.
සාමාන්‍යයෙන් අපේ රැස්වීම් පැවැත්වූයේ නිවෙස්වලයි. සමහර අවස්ථාවල ප්‍රසිද්ධ කථා සඳහා ශාලාවක් කුලියට ගත්තා. එක දවසක් ශාඛා කාර්යාලය වන බෙතෙල් නිවසේ තරුණ කඩවසම් සහෝදරයෙක් අපේ පුංචි සභාවට කතාවක් දෙන්න ආවා. හැබැයි ඔහුගේ පැමිණීමට තවත් හේතුවක් තිබුණයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඔහුට මං ගැන පොඩි හිතක් පහළ වෙලා තිබුණා. එදා තමයි මට ලොයිඩ්ව මුල්ම වතාවට මුණගැහුණේ.
ලොයිඩ්ගේ පවුලේ අයව මුණගැසීම
වැඩි කල් යන්න කලින් මට යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කරන්න ආශාවක් ඇති වුණා. පුරෝගාමී සේවයට (පූර්ණ කාලීන දේශනා සේවයේ හවුල් වීමට) අයදුම් කළාම මට බෙතෙල් එකේ වැඩ කරන්න එන්න කිව්වා. ඉතිං දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වුණ මාසේ, ඒ කියන්නේ 1939 සැප්තැම්බර්වල මම සිඩ්නි නුවර උපනගරයක් වන ස්ට්‍රැත්ෆිල්ඩ් බෙතෙල් පවුලේ සාමාජිකාවක් වුණා.
වර්ෂ 1939 දෙසැම්බර්වල සමුළුවකට සහභාගි වෙන්න මම නවසීලන්තයට ගියා. ලොයිඩ් නවසීලන්ත ජාතිකයෙක් නිසා එයත් නවසීලන්තයට ගියා. අපි ගියේ එකම නැවේ නිසා දෙන්නට දෙන්නා හොඳින් හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ලොයිඩ් වෙලිංටන්වල පැවති සමුළුවේදී එයාගේ අම්මාවයි තාත්තාවයි නංගිලා දෙන්නවයි මට මුණගැස්සුවා. පස්සේ ක්‍රයිස්ට්චර්ච්වල තිබුණ ඔහුගේ නිවසට යන්නත් මට අවස්ථාවක් ලැබුණා.
අපේ වැඩය තහනම් කෙරුවා
වර්ෂ 1941 ජනවාරි 18වෙනි සෙනසුරාදා ආණ්ඩුවේ නිලධාරින් සමිතියේ දේපොළ රාජ සන්තක කරන්න කළු කාර් හයකින් අපේ ශාඛා කාර්යාලයට ආවා. මම වැඩ කරමින් හිටියේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිරිපිට තිබුණ අමුත්තන් පිළිගන්නා ශාලාවෙයි. ඒ හින්දා ඒ අයව ඉස්සෙල්ලාම දකින්න ලැබුණේ මටයි. තහනම ගැන පැය 18කට කලින් අපිට දන්වලා තිබුණ නිසා ඒ වෙනකොට පොත් පත් ලියවිලි ඔක්කොම වගේ කාර්යාලයෙන් වෙන තැනකට යවා තිබුණා. ඊළඟ සතියේ ලොයිඩ් ඇතුළුව බෙතෙල් පවුලේ සහෝදරයන් පස්දෙනෙකුව හිර කූඩුවට දැම්මා.
හිර ගෙදර ඉන්න සහෝදරයන්ට වැඩියෙන්ම අවශ්‍ය වුණේ ආත්මික දේවල්. ඒ නිසා ලොයිඩ්ව දිරිගන්වන්න මම ඔහුට “ආදර හසුන්” ලියන්න පටන්ගත්තා. මම ලියුම ලියන්න පටන්ගන්නේ ආදර හසුනක් විදිහට. පස්සේ ලිපියේ මැද හරියේදී මුරටැඹ ලිපි සම්පූර්ණයෙන්ම පිටපත් කරලා අන්තිමට ඔහුගේ ආදරවන්තිය කියලා අත්සන් කරනවා. මාස හතරහමාරකට පස්සේ ලොයිඩ් නිදහස් වුණා.
