“සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
“අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.”—2 කොරි. 1:3.
1. අප සියලුදෙනාටම අවශ්‍ය වන්නේ කුමක්ද?
අප ඉපදුණු දා සිට අපට අන් අයගේ උපකාරය අවශ්‍යයි. සාමාන්‍යයෙන් බිලිඳෙක් යම් අවශ්‍යතාවක් දැනුණු විට හඬන්නේ ඒ නිසයි. වැඩිහිටියන්ද යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අන් අයගේ උපකාර බලාපොරොත්තු වෙනවා.
2. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අයට ඔහු ලබා දෙන පොරොන්දුව කුමක්ද?
2 අප මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලින් ගොඩ ඒමට අපේ පවුලේ අයට හා හිතමිතුරන්ට යම් ආකාරයකින් උපකාර කළ හැකියි. නමුත් සෑම කාරණයකදීම අපට අවශ්‍ය සහනය ලබා දීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. එය ලබා දීමට හැකි එකම පුද්ගලයා වන්නේ යෙහෝවා දෙවි පමණයි. ඔහු මෙසේ පොරොන්දු වී තිබෙනවා. ‘යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙයි.’ (ගීතා. 145:18, 19) බයිබලයේ මෙසේද පොරොන්දු වෙනවා. “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.” (ගීතා. 34:15) නමුත් දෙවිගෙන් සැනසීම ලබාගැනීමට නම් අප ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය යුතුයි. දාවිත් ඒ ගැන මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි. විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි. ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති. යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.”—ගීතා. 9:9, 10.
3. දෙවිට අපව මොන තරම් වටිනවාද කියා තේරුම්ගැනීමට යේසුස්ගේ වදන් අපට උපකාරවත් වන්නේ කොහොමද?
3 තමන්ට නමස්කාර කරන අයව යෙහෝවා දෙවිට බොහෝ සේ වටිනවා. යේසුස්ද මෙසේ පැවසුවා. “ගේ කුරුල්ලන් පස්දෙනෙකු මිල දී ගැනීමට අවශ්‍ය වන්නේ සුළු වටිනාකමක් ඇති කාසි දෙකක් පමණයි. නමුත් දෙවිට උන්ගෙන් එකෙකුවත් අමතක වෙන්නේ නැහැ. ඔබේ හැම කෙස්ගසක්ම දෙවි ගණන් කර තිබෙනවා. ඒ නිසා ඔබට බිය වෙන්න හේතුවක් නැහැ. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා.” (ලූක් 12:6, 7) ඊශ්‍රායෙල්වරුන්ව යෙහෝවා දෙවි මොන තරම් වටිනා අය ලෙස සැලකුවාද කියා ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි. මා ඔබව මහත් ආදරයකින් මා ළඟට ගත්තේ ඒ නිසයි.”—යෙරෙ. 31:3.
4. දෙවිගේ පොරොන්දු කෙරෙහි අපට විශ්වාසය තබන්න පුළුවන් ඇයි?
4 අප යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් විශ්වාසය තබනවා නම් දුෂ්කර අවස්ථාවලදී පවා ඔහු ලබා දෙන සහනය අපට අද්දැකිය හැකියි. ඒ සඳහා දෙවි කෙරෙහි යොෂුවාට තිබුණා හා සමාන විශ්වාසයක් අපටත් තිබිය යුතුයි. ඔහු මෙසේ පැවසුවා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” (යොෂු. 23:14) අප ප්‍රශ්න ගැටලු නිසා දැන් යම් අසීරුතාවලට මුහුණ දුන්නත් “දෙවි විශ්වාසවන්ත” නිසා ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු කිසිදා අත්හරින්නේ නැති බව නිසැකයි.—1 කොරින්ති 10:13 කියවන්න.
5. අන් අයව සනසන්න පුළුවන් අපට පුළුවන් කොහොමද?
5 පාවුල් යෙහෝවා දෙවිව හැඳින්නුවේ “සියලු සැනසිල්ලේ දෙවි” ලෙසයි. කෙනෙකුව සනසනවා කීමෙන් අදහස් කරන්නේ වේදනාවෙන් සිටින කෙනෙකුට සහනයක් ලබා දීමයි. දෙවි ලබා දෙන්නේ එවැනි සහනයක්. (2 කොරින්ති 1:3, 4 කියවන්න.) යෙහෝවා දෙවිට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙකුට සහනය ලබා දිය හැකියි. ඒ නිසා දෙවිට ප්‍රේම කරන අයට සහනය ලබා දීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න දෙවිට පුළුවන්. ‘දෙවිගෙන් අප ලබන සැනසීම තුළින්’අපටත් හැකියි “ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව” සනසන්න. නමුත් සැනසීමක් ලබා දීමට යෙහෝවා දෙවිට තරම් වෙන කිසිවෙකුට බැහැ!
දුක් වේදනා අද්දකින අවස්ථා
6. අප දුක් වේදනා අද්දකින්නේ කුමන හේතු නිසාද?
6 දුෂ්කර අවස්ථාවලදී අපට සැනසීම අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ පවුලේ කෙනෙකුගේ එනම් ස්වාමිපුරුෂයා, භාර්යාව හෝ දරුවෙකුගේ වියෝව අපට ඉතා වේදනාකාරී අවස්ථාවක්. තවත් සමහරුන් අද්දකින අසාධාරණය හෝ අයුක්තිය නිසා ඔවුන්ට සැනසීම අවශ්‍ය විය හැකියි. ඒ විතරක් නොවෙයි දුර්වල සෞඛ්‍යය, මහලු විය, දුගීකම සහ දුෂ්ටකම් නිසා බොහෝදෙනෙක් වේදනාවට පත් විය හැකියි.
7. (අ) දුෂ්කර කාලවලදී අපට අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) “තැළුණාවූ බිඳුණාවූ හදවතක්” ඇති කෙනෙකුට දෙවි උපකාර කරන්නේ කොහොමද?
7 දුෂ්කර කාලවලදී අප මුහුණ දෙන තත්වයන් අපේ සිතට, මනසට, සිතුවිලිවලට, සෞඛ්‍යයට හා දෙවි සමඟ ඇති බැඳීමට බලපාන නිසා අපට සහනය අවශ්‍යයි. උදාහරණයකට අපේ සිත ගැන සලකා බලන්න. අපේ සිත ‘තැළෙන්න බිඳෙන්න’ ඉඩ තිබෙන බව බයිබලයේ පවසනවා. (ගීතා. 51:17) නමුත් එවැනි අවස්ථාවකදී පවා අපට උපකාර කිරීමට යෙහෝවා දෙවිට හැකි බව මෙම වදන්වලින් පැහැදිලියි. “බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.” (ගීතා. 147:3) ගීතිකාකරු මෙසේද පැවසුවා. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” (ගීතාවලිය 94:19) ඉතා දුෂ්කර අවස්ථාවකට මුහුණ දී තිබෙන විට පවා අප දෙවිට යාච්ඤා කරනවා නම්, ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබනවා නම්, ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා නම් අපට සැනසීම ලබා දීමට යෙහෝවා දෙවිට හැකියි.—1 යොහන් 3:19-22; 5:14, 15 කියවන්න.
8. අපේ මනසට සහනය අවශ්‍ය අවස්ථාවලදී දෙවි එය ලබා දෙන්නේ කොහොමද?
8 අප විවිධාකාර අභියෝගවලට මුහුණ දෙන නිසා අපේ මනසට සහනය අවශ්‍යයි. ඒවාට මුහුණ දීමට උපකාරද අවශ්‍යයි. පාවුල්ද මෙසේ පැවසුවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (ෆිලි. 4:6, 7) අපේ මනසට යම් සහනයක් අවශ්‍ය වන විට බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම ඉතා වැදගත්.—2 තිමෝ. 3:15-17.
9. අධෛර්යය කරවන සිතුවිලි ඇති වන විට අපට එය දරාගන්න පුළුවන් කොහොමද?
