සූදුවේ නියැලීම හරිද?
කැසිනෝ ශාලාවලට ගොස් සූදුවේ නියැලීම අතමිට සරු දැනඋගතුන් විනෝදය තකා කරන දෙයක් ලෙස චිත්‍රපටිවල සහ රූපවාහිනි වැඩසටහන්වල පෙන්වනවා. නමුත් ඒවා නිකම් රඟපෑමක් පමණයි.
කොහොමවුණත් අශ්ව රේස්, ලොතරැයි සහ අන්තර්ජාලය හරහා සූදුවේ නියැලීම අද දින බහුලව සිදු වන දෙයක්. එක් පොතක සඳහන් වුණේ “සූදුව සමස්ත ලෝකයටම බලපා ඇති විශාල ගැටලුවක්” කියායි. (Internet Gambling) කාඩ් කුට්ටම් යොදාගෙන කැසිනෝ ශාලාවල කරනු ලබන පෝකර් නම් ක්‍රීඩාව පිළිගත් ක්‍රීඩාවක් ලෙස රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ පෙන්නුම් කරනවා. එක් පුවත්පතක සඳහන් වුණු ආකාරයට පසුගිය අවුරුදු එකහමාර තුළ එක්සත් ජනපදයේ එම ක්‍රීඩාවේ නියැලුණු අයගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
එක් පොතක සූදුව විස්තර කර තිබුණේ දිනුමක් ලැබෙයිද නැද්ද කියා නොදැන ඒ දේට මුදල් යෙදවීම ලෙසයි. බොහෝ අය සිතන්නේ සූදුවට ඇබ්බැහි නොවී එහි නියැලීමෙහි වරදක් නැති බවයි. කතෝලික විශ්වකෝෂයක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “කෙනෙක් තමන්ට හිමි වගකීම් පැහැර නොහරිමින් සූදුවේ නියැලෙනවා නම් එය පාපයක් නොවෙයි.” නමුත් එසේ පැවසීමට කිසිම ශුද්ධ ලියවිලිමය පදනමක් එහි සඳහන් කර තිබුණේ නැහැ. ඇත්තටම සූදුවේ නියැලීම බයිබලයට පටහැනි දෙයක්ද?
සූදුව පිළිබඳව බයිබලයේ කෙළින්ම සඳහන් වී නැහැ. නමුත් ඒ ගැන දෙවිට හැඟෙන ආකාරය තේරුම්ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. මන්ද බයිබලයේ උනන්දු කර තිබෙන්නේ “යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න” කියායි. (එෆීස 5:17) එම බයිබල් පදයේ සඳහන් “වටහාගැනීම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයේ අර්ථය වන්නේ “යම් දෙයකට සම්බන්ධ සෑම කාරණයක් ගැනම හොඳින් සිතා බලා එය හොඳින් අවබෝධ කරගැනීමයි” කියා බයිබල් විශාරදයෙක් වන ඊ. ඩබ්ලිව්. බුලින පැවසුවා. ඒ අනුව සූදුව දෙවි අනුමත කරනවාද නැද්ද කියා තීරණය කිරීමට නම් කෙනෙකු ඊට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳින් සිතා බැලිය යුතුයි. එවැනි බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් මෙම ලිපියේ සඳහන් වෙනවා. ඒවා සලකා බැලීමෙන් ‘සූදුවේ නියැලීම දෙවි අනුමත කරනවාද නැද්ද’ කියා ඔබටම තීරණය කළ හැකියි.
වාසනාව කෙරෙහි විශ්වාසය
සූදුවේදී ජය පරාජය නිශ්චිතවම නොදන්නා නිසා බොහෝ අය ජයග්‍රහණය සඳහා වාසනාව කෙරෙහි විශ්වාසය තබනවා. සමහර අය ලොතරැයිපත් මිල දී ගැනීමේදී වාසනා අංක ගැන සැලකිලිමත් වන්නේ ඒ නිසයි. සූදුවට අයත් ඇතැම් ක්‍රීඩා අතරතුර සමහර වචන භාවිත කිරීම තහනම්. ඊට හේතුව එය අවාසනාවක් විය හැකියි කියා ඇතැමුන් විශ්වාස කිරීමයි. තවත් අය දාදු කැටය විසි කිරීමට කලින් වාසනාව පතා ඊට පිඹිනවා.