විවාහය සහ දිගටම පූර්ණ කාලීන සේවය කිරීම
වර්ෂ 1940 ලොයිඩ්ගේ අම්මා ඕස්ට්‍රේලියාවට ආව වෙලාවේ ලොයිඩ් අපි විවාහ වෙන්න ගත්ත තීරණය ගැන ඇයට කිව්වා. දැන් පවතින ක්‍රමය අවසන් වෙන්න ඉතාමත් ආසන්න බව පෙනුණ නිසා විවාහය ඒ තරම් ඥානවන්ත දෙයක් නෙවෙයි කියලා ඇය ලොයිඩ්ට අවවාද කළා. (මතෙව් 24:3-14) ඔහු මේ ගැන යහළුවන්ට කිව්වාම එයාලත් කිව්වේ ඒ දේමයි. අන්තිමේදී 1942 පෙබරවාරියේ එක දවසක සාක්ෂිකරුවන් හතරදෙනෙකුත් එක්ක හොරෙන්ම රෙජිස්ටාර් කන්තෝරුවට ගිහිල්ලා අපි විවාහ වුණා. ඒ දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටම විවාහ කටයුතු සිදු කරන්න අවසර දීලා තිබුණේ නැහැ.
විවාහක යුවළක් හැටියට බෙතෙල් සේවය දිගටම කරන්න අපිට අවසර ලැබුණේ නැහැ. නමුත් විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න කැමතිද කියලා අපෙන් ඇහුවාම අපි ගොඩක් සතුටු වුණා. ගම්බද පළාතක් වන වග වගාවලට ලැබුණ පැවරුම අපි පිළිගත්තා. ඒ වෙනකොටත් දේශනා සේවය තහනම් කරලයි තිබුණේ. අපිට කිසිම ආදායමක් තිබුණේ නැහැ. ඒ හින්දා අපිට අපේ බර යෙහෝවා මත තබන්න සිදු වුණා.—ගීතාවලිය 55:22.
අපි ගම්බද පැතිවලට ගියේ ආසන දෙකේ බයිසිකලයකින්. ඒ පැතිවල හිටිය කීපදෙනෙක්ම පණිවිඩයට ප්‍රතිචාරය දැක්වුවා. අපි ඒගොල්ලන් එක්ක දීර්ඝ සාකච්ඡාවල් කළා. හැබැයි හුඟදෙනෙක් බයිබල් පාඩමකට කැමති වුණේ නැහැ. ඒත් කඩ අයිතිකාරයෙක් අපි කරන සේවය අගය කළා වගේම අපිට හැම සතියේම පලතුරු, එළවළු දුන්නා. වග වගාවල මාස හයක් සේවය කරමින් ඉන්නකොට නැවතත් අපිට බෙතෙල් සේවයට ආරාධනා කළා.
ස්ට්‍රැත්ෆිල්ඩ්වල හිටිය බෙතෙල් පවුල 1942 මැයි මාසයේ ඉඳන් පෞද්ගලික නිවෙස්වලයි කාර්යාල වැඩ කටයුතු කළේ. බෙතෙල් පවුල සති දෙකකට වරක් එක් නිවසකින් තවත් නිවසකට මාරු වෙනවා. එතකොට කවුරුවත් සැක කරන්නේ නැහැ. අපි අගෝස්තු මාසේ බෙතෙල් නිවසට ආවාම, ඒ වගේ නිවසකට තමයි ගියේ. දවල් කාලයේ හොර රහසේ කරගෙන ගිය මුද්‍රණ කටයුතුවලට උදව් වෙන්න අපිට පැවරුණා. අවසානයේදී 1943 ජූනි මාසයේ අපේ වැඩ සඳහා දැමූ තහනම ඉවත් කෙරුවා.
මිෂනාරි සේවය සඳහා සූදානම් වීම
වර්ෂ 1947 අප්‍රියෙල් මාසයේදී අපි අමෙරිකාවේ කලින් නියූ යෝක් නුවර සවුත් ලැන්සින්වල තිබුණ වොච්ටවර් ගිලියඩ් පාසැලට සහභාගි වීමට අයදුම්පතක් යැව්වා. ඒ අතරතුර ඕස්ට්‍රේලියාවේ සභාවන් ආත්මිකව ශක්තිමත් කිරීමට අපිට පැවරුමක් ලැබුණා. මාස කිහිපයකට පස්සේ 11වන ගිලියද් පාසැලට සහභාගි වෙන්න අපිට ආරාධනා කළ අතර, අපේ දේවල් සැලසුම් කරලා ගමනට සූදානම් වෙන්න අපිට සති තුනක කාලයක් තිබුණා. අපි අපේ පවුලෙන් සහ මිතුරන්ගෙන් සමුගෙන, එම පාසැලට සහභාගි වෙන්න ආරාධනා ලැබූ ඕස්ට්‍රේලියාවේ 15දෙනෙකු සමඟ 1947 දෙසැම්බර් මාසයේදී නියූ යෝක් බලා පිටත් වුණා.
ගිලියද් පාසැලේ ගත කළ කාලය අපටත් නොදැනී අවසන් වුණ අතර, අපිට ජපානයේ මිෂනාරි සේවය කිරීම සඳහා පැවරුමක් ලැබුණා. ජපානයට යන්න අවශ්‍ය ලියකියවිලි සකස් කරන්න කාලයක් ගත වන නිසා, ලොයිඩ්ව අමෙරිකාවේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස පත් කළා. ලොස් ඇන්ජලිස් නගරයේ ඉඳන් මෙක්සිකෝවේ මායිම දක්වා ඇති සභාවන් බැහැදැකීමට අපිට සිදු වුණා. අපිට කාර් එකක් තිබුණේ නැති නිසා සාක්ෂිකරුවන් අපි එක් සභාවකින් තවත් සභාවකට යනකොට අපිට ප්‍රවාහණ පහසුකම් ලබා දුන්නා. අපේ චාරිකාවට අයිති වූ ප්‍රදේශ, දැන් ඉංග්‍රීසි භාෂා කතා කරන දිස්ත්‍රික් තුනකට සහ ස්පාඤ්ඤ භාෂා කතා කරන දිස්ත්‍රික් තුනකට බෙදලා. කොතරම් විශාල වර්ධනයක්ද කියනවා නම් එක දිස්ත්‍රික්කයකට චාරිකා දහයක් අයිති වෙනවා!
කලින් යුද භටයන්ව ගෙනියන්න පාවිච්චි කළ නැවකින් අපි 1949 ඔක්තෝබර්වලදී ජපානය බලා ගමන් ගත්තා. නැවේ එක පැත්තක් පිරිමි අයටත් අනෙක් පැත්ත ගැහැනු අයට හා ළමයින්ටත් වෙන් කරලා තිබුණා. යෝකෝහාමාවලට ගොඩබහින්න දවසකට කලින් අපිව සුළි සුළඟකට අහු වුණා. කොහොම හරි එම සුළි සුළඟ වෙන දිශාවකට ගහගෙන ගියා. ඔක්තෝබර් 31වෙනිදා ඉර පායා දවස ඇරඹෙනකොට ෆූජී කන්දේ සුන්දරත්වය අපට දැකගන්න පුළුවන් වුණා. එය, අපේ අලුත් පැවරුම සඳහා අපිට ලැබුණු කොයිතරම් හොඳ පිළිගැනීමක්ද!
ජපන් ජාතිකයන් සමඟ වැඩ කිරීම
අපි නැව් තටාකයට ළං වුණාම කළු කොණ්ඩේ තියෙන මිනිස්සු හුඟදෙනෙකුව අපි දැක්කා. එයාලාගේ කච බචේ ඇහුණාම, අපිට හිතුණා ‘අම්මේ මෙහෙමත් සද්දයක්’ කියලා! හැමෝම දාගෙන හිටියේ ලී සපත්තු. ඒ සපත්තු ලී තටාකයට වැදෙනකොට තවත් සද්දයි. යෝකෝහාමා නගරයේ රැය පහන් කළාට පස්සේ අපි අපේ මිෂනාරි පැවරුම සඳහා කෝබේ නගරයට ගියා. ගිලියද් පාසැලේ මිතුරෙක් වූ ඩොන් හැස්ලට් මාස කිහිපයකට කලින් ජපානයට ඇවිත් මිෂනාරිවරුන්ට නවතින්න ගෙයක් කුලියට අරගෙන තිබුණා. ඒක බටහිර පන්නයට හදලා තිබුණ ලස්සන තට්ටු දෙකේ ලොකු හිස් ගෙයක්.
නිදාගන්න මෙට්ට හැටියට අපි පාවිච්චි කළේ වත්ත පහළින් කපාගත් දිගැටි තණකොළ ගස්. ඒවා බිම අතුරලා නිදාගත්තා. අපේ මිෂනාරි සේවය පටන්ගන්නකොට අපි සන්තකයටම තිබුණේ බෑග් මලු ටික විතරයි. මිල දී ගත් දෙයකට තිබුණේ උණුසුම ලබාගන්නයි ඉවුම් පිහුම් කරන්නයි පාවිච්චි කරපු හිබාචි කියන අඟුරු ලිප් ටික විතරයි. එක දවසක් රෑ අපේ තවත් මිෂනාරිවරු දෙන්නෙක් වන පර්සි සහ ඉල්මා ඉස්ලොබ් සිහි නැතිව වැටිලා ඉන්නවා ලොයිඩ් දැක්කා. ඊට පස්සේ ජනෙල් ඇරලා පිරිසිදු හුළං ටිකක් ඇතුලට එන්න සැලැස්සුවායින් පස්සේ ඔවුන් පියවි සිහියට ආවා. අඟුරු ලිපේ උයනකොට මටත් ඒ දේ වුණා. ඇත්තම කියනවා නම් අපිට සමහරක් දේවල්වලට හුරු වෙන්න ටිකක් කල් ගියා.
වැදගත්ම දේ වුණේ භාෂාව ඉගෙනගන්න එකයි. අපි මාසයක් පුරා දවසකට පැය 11ක් ජපන් භාෂාව ඉගෙනගත්තා. ඊට පස්සේ අපි වාක්‍යයක් දෙකක් අතේ ලියාගෙන ක්ෂේත්‍ර සේවය කරන්න පටන්ගත්තා. මම දේශනා සේවයේ ගිය මුල්ම දවසේ හොඳ කාන්තාවක්ව මුණගැසුණා. එයාගේ නම මියො ටාකාගි. ඇය මාව සුහදශීලීව පිළිගත්තා. මම ඇයව නැවත හමුවීමට ගිය හැම අවස්ථාවකදීම මියොයි මමයි ඉංග්‍රීසි-ජපන් ශබ්දකෝෂයේ උපකාරයෙන් කොහොම කොහොම හරි අදහස් හුවමාරු කරගත්තා. අන්තිමේදී ඇයත් සමඟ හොඳ බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වුණා. වර්ෂ 1999 පහසුකම් පුළුල් කළ ජපානයේ ශාඛා කාර්යාලය කැප කරන අවස්ථාවේදී අපි එම උත්සවයට සහභාගි වුණා. එතකොට මට ආයෙත් වතාවක් මියොවත් මාත් සමඟ බයිබලය පාඩම් කළ තවත් බොහෝදෙනෙකුවත් දැකගන්න අවස්ථාවක් උදා වුණා. අවුරුදු 50ක් ගියත් තවමත් එයාලා උද්‍යෝගිමත් ලෙස රාජ්‍ය ප්‍රචාරකයන් වශයෙන් සේවය කරමින් යෙහෝවා වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ කරනවා.
වර්ෂ 1950 අප්‍රියෙල් පළවෙනිදා, කෝබේ නුවර යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට 180දෙනෙක් සහභාගි වුණා. ඊළඟ දවසේ උදෑසන 35දෙනෙක් ක්ෂේත්‍ර සේවයේ සහභාගි වෙන්න ආවාම අපිට පුදුම හිතුණා. හැම මිෂනාරිවරයෙක්ම මේ අලුත් අයගෙන් තුන්දෙනෙකුව හෝ හතරදෙනෙකුව එයාලත් සමඟ ක්ෂේත්‍ර සේවයේ අරගෙන ගියා. මට ජපන් භාෂාව බැරුව ඇති කියලා ගේ හිමියන් හිතුව නිසා මාත් එක්ක ඒ අය කතා කළේ නැහැ. වැඩි පුර කතා කළේ කලින් දවසේ සිහි කිරීමට පැමිණි අලුතින් සේවයට ආව අයත් එක්කයි. සාකච්ඡාවන් දිගටම කෙරීගෙන ගියා. මොනවාද කතා කරන්නේ කියලා මට තේරුණේ නැහැ. ඒ කොහොම වුණත්, මම හරි සතුටුයි කියන්න ඒ අලුත් අයගෙන් සමහරදෙනෙක් දිගටම දැනුම ලබාගෙන අද දක්වාම දේශනා සේවයේ හවුල් වෙනවා.
බොහෝ ප්‍රීතිදායක සහ තෘප්තිමත් පැවරුම්
අපි 1952 වන තුරු කෝබේවල මිෂනාරි සේවය කළා. ටික කාලයකට ලොයිඩ්ට ශාඛා කාර්යාලයේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට සිදු වුණ නිසා අපිට ටෝකියෝවලට පැවරුමක් ලැබුණා. කාලයක් යනකොට ඔහුගේ සේවා පැවරුම හේතුවෙන් ඔහුට මුළු ජපානය පුරාමත් වෙනත් රටවලත් සංචාරය කිරීමට ප්‍රස්තාව උදා වුණා. ලෝක මුලස්ථානයේ සේවය කළ සහෝදරයෙක් වන නේදන් එච්. නෝර් ටෝකියෝවලට පැමිණි එක් අවස්ථාවකදී මට මෙහෙම කිව්වා. “ඔයාගේ ස්වාමිපුරුෂයා ඊළඟට යන්නේ කොහේටද කියලා ඔයා දන්නවාද? ඕස්ට්‍රේලියාවටයි නවසීලන්තයටයි.” ඔහු තවදුරටත් මෙහෙම කිව්වා. “ඔයාගේ ටිකට් එකට වියදම් කරන්න පුළුවන් නම් ඔයාටත් යන්න පුළුවන්.” ඒ වෙලාවේ දැනුණ සන්තෝෂය කියා නිම කරන්න බැහැ. මොකද අපි අවුරුදු 9කින් ගෙදර අයව දැක්කේ නැහැ.
අපි ඉක්මනින්ම අපේ පවුල්වල අයට මේ ගැන දැන්නුවා. මගේ ටිකට් එක ගන්න අම්මා උදව් කෙරුවා. ලොයිඩුයි මමයි අපේ පැවරුමේ වැඩ රාජකාරිවලම යෙදිලා හිටිය නිසාත්, අපේ අතේ සල්ලි තිබුණේ නැති නිසාත් අපිට පුළුවන් වුණේ නැහැ ඒ වෙනකම්ම පවුල්වල අයව බලන්න යන්න. ඇත්තටම මේක මගේ යාච්ඤාවට ලැබුණ පිළිතුරක්. හිතන්න මගේ අම්මට මාව දැක්කාම කොච්චර ආස හිතෙන්න ඇද්ද කියලා. “ආයෙත් අවුරුදු තුනකින් එන්න, මම සල්ලි ටිකක් එකතු කරන්නම්” කියලා අම්මා අපි ආපහු එනකොට කිව්වා. අපි වෙන් වුණේ ආයෙත් මුණගැහෙන බලාපොරොත්තුවෙන්. ඒත් ඊළඟ අවුරුද්දේ ජූලි මාසයේ අම්මා අප අතරින් වෙන් වුණා. නව පොළොවේදී අම්මව දැකගන්න මම ආසාවෙන් බලා ඉන්නවා!
වර්ෂ 1960 වෙනකම් මගේ පැවරුම වෙලා තිබුණේ මිෂනාරි සේවයයි. දවසක මට ලියුමක් ලැබුණා. ඒකේ මෙහෙම සඳහන් වෙලා තිබුණා. “ලිපියෙහි සඳහන් දිනයේ සිට මුළු බෙතෙල් පවුලේම සාමාජිකයන්ගේ රෙදි සේදීම සහ මැදීම ඔබට පවරා තිබෙනවා.” අපේ බෙතෙල් පවුලේ හිටියේ සාමාජිකයන් 12දෙනයි. ඒ නිසා මගේ මිෂනාරි පැවරුමට අමතරව බෙතෙල් නිවසේ වගකීම් ඉටු කරන එක එච්චර අමාරු වුණේ නැහැ.
වර්ෂ 1962දී ජපන් මෝස්තරයට තිබුණ නිවාසය කඩලා, ඊළඟ අවුරුද්දේ තට්ටු හයේ බෙතෙල් නිවසක් එම ස්ථානයේම ගොඩනැඟුවා. අලුතෙන් බෙතෙල් නිවාසයට ආව සහෝදරයන්ට තමන්ගේ කාමරය පිළිවෙළකට තියාගන්නේ කොහොමද කියලා කියා දෙන්නත්, දීසි සෝදන්න, රෙදි පිළිවෙළකට තියන්න වැනි වැඩ රාජකාරි කියා දෙන්නත් මට පැවරුණා. සාමාන්‍යයෙන් ජපානයේ පිරිමි ළමයින්ට ගෙවල්වල ඉන්දැද්දි කිසිම පුහුණුවක් දෙන්නෙ නැහැ. මුල් තැන දීලා තිබුණේ ඉගෙනීමේ වැඩවලට. ඒ වගේම අම්මලා හැම දෙයක්ම අතට පයට කරලා දීලා. ඉතිං එයාලට තනියම මුකුත් කරගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි වැඩි කල් යන්න ඉස්සර, මම එයාලගේ අම්මා නෙමෙයි කියලා ඒගොල්ලන් තේරුම්ගත්තා. කාලයක් යනකොට මේ සහෝදරයන්ගෙන් බොහෝදෙනෙකුට සභාව තුළ වගකීම් උසුලන්න පවා හැකි වුණා.
එක දවසක් බයිබලය ඉගෙනගන්න කෙනෙක් අපේ බෙතෙල් නිවාසය බලන්න ආවා. ඒ වෙලාවේ මම දාඩිය පෙරාගෙන නාන කාමරයක් පිරිසිදු කරමිනුයි හිටියේ. ඇය ඒක දැකලා මෙහෙම කිව්වා. “ඔයාට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් සේවකයෙක් වෙනුවෙන් මම සල්ලි දෙන්නම් කියලා ඔයගොල්ලන්ගේ මැනේජර් මහත්තයාට කියන්න.” මම එයාගේ කරුණාවන්තකමට ස්තුති කරලා, යෙහෝවාගේ සංවිධානය තුළ ඕනෑම වැඩක් කරන්න තියෙන මගේ කැමැත්ත එයාට පැහැදිලි කරලා දුන්නා.
මේ කාලයේදී ලොයිඩ්ටයි මටයි 39වන ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනයක් ලැබුණා. මේ ආරාධනාව ලැබුණේ 1964දීයි. එතකොට මට වයස අවුරුදු 46යි. ඒ වයසේදී ආයෙත් පාසැලකට යන්න ලැබෙනවා කියන්නේ කොයිතරම් දෙයක්ද! මෙය සමිතියේ ශාඛා කාර්යාලවල සේවය කරන අය සඳහා සැලසුම් කළ පාඨමාලාවක්. මාස දහයක පුහුණුවකින් පස්සේ නැවතත් අපිට ජපානයට පැවරුමක් ලැබුණා. ඒ වෙනකොට ජපානයේ රාජ්‍ය ප්‍රචාරකයන් 3,000කට වඩා හිටියා.
