සියලු ජාතීන්ට දෙවිගෙන් සාදර ඇරයුම්
මාලි රට බලා ගිය මුල් වතාවේදී ජෝන්ගේ සිත මාමාඩූගේ හා ඔහුගේ පවුලේ අය වෙත ඇදී ගියේ ඔවුන්ගේ හැඟීම්බර ආගන්තුක සත්කාරය නිසයි. ජෝන් බිම ඉඳගෙන ඔහු සමඟ එකම භාජනයෙන් නුහුරට කෑම කමින් සිටියදී, දේවවචනය වන බයිබලයෙන් තමන්ට ලැබී තිබෙන අගනා තිළිණය වූ රාජ්‍ය ශුභාරංචිය ඔහුට පැවසිය හැකි හොඳ විදිහක් ගැන කල්පනා කළා. මාලිවල භාවිතා වන භාෂාවක් වූ ප්‍රංශ භාෂාව ජෝන් දැනගෙන සිටියත්, සම්පූර්ණයෙන්ම වෙනස් ආගමක් හා චින්තන රටාවක් තිබෙන පවුලක් එක්ක අදහස් හුවමාරු කළ හැකි ආකාරය ගැන ඔහු සිතා බැලුවා.
මේ අවස්ථාවේදී, බයිබලයේ සඳහන් බාබෙල් නගරය පිළිබඳ වාර්තාව වෙතට ජෝන්ගේ කල්පනාව දිව යෑම පුදුමයට කරුණක් නොවෙයි. දෙවි එහි සිටි කැරලිකාර මිනිසුන්ගේ භාෂාව වියවුල් කළා. (උත්පත්ති 11:1-9) එහි ප්‍රතිඵලය වුණේ පොළොවේ විවිධ ප්‍රදේශවල වෙනස් භාෂා, ආගම් හා චින්තන රටා ඇති ජාතීන් බිහිවීමයි. ගමනාගමනය හා රට යෑම සාමාන්‍ය දෙයක්ව පවතින අදදින බොහෝදෙනෙක් ජෝන් මුහුණ දුන්නා හා සමාන අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා. එම අභියෝගයට තමන්ගේම ප්‍රදේශයේදී පවා මුහුණ දීමට සිදු වී තිබෙනවා. එනම්, වෙනස් පසුබිමක් ඇති ජනයා සමඟ බයිබලය මත පදනම් තම බලාපොරොත්තුව බෙදාගන්නේ කෙසේද යන්නයි.
ඉපැරණි ආදර්ශයක්
ඉශ්රායෙලයේ අනෙක් ප්‍රොපේතවරුන් මෙන් යෝනාද ප්‍රධාන වශයෙන් කතා කළේ ඉශ්රායෙලිතයන්ටයි. ඔහු අනාවැකි පැවසුවේ ඇදහිල්ල අත්හළ ගෝත්‍ර දහයේ රාජ්‍යය දෙවිට නිගරු වන අන්දමේ වත්පිළිවෙත්වල ප්‍රසිද්ධියේ යෙදී සිටි අවදියකයි. (2 රාජාවලිය 14:23-25) තම නිජබිම අත්හැර වෙනස් ආගමක් හා සංස්කෘතියකින් හෙබි නිනිවයේ වැසියන්ට දේශනා කිරීම සඳහා අෂූරියට යෑමට විශේෂ පැවරුමක් ලැබුණු විට යෝනා ප්‍රතික්‍රියා කළ අයුරු සිතා බලන්න. යෝනාට නිනිවයේ වැසියන්ගේ භාෂාව හුරු එකක් නොවූවා විය හැකියි. සමහරවිට එහෙන් මෙහෙන් ටිකක් දැනගෙන සිටින්නට ඇති. කාරණය කුමක් වුවත් අභියෝගය ලේසි පහසු එකක් නොවූ බව දුටු යෝනා පලා ගියා.—යෝනා 1:1-3.
