සියලුම ආබාධ නැති කර දමන අයුරු
මතු දැක්වෙන දේවල් සිතින් මවාගන්න. අන්ධ අයෙකු ඔහුගේ දෙනෙත් විවර කර අවට පරිසරය දකියි. බිහිරිව සිටි තැනැත්තාගේ දෙසවන්වලට සෑම හඬක්ම ඇසෙයි. ගොළුව සිටි තැනැත්තා ප්‍රීතියෙන් ගී ගයයි. ඇවිදිය නොහැකිව සිටි තැනැත්තා නැඟිට, එහෙ මෙහෙ ඇවිදියි. අප මේ කතා කරන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලයක් හැටියට සිදු විය හැකි දේවල් ගැන නොවෙයි. නමුත් දෙවි විසින්ම මුළු මනුෂ්‍යවර්ගයාගේම ශුභ සිද්ධිය වෙනුවෙන් මැදිහත් වී කරන්න යන දෙයක ප්‍රතිඵල ගැනයි. මේ ගැන බයිබලයේ මෙසේ පුරෝකථන කරනවා. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව සතුටින් ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) කෙසේවෙතත්, අපව පුදුමයෙන් පුදුමයට පත් කරවන එම අනාවැකිය අනාගතයේදී ඉටු වන බවට අපට නිසැක විය හැක්කේ කෙසේද?
යේසුස් ක්‍රිස්තුස් පොළොව මත සිටි කාලයේදී සියලුම ආකාරයේ අසනීප හා ආබාධවලින් පෙළුණු මිනිසුන්ව සුව කළා. ඔහු සිදු කළ ප්රාතිහාර්යයන් ගණනාවක් බොහෝදෙනෙක් දුටුවා. ඔහුගේ සතුරන්ට පවා ඒවා දැකගන්න පුළුවන් වුණා. යේසුස් කළ දේවල් ගැන නිතරම සැකයෙන් බැලූ ඔහුගේ විරුද්ධවාදීන් යේසුස්ව අගෞරවයට පත් කිරීමේ අරමුණින් එක් අවස්ථාවකදී යේසුස් කළ සුව කිරීමක් හොඳින් පරීක්ෂා කළා. නමුත් ඔවුන් එහිදී කළ සෑම දෙයකින්ම සිදු වූයේ යේසුස් ඇත්තෙන්ම ප්රාතිහාර්යයක් කළ බව ඔප්පු වීම පමණයි. මෙය ඔවුන්ට මොනතරම් පහරක් වූවාද! (යොහන් 9:1, 5-34) කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස යේසුස් තවත් ප්රාතිහාර්යයක් සිදු කිරීමෙන් පසු, බලාපොරොත්තු කඩ වූ තත්වයකට පත් ඔවුන් මෙසේ පැවසුවා. “අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.” (යොහන් 11:47) කෙසේවෙතත්, බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට පටන්ගැනීමෙන් පැහැදිලි වන්නේ ඔහු කළ ප්රාතිහාර්යයන් ගැන සාමාන්‍ය ජනයා ඉමහත් උනන්දුවක් දැක්වූ බවයි.—යොහන් 2:23; 10:41, 42; 12:9-11.
යේසුස් කළ ප්රාතිහාර්යයන් සමස්ත ලෝක සුව කිරීමක පෙර දැක්මක්
තමන් මෙසියස් බවටත් දෙවිගේ පුත්‍රයා බවටත් වඩා වැඩි යමක් යේසුස් කළ ප්රාතිහාර්යයන් මගින් ඔප්පු වූවා. කීකරු මිනිසුන් අනාගතයේදී සුවවීමක් අද්දකින බවට බයිබලයේ සඳහන් පොරොන්දු විශ්වාස කිරීම සඳහා පදනමක් ඒවායින් සපයයි. එම පොරොන්දුවලට මෙම ලිපියේ මුල් ඡේදයේ සඳහන් වූ යෙසායා 35වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකියද ඇතුළත්. දේවබියැති මිනිසුන් අනාගතයේදී භුක්ති විඳින සෞඛ්‍යය තත්වය ගැන යෙසායා 33:24හි මෙසේ සඳහන් වෙනවා. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” මේ හා සමානව, එළිදරව් 21:4හි මෙසේ පොරොන්දු වී තිබෙනවා. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් [එනම් වර්තමානයේ අද්දකින දුක් වේදනා හා පීඩා] පහව ගියේය.”
මෙම අනාවැකිවල ඉටුවීම ගැන ජනයා නිතිපතා යාච්ඤා කරනවා. ඔවුන් මෙසේ කරන්නේ, “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා සඳහන් ස්වාමීන්ගේ ආදර්ශ යාච්ඤාව නැවත නැවතත් කියන විටයි. (මතෙව් 6:9ආ, 10) ස්වාමීන්ගේ යාච්ඤාවේ එම කොටසින් පැහැදිලි වන්නාක් මෙන් දෙවිගේ කැමැත්තට පොළොව හා මනුෂ්‍යවර්ගයා ඇතුළත් වෙයි. යම් හේතුවක් නිසා අසනීප හා ආබාධවලින් පෙළීමට මිනිසුන්ට ඉඩහැර තිබුණත් ඒවා පහ වී යන කාලය වැඩි ඈතක නොවෙයි. දෙවිගේ “පාපුටුව” වේදනාවලින් පුරවන්න ඒවාට ඉඩ ලැබෙන්නේ නැත.—යෙසායා 66:1.a
වේදනාවක් නොමැතිව නොමිලේ ලැබූ සුවය
ජනයා විඳිමින් සිටි වේදනාව කුමක් වුවත් යේසුස් ඒවා සුව කළේ කිසිම වේදනාවක් ඔවුන්ට නොදැනෙන ලෙසයි. සුව කිරීම සඳහා ඔහු කල් ගත්තේ නැහැ. සතයක්වත් අය කළේද නැහැ. ඔව්, යේසුස් කළ සුව කිරීම් ගැන ආරංචිය ලැව් ගින්නක් මෙන් පැතිරී යෑම වැළැක්විය නොහැකි දෙයක් වූවා. වැඩි වේලාවක් යන්න කලින් “බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝදෙනා රැගෙන යේසුස් ළඟට ඇවිත්, ඔහුගේ පාමුල ඔවුන් තැබුවෝය. ඔහු ඔවුන්ට සුව කළේය.” ජනයා එයට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ මතෙව්ගේ වාර්තාවෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ගොළුවන් කතා කරන බවත් අබ්බාගාතයන් සුව වී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවිට ප්‍රශංසා කළෝය.”—මතෙව් 15:30, 31.
යේසුස් සෑම කෙනෙකුවම සුව කළේ ප්රයෝගකාරි සුව කරන්නන් කරන්නාක් මෙන් හොඳින් පරීක්ෂා කර බලා සෙනඟ අතරින් තෝරාගත් රෝගීන්ව පමණක් නොවූ බව සැලකිල්ලට ගන්න. රෝගීන්ගේ නෑදෑයන් හා මිතුරන් බොහෝදෙනෙක් ඔවුන්ව ‘යේසුස්ගේ පාමුල තැබුවා. ඔහු ඔවුන්ව සුව කළා.’ සුව කිරීමට යේසුස්ට තිබෙන හැකියාව ගැන නිශ්චිත උදාහරණ කිහිපයක් දැන් අපි සලකා බලමු.
අන්ධබව: යේසුස් යෙරුසලමේ සිටි දවස්වලදී “උපන් දා පටන් අන්ධ වූ” මිනිසෙකුට පෙනීම ලබා දුන්නා. මේ මිනිසා එම නගරයේ සිටි සිඟන්නෙකුව සිටි නිසා කවුරුත් ඔහුව දැන සිටියා. මොහු පෙනීම ලබා පාරේ ඇවිදිනවා දැකීමෙන් ඒ නගරයේ මිනිසුන් පුදුමයට පත්ව එකිනෙකාගෙන් ඒ ගැන අසමින් ඇති කරන කාල ගෝට්ටිය සිතින් මවාගන්න. කෙසේවෙතත්, සෑම කෙනෙක්ම මේ ගැන සතුටු වූයේ නැහැ. යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී ඵරිසිවරුන් කියා හැඳින්වූ සෑහෙන බලතල තිබූ ප්රමුඛ පෙළේ යුදෙව් නිකායක් තිබුණා. යේසුස් වතාවක් ඔවුන්ගේ දුෂ්ටකම් හෙළි කිරීම නිසා එම නිකායේ සාමාජිකයන් පිරිසක් සිටියේ ඔහු සමඟ අමනාපයෙන්. යේසුස් අන්ධ මිනිසාට පෙනීම ලබා දුන් අවස්ථාවේදී යම් ප්රයෝගකාරි දෙයක් කළ බවට සාක්ෂි සොයාගැනීමට ඵරිසිවරුන් කළ හැකි සෑම දෙයක්ම කළා. (යොහන් 8:13, 42-44; 9:1, 6-31) ඔවුන් මුලින්ම සුවය ලැබූ මිනිසාගෙන්ද පසුව ඔහුගේ දෙමාපියෙන්ගෙන්ද ප්‍රශ්න කරන්න පටන්ගත්තා. නැවත වතාවක්ද ඔවුන් ඒ මිනිසාගෙන් ප්‍රශ්න කළා. නමුත් ඔවුන්ගේ ප්‍රශ්න කිරීමෙන් සිදු වූයේ යේසුස් ඇත්තටම ප්රාතිහාර්යයක් කළ බව තහවුරු වීම පමණයි. මේ ගැන ඔවුන් මහත් සේ කෝප වූවා. පැහැදිලි සාක්ෂි තිබියදීත්, ඒවා විකෘති කොට දැක්වීමට මං සෙවූ මේ ආගමික වංචාකාරයන් කළ දේවලින් ව්‍යාකූලත්වයට පත් සුවය ලැබූ මිනිසා මෙසේ පවසන්න පටන්ගත්තා. “කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය. මොහු දෙවි කෙරෙන් නාවේ නම් කිසි දෙයක් කරන්ට ඔහුට නුපුළුවන.” (යොහන් 9:32, 33) මේ මිනිසා අවංකව හා බුද්ධිමත්ව ඇදහිල්ල ගැන කළ එම ප්‍රකාශය නිසා ඵරිසිවරුන් කලින් අන්ධව සිටි ඔහුව ‘අහක් කළා.’ පෙනෙන විදිහට ඔහුව අහක් කළේ සිනගෝගයෙන් විය හැකියි.—යොහන් 9:22, 24.
බිහිරිබව: යේසුස් යොර්දාන් ගඟට නැගෙනහිරෙන් පිහිටි ප්‍රදේශයක් වූ දෙකපොලිසේ සිටි දවස්වලදී, එහි සිටි ජනයා ‘වික්කල් [කතා කළ නොහැකි] බිහිරෙකුව ඔහු වෙතට ගෙනාවා.’ (මාර්ක් 7:31, 32) යේසුස් මොහුව නිකම්ම සුව කළා පමණක් නොව ඔහුගේ හැඟීම් හා ඔහු සිටි තත්වය හොඳින් තේරුම්ගත්තා. සෙනඟ අතර සිටීම නිසා ඔහුට යම් අපහසුතාවක් දැනෙන්න ඇති. යේසුස් මේ බිහිරි මිනිසාව සුව කළේ “රහසින් [පෞද්ගලිකව] ඔහුව සමූහයා කෙරෙන් අහකට ගෙන ගොස්” කියා බයිබල් වාර්තාවේ අපට කියවීමට තිබෙනවා. කලින් අවස්ථාවලදී මෙන් නැවතත් යේසුස් කළ ප්රාතිහාර්ය ඇසින් දුටු සාක්ෂිකරුවන් ‘අප්‍රමාණ ලෙස මවිත’ වූවා. ඔවුන් මෙසේ පැවසුවා. ‘ඔහු සියල්ල යහපත් ලෙස කළේය. ඔහු බිහිරන්ට ඇසෙන්ටත් ගොළුවන්ට කතා කරන්ටත් සලස්වන්නේය.’—මාර්ක් 7:33-37.
අංශභාගය: යේසුස් කපර්ණවුම නම් ප්‍රදේශයේ සිටි දවස්වලදී එහි සිටි මිනිසුන් ඇඳක් මත වැතිරී සිටි අංශභාග රෝගියෙකුව ඔහු වෙතට ගෙනාවා. (මතෙව් 9:2) ඊළඟට සිදු වූ දෙය 6 සිට 8 දක්වා වගන්තිවල මෙසේ විස්තර කරනවා. “නැගිට නුඹේ ඇඳ අරගෙන නුඹේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට [යේසුස්] කීවේය. එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. නුමුත් සමූහයෝ ඒ දැක භය වී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවිට ගෞරව කළෝය.” යේසුස් මේ ප්රාතිහාර්යයද සිදු කළේ ඔහුගේ ගෝලයන් මෙන්ම සතුරන්ද ඉදිරිපිටදීයි. වෛරයෙන් හා අගතිසහගත හැඟීම්වලින් අන්ධ නොවූ ගෝලයන් ඔවුන්ගේ ඇස්වලින් දුටු දේවල් ගැන ‘දෙවිට ගෞරව කළ’ බව සැලකිල්ලට ගන්න.
රෝග: “කුෂ්ඨරෝගියෙක් [ලාදුරු රෝගියෙක්] ඔහු [යේසුස්] ළඟට ඇවිත් දණින් හිඳ, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්ට ඔබට පුළුවනැයි කියා අයැද සිටියේය. ඔහු අනුකම්පාවෙන් යුක්තව අත දිඟු කොට ඔහු පිට තබා, කැමැත්තෙමි, පවිත්‍ර වෙන්නැයි ඔහුට කීවේය. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහ වී, ඔහු පවිත්‍ර කරනු ලැබීය.” (මාර්ක් 1:40-42) යේසුස් මේ පුද්ගලයාව සුව කළේ අදිමදි කරමින් කරන්න ඕන නිසා නොව ඔහු කෙරෙහි අව්‍යාජ දයානුකම්පාවකින් බව සැලකිල්ලට ගන්න. ඔබ ලාදුරු රෝගියෙක් කියා සිතන්න. ක්‍රමානුකූලව ඔබේ සිරුරේ අවයව විකෘති කරමින් ඔබව සමාජයෙන් කොන් කිරීමට හේතු වී තිබෙන මේ දරුණු රෝගය ඔබට කිසිම වේදනාවක් නොදැනෙන ආකාරයෙන් විගස සුව කරනු ලැබුවොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? ප්රාතිහාර්යයක් මගින් සුවය ලැබූ ඒ ලාදුරු රෝගියා ‘යේසුස්ගේ පාමුල මුහුණින් වැටී ඔහුට ස්තුති කළේ’ ඇයි කියා තේරුම්ගැනීම ඔබට අමාරු දෙයක් නොවෙයි.—ලූක් 17:12-16.
තුවාල වීම්: යේසුස්ව අත් අඩංගුවට ගෙන, වධ කණුවේ එල්ලීමට කලින් කළ අවසාන ප්රාතිහාර්ය වූයේද සුව කිරීමක්. යේසුස්ව අල්ලාගෙන යෑමට පැමිණි අයට විරුද්ධව ක්ෂණික කෝපයෙන් ක්‍රියාත්මක වූ ප්‍රේරිත පේතෘස් “කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමීය.” (යොහන් 18:3-5, 10) මේ සිද්ධිය ගැන ලූක්ගේ වාර්තාවේ අපට පවසන්නේ යේසුස් “ඔහුගේ කන අතගා සුව කළ” බවයි. (ලූක් 22:50, 51) නැවතත් යේසුස් මානව දයාවෙන් පෙලඹී කළ එම ප්රාතිහාර්යය යේසුස්ගේ මිතුරන්ට මෙන්ම සතුරන්ටද දැකගත හැකි වූවා. ඒ අවස්ථාවේදී යේසුස්ගේ සතුරන් වූයේ ඔහුව අල්ලාගැනීමට පැමිණි අයයි.