නමුත් වාසනාව කෙරෙහි විශ්වාසය තැබීම දෙවි අනුමත කරයි කියා සිතිය හැකිද? අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් සමෘද්ධිය සඳහා වාසනාව කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ නිසා දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ යෙහෝවා දෙවි වන මාව එපා කළ සෙනඟකි. ඔබ මාගේ ශුද්ධ කන්ද අමතක කර දමා වාසනාවේ දෙවියන්ට මේසයක් සූදානම් කළහුය. ඔබ සැර වැඩි කළ වයින් ඉරණමේ දෙවියන්ට ඔප්පු කළහුය.” (යෙසායා 65:11) ඒ අනුව වාසනාව කෙරෙහි විශ්වාසය තැබීම දෙවි සලකන්නේ වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර කරනවා හා සමාන වරදක් ලෙසයි. ඊට හේතුව එවැනි කෙනෙකු දෙවිට වඩා වාසනාව කෙරෙහි විශ්වාසය තැබීමයි.
කාගේ මුදල්ද?
ලොතරැයි මිල දී ගන්නා අය, මුදලට ඔට්ටු අල්ලන අය, කැසිනෝවල සූදුවේ නියැලෙන අය ජයග්‍රහණය වෙනුවෙන් තමන්ට මුදල් ලැබෙන ආකාරය ගැන එතරම් සිතන්නේ නැහැ. ඇත්තෙන්ම සූදුවෙන් සිදු වෙන්නේ කෙනෙකුට අහිමි වන මුදල් තවත් කෙනෙකුට හිමි වීමයි.a කැනඩාවේ එක් මානසික සායනයකින් පළ කරන ලද වාර්තාවක මෙවැනි දෙයක් සඳහන් වුණා. “ලොතරැයියකින් කෝටිපතියෙක් බිහි වෙන්නේ ලක්ෂ සංඛ්‍යාතදෙනෙකුට අහිමි වන මුදල්වලිනුයි.” වෙනත් කෙනෙකුට අයිති දෙයක් එසේ තමන් සතු කරගැනීම ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් දසපනතේ මෙවැනි නීතියක් ඇතුළත් වී තිබුණා. “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.” (නික්මයාම 20:17) එහි තව කෙනෙකුට අයිති දේවලට ආශා කිරීම කොතරම් ලොකු වරදක් ලෙස පෙන්වා තිබෙනවාද කියනවා නම් එය සඳහන් කර තිබෙන්නේ තවත් කෙනෙකුගේ භාර්යාවට ආශා කිරීම යන බරපතළ පාපය අතරෙයි. බයිබලයේ තවදුරටත් ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න.” (රෝම 7:7) සූදුවෙන්ද සිදු වන්නේ වෙනත් කෙනෙකු සතු දෙයක් අයිති කරගැනීම නිසා එහි නියැලෙන කෙනෙක් තණ්හාවෙන් කටයුතු කරන බව පැහැදිලියි.
ජේ. ෆිලිප් වෝගල් නම් ලේඛකයා පැවසුවේ “සුදුවේ නියැලෙන ඕනෑම කෙනෙක් සුළු මුදලක් විශාල මුදලක් කරගැනීමට සිහින මවන බවයි.” ඇත්තෙන්ම එවැනි අය උත්සාහ කරන්නේ කිසිම වෙහෙසක් නොදරා කෙටි කාලයකින් පොහොසතුන් බවට පත් වෙන්නයි. ඒ ආකල්පය බයිබලයට එකඟ නැහැ. මන්ද බයිබලයේ සඳහන් වන්නේ, “අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතු” බවයි. (එෆීස 4:28) එමෙන්ම “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතු” බවත් “තමාගේ වෙහෙස මහන්සියෙන් උපයාගත් දෙයින් තම කුසගින්න නිවාගන්න” කියාත් බයිබලයේ සඳහන් වී තිබෙනවා. (2 තෙසලෝනික 3:10, 12) එසේනම් මේ ගැන සිතන්න. සූදුවේ නියැලීම වෙහෙස මහන්සි වී මුදල් ඉපයිය හැකි රැකියාවක් ලෙස සැලකිය හැකිද?
ඇත්තෙන්ම සූදුවේ නියැලෙන කෙනෙක් මුදල් දිනනවා මිස මුදල් උපයන්නේ නැහැ. සූදුවේ නියැලෙන අය උත්සාහ කරන්නේ සුළු මුදලක් යොදවා විශාල මුදලක් දිනාගන්නයි. නමුත් බයිබලයේ අපව උනන්දු කරන්නේ වෙහෙස මහන්සි වී අවංකව වැඩ කිරීමෙන් මුදල් උපයාගන්න කියායි. පුරාණයේ සිටි ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසූ දෙයක් බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත. එය සැබෑ දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශනාකාරයා 2:24) යෙහෝවා දෙවිට නමස්කාර කරන අය ජීවිතයේ සන්තෝෂය අත් කරගැනීම සඳහා පහසු ක්‍රමවලින් ධනය එක් රැස් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සන්තෝෂය හා ආශීර්වාදය ලබාගැනීමට දෙවි කෙරෙහි විශ්වාසය තබනවා.
