“ඒක මගේ ජීවිතයේ අමතක නොවන දවසක්”
“මානසික පීඩනය කියන්නේ නිතරම අහන්න ලැබෙන රෝගයක්. ඒ වගේම එය යෞවනයන්ට තිබෙන මානසික රෝග අතරින් මුල් තැන ගන්නවා.” ඒ වචන සටහන් කළේ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ආයතනයක් වන බියොන්ඩ්බ්ලූ ආයතනයයි. සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ යෞවනයන්ගෙන් 1,00,000 පමණ මානසික පීඩනය අද්දකින බව කරන ලද සමීක්ෂණවලින් හෙළි වෙනවා.
ක්‍රිස්තියානි යෞවනයන්ටත් එය බලපානවා. නමුත් යෙහෝවා කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසය නිසා ඒ කලකිරුණු ස්වභාවයෙන් මිදීමටත් යෞවන ජීවිතය සාර්ථකව ගත කිරීමටත් ඔවුන්ට හැකි වෙනවා. මේ නිසා ඔවුන් ගැන අන්‍යයන්ට හොඳ පැහැදීමක් ඇති වී තිබෙනවා. ඒ කොහොමද?
ක්ලෙයාගේ අද්දැකීම සලකා බලන්න. ඇයට වයස අවුරුදු 18යි. ඇයත් ඇගේ අම්මාත් මෙල්බර්න්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවකට යනවා. ක්ලෙයාගේ තාත්තා පවුල අත්හැර ගියාම ඇයට ඒක දරාගන්න බැරිව ගියා. ඇය මානසික පීඩනයෙන් පෙළුණා. නමුත් ඇය තම ස්වර්ගීය පියාණන් වන යෙහෝවා කෙරෙහි වන තම ඇදහිල්ල ශක්තිමත්ව තබාගත්තා. එක දිනක් අසනීපෙන් සිටි ක්ලෙයාගේ අම්මාව බලන්න ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරිය වන ලිදියා ආවා. කතා බහෙන් පසුව ක්ලෙයාට සාප්පුවකට යෑමට අවශ්‍ය වූ නිසා වෛද්‍යවරිය ඇයව සාප්පුව ළඟින් බැස්ස වීමට ඉදිරිපත් වුණා. වාහනයේ යන ගමන් ලිදියා ඇහැව්වා ක්ලෙයාට පෙම්වතෙක් ඉන්නවාද කියලා. ඇය කිව්වා යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට ඇය සෙල්ලමට වගේ පිරිමි ළමයි එක්ක ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒක ඇහැව්වාම වෛද්‍යවරිය පුදුම වුණා. ජීවිතයේ නැණවත් තීරණ ගන්න බයිබලය ක්ලෙයාට උපකාර කර තිබෙන ආකාරය ගැන ඇය තවදුරටත් වෛද්‍යවරියට පැහැදිලි කළා. තමාට බෙහෙවින් උපකාරවත් වූ බයිබලයේ තොරතුරු ඇතුළත් ප්රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නම් පොත ඇයට ගෙනැවිත් දීමට ක්ලෙයා පොරොන්දු වුණා.
පොත ලැබී දින තුනකින් පසුව ලිදියා ක්ලෙයාගේ මවට දුරකථන ඇමතුමක් දීලා කිව්වා එය කියවීමෙන් ඇය මහත් රසවින්දනයක් ලැබූ බව. ඇය සමඟ වැඩ කළ තවත් හයදෙනෙකුට දීම සඳහා ඇය තව පොත් හයක් ඉල්ලුවා. ක්ලෙයා ඒ පොත් ටික ගිහින් දුන්නාම ක්ලෙයාට තිබූ ඇදහිල්ල ගැන ඒ වෛද්‍යවරිය ගොඩක් අගය කළා. ක්ලෙයා වෛද්‍යවරියට බයිබල් පාඩමක් කරන්න ඉදිරිපත් වූ අතර ඇය ඊට එකඟ වුණා.
මාස කිහිපයක් යන තුරු වෛද්‍යවරියගේ දවල් කෑම පැයේදී පාඩම පැවැත්තුවා. දවසක් ලිදියා ක්ලෙයාගෙන් ඇහැව්වා යෞවනයන් අද්දකින මානසික පීඩනය යන විෂය යටතේ සම්මන්ත්‍රණයකදී කතාවක් දෙන්න පුළුවන්ද කියලා. මුලින් අදිමදි කළත් පසුව ක්ලෙයා ඊට එකඟ වුණා. ඒ සම්මන්ත්‍රණයට 60කට වඩා පිරිසක් පැමිණ සිටියා. මානසික රෝග පිළිබඳ විශේෂඥයන් හතරදෙනෙක් රැස්ව සිටි අයව ඇමතුවා. ඒ සියලුදෙනාම වැඩිහිටියන්. ඊට පස්සේ අවස්ථාව ආවේ ක්ලෙයාට. යෞවනයන් දෙවි සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමේ වැදගත්කම ගැන ඇය කතා කළා. යෙහෝවා දෙවි යෞවන අය ගැන ගොඩාක් සැලකිලිමත් බවත් උපකාරය හා සහනය පතා දෙවි දෙසට හැරෙන අයට උදව් කරන බවත් ඇය විස්තර කළා. යෙහෝවා ඉතා ඉක්මනින්ම ශාරීරික හා මානසික රෝග සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් ඇය කීවා. (යෙසායා 33:24) මේ සාක්ෂිදැරීම තුළින් ලැබුණ ප්‍රතිඵල මොනවාද?
ඒ ගැන ක්ලෙයා මෙහෙම කියනවා. “යෞවනියක් දෙවියන් ගැන කතා කරනවා අහන්න ලැබුණ එක ගැන අපිට ගොඩක් සන්තෝෂයි කියලා හුඟදෙනෙක් මා ළඟට ඇවිත් කිව්වා. මම යෞවන අය අසති කියන පොත් 23ක් බෙදාහැරියා. රැස්ව සිටි අයගෙන් ගැහැනු ළමයි තුන්දෙනෙක් ඔවුන්ගේ දුරකථන අංක මට දුන්නා. ඉන් එක ගැහැනු ළමයෙක් දැන් මාත් එක්ක බයිබලය පාඩම් කරනවා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන දවසක්.”