ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 6/1 18-21 පි.
  • හද කම්පා වුණත් දුක දරාගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හද කම්පා වුණත් දුක දරාගත්තා
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අලුත් දෙයක් සොයාගත්තා
  • පූර්ණකාලීනව දෙවිගේ සේවයේ
  • හද කම්පා වෙයි
  • එතනින් නතර වුණේ නැහැ
  • දුක් ගැහට මැද ප්‍රීතියෙන්
  • මගේ ජීවිතේ සෑම දවසකම මාව ශක්තිමත් කළේ යෙහෝවායි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවන් අටදෙනෙකුව යෙහෝවාගේ මාර්ගයේ පුහුණු කිරීම අභියෝගයක් වගේම ප්‍රීතියක්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 6/1 18-21 පි.

හද කම්පා වුණත් දුක දරාගත්තා

එන්රීකේ කරවාකා අකොස්තා

කාලෙකට පස්සේ, එදා 1971 අප්‍රියෙල් 15වෙනිදා මං ගෙදර ආවේ හැමෝම දැකගන්න ආසාවෙන්. හැමෝම ගෙදර ඉඳියිද? ඉස්සෙල්ලම කාව දකින්න ලැබෙයිද කියලා හිත හිතයි මං ආවේ. ඒත් ආවහම දකින්න ලැබුණේ අදහාගන්න බැරි දෙයක්. අම්මාවයි තවත් තුන්දෙනෙකුවයි මරලා දාලා තිබුණා.

මගේ ඇඟ සීතල වෙලා ගියා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. අහළ පහළ කවුරුත් හිටියෙත් නැහැ. ඒ ගැන කියන්න කලින් මා ගැන ටිකක් කියලා ඉන්නම්. එතකොට මේ සිද්ධියට විතරක් නෙවෙයි තවත් කටුක සිද්ධීන් රැසකට මුහුණ දෙද්දී මට හැඟුණ ආකාරය තේරුම්ගන්න ඔබට පහසු වෙයි.

අලුත් දෙයක් සොයාගත්තා

මම ඉපදුණේ කොස්ටාරිකාවල නීකෝයා නගරයෙයි. මට වයස අවුරුදු 37දී, ඒ කියන්නේ 1953දී, මගේ දෙමාපියන් එක්ක මම ජීවත් වුණේ ගොවිපොළකයි. අපි කතෝලික ආගමේ හිටියත් සමහර ඉගැන්වීම් ගැන අපිට තිබුණේ ප්‍රශ්නාර්ථයක්.

අනටෝලියෝ ආල්ෆාරො කියන තැනැත්තා දවසක් උදේ වරුවක අපේ ගෙදර ඇවිත් බයිබලය පාඩම් කරන්න කියලා අපිට උනන්දු කළා. ඔහු අපිට බයිබලයෙන් හුඟක් දේවල් ඉගැන්නුවා. තාත්තයි, අම්මයි, මල්ලියි, නංගියි, නංගිගේ මිතුරියයි, මමයි ඉඳගෙන ඔහුට හොඳින් සවන් දුන්නා. අපි හුඟක් ප්‍රශ්න ඇහුව හින්දා දවල් පටන්ගත්ත සාකච්ඡාව මහ රෑ වෙනකම්ම ගියා.

එදා රෑත් පහුවෙනිදාත් අනටෝලියෝ අපේ ගෙදර නැවතුණා. අපේ ප්‍රශ්නවලට බයිබලයෙන්ම උත්තර ලැබුණහම අපිට දැනුණේ ලොකු සතුටක්. ඒවා අපේ හිතට කාවැදුණා. ඇත්ත දැනගන්න ලැබුණ බව අපිට වැටහුණා. බයිබලයේ තියෙන දේවලට අදාළ සඟරා සහ පොත් ඔහු දීලා ගියා. අපි පවුලේ කට්ටිය එකතු වෙලා හැන්දෑ වරුවල ඒවා පාඩම් කළා. අපිට විදුලි බලය තිබුණේ නැති හින්දා ඒක පහසු දෙයක් වුණේ නැහැ. මදුරුවෝ වැහි වැහැලා හිටිය නිසා ගෝනි ඇතුළට කකුල් දාගෙනයි අපි පාඩම් කළේ.

ඊට මාස හයකට පස්සේ අපේ දෙමාපියන් ඇතුළු පවුලේ පස්දෙනෙක්ම බව්තීස්ම වුණා. ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න ගෙයින් ගෙට යන්නත් අපි පටන්ගත්තා. කරෙයෝ නම් නගරයේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර කණ්ඩායමක් මුණගැහෙන්න සමහර දාට පැය දෙකක් විතර අපි ඇවිද්දා. අනිත් දවස්වල අශ්වයන්ගේ පිටෙන් ගියා. අනටෝලියෝ දිගටම ඇවිත් අපිට බයිබලය ඉගැන්නුවා. ඊට පස්සේ අපේ ගෙදර රැස්වීම් තියන්න පටන්ගත්තා. මුලින් හිටියේ අටදෙනයි. අටදෙනාම බව්තීස්ම වුණා. අන්තිමේදී 20දෙනෙක් විතර ඉන්න සභාවක් බවට ඒක පත් වුණා.

පූර්ණකාලීනව දෙවිගේ සේවයේ

පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න කැමති අයට, ඒ සඳහා ඉල්ලුම් කරන්න කියලා කොස්ටාරිකාවල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් ආරාධනාවක් ලැබුණා. මං කැමැත්ත පළ කරපු හින්දා 1957දී පූර්ණකාලීන දේවසේවයට ඇතුල් වෙන්න මට අවස්ථාව ලැබුණා. ගම්බද පළාත්වල ජනයා මුණගැහෙන්න නිතරම ගියේ තනියෙන් පැය ගානක් ඇවිදිලයි. සමහරු මාව ගෙදරට ගත්තෙත් නැහැ. මට මතක හැටියට තුන් වතාවක් විතර පිහි අමෝරාගත්ත මිනිස්සු මං මොනවද කරන්නේ කියලා දැනගන්න මට තර්ජනය කළා. මේ වගේ දේවලට මූණ දුන්නත් මේ සේවයේ යෙදුණේ ප්‍රීතියෙන්.

එක්දාස් නවසිය පනස් ගණන්වල ගමන් බිමන් යෑම ඒ තරම් පහසු වුණේ නැහැ. වැඩි හරියක් තිබුණේ කැලෑ පාරවල්. සමහර පැතිවලට යන්න පාරවල් තිබුණෙම නැහැ. ඒ හින්දා අශ්වයන්ගේ පිටේ යන්නත් ගඟවල්වලින් එතෙර වෙන්නත් රෑ ජාමේ එළිමහනේ නිදාගන්නත් සිද්ධ වුණා. මදුරු කරදරෙත් අඩුවක් තිබුණේ නැහැ. කොයි මොහොතේ හරි නයෙක් පොළඟෙක් දෂ්ට කරයි, කිඹුල්ලු කයි කියන භයත් අපිට තිබුණා. මේ දුෂ්කරතා මැද්දේ දෙවිගේ වචනය මිනිසුන්ට කියා දීලා ගෙදර ගියාම දැනුණ සතුට විස්තර කරන්න මට වචන නැහැ. ඒ වගේම නිතිපතා පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීමෙනුත් සතුටක් ලැබුවා. ඒ නිසා දෙවි සමඟ තිබුණ මගේ බැඳීම දිනෙන් දින වැඩි වුණා.

කල් යද්දී තවත් සේවා පැවරුම් කීපයක් ලැබුණා. සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කරපු හින්දා අවුරුදු දහයකට වැඩි කාලයක් පුරා විවිධ ප්‍රදේශවල තිබුණ සභාවලට හැම සතියකම ගියා. අසනීප තත්වය නිසා ඒ සේවයෙන් සමුගන්න සිද්ධ වුණත් දිගටම දේවසේවකයෙක් හැටියට පූර්ණකාලීන සේවයේ යෙදුණා.

හද කම්පා වෙයි

දැන් මම මුලින් සඳහන් කළ සිද්ධිය කියන්නම්. එදා මම ගෙදර ගියේ මගේ පවුලේ අයව බලන්නයි. ඒත් ගෙට ඇතුල් වෙනකොටම අම්මා බිම වැටිලා හිටියා. අම්මට පිහියෙන් ඇනලා වෙඩි තියලා තිබුණා. අම්මව උස්සද්දී පණ ඇද ඇද හිටියත් මගේ අත් දෙකේ ඉද්දිම එයාගේ පණ ගියා. ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු 80යි. වට පිට බලද්දී ගැබිණියක්ව හිටිය මෙහෙකාරියත් කුස්සියේ මැරිලා වැටිලා ඉන්නවා දැක්කා. ඇගේ කුසේ හිටිය දරුවාට මාස අටයි. සභාවේ කාන්තාවකුත් කොරිඩෝරයේ මරා දාලා. මෙහෙකාරියගේ පුංචි පුතාවත් නාන කාමරයේ මරා දාලා තිබුණා. මේ තරම් බිහිසුණු අපරාධයක් කළේ කවුද? ඇයි මෙහෙම කළේ?

