දේවදූතයන් ගැන ඔබ දන්නේ මොනවාද?
මීට අවුරුදු 2000කට පමණ පෙර බැබිලෝනියේ රජ කෙනෙක් මහා පුදුම දෙයක් දැක්කා. මරණ දඬුවමක් ලෙස මිනිසුන් තුන්දෙනෙකුව බුර බුරා නැඟෙන ගිනි ජාලාවකට දැමුවත් ඔවුන්ට කිසිම හානියක් වුණේ නැහැ. මේ අයව බේරාගත්තේ කවුද? දේවදූතයෙක් ඔවුන්ව බේරාගත් බව දුටු රජ ඔවුන්ට මෙසේ පැවසුවා. ‘ඔබේ දෙවිට ප්රශංසා වේවා; ඔහු ස්වකීය දූතයා එවා තමන් කෙරෙහි විශ්වාස කළාවූ ස්වකීය මෙහෙකරුවන් මුදාගත්තා.’ (දානියෙල් 3:28) පුරාණයේ විසූ බොහෝදෙනෙක් දේවදූතයන් ගැන විශ්වාස කළා. අද සිටින බොහෝදෙනෙක්ද දේවදූතයන් සිටින බවත් මිනිසුන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකි බවත් විශ්වාස කරනවා. මේ නිසා අපි දේවදූතයන් ගැන තොරතුරු ටිකක් සලකා බලමු. දේවදූතයන් කියන්නේ කවුද? ඔවුන්ගේ ආරම්භය ගැන අපිට දැනගැනීමට තිබෙන්නේ මොනවාද?
බයිබලයේ පවසන ආකාරයට දෙවිව අපිට පෙනෙන්නේ නැහැ වගේ දේවදූතයන්වද අපිට පෙනෙන්නේ නැහැ. (යොහන් 4:24) දේවදූතයන් මිලියන ගණනක් සිටිනවා. (එළිදරව් 5:11) මේ සෑම දේවදූතයෙකුටම ලොකු ‘බලයක්’ තිබෙනවා. (ගීතාවලිය 103:20) මිනිසුන් මෙන් දේවදූතයන්ද එකිනෙකාට වෙනස්. එමෙන්ම තීරණ ගැනීමේ නිදහසද ඔවුන්ට තිබෙනවා. ඒත් දේවදූතයන්ගේ ආරම්භය මිනිසුන්ගේ ආරම්භය වගේ නොවෙයි. දෙවි දේවදූතයන්ව මැව්වේ පොළොව සහ මිනිසාව මැවීමට බොහෝ කාලයකට කලිනුයි. දෙවි “පොළොවේ අත්තිවාරම් තැබූ කල . . . පහන් තාරකාවන් [දේවදූතයන්] එකතුව ගීතිකා කී” බවත් “දෙවිගේ සියලු පුත්රයන් ප්රීති නාද පැවැත්වූ” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 38:4, 6) දේවදූතයන්ව දෙවි මැවූ නිසා ඔවුන්ව දෙවිගේ පුත්රයන් කියාද හඳුන්වනවා.
දෙවි දේවදූතයන්ව මැව්වේ ඇයි? අතීතයේ දේවදූතයන් මිනිසුන් වෙනුවෙන් කර තිබෙන්නේ මොනවාද? ඔවුන් අද අප වෙනුවෙන් යම් දේවල් කරනවාද? ඔවුන්ට නිදහස් තීරණ ගත හැකි නිසා යම් දේවදූතයන් දෙවිට විරුද්ධ වී සාතන්ගේ පැත්ත ගෙන තිබෙනවාද? මේ ප්රශ්නවලට බයිබලයේ සපයන නිවැරදි පිළිතුරු ඊළඟ ලිපියේදී අපි සලකා බලමු.