යෝබ් දෙවිට ප්‍රශංසා කළා
“යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”—යෝබ් 1:21, නව ලොව පරිවර්තනය, NW.
1. යෝබ් පොත ලියනු ලැබුවේ කවුරුන් විසින් විය හැකිද? එමෙන්ම ඒ කුමන කාලයේදීද?
මෝසෙස්ට වයස අවුරුදු 40ක් පමණ වූ විට ඔහු ඊජිප්තුවෙන් පලා ගොස් පදිංචි වුණේ මිදියන් දේශයේයි. (ක්‍රියා 7:23) එමෙන්ම යෝබ් ජීවත් වූ ඌෂ් දේශය පිහිටා තිබුණේද මිදියන් දේශයට යාබදවයි. ඒ නිසා මෝසෙස්ට, යෝබ් මුහුණ දුන් පරීක්ෂා ගැන දැනගන්න ලැබෙන්න ඇති. එමෙන්ම පසු කාලයකදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේ තම ගමන අවසන් කරමින් ඌෂ් දේශය ආසන්නයට පැමිණියා. ඒ නිසා මෝසෙස්ට යෝබ්ගේ ජීවිතයේ අවසාන අවුරුදු කිහිපය ගෙවුණු ආකාරය ගැන දැන ගන්න ලැබෙන්න ඇති. මෝසෙස් විසින් යෝබ් පොත ලියනු ලැබුවේ යෝබ්ගේ මරණයෙන් පසුව බව ඉපැරණි වාර්තාවල සඳහන් වෙනවා.
2. යෝබ් පොත මගින් අද දින සිටින දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද?
2 නවීන දින දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවන තොරතුරු යෝබ් පොතේ අඩංගු වී තිබෙනවා. ස්වර්ගයේ සිදු වූ අති වැදගත් සිදුවීම් අවබෝධ කරගැනීමට එය අපට උපකාරවත් වෙනවා. සියල්ල පාලනය කිරීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නය ගැනද අපට ඉන් ඉගෙනගත හැකියි. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා යෝබ් පොතෙන් අපට තේරුම්ගත හැකියි. යෙහෝවා දෙවි තම සේවකයන්ට දුක් වේදනා විඳීමට ඉඩහරින්නේ ඇයි කියාත් ඉන් අපට අවබෝධ කරගත හැකියි. සාතන්, යෙහෝවා දෙවිගේ ප්‍රධාන විරුද්ධකාරයා බවත් මිනිස්වර්ගයාගේ සතුරා බවත් එහි හඳුන්වා දෙනවා. එමෙන්ම යෝබ් වැනි අසම්පූර්ණ මිනිසුන්ට පවා දරුණු පීඩා හමුවේ වුණත් දෙවිට විශ්වාසවන්තව සිටිය හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. දැන් අපි එහි සඳහන් සමහරක් සිද්ධීන් සලකා බලමු.
යෝබ්ට සාතන්ගෙන් පැමිණි පීඩා
3. යෝබ් මොන වගේ පුද්ගලයෙක්ද? එමෙන්ම ඔහු සාතන්ගේ ඉලක්කය වුණේ ඇයි?
3 යෝබ් ඉතා ධනවත් මෙන්ම අන් අයගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක්. එමෙන්ම ඔහු තම පවුලේ මූලිකත්වය ගෙන කටයුතු කළ ආදර්ශවත් කෙනෙක්. උපදෙස් ලබාගැනීමට බොහෝදෙනා ඔහු වෙත පැමිණි අතර ඔහු දිලිඳු අයටද බෝහෝ සේ උදව් උපකාර කළා. දෙවිට ගරුබිය දැක්වීම සම්බන්ධයෙන් ඔහු ඊටත් වඩා කැපීපෙනුණා. ඔහු ‘දෙවිට ගරුබිය දැක්වූ නිර්දෝෂ මෙන්ම වැරදි දෙයින් ඈත් වී සිටි අවංක මිනිසෙක්’ ලෙස බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. ඔහු සාතන්ගේ ඉලක්කය බවට පත් වුණේ ඔහුට තිබූ ධන සම්පත් නිසාවත් ප්‍රසිද්ධිය නිසාවත් නොවෙයි. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔහු දෙවිට විශ්වාසවන්තව සිටීමයි.—යෝබ් 1:1, NW ; 29:7-16; 31:1.
4. විශ්වාසවන්තකමට ඇතුළත් වන්නේ කුමක්ද?
4 ස්වර්ගයේ, දේවදූතයන් දෙවි ඉදිරියෙහි රැස් වූ අවස්ථාවක් ගැන යෝබ් පොතේ ආරම්භයේ විස්තර කර තිබෙනවා. සාතන්ද ඒ අය අතර සිටියා. ඒ අවස්ථාවේදී සාතන් යෝබ්ට තිබුණු ධන සම්පත් ගැන සඳහන් කළා. නමුත් ඔහුගේ මූලික අරමුණ වුණේ යෝබ් දෙවිට දැක්වූ විශ්වාසවන්තකම අභියෝගයට ලක් කිරීමයි. (යෝබ් 1:6-11 කියවන්න.) “විශ්වාසවන්තකම” යන්නට ඇති හෙබ්‍රෙව් වචනයට නිර්දෝෂකම, අවංකකම, ධර්මිෂ්ඨකම යන අදහස්ද ඇතුළත් වෙනවා. බයිබලයේ සඳහන් ලෙස දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් කියන්නේ පූර්ණ හදවතකින් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන කෙනෙකුටයි.
5. සාතන්, යෝබ් ගැන කළ චෝදනාව කුමක්ද?
5 සාතන් පැවසුවේ යෝබ් දෙවිට භක්තිවන්තව සේවය කරන්නේ දෙවි ඔහුට ආශිර්වාද කර ඔහුව ආරක්ෂා කරන නිසා බවයි. එසේ කිරීම දෙවි නතර කළොත් යෝබ් දෙවිට සේවය කිරීම නතර කරන බව සාතන් පැවසුවා. එම චෝදනාව බොරු බව ඔප්පු කිරීම සඳහා යෝබ්ව පරීක්ෂා කරන්න යෙහෝවා දෙවි සාතන්ට ඉඩ හැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස යෝබ්ට ඔහුගේ එළු බැටළු රැළවල් සියල්ලත් සේවකයන්වත් දරුවන් දහදෙනාවත් එක් දිනක් තුළදී අහිමි වුණා. (යෝබ් 1:13-19) ඒ නිසා ඔහු දෙවිට දැක් වූ විශ්වාසවන්තකම නැති කරගත්තාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඔහු පැවසූ දේ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි දුන්නේය. යෙහෝවා දෙවි ගත්තේය. යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”—යෝබ් 1:21, NW.
6. (අ) ස්වර්ගයෙහි දේවදූතයන් රැස්වූ තවත් අවස්ථාවක සිදු වුණේ කුමක්ද? (ආ) සාතන් යෝබ්ට කළ චෝදනාවට ඇතුළත් වුණේ වෙන කවුරුන්ද?
6 දේවදූතයන්, දෙවි ඉදිරියෙහි රැස් වූ තවත් අවස්ථාවක් ගැන සලකා බලන්න. එහිදී සාතන් නැවතත් යෝබ්ට විරුද්ධව මෙසේ චෝදනා කරන්න පටන්ගත්තා. “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි. ඔහු තම ජීවිතය රැකගන්න වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්. එහෙත් දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුගේ ශරීරයට පහර දෙන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.” එම චෝදනාව නිසා යෝබ්ට වේදනාකාරී රෝගයකින් පීඩා කිරීමට දෙවි සාතන්ට ඉඩ හැරියා. මෙහිදී සාතන් පැවසුවේ “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ” කියායි. එයින් පැහැදිලි වන්නේ සාතන් එම චෝදනාව කළේ යෝබ්ට පමණක් නොව සෑම ‘මිනිසෙකුටම’ බවයි. (යෝබ් 2:1-8, NW) නමුත් සාතන් යෝබ්ට කළ පීඩා එතනින් නතර වුණේ නැහැ.
යෝබ්ගෙන් ඉගෙනගත හැකි පාඩම්
7. යෝබ්ගේ භාර්යාව හා මිතුරන් තිදෙනා ඔහුට විශාල පීඩනයක් එල්ල කළේ කෙසේද?
7 තම දරුවන් මෙන්ම සියලු වස්තුව අහිමි වීම ගැන යෝබ්ට දැනුණ දුකම ඔහුගේ බිරිඳටත් දැනුණා. එමෙන්ම තම ස්වාමිපුරුෂයා දරුණු රෝගයකින් පීඩා විඳින ආකාරය දුටු ඇයගේ වේදනාව තවත් වැඩි වන්න ඇති. ඒ නිසා ඇය මහත් වේදනාවකින් ඔහුට මෙසේ පැවසුවා. “ඔබ තවමත් දෙවිට විශ්වාසවන්තව සිටිනවාද? ඊට වඩා හොඳයි දෙවිට ශාප කර මිය ගියා නම්.” ඉන් පසුව එලිෆස්, බිල්දද්, ෂෝපර් යන තිදෙනා පැමිණියේ ඔහුව සනසන්නයි. ඒ වුණත් ඔහුව සනසනවා වෙනුවට ඔවුන් බොරු තර්ක ඉදිරිපත් කරමින් ඔහුගේ සිත තව තවත් පෑරුවා. යෝබ්ගේ දරුවන්ට එවන් දෙයක් සිදු වුණේ ඔවුන් කළ වැරදි ක්‍රියා නිසා බව බිල්දද් පැවසුවා. එලිෆස් පැවසුවේ යෝබ් දුක් විඳින්නේ ඔහු අතීතයේ කළ වැරදි නිසා බවයි. ඒ විතරක් නොව කෙනෙකු දෙවිට විශ්වාසවන්තව සිටීම දෙවිට කොහෙත්ම වැදගත් දෙයක් නොවන බවත් ඔහු පැවසුවා. (යෝබ් 2:9, NW, 11; 4:8; 8:4; 16:2; 22:2, 3) යෝබ් මොන තරම් පීඩාවලට මුහුණ දුන්නත් දැඩි චෝදනාවලට ලක් වුණත් ඔහු නොකඩවා දෙවිට විශ්වාසවන්තව සිටියා. “දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම්” කිරීම ඔහුගේ අතින් සිදු වුණ දුර්වලකමක්. (යෝබ් 32:2, NW) ඒ වුණත් ඔහු නොකඩවාම දෙවිට විශ්වාසවන්තව සිටියා.
8. අන් අයට මඟ පෙන්වීම් දීමට සිදු වන අවස්ථාවලදී අපට එලිහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
8 යෝබ්ව සනසන්න පැමිණ සිටි අය අතර එලිහුද සිටියා. යෝබ් හා ඔහුගේ මිතුරන් තිදෙනා අතර පැවති සාකච්ඡාවට ඔහු හොඳින් සවන් දී ගෙන සිටියා. එලිහු ඔවුන් සියලුදෙනාටම වඩා වයසින් බාල වුණත් ඒ අවස්ථාවේදි කටයුතු කළේ ඉතාමත් ප්‍රඥාවන්ත ලෙසයි. ඔහු යෝබ්ව ඇමතුවේ ගෞරවාන්විත ලෙසයි. පසුව ඔහු යෝබ්ගේ ධර්මිෂ්ඨකම ගැන ඔහුට ප්‍රශංසා කළා. ඒ වගේම යෝබ් තමාගේම ධර්මිෂ්ඨකම ගැන ඕනෑවට වඩා කතා කිරීමේ දුර්වලකම ගැනත් එලිහු යෝබ්ට පෙන්වා දුන්නා. ඉන්පසුව ඔහු පැවසුවේ දෙවිට විශ්වාසවන්තව සිටින අය ඔහුට ඉතා වටිනා බවයි. (යෝබ් 36:1, 11 කියවන්න.) එලිහු ඉතා ඉවසීමෙන් කටයුතු කළ අතර හොඳින් සවන් දුන්නා. ඒ වගේම ප්‍රශංසා කළ යුතු අවස්ථාවලදී එසේ කළා. දිරිගන්වන උපදෙස් ලබා දුන්නා. අන් අයට උපදෙස් දීමට අපටත් අවස්ථාව උදා විය හැකියි. එවිට අපි එලිහුව ආදර්ශයට ගනිමු.—යෝබ් 32:6; 33:32.
9. යෙහෝවා දෙවි යෝබ්ට උපකාර කළේ කෙසේද?
9 ඊළඟට ‘යෙහෝවා දෙවි සැඩ සුළඟ මැදින් යෝබ්ට කතා කළා.’ දෙවි ප්‍රශ්න කිහිපයක් ඔහුගෙන් අසමින් යෝබ්ගේ ආකල්ප නිවැරදි කළේ ඉතා කාරුණික මෙන්ම සෘජු ආකාරයකිනුයි. යෝබ් ඉතා කැමැත්තෙන් ඒවා පිළිගෙන මෙසේ පිළිතුරු දුන්නා. ‘මා ඔබ ඉදිරියේ කිසි වැදගැම්මකට නැති කෙනෙකි. මම දූවිලි හා අළු මත හිඳ මාගේ වරද ගැන දුක් වෙමි.’ නමුත් යෝබ්ව සනසන්න පැමිණි බොරු සැනසිලිකාර මිත්‍රයන් තිදෙනා “සත්‍යය තොරතුරු” නොපැවසීම නිසා දෙවි ඔවුන් ගැන කෝප වුණා. එමනිසා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට යෝබ්ට සිදු වුණා. ඉන් පසුව සිදු වූ දේ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. ‘යෝබ් තම මිත්‍රයන් තිදෙනා වෙනුවෙන් යාච්ඤා කළා. ඊට පසු ඔහු අද්දකිමින් සිටි සියලු දුක් පීඩාවලින් යෙහෝවා දෙවි ඔහුව නිදහස් කළ අතර ඔහුට අහිමි වී තිබූ සියලු ධන සම්පත්වලට වඩා දෙගුණයකින් දෙවි ඔහුට ආශීර්වාද කළා.’—යෝබ් 38:1; 40:4; 42:6-10, NW.
අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද?
10. යෙහෝවා දෙවි සාතන්ගේ චෝදනාව ගණන් නොගෙන නොසිටියේ හෝ ඔහුව විනාශ නොකළේ ඇයි?
10 යෙහෝවා දෙවි මේ මුළු විශ්වයේම නිර්මාණකරු හා පාලකයායි. ඒ නිසා සාතන් කළ චෝදනාව ගණන් නොගෙන ඉන්න දෙවිට නොහැකි වුණාද? නැහැ. සාතන් ගෙනා චෝදනාව ගණන් නොගෙන සිටීමවත් සාතන්ව විනාශ කිරීමවත් ඊට පිළිතුර නොවන බව දෙවි දැන සිටියා. යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියත්, ඔහුට ඇති ධන සම්පත් අහිමි වුණොත් ඔහු දෙවිගෙන් ඈත් වන බව සාතන් පැවසුවා. ඇත්තෙන්ම ඔහුට ඒවා අහිමි වුණා. නමුත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. ඊළඟට සාතන් පැවසුවේ ඕනෑම මිනිසෙකුට ශාරීරිකව පීඩා කළොත් ඔහු දෙවිගෙන් ඈත් වන බවයි. යෝබ් එසේ දුක් වින්දත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. මේ සියල්ලෙන් යෝබ් ඔප්පු කළේ සාතන් බොරුකාරයෙක් බවයි. දෙවිගේ අනෙකුත් සේවකයන් මේ චෝදනාවලට කෙසේ පිළිතුරු දෙයිද?
11. සාතන් කළ චෝදනාවට යේසුස් පිළිතුරු දුන්නේ කෙසේද?
11 දෙවිගේ සේවකයෙකුට සාතන් ගෙනෙන පීඩාව කුමක් වුවත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් ඉන් පෙන්වන්නේ සාතන් බොරුකාරයෙක් බවයි. යේසුස් මේ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු පළමු මිනිසා වූ ආදම් මෙන් පරිපූර්ණ කෙනෙක්. නමුත් ඔහු මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිමින් සාතන්ගේ සියලු චෝදනා බොරු බව ඔප්පු කළා.—එළි. 12:10.
12. දෙවිගේ සෑම සේවකයෙකුටම ඇති වගකීම මෙන්ම වරප්‍රසාදය කුමක්ද?
12 අද සිටින දෙවිගේ නමස්කාරකයන්වද සාතන් පරීක්ෂා කරනවා. එවන් අවස්ථාවලදී අපි දෙවිට සේවය කරන්නේ ඔහුට ප්‍රේම කරන නිසා මිස වාසි ප්‍රයෝජන බලාගෙන නොවන බව පෙන්වමින් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කරන්න අපිටත් හැකියි. අප එම වගකීම සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. එසේ විඳදරාගනිමින් ඔහුට විශ්වාසවන්තව සිටින්න අවශ්‍ය ශක්තිය ඔහු අපට ලබා දෙන බව දැන සිටීම අපට මහත් සහනයක්. ඒ වගේම යෝබ්ගේ සිද්ධියේදී මෙන් දෙවි අපටත් විඳදරාගත හැකි ප්‍රමාණයට වඩා පීඩා කරන්න සාතන්ට ඉඩ නොදෙන බව ස්ථිරයි.—1 කොරි. 10:13.
දෙවිට නමස්කාර කිරීම අත්හැරිය ඔහු
13. සාතන් ගැන යෝබ් පොතේ සඳහන් වන තොරතුරු මොනවාද?
13 සාතන් යෙහෝවා දෙවිට කළ අභියෝගය ගැනත් ඔහු මිනිසුන්ව නොමඟ යවන ආකාරය ගැනත් යම් තොරතුරු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වෙනවා. ඔහුගේ දුෂ්ට අරමුණු ගැන තොරතුරු අපට යෝබ් පොතෙන් සොයා ගත හැකියි. එහි සඳහන් ලෙස, සාතන් දෙවි ඉදිරියේ පෙනී සිටීමට පැමිණියේ දෙවිට ප්‍රශංසා කිරීමට නොවෙයි. සාතන්ට තිබුණේ දුෂ්ට ආකල්පයක් මෙන්ම වැරදි අරමුණක්. ඔහු යෝබ්ට විරුද්ධව චෝදනා එල්ල කිරීමෙන් පසු යෝබ්ට පීඩා කිරීමට ඔහු “යෙහෝවා දෙවි ඉදිරියෙන් පිටත්ව” ගියා. (යෝබ් 1:12; 2:7, NW) සාතන් ගැන තවත් බොහෝ තොරතුරු ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබෙනවා. සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කරන ආකාරයත් සාතන්ව විනාශ කරන ආකාරයත් එළිදරව් පොතෙන් අපට ඉගෙනගත හැකියි.
14. සාතන් යෝබ් කෙරෙහි ක්‍රියා කළේ කෙසේද?
14 සාතන් කියන්නේ මිනිස් වර්ගයාට ඉතා කෲර ලෙස සලකන පුද්ගලයෙක් බව යෝබ් පොතේ විස්තර කර තිබෙනවා. යෝබ් 1:6හි සඳහන්වූ ස්වර්ගයේ රැස්වීමේ සිට යෝබ් 2:1හි සඳහන් ඊළඟ රැස්වීම අතර යම් කාලපරිච්ඡේදයක් ගෙවී ගියා. සාතන් යෝබ්ට දරුණු ලෙස පීඩා කළේ ඒ කාලයේදීයි. යෝබ් ඒ සෑම පීඩාවකදීම දෙවිට විශ්වාසවන්තව සිටි නිසා සාතන්ට මෙසේ පැවසීමට දෙවිට හැකි වුණා. ‘කිසිම හේතුවක් නැතිව ඔබ ඔහුට [යෝබ්ට] පීඩා කරන්න මගෙන් අවසර ගත්තද දුෂ්කරතා මැද ඔහු තවමත් විශ්වාසවන්තව සිටියි.’ ඒ වුණත් සාතන් තම පරාජය පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට තවත් දරුණු පීඩාවකින් යෝබ්ව පරීක්ෂා කරන්න අවස්ථාව ඉල්ලුවා. ඒ අනුව සාතන්, යෝබ්ට ධන සම්පත් තිබූ අවස්ථාවේදී මෙන්ම ඔහු අන්ත අසරණ තත්වයකට ඇද වැටී සිටි අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කළා. ඉන් පැහැදිලි වන්නේ සාතන්, දිලිඳු හෝ යම් විපතකට මුහුණ දී සිටින කෙනෙකු කෙරෙහිවත් කිසිම අනුකම්පාවක් නැතුව කෲර ලෙස ක්‍රියා කරන පුද්ගලයෙකු බවයි. ඒ වගේම දෙවිට විශ්වාසවන්තව සිටින අය කෙරෙහි මොන තරම් වෛරයක් ඔහුට තිබෙනවාද කියා අපට පැහැදිලියි. (යෝබ් 2:3-5, NW) කෙසේනමුත් යෝබ්ගේ සිද්ධියෙන් ඔප්පු වුණේ සාතන් බොරුකාරයෙක් බවයි.
15. දෙවිට නමස්කාර කිරීම අත්හැර තිබෙන අය හා සාතන් අතර ඇති සමානකම කුමක්ද?
15 දෙවිට නමස්කාර කිරීම අත්හැර ගිය මුල්ම පුද්ගලයා වන්නේ සාතන්.අද සිටින දෙවිට නමස්කාර කිරීම අත්හැර ගොස් තිබෙන අය තුළත් සාතන්ගේ එම ගතිලක්ෂණම දැකගත හැකියි. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ සහෝදරයන්ව, වැඩිමහල්ලන්ව හෝ පාලක මණ්ඩලය විවේචනය කිරීමයි. ඔවුන්ගෙන් සමහරුන් යෙහෝවා යන දෙවිගේ නාමය භාවිත කරනවාටද විරුද්ධයි. යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමටවත් ඔහුට සේවය කිරීමටවත් ඔවුන්ට කිසිම ඕනෑකමක් නැහැ. ඔවුන්ගේ පියා වන සාතන් මෙන් ඔවුන් උත්සාහ කරන්නේද දෙවිට විශ්වාසවන්තව සිටින අයට හානි කිරීමටයි. (යොහ. 8:44) යෙහෝවා දෙවිගේ සේවකයන් ඔවුන් සමඟ කිසිම සබඳතාවක් පවත්වන්නේ නැත්තේ ඒ නිසයි.—2 යොහ. 10, 11.
යෝබ්, දෙවිගේ නාමය උසස් කළා
16. පීඩාවලට මුහුණ දුන්නත් යෝබ්ට දෙවි ගැන තිබූ ආකල්පය කුමක්ද?
16 යෝබ් යෙහෝවා යන දෙවිගේ නාමය භාවිත කළ අතර ඊට ප්‍රශංසා කළා. තම දරුවන්ගේ මරණය ගැන ආරංචි වූ අවස්ථාවේදීවත් ඔහු දෙවිට අගෞරවය ගෙන දෙන කිසිවක් පැවසුවේ නැහැ. ඔහුට තිබූ සියල්ල දෙවි ගත්තාය යන වැරදි නිගමනයට ඔහු එළඹුණ බව ඇත්තයි. නමුත් ඔහු ඒ අවස්ථාවේදීත් කළේ දෙවිට ප්‍රශංසා කිරීමයි. යෙහෝවා දෙවි පැවසූ දෙයක් යෝබ් මෙසේ සඳහන් කරනවා. “ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය. අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.”—යෝබ් 28:28, NW.
17. දෙවිට විශ්වාසවන්තව සිටීමට යෝබ්ට උපකාරවත් වුණේ කුමක්ද?
17 දෙවිට මෙතරම් විශ්වාසවන්තව සිටීමට යෝබ්ට උපකාරවත් වුණේ කුමක්ද? ඔහුට විපත් පැමිණෙන්න පෙර සිටම ඔහු යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගෙන තිබුණා. සාතන් යෙහෝවා දෙවිට විරුද්ධව කළ චෝදනාව ගැන යෝබ් දැන සිටියාද යන්න ගැන අපට සාක්ෂි නැහැ. කෙසේනමුත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටිමට අධිෂ්ඨාන කරගත්තා. ඒ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.” (යෝබ් 27:5, NW) යෝබ් දෙවි සමඟ මෙතරම් කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගත්තේ කෙසේද? යෙහෝවා දෙවි ආබ්‍රහම් ඊසාක් සහ යාකොබ් සමඟ කටයුතු කළ ආකාරය ගැන ඔහු අසා තිබෙන්න ඇති. දෙවිගේ එවන් ක්‍රියා ඔහු අගය කළ බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙන්ද දෙවිගේ අගනා ගුණාංග බොහෝමයක් ඔහු ඉගෙනගන්න ඇති.—යෝබ් 12:7-9, 13, 16 කියවන්න.
18. (අ) යෝබ්, දෙවිට ඇති විශ්වාසවන්තභාවය පෙන්වූයේ කෙසේද? (ආ) ඔහුව ආදර්ශයට ගැනීමට අපට හැක්කේ කෙසේද?
18 දෙවි ගැන යෝබ් ඉගෙනගෙන තිබූ දේවල් නිසා දෙවිව සතුටු කරන්න ඔහු පෙලඹුණා. තම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ “සිතින් දෙවිට දොස් නඟා” ඇතැයි කියා සිතූ යෝබ් දෙවිට නොකඩවා පූජා ඔප්පු කළා. (යෝබ් 1:5, NW) ඔහු දරුණු පීඩාවලට මුහුණ දුන්නත් නිතරම කතා කළේ දෙවිට ප්‍රශංසා ගෙන දෙන ආකාරයෙනුයි. (යෝබ් 10:12) ඔහු අපිට කදිම ආදර්ශයක්. අපත් දෙවි පිළිබඳ හා ඔහුගේ අරමුණු පිළිබඳ නිවැරදි අවබෝධය නොකඩවා ලබා ගත යුතුයි. ඒ සඳහා අපි හොඳ සැලැස්මකට අනුව බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහභාගි වීම, යාච්ඤා කිරීම හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීමෙන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගනිමු. ඒ වගේම දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න අපිට හැකි උපරිමය කරමු. යෝබ් දෙවිගේ සිත සතුටු කළා හා සමානව දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ඔහුගේ සිත සතුටු කිරීමට ඔහුගේ සේවකයන් වන අප සියල්ලන්ටම හැකියි. ඒ ගැන තවදුරටත් අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
ඔබට මතකද?
• යෝබ් සාතන්ගේ ඉලක්කය බවට පත් වුණේ ඇයි?
• යෝබ් විඳදරාගත් පීඩා මොනවාද, එමෙන්ම ඔහු ඒවාට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
• යෝබ් මෙන් දෙවිට විශ්වාසවන්තව සිටින්න අපට උපකාර කරන්නේ කුමක්ද?
• යෝබ් පොතෙන් අප සාතන් ගැන ඉගෙනගන්නේ කුමක්ද?
[4වන පිටුවේ පින්තූරය]
සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය පිළිබඳ ප්‍රශ්නය ගැන යෝබ්ගේ වාර්තාවෙන් අපට පෙන්වා දෙනවා
[6වන පිටුවේ පින්තූරය]
ඔබ දෙවිට දක්වන විශ්වාසවන්තකම අභියෝගයට ලක් විය හැක්කේ කුමන අවස්ථාවලදීද?