ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 29-31 පි.
  • ලෙඩින් වුණත් සතුටින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෙඩින් වුණත් සතුටින්
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අමාරුම කාලය
  • සහනයත් සතුටත්
  • සතුට බෙදාගැනීම
  • යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුර්වලව හිටියත් ශක්තිමත්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අංගවිකල වුවත් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්
    2000 පිබිදෙව්!
  • දැන් අනිත් අයටත් උදව් කරන්න මට පුළුවන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 29-31 පි.

ලෙඩින් වුණත් සතුටින්

පෝලට් ගැස්ප

ඉපදෙද්දී මාව සාමාන්‍ය දරුවෙක් වගේ පෙනුණට මගේ තත්වය බරපතළයි කියලා වෛද්‍යවරුන් දැනගෙන හිටියා. කොච්චර බරපතළද කියනවා නම් මම ඉපදෙද්දිම මගේ ඇටකටු පුපුරලයි තිබුණේ. ඒ ලෙඩේ හැඳින්නුවේ අස්ථි බිඳී යෑමේ රෝගය (ඔස්ටියෝජනිසිස් ඉම්පෆෙක්ටා) කියලයි. ඉපදුණ ගමන්ම මට සැත්කමක් කළා. වෛද්‍යවරුන් සිතුවේ එදාම මං මැරෙයි කියලයි.

මම ඉපදුණේ 1972 ජූනි 14වෙනිදා ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරාවලයි. ඉපදිලා වැඩි දවසක් යන්න කලින් මට නියුමෝනියාව හැදුණා. මම මැරෙයි කියල හිතපු වෛද්‍යවරු මට බෙහෙත් නොදී “වෙච්ච දෙයක් වුණාවේ කියල මාව අත ඇරලා දාන්න” තීරණය කළා. හැමෝම හිතුවේ මං මැරෙයි කියලා. හැබැයි වුණේ ඊට වඩා වෙනස් දෙයක්.

මං මැරුණෙ නැහැ. හැබැයි රෝහලේ කාර්ය මණ්ඩලය කියල තිබුණෙ ඕනෑවට වඩා දරුවා ගැන හිතන්න එපා කියලයි. මගේ සිරුරට හානියක් වෙයි කියල හිතපු නිසා මුල් මාස තුනේදී අම්මටයි තාත්තටයි මාව අල්ලන්නවත් දීල නැහැ. මගේ අම්මයි තාත්තයි මං හින්දා ගොඩාක් දුක් වුණා. මං මැරෙන්නෙ නැහැ කියල තේරුණාම මාව ආබාධිත ළමා නිවාසයකට දාන්න කියලා වෛද්‍යවරු අම්මලාට කියල තියෙනවා.

ඒත් අම්මයි තාත්තයි එහෙම කළේ නැහැ. එයාලා මාව ගෙදර අරං ගියා. ඊට ටික කාලෙකට කලින් අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරගෙන තිබුණා. බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා මාව බලාගන්න වගකීමක් තියෙනවා කියලා අම්මාට වැටහුණා. ඒත් ඒක අම්මට ලේසි දෙයක් වුණේ නැහැ. මොකද එයාට නිතරම මාව ඉස්පිරිතාලෙ ගෙනි යන්න සිද්ධ වුණා. ඒ වගේම මගේ අස්ථි දුර්වල නිසා මාව නාවද්දි වුණත් ගොඩාක් පරිස්සම් වෙන්නත් සිද්ධ වුණා. කොටින්ම කියනවා නම් මට කිඹුහුමක් ගියත් ඇටකටු කැඩෙන්න ඉඩ තිබුණා.

අමාරුම කාලය

මට ඇවිදින්න කොහොමටවත් බැරි නිසා මම වැඩි හරියක් හිටියේ රෝද පුටුවේ. මොන ප්‍රශ්න ගැටලු තිබුණත් මගෙ අම්මයි තාත්තයි කිසිම අඩුවක් නැතුව මාව බලාගත්තා.

මම තව ටිකක් ලොකු වෙද්දී අම්මා බයිබලයෙන් ඉගෙනගත්තු සැනසිලිදායක දේවල් මට කියල දුන්නා. අම්මා කිව්වා අනාගතයේදී දෙවි මේ පොළොව පාරාදීසයක් කරන්න යනවා කියලා. එදාට හැමෝම ශාරීරිකවත් අනිත් හැම අතින්මත් සම්පූර්ණ වෙනවා කියලත් කිව්වා. (ගීතාවලිය 37:10, 11; යෙසායා 33:24) හැබැයි ඒ දේවල් දැන්මම වෙයි කියලා හිතන්න එපා කියලත් අම්මා මට කිව්වා.

මුලින්ම මම ගියේ ආබාධිත ළමයි යන පාසැලකටයි. ගුරුවරුන් මං ගැන ඒ තරම් සැලකුවේ නැහැ. මමත් අනාගතය ගැන හිතුවේ නැහැ. පංතියේ ළමයි මට ගොඩාක් හිරිහැර කළා. ඒ නිසා මට ඉස්කොලෙත් එපා වෙලයි තිබුණේ. පස්සෙ කාලෙකදී මාව සාමාන්‍ය පාසැලකට දැම්මා. ඒකත් මට ලේසි වුණේ නැහැ. අනිත් ළමයි එක්ක කටයුතු කරන එක මට අභියෝගයක් වුණා. ඒ වුණත් උසස් පෙළ වෙනකම්ම ඉගෙනගන්න මම අධිෂ්ඨාන කරගත්තා.

උසස් පෙළ කරන කාලෙදී මට ගොඩක් දේවල් වැටහුණා. මගෙ ඉස්කොලෙ ළමයින්ගෙ ජීවිතය මොන තරම් හිස්ද කියල මට තේරුණා. අම්මා බයිබලයෙන් කියල දුන්නු දේවල් ඇත්තයි කියලත් මට වැටහුණා. ඒ වුණත් මම ඒවා එච්චර ගණන් ගත්තෙ නැහැ. මොකද මට ඕන වුණේ හෙටක් ගැන නොහිතා විනෝද වෙන්නයි.

අවුරුදු 18 වෙද්දී මම ගෙදරින් ගිහින් වෙනමම ජීවත් වෙන්න තීරණය කළා. මං වගේ ආබාධිත කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා අපි ගෙයක් ගත්තා. මං කැමති විදිහට මට ඉන්න පුළුවන් නිසා ඒක මට අලුත් අද්දැකීමක් වුණා. ඒක මට ලොකු සතුටක් වුණත් හැම වෙලේම නෙමෙයි. උදාහරණයකට මගේ යාළුවෝ හුඟදෙනෙක් විවාහ වුණා. මටත් විවාහ වෙන්න ලොකු ආශාවක් තිබුණා. හැබැයි ඉතින් මගේ තත්වය නිසා ඒ සිහිනය සැබෑ වෙයි කියලා හිතන්න බැරි වුණා.

කොහොමවුණත් මං කවදාවත් මගේ තත්වය ගැන දෙවිට දොස් කිව්වේ නැහැ. (යෝබ් 34:10) හිත හදාගන්න බැලුවත් මං ගොඩාක් අධෛර්යට පත් වුණා. ඒක තමයි මගේ ජීවිතයේ අමාරුම කාලය වුණේ.

සහනයත් සතුටත්

මම එහෙම ඉද්දී, අම්මා මගේ තත්වය තේරුම්ගත්තා. අම්මා, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක ඉන්න වගකීම් දරන කෙනෙකුට මං ගැන දැනුම් දුන්නා. ඔහු රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීමකට එන්න කියලා මට ආරාධනා කළා. ඒත් එක්කම ඒ සභාවේ හිටිය සහෝදරියක් මාත් එක්ක හැම සතියෙම බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා.

පොඩි කාලෙ අම්මා බයිබලයෙන් කියලා දුන්නු දේවල් මට ටිකෙන් ටික මතක් වෙන්න පටන්ගත්තා. ඊට පස්සෙ මම ජීවිතය ගැන හිතපු විදිහත් වෙනස් කරන්න පටන්ගත්තා. සභාවේ සහෝදරයන්ව ආශ්‍රය කරන්න ආස වුණත් මං විඳපු කටුක අද්දැකීම් නිසා කිසිම කෙනෙකුට ඕනෑවට වඩා ළං වෙන්න මම භය වුණා. දෙවිට ළං වෙන්නත් ඒක මට ලොකු බාධාවක් වුණා. කොහොමවුණත් මගේ ජීවිතය දෙවිට කැප කරන්න මම තීරණය කළා. ඉතිං 1991 දෙසැම්බර් මාසයේදී වතුරෙන් බව්තීස්ම වෙලා මගේ ජීවිතය දෙවිට කැප කළා.

මම ආපහු දෙවෙනි වතාවටත් නවාතැන මාරු කළා. මේ වතාවේදී මම තනියම ඉන්න තීරණය කළා. ඒ තීරණයේ වාසිත් අවාසිත් දෙකම තිබුණා. කවුරුහරි ගෙට ඇවිත් මට කරදරයක් කරයිද කියන භය නිසා මම ආපහු මානසිකව වැටුණා. සිනහමුසු මුහුණින් ඉන්න හැදුවත් නිතරම හිටියෙ හිත කැළඹිලයි. අනේ මට විශ්වාසවන්ත මිතුරියෙක් හිටියා නම් කියල මට හිතුණා.

සභාවේ වගකීම් දරන සහෝදරයන් සූසි කියන විවාහක සහෝදරියව මාත් එක්ක තවදුරටත් බයිබලය පාඩම් කරන්න එව්වා. ටිකෙන් ටික ඇය මගේ හොඳම යාළුවා වුණා. මේ විදිහට මට උපකාර කළ නිසා මගෙ හිතේ තියන දේ දෙවි තේරුම්ගත්තා කියලා මට දැනුණා.