යෙහෝවා දෙවි බලන්නේ පිටත පෙනුම දෙස නොව නමුත් ඔහු සිත පරීක්ෂා කර බලන බව දැනගැනීමට යෝනාට සිදු වූ බව පැහැදිලියි. (1 සාමුවෙල් 16:7) යෙහෝවා යෝනාට ගිලී මියයෑමට ඉඩ නොදී ප්රාතිහාර්යමය ලෙස ගළවාගත් පසු, ගොස් නිනිවයේ වැසියන්ට දේශනා කරන්න කියා යළිත් ඔහුට පැවසුවා. යෝනා ඊට කීකරු වීම හේතුවෙන් නිනිවයේ වැසියන් සමූහයක් වශයෙන් පසුතැවිලි වුණා. කෙසේවෙතත් යෝනා තුළ ඒ වන තුරුද නිවැරදි දෘෂ්ටියක් තිබුණේ නැහැ. ප්‍රබල ආදර්ශ පාඩමක් දෙමින් ඔහුගේ ආකල්පය වෙනස් කරගත යුතු බව යෙහෝවා ඔහුට ඉගැන්නුවා. යෙහෝවා යෝනාගෙන් මෙසේ ඇසුවා. ‘තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන් සිටින්නාවූ නිනිවය නම් වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේද?’ (යෝනා 4:5-11) අප ගැන කුමක් කිව හැකිද? වෙනස් පසුබිමක් ඇති ජනයාට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?
සමාරියයන්ට හා යුදෙව් නොවන්නන්ට සාදර ඇරයුම්
පළමුවන සියවසේදී, සියලු ජාතීන්ව ගෝලයන් කරන්න කියා යේසුස් සිය අනුගාමිකයන්ට අණ කළා. (මතෙව් 28:19) ඔවුන්ට මෙය පහසු කාර්යයක් වුණේ නැහැ. යුදෙව්වන් වූ යේසුස්ගේ ගෝලයන් යෝනා මෙන් පුරුදුව සිටියේ තමන්ගේම පසුබිමේ හා සංස්කෘතියේ සිටි අය සමඟ පමණක් කතා කිරීමටයි. එකල මිනිසුන් අතර පොදුවේ තිබූ අගතිසහගත හැඟීම් ඔවුන්ට යම් ආකාරයකින් බලපෑ බව අපට සිතාගත හැකියි. කෙසේවුවත්, තම සේවකයන් සම්බන්ධයෙන් තම කැමැත්ත කුමක්දැයි ඔවුන්ට ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගත හැකි වන සේ යෙහෝවා නිසි මඟ පෙන්වීමක් ලබා දුන්නා.
පළමු පියවර වුණේ යුදෙව්වන් හා සමාරියයන් අතර තිබූ අගතිසහගත හැඟීම් ජයගැනීමට සැලැස්වීමයි. යුදෙව්වන්ට සමාරියයන් සමඟ කිසිම ගනු දෙනුවක් තිබුණේ නැහැ. එහෙත්, ඒ කාලයේදී යේසුස් අනාගතයේදී සමාරියයන්ට ශුභාරංචිය පිළිගැනීමට හැකි වන සේ කීප වතාවකදීම මාර්ගය පිළියෙළ කළා. සමාරිය ස්ත්‍රියකට කතා කිරීම තුළින් ඔහු තරාතිරම් නොබලන කෙනෙක් බව පෙන්නුවා. (යොහන් 4:7-26) තවත් අවස්ථාවකදී, කාරුණික සමාරියයාගේ උපමාව මගින් ඔහු ධාර්මික යුදෙව්වෙකුට පෙන්නුම් කළේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමට යුදෙව් නොවන අයටත් හැකි බවයි. (ලූක් 10:25-37) ක්‍රිස්තියානි සභාව තුළට සමාරියයන් ගෙන ඒමට යෙහෝවාට කාලය පැමිණි විට යුදෙව්වන් වූ පිලිප්, පේතෘස් සහ යොහන් සමාරියේ වැසියන්ට දේශනා කළා. ඔවුන්ගේ පණිවිඩය ඇසීමෙන් එම නුවර ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියා.—ක්‍රියා 8:4-8, 14-17.
යුදෙව්වන්ගේ දුර නෑයන් වූ සමාරියයන්ට ප්‍රේම කිරීම යුදෙව් ක්‍රිස්තියානීන්ට අමාරු වූවා නම්, යුදෙව්වන්ගේ අවමානයට හා වෛරයට පාත්රව සිටි යුදෙව් නොවන්නන්ට හෝ අන්‍යජාතීන්ට කාරුණික ප්‍රේමය දැක්වීම ඔවුන්ට ඊටත් වඩා අසීරු කාර්යයක් වෙන්න ඇති. කෙසේනමුත්, යේසුස් මියගිය පසු යුදෙව් ක්‍රිස්තියානීන් හා අන්‍යජාතීන් අතර තිබූ බාධකය ඉවත් කිරීමට හැකි වුණා. (එපීස 2:13, 14) මෙම නව විධිවිධානය පිළිගැනීමට උපකාර කිරීමේ අදහසින් යෙහෝවා පේතෘස්ට දර්ශනයක් දකින්න සලස්වමින් ‘දෙවි පවිත්‍ර කළ දේ අකැපයයි නොකියන්නැයි’ ඔහුට පැවසුවා. එවිට යෙහෝවාගේ ආත්මය මගින් අන්‍යජාතිකයෙකු වූ කොර්නේලියස් වෙතට යෑමට ඔහුට මඟ පෙන්වනු ලැබුවා. මෙම අන්‍යජාතික මිනිසාව දෙවි පවිත්‍ර කර තිබෙන බැවින් ඔහු අකැපයයි නොකිව යුතුය යන දෙවිගේ දෘෂ්ටිකෝණය අවබෝධ කරගත් විට පේතෘස් දේවානුභාවයෙන් මෙසේ පැවසුවා. “සැබවින් දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.” (ක්‍රියා 10:9-35) කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මත ශුද්ධාත්මය වැගිරවීමෙන් දෙවි ඔවුන්ව පිළිගත් බව පෙන්වූ විට පේතෘස් මොනතරම් පුදුම වූවාද!
පාවුල්—අන්‍යජාතීන් වෙනුවෙන් තෝරාගන්නා ලද භාජනයක්
නොයෙක් මාදිලියේ ජනයාට ප්‍රේම කිරීමට හා උපකාර කිරීමට යෙහෝවා තම සේවකයන්ව ක්‍රම ක්‍රමයෙන් සූදානම් කරන ආකාරය පිළිබඳ කැපීපෙනෙන ආදර්ශයකි පාවුල්ගේ දේවසේවය. පාවුල් ක්‍රිස්තියානියෙකු බවට පත් වූ කාලයේදී, අන්‍යජාතීන්ට තමාගේ නාමය ප්‍රකාශ කිරීමට තෝරාගත් භාජනයක් ලෙස ඔහු සේවය කරනු ඇතැයි කියා යේසුස් පැවසුවා. (ක්‍රියා 9:15) ඉන්පසු පාවුල් අරාබියට ගියේ ජාතීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තමාව යොදාගැනීම සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණ ගැන මෙනෙහි කරන්නට විය හැක.—ගලාති 1:15-17.
පාවුල්ගේ මුල් මිෂනාරි ගමනේදී යුදෙව් නොවන අයට ඔහු දේශනා කළේ මහත් ජ්වලිතයකින්. (ක්‍රියා 13:46-48) ප්‍රේරිතයා යම් දේවල් කරන්නේ යෙහෝවාගේ විධිවිධානයට එකඟව බව ඔප්පු කරමින් යෙහෝවා පාවුල්ගේ සේවයට ආශීර්වාද කළා. පේතෘස් යුදෙව් නොවන සහෝදරයන්ගේ ඇසුරෙන් වැළකී පක්ෂග්‍රාහීත්වයක් දැක්වූ අවස්ථාවේදී පාවුල් නිර්භීත ලෙස ඔහුව නිවැරදි කිරීමෙන් පෙන්නුම් කළේ තමා සම්පූර්ණයෙන්ම යෙහෝවාගේ දෘෂ්ටිකෝණය අගය කළ බවයි.—ගලාති 2:11-14.
පාවුල්ගේ දෙවන මිෂනාරි ගමනේදී රෝමානු පළාතක් වන බිතිනියෙහි දේශනා කිරීමට යෑමෙන් ඔහුව ශුද්ධාත්මය මගින් වැළැක්වීම පාවුල්ගේ ප්රයත්නයන්ට දෙවි මඟ පෙන්වන බවට තවත් සාක්ෂියක් වුණා. (ක්‍රියා 16:7) එය ඒ සඳහා සුදුසු කාලය නොවූවා විය යුතුයි. නමුත් පසු කලෙක බිතිනියේ ඇතැම් අය ක්‍රිස්තියානීන් බවට පත් වුණා. (1 පේතෘස් 1:1) පාවුල් දුටු දර්ශනයකදී, “මකිදෝනියට ඇවිත් අපට උපකාර කරන්නැයි” කියා මකිදෝනියේ වැසියෙක් පාවුල්ගෙන් අයැද සිටි විට එම රෝම පළාතේ ශුභාරංචිය පතළ කිරීම සඳහා තමා යමින් සිටි ගමන වෙනස් කළ යුතුයි කියා පාවුල් නිගමනය කළා.—ක්‍රියා 16:9, 10.
පාවුල් අතීනසයේ වැසියන්ට දේශනා කරද්දී එහි තිබූ තත්වයන්ට අනුව සකස් වීමට හැකියාවක් තිබේද යන බලවත් පරීක්ෂණයට ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. ග්‍රීක් හා රෝම නීතියෙන් අන්‍ය දෙවිවරුන්ව හා අලුත් ආගමික සම්ප්‍රදායන් හඳුන්වා දීම තහනම් කර තිබුණා. පාවුල් මිනිසුන්ට ප්‍රේම කළ නිසා ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ගැන හොඳින් සොයා බලන්න ඔහු පෙලඹුණා. අතීනසයේදී ඔහු “නාඳුනන දෙවි කෙනෙකුටය” යන වැකිය කෙටූ පූජාසනයක් දැක්කා. ඔහු සාක්ෂි දරද්දී ප්‍රාදේශීය වැසියන්ට හුරු වූ එම කරුණ ගැන සඳහන් කළා. (ක්‍රියා 17:22, 23) කරුණාවන්තව හා ගෞරවනීය ලෙස තමන්ගේ පණිවිඩය ඉදිරිපත් කිරීමට එය කදිම මඟක් නොවේද!
ජාතීන් වෙනුවෙන් ප්‍රේරිතයෙකු ලෙස සේවය කිරීමෙන් ලැබූ ප්‍රතිඵල ගැන කල්පනා කර බැලූ විට පාවුල් මොනතරම් සතුටු වන්න ඇද්ද! කොරින්ති, පිලිප්පි, තෙසලෝනික හා ගලාතියේ නගරවල යුදෙව් පසුබිමක් නොතිබූ ක්‍රිස්තියානීන් රැසකගෙන් සමන්විත සභා පිහිටුවීමට ඔහු උපකාර කළා. දමරිස්, දියොනිසියස්, තීතස් සහ සර්ගියස් පාවුලස් වැනි ඇදහිලිවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන්ටද ඔහු අත හිත දුන්නා. යෙහෝවා ගැනවත්, බයිබලය ගැනවත් නොදැන සිටි ජනයා ක්‍රිස්තු ධර්මයේ සත්‍යතාව පිළිගන්නවා දැකීම මොනතරම් අනගි වරප්‍රසාදයක් වීද! යුදෙව් නොවන අයට සත්‍ය දැනුම ලබාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් වූ තමන්ගේ කාර්යභාරය ගැන පාවුල් මෙසේ පැවසුවා. “එසේය, . . . ක්‍රිස්තුස්ගේ නාමය සඳහන් කරනු ලැබූ තැන්වල නොව, ඔහු ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, ඔහු ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනා කරන්ට අභිප්‍රාය කෙළෙමි.” (රෝම 15:20, 21) අපේ සංස්කෘතියට අයත් නොවූ අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා හවුල් වීමට අපට හැකිද?
දසත වෙසෙන සියලු ජාතීන්ට උපකාර කිරීම
නමස්කාරය පිණිස යෙරුසලමේ දේවමාළිගාවට පැමිණෙනු ඇති ඉශ්රායෙල් නොවූවන් වෙනුවෙන් සාලමොන් යෙහෝවාට යාච්ඤා කළා. ඔහු මෙසේ අයැද සිටියා. “ඔබගේ සෙනඟ වූ ඉශ්රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භය වන පිණිසද, මා විසින් ගොඩනැඟුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.” (1 රාජාවලිය 8:41-43, අකුරු ඇල කළේ අපය.) අදදින බොහෝ රටවල වෙසෙන රාජ්‍ය ප්‍රකාශකයන් දහස් ගණනක් පළ කරන්නෙත් මෙම හැඟීම්මයි. ඔවුන්ට මුණගැසෙන්නේ, ආත්මික අර්ථයෙන් ‘තමුන්ගේ දකුණතවත්, වමතවත් නොදැන’ සිටි නිනිවවරුන් වැනි අයවයි. එමෙන්ම විවිධ ජාතීන් බොහෝමයකින් සැබෑ නමස්කාරකයන්ව එක්රැස් කිරීම සම්බන්ධයෙන් දී ඇති අනාවැකි ඉටු කිරීමෙහිලා හවුල් වීමට රාජ්‍ය දේශනාකරුවන් උනන්දු වෙනවා.—යෙසායා 2:2, 3; මීකා 4:1-3.
ක්‍රිස්තියානි ලෝකයේ ජනයා බයිබලයේ ඇති බලාපොරොත්තුවේ පණිවිඩය පිළිගෙන තිබෙන්නාක් මෙන් වෙනත් ආගමික පසුබිම්වල සිටින ජනයාද එසේ කරමින් සිටිනවා. මෙය ඔබට පුද්ගලිකව බලපෑ යුත්තේ කෙසේද? ඔබවම අවංකව පරීක්ෂා කර බලන්න. ඔබ තුළ අගතිසහගත හැඟීම් මුල් බැස ඇති බව හැඟේ නම් ඉන් මිදීමට ප්‍රේමය වැඩි කරගන්න.a දෙවි විසින් පිළිගනු ලැබීමට කැමති ජනයාව ප්‍රතික්ෂේප නොකරන්න.—යොහන් 3:16.
වෙනත් පසුබිමක සිටින ජනයා සමඟ කතා කිරීමට පෙර ඔබේ මනස සූදානම් කරගන්න. ඔවුන්ගේ විශ්වාසයන්, ඔවුන් උනන්දු වන දේවල් හා ඔවුන් සිතන පතන ආකාරය ගැන දැනගන්න. ඉන්පසු පොදු විෂයක් සොයාගන්න. අන්‍යයන් කෙරෙහි හොඳ හැඟීමක් ඇති කරගෙන ඔවුන්ට දයානුකම්පාව විදහාපාන්න. වාදවිවාදවලින් වැළකී නම්‍යසුලු වන්න. ඒකාන්ත ආකල්පයක් තබාගන්න. (ලූක් 9:52-56) මෙලෙස කිරීමෙන්, ඔබ සතුටට පත් කරන්නේ “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමති වූ” යෙහෝවාවයි.—1 තිමෝති 2:3.
විවිධ පසුබිම්වලට අයත් ජනයා අපේ සභාවල සිටීම මොනතරම් ප්‍රීතියක්ද! (යෙසායා 56:6, 7) අදදින නිම්මි, බන්දු, චන්න හා පියල් වැනි නම් පමණක් නොව මාමාඩු, ජෙගන්, රීසා සහ චාන් වැනි නම්ද අසන්න ලැබීම මොනතරම් හද දනවන්නක්ද! ඇත්තෙන්ම, අපට ‘මහත් වූ බලවත් වූ දොරක් ඇර’ තිබෙනවා. (1 කොරින්ති 16:9) සියලු ජාතීන්ට සාදරයෙන් ඇරයුම් කිරීම සඳහා තරාතිරම් නොබලන දෙවි යෙහෝවා දුන් ආරාධනය, සාදරයෙන් පිළිගැන්වීමට අපට ලැබී තිබෙන අවස්ථාවලින් අපි ප්‍රයෝජන ගනිමු.
[පාදසටහන]
a 1996 ජූලි 8 පිබිදෙව්!හි 5-7 දක්වා පිටුවල ඇති “අදහස් හුවමාරුව ඇණහිටුවන බාධා” යන ලිපිය බලන්න. (සිංහලෙන් නොමැත.)
[23වන පිටුවේ පින්තූර]
තත්වයට අනුව සකස් වීමෙන් පාවුල් සියලු තැන්හි සිටි ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කළා
. . . අතීනසයේදී
. . . පිලිප්පිවලදී
. . . නොයෙක් තැන්වලට ගමන් කරද්දී