බයිබලයෙන් පිළිතුරු සොයමු
සැබෑ දෙවි කවුද?
මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.
1. සැබෑ දෙවි කවුද?
සැබෑ දෙවි වන්නේ සෑම දෙයක්ම නිර්මාණය කළ දෙවියි. ඔහුට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ. බයිබලයේ ඔහුව ‘සදාකාල රජ්ජුරුවන්’ ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (එළිදරව් 15:3) අපට ජීවිතය ලබා දුන්නේ ඔහු නිසා අප නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි.—එළිදරව් 4:11 කියවන්න.
2. සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?
සැබෑ දෙවිව අපට පෙනෙන්නේ නැහැ. (යොහන් 1:18; 4:24) නමුත් ඔහුගේ නිර්මාණ දෙස බැලීමෙන් ඔහුගේ ගතිලක්ෂණ ගැන බොහෝ දේවල් හෙළි වෙනවා. උදාහරණයකට විවිධාකාර පලතුරු හා මල් වර්ග දෙස බලන විට ඔහු කොතරම් ප්‍රේමණීයමෙන්ම ප්‍රඥාවන්ත කෙනෙක්ද කියා තේරුම්ගත හැකියි. එමෙන්ම නිමක් කොනක් නැති විශ්වය දෙස බලන විට ඔහු මොන තරම් බලවත්ද කියා හෙළි වෙනවා.—රෝම 1:20 කියවන්න.
බයිබලය අධ්‍යයනය කිරීමෙන්ද අපට දෙවිගේ ගතිලක්ෂණ ගැන ඉගෙනගත හැකියි. දෙවි කැමති අකමැති දේවල් මොනවාද කියාත් ඔහුට මිනිසුන් ගැන හැඟෙන්නේ කෙසේද කියාත් විවිධ තත්වයන් හමුවේ ඔහු කටයුතු කරන්නේ කෙසේද කියාත් බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 103:7-10 කියවන්න.
3. දෙවිට නමක් තිබෙනවාද?
යේසුස් එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” (මතෙව් 6:9) ඉන් පැහැදිලි වන්නේ දෙවිට නිශ්චිත නමක් තිබෙන බවයි. එම නම “යෙහෝවා” බව බයිබලයේ සඳහන් වෙනවා. විවිධ භාෂාවන්ට අනුව ඒ නාමය උච්චාරණය කරන ආකාරය සුළු වශයෙන් වෙනස් වෙනවා.—ගීතාවලිය 83:17 [18] කියවන්න.
සමහර බයිබල්වල දෙවිගේ නම ඉවත් කර ස්වාමීන්වහන්සේ හෝ දෙවියන්වහන්සේ කියා යොදා තිබෙනවා. නමුත් මුල් බයිබල් පිටපත්වල දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන් වුණා. යේසුස් මිනිසුන්ට දෙවි ගැන ඉගැන්වූ අවස්ථාවලදී දෙවිගේ නාමය ගැනත් ඔවුන්ට දැනුම් දුන්නා. එලෙස දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට යේසුස් මිනිසුන්ට උපකාර කළා.—යොහන් 17:26 කියවන්න.
4. දෙවි අප ගැන සැලකිලිමත්ද?
අපේ යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ ඔහු අපි ගැන සැලකිලිමත් නිසයි. (ගීතාවලිය 65:2) නමුත් අද සිදු වන දුෂ්ටකම් නිසා බොහෝදෙනෙක් සිතන්නේ දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් නැති බවයි. මිනිසුන්ට දුක් විඳීමට සැලැස්වීමෙන් දෙවි මිනිසුන්ව පරීක්ෂා කරනවා කියාත් ඇතැම් අය සිතනවා. නමුත් එය සැබෑවක් නොවෙයි. මන්ද ‘සැබෑ දෙවි කිසි දිනක දුෂ්ට ලෙස ක්‍රියා නොකරන’ බව බයිබලයේ සඳහන් වෙනවා.—යෝබ් 34:10; යාකොබ් 1:13 කියවන්න.
යෙහෝවා දෙවි තීරණ ගැනීමේ නිදහස ඇතුව මිනිසුන්ව නිර්මාණය කර තිබීමෙනුත් පැහැදිලි වෙන්නේ ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් බවයි. අපට ඒ නිදහස තිබෙන නිසා හරි දේ කර යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට හැකියාව තිබෙනවා. (යොෂුවා 24:15) නමුත් බොහෝ අය ඒ නිදහස අයුතු ලෙස යොදාගෙන වැරදි දේවල් කරන නිසා මිනිසුන් බොහෝදෙනෙක් අද දුක් විඳිනවා. එය දෙවිට මහත් දුකක්.—උත්පත්ති 6:5, 6 කියවන්න.
ළඟදීම යෙහෝවා දෙවි යේසුස්ව යොදාගෙන දුෂ්ටකම් කරන අයව විනාශ කර දමා දුක් වේදනා නැත්තටම නැති කරනවා. එතෙක් දුක් වේදනා පවතින්න ඔහු ඉඩහැර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඒ පිළිබඳව තවත් තොරතුරු අපි මෙවැනිම ලිපියකින් ඉදිරියේදී සලකා බලමු.—යෙසායා 11:4 කියවන්න.
5. දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහුට ප්‍රේම කරන්න අපි සෑම කෙනෙකුටම හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම ඔහු කැමති වන්නෙත් අපි හැම කෙනෙක්ම ඔහු පිළිබඳව සත්‍යය දැනගන්නවාටයි. (1 තිමෝති 2:4) එමනිසා අපි ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලය අධ්‍යයනය කරනවා නම් අපිට ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකියි.—හිතෝපදේශ 2:4, 5 කියවන්න.
අපට ජීවිතය ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවින්. ඒ නිසා වෙන කිසිම කෙනෙකුට වඩා වැඩියෙන් අපි ප්‍රේම කළ යුත්තේ ඔහුටයි. අපි නිරතුරුවම දෙවිට යාච්ඤා කර ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් කරනවා නම් ඉන් හෙළි වන්නේ අපි දෙවිට ප්‍රේම කරන බවයි. (හිතෝපදේශ 15:8) අන් අයට ප්‍රේමණීයව සැලකීමත් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවලට අයත් වෙනවා.—මාක් 12:29, 30; 1 යොහන් 5:3 කියවන්න.
වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 1වන පරිච්ඡේදය බලන්න.
[17වන පිටුවේ පින්තූරය]
දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි