පාඨකයන් අසයි
පාරාදීසයේ සදාකාල ජීවනය නීරස වෙයිද?
▪ පාරාදීසයේ සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව මිනිසුන්ට තිබෙන බව සඳහන් වෙන්නේ බයිබලයෙයි. (ගීතාවලිය 37:29; ලූක් 23:43) පාරාදීසයක සදාකාලයටම ජීවත් වන විට ජීවිතය නීරස වෙයිද?
ඇත්තෙන්ම එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. මන්ද සෑම දිනකම එකම දේ කිරීමට සිදු වීමෙන් හෝ ජීවිතයට අරමුණක් නොමැති වීමෙන් හෝ කෙනෙක් මානසික රෝගී තත්වයකට පත් වීමට ඉඩ තිබීමයි. පර්යේෂකයන් පවසන ආකාරයට එවැනි අය කලකිරීම හා මානසික පීඩනය අද්දැකිය හැකි අතර ජීවිතයට අවදානමක් ගැනීමට පවා පෙලඹිය හැකියි. නමුත් පාරාදීසයේදී කිසිම කෙනෙකුට ජීවිතය නීරස වෙන්නේ නැහැ. එසේ පැවසීමට තිබෙන හේතු ගැන සලකා බලන්න.
අපට සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්නේ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියි. (යොහන් 3:16; 2 තිමෝති 3:16) ඔහු ඉතා ප්‍රේමණීය දෙවි කෙනෙක්. (1 යොහන් 4:8) අපි දැන් භුක්තිවිඳින සෑම යහපත් දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔහුගෙන්. (යාකොබ් 1:17) ඔහු අපට කොතරම් ප්‍රේම කරනවාද කියා ඉන් පැහැදිලි වෙනවා.
සැමදා සතුටින් ජීවත් වීමට නම් අපට තෘප්තිය ගෙන දෙන වැඩ තිබිය යුතු බව අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි දන්නවා. (ගීතාවලිය 139:14-16; දේශනාකාරයා 3:12) පාරාදීසයේදී සියල්ලන්ටම තම තමන්ගෙත් තමන් ආදරය කරන අයගෙත් යහපත වෙනුවෙන් වැඩ රාශියක් කිරීමට තිබෙනවා. (යෙසායා 65:22-24) දිනපතාම තෘප්තිය ගෙන දෙන අභියෝගාත්මක කාර්යයන් කිරීමට තිබෙන විට ජීවිතය නීරස වෙයි කියා ඔබ සිතනවාද?
පාරාදීසයේ සදහටම ජීවත් වීමේ අවස්ථාව ලැබෙන්නේ යේසුස්ව ආදර්ශයට ගෙන ජීවත් වන අයට පමණයි. (යොහන් 17:3) පොළොවේ සිටියදී යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු කිරීමෙන් යේසුස් අපමණ සතුටක් අද්දැක්කා. සැබෑ සතුට අද්දැකිය හැක්කේ ලැබීමෙන් නොව දීමෙන් බව යේසුස් තම ගෝලයන්ට නිතරම කාවැද්දුවා. (ක්‍රියා 20:35) පාරාදීසයේදී සියල්ලන්ම ජීවත් වන්නේ, දෙවිටත් තමාට මෙන් තම අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියන ප්‍රධාන ආඥා දෙකට එකඟවයි. (මතෙව් 22:36-40) තමන්ගේ වාසිය ගැන නොසිතා ඔබට සැබවින්ම ප්‍රේම කරන මිනිසුන් අතර ජීවත් වීමට ලැබීම කොතරම් සතුටුදායක දෙයක් වෙයිද! එවැනි සමාජයක ජීවත් වන විට ජීවිතය නීරස වෙයි කියා ඔබ සිතනවාද?
පාරාදීසයේදී අපට දිනපතාම යෙහෝවා දෙවි ගැන අලුත් දෙයක් දැනගැනීමට ලැබෙනවා. දැනටමත් යෙහෝවා දෙවිගේ නිර්මාණ සම්බන්ධයෙන් කොතරම් අලුත් දේවල් අපට දැනගන්න ලැබෙනවාද! (රෝම 1:20) නමුත් යෙහෝවා දෙවිගේ නිර්මාණ සම්බන්ධයෙන් අපි තවමත් දන්නේ තොරතුරු ස්වල්පයක් පමණයි. පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “අප මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි. එසේනම් ඔහුගේ ඒ මහත් ගිගුරුම් හඬ තේරුම්ගත හැක්කේ කාටද?”—යෝබ් 26:14.
පාරාදීසයේදී අපි කොතරම් කාලයක් ජීවත් වුණත් දෙවි ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් සම්පූර්ණයෙන්ම දැනගැනීමට හැකි වෙන්නේ නැහැ. සදහටම ජීවත් වීමේ ආශාව මිනිසුන් තුළ තිබුණත් “සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 3:10, 11) සෑම දිනකම ඔබේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ගැන අලුත් දේවල් ඉගෙනගන්නා විට ජීවිතය නීරස වෙයි කියා ඔබ සිතනවාද?
මේ කාලයේ පවා දෙවිව ප්‍රශංසාවට ලක් කරමින් අන් අයගේ යහපත උදෙසා වැඩ කරන අය සිටිනවා. ඒ කිසිම කෙනෙකුට ජීවිතය නීරසයි කියා හැඟෙන්නේ නැති තරම්. එසේනම් පාරාදීස පොළොවේදීත් අපට දෙවි වෙනුවෙන් හා අන් අය වෙනුවෙන් බොහෝ දේවල් කිරීමට තිබෙන නිසා ජීවිතය නීරස නොවන බව ස්ථිරයි.
[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Earth: Image Science and Analysis Laboratory, NASA-Johnson Space Center; Galaxy: The Hubble Heritage Team (AURA/STScI/NASA)