දේශ සීමා බාධාවක් නොවෙයි
“ඔබ සියලුදෙනාම සහෝදරයෝයි” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ වචන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම ජීවිතවලට අදාළ කරගන්නවා. (මතෙව් 23:8) එකමුතුකමට බාධා වෙන දේවල් ඉවත් කරන්න ඔවුන් උපරිම වෑයමක් දරන්නේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් කදිම උදාහරණ දෙකක් අපි බලමු.
පෘතුගාලයේ උතුරට වෙන්න ඇති මින්හෝ නගරයේ විශාල බලකොටුවක් තිබෙනවා. එම බලකොටුවේ එක් පැත්තකින් පෘතුගාලය හා ස්පාඤ්ඤය වෙන් කරන මින්හෝ ගඟ ගලා බසිනවා. ගඟේ එහා ඉවුරේ පෙනෙන්නේ ස්පාඤ්ඤයට අයත් ටුයි නගරයයි. එම නගරයේ විශාල පල්ලියක් තිබෙනවා. එය පෙනෙන්නේ ස්පාඤ්ඤය ආරක්ෂා කරන පවුරක් වගේයි. ටුයි නගරයේ හා මින්හෝ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් මේවා ඉදි කළේ 17වන සියවසේ ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධ ඇති වූ කාලයේයි.
කෙසේවෙතත් යුරෝපා සංගමයට අයත් එම රටවල් දෙක අතර තිබුණු දේශ සීමා මුරකපොලු 1995දී ඉවත් කළා. නමුත් සැබෑ වෙනසක් ඇති වීමට නම් ඒවා ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. මිනිසුන් අතර එකමුතුකම ඇති කිරීමට නම් ඔවුන්ගේ සිතුවිලි හා ආකල්පද වෙනස් කරගත යුතුයි. එවැනි වෙනසක් ඇති කරගත් පිරිසක් රැස්වන චාම් ගොඩනැඟිල්ලක් මින්හෝ නගරයේ තිබෙනවා. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම නමස්කාර කටයුතු කරන්නේ එම ගොඩනැඟිල්ල තුළයි. මිනිසුන්ට එකමුතුව සිටිය හැකි බවට එය කදිම සාක්ෂියක්.
ස්පාඤ්ඤයේ ටුයි නගරයේ සිටි සාක්ෂිකරුවන් රැස්වීම් පැවැත්වූයේ කුලියට ගත් ස්ථානයකයි. ඔවුන්ට 2001දී එය නැවත අයිතිකරුට භාර දීමට සිදු වුණා. එම නගරයෙන් ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට තරම් වත්කමක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසා පෘතුගාලයේ මින්හෝවල තිබෙන නමස්කාර මධ්‍යස්ථානය තමන්ටත් පාවිච්චි කරන්න දෙන්න කියා ඔවුන් එහි සිටින සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියා. එම ශාලාව පිහිටා තිබුණේ ටුයි නගරයට ආසන්නයෙනුයි.
එම තීරණය ගැනීම සඳහා පැවැත්වූ රැස්වීමකට සහභාගි වූ එඩ්වරාඩෝ විලා මෙසේ අදහස් දැක්වූවා. “යෙහෝවා දෙවි ඒ සහෝදරයන්ගේ සිත් පොලඹවලා තියෙනවා කියලා මට හොඳින්ම තේරුම් ගියා. ඒ ශාලාව හදන්න ඒ අය ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වුණත් ඒ අය හරිම කැමැත්තෙන් ඒ ශාලාව අපිටත් පාවිච්චි කරන්න දුන්නා. ඒක නම් ලොකු ආශීර්වාදයක් කියලයි මට හිතෙන්නේ.”
එම සාකච්ඡාවට සහභාගි වූ පෘතුගාලයේ සිටින සහෝදර ඇමරිකෝ අල්මීඩා මෙසේ පවසනවා. “මේ සැලැස්මට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි කියලා අපි විශ්වාස කළ නිසා හැමෝම ඒකට කැමති වුණා. අපි ස්පාඤ්ඤයේ සහෝදරයන්ව සාදරයෙන් පිළිගත්තා.” දෙරටේ සහෝදරයන් එකමුතු වී ක්‍රියා කළා. මින්හෝවල පවුලෝ නමැති සහෝදරයා ඒ සැලැස්ම ගැන මෙසේ පැවසුවා. “අපි රටවල් දෙකක අය කියලා අපිට හිතුණේ නැහැ. අපි ඔක්කොම සහෝදරයෝ කියලයි අපි හිතුවේ.” ශාලාව ඇතුළේ වෙනසකට තිබුණේ වේලාවන් දෙකක් දක්වන ඔරලෝසු දෙක විතරයි. ඊට හේතුව ඒ රටවල් දෙක අතර පැයක වෙනසක් තිබීමයි.