බයිබලයේ තියෙන පණිවිඩය අනිත් අයත් එක්ක බෙදාගන්න සූසි මාව පුහුණු කළා. දෙවි කවුද කියල මම තේරුම්ගන්න පටන්ගත්තා. මම බව්තීස්ම වෙලා හිටියත් දෙවි සමඟ තියෙන බැඳීම තවත් වැඩි කරගන්න අවශ්‍යව තිබුණා. එක් අවස්ථාවකදී යම් හේතුවක් නිසා දෙවිව අත්හරින්න පවා මට හිතුණා. ඒත් එහෙම නොකරන්න සූසි තමයි මට උදව් කළේ.

දෙවිට ආදරේ නැති අයව ආශ්‍රය කිරීමෙන් මගේ සතුට ගිලිහී යනවා කියන එක තේරුම්ගන්නත් මට උදව් කළේ සූසියි. ඒ නිසා මම ආශ්‍රය කරන අයව වෙනස් කරලා දෙවිට ආදරේ අයවත් වයසින් වැඩි අයවත් ආශ්‍රය කරන්න පටන්ගත්තා. මේ වෙන කල් මම මගේ අම්මා එක්ක ඒ තරම් හොඳින් නෙමෙයි හිටියේ. හැබැයි මම ආයෙත් අම්මයි අයියයි එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒ නිසා වෙන කවදාකටත් වඩා ලොකු සතුටක් මට දැනුණා. ඒ සතුටට හේතු වුණේ සභාවේ හිටපු සහෝදර සහෝදරයින් වගේම මගේ පවුලේ අයයි. හැබැයි ඔක්කොටම වඩා සතුටින් ඉන්න මට උදව් කළේ යෙහෝවා දෙවියි.—ගීතාවලිය 28:7.

සතුට බෙදාගැනීම

මම සහභාගි වුණු එක් සමුළුවක, පූර්ණකාලීන දේවසේවය කරද්දී බොහෝදෙනා අද්දකින ප්‍රීතිය ගැන කතාවක් ඉදිරිපත් කළා. ඊට පස්සෙ මට හිතුණා ‘ඇයි මටත් එහෙම කරන්න බැරි’ කියලා. ඒක මට ලේසි වෙන්නේ නැති බව ඇත්තයි. කොහොමවුණත් මං ඒ ගැන හුඟක් දෙවිට යාච්ඤා කරලා පූර්ණකාලීන සේවය කරන්න තීරණය කළා. මට 1998 අප්‍රියෙල් මාසයේදී පූර්ණකාලීන දේවසේවකයෙක් හැටියට සේවය කරන්න ලැබීම සතුටක් වුණා.

මම කාටවත් බරක් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. එහෙමනම් මම දේශනා සේවයේ හවුල් වුණේ කොහොමද කියල ඔයාලා කල්පනා කරයි. මේ අවස්ථාවේදී සූසියි එයාගේ මහත්තයයි මට යෝජනා කළා මෝටර් සයිකලයක් ගන්න කියලා. ඒත් මම කොහොමද ඒක පදින්නේ? මේ පින්තූරේ තියෙන විදිහට ඒක හදලා තියෙන්නේ මටම ගැළපෙන විදිහටයි. මෝටර් සයිකලයට නඟින්න රෝද පුටුවෙන් බහින්නවත් ඕන නැහැ.

මෝටර් සයිකලය නිසා මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා. මට දැන් විවිධ අය එක්ක ඔවුන් කැමති වෙලාවට ගිහින් බයිබලය පාඩම් කරන්න පුළුවන්. ඒක පදිද්දී මූණට හුළං වදිනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.

මඟ තොටේ මුණගැහෙන අය එක්ක බයිබලය ගැන කතා කරන්න මං කැමතියි. බොහෝ වෙලාවලදී ඒ අයත් මට හොඳින් සවන් දෙනවා. දවසක්දා වෙච්ච දේ මතක් වෙනකොට මට හිනත් යනවා. එදා මම ගෙයින් ගෙට සේවයේ ගියේ ටිකක් උස සහෝදරයෙක් එක්ක. ඔහු ඒ ගෙදර හිටිය එක්කෙනා එක්ක කතා කරද්දී එයා කට ඇරගෙන මා දිහා බලාගෙන හිටියා. ඇය එකපාරටම සහෝදරයාගෙන් ඇහුවා “මෙයාට කතා කරන්න බැරිද” කියලා. එදා නම් අපි හොඳටම හිනා වුණා. ඉතින් මමම ඒ කාන්තාවට අපේ පණිවිඩය කිව්වට පස්සේ ඇයට තේරෙන්න ඇති මට කතා කරන්න පුළුවන්ද බැරිද කියලා.

ලෙඩින් වුණත් මම දැන් ඉන්නේ සතුටින්. ඒ වගේම මම යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නත් ඉගෙනගෙන තියෙනවා. මට බයිබලයේ තියෙන සත්‍යය ඉගැන්නුවාට මම මගේ අම්මාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම දැන් ලොකු විශ්වාසයකින් බලාගෙන ඉන්නෙ කිලෝ ග්‍රෑම් 19ක් වන මගේ පුංචි සිරුර ඇතුළු ‘සියල්ල අලුතෙන් සාදන’ දවස එන තුරුයි!—එළිදරව් 21:4, 5.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“හිත හදාගන්න බැලුවත් මං ගොඩාක් අධෛර්යට පත් වුණා”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න