දෙවිට ළං වෙන්න
යුක්තිසහගත දෙවි කෙනෙක්
කවදා හෝ යම් කෙනෙක් ඔබට ඉතා අසාධාරණ ලෙස හෝ නපුරු ආකාරයකින් සලකා තිබෙනවාද? එම පුද්ගලයා ඔබට හුඟක් කිට්ටු කෙනෙක් නම් ඒ දුක දරාගැනීම ඔබට තවත් අපහසු වේවි. එවැනි අවස්ථාවකදී ‘දෙවි මේ වගේ දේවල් වෙන්න ඉඩහරින්නේ ඇයි’ කියා ඔබ කල්පනා කරයි.a නමුත් යෙහෝවා දෙවි අයුක්තිය හෙළාදකින බව මතක තබාගන්න. ඒ නිසයි හිතා මතාම වැරදි කරන අයට දෙවි දඬුවම් කරනවා කියා බයිබලයෙහි සඳහන් වෙන්නේ. එය තේරුම්ගැනීමට අපි දැන් හෙබ්‍රෙව් 10:26 සිට 31 දක්වා ඇති බයිබල් පදවල අදහස සලකා බලමු.
“සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත” කියා හෙබ්‍රෙව් 10:26හි සඳහන් වෙනවා. ඒ අනුව කෙනෙක් ඕනෑකමින් පව් කරනවා නම් ඒ සඳහා වගකිව යුත්තේ ඔහුමයි. එසේ පැවසීමට හේතු තුනක් සලකා බලමු. මුල් හේතුව නම් එවැනි අය පුරුද්දක් ලෙස පව් කිරීමයි. අපට උරුම වී තිබෙන පාපය නිසා අප සියලුදෙනා අතින් නොදැනුවත්වම යම් වැරදි සිදු වුණත් එවැනි අය වැරදි කරන්නේ ඒ නිසාම නොවෙයි. දෙවන හේතුව වන්නේ එවැනි අය හිතා මතාම එනම් “ඕනෑකමින්ම” පව් කිරීමයි. ඔවුන් දිගටම පව් කරන නිසා එය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වී තිබෙනවා. තුන්වන හේතුව නම් එවැනි අය “සත්‍ය පිළිබඳ නිවැරදි දැනුම” ලබා තිබීමයි. ඔවුන් දෙවි ගැනත් දෙවිගේ කැමැත්ත ගැනත් මනා දැනුමක් ලබා තිබෙන නිසා ඔවුන් පව් කරන්නේ නොදැනුවත්කමින් කියා පවසන්න බැහැ.
පසුතැවිලි නොවී පව් කරන අයට යෙහෝවා දෙවි සමාව දෙනවාද? එවැනි අයගේ “පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා. සියලුදෙනාටම තමන් කරන වැරදිවලට සමාව ලබාගත හැක්කේ යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනුයි. (1 යොහන් 2:1, 2) නමුත් පසුතැවිලි නොවී පව් කරන අය යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැ. හෙබ්‍රෙව් 10:29හි සඳහන් වන ආකාරයට එවැනි අය යේසුස්ව “පාගා දමා” ඔහු වැගිර වූ “රුධිරය සාමාන්‍ය දෙයක් ලෙස සලකා” තිබෙනවා. ඔවුන් එලෙස ක්‍රියා කිරීමෙන් යේසුස්ට අගෞරව කරන අතර ඔහු වැගිර වූ රුධිරය “කිසිම වටිනාකමක් නැති” දෙයක් ලෙස සලකනවා. මෙලෙස ක්‍රියා කරන අයට යේසුස්ගේ ජීවිත පූජාවෙන් තම පව්වලට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ.
පසුතැවිලි නොවී දිගටම පව් කරන දුෂ්ට මිනිසුන්ට සිදු වෙන්නේ කුමක්ද? යුක්තිසහගත දෙවි කෙනෙක් වන යෙහෝවා මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “පළිගැනීම මාගේය. මම විපාක දෙන්නෙමි.” (හෙබ්‍රෙව් 10:30) ඒ අනුව පුරුද්දක් ලෙස පව් කරන අයට දෙවි දඬුවම් කරනවා. ඔවුන් කරන පව්වලට වග කියන්න සිදු වන්නේ ඔවුන්ටමයි. (ගලාති 6:7) එවැනි අයට දැන් කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ කියා පෙනෙන්න පුළුවන්. නමුත් ළඟදීම දෙවි පොළොවෙන් දුෂ්ටයන්ව උදුරා දමන කාලයේදී ඔවුන්ට වන්දි ගෙවීමට සිදු වෙනවාමයි. (හිතෝපදේශ 2:21, 22) ඒ නිසයි ‘ජීවමාන දෙවිගේ අත්වලට අසුවීම භයානක දෙයක්’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ.—හෙබ්‍රෙව් 10:31.
යෙහෝවා දෙවි අයුක්තිය හෙළාදකින විශ්වාසවන්ත කෙනෙක්. එමනිසා ඕනෑකමින්ම පව් කරන අයට ඔහු සමාව දෙන්නේ නැහැ. මෙය දැනගැනීම දුෂ්ටයන් නිසා දුක් විඳින අයට කොතරම් සහනයක්ද!
[පාදසටහන]
a දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 106 සිට 114 දක්වා පිටු බලන්න.