යුග දිවියේ ගැටලු විසඳාගත හැකි අයුරු
“විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 7:28) කොහොමවුණත් එම දුෂ්කරතා අවම කරගෙන සන්තෝෂවත් විවාහ ජීවිතයක් භුක්ති විඳීමට විවාහකයන්ට අවස්ථාව තිබෙනවා. දැන් අපි විවාහ ජීවිතයේ ඇති විය හැකි ගැටලු හයක් සහ බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ඒවා විසඳාගත හැකි ආකාරය ගැන සලකා බලමු.
1වෙනි ගැටලුව:
“අපි දෙන්නා දැන් දුරස් වෙලා.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.
විවාහය ඔබේ ජීවිතයේ ඉතා වැදගත් දෙයක් නිසා ඔබ ඊට මූලික අවධානයක් දිය යුතුයි. ඔබත් ඔබේ සහකරුත් අතර යම් දුරස් බවක් දැනෙන්නේ එකට කාලය ගත කිරීමට නොහැකි වන තරමටම ඔබ දෙදෙනා විවිධ වැඩකටයුතුවල ඇලීගැලී සිටින නිසාද? එසේනම් ඉක්මනින්ම ඒ තත්වය වෙනස් කිරීමට පියවර ගන්න. නමුත් රැකියාව නිසා හෝ නොවැළැක්විය හැකි වෙනත් හේතු නිසා සෑමවිටම යුවළකට එකට කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේවෙතත් විනෝදය වෙනුවෙන් හෝ අත්‍යවශ්‍ය නොවන වෙනත් දේවල් වෙනුවෙන් ගත කරන කාලය සීමා කරමින් ඒ කාලය ඔබේ සහකරු සමඟ ගත කිරීමට ඔබට හැකිද?
ඇතැම් අය තම සහකරු සමඟ ගත කරන කාලය අවම කිරීම සඳහා ඕනෑකමින්ම රැකියාව හෝ විනෝදය සඳහා වැඩිපුර කාලයක් යොදවනවා. ඔබ හෝ ඔබේ සහකරු එලෙස කටයුතු කරනවා නම් හැකි විගස එයට හේතුව හඳුනාගෙන එය විසඳාගැනීමට උත්සාහ කරන්න. මන්ද ඔබ දෙදෙනාටම “එක් කෙනෙකු මෙන්” ජීවත් වීමට හැකි වන්නේ එකට කාලය ගත කරමින් දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගත්තොත් පමණයි.—උත්පත්ති 2:24.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: මීට අවුරුදු දහයකට පෙර විවාහ වූ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇන්ඩෘa සහ ටැන්ජි යන යුවළගේ අද්දැකීම සලකා බලන්න. ඇන්ඩෘ පවසන්නේ මෙයයි. “රැකියාවටයි මිතුරන්ව ආශ්‍රය කරන්නයි වැඩිපුර කාලයක් වැය කරන එක මගේ පවුල් ජීවිතය බිඳ වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා මට දැනුණා. ඒ නිසා පවුලක් විදිහට එකට කාලය ගත කරන්න අපි වෙනම වේලාවක් වෙන් කරගත්තා.”
වසර 22කට කලින් විවාහ වූ එක්සත් ජනපදයේ ජීවත් වන ඩේව් සහ ජේන් නමැති යුවළත් සෑම සැන්දෑවකම පැය භාගයක් වෙන් කරගෙන එදිනෙදා සිදු වූ දේවල් ගැන කතා කරනවා. ඒ ගැන ජේන් මෙසේ පවසනවා. “ඒ පැය භාගය අපි දෙන්නට කොච්චර වටිනවාද කියනවා නම් ඒ වේලාව අපි වෙන කිසිම දෙයකට යොදවන්නේ නැහැ.”
2වෙනි ගැටලුව:
“මම බලාපොරොත්තු වුණු දේවල් මට දැන් ලැබෙන්නේ නැහැ.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
“සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.
