ඔබ කොතරම් හොඳින් අදහස් හුවමාරු කරගන්නවාද?
“සැඳෑ සමයේ ලියූ ආදර හසුන්.” ජපානයේ එක්තරා බැංකුවක අනුග්‍රහයෙන් මෑතකදී පවත්වන ලද තරඟයක තේමාව වූයේ එයයි. මෙවැනි තරඟයක් පැවැත්වීමේ අරමුණ වූයේ අවුරුදු 50 ගණන්වල හා 60 ගණන්වල පසු වූ විවාහක යුවළයන්ට තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ගැන තමන්ගේ “අවංක හැඟීම්” ප්‍රකාශ කිරීමට දිරිමත් කිරීමයි. මෙම තරඟයට සහභාගි වූ එක් ස්වාමිපුරුෂයෙක් ඔහුගේ භාර්යාව ගැන මෙසේ ලිව්වා. “සමහරවිට මං මේ කියන දේට ඔයාට හිනා යන්නත් පුළුවන්. හැබැයි මම මේක ඔයාට කිව්වේ නැත්නම් මම පස්සේ දුක් වෙයි. මාව විවාහ කරගත්තාට ඔයාට බොහොම ස්තුතියි.”
පෙරදිග රටවල් ඇතුළුව විවිධ සංස්කෘතීන්වල සිටින ජනයා තමන්ගේ හැඟීම් විවෘතව ප්‍රකාශ කරන්නේ නැහැ. කෙසේවෙතත් එම තරඟයට 15,000කට වැඩි පිරිසක් සහභාගි වුණා. එය කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් එම තරඟය දෙවෙනි වතාවටත් පැවැත්තුවා. ඒ වගේම එම තරඟයට එවූ ලිපි ඇතුළත් පොත්ද ප්‍රකාශයට පත් කළා. මෙයින් පෙනී යන්නේ බොහෝදෙනෙක් තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ගැන තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට දැඩි ආශාවක් දක්වන බවයි. කෙසේවෙතත් සමහරුන් එසේ කරන්නේ නැහැ. ඊට හේතුව කුමක්ද? තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ගැන තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට යම් වෑයමක් මෙන්ම විශේෂ දක්ෂතාවක්ද ඔවුන්ට නැතිවීම ඊට හේතුව විය හැකියි.
ජපානයේ වයසක යුවළයන් අතර සිදු වන දික්කසාද වීම් අතරින් බොහෝ දික්කසාදවලට මුලපුරන්නේ භාර්යාවන්. ඊට හේතු වී තිබෙන්නේ වසර ගණනාවක් පුරා තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ඔවුන්ගේ සිත්වල මුල් බැසගෙන තිබූ යම් අමනාපකම්. මෙසේ පවසන්නේ විශ්‍රාමිකයන් ගැන පොතක් ලියූ හිටෝෂී කාටෝ නමැත්තායි. යම් ගැටලු පැනනඟින විට ඒවා ගැන විවාහක යුවළයන් කතා නොකිරීමත් ඊට හේතු වෙනවා කියා ඔහු තවදුරටත් පවසනවා.
තම ස්වාමිපුරුෂයන් විශ්‍රාම ගොස් වැඩි කල් යන්න කලින් භාර්යාවන් දික්කසාද වීමට පියවර ගන්නේ ඔවුන්ව මවිතයට පත් කරමිනුයි. මීට හේතුව සමහරවිට එකිනෙකා ගැන තමන්ට හැඟෙන ආකාරය ගැන ඔවුන් බොහෝ කාලයක් පුරා කතා නොකර සිටීම විය හැකියි. ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට උත්සාහ කළත් සාමකාමී වාතාවරණයක් පවත්වාගනිමින් එසේ කිරීමට අසමත් වීම තවත් හේතුවක්. එමෙන්ම තම හැඟීම් ප්‍රකාශ කරමින් දෙදෙනාට ළං වෙනවා වෙනුවට ඔවුන් අතර උණුසුම් වාද විවාද දිගින් දිගටම ඇති වෙනවා විය හැකියි.
තමන් අතර සිදු වන එකඟ නොවීම් සාමකාමීව විසඳාගනිමින් ප්‍රේමණීය ලෙස තම හැඟීම් ප්‍රකාශ කිරීමට ස්වාමිපුරුෂයාට හා භාර්යාවට හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්නයට හොඳම පිළිතුර ලබාගත හැක්කේ පවුල් උපදේශකයෙකු විසින් ලියා තිබෙන පොතකින් නොව ලෝකයේ පැරණිතම පොත වන බයිබලයෙනුයි. මේ ගැන දැනගැනීම සඳහා ඊළඟ ලිපිය කියවා බැලීමට ඔබ සතුටු ඇති.