බයිබල් ප්‍රතිපත්ති පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන
ලිංගික කාරණා ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අද කාලයට ගැළපෙන්නේ නැද්ද? එසේ පවසන්න බැහැ. එම ප්‍රතිපත්ති අදාළ කරගැනීම නිසා බොහෝ අහිතකර ප්‍රතිඵලවලින් වැළකී සිටීමට හැකි වෙනවා. ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.
▪ ලිංගිකව බෝ වෙන රෝග
▪ විවාහ වීමට පෙර හෝ විවාහයෙන් පිට සිදු වන ගැබ්ගැනීම්
▪ විවාහයන් දෙකඩ වීම
▪ හිත වධ දීම
▪ ආත්ම ගෞරවය නැති වීම
යෙහෝවා දෙවි කැමති වන්නේ සියලුදෙනා සතුටින් සිටිනවාටයි. ඒ නිසා අපේම ප්‍රයෝජනය සඳහා ඔහු යම් ප්‍රතිපත්ති දී තිබෙනවා. (යෙසායා 48:17) ඒවා අදාළ කරගන්නවා නම් අත් කරගත හැකි ප්‍රයෝජන කිහිපයක් පහත දැක්වෙනවා.
▪ දෙවිගේ අනුමැතිය
▪ මනසේ සාමය
▪ ප්‍රීතිමත් පවුල් ජීවිතයක්
▪ පිරිසිදු හෘදය සාක්ෂියක්
▪ ආත්ම ගෞරවය
ඔබ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වී නැහැ කියා ඔබට සිතෙනවාද? එසේනම් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඔබට පුළුවන් වෙයිද? ඔබ අතින් සිදු වූ වැරදිවලට දෙවි සමාව දෙයිද?
මේ ගැන සිතන්න: මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි ඇතැම් අය ක්‍රිස්තියානීන් බවට පත් වීමට කලින් වේශ්‍යාකම, අනාචාරය සහ සමලිංගික ක්‍රියා වැනි පිළිකුල්සහගත ක්‍රියාවල නියැලී සිටියා. නමුත් ඔවුන් එම නරක පුරුදු අත්හැරිය නිසා බොහෝ ප්‍රයෝජන ලැබුවා. (1 කොරින්ති 6:9-11) අද සිටින බොහෝදෙනාද ඔවුන් නියැලෙමින් සිටි නරක පුරුදු අත්හැරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. එසේ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ බයිබල් ප්‍රතිපත්ති තම ජීවිතයට අදාළ කරගත් නිසයි. මුල්ම ලිපියේ සඳහන් කළ සාරා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් නිසා ප්‍රයෝජන ලැබූ අයුරු අපි දැන් බලමු.
“ඒක මට ලොකු සහනයක් වුණා”
තමා බලාපොරොත්තු වූ නිදහසවත් තෘප්තියවත් ලැබුණේ නැති බව සාරා තේරුම්ගත්තා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මං ගත කළ ජීවිතය ගැන මටම ලැජ්ජ හිතුණා. මම ගැබ්ගනියිද, නැත්නම් බෝ වෙන ලෙඩක් හැදෙයිද කියලා මට ලොකු භයක් දැනුණා. මම හැසිරුණු විදිහ නිසා දෙවි දුක් වෙන්න ඇති කියලා මම හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසා මට මාවම එපා වුණා. මම කිසි කමකට නැති කෙනෙක් කියලා මට හිතුණා.”
පසු කාලයකදී හැම නරක පුරුද්දක්ම නතර කර දැමීමට සාරාට හැකි වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිටි ඇගේ දෙමාපියන් දුන් මඟ පෙන්වීම් ඇය පිළිගත්තා. සාක්ෂිකරුවන් අතර සිටින අද්දැකීම් ලත් සහෝදරයන්ගෙන්ද අවශ්‍ය මඟ පෙන්වීම් ඇය ලබාගත්තා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “ඒ හැමෝම මට ආදරයෙනුත් කාරුණිකවත් සලකපු විදිහ ගැන මට පුදුම හිතුණා. ඒක මට ලොකු සහනයක් වුණා.”
සාරා දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය තවදුරටත් මෙසේ පවසනවා. “මගේ ජීවිතය ගැන හැම තොරතුරක්ම මම ඒ දෙන්නට කිව්වා. මම එහෙම කළේ දෙවිගේ ප්‍රතිපත්ති නොසලකාහැරියොත් කොයි තරම් නරක ප්‍රතිඵල අද්දකින්න සිදු වෙනවාද කියන එක ඒ දෙන්නට තේරුම් කරලා දෙන්න ඕන නිසයි. දෙවි අපිට යම් ප්‍රතිපත්ති දීලා තියෙන්නේ අපේම ප්‍රයෝජනය සඳහායි කියලා මට දැන් හොඳටම තේරෙනවා.”
දෙවි දී තිබෙන ප්‍රතිපත්ති ඔබත් අදාළ කරගන්නවා නම් ඔබටත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. ‘යෙහෝවා දෙවිගේ නියෝග සාධාරණය. ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය. යෙහෝවා දෙවිගේ ආඥා පවිත්‍රය. ඒවා ඇස් දීප්තිමත් කරන්නේය. ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.’—ගීතාවලිය 19:8, 11.a
[පාදසටහන්වල]
a බයිබලයේ සඳහන් තවත් ප්‍රතිපත්ති ගැන ඉගෙනගැනීමට ඔබ කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ හතරවෙනි පිටුවේ සඳහන් ලිපිනයට ලිවීමට හෝ www.watchtower.org යන වෙබ් අඩවියට පිවිසීමට ඔබට හැකියි.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බයිබල් ප්‍රතිපත්ති නොසලකාහරින අය බොහෝවිට මානසිකව වේදනා විඳිනවා
[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අය ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරනවා