128වන ගිලියද් පාසැල
මිනිසුන්ව “ගෝලයන් කිරීම” සඳහා යවනු ලැබූ අය
“සෑම ජාතියකටම අයත් අයට ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඇතැම් ක්‍රිස්තියානීන් තම උපන් රට අත්හැර වෙනත් රටකට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩේවිඩ් ස්ප්ලේන් වැඩ සටහන ආරම්භ කළේ ඒ වදන් පෙළ සමඟිනුයි.
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලැබූ 128වන කණ්ඩායමට අයත් අය තම පැවරුම් ලබාගැනීම සඳහා 2010 මාර්තු 13වන දින රැස් වුණා. ඒ අවස්ථාවට ඔවුන්ගේ පවුලේ අය සහ හිතමිතුරන් ඇතුළු රටවල් 27කින් පැමිණි තවත් අමුත්තන්ද සහභාගි වුණා. එදින 8,000කට ආසන්න සංඛ්‍යාවක් රැස්ව සිටියා.
“මිනිසුන් තමන් ළඟට පැමිණෙන තුරු ඔවුන් බලා සිටියේ නැහැ”
“ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියා යේසුස් දුන් ආඥාව ගැන සභාපති ලෙස කටයුතු කළ සහෝදර ස්ප්ලේන් සාකච්ඡා කළා. (මතෙව් 28:19, 20) මිනිසුන්ට තම අනුගාමිකයන් වීමට උපකාර කිරීම සඳහා යේසුස් තම නියෝජිතයන්ව මිනිසුන් අතරට යැවූ බව ඔහු පැවසුවා. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී මෙසපොතේමියාවෙන් උතුරු අප්‍රිකාවෙන් සහ තවත් බොහෝ ප්‍රදේශවලින් මිනිසුන් යෙරුසලමට පැමිණි නිසා ඔවුන්ට ශුභාරංචිය ගැන දැනගන්න ලැබුණු බව පැවසීමෙන් අනතුරුව ඔහු මෙසේද සඳහන් කළා. “මිනිසුන් තමන් ළඟට පැමිණෙන තුරු යේසුස්ගේ නියෝජිතයන් බලා සිටියේ නැහැ.” ඒ වෙනුවට “මිනිසුන්ට ශුභාරංචිය දැනුම් දීම සඳහා ඔවුන් පොළොවේ දුර ඈත කෙළවර දක්වා ගමන් කළා.”—ක්‍රියා 1:8.
සහෝදර ස්ප්ලේන් තවදුරටත් මෙසේද පැවසුවා. “යේසුස් තම අනුගාමිකයන්ට කළ යුතු දේ කුමක්ද කියා පවසනවාට අමතරව ඒවා කරන ආකාරයත් කියා දුන්නා. උදාහරණයකට යාච්ඤා කරන්න කියා තම ගෝලයන්ට පවසනවාට අමතරව ඔහු යාච්ඤා කළ යුතු ආකාරය ඔවුන්ට කියා දුන්නා. එමෙන්ම ශුභාරංචිය දේශනා කරන්න කියා ආඥා කරනවාට අමතරව ශුභාරංචිය දේශනා කළ යුතු ආකාරය ගැනත් ඔහු කියා දුන්නා. ඊට අමතරව දක්ෂ ගුරුවරුන් වෙන්න කියා තම අනුගාමිකයන්ට පැවසූ යේසුස් දක්ෂ ලෙස මිනිසුන්ට ඉගැන්විය හැකි ක්‍රමද ඔවුන්ට පෙන්වා දුන්නා.”
සහෝදර ස්ප්ලේන් පැවරුම් ලැබූ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ව අමතමින් යේසුස් පැවසූ මේ වදන් ඔවුන්ට සිහිගැන්වූවා. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙව් 28:20) ඒ නිසා ශිෂ්‍යයන්ට කුමන රටක පැවරුමක් ලැබුණත් යේසුස් දිගටම ඔවුන් ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ව රැක බලා ගන්නවා කියා සහෝදර ස්ප්ලේන් පැමිණ සිටි සියලුදෙනාටම පැවසුවා.