නිවසෙන් එළියට යද්දි තාත්තත් බිම වැටිලා හිටියා. තාත්තගේ ඔළුවට වෙඩි පාරක් වැදිලා තිබුණත් එයාට පණ තිබුණා. උදව්වක් ඉල්ලන්න මම මල්ලිගේ ගෙදරට දිව්වා. එහෙට යන්න විනාඩි 15ක් විතර ගත වෙනවා. ඒ යද්දී තවත් කාන්තාවකුත් ඇගේ පුතාවත් මරා දාලා තිබුණා. මෙච්චර දෙයක් කරලා තියෙන්නේ මගේ නංගිගේ 17 හැවිරිදි පුතයි. ඔහු ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්නවත් බැහැ. ඔහු මානසික රෝගියෙක්. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් නෙවෙයි. අපරාධය කළාට පස්සේ ඔහු පැනලා ගිහින් තිබුණා. කොස්ටාරිකාවල ඊට කලින් කවදාවත් අපරාධකරුවෙකුව සොයන්න ඒ තරම් මහන්සි වෙලා තිබුණේ නැහැ.

මේ කතාව රටේ ප්‍රවෘත්තිවලටත් කිව්වා. දවස් හතකට පස්සේ පොලිසියෙන් මගේ නංගිගේ පුතාව හොයාගත්තා. ඒ වෙද්දිත් ඔහුගේ අතේ ලොකු පිහියකුයි පිස්තෝලයකුයි තිබුණා. කෙනෙක් ඔහුට මේවා විකුණලා තිබුණේ ඔහු මානසික රෝගියෙක් බව දැනගෙනමයි. නංගිගේ පුතාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පැනලා යන්න හදලා. එතකොට ඔහුට වෙඩි තියලා මරා දාලා.

බිහිසුණු අපරාධය සිද්ධ වුණ කාලයේදී, මටත් කරදරයක් වෙන්න පුළුවන් නිසා ඒ පළාතෙන් යන්න කියලා හුඟදෙනෙක් මට අවවාද කළා. මගේ පවුලේ අය වගේම සභාවේ අය එක්කත් ඉන්න ඕන කියලා මට හැඟුණ නිසා මං ඒ ගැන යාච්ඤා කළා. මම ඉන්න තීරණය කළා.

එතනින් නතර වුණේ නැහැ

වෙඩි වැදුණට පස්සේ තාත්තා ජීවත් වුණේ අවුරුද්දක් විතරයි. ඊළඟ අවුරුද්දේ යෙහෝවා දෙවිට සේවය කර කර හිටිය මගේ නංගිවත් මරා දාලා තිබුණා. මේක කලින් සිද්ධියට අදාළ නැහැ. ආපහු මගේ නෑදෑයන්ගේ හද කම්පා වුණා. ඒ දුක අපි දරාගත්තේ කොහොමද කියලා හිතන්නත් අමාරුයි. අපිව ශක්තිමත් කරන්න කියලා මම දිගටම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලන්ට දවස් තුනක පුහුණුවක් ලබා දෙන පංතියක් 1985දී සැන් හෝසෙවල පැවැත්තුවා. මම ඒකට ගියා. පංතිය අවසන් වෙද්දී දෙවි එක්ක තිබුණ බැඳීම තවත් ශක්තිමත් වුණා කියන්න පුළුවන්. මොකද ඊට පස්සෙ දවසක් මම ගෙදර එන්න බස් නැවතුම්පොළට යද්දී මැරයන් කීපදෙනෙක් මගේ බෙල්ල මිරිකලා මා ළඟ තිබුණ දේවල් අරගත්තා. ඒ සිද්ධියෙන් මගේ උගුරු දණ්ඩට හානි වුණ නිසා ඊට පස්සේ මට ආචාර කරගන්නවත් බැරි වුණා. කොස්ටාරිකාවල එකිනෙකා මුණගැහෙද්දි සාමාන්‍ය සිරිත තමයි ශබ්ද නඟා ආචාර කිරීම. මාත් කලින් ඒකට දක්ෂව හිටියා.