එම ශාලාව අලුත්වැඩියා කිරීමට සිදු වූ විට ස්පාඤ්ඤයේ සහෝදරයන්ගේ අධීක්ෂණය යටතේ කමිටුවක් පත් කළා. දෙරටේම සහෝදරයෝ ශාලාවේ වැඩවලට උද්‍යෝගයෙන් හවුල් වුණා. “විවිධ දක්ෂතා තියෙන ගොඩක් සහෝදරයන් ස්පාඤ්ඤයේ ඉඳලා ආවා. සමහරු හිටියේ කිලෝමීටර් 160ක් විතර ඈතිනුයි. ඒ ව්‍යාපෘතිය නිසා අපි අතර තිබුණු එකමුතුකම තවත් වැඩි වුණා” කියා පාවුලෝ පැවසුවා.
එකමුතුකමට දේශ සීමා බාධාවක් නොවන බව පෙන්වන තවත් අද්දැකීමක් දැන් බලමු.
බෙදුණු නිම්නයක නොබෙදී
ස්පාඤ්ඤයේ ප්‍රංශ දේශ සීමාව අසල ප්වේක්සෑද කියා නගරයක් තිබෙනවා. පිරනීස් කඳුවැටියෙන් වට වූ එම නගරය පිහිටා තිබෙන්නේ සාරවත් නිම්නයකයි. සර්ඩන්යා කියා හඳුන්වන එම නිම්නය අයත්ව තිබුණේ ස්පාඤ්ඤයටයි. නමුත් 1659දී ඇති කරගත් එකඟතාවයට අනුව ස්පාඤ්ඤය එම නිම්නයේ කොටසක අයිතිය ප්‍රංශයට පැවරුවා.
ප්‍රංශයේ වෙසෙන ජනයාද තම අවශ්‍යතා සපුරාගන්න ප්වේක්සෑදවලට පැමිණෙනවා. එහි සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන් කුලියට ගත් ශාලාව 1997දී නැවත භාර දීමට සිදු වුණා. ප්‍රංශයේ ඔවුන්ට තවත් ශාලාවක් තිබුණත් එහි යෑමට පැයක පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම සීත කාලයේදී හිම නිසා එහි යෑමට තිබෙන මාර්ගයද වසා දමනවා.
තමන්ගේ අවශ්‍යතාවය ගැන ප්‍රංශයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්පාඤ්ඤයේ සාක්ෂිකරුවන්ට පැහැදිලි කළ විට ඔවුන් තමන්ගේ නමස්කාර මධ්‍යස්ථානය ඒ සඳහා යොදාගන්නා ලෙස පැවසුවා. ඒ ගැන ස්පාඤ්ඤ සභාවේ සහෝදරයෙක් වන ප්‍රෙම් මෙසේ පවසනවා. “ඒ අදහසට අපේ සහෝදරයන් ගොඩක් කැමති වුණා. අපි අවුරුදු ගණනාවක් ඉගෙනගත්ත දේ අදාළ කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. සති කිහිපයකට පස්සේ අපේ ශාලාවේ එයාලත් රැස්වීම් පැවැත්තුවා. අවුරුදු 13ක් තිස්සේ අපි දෙගොල්ලන්ම මේ ශාලාවේ රැස්වීම් පවත්වනවා.”
ප්‍රංශයේ සහෝදරයෙක් වන එරික් මෙසේ පැවසුවා. “අපිට රැස්වීම් පවත්වන්න ප්වේක්සෑද කියාපු තැනක්. ස්පාඤ්ඤ භාෂාව කතා කරන සහෝදරයන් අපිව පිළිගත්ත හැටි මට තාම මතකයි. එයාලා ඒ ශාලාවේ ලස්සන මල් කලඹක් හදලා තිබුණා. ඒ වගේම ‘සහෝදර සහෝදරයෙනි, අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා’ කියලා බෝඩ් එකක ලියලත් තිබුණා.”
තවදුරටත් එරික් මෙසේ පැවසුවා. “අපේ නමස්කාර මධ්‍යස්ථානය වහලා දාද්දී මිනිස්සු හිතුවේ අපි දැන් රැස්වීම් පවත්වන එක නතර කරලා කියලයි. නමුත් අපි දිගටම ඒ ප්‍රදේශයේ ශුභාරංචිය ප්‍රකාශ කළා. ඒ එක්කම අපේ අලුත් ශාලාවේ රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාවක් හැමෝටම දුන්නා. ඒකෙන් මිනිස්සු දැනගත්තා අපි තාමත් රැස්වීම් පවත්වනවා කියලා. බයිබලය ගැන ඉගෙනගන්න කැමති අය ස්පාඤ්ඤයේ රැස්වීම් පවත්වන ශාලාවට ආවේ හරිම කැමැත්තෙන්. ඇත්තටම අපි දෙගොල්ලෝ දැන් ඉස්සරට වඩා කිට්ටු වෙලා කියලා අපිට තේරෙනවා. අපි ඉන්න තැනට කිට්ටුවෙන් ස්පාඤ්ඤයේ සභාවක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි අපිට ඒ අයව නිතරම හමු වුණේ නැහැ. ඒත් දැන් නම් අපිට නිතරම එයාලව මුණගැහෙනවා. මේ හුදෙකලා නිම්නයේ අපි තනි වෙලා නැහැ කියලා අපිට දැනෙනවා.”
තම 80වෙනි වියේ පසුවන ප්‍රංශ සහෝදරියක් මෙසේ පැවසුවා. “අපේ රැස්වීම් ස්පාඤ්ඤයේ පවත්වනවා කියලා දැනගත්තාම මම ටිකක් කලබල වුණා. හැබැයි අපි එහෙට ගියාම ඒ අය අපිව පිළිගත්ත විදිහයි අපිත් එක්ක ආශ්‍රය කරපු විදිහයි දැක්කාම මං හිතපු විදිහ වැරදියි කියලා මට තේරුණා. ඇත්තටම යෙහෝවා දෙවිගේ සෙනඟ කොයි තරම් එකමුතුද කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා.”
එකමුතුකමට හේතුව
යුරෝපා සංගමය ආරම්භ කිරීමට මුල් වූ අය පැවසුවේ “යුරෝපයේ පුරා සිටින මිනිසුන් අතර එක්සත්කම ඇති කිරීමට මෙම සංගමය පදනමක්” කියායි. වර්ෂ 1980 ගණන්වල සහ 1990 ගණන්වල දේශ සීමා මුරකපොලු ඉවත් කළේ එම අදහස ඉටු කරගැනීමටයි. නමුත් සැබෑ වෙනසක් සිදු වීමට නම් මිනිසුන් ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගත යුතු වුණා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ජාතියකට අයත් අයව පහත් කර සලකන්නේවත් ඔවුන් දෙස සැකයෙන් බලන්නේවත් නැහැ. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත්’ විවිධ සංස්කෘතීන්වල අය එකට වැඩ කිරීමෙන් මහත් ප්‍රයෝජන ලැබෙන බවත් ඔවුන් වටහාගෙන තිබෙනවා. (ක්‍රියා 10:34) “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද” කියා බයිබලයේ පවසන දේ සත්‍යය බව සාක්ෂිකරුවන් පවත්වන සමුළුවලදී සහ ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවලදී දැකගත හැකියි. (ගීතාවලිය 133:1) මින්හෝ සහ ප්වේක්සෑදවල සිටින සාක්ෂිකරුවන් ඊට කදිම උදාහරණයක්.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“අපි රටවල් දෙකක අය කියලා අපිට හිතුණේ නැහැ. අපි ඔක්කොම සහෝදරයෝ කියලයි අපි හිතුවේ”
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඒ ව්‍යාපෘතිය නිසා අපි අතර තිබුණු එකමුතුකම තවත් වැඩි වුණා”
[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” ගීතාවලිය 133:1
[12, 13වන පිටුවේ පින්තූරය]
මින්හෝ නගරයේ කොටු පවුරේ සිට බලන විට මින්හෝ ගඟ සහ ටුයි නගරය පෙනෙන ආකාරය
[14වන පිටුවේ පින්තූරය]
ශාලාව අලුත්වැඩියා කරමින්
[15වන පිටුවේ පින්තූරය]
පිරනීස් සහ සර්ඩන්යා නිම්නය
[15වන පිටුවේ පින්තූරය]
ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සාක්ෂිකරුවන් දෙදෙනෙක්