9 සමහර අවස්ථාවලදී අප කොතරම් අධෛර්යය වෙනවාද කියනවා නම් දෙවි අපෙන් බලාපොරොත්තු වන දෙයක් අපට කරන්න බැහැ කියා සිතෙන්න පුළුවන්. එසේත් නැත්නම් සභාවේ අපට පැවරී තිබෙන වගකීම් ඉටු කරන්න හැකියාවක් නැහැ කියා සිතෙන්න පුළුවන්. එවැනි අධෛර්යය කරවන සිතුවිලි ඇති වන අවස්ථාවලදී පවා සැනසීම හා උපකාරය ලබා දීමට යෙහෝවා දෙවිට හැකියි. උදාහරණයකට, සතුරු ජාතීන් වාසය කරන දේශ හරහා ඊශ්‍රායෙල් ජාතිය රැගෙන යන්න කියා යෙහෝවා දෙවි යොෂුවාට පැවසුවා. ඒ සම්බන්ධයෙන් මෝසෙස් සෙනඟට මෙසේ පැවසුවා. “ධෛර්යවත් වන්න. කිසි දෙයකට භය වෙන්න එපා. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.” (ද්වි. 31:6) යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව සියලු සතුරු හමුදා පරාජය කර දෙවිගේ සෙනඟව පොරොන්දු දේශයට රැගෙන යෑමට යොෂුවාට හැකි වුණා. මෝසෙස්ටද රතු මුහුද අසලදී ඒ හා සමාන උපකාරයක් යෙහෝවා දෙවි ලබා දුන්නා.—නික්. 14:13, 14, 29-31.
10. දුෂ්කරතා නිසා අපේ සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති වෙනවා නම් අපට කුමක් කළ හැකිද?
10 අප අද්දකින දුෂ්කරතා අපේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. අප නිසි පෝෂණයක් හා ප්‍රමාණවත් විවේකයක් ගන්නවා නම් ව්‍යායාම කරනවා නම් පිරිසිදුව ජීවත් වෙනවා නම් අපට යම් දුරකට හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යා හැකියි. අනාගතය ගැන බයිබලයේ දී ඇති පොරොන්දු ගැන කල්පනා කරන විට එයද අපේ යහපත් සෞඛ්‍යයට හේතු විය හැකියි. පාවුල් අද්දුටු දුෂ්කරතා ගැන කල්පනා කිරීමත් ඔහුගේ මෙම දිරිගන්වන වදන් මතකයට නඟාගැනීමත් අපට ප්‍රයෝජනවත්. “අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත් අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත. අපට පීඩා කළත් අපව අත්හැර දමා නැත. අපව බිමටම ඇද දැමුවත් අපි විනාශ වන්නේ නැත.”—2 කොරි. 4:8, 9.
11. දෙවි සමඟ ඇති බැඳීම දුර්වල වන විට කුමක් කළ හැකිද?
11 සමහර ප්‍රශ්න ගැටලු දෙවි සමඟ ඇති බැඳීමට තර්ජනයක් විය හැකියි. එවැනි අවස්ථාවලදීද යෙහෝවා දෙවිගේ උපකාරය අපට ලැබෙන බව ඔහු දුන් මෙම පොරොන්දුවෙන් පැහැදිලියි. “වැටී සිටින සියල්ලන්ට නැඟී සිටීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය. හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරන්නේය.” (ගීතා. 145:14) දෙවි සමඟ ඇති බැඳීම දුර්වල වන බව අපට දැනෙනවා නම් වැඩිමහල්ලන්ගෙන් ඒ සඳහා උපකාර පැතිය යුතුයි. (යාකො. 5:14, 15) එමෙන්ම සදාකාල ජීවනය පිළිබඳ අපට තිබෙන බලාපොරොත්තුව ගැන අප දිගටම කල්පනා කරනවා නම් අපේ විශ්වාසය අභියෝගයට ලක් වන අවස්ථාවලදී එය අපට ශක්තියක් වෙයි.—යොහ. 17:3.
දෙවිගෙන් සහනය ලැබූ අය
12. යෙහෝවා දෙවි ආබ්‍රහම්ව සැනසුවේ කොහොමද?
