කීකරුකම—ළමා වියේදී ඉගෙනගත යුතුමද?
“දෙමාපියන්ට අවශ්‍ය ස්වාධීනව කටයුතු කරන දරුවන් මිසක් දෙමාපියන්ගේ වචනයට ඉහළින් නොයන කීකරු දරුවන් නෙමෙයි” කියා එක් පුවත්පත් සිරස්තලයක පළ විය. මෙම පුවත් වාර්තාවට පාදක වූයේ නවසීලන්තයේ කළ සමීක්ෂණයක දත්තයන්ය. එම දත්තයන් පෙන්නුම් කළ ආකාරයට “කුඩා කල සිට දරුවනට නිවසේදීම කීකරුකම ඉගැන්විය යුතුයි යන අදහසට එකඟත්වය පළ කළේ සියයට විසිදෙකක් පමණයි.” දෙමාපියන්ගේ විශ්වාසය වී ඇත්තේ හොඳ පුරුදු ඇති කිරීම මෙන්ම ස්වාධීනව කටයුතු කිරීම සහ වගකීම් ඉසිලීමට දරුවන්ට ඉගැන්වීම කීකරුකමට වඩා වැඩි වැදගත්කමක් ගන්නා බවයි කියා එම සමීක්ෂණයෙන් තවදුරටත් හෙළි කළේය.
මමත්වය සහ ආත්මාර්ථය පෙරදැරි කරගත් සමාජයක කීකරුකමේ වැදගත්කමත් එය දරුවනට ඉගැන්වීමේ ඇති වැදගත්කමත් කෙරෙහි රිණ ආකල්පයක් බොහෝ අය තුළ තිබීම පුදුමයට කාරණයක් නොවේ. නමුත් කුඩා කල සිට දරුවෙකුට කීකරුකම ඉගැන්වීම, යල් පැන ගිය දෙයක් නැත්නම් විසිඑක්වන සියවසට නොගැළපෙන යමක්යයි සිතා එය අහක දැමිය හැකිද? එසේ නැතහොත් එය දරුවනට ඉගෙනගත හැකි සහ ප්‍රයෝජන ලැබිය හැකි මෙන්ම වැදගත්කමකින් යුත් යමක්ද? වඩා වැදගත් දෙය වන්නේ පවුල් විධිවිධානයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි දෙමාපියන්ට කීකරු වීම සලකන්නේ කෙසේද කියාත් කීකරු වීමෙන් ලැබෙන ඵල ප්‍රයෝජනය කුමක්ද කියාත් සොයා බැලීමයි.—ක්‍රියා 17:28; එපීස 3:14, 15.
“එසේ කරන්ට යුතුය”
පළමු ශතවර්ෂයේ සිටි එපීසයේ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමින්] තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.” (එපීස 6:1) මෙවැනි කීකරුකමක් දැක්විය යුතු වීමට මූලික හේතුව වන්නේ නිවැරදි දේ කුමක්ද යන්න පිළිබඳව දෙවි දී ඇති ප්‍රමිතිවලට එයද ඇතුළත් වී තිබීමයි. මේ නිසා පාවුල් පවසන්නේ, “එසේ කරන්ට යුතුය” කියාය.
ඉහත සඳහන් දෙයට එකඟව, දෙවිගේ වචනය තුළ දෙමාපියන් විසින් ලබා දෙන ප්‍රේමනීය හික්මවීම ‘හිසට හොබනා මාලාවක් සහ බෙල්ලට මාලයක්’ ලෙස හඳුන්වා තිබෙන අතර, එය ‘ස්වාමීන්ට ප්‍රසන්න දෙයක්’ ලෙසද හඳුන්වා තිබේ. (හිතෝපදේශ 1:8, 9; කොලොස්සි 3:20) මෙයින් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලි වෙයි. එනම් දෙමාපියන්ට අකීකරු වීම දිව්‍ය අනුමැතිය නොලැබී යාමට හේතුවක් වන බව.—රෝම 1:30, 32.
‘ඔබට සෙත සැලසෙන පිණිස’
කීකරුකමේ තවත් ප්‍රයෝජනයක් පාවුල් මතු සඳහන් දේ ලියන විට හුවා දැක්වීය. ‘ඔබට සෙතක් සැලසෙන පිණිසද ඔබ මිහිපිට බොහෝ කල් ජීවත්වන පිණිසද, “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමුවන ආඥාවය.’ (එපීස 6:2, 3, නව අනුවාදය; නික්මයාම 20:12) දෙමාපියන්ට කීකරු වීම කෙනෙකුගේ ශුභසිද්ධියට දායක වන්නේ කෙසේද?
දෙමාපියන් වයසින් මුහුකුරා යත්ම ඔවුන් දැනුමෙන් සහ අද්දැකීම්වලින් නිපුණ වනවා යන කාරණය සිහි නැති නොකරන්න. ඔවුන්ට කොම්පියුටර් ගැන හෝ පාසැලේදී උගන්වන නොයෙකුත් විෂයන් පිළිබඳව හෝ වැඩි දැනුමක් නැති බව සැබෑවක් වුවත්, ජීවිතය පිළිබඳව සහ ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව මනා දැනුමක් ඔවුන්ට තිබේ. ඒත් යෞවනයන් සම්බන්ධයෙන් බලද්දී, මේරුභාවයට පත්වීමත් සමඟ උරුම වන සමබරව සිතීමේ හැකියාව ඔවුන්ට තවමත් ලැබී නැති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එමනිසා ඔවුහු මිතුරන්ගේ පීඩනය හේතුවෙන් බොහෝ අවස්ථාවල තමන්ටම හානි වන ආකාරයේ තීරණ ගැනීමට ඉක්මන් වෙති. බයිබලයේ පවසන්නේ, “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ” කියායි. මෙයට පිළියම කුමක්ද? එහි මෙසේ පවසයි. “දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.”—හිතෝපදේශ 22:15.
කීකරුකමේ ප්‍රයෝජන සීමා වන්නේ දෙමාපියන් සහ දරුවන් අතර ඇති සබඳතාවට පමණක් නොව, මිනිස් සමාජයේ කටයුතුවලටත් එය දායක වේ. සාමාන්‍යයෙන් මිනිස් සමාජයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත් එහි ශුභසිද්ධියටත් සහයෝගිතාවය ඉතා වැදගත් වේ. එවන් සහයෝගයක් දැක්වීම සඳහා කීකරුකම යම් ප්‍රමාණයකට අවශ්‍ය වේ. උදාහරණයකට විවාහයක් තුළදී, අන් අයගේ සිතුම් පැතුම්වලට සංවේදී නොවී කටයුතු කිරීමට වඩා නම්‍යසුලු වීමෙන් සාමය, එකමුතුභාවය සහ ප්‍රීතිය අත් විඳිය හැක. එමෙන්ම ව්‍යාපාරයක් සාර්ථක වීම සඳහා වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ යටහත්කම අත්‍යවශ්‍ය දෙයකි. ආණ්ඩුවේ නීති සහ ප්‍රතිපත්තිවලට කීකරු වීමෙන් දඬුවම්වලින් නිදහස්ව සිටීමට හැකි වෙනවා පමණක් නොව එසේ කිරීමෙන් යම් පමණකට ආරක්ෂාවක්ද ලැබේ.—රෝම 13:1-7; එපීස 5:21-25; 6:5-8.
අධිකාරියට අකීකරු යෞවනයන් සමාජයට යෝග්‍ය පුද්ගලයන් නොවේ. ඇත්තෙන්ම සලකා බැලූ කරුණු අනුව කෙනෙකු කුඩා කල සිටම ඉගෙනගන්නාවූ කීකරුකම හේතුවෙන් ඔහුට හෝ ඇයට ජීවිත කාලය පුරාම අනගි ප්‍රතිඵල අත් කර ගත හැකියි. එසේ නම් එය කුඩා කාලයේ සිටම ඉගෙනගැනීම කොතරම් ප්‍රයෝජනදායකද!
කීකරුකමේ අනගි විපාක
කීකරුකම, හොඳ පවුල් වාතාවරණයක් ඇති කරගැනීමට සහ ජීවිතාන්තය දක්වා ප්‍රයෝජන අද්දැකීමට මඟ සලසනවා පමණක් නොව, කෙනෙකුට ඔහුගේ මැවුම්කරු සමඟ වටිනා සබඳතාවයක් ගොඩනඟාගැනීමටත් උපකාර කරයි. ඇත්තෙන්ම, කෙනෙකුට ඇති කරගත හැකි වැදගත්ම සබඳතාවය එයයි. යෙහෝවා දෙවි ‘උත්තරීතර මැවුම්කරු’ සහ “ජීවනයේ උල්පත” වන නිසා අපි ඔහුට අපේ පූර්ණ කීකරුකම දැක්විය යුතුයි.—දේශනාකාරයා 12:1, NW; ගීතාවලිය 36:9.
“කීකරුකම” යන වදන හා බැඳි විවිධ යෙදුම් 160කටත් වඩා වැඩි ගණනක් බයිබලයේ සොයාගත හැක. මීට අමතරව අප විසින් යටත් විය යුතු දෙවිගේ නීති, නියෝග, ආඥා, විනිශ්චයන් සහ නියමයන් ගැන සඳහන් කරන අවස්ථා සියගණනක්ද දැකගැනීමට පුළුවන. දෙවිගේ අනුමැතිය දිනාගැනීමට කීකරුකම අවශ්‍ය බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි වේ. ඔව්, යෙහෝවා සමඟ සබඳතාවයක් ගොඩනඟාගැනීමට නම් කීකරුකම අත්‍යවශ්‍ය අංගයකි. (1 සාමුවෙල් 15:22) නමුත් කනගාටුවට කාරණයක් වන්නේ මිනිසා, කීකරු වීමට නොව අකීකරු වීමට නැඹුරුවීමය. බයිබලයේ පවසන්නේ, “බාල වයසේ පටන් [මනුෂ්‍යයාගේ] සිතේ කල්පනා නපුරුව තිබේ” කියායි. (උත්පත්ති 8:21) මේ හේතුව නිසා කීකරුකම නමැති පාඩම කුඩා කල පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම ඉගෙනගත යුත්තකි. එසේ කිරීමෙන් බොහෝ ආශීර්වාද අද්දැකීමට පුළුවන.
ප්‍රේරිත පාවුල් හුවා දැක්වූ දෙමාපියන්ට කීකරු වීම නමැති ආඥාවට පොරොන්දු දෙකක් ඇතුළත් බව සිහියට නඟන්න. ‘ඔබට සෙත සැලසෙන පිණිස සහ ඔබ මිහිපිට බොහෝ කල් ජීවත් වන පිණිස’ කියා ඔහු එහි පවසයි. මෙම පොරොන්දුව හිතෝපදේශ 3:1, 2හි ස්ථිර කර ඇත්තේ මෙසේයි. “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.” කීකරු වන අයට ලැබෙන උතුම්ම දායාදය නම් දැන් යෙහෝවා සමඟ පුද්ගලික සබඳතාවයක් ඇතුව සිටීමේ සහ සාමකාමී නව පොළොවේ සදාකාලික ජීවිතය භුක්ති විඳීමේ වරප්රසාදයයි.—එළිදරව් 21:3, 4.
[30, 31වන පිටුවේ පින්තූර]
පවුල තුළ, රැකියා ස්ථානයේ සහ යෙහෝවා සමඟ ප්‍රීතිමත් සබඳතාවයක් ඇති කරගැනීමට කීකරුකම මහෝපකාරි වේ