විවාහකයෙක් හැමවිටම සිතන්නේ සහකරුගෙන් තමාට ලැබිය යුතු දේවල් ගැන පමණක් නම් ඔහුට යුග දිවියේ සතුට අද්දකින්න බැහැ. එවැනි කෙනෙක් කොපමණ වතාවක් විවාහ වුණත් තත්වය එයමයි. විවාහ ජීවිතයේ සැබෑ සතුට භුක්ති විඳිය හැක්කේ තමාට ලැබෙන දේවලට වඩා තම සහකරුවාගේ සතුට ගැන සිතා දේවල් කිරීමෙනුයි. යේසුස්ද පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියායි.—ක්‍රියා 20:35.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: මෙක්සිකෝවේ වෙසෙන මරියා සහ මාටින් විවාහ වුණේ මීට අවුරුදු 39කට කලිනුයි. ඔවුනුත් යම් අභියෝගවලට මුහුණ දුන්නා. එවැනි සිද්ධියක් ගැන මරියා මෙසේ සිහිපත් කළා. “දවසක් අපි දෙන්නා අතර ලොකු වාදයක් ඇති වුණ වේලාවක හරිම අගෞරවනීය දෙයක් මගේ කටින් පිට වුණා. ඒකට මාටින්ට හොඳටම කේන්ති ගියා. මම එහෙම දෙයක් කිව්වේ හිතලා නෙවෙයි කියලා මාටින්ට කියන්න මම කොච්චර උත්සාහ කළත් මාටින් මම කියන දේ අහන්නවත් කැමති වුණේ නැහැ.” ඒ සිද්ධිය ගැන මාටින් මෙසේ පැවසුවා. “ඒ වේලාවේ මට හිතුණා අපි දෙන්නා තවදුරටත් එකට ජීවත් වෙන එක තේරුමක් නැහැ කියලා.”
මාටින් සිතුවේ මරියා තමන්ට ගෞරවයෙන් සලකයි කියායි. මරියා සිතුවේ මාටින් තමන්ව තේරුම්ගනියි කියායි. නමුත් දෙදෙනාටම ඔවුන් බලාපොරොත්තු වුණු දේවල් ලැබුණේ නැහැ.
ඔවුන් එම ගැටලුව විසඳාගත්තේ කෙසේද? මාටින් ඒ ගැන මෙසේ පැවසුවා. “මුලින්ම මම තරහා නිවෙනකම් ඉඳලා මරියත් එක්ක කතා කළා. ඊටපස්සේ එකිනෙකාට ගෞරවයෙන් සැලකීම ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න අපි දෙන්නා තීරණය කළා. දෙවිට යාච්ඤා කරලා බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න පුළුවන් කියලා පහුගිය අවුරුදු ගණනාව පුරා අපි අද්දැක්කා.”—යෙසායා 48:17, 18; එෆීස 4:31, 32.
3වෙනි ගැටලුව:
“එයා වගකීම් පැහැරහරිනවා.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
“අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.
විවාහ දිවිය සාර්ථක කරගැනීමට දෙදෙනාම වෑයම් කළ යුතුයි. නමුත් දෙදෙනාම වගකීම් පැහැරහරිමින් එකිනෙකාට චෝදනා කරනවා නම් තත්වය ඉතා භයානකයි.
ඔබ නිතරම ඔබේ සහකරු අතින් ඉටු නොවන වගකීම් ගැන සිතනවා නම් ඔබ අතින් ඉටු විය යුතු වගකීම් පැහැරහරින්න සමහරවිට ඔබ එය නිදහසට කරුණක් කරගනියි. එවිට ඔබට විවාහ දිවියේ සතුට අද්දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් සහකරු අතින් ඉටු නොවන වගකීම් ගැන නොසිතා ඔබේ වගකීම් ඔබ නිසි ලෙස ඉටු කරනවා නම් ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ හැකියි. (1 පේතෘස් 3:1-3) එසේ කිරීමෙන් විවාහ සැලැස්මට ඔබ ගරු කරන බව පෙන්විය හැකි අතර එම සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිව සතුටට පත් කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා.—1 පේතෘස් 2:19.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: කොරියාවේ ජීවත් වන මීට වසර 38කට කලින් විවාහ වූ කිම් මෙසේ පැවසුවා. “සමහර වේලාවට මගේ මහත්තයා මාත් එක්ක තරහෙන් වගේ ඉන්නවා. ඒ වේලාවට එයා මාත් එක්ක මොකුත්ම කතා කරන්නේ නැහැ. එතකොට මට හිතෙනවා එයා ඉස්සර තරම් මට ආදරේ නැහැ කියලා. ‘එයා මාව තේරුම්ගන්නේ නැත්නම් මම මොකටද එයාව තේරුම්ගන්නේ’ කියලත් මම ඒ වේලාවට හිතනවා.”