‘යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරන්න’
පාලක මණ්ඩලයේ සාමාජික සහෝදර ඇන්තනී මොරිස් “යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරන්න” කියා ශිෂ්‍යයන්ව දිරිගැන්වූවා. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් මේ වදන් ඔහු ඔවුන්ට මතක් කළා. “ආඩම්බරයෙන් කතා කරන තැනැත්තා යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කළ යුතුයි.” (1 කොරින්ති 1:31) යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීමට ලැබීම ගැන අප ආඩම්බර විය යුතුයි කියා ඔහු පැවසුවා. (යෙරෙමියා 9:24) ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නාමය දැරීමට හැකි වීම මහත් වරප්‍රසාදයක් කියාත් ඔහු සඳහන් කළා.
අපව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස හැඳින්වීමේ ඇති වැදගත්කම පෙන්වා දීමට ඔහු මෙම අද්දැකීම පැවසුවා. අප්‍රිකාවේ සේවය කිරීමට පැවරුම් ලැබූ යුවළක් බයිබලය මත පදනම් දේශනයක් ඉදිරිපත් කිරීම සඳහා යමින් සිටියා. ඒ අතරවාරයේදී මුර පොළක සිටි සෙබළෙක් ඔවුන්ව නතර කර එම සහෝදරයා දෙසට තුවක්කුව එල්ල කරමින් ‘ඔයා කවුද’ කියා ඇසුවා. ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳට ගිලියද් පාසැලෙන් උගන්වා තිබුණු දෙයක් සිහියට නැඟුණා. ඒ නිසා ඇය තම සැමියාට රහසින් මෙසේ පැවසුවා. “ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලත් දැන් යන්නේ බයිබල් දේශනයක් ඉදිරිපත් කරන්න කියලත් එයාට කියන්න.” ඔහු ඇය පැවසූ ලෙසම කළා. අවසානයේදී ඒ සෙබළා ඔවුන්ට යන්න අවසර දුන්නා. පසුවදා ඔවුන් දෙදෙනා ගුවන් විදුලියට සවන් දෙමින් සිටියදී විදෙස් රටවලින් පැමිණ ‘මිෂනාරිවරුන්’ ලෙස පෙනී සිටිමින් මිනී මරණ අය ගැන විමසිල්ලෙන් ඉන්න කියා ජනාධිපති සෙබළුන්ට නියෝග කර තිබූ බව ඔවුන් දැනගත්තා. ඇත්තෙන්ම කලින් දවසේදී ඒ යුවළ තමන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියා හැඳින්වූ නිසා ඔවුන්ට ලොකු කරදරයක් මඟහරවා ගැනීමට හැකි වුණා. සහෝදර මොරිස් ඔහුගේ කතාව අවසන් කරමින් පැවසුවේ මෙයයි. “ඔබේ පැවරුම ඉටු කිරීම සඳහා ඔබ වෙනත් රටකට ගිය විට යෙහෝවා දෙවි ඔහුගේ ගෞරවය සඳහා ඔබ තුළින් ඉටු කිරීමට යන සියලුම දේවල් ගැන ආඩම්බර වෙන්න.”
පැවරුම සාර්ථකව ඉටු කරන්න
පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන් ශිෂ්‍යන්ගෙන් මෙසේ ඇසුවා. “වෙනත් රටකට ගොස් සේවය කරන කෙනෙකුගේ කාර්යය කුමක්ද?” ඉන්පසු විදේශ රටකට ගොස් සේවය කරන අයව හැඳින්වීමට ලතින් භාෂාවෙන් යොදාගෙන තිබෙන වචනයේ අදහස ඔහු පැහැදිලි කළා. එම වචනය විශේෂ පැවරුමක් ලබා ඇති පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට යොමු දක්වනවා. ඉන්පසුව ඔහු පැවසුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපේ පැවරුම වන්නේ ශුභාරංචිය දේශනා කරමින් මිනිසුන්ට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීම කියායි. ඒ පැවරුම ඉටු කිරීමේදී යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් ඔහු මතක් කළා. යේසුස් ඔහුගේ ජීවිතයේ මූලිකම තැන දුන්නේ ඔහුගේ පැවරුමටයි. ‘මා මේ ලෝකයේ මිනිසුන් අතරට පැමිණියේ සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—යොහන් 18:37.
ඊට අමතරව ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝ නගරය වැටලූ සිද්ධිය ගැනත් ඔහු සඳහන් කළා. ඊශ්‍රායෙල් හමුදාව දින හයක් පුරා උදෑසනින්ම අවදි වී යුධායුද රැගෙන යෙරිකෝ නගරය වටා ගමන් කළා. නමුත් ඔවුන් සටන් කළේ නැහැ. ඒ නිසා එය “තේරුමක් නැති වැඩක්” කියා ඇතැමෙකුට සිතෙන්න ඇති කියා සහෝදර ජැක්සන් පැවසුවා. සමහරවිට සෙබළුන් පවා එය ‘කාලය කා දමන වැඩක්’ ලෙස දකින්න ඇති කියාත් ඔහු පැවසුවා. නමුත් හත්වෙනි දවසේදී එම නගරය වටා හත් වතාවක් ගමන් කර ශබ්ද නඟා කෑගසන්න කියා දෙවි ඔවුන්ට පැවසුවා. එවිට යෙරිකෝවේ පවුරු බිමට කඩා වැටුණා.—යොෂුවා 6:13-15, 20.
සහෝදර ජැක්සන් යෙරිකෝ නගරයේ විනාශයෙන් ඉගෙනගත හැකි කරුණු හතරක් ගෙනහැර දැක්වූවා. (1) කීකරුකම. අපි කටයුතු කළ යුත්තේ අපට සුදුසුයි කියා හැඟෙන ආකාරයට නොව දෙවි කියන ආකාරයටයි. (2) දෙවි කෙරෙහි විශ්වාසය. යෙරිකෝවේ පවුරු බිඳ වැටුණේ සටන් කිරීම නිසා නොව ‘ඔවුන් තුළ තිබූ විශ්වාසය නිසයි.’ (හෙබ්‍රෙව් 11:30) (3) ඉවසිලිවන්තකම. අපි ඉවසිලිවන්තව බලා සිටියොත් නිසි කාලයේදී දෙවිගේ ආශීර්වාද අද්දැකිය හැකියි. (ද්විතීය කතාව 28:2) (4) නොපසුබස්නා උත්සාහය. ඔබ කරන සේවයේ අරමුණ මතක තබාගෙන දිගටම එහි නියැලෙන්න. සහෝදර ජැක්සන් ඔහුගේ කතාව අවසන් කරමින් මෙසේ පැවසුවා. “ඔබ ඒ කරුණු මතකයේ තබාගත්තොත් දෙවිව ගෞරවයට පත් වෙන ආකාරයෙන් ඔබේ පැවරුම ඉටු කිරීමට හැකි වෙනවා.”