වර්ෂ 1979දී මම සීල්යා කියන සාක්ෂිකාරියව විවාහ කරගත්තා. එයා බයිබලයේ තියෙන දේවලට හුඟක් ගරු කළ කෙනෙක්. අපි දෙන්නා හැමදාම එකට බයිබලය කියවලා අධ්‍යයනය කළා. කොහොමවුණත් 2001 ජූලි මාසේදී පිළිකාවක් හැදිලා එයා මැරුණා. එදා ඉඳන් මට ලොකු තනිකමක් දැනුණා. ඒ වුණත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හිතද්දී මට ලොකු ශක්තියක් දැනෙනවා.—යොහන් 5:28, 29.

දුක් ගැහට මැද ප්‍රීතියෙන්

හුඟදෙනෙකුට වඩා මම වේදනා විඳලා තිබුණත් ඒ හැම පීඩාවක්ම දෙවි කෙරෙහි ඇති මගේ විශ්වාසය වැඩි කරගන්න පඩි ගලක් කරගත්තා. (යාකොබ් 1:13) කටුක අද්දැකීම්වලට මූණ දීපු අවස්ථාවලදී සාධාරණව හිතන්න මම පුරුදු වුණේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැකි’ බව මතක් කරගැනීමෙනුයි. (දේශනාකාරයා 9:11, නව ලොව පරිවර්තනය, NW) ඒ වගේම මේ කාලය හිත් පිත් නැති දරුණු මිනිස්සු ඉන්න ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලයක්’ බවත් මම මතක තියාගන්නවා. (2 තිමෝති 3:1-5) යෝබ්ගේ ආදර්ශය ගැනත් මම නිතරම හිතනවා. යෝබ්ට එයාගේ පවුලේ අයවත් දේපළත් නැති වුණා. දරුණු රෝගයකුත් හැදුණා. මොන තරම් පීඩා වින්දත් “යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා” කියලා ඔහු ස්ථිරවම කිව්වා. (යෝබ් 1:13-22; 42:12-15; NW) මොන පීඩා වින්දත් ප්‍රීතියෙන් ඉන්න මට පුළුවන් වුණේ බයිබලයේ තියෙන ඒ වගේ දේවල් මතක් කරගත්ත නිසයි.

මගේ ජීවිතයේ මුල් තැන යෙහෝවා දෙවිට දෙන්න මට ඔහු උපකාර කරලා තියෙනවා. බයිබලය දිනපතා කියවීමෙන් ලොකු සැනසීමක් විතරක් නෙවෙයි විඳදරාගන්න පුදුම ශක්තියකුත් ලැබිලා තියෙනවා. යෙහෝවා දෙවිට යාච්ඤා කරලා “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” ඇතුව ඉන්න මට පුළුවන්. (ෆිලිප්පි 4:6, 7) ඒ නිසා හොඳ මනසකින් ඉන්නත් ක්‍රිස්තියානි රැස්වීම්වලට ගිහින් සහභාගි වෙලා දෙවි කෙරෙහි මගේ විශ්වාසය තවත් වැඩි කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

මං දැන් මහලු වුණත් අනිත් සාක්ෂිකාර සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා දේවසේවයේ යන්නත් අනිත් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වන්නත් පුළුවන් වීම ගැන මං දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ විදිහට අනිත් අයට සේවයක් කරන ගමන් මගේ දුක් කරදරවලට හොඳින් මූණ දෙන්නත් ලැබෙන එක ගැන ඇත්තෙන්ම මං දෙවිට ස්තුතිවන්ත වෙනවා.a

[පාදසටහන]

a ඔහුගේ ජීවිත කතාව අපට එවා දෙවසරකට පසු වයස අවුරුදු 90දී එන්රීකේ කරවාකා අකොස්තා මිය ගියා.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය දිනපතා කියවීමෙන් ලොකු සැනසීමක් විතරක් නෙවෙයි විඳදරාගන්න පුදුම ශක්තියකුත් ලැබිලා තියෙනවා

[19වන පිටුවේ පින්තූරය]

මුල් දවස්වලදී බයිබල් කතාවක් දෙන විට

[20වන පිටුවේ පින්තූරය]

ඒ දවස්වල මම දේවසේවයේ යද්දී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න