කිම්ට අවශ්‍ය නම් ඔහුත් සමඟ අමනාපයෙන් ඉන්න තිබුණා. නමුත් ඇය එසේ කළේ නැහැ. ඇය කළ දේ ඇය මෙසේ පැහැදිලි කළා. “සාමය ඇති කරන්න මුල් පියවර ගන්න එක තමයි හොඳම දේ කියලා මට තේරුණා. ඒ නිසා මම මගේ මහත්තයත් එක්ක අමනාපයෙන් ඉන්නේ නැතුව එයත් එක්ක කතා කළා. මම එහෙම කළ නිසා අපි දෙන්නටම සන්සුන්ව කතාබහ කරලා දේවල් විසඳාගන්න පුළුවන් වුණා.”—යාකොබ් 3:18.
4වෙනි ගැටලුව:
“මගේ බිරිඳ මම කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්.”—1 කොරින්ති 11:3.
බයිබලයේ පෙන්වා ඇති ආකාරයට සෑම ස්වාමිපුරුෂයෙක්ම සිටින්නේ යේසුස් යටතෙයි. ඒ නිසා බිරිඳ තමන්ට යටත්ද නැද්ද කියා සොයා බැලීමට කලින් තමා යේසුස්ට යටත්ව සිටිනවාද කියා ස්වාමිපුරුෂයෙක් සිතා බැලිය යුතුයි. ස්වාමිපුරුෂයෙකුට යේසුස්ට යටත්ව සිටින බව පෙන්විය හැක්කේ ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමෙනුයි.
ස්වාමිපුරුෂයන්ට බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.” (එෆීස 5:25) යේසුස් කිසිම අවස්ථාවක තම බලය පාවිච්චි කරමින් ගෝලයන් කෙරෙහි දැඩි ලෙස ‘අණසක පැතිරෙව්වේ’ නැහැ. (මාක් 10:42-44) ඒ වෙනුවට ඔහු තම අනුගාමිකයන්ට පැහැදිලි මඟ පෙන්වීම් ලබා දී අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ව නිවැරදි කළා. නමුත් ඔහු එසේ කළේ සැරපරුෂ අයුරින් නොවෙයි. ඔහු නිතරම තම අනුගාමිකයන්ට ආදරයෙන් සැලකූ අතර ඔවුන් අතින් අඩුපාඩුකම් සිදු වුණත් ඔවුන්ව තේරුම්ගත්තා. (මතෙව් 11:29, 30; මාක් 6:30, 31; 14:37, 38) එමෙන්ම තමන්ගේ ඕනෑ එපාකම්වලට වඩා යේසුස් මුල් තැන දුන්නේ තම අනුගාමිකයන්ගේ අවශ්‍යතාවලටයි.—මතෙව් 20:25-28.
ඔබ ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම ස්වාමිපුරුෂයෙක් හැටියට මූලිකත්වය හොබවන්නේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟවද නැත්නම් ඉතා රළු අයුරින්ද? කාන්තාවන් ගැන අද සමාජයේ තිබෙන වැරදි ආකල්ප මටත් බලපා තිබෙනවාද?’ ස්වාමිපුරුෂයාගේ අදහසකට එකඟ නොවී තමන්ට හැඟෙන දේ ගෞරවනීයව සහ ස්ථිරව පවසන බිරිඳක් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? එවැනි එක් බිරිඳක් ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඇගේ නම සාරා. ඇයව හඳුන්වා තිබෙන්නේ තම ස්වාමිපුරුෂයා වූ ආබ්‍රහම්ට කීකරුව සිටි බිරිඳක් ලෙසයි. (1 පේතෘස් 3:1, 6) නමුත් එක් අවස්ථාවකදී ආබ්‍රහම් දැරූ අදහසට වඩා වෙනස් අදහසක් ඇය ඉතා ගෞරවනීයව ඔහුට ප්‍රකාශ කළා.—උත්පත්ති 16:5; 21:9-12.
