ජීවිත කතාව
මැදපෙරදිගෙහි බැබළෙන ආත්මික ආලෝකය
පැවසුවේ නාජිබ් සැලම්
දෙවිගේ වචනයේ ආලෝකය පළමු ශතවර්ෂයේදී මැද පෙරදිගට සහ පොළවේ ඈත සීමා මායිම් දක්වා විහිදුණා. එම ආලෝකය 20වෙනි ශතවර්ෂයේදී නැවතත් එම දේශය පුරා ආලෝකය බැබළෙන්න පටන්ගත්තා. මේ දේවල් සිදු වුණේ කෙසේද කියා පවසන්න මට මොහොතකට ඉඩ දෙන්න.
මම ඉපදුණේ 1913, උතුරු ලෙබනනයේ ඇම්යූන් නගරයේ. ඒ වසර තමයි ලෝකයේ යම් දුරකට ස්ථාවරභාවයක් සහ සන්සුන්කමක් පැවති අන්තිම වසර. ඊළඟ අවුරුද්දේදී පළවෙනි ලෝක මහ යුද්ධය ආරම්භ වුණා. වර්ෂ 1918දී යුද්ධේ අවසන් වෙන කොට මැදපෙරදිග මුතු ඇටය ලෙස හැඳින්වූ ලෙබනනය ආර්ථික අතින් හා දේශපාලනික වශයෙන් අන්ත අසරණ තත්වයකට පත් වෙලා තිබුණා.
වර්ෂ 1920දී ලෙබනනයේ තැපැල් සේවය නැවත ආරම්භ වුණාම දුර රටවල සිටින ලෙබනන් ජාතිකයන්ගෙන් ලිපි ලැබෙන්න පටන්ගත්තා. මගේ මාමලා දෙන්නා වන අබ්දුල්ලා සහ ජෝජ් ගැන්ටස් එයාලගේ තාත්තාට ඒ කියන්නේ මගේ සීයා හබීබ් ගැන්ටස්ට ලිපි එව්වා. සීයාට එව්ව ඒ ලිපිවල දෙවිගේ රාජ්‍යය ගැන සඳහන් කර තිබුණා. (මතෙව් 24:14) පුතාලාගේ ලිපිවල තිබුණ දේ සීයා එයාගේ යාළුවන්ට පෙන්නන්න ගිහිල්ලා යාළුවෝ ටික සීයාට විහිලු කරන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඉඩම විකුණලා බූරුවෙක් අරගෙන දේශනා සේවයේ යන්න කියලා හබීබ්ගේ පුතාලා එයාට කියනවා කියලා ගම පුරා කට කතාවකුත් පැතිරෙව්වා.
මුලින්ම විහිදුණු ආලෝකය
වර්ෂ 1921දී, අමෙරිකාවේ නියූ යෝක්, බෘක්ලින් නුවර පදිංචිව සිටි මිෂෙල් ආබූඩ්, ලෙබනන්වල ට්‍රිපෝලි නගරයට ආවා. ඔහු එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හඳුන්වන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී සිටියා. නමුත්, හොඳින් දැන හඳුනන ගණිත මහාචාර්යවරයෙකු වූ ඉබ්‍රහිම් අටියා සහ දන්ත වෛද්‍යවරයෙක් වූ හන්නා ශම්මාස් හැරෙන්න, සහෝදර ආබූඩ්ගේ නෑහිතවතුන් බයිබල් පණිවිඩයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. වෛද්‍ය ශම්මාස් ක්‍රිස්තියානි රැස්වීම් පැවත්වීම සඳහා තම නිවසත් සායනයත් පාවිච්චි කිරීමට ඉඩ දුන්නා.
මම පදිංචි වී සිටි ඇම්යූන් නගරයට සහෝදර ආබූඩ් සහ සහෝදර ශම්මාස් එනකොට මම පොඩි කොල්ලෙක්. එම සහෝදරයන්ගේ පැමිණීම මට ලොකු දිරිගැන්වීමක් වුණ අතර සහෝදර ආබූඩ් සමඟ මම දේශනා සේවයට පා තැබුවා. එදා සිට අවුරුදු 40ක් පුරා සහෝදර ආබූඩ් 1963දී මිය යන තුරු මම ඔහුත් සමඟ නොකඩවා දේශනා සේවයේ සහභාගි වුණා.
වර්ෂ 1922 සිට1925 දක්වා කාලය අතරතුරේදී බයිබල් සත්‍යයේ ආලෝකය උතුරු ලෙබනනයේ බොහෝ පැතිවලට ව්‍යාප්ත වුණා. පුද්ගලයන් 20ක් 30ක් විතර බයිබල් සාකච්ඡාවන් සඳහා තම තමන්ගේ නිවෙස්වල වගේම ඇම්යූන් නගරයේ තිබුණ අපේ නිවසේදීත් රැස් වුණා. පූජකයන් ළමයිව දම්මලා කෑකෝ ගස්සවා ටින් ආදියට ගැසීම තුළින් ඝෝෂාවක් ඇති කර රැස්වීම් කඩාකප්පල් කරන්න වෑයම් කළා. එනිසා සමහර අවස්ථාවල අපි මුණගැසුණේ කැලෑවේ.
මම තරුණ කාලේ සේවයට සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට හරිම ජ්වලිතයි. එනිසා මට තිමෝති කියලා නමක් පටබැඳුණා. පාසැලේ විදුහල්පති මට නියෝග කළා අපේ රැස්වීම්වලට සහභාගි වෙන්න එපා කියලා. මම ඒ නියෝගය පිළිගත්තේ නැති නිසා මාව පාසැලෙන් අස් කෙරුවා.
බයිබලයෙහි සඳහන් දේශවල සාක්ෂි දැරීම
වර්ෂ 1933දී බව්තීස්ම වුණාට පස්සේ මම පුරෝගාමි සේවය (පූර්ණ කාලීන දේශනා සේවය) ආරම්භ කළා. ඒ කාලයේ සාක්ෂිකරුවන් හිටියේ ටිකදෙනෙක් වුණත් අපි උතුරු ලෙබනනයේ බොහෝ ගම්වලත් බීරුට් සහ එහි නගරයට යාබද ගම්වල සිට දකුණු ලෙබනනය දක්වාත් දේශනා සේවය කරගෙන ගියා. එම මුල් අවුරුදුවල හරියට යේසුස් සහ ඔහුගේ මුල් ශතවර්ෂයේ ගෝලයන් මෙන් අපිත් සංචාරය කළේ පයින් එහෙම නැත්නම් බූරුවන්ගේ පිට උඩ.
අවුරුදු ගණනාවක් අමෙරිකාවේ පදිංචි වී සිටි ලෙබනන් ජාතික සාක්ෂිකරුවෙක් වූ යූසෆ් රහ්හාල් 1936දී සංචාරයක් සඳහා ලෙබනනයට පැමිණියා. ඔහු පැමිණෙන විට ශබ්ද උපකරණ සහ තැටි වාදන යන්ත්‍ර දෙකක් රැගෙන ආවා. අපි එම උපකරණ 1931 තිබුණු ෆෝඩ් වර්ගයේ කාර් එකක් උඩ බැඳගෙන ඒ මාර්ගයෙන් ලෙබනනයේ සහ සිරියාවේ පිටිසර ගම්මානවලට රාජ්‍ය පණිවිඩය රැගෙන ගියා. ශබ්ද වාහිනි යන්ත්‍රයෙන් ශබ්දය කිලෝමීටර දහයක් පමණ දුරකට විහිදුණා. ශබ්ද වාහිනියෙන් ඇසුණු ශබ්දයට මිනිස්සු කිව්වේ අහසෙන් එන හඬවල් කියලා. ඉතිං මිනිස්සු එයාලාගේ නිවෙස්වල වහල උඩට නඟිනවා එම ශබ්දයට ඇහුම්කන් දෙන්න. කුඹුරුවල වැඩ කරමින් සිටි අය, වැඩ නවත්වලා ළඟට ඇවිත් අහගෙන ඉන්නවා.
