පාඨකයන්ගෙන් ප්‍රශ්න
මළවුන් උදෙසා කරනු ලබන බව්තීස්මය කුමක්ද?
ප්‍රේරිත පාවුල් ස්වර්ගික නැවත නැඟිටීම ගැන ලියූ විට ඉතා කුහුල දනවන දෙයක් සඳහන් කළේය. සිංහල පැරණි අනුවාදය නම් වූ බයිබල් පරිවර්තනයෙහි එය සඳහන් වන්නේ මෙලෙසය. “ඇරත් මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්ම කරනු ලබන්නෝද?” එමෙන්ම, සිංහල නව අනුවාදයෙහි එය මෙසේ දක්වා ඇත. “සැබවින්ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මිය ගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදු වේද? මිය ගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමකටද?”—1 කොරින්ති 15:29.
පාවුල් මෙයින් අඟවනු ලැබුවේ බව්තීස්ම නොවී මිය ගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අය බව්තීස්ම විය යුතුයි කියාද? ඉහත සඳහන් බයිබල් පරිවර්තනවලත් වෙනත් පරිවර්තනවලත් සඳහන් කර ඇති දේට අනුව එවැනි නිගමනයකට එළඹීම සාධාරණ බව පෙනී යා හැක. එහෙත් ශුද්ධ ලියවිලි මෙන්ම පාවුල් විසින් භාවිත කරනු ලැබූ මුල් ග්‍රීක් වචනය වඩාත් ගැඹුරින් පරීක්ෂා කර බැලූ විට ඉන් අඟවන්නේ ඊට වඩා වෙනස් දෙයක් බව පැහැදිලි වනු ඇත. පාවුල් මෙහිදී සඳහන් කළ බව්තීස්මයෙන් අදහස් කරන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්, ක්‍රිස්තුස් ගත කළ ආකාරයේම ජීවන මඟකට පා තබන බවයි. ඒ අනුව, ඔවුන්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව පවත්වාගැනීමෙන් අනතුරුව ඔවුන්ට මිය යෑමට සිදු වේ. ඉන් අනතුරුව, ක්‍රිස්තුස්ව මෙන් ඔවුන්වද නැවත නැඟිටුවනු ලැබීමෙන් ස්වර්ගික ජීවිතයකට කැඳවනු ලැබේ.
මෙම පැහැදිලි කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් තිබේ. රෝමවරුන්ට ලියූ ලිපියේදී පාවුල් ලීවේ මෙසේය. “ක්‍රිස්තුස් යේසුස් තුළට බව්තීස්ම වූ අප සියල්ලන්ම, ඔහුගේ මරණය තුළට බව්තීස්ම වූ බව ඔබ නොදන්නහුද?” (රෝම 6:3, NW) ෆිලිප්පියේ ක්‍රිස්තියානීන්ට ලියද්දී පාවුල් පැවසුවේ තමා ‘[ක්‍රිස්තුස්ගේ] මරණයට සමාන මරණයකට යටත් වීම මගින් ඔහු වින්ද වධවල පංගුකාරයෙකු’ වූ බවය. ඔහු එසේ කළේ, ‘කලින් සිදු වන මළවුන්ගෙන් නැවත නැඟිටීම ඔහුට ලැබේදැයි බැලීමටය.’ (ෆිලිප්පි 3:10, 11, NW) පාවුල් මෙහිදී අවධාරණය කරමින් සිටියේ ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයෙකුගේ ජීවන මඟට ඇතුළත් වන්නේ කුමක්ද යන්නයි. පරීක්ෂාවන් යටතේ විශ්වාසවන්තකම අඛණ්ඩව පවත්වාගැනීම, දිනපතාම මිය යෑමේ අවදානමට මුහුණ දීම සහ අන්තිමේදී විශ්වාසවන්තකම රැකගැනීමෙන් අනතුරුව මිය යෑමට සිදුවීම ඊට ඇතුළත් වේ. ඉන්පසු ඔවුන් ස්වර්ගික නැවත නැඟිටීමක් ලබනු ඇත.
ඉහත සාකච්ඡා කරනු ලැබූ ශුද්ධ ලියවිලි පාඨවල මෙන්ම බව්තීස්ම ලත් අය හා මරණය ඍජුවම සම්බන්ධ කර ඇති වෙනත් පාඨවල සඳහන් වන්නේ ජීවත්ව සිටින බව්තීස්ම ලත් අය ගැන මිසක මිය ගිය අය ගැන නොවේ. මෙය ඇත්තෙන්ම සැලකිල්ලට ගත යුතු කරුණකි. තවද අභිෂේක ලත් සෙසු ක්‍රිස්තියානීන්ට පාවුල් පැවසුවේ මෙලෙසය. “ඔබව ඔහු සමඟ ඔහුගේ බව්තීස්මයෙහි වළලනු ලැබුවේය. එමෙන්ම, ඔහු සමඟ තිබෙන සම්බන්ධය නිසා, ඔබව එකට නැඟිටුවනු ලැබුවේය. එසේ වූයේ, ඔහුව මළවුන්ගෙන් නැඟිටෙවූ දෙවිගේ බලයේ [ක්‍රියාකාරිත්වය] කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල මාර්ගයෙනි.”—කොලොස්සි 2:12, NW.
පළමුවෙනි කොරින්ති 15:29හි සඳහන් හයිපර් නමැති ග්‍රීක් නිපාත පදය බයිබල් පරිවර්තන කිහිපයක “සඳහා” හෝ “උදෙසා” වශයෙන් පරිවර්තනය කර ඇතත් එහි “වීමේ අරමුණින්” යන අදහසද අන්තර්ගත විය හැක. එම නිසා, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය මෙම පාඨය වෙනත් බයිබල් පාඨවලට එකඟව හා නිවැරදිව පරිවර්තනය කර ඇත්තේ මෙසේය. “එසේ නොවන්නේ නම්, තමුන් මළවුන් වීමේ අරමුණින් බව්තීස්ම වන අය කුමක් කරයිද? මළවුන්ව කිසි කලක නැඟිටුවන්නේ නැත්නම්, ඔවුන් මළවුන් වීමේ අරමුණින් බව්තීස්ම වන්නෙත් මන්ද?”