ඉක්මනින්ම වර්ධනය වුණ නිසා 1972 වෙනකොට සාක්ෂිකරුවන් 14,000ක් සිටිය අතර ටෝකියෝවේ දකුණට වෙන්න පිහිටි නුමාසුවල තට්ටු පහේ ශාඛා කාර්යාලයක් ඉදි කළා. අපේ ගොඩනැඟිල්ලේ සිට ෆූජී කන්දේ සුන්දරත්වය ලස්සනට දැකගන්න පුළුවන් වුණා. අලුතෙන් ඉදි කළ විශාල මුද්‍රණාලවල, මාසයකට ජපන් භාෂාවෙන් මිලියනයකට වඩා සඟරා මුද්‍රණය කරන්න පටන්ගත්තා. මේ අතර අපේ පැවරුම වෙනස් කරන ලකුණු පෙනෙන්න තිබුණා.
පාලක මණ්ඩලයේ වගකීම් දැරීමට 1974 අග භාගයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය වන බෘක්ලින්වලින් ලොයිඩ්ට ලිපියක් ලැබුණා. මං මුලින්ම මෙහෙම හිතුවා. ‘මේක තමයි අපේ වෙන්වීම. මොකද ලොයිඩ්ට තියෙන්නේ ස්වර්ගික බලාපොරොත්තුවක්. මට තියෙන්නේ භූමික බලාපොරොත්තුවක්. ඉතිං කවදා හරි අපි වෙන් වෙනවා. එනිසා, ලොයිඩ් බෘක්ලින්වලට තනියෙන් ගියාට කමක් නැහැ.’ ඒත්, පස්සේ මම හිත හදාගෙන 1975 මාර්තුවලදී ලොයිඩ් එක්ක යන්න තීරණය කළා.
මූලස්ථානයේ සේවය කිරීමේ ආශීර්වාද
බෘක්ලින්වල හිටියත් ලොයිඩ්ගේ හිත තිබුණේ ජපානයේ. ඔහු හැම තිස්සේම කතා කළේ ජපානයේ අපි ලබපු අද්දැකීම් ගැනයි. හැබැයි බෘක්ලින්වලදි අපේ සේවය පුළුල් කිරීමට අපට ප්‍රස්තාවක් ලැබුණා. ලොයිඩ්ගේ ජීවිතයේ ගත වූ ඊළඟ අවුරුදු 24 පුරා, ඔහු කලාපීය අවේක්ෂකයෙක් හැටියට ලොව වටා ගමන් කළා. මමත් බොහෝ අවස්ථාවල ඔහුත් සමඟ එයට හවුල් වුණා.
වෙනත් රටවල ඉන්න අපේ සහෝදරයන්ව බලන්න යෑමෙන් ඒ අයගේ ජීවන රටාව සහ වැඩ කොයිතරම් දුෂ්කරද කියලා තේරුම්ගන්න මට පුළුවන් වුණා. මට තාම මතකයි උතුරු අප්‍රිකාවේ එන්ටෙල්යා කියන අවුරුදු දහයක් විතර වයස ඇති පුංචි ගැහැනු ළමයාව. ඒ පුංචි කෙල්ල දෙවිගේ නමට හරි ආදරෙයි. එයාට ක්‍රිස්තියානි රැස්වීම්වලට එන්න පැය එකහමාරක් ඇවිදින්න වෙනවා. එයාගේ ගෙදර උදවියගෙන් කොච්චර විරුද්ධකම් තිබුණත් එන්ටෙල්යා යෙහෝවාට කැප වුණා. අපි ඇය සිටින සභාවට ගියාම ඒ ශාලාවේ ලයිට් එකක් තිබුණේ කථිකයා හිටිය තැන විතරයි. අනිත් අය ඔක්කොම හිටියේ තිත්ත කළුවරේ. කිසිම දෙයක් පෙනෙන්නේ නැති වුණත් ඒ සහෝදර සහෝදරියන් හඬ නඟා ගීතිකා ගැයූ ආකාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
වර්ෂ 1998 දෙසැම්බරයේ කියුබාවේ පැවති “ජීවිතය සඳහා දෙවිගේ මඟ” කියන සමුළුවට නියෝජිතයන් හැටියට සහභාගි වුණ අවස්ථාව, අපේ ජීවිතේ වැදගත් අවස්ථාවක්. මූලස්ථානය වන බෘක්ලින්වලින් ඔවුන්ව බැහැදකින්න ආව එක ගැන එම සහෝදර සහෝදරියන් තම අගය සහ සතුට ප්‍රකාශ කරනකොට අපිට පුදුම හිතුණා. ජ්වලිතව යෙහෝවාට ප්‍රශංසා කරන සහෝදර සහෝදරියන් මුණගැසීමෙන් අපි ලබපු අද්දැකීම් ඇත්තෙන්ම වටිනවා.
දෙවිගේ සෙනඟ ඉන්න තැන මම තනි වී නැහැ
මගේ උපන් රට ඕස්ට්‍රේලියාව වුණත් යෙහෝවාගේ සංවිධානය මාව යැවූ ඕනෑම තැනක සිටිය මිනිසුන්ට ආදරය කරන්න මම පුරුදු වුණා. ජපානයේ ඉන්දැද්දීත් අමෙරිකාවේ ඉඳලා තියෙන අවුරුදු 25ක කාලය තුළදීත් මම ඒ දේ අද්දැකලා තියෙනවා. මගේ ස්වාමිපුරුෂයා මැරුණාම මම තීරණය කළා මගේ උපන් රටට නොගිහින්, යෙහෝවා මට පැවරුම දුන්න තැන වන බෘක්ලින්වලම දිගටම සේවය කරන්න.
මම දැන් 80 ගණන්වලයි ඉන්නේ. මම පූර්ණ කාලීන සේවය කරන්න පටන් අරන් දැන් අවුරුදු 61ක් වෙනවා. යෙහෝවා මට සුදුසුයි කියා සිතන තැනක සේවය කරන්න තවමත් මම සූදානම්. ඇත්තටම ඔහු මාව හොඳින් රැකබලා ගන්නවා. යෙහෝවාට ආදරය කරපු සහකරුවෙක් සමඟ අවුරුදු 57කට වැඩි කාලයක් ඉන්න ලැබීමත් මම ඇත්තෙන්ම අගය කරනවා. යෙහෝවාගේ ආශීර්වාදය දිගටම අපට ලැබෙනවා කියන එක මට විශ්වාසයි. ඒ වගේම අපේ වැඩයත් ඔහුගේ නාමයට පෙන්නූ ප්‍රේමයත් ඔහු කවමදාකවත් අමතක කරන්නේ නැහැ කියලා මම දන්නවා.—හෙබ්‍රෙව් 6:10.
[පාදසටහන]
a වර්ෂ 1999 ඔක්තෝබර් 1වනදා මුරටැඹ කලාපයේ 16 සහ 17 වන පිටු බලන්න.
[25වන පිටුවේ පින්තූරය]
අම්මත් සමඟ 1956දී
[26වන පිටුවේ පින්තූරය]
1950 ගණන්වල මුල් කාලයේ ලොයිඩ්, මම සහ ජපානයේ ප්‍රචාරකයන් කණ්ඩායමක්
[26වන පිටුවේ පින්තූර]
ජපානයේ මගේ පළවෙනි බයිබල් ශිෂ්‍යයාව වන මියො ටාකාගි සමඟ, 1950 මුල් කාලයේදී සහ 1999දී
[28වන පිටුවේ පින්තූරය]
ලොයිඩ් සමඟ ජපානයේ සඟරා වැඩ කටයුතුවල යෙදෙමින්