ආරක්ෂා විය යුතු ‘උගුලක්’
සූදුවේ නියැලීමෙන් තමන්ට යම් ජයග්‍රහණයක් ලැබුණත් එය දිගු කාලීනව තමන්ට බලපාන ආකාරය ගැන කෙනෙක් දැනුවත් වී සිටිය යුතුයි. බයිබලයේ ඒ සම්බන්ධයෙන් මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “කෑදරකමින් උරුමයක් ලබාගත්තත් අනාගතයේදී එයින් කිසිදු ආශීර්වාදයක් ලැබෙන්නේ නැත.” (හිතෝපදේශ 20:21) ලොතරැයිවලින් මුදල් දිනූ අය සහ වෙනත් සූදු ක්‍රීඩාවල නියැලීමෙන් මුදල් දිනූ අය යම් දෙයක් තේරුම්ගෙන තිබෙනවා. එය නම් එවැනි ක්‍රමවලින් තමන්ට මොන තරම් මුදල් ලැබුණත් එයින් නියම සතුට හා තෘප්තිය ලබාගත නොහැකි බවයි. එමනිසා ‘අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න’ කියා බයිබලයේ අවවාද කර තිබෙන්නේ හොඳ හේතු ඇතුව නොවේද!—1 තිමෝති 6:17.
ජය පරාජයට අමතරව සූදුවේ තවත් අනතුරුදායක පැත්තක් තිබෙනවා. එය බයිබලයේ සඳහන් මෙම වදන්වලින් අපට තේරුම්ගත හැකියි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.” (1 තිමෝති 6:9) සතෙක් උගුලකට හසු වෙන්නේ නොදැනුවත්වමයි. උගුලකට හසු වූ සතෙකුට බොහෝ අවස්ථාවලදී ඉන් ගැලවිය නොහැකියි. සූදුවත් ඒ හා සමාන උගුලක්. සමහරු සුළු මුදලකට අවස්ථා කිහිපයකදී පමණක් සූදුවේ නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට ඇබ්බැහි වී තිබෙනවා. එමනිසා ඇතැම් අයගේ ආත්මගරුත්වය නැති වී ගොස් තිබෙන අතර පවුල් ජීවිත පවා කඩාකප්පල් වී තිබෙනවා.
මෙම ලිපියේ අප සලකා බැලූ බයිබල් ප්‍රතිපත්ති ඇසුරෙන් සූදුව ගැන දෙවිට හැඟෙන ආකාරය ඔබට අවබෝධ වුණාද? බයිබලයේ සඳහන් මෙම උපදෙසද සලකා බලන්න. “අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” (රෝම 12:2) ඒ අනුව අපි උත්සාහ කළ යුත්තේ මේ සමාජයේ රැල්ලට අනුව ජීවත් වීමට නොව ‘දෙවිගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගෙන’ ඊට එකඟව ජීවත් වීමටයි. යෙහෝවා දෙවි ‘ප්‍රීතිමත් දෙවි කෙනෙක්’ නිසා සූදුවේ නියැලීමෙන් අපි අනවශ්‍ය කරදරවලට පැටලී අපේ සතුට අහිමි කරගන්නවා දකින්න ඔහු කැමති නැහැ. ඒ වෙනුවට ඔහු ආශාවෙන් සිටින්නේ අපි සතුටින් අපේ ජීවිතය ගත කරනවා දකින්නයි.—1 තිමෝති 1:11.
[පාදසටහන]
a කොටස් වෙළඳපොළේ කොටස් මිල දී ගැනීම සහ සූදුව අතර වෙනස ගැන දැනගැනීම සඳහා 2000 ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාවේ 25-27දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැත.)
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවිගේ සේවකයන් මුදල් උපයන්නේ වෙහෙස මහන්සි වී අවංකව වැඩ කිරීමෙනුයි
[13වන පිටුවේ කොටුව]
දිනන්න තිබෙන ආශාව
කෙනෙක් ලෙහෙසියෙන්ම සූදුවට ඇබ්බැහි විය හැකිද? සූදුවේ නියැලීමෙන් පරාජය හෝ ජයග්‍රහණය ලබන විට ඊට මොළය ප්‍රතිචාරය දක්වන ආකාරය ගැන හාන්ස් බ්‍රයිටර් නම් වෛද්‍යවරයා පරීක්ෂණයක් පැවැත්වූවා. ඒ පරීක්ෂණයෙන් අනාවරණය වුණේ සූදුවෙන් ජය අත් කරගත් විට කෙනෙකුගේ මොළය ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය හා කොකේන්වලට ඇබ්බැහි වූ කෙනෙක් කොකේන් ලබාගත් පසු ඔහුගේ මොළය ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය අතර විශාල සමානකමක් තිබෙන බවයි.
[13වන පිටුවේ පින්තූරය]
සූදුවේ නියැලෙන අය ඇත්තටම දිනාගන්නේ කාගේ මුදල්ද?