ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 11/1 4-7 පි.
  • ප්‍රශ්න දහයකට පිළිතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න දහයකට පිළිතුරු
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අසභ්‍ය දර්ශන බලන එක වැරදිද? ඉන්ටර්නෙට් එක හරහා ලිංගික ආශාවන් ඉටු කරගන්න එක වැරදිද?
    බයිබලයෙන් උත්තර
  • දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ වරදක් තියෙනවාද?
    2004 පිබිදෙව්!
  • ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම වැරදිද?
    බයිබලයෙන් උත්තර
  • බඳින්න කලින් ලිංගික ඇසුර
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 11/1 4-7 පි.

ප්‍රශ්න දහයකට පිළිතුරු

1 ආදම් සහ ඒව කළ පාපය ලිංගික සම්බන්ධකම් පැවැත්වීමද?

▪ පිළිතුර: ඒදන් උයනේ තිබූ යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් අදහස් කරන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කියා බොහෝදෙනා සිතනවා. නමුත් බයිබලයේ එවැනි දෙයක් පවසන්නේ නැහැ.

මේ ගැන සලකා බලන්න: “හොඳ හා නරක හඳුනාගැනීම” යන නමින් හැඳින්වෙන ගසෙන් කන්න එපා කියා දෙවි ආදම්ට අණ කළේ ඒවව නිර්මාණය කිරීමට පෙරයි. (උත්පත්ති 2:15-18) ඒ අවස්ථාවේ සිටියේ ආදම් පමණක් නිසා එම ආඥාව ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට අදාළ වෙන්නේ නැහැ. එම ආඥාවට අමතරව දෙවි මෙවැනි ආඥාවක්ද ඔවුන්ට දුන්නා. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරන්න.’ (උත්පත්ති 1:28) දරුවන් බිහි කරන්න කියා දෙවි ලබා දුන් ආඥාවට කීකරු වූ නිසා දෙවි ඔවුන්ට මරණ දණ්ඩනය දෙයිද?—1 යොහන් 4:8.

සැලකිලිමත් විය යුතු තවත් වැදගත් කාරණයක් වෙන්නේ ඒව එම ගසේ ගෙඩි කෑ අවස්ථාවේදී ඇගේ ස්වාමිපුරුෂයා එතැන නොසිටීමයි. එම අවස්ථාව ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.”—උත්පත්ති 3:6.

ආදම් සහ ඒව දරුවන් බිහි කිරීම ගැන දෙවි ඔවුන්ට දොස් පැවරුවේ නැහැ. ඔවුන් දෙදෙනා ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වරදක් ලෙස දෙවි නොසැලකූ බව එයින්ද පැහැදිලි වෙනවා. (උත්පත්ති 4:1, 2) ඒ අනුව ආදම් සහ ඒව හොඳ හා නරක හඳුනාගැනීම යන ගසේ පලතුරු කෑමෙන් අදහස් කළේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නොවෙයි.

2 විවාහක යුවළක් තම ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම බයිබලයේ හෙළාදැක තිබෙනවාද?

▪ පිළිතුර: යෙහෝවා දෙවි “පුරුෂයෙකු සහ ස්ත්‍රියක” වශයෙන් මිනිසුන්ව නිර්මාණය කළ බවත් ඔහු සියල්ල “ඉතා හොඳින් සාදා” තිබුණු බවත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:27, 31) දෙවි, ස්වාමිපුරුෂයන්ට මෙසේද පවසා තිබෙනවා. ‘ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. ඇගේ පියයුරුවලින් තෘප්තිමත් වන්න.’ (හිතෝපදේශ 5:18, 19) ඒ අනුව විවාහක යුවළක් තම ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම බයිබලයේ හෙළාදැක නැති බව පැහැදිලියි.

යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් දරුවන් බිහි කිරීමට පමණක් නොව ඉන් තෘප්තියක්ද ලැබිය හැකි ආකාරයෙනුයි. එය ඔවුන් අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමටද දායක වෙනවා.

3 විවාහ නොවී එකට ජීවත් වීම බයිබලයේ අනුමත කර තිබෙනවාද?

▪ පිළිතුර: ‘වේශ්‍යාකමෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබෙන’ බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:4) වේශ්‍යාකම යන වචනයට ග්‍රීක බසින් යොදා තිබෙන පෝර්නියා යන වචනයෙන් විවාහක යුවළක් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් හැර අනිකුත් සියලුම ආකාරයේ ලිංගික ක්‍රියා අදහස් වෙනවා.a ඒ අනුව අනාගතයේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනෙක් වුණත් එකට ජීවත් වීම දෙවි හෙළාදකින බව පැහැදිලියි.

යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඒ නිසා එකිනෙකාට ප්‍රේම කිරීමේ හැකියාව ඔහු මිනිසුන්ට ලබා දී තිබෙනවා. නමුත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම විවාහ යුවළකට පමණක් සීමා කර තිබෙන්නේ මිනිසුන්ට අයහපතක් වෙනවා දකින්න ඔහු අකමැති නිසයි. ඒ නිසා දෙදෙනෙක් කොතරම් ආදරයෙන් බැඳී සිටියත් විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීමට හොඳ හේතු තිබෙනවා. එම හේතු ගැන ඊළඟ ලිපියේ සඳහන් වෙනවා.

4 බොහෝ භාර්යාවන් ඇතුව සිටීම සුදුසුද?

▪ පිළිතුර: දෙවි මුල්ම මිනිසා වූ ආදම්ට ලබා දුන්නේ එක භාර්යාවක් පමණයි. නමුත් ස්වාමිපුරුෂයෙකුට බොහෝ භාර්යාවන් ඇතුව සිටීම සඳහා දෙවි යම් කාලයකදී ඉඩහැර තිබුණා. (උත්පත්ති 4:19; 16:1-4; 29:18–30:24) කොහොමවුණත් එම සැලැස්ම ඇති කළේ දෙවි නොවෙයි.

පුරුෂයෙකුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණක් බවට වූ යෙහෝවා දෙවිගේ අරමුණ ඔහු යේසුස් මාර්ගයෙන් නැවත කාවැද්දුවා. (යොහන් 8:28) යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා.”—මතෙව් 19:4, 5.

“සෑම පුරුෂයෙකුටම භාර්යාවක්ද සෑම ස්ත්‍රියකටම ස්වාමිපුරුෂයෙකුද සිටීම සුදුසුය” කියාද බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 7:2) ඊට අමතරව සභාව රැකබලා ගැනීමට වගකීමක් ලැබී තිබෙන ස්වාමිපුරුෂයන්ටද සිටිය යුත්තේ ‘එක් භාර්යාවක් පමණක්’ බවත් එහි සඳහන් වෙනවා.—1 තිමෝති 3:2, 12.

5 විවාහක යුවළක් උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදිද?

▪ පිළිතුර: උපත් පාලන ක්‍රම භාවිත කිරීම සුදුසුද නැද්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වගේම විවාහක යුවළක් අනිවාර්යයෙන්ම දරුවන් බිහි කළ යුතුයි කියාද එහි සඳහන් වෙන්නේ නැහැ.

ඉන් පැහැදිලි වෙන්නේ දරුවන් බිහි කිරීම හෝ නොකිරීම විවාහක යුවළකගේ පෞද්ගලික තීරණයක් බවයි. ඒ වගේම දරුවන් කී දෙනෙකු සිටිය යුතුද සහ ඒ කොයි කාලයේද කියා තීරණය කිරීමට ඔවුන්ට නිදහස තිබෙනවා. ඒ නිසා යුවළක් ගබ්සා නොවන ආකාරයේ උපත් පාලන ක්‍රම භාවිත කිරීමට තීරණය කළොත් එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් නිසා කිසිම කෙනෙක් ඔවුන්ව විවේචනය කිරීම සුදුසු නැහැ.b—රෝම 14:4, 10-13.

6 ගබ්සා කිරීම සුදුසුද?

▪ පිළිතුර: යෙහෝවා දෙවි ජීවිතය කොතරම් අනර්ඝ දෙයක් ලෙස සලකනවාද කියනවා නම් මව් කුසේ දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිටම දෙවි එම කලලය ජීවිතයක් ලෙස සලකනවා. (ගීතාවලිය 139:16) පුද්ගලයෙකු අතින් නූපන් දරුවෙකුගේ ජීවිතයට අනතුරක් වුණොත් ඔහු ඊට වන්දි ගෙවිය යුතුයි කියා දෙවි පවසා තිබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ ගබ්සා කිරීම දෙවි සලකන්නේ මිනී මැරීමක් ලෙසයි.—නික්මයාම 20:13; 21:22, 23.