වර්ෂ 1937 ශීත කාලයේදී යූසෆ් රහ්හාල් සමඟ අවසානයට ගිය එක් ගමනක් තමයි සිරියාවේ අලෙප්ඕ නගරය. ඔහු නැවතත් අමෙරිකාවට යන්න කලින් අපි පලස්තීනයටත් ගියා. එම සංචාරයේදී හායිෆා සහ යෙරුසලම යන නගරවලට වගේම ගම්මානවලටත් ගියා. ඒ ගිය වෙලාවේ කලින් මාත් සමඟ තැපැල් මාර්ගයෙන් ලිපි හුවමාරු කර තිබූ ඉබ්‍රහිම් ශෙහාඩීව මුණගැසුණා. ඒ වෙනකොට ඔහු දේශනා සේවයේ යෑමට තරම් දැනුමක් ලබාගෙන සිටිය නිසා අපිත් සමඟ ගෙයින් ගෙට සේවයේ හවුල් වුණා.—ක්‍රියා 20:20.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ තැපැල් මාර්ගයෙන් බයිබලය පාඩම් කරමින් හිටිය මහාචාර්ය කලිල් කොබ්රෝසි මුණගැසීමටත් මට ලොකු ආසාවක් තිබුණා. ඔහු කතෝලික ආගමේ කණුවක්. ඔහුට අපේ ලෙබනන් සාක්ෂිකරුවන්ගේ ලිපිනය ලැබිලා තියෙන්නේ හායිෆාවල කඩයකින් මිල දී ගත් බඩුවක් ඔතා තිබුණ කොළයකින්. ඒ කොළය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයකින් ඉරාගත් එකක්. අපේ හමුවීම හරිම සතුටුදායක එකක්. පසුව ඔහු 1939දී ට්රිපෝලිවලට ඇවිල්ලා බව්තීස්ම වුණා.
වර්ෂ 1937දී පෙට්රොස් ලගාකොස් සහ ඔහුගේ භාර්යාව ට්‍රිපෝලි නගරයට පැමිණියා. අපි තුන්දෙනා ඊළඟ අවුරුදු කිහිපය තුළදී රාජ්‍ය පණිවිඩය ලෙබනනයේ සහ සිරියාවේ බොහෝ මනුෂ්‍යයන්ගේ නිවෙස්වලට රැගෙන ගියා. සහෝදර ලගාකොස් 1943දී මිය යන විට සාක්ෂිකරුවන් ආත්මික ආලෝකය ලෙබනනයේ, සිරියාවේ සහ පලස්තීනයේ බොහෝ ගම්වලත් නගරවලත් විහිදුවන්ට සමත් වී තිබුණා. ඉස්සර අපි 30දෙනෙක් විතර පිටිසර පළාත්වලට කාර් එකෙන් හරි බස් එකෙන් හරි යන්න උදේ 3ට විතර පිටත් වෙනවා.
වර්ෂ 1940 ගණන්වලදී ඉබ්‍රහිම් අටියා ඉංග්‍රීසි මුරටැඹ සඟරා අරාබි භාෂාවට පරිවර්තනය කළා. ඊට පස්සේ මම එම සඟරාවෙන් අත් පිටපත් හතරක් සාදලා පලස්තීනයේ, සිරියාවේ සහ ඊජිප්තුවේ සිටින සාක්ෂිකරුවන්ට යවනවා. දෙවෙනි මහ ලෝක යුද්ධය පැවති කාලේ අපේ දේශනා සේවයට විරුද්ධවාදිකම් එමට තිබුණා. ඒ වුණත්, මැදපෙරදිග සිටි බයිබල් සත්‍යයට ප්‍රේම කළ සෑමදෙනෙක් සමඟම තිබුණ සම්බන්ධකම් අපි දිගටම තියාගත්තා. මම පෞද්ගලිකවම නගරවල සහ අවට ගම්වල ක්ෂේත්‍ර සේවා සිතියමක් ඇඳලා ශුභාරංචිය එම ප්‍රදේශවල සිටිය මිනිසුන් වෙතට ගෙන ගියා.
වර්ෂ 1944දී දෙවන ලෝක මහා යුද්ධය දරුණුව තිබුණත් මගේ පුරෝගාමි සහකරු මිෂෙල් ආබූඩ්ගේ දියණිය එව්ලින්ව මම විවාහ කරගත්තා. ටික කාලයක් ගිය පසු අපි සිඟිති දියණියකගේ සහ පුතාලා දෙන්නෙකුගේ දෙමාපියන් වුණා.
මිෂනාරිවරුන් සමඟ වැඩ කිරීම
යුද්ධය නිමා වෙනවාත් එක්කම ගිලියද් මිෂනාරි පාසැලේ පළමු පංතියේ උපාධිධාරීන් ලෙබනනයට ආවා. එම මිෂනාරිවරුන්ගේ පැමිණීමේ ප්‍රතිඵලයක් තමයි ලෙබනනයේ පළමු සභාව පිහිටුවීමට හැකියාවක් ලැබීම. මාව සභා සේවකයෙක් හැටියට පත් කළා. වර්ෂ 1947දී සහෝදර නේදන් එච්. නෝර් සහ ඔහුගේ ලේකම් මිල්ටන් ජී හෙන්ෂල් ලෙබනනයට පැමිණ සහෝදරයන්ට විශාල දිරිගැන්වීමක් ලබා දුන්නා. වැඩිකල් නොගොස් තවත් මිෂනාරිවරුන් පැමිණි නිසා ක්ෂේත්‍ර සේවය සහ සභා රැස්වීම් සංවිධානය කිරීමට ඔවුන්ගෙන් මහත් උපකාරයක් ලැබුණා.
සිරියාවේ ගම්බද පළාතකට ගිය ගමනකදී ඒ ගමේ බිෂොප්වරයාගෙන් විරුද්ධවාදීකම් අපට එල්ල වුණා. අපි යුදෙව් දේශපාලන ව්‍යාපාරයට දිරි දෙන ප්‍රකාශන බෙදාහරිනවා කියා ඔහු අපිට චෝදනා කෙරුවා. ඒත්, 1948ට කලින් පූජකයන් අපිට ලේබල් ගැහැව්වේ “කොමියුනිස්ට්” අය කියලා! කොහොමහරි මෙදා සැරේ අපිව අත් අඩංගුවට අරගෙන පැය දෙකක් ප්‍රශ්න කෙරුවා. ඒ අවස්ථාව අපි කදිම සාක්ෂියක් දරන්න ප්‍රස්තාවක් කරගත්තා.
නඩු විභාගය අවසානයේදී නඩුකාරතුමා මෙහෙම කිව්වා. “ඔයාලාට චෝදනා කරපු බිෂොප්ට මම ශාප කරනවා. ඒත්, ඔයාලාව හමුවීමට ලැබීමත් ඔයාලාගේ බයිබල් සත්‍ය ඉගෙනගන්න ලැබීම ගැනත් මම එයාට ස්තුතිවන්ත වෙනවා.” ඉන්පසු ඔහු අපිට විඳින්න සිදු වුණ අපහසුතාවය ගැන අපෙන් සමාව අයැද සිටියා.
අවුරුදු දහයකට පස්සේ බීරුට්වලට බස් එකෙන් යනකොට මගේ එහා පැත්තේ හිටිය පුද්ගලයාට මම කතා කළා. ඔහු කෘෂිකාර්මික ඉන්ජිනේරුවෙක්. අපේ විශ්වාසයන් ගැන කළ පැහැදිලි කිරීම් විනාඩි කිහිපයක් අසාගෙන සිටියාට පසු ඔහු මීට පෙර මේ වගේම කතාවක් සිරියාවේ මිතුරෙකුගෙන් අසා තිබුණා කියා පැවසුවා. ඒ මිතුරා කවුද කියා ඔබ දන්නවාද? ඒ තමයි අවුරුදු දහයකට පෙර අපේ නඩුව විභාග කළ නඩුකාරතුමා!
වර්ෂ 1950දී මම ඉරාකයට ගිහිල්ලා එහි සිටි සාක්ෂිකරුවන් සමඟ ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වුණා. ඒ වගේම මම යොර්දානයේත් වෙස්ට් බැන්ක්වලත් සංචාරයන් බොහෝමයක යෙදුණා. වර්ෂ 1951දී මමයි තවත් සාක්ෂිකරුවන් හතරදෙනෙකුයි බෙත්ලෙහෙම් නුවරට ගියා. එහිදී ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වූවා. එදින උත්සවයට සහභාගි වීමට සිටි සියලුදෙනාම උදෑසන බස් රථයකින් යොර්දාන් ගඟ අසලට ගියා දෙවිට කැප වී සිටි 22දෙනෙක් බව්තීස්ම වෙනවා බලන්න. එම ප්‍රදේශයේදී අපට විරුද්ධවාදීකම් එල්ල කළ අයට අපි මෙහෙම කිව්වා. “ඔයාලාගේම රටේ පුතෙක් මුළු ලෝකයම පාලනය කරන්න යනවා කියලා කියන්න තමයි අපි ආවේ. මේක කලබල වෙන්න දෙයක් නෙමෙයි. ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනෑ දෙයක්.”
කරදර මැද දේශනා සේවය කරමින්
මැදපෙරදිග මිනිසුන් ආගන්තුක සත්කාරයට ලැදි, හිත හොඳ නිහතමානි අය. හුඟදෙනෙක් රාජ්‍ය පණිවිඩයට උනන්දුවකින් ඇහුම්කන් දෙනවා. ‘දෙවියන්ම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන් වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය. මරණය තවත් නොවන්නේය, වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය’ යන බයිබල් පොරොන්දුව ඉක්මනින්ම ඉටු වෙනවා කියා දැනගැනීම තරම් නැවුම්බවක් ලබා දෙන දෙයක් ඔවුන්ට තවත් නැහැ.—එළිදරව් 21:3, 4.
මම තේරුම්ගත් විදිහට අපට විරුද්ධ වන හුඟදෙනෙකුට අපේ සේවය ගැනවත් අපේ පණිවිඩය ගැනවත් හරි හැටි අවබෝධයක් නැහැ. මෙයට හේතුව ක්‍රිස්තියානි පූජකයන් අපි ගැන බොරු දේවල් මහජනයා අතර පතුරුවා තිබීමයි. එනිසා, 1975 සිට අවුරුදු 15කටත් වැඩි කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයේදී සාක්ෂිකරුවන්ට බොහෝ පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණා.
පල්ලියේ කණු වගේ හිටිය පවුලක් එක්ක මම බයිබල් පාඩමක් පැවැත්වුවා. එම පවුල බයිබල් සත්‍යය ඉගෙනගනිමින් දියුණුවක් ලබනකොට පූජකයන්ට කේන්ති ගියා. ඉන්පස්සේ දවසක් දා රෑ ගමේ ආගමික කණ්ඩායමක් එම පවුලට අයිතිව තිබූ කඩය කුඩුපට්ටම් කරලා අමෙරිකානු ඩොලර් 10,000ක් පමණ වටිනා බඩු තොගයකට ගිනි තිබ්බා. එදා රෑම මාවත් පැහැරගෙන ගියා. ඒත් මම කොහොමහරි ඒ අවස්ථාවේදී එම කණ්ඩායමේ නායකයාට කිව්වා, ඔවුන් නියම ක්‍රිස්තියානීන් නම් මේ වගේ තිරිසන් විදිහට හැසිරෙන්නේ නැහැයි කියලා. එතකොටම ඔහු කාර්එක නවත්වන්න කියලා අණ කරලා මට බැහැලා යන්න කිව්වා.
තවත් අවස්ථාවක හමුදාවේ පුහුණුව ලැබූ පුද්ගලයන් හතරදෙනෙක් මාව පැහැරගෙන ගියා. නොයෙක් විදිහේ තර්ජන කළාට පස්සේ මට වෙඩි තියෙනවා කියලා එහි නායකයා කිව්වා. ඒත් එක පාරටම තීරණය වෙනස් කරලා මාව නිදහස් කෙරුවා. මෙම පුද්ගලයන්ගෙන් දෙදෙනෙක් මිනි මැරීම සහ සොරකම් කිරීම නිසා සිරබත් කමින් සිටින අතර අනෙක් දෙදෙනා මරණ දඬුවම වින්දා.
සාක්ෂි දැරීමට ලද වෙනත් අවස්ථා
හුඟක් අවස්ථාවලදී එක් රටකින් තවත් රටකට යන්න මට භාග්‍ය ලැබුණා. මම බීරුට් සිට අමෙරිකාව බලා ගිය එක ගුවන් ගමනකදී, මම අසුන්ගෙන සිටියේ ලෙබනනයේ හිටපු විදේශ කටයුතු භාර ඇමති චාල්ස් මාලෙක් ළඟ. මම ඔහුට බයිබලයෙන් කියවපු හැම පදයකටම ඔහු හොඳ අවධානයකින් ඇහුම්කන් දීගෙන හිටියා. පසුව ඔහු කියා සිටියේ ඉබ්‍රහිම් අටියා, ට්රිපෝලිවල ඔහු ඉගෙනගත් පාසැලේ ඔහුගේ ගුරුවරයා ලෙස කටයුතු කළ බවයි. මගේ භාර්යාවගේ පියා තමයි ඉබ්‍රහිම් අටියාට සත්‍යය කියා දී තිබුණේ. ඉබ්‍රහිම් සර් බයිබලයට ගරු කරන්න මට ඉගැන්නුවා කියා මාලෙක් මහතා පැවසුවා.
තවත් ගුවන් ගමනකදී එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිතයෙකු ළඟ මට අසුන්ගන්න අවස්ථාව ලැබුණා. දේවරාජ්‍යයේ ශුභාරංචිය ඔහුට කියන්න මට ප්‍රස්තාව උදා වුණා. පසුව නියූ යෝක් නුවර පදිංචි වී සිටි තම සහෝදරයාව ඔහු මට හඳුන්වා දුන් අතර මම නිතර නිතර වගේ ඔවුන්ව බැහැදකින්න ගියා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කරන මගේ නෑයෙකුත් නියූ යෝක් නුවර පදිංචි වෙලා හිටියා. එක දවසක්, ඔහුගේ කාර්යාලයට ගිහින් පැය තුනක් තිස්සේ සාකච්ඡා පැවැත්තුවා. ඒ අවස්ථාවේදී දෙවිගේ රාජ්‍ය ගැන හොඳ සාක්ෂියක් දෙන්න මට හැකි වුණා.
දැන් මට වයස අවුරුදු 88ක් වෙනවා. මම තවමත් සභාවේ වැඩකටයුතුවලට කඩිසර ලෙස හවුල් වෙනවා. මගේ භාර්යාව එව්ලින්, තවමත් මාත් සමඟ යෙහෝවාට සේවය කරමින් සිටිනවා. අපේ දුව සංචාරක අවේක්ෂකයෙකු සමඟ විවාහ වුණ අතර දැන් ඔහු බීරුට්වල සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරමින් සිටියි. එයාලගේ දියණියත් සාක්ෂිකාරියක්. අපේ බාල පුතත් ඔහුගේ භාර්යාවත්, ඔවුන්ගේ දියණියත් සාක්ෂිකරුවන්. අපේ වැඩිමහල් පුතාත් සත්‍ය දන්නවා. මම හිතනවා කවදාහරි දවසක එයත් සත්‍ය මාර්ගය තෝරාගනියි කියලා.
වර්ෂ 1933දී මැදපෙරදිග පළවෙනි පුරෝගාමියා හැටියට මාව පත් කළා. අවුරුදු 68ක් පුරා පුරෝගාමියෙකු ලෙස යෙහෝවාට සේවය කිරීම තරම් වටිනා වෙන හොඳ ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැහැ. මගේ එකම අධිෂ්ඨානය දෙවි සපයන ආත්මික ආලෝකයේ දිගටම ගමන් කිරීමයි.
[23වන පිටුවේ පින්තූරය]
නාජිබ් 1935දී
[24වන පිටුවේ පින්තූරය]
වර්ෂ1940දී, ශබ්ද වාහිනි යන්ත්‍ර බැඳගත් කාර් එකක් සමඟින් ලෙබනන් කඳුකරයේ
[25වන පිටුවේ පින්තූර]
දකුණේ සිට වමට; 1952දී, නාජිබ්, එව්ලින්, ඔවුන්ගේ දුව, සහෝදර ආබූඩ් සහ නාජිබ්ගේ වැඩිමහල් පුතා
පහළ (ඉදිරි පෙළ): සහෝදර ශම්මාස්, නෝර්, ආබූඩ් සහ හෙන්ෂල් ට්රිපෝලිවල නාජිබ්ගේ නිවසේ, 1952දී
[26වන පිටුවේ පින්තූරය]
නාජිබ් සහ ඔහුගේ භාර්යාව එව්ලින්