12 බයිබලයේ 119වන ගීතිකාව ලියූ ලේඛකයා දෙවිට මෙසේ පැවසුවා. “ඔබේ සේවකයාට ඔබ දුන් පොරොන්දුව අමතක නොකරන්න. මන්ද එය ඉටු වන තෙක් මම බලා සිටින්නෙමි. දුකේදී මාගේ එකම සැනසීම එයයි. මන්ද ඔබේ වදන් මාගේ ජීවිතය ආරක්ෂා කර දුන්නේය.” (ගීතා. 119:49, 50) අතීතයේදී දෙවි සහනය ලබා දුන් අයගේ ආදර්ශ බොහොමයක් බයිබලයේ වාර්තා වෙනවා. ආබ්‍රහම් ඉන් එක් අයෙක්. දෙවි සොදොම් සහ ගොමෝරා යන නගර විනාශ කරන බව ඇසූ විට ඔහු බොහෝ සේ දුක් වී දෙවිගෙන් මෙසේ ඇසුවා. “ඔබ ඇත්තටම දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්වත් නැති කර දමනවාද?” එහි අඩුම තරමින් ධර්මිෂ්ඨ මිනිසුන් 50ක්වත් සිටිනවා නම් එය විනාශ නොකරන බව පොරොන්දු වෙමින් දෙවි ආබ්‍රහම්ව සැනසුවා. නමුත් ආබ්‍රහම් නැවතත් 45ක්, 40ක්, 30ක්, 20ක් හෝ 10ක් සිටිනවා නම් ඒ නගර විනාශ කරනවාද කියා පස් වතාවක්ම දෙවිගෙන් ඇසුවා. ධර්මිෂ්ඨයන් දහයක්වත් සිටියොත් එය විනාශ නොකරන බව දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණා. එහි දහදෙනෙක්වත් නොසිටිය නිසා දෙවි ඒ නගර විනාශ කළත් ලොත්ව සහ ඔහුගේ දියණියන්ව ගලවාගත්තා.—උත්. 18:22-32; 19:15, 16, 26.
13. හන්නා දෙවි කෙරෙහි තම විශ්වාසය පෙන්නුවේ කොහොමද?
13 දෙවිගෙන් සහනය ලැබූ තවත් කෙනෙක් වන්නේ එල්කානාගේ බිරිඳ වන හන්නායි. ඇය වඳ ස්ත්‍රියක් නිසා ඇය සිටියේ හුඟක් කනස්සල්ලෙන්. තම ගැටලුව ගැන ඇය දෙවිට යාච්ඤා කළා. උත්තම පූජක ඒලී ඇයට මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!” එය ඇයට ඉමහත් සහනයක් ගෙන දුන් අතර තවදුරටත් ‘ඇගේ මුහුණ මලානිකව තිබුණේ නැහැ.’ (1 සාමු. 1:8, 17, 18) තම අවශ්‍යතාව ගැන යෙහෝවා දෙවි සැලකිල්ල දක්වයි යන විශ්වාසය ඇයට තිබුණා. තම ගැටලුව කෙසේ විසඳෙයිද කියා ඇය නොදැන සිටියත් ඇගේ මනසට සහනයක් ලැබුණා. ඉන් ටික කලකට පසු දෙවි ඇගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා. ඇය ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කර ඔහුට සාමුවෙල් යන නම තැබුවා.—1 සාමු. 1:20.
14. දාවිත්ට සහනය අවශ්‍ය වුණේ ඇයි? ඔහු එය බලාපොරොත්තු වුණේ කාගෙන්ද?