දරු උපතකදී සිදු විය හැකි හදිසි තත්වයක් නිසා බේරාගැනීමට කැමති වන්නේ මවගේ ජීවිතයද දරුවාගේ ජීවිතයද කියා තීරණය කිරීමට සිදු වුණොත් තත්වය කුමක්ද? බේරාගන්නේ කාගේ ජීවිතයද කියා තීරණය කිරීමේ වගකීම එම විවාහක යුවළ සතුයි.c

7 දික්කසාද වීම දෙවි අනුමත කරනවාද?

▪ පිළිතුර: දික්කසාද වීමට එකම පදනම ලෙස බයිබලයෙහි සඳහන් කර තිබෙන්නේ වේශ්‍යාකම පමණයි. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙන” බව යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 19:9.

වෙනත් කෙනෙකුව විවාහ කරගැනීමේ අරමුණින් කූට ලෙස සිදු වන දික්කසාදයන් දෙවි හෙළාදකිනවා. එසේ ක්‍රියා කරන අයට දෙවිට ගණන් දීමටද සිදු වෙනවා.—මලාකි 2:13-16; මාක් 10:9.

8 සමලිංගික ක්‍රියා දෙවි අනුමත කරනවාද?

▪ පිළිතුර: සමලිංගික ක්‍රියාවන් දෙවි හෙළාදකිනවා. (රෝම 1:26, 27; ගලාති 5:19-21) නමුත් එවැනි ක්‍රියාවල නියැලෙන අය පවා තම ජීවිත වෙනස් කරගන්නවා දැකීමට දෙවි කැමතියි. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

ඒ නිසා දෙවිගේ සේවකයන්ද සමලිංගික ක්‍රියාවන් පිළිකුල් කළත් එවැනි ක්‍රියාවල නියැලෙන අයට වෛර කරන්නේ නැහැ. (මතෙව් 7:12) ඔවුන් එසේ කරන්නේ ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරවයෙන්’ සලකන්න කියා දෙවි පවසා තිබෙන නිසයි.—1 පේතෘස් 2:17.

9 දුරකථනය හෝ අන්තර්ජාලය හරහා ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම සුදුසුද?

▪ පිළිතුර: සමහර අය දුරකථන හෝ අන්තර්ජාලය හරහා කාමුක දේවල් කතා කිරීමට, සවන් දීමට, අශික්ෂිත ඡායාරූප හා පණිවිඩ හුවමාරු කරගැනීමට පෙලඹෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා ලිංගික ක්‍රියාවලද නියැලෙනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමටයි.

එවැනි ක්‍රියාවන් ගැන බයිබලයේ ඍජුවම සඳහන් වී නැහැ. නමුත් එහි මෙසේ සඳහන් වෙනවා. “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත. එලෙසම කිසිම ලැජ්ජාවක් බියක් නොමැතිව හැසිරීම, මෝඩ කතා හෝ අසභ්‍ය විහිළු සුදුසු නැත.” (එෆීස 5:3, 4) දුරකථනය හෝ අන්තර්ජාලය හරහා ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ කරන අය ලිංගික සම්බන්ධකම් ගැන විකෘති අදහස් දැරීමට පටන්ගන්නවා. ඒ වගේම ඉහත සඳහන් ක්‍රියා නිසා ලිංගික ආශාවන් පාලනය වෙනවා වෙනුවට එම ආශාවන් තවදුරටත් වැඩි වෙනවා.

10 ස්වයංවින්දනය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

▪ පිළිතුර: ඒ ගැන බයිබලයේ ඍජුවම සඳහන් වී නැහැ. නමුත් එහි මෙසේ සඳහන් වෙනවා. ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’—කොලොස්සි 3:5.

ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක් ආත්මාර්ථකාමී ලෙස තම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ කරනවා. නමුත් එවැනි කෙනෙක් එම අපවිත්‍ර පුරුද්දෙන් මිදීමට උත්සාහ කරනවා නම් ඒ සඳහා අවශ්‍ය “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දීමට දෙවි කැමැත්තෙන් සිටිනවා.—2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:13.

[පාදසටහන්වල]

a පෝර්නියා යන්නට සමලිංගික ක්‍රියාවන් හා සතුන් සමඟ ලිංගිකව හැසිරීමත් ඇතුළත් වෙනවා.

b වර්ෂ 1999 ජූනි 15 මුරටැඹ කලාපයේ 27 සහ 28 පිටුවල ඇති “පාඨකයන්ගේ ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.

c අතවරයට ලක් වූ කෙනෙක් ගබ්සාවක් සිදු කිරීම සුදුසුද නැද්ද කියා දැනගැනීම සඳහා 1993 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 10 සහ 11වෙනි පිටු බලන්න. (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න