වැඩසටහනේ වෙනත් අංග
“බයිබලයේ තිබෙන ඉගැන්වීම් අගය කරමින් එහි කර්තෘට ප්‍රේම කරන්න.” එක්සත් ජනපදයේ පිහිටි සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ශාඛා කමිටු සාමාජිකයෙකු වන සහෝදර මැක්ස්වෙල් ලොයිඩ් ඒ මාතෘකාව ඔස්සේ ඔහුගේ කතාව ඉදිරිපත් කළා. “ඔබ බයිබලය සැලකිය යුත්තේ ජීවමාන පොතක් ලෙසයි” කියා ශිෂ්‍යයන්ට පැවසූ ඔහු කෙදිනකවත් යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය අඩු වෙන්න දෙන්න එපා කියාත් පැවසුවා. ඔබ උගන්වන දේවල් සියලුදෙනාම තේරුම්ගනියි කියා සිතන්න එපා. ඒ වෙනුවට බයිබලයේ සඳහන් තොරතුරු සරලව තේරුම් කර දීමට උත්සාහ කරන්න කියා ඔහු දිරිගැන්වූවා. නිහතමානී වන්න. ඔබට බයිබලය ගැන හසළ දැනුමක් තිබෙනවා කියා පෙන්වීමට උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඔබේ ආදර්ශයෙන් උගන්වන්න. ඔබ බයිබලයේ සඳහන් ඉගැන්වීම් අගය කරන බව ශිෂ්‍යයාට දැනෙන්න සලස්වන්න කියාද ඔහු තවදුරටත් පැවසුවා.
“කපුටන් ගැන ටිකකට සිතන්න.” ගිලියද් පාසැලේ උපදේශකයෙකු වන සහෝදර මයිකල් බර්නෙට් ඒ මාතෘකාව ඔස්සේ කතාවක් ඉදිරිපත් කළා. වෙනත් රටකට ගොස් සේවය කරන විට ඇතැම් අවස්ථාවලදී කනස්සල්ලක් ඇති විය හැකියි. ඒ වුණත් යේසුස් පැවසූ මේ වදන් අමතක කරන්න එපා. ‘කපුටන් ගැන ටිකකට සිතන්න. උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා.’ (ලූක් 12:24) මෝසෙස්ගේ නීතියේ සඳහන් වූ ආකාරයට කපුටන්ව සැලකුවේ පිළිකුල් පක්ෂීන් ලෙසයි. එමනිසා උන්ව ආහාරයට ගැනීම තහනම් කර තිබුණා. (ලෙවී කතාව 11:13, 15) කපුටන් පිළිකුල් පක්ෂීන් ලෙස ගණන් ගැනුණත් දෙවි උන්ව පෝෂණය කරනවා. “එසේනම් දෙවි ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටින ඔබව දෙවි ඊටත් වඩා කොතරම් හොඳින් බලාගනීද” කියා සහෝදර බර්නෙට් පැවසුවා.
“මා ඔබට අසාධාරණයක් කරනවා නොවෙයි.” ගිලියද් පාසැලේ තවත් උපදේශකයෙකු වන සහෝදර මාක් නූමැර් මිදිවත්තක වැඩකරුවන් ගැන යේසුස් පැවසූ උපමාව පැහැදිලි කර දුන්නා. ඒ උපමාවට අනුව ඇතැම් සේවකයන් දවස පුරාම මිදිවත්තේ වැඩ කළා. තවත් සේවකයන් වැඩ කළේ පැයක් පමණයි. කොහොමවුණත් ස්වාමියා සියලුම සේවකයන්ට එක හා සමානව වැටුප් ගෙව්වා. ඒ නිසා වැඩි වේලාවක් වැඩ කළ අය ඒ ගැන මැසිවිලි නඟන්න පටන්ගත්තා. එවිට මිදිවත්තේ අයිතිකරු ඔවුන්ට පැවසුවේ මෙයයි. “මා ඔබට අසාධාරණයක් කරනවා නොවෙයි. ඔබ මා හා එකඟ වුණේ ඩිනාරියකටයි. එසේ නොවෙයිද? ඔබට අයිති දේ රැගෙන යන්න.” (මතෙව් 20:13, 14) ඒ උපමාවෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අපි කිසි දිනක අපිව අන් අය සමඟ සැසඳීම සුදුසු නැහැ. “අපිව අන් අය සමඟ සැසඳීමෙන් සිදු වන්නේ අපේ සතුට අහිමි වෙන එක විතරයි. එහෙම කළොත් කවදා හරි දවසක දෙවිට සේවය කරන එක නතර කරන්නත් ඔබ පෙලඹෙයි.” එසේ පැවසීමෙන් අනතුරුව මිදිවත්තේ අයිතිකරුගෙන් සංකේතවත් කරන යේසුස්ට ඔහුගේ සේවකයන්ව ඔහු කැමති ආකාරයෙන් යොදාගත හැකියි කියා කථිකයා පැහැදිලි කර දුන්නා. යෙහෝවා දෙවි සහ යේසුස් ඇතැම් සේවකයන්ට අමතර වරප්‍රසාද ලබා දීමෙන් ඔබට අසාධාරණයක් කරන්නේ නැහැ. ඒ නිසා ඔබට ලැබී තිබෙන වරප්‍රසාද ගැන සිතන්න. අන් අයට ලැබී තිබෙන වරප්‍රසාද ගැන සිතමින් යෙහෝවා දෙවි ඔබට පවරා තිබෙන කාර්යය සුළු කර සිතන්න එපා.
අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා
ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන් ඒ කාලය තුළ දේශනා සේවයේ හවුල් වීමෙන් ලැබූ අද්දැකීම් ගැන පැවසීමට ගිලියද් පාසැලේ උපදේශකයෙකු වන සහෝදර සෑම් රොබර්සන් කිහිපදෙනෙකුව වේදිකාවට ආරාධනා කළා. ආලේසාන්ඩ්රා කර්ක්ලා නම් ශිෂ්‍යයාවගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඇයට කාන්තාවක් මුණගැසුණා. ඇගේ පුතා දුම්පානයට ඇබ්බැහි වී සිටීම ගැන ඇය ඉතා දුකෙන් සිටියා. ඒ නිසා ආලේසාන්ඩ්රා දුම්පානය ගැන සඳහන් වී තිබූ පිබිදෙව්! සඟරාවක් රැගෙන ඇයව හමු වීමට නැවත වතාවක් ගියා. නමුත් ඇය එදින නිවසේ සිටියේ නැහැ. ඒ නිසා ආලේසාන්ඩ්රා එම සඟරාව ඇගේ නිවසේ තබා ආවා. යළිත් වතාවක ආලේසාන්ඩ්රා ඒ නිවසට ගිය විට ඒ කාන්තාව නිවසේ සිටියා. දුම්පානය ගැන සඳහන්ව තිබූ සඟරාව ඇයට ප්‍රයෝජනවත් වූ බව පැවසූ ඒ කාන්තාව මෙසේද පැවසුවා. “මේ ප්‍රශ්න ගැටලු ඇති කරලා දෙවි මට උගන්වන්න හදන පාඩම මොකක්ද කියලා මම හුඟක් වෙලාවට කල්පනා කරනවා.” නමුත් දෙවි මිනිසුන්ට දුක් පීඩා ඇති කරන්නේ නැති බව ආලේසාන්ඩ්රා බයිබලයෙන් ඇයට පැහැදිලි කළා. (යාකොබ් 1:13) දැන් එම කාන්තාවත් ඇගේ පුතාත් බයිබලයේ සඳහන් දේවල් ගැන ඉගෙනගන්නවා.
සේවා අංශයේ සහෝදරයෙකු වන මෙල්වන් ජෝන්ස් ගිලියද් පාසැලට සහභාගි වී තිබූ යෝන් සොමරුඩ්, මාක් ඇන්ඩසන් සහ ජේම්ස් හින්ඩරර් යන අය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් තිදෙනාම පැවසුවේ කෙනෙක් කුමන රටක සේවය කළත් බයිබල් ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්න ගිලියද් පාසැලෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා කියායි.
ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් අගය ප්‍රකාශ කරමින් ලියූ ලිපියක් එක් ශිෂ්‍යයෙක් කියවනු ලැබුවා. ඉන් අනතුරුව 96වන වියේ පසු වන පාලක මණ්ඩලයේ සේවය කරන සහෝදර ජෝන් බාර්, 128වන ගිලියද් පාසැලේ සාමාජිකයන්ට ආශීර්වාද ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමෙන් පසු වැඩසටහන අවසන් කළා.