14 දෙවි දාවිත්ටද සහනය ලබා දුන්නා. යෙහෝවා දෙවිට මිනිසුන්ගේ ‘සිතේ තිබෙන දේ දකින්න’ පුළුවන්. දාවිත්ව ඊශ්‍රායෙලයේ රජ ලෙස තෝරාගන්නා විට හරි දේ කිරීම සඳහාත් සැබෑ නමස්කාරය සඳහාත් ඔහු තුළ තිබූ ආශාව දෙවි දුටුවා. (1 සාමු. 16:7; 2 සාමු. 5:10) නමුත් පසු කලක ඔහු බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදී එය වසං කිරීමට උත්සාහ කළා. තමන් කළ වරදේ බරපතළකම තේරුම්ගැනීමට නාතන් ඔහුට උපකාර කළ විට ඔහු දෙවිට මෙසේ යාච්ඤා කළා. “ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න. මාව මුළුමනින්ම සෝදා මාගේ වරද ඉවත් කරන්න. මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න. මා කළ වැරදි මම හොඳින් දනිමි. මා කළ පාපය නිතරම මා ඉදිරියේ තිබේ.” (ගීතා. 51:1-3) දාවිත් තම වැරදි ගැන අවංකව පසුතැවිලි වූ නිසා දෙවි ඔහුට සමාව දුන්නත් ඔහු කළ වැරදිවල ප්‍රතිඵල විඳීමට ඔහුට සිදු වුණා. (2 සාමු. 12:9-12) ඒ කෙසේවෙතත් දෙවිගේ දයාව නිසා ඔහුට සහනය ලැබුණා.
15. යෙහෝවා දෙවි යේසුස්ට උපකාර කළේ කොහොමද?
15 යේසුස්ද බොහෝ දුෂ්කර අවස්ථාවලට මුහුණ දුන්නා. ඒවාට දෙවි ඉඩහැර තිබුණත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. පරිපූර්ණ පුද්ගලයෙක් වූ ඔහු නිතරම දෙවි කෙරෙහි විශ්වාසය තැබූ අතර දෙවිව තම පාලකයා ලෙස පිළිගෙන ඔහුට කීකරු වුණා. තමන්ව පාවා දී මරණයට පත් කිරීමට පෙර ඔහු දෙවිට මෙසේ යාච්ඤා කළා. “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි.” ඉන්පසු දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළා. (ලූක් 22:42, 43) ඒ අවස්ථාවේදී යේසුස්ට අවශ්‍ය සහනය හා ශක්තිය ලබා දෙමින් දෙවි ඔහුට උපකාර කළා.
16. අපේ ජීවිතය අනතුරට ලක් වන අවස්ථාවලදී පවා දෙවි අපට සැනසීම ලබාදෙන්නේ කොහොමද?
16 දෙවිට කීකරු වීම නිසා අපේ ජීවිතය අනතුරේ වැටුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට උපකාර කරන්න ඔහුට හැකියාව තිබෙන අතර ඔහු එසේ කරන බව ස්ථිරයි. එවැනි අවස්ථාවලදී නැවත නැඟිටීමේ බලාපොරොත්තුවද අපට මහත් සහනයක්. ‘අන්තිම සතුරා වන මරණය නැති කරන’ ඒ දවස පැමිණෙන තුරු අප බලා සිටින්නේ මොන තරම් ආශාවෙන්ද! (1 කොරි. 15:26) මෙතෙක් මිය ගොස් ඇති තම විශ්වාසවන්ත සේවකයන් ඇතුළු දෙවිගේ මතකයේ සිටින සියලුදෙනාවම ඉදිරියේදී දෙවි නැවත නැඟිටුවනවා. (යොහ. 5:28, 29; ක්‍රියා 24:15) එම බලාපොරොත්තුව පීඩාවලට මුහුණ දෙන විට අපට විශාල සැනසීමක් හා ශක්තියක් වෙයි.
17. අප ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට දෙවි අපට සැනසීම ලබා දෙන්නේ කොහොමද?
17 පාරාදීස පොළොවේදී අප ප්‍රේම කළ අය නැවත නැඟිටින බව දැන සිටීම අපට මොන තරම් සහනයක්ද! දුක් වේදනාවලට හේතු වන කිසිම දෙයක් එදාට තිබෙන්නේ නැහැ. නැවත නැඟිටින අයව පිළිගෙන ඔවුන්ට ඉගැන්වීම සඳහා මහත් පීඩාවෙන් බේරී ජීවත් වන ‘මහත් සමූහයට’ තිබෙන්නේ මොන තරම් ගෞරවනීය වරප්‍රසාදයක්ද!—එළි. 7:9, 10.
දෙවිගේ සවිමත් දෑතේ රැකවරණය
18, 19. පීඩා අද්දකින විට දෙවි තම සෙනඟට සැනසීම ලබා දී තිබෙන්නේ කොහොමද?
18 ඊශ්‍රායෙල් ජනයා වෙනුවෙන් මෝසෙස් දිරිගන්වන හා සනසවන ගීතිකාවක් රචනා කළා. එහි ඔහු මෙසේ පැවසුවා. “සදාතන දෙවි රක්ෂස්ථානයක්ය. ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.” (ද්වි. 33:27) පසු කාලයකදී අනාගතවක්තෘ සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ට මෙවැනි සහතිකයක් දුන්නා. ‘දැන් ඔබේ මුළු සිතින්ම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න. යෙහෝවා දෙවිව අත් නොහැර දිගටම ඔහුට නමස්කාර කරන්න. යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.’ (1 සාමු. 12:20-22) අප දෙවිට විශ්වාසවන්තව සිටින තාක්කල් දෙවි අපව අත්හරින්නේ නැහැ. සෑමවිටම අපට අවශ්‍ය උපකාර ඔහු ලබා දෙනවා.
19 ජීවත් වීමට දුෂ්කර මේ අන්තිම දවස්වලදී දෙවි ඔහුගේ සෙනඟට අවශ්‍ය උපකාරය හා සහනය ලබා දෙනවා. මෑත කාලයේදී අපේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුට පීඩා කර ඔවුන්ව සිරගෙයි දමා තිබෙනවා. ඊට හේතුව ඔවුන් දෙවිට විශ්වාසවන්තව සිටීමයි. එවැනි අවස්ථාවලදී පවා දෙවි ඔවුන්ට සැනසීම ලබා දී ඇති බව ඔවුන්ගේ අද්දැකීම්වලින් පැහැදිලියි. එක් සහෝදරයෙකුව සෝවියට් ජනරජය විසින් අවුරුදු 23ක් සිරගත කර තැබුවා. සිර ගෙදර සිටින විටත් ඔහුට අපේ පොත් පත් ලැබුණු අතර එය ඔහුට විශාල ශක්තියක් සහ සහනයක් ගෙන දුන්නා. “ඒ ගෙවුණු අවුරුදු ගණනාව පුරා දෙවිව විශ්වාස කරන්න මම ඉගෙනගත්තා. ඔහුගෙන් විශාල ශක්තියක්ද ලැබුවා” කියා ඔහු පැවසුවා.—1 පේතෘස් 5:6, 7 කියවන්න.
20. දෙවි කෙදිනකවත් අපව අත් නොහරින බවට ස්ථිර විය හැක්කේ ඇයි?
20 හෙට දවසේදී අපට කුමන දේකට මුහුණ දීමට සිදු වුණත් දෙවිගේ මෙම සැනසීම ගෙන දෙන වදන් මතකයේ තබාගැනීම අපට ශක්තියක්. “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.” (ගීතා. 94:14) අපට සහනය අවශ්‍ය වෙනවා හා සමානවම අන් අයටද සහනය අවශ්‍යයි. එය ලබා දීමට අපට හැකියි. ඊළඟ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ දුක් වේදනා විඳින අයව සනසන්න අපට හැකි ආකාර ගැනයි.
ඔබේ පිළිතුර කුමක්ද?
• අපව දුකට පත් කරන දේවල් මොනවාද?
• දෙවි තම සේවකයන්ට සැනසීම ලබා දෙන්නේ කොහොමද?
• අපේ ජීවිත අනතුරේ තිබුණත් අපට සැනසීම ගෙන දෙන්නේ කුමක්ද?
[25වන පිටුවේ කොටුව⁄පින්තූර]
ප්‍රයෝජනවත් බයිබල් පද
▪ සිතට වේදනාවක් දැනෙන විට ගීතා. 147:3; 1 යොහ. 3:19-22; 5:14, 15; ගීතා. 94:19
▪ මනස නොසන්සුන් වූ විට ෆිලි. 4:6, 7
▪ සිතුවිලි කැලඹුණු විට නික්. 14:13, 14; ද්වි. 31:6
▪ සෞඛ්‍ය ගැටලුවක් ඇති වූ විට 2 කොරි. 4:8, 9
▪ දෙවි සමඟ ඇති බැඳීම දුර්වල වූ විට ගීතා. 145:14; යාකො. 5:14, 15