ඒ අවස්ථාවේදී ආබ්‍රහම් සාරාට බැණවැදුණේ නැහැ. ඒ හා සමානව බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අනුගමනය කරන ස්වාමිපුරුෂයෙක් සෑම සුළු කාරණයකදීම තම බිරිඳ තමාට යටත්ව සිටිය යුතුයි කියා අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉතා කාරුණිකලෙස තම මූලිකත්වය හොබවා බිරිඳගේ ගෞරවය දිනාගන්නවා.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: වසර අටකට පෙර විවාහ වූ එංගලන්තයේ ජීවත් වන ජේම්ස් පැවසූ දෙය සලකා බලන්න. “වැදගත් තීරණයක් ගන්න කලින් ඒ ගැන මගේ බිරිඳගෙන් අහන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මගේ අවශ්‍යතාවයන් ගැන විතරක් හිතන්නේ නැතුව මගේ බිරිඳගේ ඕනෑ එපාකම්වලට මුල් තැන දෙන්න මම අදිටන් කරගෙන ඉන්නවා.”
අවුරුදු 59කට කලින් විවාහ වූ එක්සත් ජනපදයේ වෙසෙන ජෝජ් මෙසේ පවසනවා. “මම මගේ බිරිඳව සලකන්නේ ඉතා බුද්ධිමත්, ගුණවත් සහකාරියක් විදිහටයි. එයා මට වඩා පහත් කියලා මම කොහොමටවත් හිතන්නේ නැහැ.”—හිතෝපදේශ 31:10.
5වෙනි ගැටලුව:
“මගේ ස්වාමිපුරුෂයා මූලිකත්වය අරන් කිසිම දෙයක් කරන්නේ නැහැ.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
“ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය. නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය.”—හිතෝපදේශ 14:1.
ඔබේ ස්වාමිපුරුෂයා පවුලට අදාළ කාරණාවලදී මූලිකත්වය ගෙන දේවල් කරන්නේ නැහැ කියා හැඟෙනවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔහුගේ අඩුපාඩු ගැන පවසමින් ඔහුට චෝදනා කරනවාද? නැත්නම් මූලිකත්වය ඔබේ අතට ගෙන ක්‍රියා කරනවාද? එසේත් නැත්නම් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහු දරන උත්සාහය ඔබ අගය කරනවාද? ඔබ මුලින් සඳහන් කළ කරුණු දෙකට එකඟව කටයුතු කරනවා නම් ඔබ ඔබේම දෑතින් පවුල බිඳ දමන බිරිඳක් බවට පත් වෙනවා. නමුත් ඔබ තුන්වෙනි කරුණට එකඟව කටයුතු කරනවා නම් ඔබ පවුල ගොඩනඟන බිරිඳක් බවට පත් වෙනවා.
බොහෝ ස්වාමිපුරුෂයන් ආදරයට වඩා බිරිඳගෙන් ලැබෙන ගෞරවය වටිනා දෙයක් ලෙස සලකනවා. එමනිසා මූලිකත්වය ගෙන වැඩ කිරීමට ස්වාමිපුරුෂයා දරන උත්සාහය ඔබ අගය කරන විට ඔබ ඔහුට ගෞරවය කරන බව ස්වාමිපුරුෂයාට දැනෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ වගකීම් තවත් හොඳින් ඉටු කිරීමට ඔහු පෙලඹෙයි. ඇතැම් අවස්ථාවලදී යම් කාරණයක් ගැන ඔබ ස්වාමිපුරුෂයා හා එකඟ නොවෙන්න ඉඩ තිබෙනවා. එවිට දෙදෙනාම කතාබහ කර එය විසඳාගත යුතුයි. (හිතෝපදේශ 18:13) එවැනි අවස්ථාවක ඔබ කතා කරන ආකාරය සහ භාවිත කරන වචන අනුව ඔබ පවුල් ජීවිතය ගොඩනඟන කෙනෙක්ද බිඳ දමන කෙනෙක්ද කියා හෙළි වෙනවා. (හිතෝපදේශ 21:9; 27:15) ඒ නිසා හැමවිටම ගෞරවනීය ලෙස ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: එක්සත් ජනපදයේ සිටින මීට වසර 30කට පෙර විවාහ වූ මිෂෙල් මෙසේ පවසනවා. “මාවයි මගේ නංගිලා දෙන්නවයි අපේ අම්මා හදා වඩා ගත්තේ ස්වාමිපුරුෂයෙකුගේ සහය නැතුවයි. ඒ නිසා අපේ අම්මා පුරුදු වෙලා හිටියේ තනි තීරණ අරන් කටයුතු කරන්නයි. කාලයත් එක්කම ඒ විදිහට වැඩ කරන්න මමත් පුරුදු වුණා. ඒ නිසා මගේ මහත්තයාට කීකරු වෙලා ඉන්න එක මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ. එයාට කීකරු වෙලා ඉන්න මම ලොකු වෑයමක් දරනවා. ඒ නිසා තනි තීරණ ගන්නවා වෙනුවට මගේ මහත්තයාත් එක්ක ඒ ගැන කතා කරන්න මම දැන් ඉගෙනගෙන තියෙනවා.”