[31වන පිටුවේ වගුව⁄සිතියම]
සහභාගි වූවන්ගේ විස්තර
නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 8
ශිෂ්‍යයන් සංඛ්‍යාව: 54
විවාහ යුවළයන් සංඛ්‍යාව: 27
වයසේ සාමාන්‍යය: 35.2
බව්තීස්ම වූ දා සිට ගෙවී ඇති වසර ගණනේ සාමාන්‍යය: 19.1
පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.8
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් පැවරුම් ලැබූ රටවල් 25
දේවසේවකයන්ගේ පැවරුම්
ඇල්බේනියාව
අරුබා
බොලිවියාව
කාම්බෝජය
අයිවරි කොස්ට්
ඩොමිනිකන් ජනරජය
ඉක්වදෝරය
ඝානාව
ග්වාතමාලාව
ගිනියාව
ගයනාව
හොන්ඩ්‍යුරාස්
ඉන්දුනීසියාව
කොසෝවෝ
ලැට්වියාව
ලයිබීරියාව
මැඩගස්කරය
මොංගෝලියාව
නැමීබියාව
නිකරගුවාව
පැරගුවේ
රුමේනියාව
සර්බියාව
රුවන්ඩා
තායිවානය
(ඕස්ට්‍රේලියානු ශාඛා කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඇති පැවරුමක්)
[30වන පිටුවේ පින්තූරය]
දේශනා සේවයේ හවුල් වීමෙන් ලැබූ අද්දැකීමක් නිරූපණය කරමින්
[31වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 128වන පන්තිය
පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.
(1) කෙලර්, ඊ.; ඕස්ටොපෝවිච්, අයි.; ජේකබ්සන්, එස්.; ආර්යාස්, එම්.; ඩික්මන්, වයි.; ටානාකා, ජේ.; හාරාඩා, කේ.
(2) කමාචෝ, එල්.; කර්ක්ලා, ඒ.; රොද්රිගෙස්, එස්.; වෝඩ්, බී.;ට්රෙනලෝන්, කේ.; වික්ටෝරියා, වී.; ඕක්ස්ලි, එෆ්.; ග්වන්, කේ.
(3) ඕක්ස්ලි, ඕ.; ඩි ඩයොස්, ඒ.; ලින්ඩ්ස්ට්රෝම්, සී.; ඇලන්, ජේ.; මීඩ්ස්, ටී.; වැඩින්ටන්, ජේ.; වික්ටෝරියා, ඊ.
(4) හාරාඩා, එච්.; ලින්ඩ්ස්ට්රෝම්, ඒ.; ඕර්සිනි, ඊ.; ලෝග්, ඩී.; මිසූඩ්, ටී.; බර්ජරොන්, එස්.; කමාචෝ, ජී.; වෝඩ්, ටී.
(5) කර්ක්ලා, ඩබ්ලිව්.; ග්වන්, එච්.; ක්‍රෙමර්, ඊ.; බුවර්ගෝ, සී.; ටිට්මස්, එන්.; ඩි ඩයොස්, සී.; රොද්රිගෙස්, ඒ.; වැඩින්ටන්, එම්.
(6) ඩික්මන්, ජේ.; ඇලන්, සී.; ටිට්මස්, ආර්.; ආර්යාස්, ජේ.; බර්ජරොන්, ඊ.; කෙලර්, ජේ.; ඕස්ටොපෝවිච්, එෆ්.; බුවර්ගෝ, එෆ්.
(7) ටානාකා, කේ.; ක්‍රෙමර්, ජේ.; ජේකබ්සන්, ආර්.; ට්රෙනලෝන්, ජේ.; ලෝග්, ජේ.; මීඩ්ස්, ඩී.; මිසූඩ්, ඩී.; ඕර්සිනි, ඒ.