යේසුස් සිදු කළ ප්රාතිහාර්යයන් අපි වඩාත් ඕනෑකමින් පරීක්ෂා කර බලද්දී, ඒවා විශ්වාස කළ හැකි බවට තිබෙන සුවිශේෂ ලක්ෂණ අපට වඩාත් හොඳින් තේරුම්ගත හැකියි. (2 තිමෝති 3:16) මෙසේ අපි යේසුස්ගේ ප්රාතිහාර්යයන් ගැන අධ්‍යයනය කරද්දී, කලින් සඳහන් කළ පරිදි කීකරු මිනිසුන්ව සුව කිරීම සම්බන්ධයෙන් දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වෙයි. බයිබලය ක්‍රිස්තියානි ඇදහිල්ල විග්රහ කරන්නේ මෙලෙසයි. “බලාපොරොත්තු වන දේවල් ගැන සහතික කරගත් අපේක්ෂාවයි. නුදුටු නමුත් යථාර්ථයන් පිළිබඳ පැහැදිලි සාක්ෂියයි.” (හෙබ්‍රෙව් 11:1, NW) දෙවි අපව දිරිමත් කරන්නේ අන්ධ විශ්වාසයක් ඇති කරගැනීමට හෝ දෙවිගේ පොරොන්දුවල ඉටුවීම ගැන හුදෙක් ප්‍රාර්ථනා කරන්න කියා නොවෙයි. ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟෙන්නේ පැහැදිලි සාක්ෂි මතයි. (1 යොහන් 4:1) එවන් ඇදහිල්ලක් ගොඩනඟා ගන්න විට අප ආත්මිකව වඩ වඩා ශක්තිමත් මෙන්ම නිරෝගී වන බවත් වැඩි ප්‍රීතියක් අද්දකින බවත් අපට තේරෙයි.—මතෙව් 5:3, NW; රෝම 10:17.
මුල්තැන හිමි විය යුත්තේ ආත්මික සුවයටයි!
ශාරීරිකව නිරෝගීව සිටියත් අද බොහෝදෙනෙක් සිටින්නේ අසන්තෝෂයෙන්. අනාගතය ගැන බලාපොරොත්තු තබාගත නොහැකි වීම නිසා හෝ ගැටලු ප්‍රශ්නවලින් තමන් මිරිකී සිටින බවක් දැනීම නිසා සමහරුන් සිය දිවි හානි කරගැනීමට පවා තැත් කරනවා. ඇත්තෙන්ම මෙවැනි අය සිටින්නේ ආත්මිකව රෝගාතුර තත්වයකයි. දෙවිගේ ඇස් ඉදිරියෙහි ඔවුන් සිටින තත්වය ශාරීරික ආබාධයකට හෝ රෝගයකට වඩා දරුණුයි. (යොහන් 9:41) අනිත් අතට, කලින් ලිපියේ සඳහන් කළ ක්රිස්චන් හා ජූන්ය වගේ ශාරීරික ආබාධවලින් පෙළෙන බොහෝදෙනෙක් සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඔවුන් ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්. මෙයට හේතුව කුමක්ද? ඔවුන් ආත්මිකව නිරෝගීව සිටීමත් බයිබලය මත පදනම් ස්ථිර බලාපොරොත්තුව මගින් ඔවුන්ට ලැබෙන ශක්තියත් එයට හේතු වී තිබෙනවා.
මිනිසුන් වන අපගේ සුවිශේෂී අවශ්‍යතාවක් ගැන සඳහන් කරමින් යේසුස් මෙසේ පැවසුවා. “මනුෂ්‍යයා යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත් වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය.” (මතෙව් 4:4) සතුන් මෙන් නොව මිනිසුන්ට භෞතික දේවලට වඩා වැඩි යමක් අවශ්‍යයි. අපව දෙවිගේ “ස්වරූපයෙන්” මවා තිබෙන නිසා අපට ආත්මික ආහාර අවශ්‍යයි. මෙයට ඇතුළත් වන්නේ දෙවි ගැනත් ඔහුගේ අරමුණට එකඟව අප ජීවත් වන්නේ කෙසේද යන්න ගැනත් ඔහුගේ කැමැත්ත කිරීම ගැනත් දැනුමයි. (උත්පත්ති 1:27; යොහන් 4:34) දෙවි පිළිබඳ දැනුම අපේ ජීවිතයට අර්ථවත් බවක් ගෙන දෙයි. ආත්මික ශක්තියක් අපට ලබා දෙයි. එපමණක් නොවෙයි, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම සඳහා අවශ්‍ය පදනම දෙවි පිළිබඳ දැනුම මගින් සපයයි. මේ ගැන යේසුස් මෙසේ පැවසවා. “සදාකාල ජීවනයට මඟ වන්නේ, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.
යේසුස්ගේ කාලයේ විසූවන් ඔහුව “සුවකරන්නා” කියා නොව, “ආචාරිනි” නොහොත් “ගුරුතුමෙනි” කියා ඇමතීම සැලකිල්ලට ගැනීමට වටින කරුණක්. (ලූක් 3:12; 7:40) යේසුස්ව එසේ ඇමතීමට හේතුව වූයේ කුමක්ද? මනුෂ්‍යවර්ගයාගේ ගැටලුවලට ස්ථිර විසඳුම වන දෙවිගේ රාජ්‍යය ගැන ඔහු ජනයාට ඉගැන්වීමයි. (ලූක් 4:43; යොහන් 6:26, 27) ඉදිරියේදී මුළු පොළොවම පාලනය කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් පාලකයාව සිටින එම ස්වර්ගික ආණ්ඩුව මගින්. ධර්මිෂ්ඨ මිනිසුන්ව හා ඔවුන්ගේ නිවහන බඳු මිහිතලයේ පරිපූර්ණත්වය සදහටම පවතින අයුරින් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් පොරොන්දු ඉටු කරනු ලබන්නේද මෙම ආණ්ඩුව මගිනුයි. (එළිදරව් 11:15) මේ නිසයි, යේසුස් ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී දෙවිගේ කැමැත්ත මේ පොළොවේ සිදු කරනු ලැබීම, එම රාජ්‍යයේ පැමිණීම සමඟ සම්බන්ධ කර දැක්වූයේ.—මතෙව් 6:9ආ, 10.
අපේ සිත්වල ප්‍රබෝධවත් බවක් ඇති කරන එම බලාපොරොත්තුව ගැන ඉගෙනගැනීමෙන් පසු, විවිධ ආබාධවලින් පෙළෙන බොහෝදෙනෙකුගේ දෙනෙත්වලින් කාලයක් පුරා ගැලූ දුක් කඳුළු දැන් සතුටු කඳුළු බවට පත් වී තිබෙනවා. (ලූක් 6:21) ඇත්තෙන්ම, දෙවි අසනීප හා සියලුම ආබාධ නැති කර දමනවාට වඩා වැඩි යමක් ඉදිරියේදී කරනු ලබනවා. මිනිසුන්ගේ දුක් වේදනාවලට එකම හේතුව වන පාපයද ඔහු සහමුලින්ම උදුරා දැමීමට නියමිතයි. මේ ලිපියේ කලින් උපුටා දක්වන ලද යෙසායා 33:24 සහ මතෙව් 9:2-7 යන වගන්තිවල සඳහන් දේවල් අතරත් අපේ අසනීප හා අපේ පව්කාර ස්වභාවය අතරත් සම්බන්ධයක් ඇත. (රෝම 5:12) මෙසේ පාපයේ බලපෑම් සම්පූර්ණයෙන්ම නැති කර දැමීමෙන් පසු මනුෂ්‍යවර්ගයා ‘දෙවිගේ දරුවන්ගේ මහිමාන්විත නිදහස’ භුක්ති විඳිනු ඇති. මානසික හා කායික සෞඛ්‍යයෙන් පරිපූර්ණව සිටීම එම නිදහසට අයත් වෙනවා.—රෝම 8:21.
යම් ප්‍රමාණයකට නිරෝගී සෞඛ්‍යයක් භුක්ති විඳින අය නිරෝගිකමේ වටිනාකම ගැන සැහැල්ලුවෙන් සිතන්න පුළුවන්. නමුත් යම් ආබාධ නිසා වේදනා විඳින අයට නම් එසේ සිතෙන්නේ නැහැ. නිරෝගී සෞඛ්‍ය මෙන්ම ජීවිතය මොනතරම් අනර්ඝද කියාත් හදිසියේ සිදු වන අනපේක්ෂිත දේවල් නිසා ජීවිතය තුළ මොනතරම් වෙනසක් සිදු විය හැකිද කියා එවැනි අය දන්නවා. (දේශනාකාරයා 9:11) මේ නිසා අපගේ පාඨකයන් අතර සිටින නොයෙක් ආබාධවලින් පෙළෙන අය බයිබලයේ සඳහන් දෙවිගේ මවිතකර පොරොන්දු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මේ පොරොන්දුවල ඉටු වන බව සහතික කිරීම සඳහා යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළේය. ඊටත් වඩා හොඳ සහතිකයක් අපට බලාපොරොත්තු විය හැකිද?—මතෙව් 8:16, 17; යොහන් 3:16.
[පාදසටහන]
a දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබීමට හේතු පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ඇත්තටම දෙවි අප ගැන සලකනවාද? නමැති විවරණිකාව බලන්න.