ඕස්ට්‍රේලියාවේ වෙසෙන රේචල් සහ මාක් විවාහ වූයේ මීට වසර 21කට කලිනුයි. රේචල් පවසන දේ සලකා බලන්න. “මගේ අම්මා කොයිම අවස්ථාවකදීවත් තාත්තාට කීකරු වුණේ නැහැ. ඒ නිසා අපේ ගෙදර අඬදබර ඇති නොවුණු දවසක් තිබුණේ නැති තරම්. මම විවාහ වුණු මුල් කාලයේදී මමත් කටයුතු කළේ අම්මා වගේමයි. හැබැයි දැන් මම බයිබලයේ සඳහන් වෙලා තියෙන විදිහට ස්වාමිපුරුෂයාට ගෞරවය කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපි දෙන්නා සන්තෝෂයෙන් පවුල් ජීවිතය ගෙවනවා.”
6වෙනි ගැටලුව:
“එයාගේ සමහර පුරුදුවලට මම ආසම නැහැ.”
බයිබලයේ සඳහන් මඟ පෙන්වීම:
“අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලොස්සි 3:13.
විවාහ වීමට කලින් ඔබ දෙදෙනා ඇසුරු කළ කාලයේදී ඔබ සහකරුගේ යහපත් ගතිගුණ රැසක් දකින්න ඇති. අඩුපාඩුකම් දුටුවත් ඔබ ඒවා ගණන් නොගෙන ඉන්න ඇති. දැනුත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න ඔබට පුළුවන්ද? ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම වැඩි අවධානයක් දෙන්නේ මගේ සහකරුගේ හෝ සහකාරියගේ යහපත් ගතිගුණවලටද නැත්නම් අඩුපාඩුකම්වලටද?’
අන් අයගේ දුර්වලකම්වලට අවධානය නොදිය යුතු බව පෙන්වීමට යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ ඇයි?” (මතෙව් 7:3) ‘රොඩ්ඩක්’ කියන්නේ ඉතාම කුඩා දෙයක්. නමුත් පරාලයක් කියන්නේ දිගින් වැඩි ශක්තිමත් දෙයක්. සමහරවිට ඔබේ සහකරු හෝ සහකාරිය අතින් සිදු වන අඩුපාඩුකම් ‘රොඩ්ඩක්’ හා සමාන සුළු ඒවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒවා වෙතට අවධානය දුන්නොත් ඔබේ අතින් සිදු වන ‘පරාලයක්’ බඳු විශාල අඩුපාඩුකම් ඔබට නොපෙනී යා හැකියි. ඒ නිසා යේසුස් පැවසූ මේ දේ අදාළ කරගැනීමට උත්සාහ කරන්න. “මුලින්ම ඔබේ ඇසේ තිබෙන පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.”—මතෙව් 7:5.
යේසුස් මෙසේද පැවසුවා. “අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.” (මතෙව් 7:1, 2) ඒ නිසා ඔබේ සහකරු හෝ සහකාරිය අතින් සිදු වන සුළු සුළු අඩුපාඩුකම් ගණන් නොගෙන ඒවාට සමාව දෙන්න. ඔබේ වැරදිවලටත් දෙවියන් සමාව දෙන්නේ එවිටයි.—මතෙව් 6:14, 15.
බයිබලයේ ඇති මඟ පෙන්වීම් අදාළ කරගත් අය: මීට අවුරුදු නවයකට කලින් විවාහ වූ එංගලන්තයේ වෙසෙන ජෙනී සහ සීමන්ගේ අද්දැකීම සලකා බලන්න. ජෙනී මෙසේ පවසනවා. “මගේ මහත්තයා හැම දෙයක්ම අන්තිම මොහොතේ කරන කොට මට හුඟක් කේන්ති යනවා. බඳින්න කලිනුත් එයා වැඩ කළේ එහෙමයි. ඒත් ඒ කාලේ එයාට අන්තිම මොහොතේ දේවල් කරන්න තිබුණු හැකියාව මම අගය කළා. කොහොමවුණත් දැන් මම තේරුම්ගෙන තියෙනවා මගේ අතිනුත් අඩුපාඩුකම් වෙනවා කියලා. මගේ තියෙන එක අඩුපාඩුවක් තමයි හැම දෙයක්ම මගේ අතට අරන් කරන්න හදන එක. ඒත් අපේ පුංචි පුංචි අඩුපාඩුකම් අමතක කරන්න මායි සීමනුයි දැන් උත්සාහ කරනවා.”
කලින් අදහස් දැක්වූ මිෂෙල්ගේ ස්වාමිපුරුෂයා වන කර්ට් පැවසුවේ මෙයයි. “මගේ බිරිඳගේ සුළු සුළු අඩුපාඩුකම් ගැනම හිතන්න පටන්ගත්තොත් ඒවා ලොකු දේවල් විදිහට පේනවා. ඒ නිසා අඩුපාඩුකම් ගැන නොහිතා අපි ආදරය කළ කාලයේ මම මිෂෙල්ගෙන් දැක්ක හොඳ ගතිගුණ ගැන පමණක් හිතන්න මම උත්සාහ කරනවා.”
සාර්ථකත්වයට රහස
විවාහ ජීවිතය තුළ ගැටලු පැනනැඟුණත් ඒවා හොඳින් විසඳාගත හැකි බව අපි මෙතෙක් සලකා බැලූ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. එසේනම් ගැටලු සාර්ථකව විසඳාගැනීමට රහස කුමක්ද? ඒ රහස නම් දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඇති කරගෙන බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමයි.
නයිජීරියාවේ ජීවත් වන ඇලෙක්ස් සහ ඉටොහන්ග් නමැති යුවළ විවාහ වී අවුරුදු 20කට වඩා වැඩියි. ඔවුන් දෙදෙනා ප්‍රශ්න විසඳාගත් ආකාරය ගැන ඇලෙක්ස් පවසන්නේ මෙයයි. “බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් විවාහ ජීවිතයේ පැනනඟින ඕනෑම ගැටලුවක් විසඳාගත හැකියි.” ඔහුගේ බිරිඳ වන ඉටොහන්ග්ද මෙසේ පැවසුවා. “පවුලක් විදිහට එකට යාච්ඤා කරන එකත් බයිබලයේ සඳහන් වී තිබෙන ආකාරයට එකිනෙකාට ආදරයෙන් සලකා ඉවසීමෙන් කටයුතු කරන එකත් කොතරම් වැදගත්ද කියලා අපි දෙන්නා දන්නවා. ඒ නිසා අපි විවාහ වුණු අලුත මතු වුණු ප්‍රශ්නවලට වඩා දැන් ප්‍රශ්න ඇති වෙන්නේ හරිම අඩුවෙනුයි.”
ඔබේ විවාහය සාර්ථක කරගැනීමට උපකාරවත් වන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ගැන තවදුරටත් දැනගැනීමට ඔබ කැමති නම් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමුb නමැති පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න.
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර ඇත.
b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
[4වන පිටුවේ පින්තූරය]
අපි දෙදෙනා එකට කාලය ගත කරනවාද?
[5වන පිටුවේ පින්තූරය]
ලැබෙන දේ ගැන නොසිතා දිය හැකි දේ ගැන මම සිතෙනවාද?
[6වන පිටුවේ පින්තූරය]
ගැටලුවක් විසඳාගන්න මම මුල් පියවර ගන්නවාද?
[7වන පිටුවේ පින්තූරය]
තීරණයක් ගන්න කලින් බිරිඳත් එක්ක ඒ ගැන කතා කරනවාද?
[9වන පිටුවේ පින්තූරය]
මම මගේ සහකරුගේ හොඳ ගතිගුණ අගය කරනවාද?